රාවය

දළ පූට්ටුවා සහ අලි ගැන මගදිගට ඇහින්ද කතා

දළ පූට්ටුවා සහ අලි ගැන මගදිගට ඇහින්ද කතා

කංචිකුඩිච්චි ආරු මහ කැලය ගැන සදා නොසිඳෙන මතකයක් මට තියෙන්නේ. එකක් ඒ අන්නන් නිසා. අනික අලි නිසා. අලි කිව්වාම ඇත්තුත් මේක අස්සේ ඉන්නවා. සෝමකුලම වැව මැද කූඩාරමේ ඉඳලා ඇහැරුණු උදයක සිසිලස එක්කම නෙත බදාගත්තේ කූඩාරමේ වටේට ගහලා තිබුණ අලිවැට මායිමේ සෙල්ලම් දඟකම් එක්ක සිඳුණු වැවේ ලාතණ කටට හලාගන්න අලි රංචු රංචු. අලින්ට ළමයින්ට දඟලන්නමයි හිත කියන කියමන මතක් වුණා. උදෑසනක් ඒක. ඉතිං අලි කෙළි නෙතට රසඳුනක්. හොඬවල් පටලවාගත්ත අලි පැටව්, හිසට හිස තියාගෙන ඩම් අල්ලන අලි කොල්ලෝ රංචුවෙන් මිදෙන්න කාලයද මේ කියලා හොයා බලන වෙලාවක් ඒක. කොහොම හරි හිරු මුදුනට මුදුනට යනකොට අලි කැලේට කැලේට ගියා. අන්තිමට වැව් පිටියේ අපි තනියෙම. අන්නන් ආකාස වෙඩි බෙහෙත් යකඩ බෝලත් එක්ක මිනිහාම සුරුවමට හදාගත්ත තුවක්කු බටයට පුරවනවා.

”අපි අද හවස කැලේ යමු.” මේ හිටිය සේරම අලි ?ට කැලේ නේද? මගේ බය බිරාන්ත හිත වචනවලට පෙරළෙනවා.
”අලියා කියන්නේ අහිංසක බුද්ධිමත් සතෙක්.’’ අන්නන් කරබා ගන්නවා.

අපි කිව්වා වගේම හවස කැලයට රිංගනවා. රැුහැයි සංගීතය පටන් ගත්තා විතරයි. කුරුලූ රංචු තුරු වදුලූවල ආගිය තොරතුරු තොරතෝංචියක් නැතිවම කතාව. කිසිම සද්දයක් නැහැ. අන්නන්ගේ පාද චාරිකාවක. අපේ කිටියා ලේනෙක් දැක්කහම ඒ පැත්තට පැත්තට අඩිය තියන්නෙත් ඔහොම. දැන් ඇටතිත්ත කළුවර. අතුබිඳෙන හඬ. අන්නන් හිටුවනම. හැම සද්දයක්ම නතරවෙලා ලබ් ඩබ් විතරක් ඉතුරු වුණාම ඒ හඬ වගේම තවත් හඬක්. ඒ අලි රංචුවක්. ඇත්තට නම් කෙනෙර රංචුවක්. කන් පෙති ගැටෙන සියුම් හඬ තමයි ඒ. සුළෙඟ් තැවරිලා එන ඒ උෂ්ණය කියන්නෙත් කැලේ මහ එකා ළඟ ළඟම බව. මේ මහ කැලේ කොළේ කාගේද? අපි අන්තිමට එයාලා අපේ මගෙන් මගහරෙනකම් අතරමගෙක.

”ඒ කැලේ මහ එකා.” අන්නන් කියනවා පස්සේ.
”මගේ පස්සෙන්ම එන අලියෙක් හිටියා. මම බේරෙන්න බැරිම තැන වෙඩි තිබ්බා හැබැයි පස්සට. ඊට පස්සේ ඌ ආවේ නැහැ. පස්සේ මට ඒ අලියා කැලේදී හම්බවුණා. ඒ මැරිලා වැටිලා ඉන්නැද්දී. මෙච්චර ලොකු ගලක් වගේ සතෙක්. කොච්චර බලාගෙන හිටියත් එපාවෙන්නේ නැති සතෙක්. මම ඇඬුවා හොඳටම. සතියක් දෙකක් යනකම් කන්න පිරියක් නැහැ.”

මම කංචිකුඩිච්චිආරු මහ කැලේ ඉඳලා ඒ මහ කැලේම අනික් අන්තයට යන්න හිතුවා. අතීත කැලේ මැද ගමේ, කුමන ගමේ සෝමානන්ද මාමා ගැන මතක රිදී රේඛාව දිගේ අලි හොයාන. මාමා තමයි අලි මන්ත‍්‍රවලට දක්ෂයා.
”අලියා කැලේ ලොකු මහත්තයා. ඉස්සර කුමන මගේ ගෙදර මිදුලේ නිතරම අලි ගැවසෙනවා. අලිත් ඉන්නවා. අපිත් ඉන්නවා. හැම අලියාම දරුණු නැහැ. අලි රංචුවේ ඉන්නේ කෙනෙර නැත්තං ඇතින්නියෝ විතරයි. පිරිමි අලි නාඹර වෙනකොට රංචුවෙන් එලවනවා. එතකොට උන් ඉන්නේ තනියෙන්ම තමයි. සහකාරියක් හොයාගන්න කාලය ආවාම මෙයා ටිකක් කලබලයි.

එතකොට තමයි රංචුවකට ගිහිං නෝනෙක් හොයාගන්නේ. එතකොට අරියාදුවට තවත් අලි කොල්ලෙක් ආවොත් දෙන්නා හොඳටම ගහගන්නවා. සමහර වෙලාවට එකෙක් මැරෙනකම්. සමහර වෙලාවට එකෙක් පරාජය භාර අරගෙන යන්න යනවා. එතකොට ඌ යන්නේ කොරහත් බිඳගෙනම තමයි. ඒ වගේ අලි කොල්ලෝ තමයි පරවැඩ කරන්නේ. හැබැයි දැන් ඉතිං අපි නිල්ල කපලා උන්ගේ කැලේ අපි ගත්තාම උන් අපේ හේන්වලට පනිනවා. කුඹුරු කනවා. ඉතිං උන් වැරදිත් නැහැ අපි වැරදිත් නැහැ.”
දැන් හැමතැනම අලි ගැටුම්. මේ ගැටුම් කළමනාකරණය කරන්න අතීතයේ මේ ගම්වල මිනිස්සු මේ සත්තු එක්ක ජීවත් වුණේ කොහොමද කියලා සොයාබලනෙක වැදගත්. ලෝකයේ අප‍්‍රිකානු අලි, ආසියානු අලි කියලා අලි විශේෂ දෙකයි ඉන්නේ. ඒකෙනුත් ආසියාවේ අලියා පරිණාමයේ දියුණු අවස්ථාවක් නියෝජනය කරනවා කියලා තමයි පරිසරවේදීන් කියන්නේ. ආසියාවේ අලි අතරිනුත් ලංකාවේ ඉන්න අලි විශේෂය හරිම සුවිශේෂයි. ඒ ඔවුන් උපවිශේෂයක් වෙන හින්දා. මේ අලි වර්ගය අතරිනුත් ඇත්තු තවත් විශේෂයි. ඒ ඇත්තු එන්න එන්නම වඳවෙමින් යන නිසා. ඒක ලෝක ස්වභාවය. ඇත් දළ යුගලය කියන්නේ කරදරයක් තමයි පරිසරයට හැඩගැහෙන්න. ඉතිං ස්වභාව ධර්මය මේ දළ යුගලය හළලා දාන්න තීරණය කරලා. හැබැයි දැන් ප‍්‍රශ්නය වෙන්නේ මේ දළ යුගලය ස්වාභාවික ලෝකය හළලා දාන්න කලින් අපේ මිනිස්සු කියත්වලින් කපලා දමන එක. ඒ ඇත් දළවලට ලෝකයේ තවමත් ඉහළ මිලක් නියම වීම. කොහොම වුණත් අපේ රට අලි වෙළෙඳාමට වගේම දළ වෙළෙඳාමටත් සියවස් ගාණක ඉඳලා ප‍්‍රසිද්ධයි නේ.

මම ඇත්තටම අන්තිමට ගල්ගමුවේ පියදාස මාමා ළඟ අන්තිමට නතර වුණා. මේ කතාබහ නම් ලොකු දුරක කාලයක වුණු එකක්. සියඹලන්ගමුව ඇතාත් ගල්ගමුවට මේ ඉසව්වට සුවිශේෂ ඇතෙක් වුණා. හැබැයි අලි සුරකින්න ඉන්න නිලධාරීන් නිසාම තමයි මේ හස්තියා හුස්ම ගන්න එක නතර කරන්නේ.

”මම කැලේ යනකොට ගස්වලට හේත්තුව දාලා නිදියන අලි හම්බ වෙලා තියෙනවා. කොහේ කොහොම හිටියත් නිදියාගෙන හිටියත් අලියාගේ කන් දෙක හෙළවෙනවා. හොඬත් එහෙමයි. ඒක එහෙට මෙහෙට යනවා. අලියා කියන්නේ පුදුම සතෙක්. හරි මතකයක් තමයි තියෙන්නේ. ඒ හින්දා මේ ගම්වල මිනිස්සු අලියට අරියාදු කළත් කතා කරමින් කරන්නේ නැහැ. මොකද ඕනෑම වේලාවක මේ සතාට අර කටහඬ අඳුරගන්න පුළුවන්. අනික හුළං මුවාවට තමයි කරන දෙයක්. ඉවත් හොඳට මතකයේ තියෙනවා. ඒ කොහොම වුණත් අලි අපිට කොච්චර අරියාදු කළත් මේ ගම්වල මිනිස්සු අලින්ට පණ වගේ ආදරෙයි. අපි දන්නවා අපි අද ඉන්නේ උන්නේ ඉඩම්වල කියලා.”
ඉතිං දැන් සියඹලන්ගමුව ඇතා නැහැ. ඒ වගේම මේ ළඟකදී ගල්ගමුවට හිටිය අනික් ඇතා දළ පූට්ටුවත් මරලා දළ දෙකම කපාගෙන. ගල්ගමුව මේ ප‍්‍රදේශය ගත්තොත් පුංචි පුංචි වැව් කැලෑ කැටිති තියෙන බිමක්. ඒ හින්දාම ලොකු අලි රංචුවක් මේ බිමේ සරනවා. අලියා කියන්නේ ලොකු උෂ්ණත්වයක් දරාගන්න ශරීරයක්. ඉතිං වැව් කියන්නේ උන්ට අමුර්තය. අනික් පැත්තෙන් අලියෙකුට දවසකට ලොකු දුරක් ඇවිදින්න ඕනෑ. ඉතිං මේ හින්දාම අද උන්ගේ සංසරණ මාර්ග වැටිලා තියෙන්නේ ගොවි ජනපද මතින්. කොහොම වුණත් සියඹලාගමුවේ ඇතාට වගේම මේ දළ පූට්ටුවාටත් මේ ප‍්‍රදේශයේ ලොකු ජනප‍්‍රිය තැනකුයි තිබිලා තියෙන්නේ. මේ ඇතා මරා දැමුවාට පස්සේ මේ ගම්වල මිනිස්සු හැසිරුණු විදිහෙන් ඒක පෙනෙනවා. අනික මේ ගම්වල මිනිස්සු අලි කන්න තරම් තරහකින් ඉන්නේ කියන එකත් බොරුවක් වෙනවා මේ සාමූහික හැසිරීම් රටාව හින්දා. දැන් දළ පූට්ටුවා වෙනුවෙන් මිනිස්සු වැලපෙනවා. පිංකම් කරනවා. මේ ඇතාගේ වියෝව සමඟ මුහුණු පොතේ ලියන හංසිනී ආටිගල මෙහෙම කියනවා.

”වෙනදට ගෙදර ආවාම ? වෙනකොට එළියේ වැඩ තියේ නම් ඉවර කරගන්න. දොරවල් වහන්න. මහ ඇත්තෝ එනවා මේ දවස්වල කියලා සද්දේ දාන ගෙදර දෙන්නා උඩ බලාගෙන ඉන්නවා. ගහක කොළයක් වැටුණත් බුරන බල්ලො ටික කලින්ම නිදි. මිනිස්සු දුක් වෙනවා. අනේ අර ඇස් පේන්නේ නැති සතා මරාගත්තානේ කියනවා.
මම මේ නිදියන්න ට‍්‍රයි කරනවා. මිනිහෙක්ගේ කටහඬක් නෑ. බල්ලෙක් බුරන්නේ නෑ. රටත් එපා වෙලා ජීවිතෙත් එපා වෙන්න මේ ටිකත් ඇති. උඹ ඉන්න තැනක හොඳින් හිටපන්. ආයේ මෙහේ ඉපදෙන්න එපා. මේවා අපි සේරගෙම වැරදි.”
හංසිනීත් ගල්ගමුවේ. ඇය කියන්නේ ඇයගේ ගමේ මිනිස්සු මේ ඇතා වෙනුවෙන් තමන්ගේ කුඹුරේ ලියද්දක් වෙන්කරන්න තරම් කාරුණික උනා කියන එක. ඇය මුහුණු පොතේ තවත් තැනක මෙහෙම ලියනවා.
”දළ පූට්ටුවා කියන්නේ කිසිම කලබලයක් නැති සතෙක්. වයස අවුරුදු 45ක් 50ක් ඇති. ඒ සතා හරිම නිස්කලංක අහිංසක සතෙක්. ගමේ මනුස්සයෙක්ගේ හේනකට පැනලා කාලා ගියත් මිනිස්සු නිහඬව ඉන්නේ ඒ නිසා. ඌ විශේෂ වෙන්නේ ඌ දළ පූට්ටු ඇතෙක් නිසා. අන්ධ සතෙක් නිසා. හැබැයි ඒ අපිට. වනජීවි එකට එහෙම නෑ. මේ ඇතා අවුරුදු 10-15 ක් තිස්සේ ඉන්නේ ගල්ගමුවේ සහ ඒ අවට. සාමාන්‍යයෙන් මෙයා වාර්ෂිකව කලාඔයට යනවා. එයාගේ ගමන් මග වැටිලා තියෙන්නේ ගල්ගමුව, මීගලෑව, හේරත්ගම කියන වනජීවී කලාප හරහා. මේ කියන කලාප තුනටම වනජීවී කාර්යාල තියෙනවා. ඇතා අතුරුදන් වෙන්නේ මාස දෙකකට කලින්. ඒ කියන්නේ හරියටම සැප්තැම්බර් මාසේ වගේ. ඇතා හේරත්ගමදී මිනිස්සුන්ට පෙනෙන්න ඉඳලා එකපාරම අතුරුදන් උනා. ඒත් වනජීවි එක දන්නෙවත් නෑ. කිසිම වනජීවි නිලධාරීයෙක් ඒ ගැන හොයලාත් නෑ. උවමනාවක් තිබුණේත් නෑ.
වලානෙන් දළ දෙක හොයාගත්තාම ඒ ගැන මාධ්‍යයෙන් ගියාමවත් මේ නිලධාරීන්ට ඇතා හොයන්න උනන්දුවක් තිබුණේ නෑ. අනිත් මිනිස්සු ස්වෙච්ඡුාවෙන් හොයන්න ගත්තාට පස්සේ තමයි ජාමේ බේරගන්න වනජීවී එක හොයන්න පටන්ගත්තේ. හැබැයි එයාලා හෙව්වේ ජීවත් වෙලා ඉන්නේ ඇතෙක්. එයාලට ඕනෑ උනා ඇතා මරලා නෑ කියලා පෙන්වන්න. අන්තිමට දළ දෙක ඇතාගෙමයි කියලා දැනගත්තාට පස්සේ තමයි මිනිය හොයන්න පටන්ගත්තේ. ඒකත් උසාවියට ගිහින් දළ දෙක බලලා. අඩුම තරමේ මේ ඇස් නොපෙනෙන ඇතාගෙවත් ඞීඑන්ඒ දත්ත නෑ වනජීවි එකට. අන්තිමට කෑලි කපලා වළලලා කියලා ඇමතියි වනජීවි එකයි බොරුවට ලකුණු දාගන්න බැකෝ ගෙනල්ලා ඇතා වළලපු වළවල් හෙව්වා.”
දළ පූට්ටුවාගේ මේ මරණයත් එක්ක ලියලා වැඩෙන මේ සංවාදය ඇතුළේ දුවන්නේ දුක, වේදනාව, ආදරය. අලි ගැන යන මේ සංවාදය අපිට බැරිද වෙනත් මානයකට හරවන්න. මේ සංවාදය තවත් පුළුල් කරලා පෙරහැරවලට අලි දැක්කීම වගේම ලොකු හිංසාවක් එක්ක මේ අලි ගෙවල්වල ඇති කරන්න දඟලන මිනිසුන්ගේ මානසික තත්ත්වය වෙනසකට ගෙනෙන්න මේ සංවාදය පොහොසත් කරමු කියලා තමයි කියන්න වෙන්නේ. අනික අලියෙක් කැලෙන් අල්ලාගෙන ඇවිල්ලා ඌ ගෙදරකට හුරුකරනවා කියන්නේම ඒ අලියා මරාදානවා කියන එකම තමයි. දළදා පෙරහැර ගත්තත් දළදාව වඩම්මවන්න එක ඇතෙක් හිටියාම මදිද කියන තැනට අපේ මනස් සිතීම් හුරුකරන්න මේ ලියලන දලූලන අලි ගැන සංවාදය පාවිච්චි කරමු කියන යෝජනාව තමයි කරන්න වෙන්නේ අන්තිමට.