බොරැල්ල දිහා බලාගෙන හිටි සපතේරුවා

රේඛා නිලූක්ෂි හේරත්

කොළඹ නගරයේ විශාලම උපනගරය බොරැල්ල. බොරැල්ලේ අවුරුදු ගණනාවක් සිටි ඇතැම් මුහුණු අද බොරැල්ල පහුකරද්දීත් වෙනස් වෙලා නැහැ. බොරැල්ල පත්තර තට්ටුවේ, ස්වීප් කූඩුවේ මෙන්ම ආනන්ද භවන් එක ළඟ සිඟමන් යදින රාණි අක්කාද එලෙසින්ම ඉන්නවා. නෝලිමිට් එක ළඟ කපුරු බෝල වික්ක දෙපා අහිමි නම නොදත් මිනිසා මේ වෙද්දී මත්ද්‍රව්‍ය සිදුවීමකට සිරගත වෙලා. වයිඑම්බීඒ එක ළඟ හිටපු යතුරු හදන අයියා දැන් සොයන්නට නැහැ. ඔහුත් මීට පෙර වතාවක් ඇතුළට ගොස් එළියට ආවා. එක්කෝ නැවත ඇතුළට ගිහින් ඇති. නැත්නම් ඔහුට රැකියාව කරගෙන යන්නට ශක්තියක් නැතිව ඇති.

අපට වුවමනා වුණේ බොරැුල්ල හන්දිය ගැන කතාකරන්න නෙවෙයි. මේ කිව්ව මිනිසුන් අතර වසර ගණනාවක් තිස්සෙ බොරැුල්ල හන්දියේ අනිවාර්ය අංගයක් වුණ මිනිසෙකු මුණගැහෙන්නයි. ඔහු ගැන අප දැනසිටියේ කලෙක පටන්. ඔහුත් ඔහුගේ බිරිඳත් බොරැුල්ල හන්දියේම ජීවත්වෙනවා. ඔවුන් දෙන්නා එක්ක ඉතාම සමීපව ජීවිතය බෙදාගන්න බලූ සුරතලූන් තුන්දෙනෙක් සහ පූස් සුරතලූන් දෙන්නෙක්ද සිටිනවා. කුමාර අයියා කියන විදියට මිනිසුන්ට වඩා සමීපව මේ සුරතලූන් ඔහු ඇසුරු කරනවා.

‘අපි කන්න බොන්නත් කලින් එයාලා ගැන බලන එකයි කරන්නෙ.’ කුමාර අයියා කියා ඇත්තේ එහෙමයි. මේ සුන්දර පවුල මුණගැහෙන්න ගියත් කුමාර අයියාගේ බිරිඳ හිටියේ නැහැ. ඉතින් කතාව කුමාර අයියා එක්කයි. ඔහුගේ ගම බොරැල්ල. නම කුමාර. දන්නා උදවිය ඔහුට කුමාර කියා ඇමතුවත් ඔහුගේ සැබෑ නම දන්දෙනිආරච්චිගේ ගාමින්ද ප‍්‍රභාත් පෙරේරා.

ඔහු එක්ක මහා විශාල දේවල් කතාකරන්න වුවමනාවක් තිබුණෙ නෑ. පුංචි අත්දැකීම් දෙකතුනක් කතාකරන්නයි ඕනෑවුණේ. ඒත් පුංචි විස්තරය දිග සටහනක් බවට පත්වුණා.

කුමාර අයියාගේ රැකියාව සපත්තු මැසීම. ඔහු ඉන්නෙ බොරැල්ල හන්දියේ සිට කනත්ත පැත්තට වෙන්න. ආනන්ද භවන් එක ළඟ තියෙන පුංචි වේදිකාවක් වගේ තැනක. කට්ට අව්ව නිසා ඔහු කුඩයක් තියාගෙන ඉන්නවා. ඒ වගේම පාවිච්චි කළ කැරකෙන පුටුවක් සහ පුටුව එක්කම සවි කළ හිස සෙවණ කරගන්නට කුඩයක් තියෙනවා. අපි මුලින්ම යද්දී කුමාර අයියා හිටියේ නැති නිසා ඔහු එනතුරු අපි ආනන්ද භවන් එකට ගොඩවුණා. නැවත එද්දී ඔහු ඉන්නවා.

අව්වට සහ දුවිල්ලට චොකලට් පැහැගත් මුහුණ. පැසීමට ලක්වෙමින් රන්පැහැ ගැන්වුණු රැුවුල. වෙහෙසබර ඇස්. ගැලවෙන්නට අසීරු ඇබ්බැහිවීම් ගැන සලකුණු පෙන්වන දෙතොල් එක්ක ඔහු අපි එක්ක සිනාවුණා.

‘මොකක්ද දරුවො වෙන්න ඕනෑ?’ අපේ පා දිහා ඔහුගේ බැල්ම යොමුවුණේ ඔහු ළඟට එන බොහෝ දෙනෙක් තමන්ගෙ සපත්තුව මසාගන්නට එන නිසා විය යුතුයි. අපේ සෙරෙප්පු කෑලිවල මසන්නට දෙයක් නැති බව ඔහුට වැටහෙන නිමේෂයේදී අපි ආ කාරණාව කිව්වා.

‘අපි රාවය පත්තරෙන්. අපට ටිකක් අයියා එක්ක කතාකරන්න ඕනෑ.’ කතාබහ ඇරඹුණේ එහෙමයි.

කුමාර අයියා

බොරැල්ල ආනන්ද භවන් එකට පසුපස ඇති ටයිපින් වත්තේ සිටි ඔහු බොරැල්ලේ ඉපිද, බොරැල්ල හා කුරුඳුවත්ත අතර ඞී.එස්. සේනානායක විද්‍යාලයෙන් ඉගෙනගත්තා.

‘අද මගේ උපන්දිනය. අදට අවුරුදු පනහයි. 1968, 12 මාසෙ පස්වැනිදා හවස 1.15ට මම ඉපදුණේ. මගේ ගම මේක. මම ඉස්කෝලෙ ගියේ ඞී.එස්. එකේ.’ අපි ඔහුව හමුවුණේ ඔහුගෙ උපන්දිනයේයි.

‘මේ වත්ත ටයිපින් වත්ත කියන්නෙ. මම පොඩි කාලෙ ඉඳන් මේ වත්තෙ හිටියෙ. පස්සෙ මම පේව්මන්ට් එකට වැටුණා. තාත්තා තාත්තාගේ ලොකු අක්කාගේ පුතාට ගේ දුන්න හින්දා මම පේව්මන්ට් එකට ආවා. මම පින්තූර කොළ තමයි කාලයක් තිස්සෙ වික්කේ. මැරි කළේ බැඳලා හිටපු කෙනෙක්ව. එයයි මායි තට්ටුවක් ගහලා පුංචි කාමරේක ජීවත්වෙන්නේ.’ කුමාර අයියා එහෙම කියන්න පටන්ගත්තා. පුංචි කාලයෙ ඉඳන් බොරැල්ලේ ඉන්න කුමාර අයියා බොරැල්ලෙ සිදුවුණු හැමදෙයක්ම ගැන ඇහැ ගහගෙන හිටියා.

බොරැල්ල

කුමාර අයියා සහ බොරැුල්ල එකිනෙකට ගැටගැහී තියෙනවා. කුමාර අයියා පුංචි කාලයෙ බොරැුල්ල කියන්නෙ මේ තරම්ම කොන්ක‍්‍රීට් ගොඩක් නෙවෙයි. ඉඩපහසුව තිබුණු තැනක්. මේ තරම් දැවැන්ත පාරක් බොරැුල්ල මැද්දෙ තිබුණෙ නෑ. කාලය වේගයෙන් ගලාගිය හැටි බොරැල්ලේ ඉන්නකොට කුමාර අයියාට දැනෙනවා. බොරැුල්ල මුල් කාලයෙ වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් වූ බව කියනවා. බොහෝවිට කෝට්ටේ දෙසට බඩු ගෙනගිය කරත්ත බොරැුල්ලෙන් බඩු එකතුකරගත්තා.

ගාල මාකට් එක නමින් හැඳින්වූ බොරැල්ලේ කරත්ත ගාල්කළ තැනයි දැන් සුපර්මාකට් එක තැනී ඇතැයි කියන්නෙ. බොරැල්ලේ දැවැන්තම අසාර්ථක ව්‍යාපෘතිය වුණ සුපර්මාකට් එක මේ වෙද්දී දිරාපත්වෙලා, කඩාවැටෙනසුලූ වෙලා ඇතැයි එහි සේවය කරන අය කියනවා. ගාල මාකට් එක පමණක් නෙවෙයි, ගොනුන්ට කන්නට බොන්නට ඉඩ, ගාල් කරුවන්ට විවේක ගන්නට ඉඩ ඈත අතීතයේ බොරැල්ලේ තිබුණු බව කියනවා. මුස්ලිම් වෙළෙන්දන්, පසු කාලෙක පරංගින් වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස බොරැල්ල පාවිච්චි කළ බව කියනවා.

බොරු ඇළ පස්සේ කාලෙක බොරැුල්ල වූ බව කියනවා. පරංගියා කෝට්ටේ එක්කාගෙන යෑම නොහොත් ලොරන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසි නායකයන් කොටුවේ සිට කෝට්ටේ දක්වා එක්කාගෙන යද්දී බොරැල්ල හරහා නොගොස් වටයක් එක්කාගෙන ගියේ බොරැල්ලෙහි තිබුණු ඇළක් පෙන්වා එහි කිඹුලන් සිටින බව පවසමින්යැයි කියැවෙනවා. එදා කිඹුලන් සිටිනවායැයි බොරු කියූ ඇළ බොරු ඇළ වී පසුව බොරැල්ල වූ බව කියනවා. එහෙව් බොරැල්ල හන්දියේ කාෂ්ඨක අව්වක අපි කුමාර අයියා එක්ක හිටියේ. ආයෙමත් ඔහු කතාවට වැටෙනවා. බොරැල්ල ඔහු මතකයන් අවදි කරනවා.

‘මම මේ ඉඳගෙන ඉන්නෙ ඒ කාලේ ටයිපින් වත්ත තිබුණු තැන. ඒ කාලෙ මෙතැන වෙනකන්ම වත්ත තිබුණා. ඔය පාර ඔය සයිස් එකෙන් බාගයයි ඒ කාලේ. ඒ කාලෙ කඩ තිබුණෙ දැන් පාර මැද්දෙ. වාහන වැඩිවෙලා ට‍්‍රැෆික් වැඩිවෙද්දී පාර ලොකුවුණා.’

දැන් මේ පාරත් වාහනවලට ප‍්‍රමාණවත් නෑ. වාහන වේගයෙන් වැඩිවෙනවා. බොරැුල්ල හන්දියෙ ඉන්න කෙනෙක් ඒ වේගවත් වෙනස හොඳින් දකිනවා.

‘පාර හදන්න මෙතැන ටයිපින් වත්තෙ කොටසක් කඩන්න ඕනෑ. හැබැයි ජේ.ආර්. මහත්තයාට ඒක කරන්න විදියක් නැතිව හිටියේ. අසූතුනේදී කියලා කෙරෙව්වා වගේ අවස්ථාව උදාවුණා. කියලා කෙරෙව්ව ‘වගේ’ කිව්වාට ඇත්තට මොකද වුණේ කියලා රටම දන්නවනෙ. කළු ජූලිය බොරැල්ලෙන් පටන්ගත්තා. මම ඉස්කෝලෙ යන කොල්ලෙක් එතකොට. මෙතැන වත්ත මුලින්ම ගිනිතිබ්බා.’

කුමාර අයියා කළු ජූලිය පැත්තට කතාව ගෙනිච්චා. බොරැල්ල බස් නැවතුම්පලේදී චන්ද්‍රගුප්ත අමරසිංහ මහත්තයා ගත්ත ඛේදජනක ඡායාරූපය සිහිවෙනවා. කළු ජූලිය පටන්ගත්තේ 1983 ජුලි 23 වැනිදා. ඒක හොඳින් සැලසුම් කළ ප‍්‍රහාරයක් වුණත් ආරම්භ වෙන්නට හේතුව විදියට කීවේ යාපනයේ ගුරුනගර්හිදී හමුදා සෙබළුන් 15 දෙනෙකුට පහරදී ඉන් 13 දෙනෙකු මරා දැමීම. ඒ සෙබළුන්ගේ සිරුරු නිවෙස්වලට යවනවා වෙනුවට එය ජාතික කාරණයක් බවට පත් කරමින් සෙබළුන්ගේ සිරුරු බොරැල්ල කනත්තේ රාජ්‍ය අනුග‍්‍රහ සහිතව මිහිදන් කරන්නට ආණ්ඩුව සැලසුම් කළා. එහෙත් නිසි වෙලාවට සිරුරු ලබා නොදී ප‍්‍රමාද කළා. බොරැල්ලේ එක්ව සිටි දෙදහසකට වැඩි ජනතාව කලබල කරන්නට පටන්ගත්තා. බොරැල්ල හන්දිය දෙසට ආ පිරිස නාගලිංගම් වෙළෙඳසැල ගිනිතැබුවා. කලහකාරීන් බොරැල්ල ගිනිබත් කළා.

‘වත්ත ගිනිතිබ්බාට පස්සෙ ආණ්ඩුවෙන් සුන්බුන් අයින්කළා. වත්ත වහගෙන පාර පැත්තට වෙන්න තිබුණු කඩවලින් කිහිපයකුත් ගිනිතිබ්බා. ඒ කඩ ටිකත් අයින්කළා. කඩ තිබුණු අයට තාවකාලිකව කඩ හදලා දුන්නා වත්ත තිබුණු තැන. ඊට පස්සෙ පාර හදන්න පටන්ගත්තා.’ කුමාර අයියා එහෙම කියනවා.

‘හන්දියේ මට මතක මුල්ම කාලෙ තිබුණු ලොකුම බිල්ඩිම බීසීසී එක. ඔරලෝසු බිල්ඩිම. ලොකු ඔර්ලෝසුවක් තිබ්බා. ජාතිවාදී කලබලවලදී බීසීසී එකත් ගිනිබ තිබ්බා. දැන් දාස එක තියෙන්නේ ඒක තිබුණු තැනට එහා පැත්තෙන්. ඊට පස්සෙ දාස එකයි සුපර්මාකට් එකයි හැදුණා. ඒ දෙකත් ලොකුම බිල්ඩිං. හැබැයි මේ වෙද්දී ඒ දෙකටත් තැනක් නෑ. තවත් බිල්ඩිං හැදිලා. අලූතෙනුත් හැදෙනවා. උමඟත් හැදුණා.’ කුමාර අයියා එසේ කියද්දී දාස මුදලාලි ගැනත් යමක් සිහිපත් වෙනවා.

මාතර තලල්ලේ උපන් එස්.ඞී. ගුණදාස මහත්තයා අත් කරත්තයෙන් පටන්ගත් පුංචි වෙළඳාම දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්කොට ඩියුරෝ රෙදි වික්කා. හැත්තෑ ගණන්වල අතිදැවැන්ත දාස ගොඩනැගිල්ල හැදුවා. ඒත් දාස මුදලාලි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩු කාලයෙන් පසුව කඩාවැටෙන්න ගත්තා. මේවා ප‍්‍රසිද්ධ කතා. ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී දාසලා සමතලා කළයුතු බව කීවායැයි කියනවා. එවන් පසුබිමක දාස විනාශ වුණා. දාස, නවලෝක, මැලිබන් මුදලලාලිලාගේ කාලයෙන් පසුව පහත් තැන සිට දියුණු වූ මිනිසුන්ගේ කතා අහන්න ලැබෙන්නෙ අඩුවෙන්.

ගෝඨාභය

බොරැල්ලේ පෙනුම වෙනස්කරන්න වුවමනාවක් තිබුණු තවත් පුද්ගලයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ. කොටා පාරේ පැල්පත් කඩා ඉවත්කළ ගෝඨාභය රාජපක්ෂ කුමාර අයියා ඇතුළු බොහෝ දෙනෙක් රැුකියා කළ පේව්මන්ට් එකට අත තිබ්බා.

‘මම සපත්තු හදන්න පටන්ගත්තෙ ගෝඨාභය මහත්තයා ආවාට පස්සෙ. ඒ වෙනකන් අවුරුදු විස්සක් විතර තිස්සෙ මම ලොකු පින්තූර විකුණන එකයි කළේ. ඒත් ගෝඨාභය මහත්තයා අපිව සත්තු වගේ එළෙව්වා. ඉන්පස්සේ මම සපත්තු මහන්න ගත්තා. මෙතැන ඉඳගෙන සපත්තු මහන එකත් නවත්වන්න උත්සාහ කළා. ඒත් සපත්තු මහන්න මේක හැර වෙන ක‍්‍රමයක් නැති නිසා ඒකට ඉඩ දුන්නා.

හැබැයි හට් ගහන්න බෑ කිව්වා. ලොකු කුඩ ගහන්න බෑ කිව්වා. එතකොට මෙතැන අව්වට වැඩි කාලයක් ඉන්න බෑ. ගෝඨාභය මහත්තයා හිතුවෙ අපි අවුට් වෙයි කියලා. මෙතැන රස්සා කළ ගොඩාක් අය ගියා. ඒත් අපට යන්න තැනක් තිබුණේ නෑ. අපි පිටින් ආ අය නෙවෙයි, මේ ගමේ අය. ඉතින් අපි අව්වේ කට්ට කාගෙන හරි සපත්තු රස්සාවට ආවා.. අපිව අවුට් කරන්න හදපු අය අවුට් වුණා.

මම එයාලාගෙන් ඇහුවෙත් ඔයාලා මාව පේව්මන්ට් එකෙන් එළෙව්වා. මම හිටියා. මහත්තයාලට තේරෙනවා ඇති මම ගමේ කියලා. අපිව කරපු රස්සාවෙන් ඇදලා දැම්මාම අපට ඉතිරිවෙන්නේ හොරකම් කරන එකයි මාල කඩන එකයි විතරයි. ඒත් ඒක අපට පුරුදු නැහැ සර්. අපි හොඳට ඉගෙනගත්ත හොඳ මිනිස්සු. හොරා හිරේ යයි. ඒත් මට මේ වගේ රස්සාවක් කරගෙන හැමදාම ජීවත්වෙන්න පුළුවන්.’

ඉස්කෝලේ

‘මම ඞී.එස්. ආදිශිෂ්‍යයෙක්. ඕනෑම තැනක අභිමානයෙන් කියනවා මම ඞී.එස්. එකේ කියලා. මම හොරෙක් වංචාකාරයෙක් නෙවෙයි. මම අභිමානයෙන් රස්සාවක් කරගෙන ජීවත්වෙනවා. අනෙක මෙතැන හොරුන්ට මම ඉඩ දෙන්නෙත් නෑ. ඉතින් ඒවා මම ඞී.එස්. එකේදී ඉගෙනගත්ත ඒවා.

මම අදත් අලස් සර්ට පුදුම ආදරෙයි. අනෙක අපේ අලස් සර් මෙයා දුප්පත්, මෙයා වතුකරේ ඉඳන් ආවේ කියලා අඩුවෙන් සැලකුවේ නැහැ. සල්ලි තියෙන අයගේ දරුවන්ටවත්, ප‍්‍රසිද්ධ අයගේ දරුවන්ටවත් වැඩියෙන් සැලකුවේ නැහැ. මගේ පන්තියේ තමයි ජයන්ත රත්නායක හිටියේ. වික්ටර් රත්නායකගේ පුතා. සුජාතා අත්තනායකගේ පුතාලා දෙන්නාත් මගේ පන්තියේ ඉඳලා තියෙනවා. ඇලෝසියස් මුදලාලි කියලා වැල්ලවත්තේ ලොකු ධනයක් තිබුණු කෙනෙකුගේ පුතෙක් හිටියා අපේ පන්තියේ. අනිල්. අනිල්ලාගේ ගෙදර තියෙන්නේ පවුලේ අයගෙ ෆොටෝස්වලට අමතරව ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ෆොටෝ එක. ලොකු මිනිසුන්ගේ දරුවො එක්ක එක මට්ටමක අපි හිටියා. කාට හරි පහත් කරලා සැලකුවොත් අලස් සර්ට කේන්ති යනවා. ජාතිය ගත්තත් එහෙමයි. පන්තියේ මුස්ලිම් දෙමළ සිංහල අයට එකට හිටියා.

සමහරු අපව ඉස්කෝලෙට ලැජ්ජාවක් කියලා හිතන්න පුළුවන්. හැබැයි මගේ දිහා බාහිරින් බලලා එහෙම කියන්න කාටවත් අයිතියක් නෑ. හැම මනුස්සයාටම ටයිකෝට් දාන්න බෑ. හැම මනුස්සයාම බැංකුවල ලොක්කෝ වෙන්නෙ නෑ. හැම මනුස්සයාගේම ජීවිතවල ටර්නින් පොයින්ට් තියෙනවා. ඉස්කෝලෙන් ඉගෙනගත්තාද නැද්ද කියන එක නෙවෙයි කාරණය. ඉස්කෝලෙදි මම තරම් ඉගෙනගත්තෙ නැති අයත් දැන් ටයිකෝට් දාගෙන ඇති. මට වඩා ඉගෙනගත්ත අයත් ඇති මම වගේ අසරණ වුණ. කොහේහරි දුක් මහන්සියෙන් හම්බකරන් කන අය.
මම ඉස්කෝලෙ හොඳට වැඩ කරගෙන ආවා. ක‍්‍රීඩා කළා හොඳට. ඒ කාලේ මා එක්ක හිටි අය දන්නවා මම ෆුට්බෝල් ටීම් එකේ වැදගත් ක‍්‍රීඩකයෙක්. ඒත් නවය වසරෙන් දහය වසරට මම ඉස්කෝලෙ ගියේ නෑ. ෆේල් වුණේ නෑ පාස්. ඒත් ඉස්කෝලෙ යන්න පසුබිම නැතිවුණා. අම්මා අන්තරා වුණා. තාත්තා බේබද්දා වුණා. ගෙදර ලොකුඅම්මාගේ පුතාට දුන්නා. අම්මාගේ ගෙවල් පැත්තට ගියා. එතකොට එතැනිනුත් ප‍්‍රශ්න ඇතිවුණා. කරගන්න දෙයක් නැතිවුණාම පේව්මන්ට් එකට වැටුණා. හැබැයි මම හොරෙක්, වංචාකාරයෙක් වුණේ නෑ. පේව්මන්ට් එකේ මම හිටියා.’

පාසල ගැන කතාවේදී කුමාර අයියා ටිකක් හැඟීම්බර වුණා. ඒත් කුමාර අයියා තමන්ගේ පාසලට අගෞවරයක් කරනවා වෙනුවට අභියෝගවලට මුහුණදෙමින් ජීවත්වෙන්නෙ පාසලට ගෞරවයක් අත්කර දෙමින්.

‘අපේ ඉස්කෝලෙන් බිහිවෙන්නේ හොඳ මිනිස්සු විතරක් කියලා මම කියන්නේ නෑ. එහෙම වෙන්නෙ කොහොමද. ළාබාලම පාතාල නායකයා වෙච්ච ඕල්කට්, සක්විති රණසිංහ වගේ අයත් අපේ ඉස්කෝලෙ හිටියා. ඒත් හොඳ මිනිහෙක්ට බිහිවෙන්න ඕනෑ පසුබිම ඉස්කෝලෙ හැදුණා.’
පාසල්වලින් බිහිවෙන ආදි සිසුන් ජාතිවාදයක් මෙන් පාසල්වාදයක් සිතට ගනිද්දී කුමාර අයියා කියන්නෙ එහෙමයි.

‘හැබැයි ඉස්කෝලෙ හොඳ මිනිහෙක්ට බිහිවෙන්න ඉඩ තියෙනවා. මට අවාසනාවට ඉස්කෝලෙට යන්න බැරිවුණා. නැත්නම් මට ඉස්කෝලෙන් ලොකු දුරක් යන්න ඉඩ තිබුණා. අලස් සර් ඒකට පසුබිම හැදුවා. අපට වුණත් සම මට්ටමේ ඉන්න ඉඩ තිබුණා. මම ෆුට්බෝල් කළා. ක‍්‍රිකට් කළා. මලික් අලස්ලා, අරවින්දලා එක්ක මම ක‍්‍රිකට් ගැහුවේ. ඉස්කෝලෙ නිසායි මට එහෙම අවස්ථාවක් ලැබුණේ.’

 

ඞී.ඇස්. සේනානායක විද්‍යාලය එදා මෙන් වෙනස් පොළොවක්ද, නැත්නම් අනෙක් පාසල් මෙන් තවත් එක් පාසලක්දැයි හැෙ`ගනවා. පාසලේදීම හමුදා ලොක්කන්ගේ තර්ජනයට ලක්වෙන සාමාන්‍ය පෙළ සිසුන් ගැන අපම වාර්තා කළ සිදුවීම් පාසලේ වෙනස ගැන සාක්ෂ්‍ය සපයනවා. එහෙත් කුමාර අයියා වැනි වැදගත් මිනිසුන් පාසලේ අභිමානය එක්ක ජීවත්වෙනවා. අපි කුමාර අයියාගෙන් සහ බොරැුල්ලෙන් සමුගෙන යනවා.