රාවය

විකල්ප සිතීමක් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? ශක්තිමත් රාජ්‍යයද?

විකල්ප සිතීමක් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? ශක්තිමත් රාජ්‍යයද?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අප රටේ පවතින විවාදයේ මතුවන නොයෙක් වැදගත් ප‍්‍රශ්න අතර එකක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීම, බලය විමධ්‍යගත කිරීම සහ ශක්තිමත් රාජ්‍යයක් යන අරමුණු අතර එකඟතාවක් ඇති කරගත හැකිද? එසේ නම් ඒ කෙසේද? යන්නයි. මෙම ගැටලූව සමහර අය රාමුගත කරන බව පෙනෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? රාජ්‍යාරක්ෂාවද? යන සංකල්පමය ද්විභේදනය ආශ‍්‍රය කොටගෙන බව පෙනේ. මෙය වනාහි ඉහත කී ගැටලූව පිළිබඳ පටු ප‍්‍රවේශයකි. ඒ නිසාම, ලංකාවේ දැනට පවත්නා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විවාදය සාධනීය ලෙස ඉදිරියට ගෙන යෑමට, එම ද්විභේදවාදී ප‍්‍රවේශයට නොහැකිය.

මේ ලිපියේ අරමුණ එම ද්විභේදනවාදී ප‍්‍රවේශය තරමක් ශාස්ත‍්‍රීය ලෙස විභාග කරමින්, එය ගැන නැවත සිතිය හැකි විකල්ප මාර්ගද තිබෙන බව පෙන්වා දීමය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ රාජ්‍යාරක්ෂාව පිළිබඳ වර්තමානයේ තිබෙන ද්විභේදනවාදී ප‍්‍රවේශය, 1970 ගණන්වල මතුවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? ආර්ථික සංවර්ධනයද? යන ද්විභේදනයට සමානය. සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය යනාදි අග්නිදිග සහ ගිනිකොණදිග ආසියාතික රටවල පාලක පන්තීහු, මෙම තර්කයෙහි පුරෝගාමීහු වූහ. ඔවුන්ගේ මූලික ප‍්‍රවාදය වූයේ, එම රටවල ඓතිහාසික ප‍්‍රමුඛතාව වූයේ, දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව, ක්ෂණික ආර්ථික සංවර්ධනය වේය යන්නයි. ක්ෂණික ආර්ථික සංවර්ධනය සොයා යන ගමනේදී, ජනප‍්‍රිය නොවන තීරණ ගෙන, ඒවා ඉක්මනින් ක‍්‍රියාත්මක කළ හැකි සහ මහජන මතය, මැතිවරණ, ස්වාධීන අධිකරණය, නිදහස් මාධ්‍යය, මානව අයිතිවාසිකම්, මහජන විවේචනය වැනි ‘ප‍්‍රජාතාන්ත‍්‍රික’ බාධාවන්ගෙන් විලංගු නොදමනු ලැබූ ‘ශක්තිමත් රාජ්‍යයක්’ ගොඩනැගීම, එම සමාජවල ඓතිහාසික ප‍්‍රමුඛතාව බවද එම රටවල පාලකයෝ අවධාරණය කළහ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපට දරා ගැනීමට නොහැකි තරමේ සුඛෝපභෝගී වස්තුවකැ’යිද ඔවුහු කීහ. මේ ප‍්‍රවේශය සාධාරණය කළ බුද්ධිමත්තු ද එම රටවල විශ්වවිද්‍යාලවලින් එකල බිහිවූහ. ‘ආසියාතික වටිනාකම්’ (Asian Values) යන සංකල්පය 1970 ගණන්වලදී ගොඩනගන ලද්දේ මෙම අග්නිදිග ආසියාතික බුද්ධි ස්තර විසිනි. සිංගප්පූරුවේ, පිලිපීනයේ සහ මැලේසියාවේ තනි-පක්ෂ අධිකාරවාදී පාලන තන්ත‍්‍ර, ඉන්දුනීසියාවේ හා දකුණු කොරියාවේ මෙන්ම තායිලන්තයේද පැවති හමුදා ඒකාධිපති පාලන තන්ත‍්‍ර, මේ ප‍්‍රවේශය සමග අනන්‍ය වූ දේශපාලන ක‍්‍රමයි. ලංකාවේද, 1978 ව්‍යවස්ථාවෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ආරම්භ කෙළේ මෙම සංකල්පමය රාමුව ඇතුළතම ගොඩනගන ලද ආර්ථික-දේශපාලන මාදිලියකි. ‘සංවර්ධනය පළමුව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙවනුව – ඒ සඳහා ශක්තිමත් රාජ්‍යයක්’ යනු මෙම දේශපාලන මාදිලියේ මූලික මතවාදීමය සටන් පාඨය විය.

‘ශක්තිමත් රාජ්‍යය’ (Strong State) යන අරමුණට, ටික කලකදී තවත් අර්ථයක් ලැබිණ. එය නම් ‘ජාතික ආරක්ෂක රාජ්‍යය’ (National Security State) යන්නයි. මේ අලූත් සංකල්පය අවධි දෙකක් තුළින් විකාශනය වූවකි. පළමුව ලංකාව, ඉන්දියාව වැනි රටවල හටගත්, ජනවාර්ගික ගැටුම් සහ අභ්‍යන්තර සිවිල් යුද්ධයි, දෙවැන්න, පසුගිය දශක දෙක පමණ කාලය තුළ තියුණු වී ඇති ‘ත‍්‍රස්තවාදය’ යන නව දේශපාලන-සිවිල් යුද්ධ ව්‍යාපාරයයි. ‘මූලික අයිතිවාසිකම් නොව ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය’ යන අදහස බිහිවූයේ මේ පසුබිමෙහිය. එම තර්කය ඉතා ප‍්‍රබලව මතුවූයේ ඇමෙරිකාවෙහිය. ඇමෙරිකාව මෙන්ම බි‍්‍රතාන්‍යයද ඇතුළු යුරෝපීය රටවලද සාම්ප‍්‍රදායික ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ ‘පාරිශුද්ධික’යැයි සලකනු ලැබූ පුද්ගල අයිතිවාසිකම් බරපතළ ලෙස සීමා කරන හදිසි නීති සහ ජාතික ආරක්ෂක නීති පනවන ලද්දේ මේ පසුබිමෙහිය. මෙයින් ඇතිවූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ගැටලූ ඇමෙරිකාවේත්, ලෝකයේත් තවමත් අවසන් වී නැති විවාද සහ සාකච්ඡුාවල මාතෘකාද වී තිබේ.

දේශපාලන න්‍යාය තුළද මෙම ගැටලූව ඉතා තියුණු ලෙස සාකච්ඡුා විය. ඉතාලි ජාතික දේශපාලන දාර්ශනිකයෙකු වන ජෝර්ජියෝ අහම්බන් (Giorgio Agamben) 2003දී පළ කළ  State of Exception (ව්‍යතිරේක/හදිසි නීති රාජ්‍යය) දේශපාලන විද්‍යාඥයන් අතර ඇතිවූ අලූත් මහා සාකච්ඡුාවක් ආරම්භ කළ කෘතියයි. අගම්බන්ගේ සංකීර්ණ තර්කය සරල ලෙස ප‍්‍රකාශ කරන්නේ නම්, ‘ත‍්‍රස්තවාදයට’ එරෙහි යුද්ධයේ සන්දර්භය තුළ බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය, නිර්-ලිබරල් හදිසි නීති රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා පමණක් නොව, පුද්ගල අයිතිවාසිකම් සහ නිදහස අත්හිටුවන ‘ව්‍යතිරේකය,’ රාජ්‍යයේ සාමාන්‍ය ගතිස්වභාවය බවටද පත්වී තිබේ.

මහාචාර්ය අහම්බන්ගේ විග‍්‍රහය ලංකාවේද සිවිල් යුද්ධයේ සන්දර්භය තුළ රාජ්‍යය පත්වී ඇති පරිවර්තනය තේරුම් ගැනීමට ආධාර වෙයි. දශක තුනක පමණ කාලයක් රාජ්‍යයට එරෙහිව පැවති සිවිල් යුද්ධය නිසා ලංකාවේ රාජ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයන්, භාවිතයන් සහ ආයතනවල සාපේක්ෂ වශයෙන් දිගුකාලීන පසුබෑමක් ඇතිවිය. ක‍්‍රමවිරෝධී දේශපාලනය යුදමයකරණය වීමත් මෙම ක‍්‍රියාවලියේම කොටසකි. එබැවින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පසුබෑම සිදුවූයේ රාජ්‍ය ක්ෂේත‍්‍රයේ පමණක් නොවේ. එය සිවිල් සමාජ ක්ෂේත‍්‍රයේද සිදුවිය. ලංකාවේ ‘ව්‍යතිරේක රාජ්‍යය’ පිළිබඳ සංසිද්ධියේ ඇති සුවිශේෂ ලක්ෂණය වන්නේ මෙයයි. එය නම් රාජ්‍යය සහ සිවිල් සමාජය යන ක්ෂේත‍්‍ර දෙකම යුදමයකරණයට සහ නිර්-ලිබරල්කරණයට ලක්වීමයි. මෙම ක‍්‍රියාවලියේ පලවිපාක අප රටේ දේශපාලන, සමාජ, සංස්කෘතික, මතවාද සහ බුද්ධිමය ක්ෂේත‍්‍ර ගණනාවකම ප‍්‍රකාශ වන සැටි අපට නිරීක්ෂණය කළ හැකිය. ‘ශක්තිමත්, ජාතික ආරක්‍ෂක රාජ්‍යයක්, පිළිබඳව හිටපු හමුදා නිලධාරීන් වෙතින් පමණක් නොව, බෞද්ධ භික්ෂු නායකත්වය වෙතින්ද තර්කයක් ගොඩනැගී තිබෙන්නේ මෙම ‘ව්‍යතිරේකකරණ’ ක‍්‍රියාවලියේ ප‍්‍රකාශනයක් ලෙසය.

දැන් මෙම ගැටලූව, ලංකාවේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රීයකරණ ක‍්‍රියාවලිය සමඟ සම්බන්ධ වී තිබෙන්නේ කෙසේද? එම ප‍්‍රශ්නයට පිළිතුරු දෙන සාකච්ඡුාවක ආරම්භක ස්ථානය ලෙස අපට සැලකිය හැකි නිරීක්ෂණයක් තිබේ. එය නම් රාජ්‍යය සහ පුරවැසියා අතර සම්බන්ධය නිර්ණය කිරීමේදී, එම සම්බන්ධතාවේ ප‍්‍රතිවිරෝධතා හා ගැටුම් සාධනීය ලෙස සමථනය කළ හැකි වඩාත්ම ප‍්‍රශස්ත මූලධර්ම තිබෙන්නේ සමාජ සාධාරණත්වයේ ඉලක්ක සමඟ සම්බන්ධ කරගන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහිය යන්නයි. මෙය වනාහි ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සපුරා බැහැර නොකර එහි දේශපාලන හරය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව පිළිබඳ මූලධර්ම සමඟ සංයෝග කරන ප‍්‍රවේශයකි. එයින් කියැවෙන තවත් දෙයක් නම්, ‘ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය’ යන්නෙන් ලංකාවේ ගොඩනැගිය යුතු තර්කය, නව-ලිබරල්වාදී ප‍්‍රජාතන්ත‍්‍රීයකරණ ක‍්‍රියාවලියක් නොව හරයාත්මක ප‍්‍රජාතන්ත‍්‍රීයකරණ ව්‍යාපෘතියක් විය යුතුය යන්නයි.
ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ විවාදය තුළ තවමත් නිරවුල් කරගෙන නැති මෙම කරුණ පැහැදිලි කරගැනීම වැදගත්ය. දැන් අපි ඒ සඳහා උත්සාහයක් ගනිමු.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ රාජ්‍යය අතර සම්බන්ධය දේශපාලන සහ නෛතික න්‍යාය තුළ සාම්ප‍්‍රදායිකව න්‍යායගත කරන ලද්දේ ලිබරල් දේශපාලන දර්ශනවාදය විසිනි. එහි රාජ්‍යය පිළිබඳව තිබූ මූලික උපකල්පනයක් වූයේ, රාජ්‍ය බලයට ප‍්‍රජා පීඩක ලෙස අවභාවිත කිරීමේ නිසර්ග ශක්‍යතාවක් තිබෙන්නේය යන්නයි. මෙය වනාහි යුරෝපීය වැඩවසම් රාජාණ්ඩුක‍්‍රමයේ ඓතිහාසික අත්දැකීමයි. ලිබරල්වාදය පරිකල්පනය කළ ආකාරයට පුරවැසි නිදහස සහතික කිරීම සඳහා කළයුත්තේ රාජ්‍යයේ/ආණ්ඩුවේ බලයට සීමා පැමිණවීමයි. රාජ්‍යය සතු නිසර්ග සිද්ධ මර්දනකාරී හා පීඩාකාරී බලය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සීමා කිරීමයි. නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සීමිත ආණ්ඩුව, සංවරණ සහ තුලන, නිදහස් මැතිවරණ, නීතියේ ආධිපත්‍යය සහ අයිතිවාසිකම් යන මේවා වූකලි, රාජ්‍යය සහ පුරවැසියා අතර තිබෙන සම්බන්ධතාවේ නිසර්ග සිද්ධ ප‍්‍රතිවිරෝධතාව සමනය කිරීමට ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් නිර්මාණය කරන ලද සංකල්ප, ආයතන සහ භාවිතයන්ය. ආණ්ඩුක‍්‍රමයක් හැටියට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පමණක් පිළිතුරු ඇති ප‍්‍රශ්නය වන්නේ, රාජ්‍යය සහ පුරවැසියා අතර ඇති සම්බන්ධය, ආයතනික වශයෙන් තුලනය කරන්නේ කෙසේද? යන්නයි.

එහෙත් මේ සාම්ප‍්‍රදායික ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමද අසම්පූර්ණ එකක් වී තිබේ. ඒ ගැන බොහෝ විවේචනද, එහි නිශේධනීය අත්දැකීම්ද තිබේ. ඒවා වෙනම සාකච්ඡුා කළ යුතු තේමාවකි. එය පසු අවස්ථාවකට කල් තබා, මෙතැනදී අපට අදාළ වන කරුණ නම්, ‘ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය’ යන්න සාම්ප‍්‍රදායික ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශයෙන් ඈතට ගොස් තිබෙන බවයි. වර්තමාන ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය පිළිබඳ සාකච්ඡුාව තුළ ප‍්‍රධාන ප‍්‍රවේශ දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම්, නව ලිබරල්වාදී අවමවාදී ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය සහ ඊට විකල්ප වශයෙන් ඇති හරයාත්මක ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයයි. මේ ප‍්‍රවේශ දෙකම, ලංකාවේ වර්තමාන ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ විවාදය තුළ ප‍්‍රකාශ වෙයි.

අවමවාදී ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය, ගෝලීයකරණය යටතේ සිදුවන නව ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරණ මතවාදයේම කොටසකි. එයින් අවධාරණය කරන්නේ, අවම මට්ටමේ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ සිදුකරමින්, ජාතික ආරක්ෂකවාදී රාජ්‍යය එලෙසම පවත්වා ගැනීමයි. මේ අවම මට්ටමේ ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයේ මූලික තේමාව වන්නේ නිසි කල පවත්වන මැතිවරණ, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස් ජනමාධ්‍ය, ක‍්‍රියාකාරී සිවිල් සමාජය, ස්වාධීන අධිකරණය යන මේවාය. මූලික අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය මෙම ව්‍යාපෘතියේ අංග වන නමුදු ජාතික ආරක්ෂණ රාජ්‍යයේ න්‍යාය පත‍්‍රයට සහ අවශ්‍යතාවන්ට ඒවා යටත් සහ ද්විතීයක විය යුතුය. ඒ අතරම, ජාතික ආරක්ෂණ රාජ්‍යයේ මර්දන ශක්තිය, නව යුදමය සහ තාක්ෂණික සම්පත් මාධ්‍යය කොටගෙන ශීඝ‍්‍ර ලෙස ශක්තිමත් කිරීමේ ඉලක්කයට, ප‍්‍රජාතන්ත‍්‍රීයකරණ ක‍්‍රියාවලිය ද්විතීයික විය යුතුය. ඒ දෙක අතර ගැටුමක් ඇතිවන්නේ නම්, ප‍්‍රමුඛත්වය දිය යුත්තේ පළමුවැන්නටය. එනම් රාජ්‍යයේ මර්දනකාරී ශක්තිය නවීකරණය කිරීමේ අවශ්‍යතාවටය. වර්තමාන යහපාලන ආණ්ඩුව දේශපාලන වශයෙන් කැපවී සිටින්නේ මෙවැනි අවමවාදී ප‍්‍රජාතන්ත‍්‍රීයකරණ ක‍්‍රියාවලියකටය. ඒකාබද්ධ විපක්ෂය වඩාත් කැපවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පිළිබඳ අංගයට නොව රාජ්‍යයේ මර්දනකාරී ශක්‍යතාව නවීකරණය කිරීමේ අංගයටය.

මීට තරගකාරීව, හරයාත්මක ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය සඳහා තල්ලූවක්ද ලාංකික සමාජයේ තිබුණත් එය ප‍්‍රමාණවත් ලෙස සංකල්පගතවී නැත. එහෙත් එම අපේක්ෂාවේ ප‍්‍රධාන අංග කෙනෙකුට පහසුවෙන් හඳුනාගත හැකිය. එහි ගැබ්වී තිබෙන ප‍්‍රධාන අදහස් කිහිපය, තරමක් ක‍්‍රමානුකූලව සූත‍්‍රගත කරන්නේ නම් මෙසේය.

(අ)    ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයේ අද නියම අභියෝගය වී තිබෙන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතන නාමික වශයෙන්, යළි ගොඩනැගීම නොව, ඒවායේ ආයතනික පදනම්, ප‍්‍රජාතාන්ත‍්‍රික භාවිත සහ ශක්‍යතා කල් පවත්නා ලෙසත්, පහසුවෙන් විනාශ කරනු ලැබීමට පාත‍්‍ර කළ නොහැකි වන ලෙසත්, ස්ථායීකරණය කිරීමයි. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, මැතිවරණ ක‍්‍රියාවලිය, පළාත් සභා, අධිකරණය, නීතිය හා සාමය පවත්වන ආයතන, මූලික අයිතිවාසිකම්, සංවරණ සහ තුලන සහ මහජනතාවට වගවීම යන සෑම ක්ෂේත‍්‍රයකම මෙම ‘ප‍්‍රජාතන්ත‍්‍රීය ස්ථායිකරණය ’(Democratic Stabilization) හදිසි සහ මගහැරිය නොහැකි අවශ්‍යතාවකි.

(ආ)      රාජ්‍යය ශක්තිමත් වන්නේ එහි විධායක සහ මර්දනකාරී ආයතන ශක්තිමත් කිරීමෙන්ම නොවේ. ඒවා ශක්තිමත් කරන අතරම, ඒවා රාජ්‍යයේ නියෝජන ආයතනවලටත්, මහජනතාවටත් වගකියන, ප‍්‍රජාතාන්ත‍්‍රික සංවරණ සහ තුලන යාන්ත‍්‍රණයන්ට යටත්, පුරවැසි නිදහස සහ රාජ්‍යාරක්ෂාව අතර ප‍්‍රජාතන්ත‍්‍රීය තුල්‍යතාවක් ගොඩනැගීමෙනි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන මෙන්ම සංවරණ සහ තුලන ව්‍යුහයනුත් ශක්තිමත් සහ ස්ථායී කිරීම එයට ඇති හොඳම සහ පහසුම විකල්පයයි.

(ආ)      ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගනවාය යනු ‘පුරවැසියන් වෙත මර්දනය පමණක් දියත් කිරීමට ප‍්‍රයෝජනවත් රාජ්‍යයේ ශාඛා ශක්තිමත් කරමින්, ඒවා මත සිවිල් දේශපාලනඥයන් යැපෙමින්, රාජ්‍ය ව්‍යුහයේ ඇති සිවිල් – මිලිටරි බලතුලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලීන්ට අවාසි වන පරිදි වෙනස් කිරීම නොවේ. රාජ්‍යයට නියම ශක්තිය ලැබෙන්නේ එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම් පුළුල් සහ ගැඹුරු කරමින්, සෑම පුරවැසියෙකුටම මෙන්ම, සෑම වාර්ගික ජනකොටසකම ස්වේච්ඡුාමය පක්ෂපාතීත්වය ලබා ගැනීමේ ශක්‍යතාව ඇති දේශපාලන සුජාතභාවයක්ද ගොඩනැගීමයි. හරයාත්මක සහ ගැඹුරු ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය ඒ සඳහා ඇති වඩාත් හොඳ විකල්ප මාවතයි.

ලිපිය දිග වැඩිවන නිසා එය මෙතැනින් නතර කරමින්, අවසාන වශයෙන් අපට කිව හැක්කේ මෙයයි. මර්දන ශක්තියට වැඩිබර දෙමින් ශක්තිමත් කරන ලංකාවේ රාජ්‍යයේ ශක්තිමත් පැවැත්මට ඇති ඉඩකඩ අඩුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම් සහ සුජාතභාවය ශක්තිමත් කරනු ලබන ලංකාවේ රාජ්‍යයට ශක්තිමත් වීමට ඇති ශක්තිය සැබැවින්ම ශක්තිජනක වීමට ඇති අවකාශ වැඩිය.