රාවය

මහාමාර්ග හා ගම්

මහාමාර්ග හා ගම්

 

පුනරුදය ව්‍යාපාරය නිසා දැන් මා හැම සති අන්තයකම පාහේ විවිධ ප‍්‍රදේශවල සැරිසරන එක්තරා විශාල ප‍්‍රමාණයකට සංචාරක ජීවිතයක් ගතකරන පුද්ගලයෙකු බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. ඒ නිසා පොත් ලිවීමේ කටයුත්තට බාධාවක් වී ඇතත්, ගතකරන්නට ලැබී ඇති අලූත් ජීවිතය අසිරිමත් ජීවිතයක් ලෙසද සැලකිය හැකිය.

ආස්වාදජනකම අත්දැකීම ලෙස සැලකිය හැක්කේ යන ප‍්‍රදේශවල සිටින රාවය පාඨකයන් හමුවී ඔවුන් සමඟ කතා කරන්නට අවස්ථාවක් ලැබීමය. අපිට අලූත් විදියට හිතන්න පුරුදු කළේ රාවය යයි කියා බොහෝ දෙනෙකු සිරිතක් වශයෙන් කියති. අපි සඟරාව කාලේ ඉඳලා රාවය කියවන පාඨකයෝ යැයි තවත් අය කියති. අපි සිංහල භාෂා දැනුම දියුණු කරගත්තේ රාවය නිසාය කියන කතාව ඉඳහිට හෝ අසන්නට ලැබෙන්නේ සිංහල නොවන මුස්ලිම් හෝ දෙමළ අයගෙනි. ඔවුන් හමුවන්න ලැබීම හා ඔවුන්ගේ මුහුණු බලාගෙන කතා කරන්න ලැබීම අසිරිමත් දෙයක් ලෙස සැලකිය හැකිය.

රාවයේ බලපෑම ඈත ගම් නියම්ගම්වල සමහර අය කෙරෙහිද බලපා තිබේ. රාවය කියවන පාඨකයන් සාමාන්‍යයෙන් සැලකෙන්නේ වෙනත් පුවත්පත් කියවන පාඨකයන්ට වඩා දියුණු බුද්ධිමත් අය වශයෙනි. පුනරුද ව්‍යාපාරයේ ප‍්‍රවර්ථක බලය බවට පත්ව තිබෙන්නේ ඔවුහුය. රටේ විවිධ ප‍්‍රදේශවලට යමින් රටේ සුන්දරත්වය නරඹන්න අවස්ථාවක් ලැබීම අලූත් ජීවිතය නිසා ලැබී තිබෙන තවත් වාසනාවන්ත දෙයක් ලෙසද සැලකිය හැකිය. රටේ ලස්සන අස්සේ සැඟවී තිබෙන අවලස්සන යථාර්ථයන් ඒ නිසා වඩා හොඳින් දැකීමට හා තේරුම් ගැනීමට හැකිවී තිබෙන බවද කිව හැකිය. විශේෂ වශයෙන් රටේ කෘෂිකර්මය හා කෘෂිකර්මයෙන් ජීවත් වන ගොවි ජනයා ඇද වැටී තිබෙන තත්ත්වය ඉතාමත් ඛේදජනකය.

කෘෂිකර්මයේ අවුල

මම ගිය සති අන්තයේදී පදවියටත් එහි සිට කන්තලේටත් ආපසු එන ගමනේදී දඹුල්ලේ පැවති පුනරුද ව්‍යාපාරයේ මාතලේ දිස්ත‍්‍රික්ක සභා සාකච්ඡුාවකටත් සහභාගි වුණෙමි. පදවිය සිංහලයන්ට පමණක් සීමාවූ ප‍්‍රදේශයකි. එහි දෙමළ හෝ මුස්ලිම් ජනගහනයක් ඇත්තේම නැති තරම්ය. කෘෂිකර්මය ඒ ප‍්‍රදේශයේ ජනයාගේ ප‍්‍රධාන ජීවන මාර්ගය වුවත් කෘෂිකර්මය තිබෙන්නේ ලොකු අවුලකය.

පදවියේ පමණක් නොව වියළි කලාපයේ බොහෝ ප‍්‍රදේශවල ජනයාට ජලය නැතිකම නිසා කන්න තුනක් හෝ හතරක් වී ගොවිතැන් කරන්නට හැකිවී නැත. වන සතුන්ගෙන් එල්ල වී තිබෙන ආක‍්‍රමණ නිසා ගොඩ ඉඩම්වලින් උපයා ගතහැකි ආදායමද හීන කිරීමට හේතුවී තිබේ. අප පදවියේ නැවතුම් ගත් නැවතුම් පොළේ හිමිකරුවා කීවේ මේ කන්නයේ කුඹුරු වගා කිරීමට අවශ්‍ය ජලය ලැබුණද රුපියල් 350ට තිබුණු පොහොරවල මිල රුපියල් දෙදහස් ගණන් දක්වා වැඩිවී තිබීම නිසා පැළ ගොයමට අවශ්‍ය පොහොර දැමීම ලොකු ප‍්‍රශ්නයක් වී තිබෙන බවය.
මිනිස්සු අනවශ්‍ය තරමට කුඹුරු ගොවිතැනට කොටුවී සිටීම ඔවුන්ගේ දුප්පත්කම කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. සියලූ බෝග වගාවන් අතර වී ගොවිතැන අඩුවෙන්ම ආදායම් උපයා දෙන වගාවක් ලෙස සැලකිය හැකිය. වී ගොවිතැනේදී ශ‍්‍රමය අවශ්‍යවන්නේද කන්නයක් සඳහා දින 19ක් පමණය. වී කිලෝවක් නිපදවීම සඳහා අවශ්‍ය ජල ප‍්‍රමාණය ලීටර් 600ක් තරම් විශාලය.

වී ගොවිතැනට ලබාදී තිබෙන ප‍්‍රමුඛ වැදගත්කම නැති කොට වැඩි ආදායම් උපයාගත හැකි බෝග වගාවන් සඳහා ගොවි ජනයා යොමු කළ යුතුය. එහෙත් ඒ සඳහා වන හරි දැක්මක් බලධාරීන්ට නැතිවා සේ ම ගොවීන්ටද නැත. මස් සඳහා හා කිරි සඳහා පිළිගත හැකි ස්ථිර ප‍්‍රතිපත්තියක් රටට නැතිකම නිසා ගව පට්ටි පාලනය තිබෙන්නේද අවුල්සහගත තත්ත්වයකය. කිරිවලට පමණක් හරක් හැදීම ආර්ථික වශයෙන් ඵලදායී වන්නේ නැත. හරක් මස් සම්බන්ධයෙන් පවත්වාගෙන යන යල්පැනගිය ප‍්‍රතිපත්ති නිසා ගව පට්ටි පාලනය ආර්ථික වශයෙන් ඵලදායී නොවන දෙයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. කිරි කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය නම් හා මහජනයා දියර කිරි පානයට යොමු කිරීම අමාරු නම් ලංකාව කිරිපිටි තනන තැනකට යායුතුය.

යෝගට් කර්මාන්තය සඳහා දියර කිරි වෙනුවට කිරිපිටි පාවිච්චි කිරීම වඩා ලාභදායී නම් යෝගට් කර්මාන්තකරුවන් මිලදී ගන්නේ දියර කිරි නොව කිරිපිටිය. එවිට කිරි ගොවීන්ට තමන් නිපදවන කිරි ඉවත දැමීමට සිදුවේ. ලංකාවෙන් දියර කිරි මිලදී ගෙන රටට අවශ්‍ය කිරිපිටි නිපදවන ලොකු කර්මාන්තශාලා රටේ තිබේ නම් ගොවීන්ට තමන් නිපදවන කිරි විසි කරන්නට සිදුවන්නේ නැත. ලංකාවට දියර කිරි කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය නම්, ඒ මගින් කිරිපිටි අපනයනය සඳහා දරන්නට සිදුවී තිබෙන අතිවිශාල වියදම කපා හැරීමට අවශ්‍ය නම් හරක් මස් කර්මාන්තය සඳහා තිබෙන තහංචි නීති ඉවත් කරන අතර ලංකාවට අවශ්‍ය කරන කිරිපිටි නිපදවිය හැකි ලොකු කිරි පිටි කර්මාන්ත ශාලා දෙක තුනක් ඇති කළ යුතුය. කිරි නිපදවන ගොවීන් සඳහා ඔවුන් නිපදවන කිරි සඳහා ස්ථිර වෙළෙඳපොළක් ඇතිවනු ඇත්තේ එවිටය. කිරි ගොවිතැන බටු හරක් මත යැපෙන ක‍්‍රමයෙන්ද ඉවත් විය යුතුය. හරක් ඇති කරන ගොවීන්ට දිනකට කිරි ලීටර් 15ක් හෝ 20ක් ලබාගත හැකි එළ හරක් හදන තැනකට යොමු කළ යුතුය.

පාලනයකින් තොරව වන සතුන්ගේ ගහණය වර්ධනයවීමෙන් කෘෂිකර්මයට සිදුවී තිබෙන අතිවිශාල හානිය වැළකීමට අවශ්‍ය පියවර ගැනීමකින් තොරව ලංකාවේ කෘෂිකර්මය නගා සිටුවිය නොහැකිය. වන සතුන්ගේ ආක‍්‍රමණ නිසා අලූත් දේවල් වගා කිරීමෙන් වැළකී සිටින ගොවීන්ගේ සංඛ්‍යාව අතිවිශාලය. පාලනයකින් තොරව තවදුරටත් වන සතුන්ගේ ගහනය වර්ධනය වන්නට ඉඩදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළහොත් ඉන් කෘෂිකර්මයට සිදුවන හානිය ඊටත් වඩා විශාලය. දැනටමත් ඒ ප‍්‍රශ්නය තිබෙන්නේ සීමාව ඉක්මවා ගිය තැනකය.

මාර්ගවල ඇතිවී තිබෙන දියුණුව

රටේ විවිධ ප‍්‍රදේශවලට යන ගමන්වලදී මහා මාර්ග විෂයෙහි ලොකු දියුණුවක් ඇතිවී තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. පදවියේ සිට කන්තලේ යන ගමනේදී අලූතෙන් ඉදිකළ ලස්සන පාලම් ගණනාවක්ම දකින්නට ලැබුණි. ඊට පෙර ඒවාහි තිබී ඇත්තේ බත්තල් පාලම්ය. ත‍්‍රිකුණාමලයට ගිය අවස්ථාවලදීද එම ප‍්‍රදේශයේ විවිධ තැන්වල ඉදිකර තිබූ ලස්සන ලොකු පාලම් දකින්නට ලැබුණි. කින්යාවට ගිය අවස්ථාවකදී අප සමඟ කතාබහක යෙදී සිටි මුස්ලිම් පුද්ගලයකු කීවේ බත්තල් පාලම් තිබූ කාලයේදී පිට පළාත්වල මිනිසුන් එම කලාපයට නොපැමිණි බවත් කින්යාවේ මිනිසුන්ද අවශ්‍යම දේකට හැර ප‍්‍රදේශයෙන් පිටතට නොගිය බවත්, ඒ ආශ‍්‍රයෙන් ඇතිවී තිබෙන දියුණුවක් වේ නම් එහි ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බව කීවේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් කතා කළ පුද්ගලයා පවා පසුගිය ජනාධිපතිවරණයේදී ඡුන්දය පාවිච්චි කර තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිවය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මුස්ලිම් විරෝධී සිංහල අන්තවාදීන්ට උඩගෙඩි දෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකළේ නම් හා මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් සාධාරණව ක‍්‍රියාකිරීමට සමත් වී නම් යහපාලන ආණ්ඩුවක් ඇති නොවන්නට ඉඩ තිබුණි. එම නිරීක්ෂණ ඊට වඩා අඩු ප‍්‍රමාණයකට වුවත් දෙමළ ජනයාටද අදාළය.
යටිතල පහසුකම්වලදී විශේෂයෙන් මාර්ග හා පාලම්වලදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වර්ගවාදී අගතියකින් ක‍්‍රියාකර තිබෙන බවක් පෙනෙන්නේ නැත. ඒ බව උතුරට ගිය ගමනේදීද පෙනෙන්නට තිබුණි. එහෙත් දෙමළ ජනතාවගේ සාධාරණ දුක්ගැනවිලිවලදී සංවේදීවීමට අවශ්‍ය ශික්ෂණය මහින්දට නොතිබුණි. එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු මොන මොන හේතු නිසා හෝ කැරලි ගැසුවේ මේ රටේම තරුණ පිරිසක් බව තේරුම් ගනිමින් එය එසේ වූයේ ඇයිද කියා සොයා බලන තැනකට යාමට අවශ්‍ය කරන ප‍්‍රඥාව තිබුණේ නම් මහින්ද රාජපක්ෂගේ කතාව ලියවෙන්නට ඉඩ තිබුණේ දැන් ලියවී තිබෙන ආකාරයට නොව ඊට වෙනස් ආකාරයකටය.
කින්යාවේදී දකින්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් මෙසේය. එය ලංකාවේ තිබෙන සුන්දරම ප‍්‍රදේශයකි. කාපට් යොදා ඉදිකළ නවීන පාරවල් හා ලොකු ජල මාර්ග හරහා ඉදිකර තිබෙන ලස්සන දැවැන්ත පාලම් ඒ ප‍්‍රදේශයට ආවේණික සුන්දර බව දෙගුණ තෙගුණ කිරීමට හේතුවී තිබේ. එහෙත් තාමත් එම ප‍්‍රදේශයේ මිනිසුන් ජීවත් වන්නේ බත්තල් පාලම් තිබුණු කාලයේදී ජීවත් වූ ආකාරයටමය. එම ප‍්‍රදේශයට ලැබී තිබෙන නව වටිනාකම් ප‍්‍රශස්ත ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට ප‍්‍රදේශවාසීන් සමත් වී නැත. ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාදී තිබෙන බවක්ද පෙනෙන්නට නැත.

එහි හොඳ ආහාර වේලක් ගන්නට තැනක් නැති තරම්ය. පිසූ ආහාර විකුණන කඩවලින් අඩුවක් නැතත්, ඒ හැම තැනකම තිබෙන්නේ ෆ‍්‍රයිඞ් රයිස් හා බත් පමණය. මේ දෙවර්ගයද ප‍්‍රශස්ත තත්ත්වයක නොපවතී. රොටි වර්ග හැරුණු විට තෝරා ගැනීමට තුන්වැනි දෙයක් නැත. එය මාළු බහුල ප‍්‍රදේශයක් වුවත්, පිසූ මාළු වශයෙන් විකුණන්නේ පුංචි මාළු පමණය. කුලියට දෙන නැවතුම් පොළවල් බිහිවී ඇතත්, ඒවාද ප‍්‍රශස්ත තත්ත්වයක නොපවතී. අප නැවතුම් ගත් ස්ථානයේ කාමර පිරිසිදු තත්ත්වයක තිබුණද නැවතුම් ගන්නන්ට ආහාර දෙන ක‍්‍රමයක් එහි තිබුණේ නැත. ආහාර ඇණවුම් කළ විට කරන්නේ කඩයකින් ආහාර ගෙනවිත් දීමය. මෙය හැම නැවතුම්පළකම දක්නට ලැබෙන ලක්ෂණයක් බවද අසන්නට ලැබුණි.

මාර්ග ප‍්‍රතිපත්තියේ අවුල

ලංකාවේ මහාමාර්ග තිබෙන්නේ ඉතාමත් දියුණු තත්ත්වයකය. ජාත්‍යන්තර දර්ශක අනුව පවා ලංකාවේ මහාමාර්ග තිබෙන්නේ ප‍්‍රශස්ත තත්ත්වයකය. එය රටේ එක ප‍්‍රදේශයකට සීමාවූ දෙයක් නොව පොදුවේ මුළු රට පුරා පවත්නා තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ මහාමාර්ග හිමිකරගෙන තිබෙන දියුණුවේ මට්ටම අනුව ලංකාව අධිවේගී මාර්ගවලට නොයායුතුව තිබිණි. ඒ වෙනුවට දුම්රිය මාර්ග සංවර්ධනය කරන හා රටේ දුම්රිය සේවය සංවර්ධනය කරන තැනකට යායුතුව තිබුණි. ඊට අතිරේකව මාර්ග තදබදය ලිහිල් කිරීමට හේතුවන ලෙස තෝරාගත් අතුරු මාර්ග සංවර්ධනය කරන තැනකට යායුතුව තිබුණි.

දුම්රිය මාර්ගවලට ආවේණික ලොකුම ප‍්‍රශ්න දෙක ලෙස සැලකිය හැක්කේ දුම්රිය මාර්ග හරහා දුම්රිය නොවන අතුරු මාර්ග 1000ක් පමණ තිබීම හා බොහෝ දුම්රිය මාර්ග මං තීරු එකකට සීමාවී තිබීමය. වේගවත් දුම්රිය සේවයක් සඳහා දුම්රිය මාර්ගය හරහා වැටී තිබෙන සියලූ අතුරු මාර්ග දුම්රිය ගමනේ වේගයට අවහිරයක් නොවන ලෙස උඩින් හෝ යටින් යන අතුරු මාර්ග බවට පත්කිරීමට අවශ්‍ය වන අතර කාර්යක්ෂම දුම්රිය සේවයක් සඳහා සියලූ දුම්රිය මාර්ග අවම වශයෙන් මං තීරු දෙකේ දුම්රිය මාර්ග බවට පත් කළ යුතුය. මා හිතන්නේ බොහෝ විට දක්ෂිණ අධිවේග මාර්ගය ඉදිකිරීමට කරන ලද ආයෝජන වියදමට සමාන වියදමකින් මා කියන ලද දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමට පුළුවන්කම තිබිණි. මක්නිසාදයත් මංතීරු දෙකේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ සඳහා අලූතෙන් ඉඩම් අත්පත් කරගැනීමක් අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ඉඩම් දුම්රිය දෙපාර්තමේන්තුව සතුය. ලොකු වියදමක් යන්නේ ඉඩම් අත්පත් කරගැනීම සඳහාය. ඉඩම් අත්පත් කරගැනීම සඳහා වියදමක් නොයන නිසා දක්ෂිණ අධිවේග මාර්ගය ඉදිකිරිම සඳහා දරන ලද වියදමෙන් දුම්රිය ගමනාගමන විෂයෙහි මා යෝජනා කරන වෙනස්කම් ඇති කර ගන්නට පුළුවන්කම තිබුණි.

දක්ෂිණ අධිවේග මාර්ගය හදනවා නම් හදන්න තිබුණේ දුම්රිය ඉඩම්වල දුම්රිය මාර්ගයට උඩිනි. මාතර සිට කොළඹ දක්වා දුම්රිය මාර්ග ප‍්‍රතිසංස්කරණය හා අධිවේග මාර්ගය ඉදිකිරීම එක ව්‍යාපෘතියක් බවට පත් කරගත යුතුව තිබුණි. එවිට ඉඩම් අත්පත් කරගැනීම සඳහා යන විශාල වියදම නැතුව එම දුම්රිය මාර්ගය දුම්රිය මාර්ග හරහා යන හරස් පාරවල් නැති මංතීරු දෙකේ දුම්රිය මාර්ගයක් බවට පත්කිරීමට හැකිවන්නට ඉඩ තිබුණි. එවිට එකම වියදමකින් අධිවේග මාර්ගයකට අතිරේකව මාතර සිට කොළඹ දක්වා වන ශීඝ‍්‍රගාමී දුම්රිය මාර්ගයක්ද ඉදිකිරීමට සමත් වන්නට ඉඩ තිබුණි.

අධිවේග මාර්ග අවශ්‍යද?

අඩුම වශයෙන් දක්ෂිණ අධිවේග මාර්ගය ඉදිකිරීමෙන් පසුවවත් අධිවේග මාර්ග ඉදිකිරීමෙන් වැළකී, දුම්රිය මාර්ග හා දුම්රිය සේවය සංවර්ධනය කරන තැනකට යායුතුව තිබුණි. දක්ෂිණ අධිවේග මාර්ග අත්දැකීමෙන් උගත යුතු පාඩම් තිබුණි. ලංකාවේ අධිවේග මාර්ගවලින් ඒවා නඩත්තු කිරීමට යන වියදමට වැඩි දෙයක් ආපසු නොලැබෙන බව ඉන් උගත යුතුව තිබුණු ලොකුම පාඩම වී යැයි කිව හැකිය. අධිවේග මාර්ග ඉදිකිරීම සඳහා යන වියදම අතිවිශාලය. දැනට ඉදිකර තිබෙන සියලූ අධිවේග මාර්ග සඳහා වැය කර තිබෙන වියදම් සැලකිල්ලට ගත් විට මාර්ග කිලෝමීටරයක් සඳහා වැය කර තිබෙන සාමාන්‍ය වියදම ඩොලර් මිලියන 33.4ක් වන අතර රුපියල් අගය අනුව මාර්ග කිලෝමීටරයක් සඳහා වියදම රුපියල් මිලියන 10220කි. එය දැවැන්ත ධනස්කන්ධයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ලංකාව ලොකු මූල්‍ය අර්බුදයක තිබෙන රටක් ලෙස සැලකිය හැකිය. එවැනි රටක් විසඳාගත යුතු වඩා වැදගත් ප‍්‍රශ්න තිබියදී හා දියුණු මාර්ග පද්ධතියක් තිබියදී තවදුරටත් අධිවේග මාර්ග කිලෝමීටර් 356ක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 1331ක් වැනි දැවැන්ත මුදලක් පොලී පදනමක් මත ණයට ගෙන එම ඉලක්ක සපුරා ගැනීමට ක‍්‍රියාකරයි නම් එය සැලකිය හැක්කේ රටට කරන ලොකු අපරාධයක් ලෙසය.

හදන අධිවේග මාර්ගවලින් උපයා ගතහැක්කේ ඒවා නඩත්තු කිරීමට යන වියදම පමණක් නම් හා ඒ සඳහා කරන ආයෝජන වියදම් උපයා ගැනීමේ හැකියාවක් නැති නම් රුපියල් බිලියන 1300ක් වැනි විශාල මුදලක් ණයට ගෙන අධිවේගී මාර්ග හදන තැනට යෑමෙන් රටට විය හැක්කේ මහා විනාශයකි. මේ වනවිටත් ලංකාව සිටිනුයේ ලබාගෙන තිබෙන ණය කන්දරාව සඳහා පොලිය හා වාරික ගෙවා ගැනීමටත් බැරි තත්ත්වයකය. ඒවා ගෙවන්නට සිදුවී තිබෙන්නේ රටේ දේපළ විකිණීමෙනි. ලංකාව ආර්ථික වශයෙන් ඇද වැටී තිබෙන එම අවාසනාවන්ත තත්ත්වය නොසලකා අධිවේගී මාර්ග සෑදීම සඳහා මුදල් ණයගෙන වියදම් කරන තැනකට ගියහොත් ලංකාව පූර්ණ බංකොළොත් තත්ත්වයකට පවා පත්විය හැකිය. දේශපාලන නායකයන් එම විෂයේ පවත්නා ඇත්ත තත්ත්වය කීමට කැමති නැත. ඒ වෙනුවට වැඩි වැඩියෙන් විදේශ ණය ගෙන රටේ කටයුතු පවත්වාගෙන යාමට කැමතිය. දැන් ලංකාව සිටින තත්ත්වය අනුව එවැනි ප‍්‍රතිපත්තියකින් රට තල්ලූ කරනු ඇත්තේ මහා විනාශයකටය. ලංකාවේ අධිවේග මාර්ගවල දක්නට තිබෙන අවලස්සනම හා විනාශකාරී ලක්ෂණ වනුයේ උඩින් යන මාර්ග ඉදිකරනවා වෙනුවට පස් කඳු ඇති කොට එම පස් කඳු මත දුවන මාර්ග ඇති කිරීමය. අධිවේගී මාර්ග සඳහා අවශ්‍ය කෘත‍්‍රිම පස් කඳු සඳහා පස් ලබාගන්නේ ස්වාභාවික පස් කඳු කපාය. ඒ පස් කඳු මත ගොඩ නගන අධිවේගී මාර්ග ස්වභාව ධර්මයට, භූමියට, ජල මාර්ගවලට හා ගොවිබිම්වලට කරන විනාශය අතිවිශාලය. එය මහ පොළොව කෙරෙහි ඇති කරන බලපෑම සේ ම ඒ මහ පොළොවේ වගා කරන ගොවීන් කෙරෙහි ඇති කරන බලපෑම ඉතා විනාශකාරීය.

කෘෂිකර්මය හා ගම් නගා සිටුවීම

මීට පෙර මේ ලිපියේ අන් තැනක පෙන්වා දෙන ලද ආකාරයට රටේ මහා මාර්ගවල ලොකු දියුණුවක් පෙනෙන්නට ඇතත්, මහා මාර්ගවල ඇතිවී තිබෙන දියුණුවට සාපේක්ෂව ගම්වල දියුණුවක් ඇතිවී නැත. ග‍්‍රාමීය කෘෂිකර්මය තිබෙන්නෙ අවුලෙන් අවුලට ගිය අරාජක තත්ත්වයකය. ගම්වලට ගිය විට බොහෝ ගෙවල්වල, රූපවාහිනී යන්ත‍්‍රයක්, ශීතකරණයක්, මෝටර් සයිකලයක් හෝ ත‍්‍රිරෝද රථයක් තිබෙනු දැකිය හැකිය. එහෙත් හොඳින් කරුණු සලකා බලන විට පෙනී යන්නේ ඔවුන් ඒවා තම ඉතිරි කිරීම්වලින් මිලදී ගත් භාණ්ඩ නොවන බවය. ගම් ආක‍්‍රමණය කර තිබෙන මයික්‍රො ක්‍රෙඩිට්, ෆිනෑන්ස් සමාගම්වලින් අධික පොලියට ලබා ගත් ණයවලින් මිලදී ගෙන තිබෙන භාණ්ඩ බවය. එකී ෆිනෑන්ස් සමාගම් ගම්වල ඉටුකරමින් තිබෙන කාර්යභාරය ඉතාමත් විනාශකාරීය. ඇපකරයකින් තොරව ණය දෙන විට ගම්මු කිසිදු විචාරයකින් තොරව ණය ලබා ගනී. අධික පොලියට ලබා ගන්නා ණය යොදාගන්නේ ආර්ථික මාර්ග ඇති කර ගැනීම සඳහා නොව, පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහාය. එම තත්ත්වය ගම්මුන්ගේ ණයගැතිභාවය වේගවත් ලෙස වර්ධනය කිරීමට හේතුවී තිබේ.

පරම්පරා ගණනක් තිස්සේ ඉඩම් දරුවන් අතර බෙදීයෑම නිසා බොහෝ කෘෂිකාර්මික ඉඩම් තිබෙන්නේ අනාර්ථික තත්ත්වයකය. වගා කිරීමට ප‍්‍රමාණවත් තරම් ඉඩම් නැතිකම ග‍්‍රාමීය සමාජයේ හැමතැනකම පාහේ දක්නට ලැබෙන ගැටලූවක් ලෙස සැලකිය හැකිය. යල් පැනගිය ගොවිතැන් ක‍්‍රම ග‍්‍රාමීය ජනතාවගේ දුප්පත්කම කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් සාධකයකි. තිබෙන ආදායම් මාර්ග ප‍්‍රශස්ත ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට ඔවුන් දන්නේ නැත. ඔවුන්ට ඒ සඳහා මගපෙන්වන ක‍්‍රමයක්ද නැත. වන සතුන්ගෙන් කෘෂිකර්මයට සිදුවෙමින් තිබෙන හානියද අතිවිශාලය. තමන් කරන වගාවන්ට වන සතුන් දිගින් දිගට හානි කරන විට ගොවිතැන් කිරීමෙන් වැළකී සිටීමේ නැඹුරුවක් ඇතිවී තිබෙන බව දැකිය හැකිය. එය වගා කිරීමෙන් වැළකී සිටින ඉඩම්වල ඇතිවී තිබෙන වේගවත් වර්ධනයට බලපා තිබෙන ප‍්‍රධාන හේතුව ලෙස සැලකිය හැකිය. සමෘද්ධි සහනාධාර ක‍්‍රමය පවා දුප්පත් මිනිසුන් දුප්පත්කමේ තබාගැනීමට මිස ඔවුන් දුප්පත්කමෙන් මුදා ගැනීමට හේතුවී නැත. දුප්පතුන්ට දිය යුතුව තිබෙන්නේ පරිභෝජනය සඳහා අවශ්‍ය මාළු නොව මාළු අල්ලා ගැනීම සඳහා අවශ්‍ය බිලී පිතිය. ග‍්‍රාමීය තරුණ පරපුර ගොවියකු වනවාට වඩා ත‍්‍රීවීලර් රියදුරකු වීමට කැමතිය. ත‍්‍රීවීලර් රථයක් සඳහා කරන වියදම ප‍්‍රශස්ත ආර්ථික මාර්ගයක් සඳහා ආයෝජනය කිරීමෙන් ත‍්‍රීවීලර් රථයකින් උපයාගත හැකි ආදායමට වැඩි ආදායමක් උපයා ගත හැකි බව ඔවුන් දන්නේ නැත. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙන ක‍්‍රමයක් රටේ ඇත්තේ නැත. එළු මස් කිලෝවක වෙළෙඳ පොළ මිල රුපියල් 2000කි. ධනවත් අය සඳහා පවත්වාගෙන යන ප‍්‍රභූ අවන්හල්වල එළු මස් ඇණවුම් කළ විට දෙන්නේ බැටලූ මස්ය. එළුවෙකු ජීව බරට විකිණෙන මිල කිලෝවක් සඳහා රුපියල් 1750කි. හොඳ වර්ගයේ එළු පට්ටියක් පවත්වාගෙන යන කෙනෙකුට ඉන් ලොකු ආදායමක් උපයා ගැනීමේ හැකියාව ඇතත්, ඒ බව ගොවීන් දන්නා බවක් පෙනෙන්නේ නැත. වැඩි දියුණු කළ බීජ අපනයනය සඳහා කරන වියදම අතිවිශාලය. ලංකාවට අවශ්‍ය කරන වැඩි දියුණු කරන ලද බීජ ලංකාවේම නිපදවිය හැකිය. ඒ සඳහා බීජ නිපදවීම සඳහාම වෙන් කෙරුණු ගොවිපොළවල් ක‍්‍රමයක් ඇති කළ හැකිය. ක‍්‍රමවත් ලෙස වැඩි දියුණු කළ බීජ නිපදවන්නන් ලංකාවට සිටින්නේ එක් අයෙකු පමණය. ඒ සීමාසහිත ඛ්බාප්රන ්ටරද ීැැාි පුද්ගලික සමාගම පවත්වාගෙන යන දංකොටුවේ ජයසිරි පේ‍්‍රමරත්නය. ඔහු කෘෂි විද්‍යාඥයකු වනවා සේ ම පුනරුද ව්‍යාපාරයේ නායකයෙකි.

ආදර්ශවල අවශ්‍යතාව

වගා කිරීම අත්හැර තිබෙන කුඹුරුවල මිරිදිය ඉස්සන් සඳහා ගොවි පොළවල් ඇති කළ හැකිය. ඒ මගින් එවැනි කුඹුරු හොඳ ආදායම් උපයන ආදායම් මාර්ග බවට පත් කළ හැකිය. ලංකාවට අවශ්‍ය වියළි මිරිස්වලින් ලංකාව නිපදවන්නේ සියයට 15ක් පමණය. වියළි මිරිස් සඳහා මිරිස් වැවීමෙන් කුඹුරු අක්කරයක් උපයන ආදායම මෙන් දහ ගුණයක් තරම් විශාල ආදායමක් ඉපැයිය හැකිය. කෘෂිකර්මයෙන් යැපෙන ග‍්‍රාමීය ජනතාව උපයන ආදායම් වර්ධනය කිරීම සඳහා තෝරාගත හැකි නව මාර්ග ඕනෑතරම් ඇතත්, රටේ නැත්තේ ඒ සඳහා කෙරෙන මගපෙන්වීම්ය. අවශ්‍ය මගපෙන්වීම් ලබාදීමට හැකි වෙතොත් හා ඒ සඳහා අවශ්‍ය ආදර්ශ ලබාදීමට හැකි වෙතොත් ග‍්‍රාමීය කෘෂිකර්මයේ දක්නට තිබෙන අරාජක තත්ත්වය නැති කළ හැකිය. අවශ්‍යවන්නේ ලංකාවට අර්තාපල් ගොවිතැන හඳුන්වා දුන් අල ගුණතිලක අල ගොවිතැන හඳුන්වාදීමට කරන ලද දේවලට සමාන ආකාරයකින් නවීන ගොවිතැන් ක‍්‍රම හා ජීවන මාර්ග ගැමි ගොවීන්ට හඳුන්වාදීමය.

අල ගුණතිලක වැලිමඩ නුවරඑළිය ප‍්‍රදේශවලින් පුරෝගාමී තරුණයන් කිහිපදෙනෙකු යොදා ගෙන අනුන්ට පෙනෙන ලෙස එහි අර්තාපල් වගා කෙරෙව්වේය. ඒ ප‍්‍රදේශයේ ගොවීන් එම තරුණයන් කරන එම අත්හදා බැලීම දෙස බලා සිටියේය. අර්තාපල් වගාව හොඳ ආදායම් උපයා දෙන මාර්ගයක් බව ඒ ප‍්‍රදේශයේ ගොවීන්ට පෙනෙන්නට වූ විට අර්තාපල් වගාව වසංගතයක් පැතිරෙන වේගයකින් එහි පැතිරුණේය. දකුණේ උපාධිධාරීන් පවා අල ගොවිතැන් කරන්නට එහි ගියේය.

මේ මොහොතේ ලංකාවටද අවශ්‍ය වන්නේ ඒ ආකාරයට ගොවීන්ට පෙනෙන ලෙස කරන ආදර්ශ අත්හදා බැලීම් ගණනාවකි. කෘෂිකර්මයට නොගොස් ගම්වල ත‍්‍රිරෝද රථ එලවන තරුණ පරපුර කෘෂිකර්මයට කැඳවා ගත හැකිවනු ඇත්තේද ලංකාවේ ගොවීන් කෘෂිකර්මයෙන් හොඳ ආදායම් උපයන ගොවීන් බවට පත්කර ගත හැකිවනු ඇත්තේද එවිටය. මිරිදිය ඉස්සන් වගාව ඒ සඳහා යොදාගත හැකි හොඳ අත්හදා බැලීමකි. කිසියම් සමාගමකට හෝ ධනය ඇති පුද්ගලයෙකුට අත්හැර තිබෙන කුඹුරු ඉඩමක් යොදාගෙන ඒ සඳහා වන සාර්ථක අත්හදා බැලීමක් කළ හැකි නම් එම ආදර්ශය වසංගතයක් ලෙස පැතිරෙනු නොඅනුමානය.