ශ‍්‍රීකර් ප‍්‍රසාද් 200කට වැඩියි. රවින්ද්‍ර ගුරුගේ 50කට වැඩියි. මම තවම 4යි

සමන් ඇල්විටිගල සමඟ කතාබහක්

සමන් ඇල්විටිගල සිනමා සංස්කරණ ශිල්පියෙකි. ඔහු බොහෝ පිරිසක් හඳුනන්නේ විමුක්ති ජයසුන්දර නම් සිනමාකරුවාගේ සිනමා සංස්කරණ ශිල්පියා ලෙසය. විමුක්ති ජයසුන්දරගේ මෑත කාලීන සිනමා නිර්මාණවල සිනමා සංස්කරණ ශිල්පියා වෙනවාට අමතරව ප‍්‍රියන්ත කළුආරච්චිගේ රතු සමනල හීනයක්, නුවන් ජයතිලකගේ සුළඟ අප රැගෙන යාවි, චින්තන ධර්මදාසගේ ගිනි ඇවිලෙනසුලූයි ආදි නූතන තරුණ සිනමා නිර්මාණකරුවන් රැසකගේ සිනමා නිර්මාණවල සංස්කරණ ශිල්පියා ද ඔහු ය. මේ ඔහුගේ කලා ජීවිතය පිළිබඳව කළ කෙටි සංවාදයකි.

සමන් අපි මහල්වරාවේ කූඩුව ළඟින් මේ සංවාදය ආරම්භ කරමු.

මහල්වරාවේ බේකරිය ළඟ කූඩුවක් කළා. අපි පොඩි කාලේ එතැනට එන්නේ හරි ආසාවෙන්. මුලින්ම කියන්න ඕනෑ මේ කූඩුව අපිට මැජික් එකක් වුණා. ලයිට් පත්තුවෙන විදිය. කරකැවෙන විදිය. මම හිතන්නේ කලාව ගැන ආසාව ආරම්භ වෙන්නේ එතැනින්. ඊළඟට පන්නිපිටියේ ධර්මපාලේ සමකාලීනයෝ සෙට් එක. ඊළඟට විරාජ් හරහා ජවිපෙ ශිෂ්‍ය අංශයට එකතුවීම. ඒ 1999 විතර. සාහිත්‍ය සංගමයේ ඉන්නකොට නාට්‍යවල ආර්ට් කිරීමේ ආසාව තමයි තිබුණේ. ඊළඟට තමයි ටෙලිවීව් එකට එකතුවෙන්නේ. ඇනිමේෂන් ඉගෙනගන්න තමයි ටෙලිවීව් යන්නේ. ඊට පස්සේ එතැනම නිෂ්පාදනය කරපු භවත‍්‍රා ටෙලි නාට්‍යයේ 3D Animation සහ Compositing කියන දෙකම කළා. මෙතැනින් තමයි මම ටෙලිවිෂන් මාධ්‍යට එකතුවෙන්නේ.

අපි දන්නවා ඔබ ගෙදරදීම පුළුල් තිරයේ චිත‍්‍රපටි බලන පික්චර් පිස්සෙක් කියලා. මේ පිස්සුව කොහොමද ඇඟට එන්නේ?

අයියගේ යාළුවෙකුට වීඑච්එස් කඩයක් තිබුණා. ඉතිං අයිඞී එක නැතුවම පුංචි කාලේ ඉඳලා ෆිල්ම්ස් බලන්න චාන්ස් එක තිබුණා. මගේ අම්මායි තාත්තායි කියන්නේ හොඳ චිත‍්‍රපට රසිකයෝ. ඒ හින්දා අපිව පුංචි කාලේ ඉඳලාම වේදිකා නාට්‍ය චිත‍්‍රපටි බලන්න එක්කරගෙන යනවා. ෆිල්ම් බලන්න නම් වැඩිපුරම ගියේ මහරගම නැෂනල් එකටයි අනුෂා එකටයි. ඊට පස්සේ තනියෙන්ම හොයාගෙන බලන කාලේ ආවාම ගොඩාක් බැලූවේ ගොපලූ චිත‍්‍රපටි. Clint Eastwood තමයි ඒ කාලේ වීරයා. ඒ විසිල් එකට ඒ ඇක්ෂන්වලට අපි මාර ආසයි. හැබැයි මේ ෆිල්ම්ස් බලපු පිස්සුව Monica Bellucci රඟන Malena බැලූවාට පස්සේ වෙනස් වෙනවා. මම හිතන්නේ ෆිල්ම් ආර්ට් හොයාගෙන යන්නේ මේ චිත‍්‍රපටිය බැලූවාට පස්සේ. දැන් මම බෙලා තාර් වගේ සිනමාකරුවෙකුගේ කෘතිවලට ගොඩක් කැමතියි. අර වෙනස් වුණා කිව්ව ෆිල්ම් බැලිල්ල අද ඒ වගේ තැනක නතරවෙලා තියෙන්නේ.

හරි, අපි දැන් ෆිල්ම් එඩිටර් නැත්නම් සංස්කරණ ශිල්පියෙක් විදියට රස්සාව කරන්න පටන් ගන්න තැනට යමු..

මම 2009 තමයි මට මතක විදියට 24 24 frames එකට එකතුවෙන්නේ. ඒ 3D ඇනි‍මෛ්ටර් කෙනෙක් විදියට. හැබැයි එතැනදී මට සංස්කරණය (එඩිටින්) කරන්න වෙනවා. මම වෙළෙඳ දැන්වීම් එක්ක තමයි වැඩකරන්නේ. සුභාෂ් පින්නපොළ, ඉලංගෝ රාමනාදන් වගේ වෙළෙඳ දැන්වීම් අංශයේ නමක් තිබෙන අය සමඟ තමයි මම මුලින්ම වැඩ කරන්නේ. එතැනදී තමයි මට විමුක්ති ජයසුන්දර හමුවෙන්නේ. එතකොට විමුක්ති ‘අහසින් වැටෙයි’ කරලා ඉවරයි. විමුක්තිට ඕනෑ වෙනවා මේ ෆිල්ම් එක රීඑඩිට් කරන්න. මෙතැනින් තමයි මම ෆිල්ම් එඩිටින් කියන විෂය ඉගෙනගන්නේ. විමුක්ති හමුවෙන්න කලින් මම නිකං ෆිල්ම් ෂොට් එකතු කරන්නෙක් විතරයි. ඊට පස්සේ මම විමුක්තිගේ කෙටි චිත‍්‍රපටි දෙකක් එඩිට් කරනවා. එඩිටින් කියන්නේ කතන්දර කීමේ කලාවක් කියලා මම ඉගෙනගන්නේ විමුක්තිගෙන්. එඩිටින්වල මෙහෙම කතාවක් තියෙනවා Good editing makes the film look well directed,  Great editing makes film look like it wasn’t directed at all කියලා. අනික් පැත්තෙන් එඩිටර් කියන්නේ ඒ ෆිල්ම් එකේ පළවෙනි පේ‍්‍රක්ෂකයා. එතකොට සංස්කාරකට ෆිල්ම් එක බලන්න බැරි නම් එතැනින් එහා කතා කරලා වැඩක් නැහැ.

දැන් සිනමාවේ මතයක් තියෙනවා එඩිටර් කියන්නේ ශිල්පියෙක් විතරයි. අධ්‍යක්ෂවරයා කියන තැනින් කපලා අලවලා දෙනේක තමයි සංස්කරණ ශිල්පියාගේ වැඬේ කියලා.. අද ෆිල්ම් එඩිටින් තියෙන්නේත් මෙතැනද? අපි පොඩි ශාස්ත‍්‍රීය ප‍්‍රවේශයකින් එඩිටින් ගැන කතාකළොත්..

සිනමාව කියන්නේ අධ්‍යක්ෂගේ කලාව වගේ කතා ගොඩක් තියෙනවා. මගේ අදහස නම් එඩිටර් කියන්නේ නොපෙනෙන ආර්ටිස්ට් කෙනෙක්. සිනමා ඡුායාරූප ශිල්පියා රූපගත කරලා ගෙනත් දෙන රූප ටික කපලා අමුණන එක විතරක් නෙවෙයි ඔහු කරන්නේ. අධ්‍යක්ෂ කියන්න හදන කතාව හරියට කතාවක් විදියට නැවත ගොඩනගන්නේ එඩිටර්. එතකොට ෆිල්ම් එකට ඔහුගේ අර්ථකථනයකුත් ඉබේටම එන්නත් වෙනවා. ඒකයි අපි කියන්නේ ස්ක‍්‍රිප්ට් එකේ ඉඳලා එඩිටර් ඉන්න ඕනෑ කියලා. තිර පිටපතේ ඉඳලාම අධ්‍යක්ෂවරයා සමඟ හැදෙන බැඳීම හරිම වැදගත් ෆිල්ම් එකේ සාර්ථකත්වයට. දැන් අධ්‍යක්ෂවරයෙක් ගත්තොත් ඔහු විශ්වාස කරන සිනමාවක් තියෙනවා. ඔහු වඩාත්ම කැමති සහ නිර්මාණ ආභාසය ලබාගත්ත චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. මේවා එඩිටර් දැනගන්න එක ගොඩක් වැදගත්. මොකද ඒකෙන් තමයි ඩිරෙක්ටර් කවුද, ඔහුගේ රිද්මය මොකද්ද කියලා අඳුරගන්න පුළුවන් වෙන්නේ. එතකොට එඩිටර්ට පුළුවන් එතැන ඉඳලා ෆිල්ම් එක එඩිට් කරන්න. මොකද ෆිල්ම් එකේ රිද්මය, ෆිල්ම් එකේ මූඩ් එක ඒ හැම දෙයක්ම අවසානයේ තියෙන්නේ එඩිටර් ළඟ.

සිනමා සංස්කරණය ගත්තත් ඡුායාරූපකරණය ගත්තත් අපේ රටේ නිසි අධ්‍යාපනයකින් ඒ ඒ අංශයට ආ පිරිසක් නෙවෙයි ඉන්නේ, මේ අධ්‍යාපනය කියන එක කොතරම් වැදගත්ද හොඳ සිනමාවකට?

අපිට මේ අංශවලට වෙන්වුණු පාසල් නැති නිසා සහ නිසි ඇකඩමික් තත්ත්වයන් ගොඩනගා නැති නිසා බොහොම දෙනෙක් කියන්නේ ඇකඩමියක් අවශ්‍ය නැහැ කියලා. හැබැයි මම නම් ඒකේ අනික් පැත්ත දකින්නේ. නිසි ඇකඩමියක් තිබුණා නම් අපිට මේ මේ අංශවලින් කොතරම් දුරට යන්න තිබුණාද කියන එක තමයි මම හිතන්නේ. මම කොරියාවේ ඒෂියන් ෆිල්ම් ඇකඩමි යනවා 2013දී කෙටි පුහුණුවකට. ඒ වෙලාවේ ආසියාවෙන් එතැනට ආ අනික් 23 දෙනාම සිනමාව විධිමත්ව ඇකඩමිය තුළ හැදෑරූ අය. එතකොට ඒ අයගේ ශික්ෂණය සහ මේ විෂය පිළිබඳ දැක්ම වෙනස්. සිනමාව කියලා කියන්නේ පුළුල් තිරය. එතකොට අපිට පුංචි තිරයක බලාගෙන එඩිට් කරන්න බැහැ. ලොකු තිරයකට ගත්තාම ඒකේ හැඟීම සහ රිද්මය කියන්නේ දෙකක්. මම මේ දේ ඉගෙන ගත්තේ කොරියාවේදී. මම 2015 බර්ලින් ටැලන්ට් යනවා. එතැනිනුත් මේ විෂය ගැන ලොකු දැනුමක් ලබාගන්නවා. කිල් මයි ඩාර්ලින් (kill my darling) කියන සංකල්පය ඉගෙනගන්නේ මෙතැනදී. ඒ වෙනකොට අපි මේවා අහලාවත් තිබුණේ නැහැ. හැබැයි එඩිට් කළා. මේ සංකල්පයේදී කියන්නේ අපි ගොඩාක් කැමති රූප රාමු විසිකරලා ෆිල්ම් එකක් එඩිට් කරන්නේ කොහොමද කියන එක. අපිට රූප රාමු 10ක් දුන්නත් 15ක් දුන්නත් අපිට එකම කතාව ගොඩනගන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒක තමයි එඩිටර්ගේ දක්ෂතාව. අනික් පැත්තෙන් ඇයි මේක මෙහෙම කැපුවේ කියලා අධ්‍යක්ෂ ඇහුවොත් හැම වෙලාවෙම එඩිටර්ට හොඳ හේතුවක් තියෙන්න ඕනෑ කියන්න. ඕනෑ හින්දා, පෙනෙන හින්දා වගේ උත්තර හරියන්නේ නැහැ. මම හිතන්නේ මේ වගේ දේවල් ගොඩනැගෙන්න ඇකඩමිය හරිම වැදගත්. අනික ලෝකයේ දැනට ඉන්න විශිෂ්ටතම එඩිටර්ස්ලා ගැන ඉගෙනගන්න ඔවුන් හොයාගෙන යන්න ඇකඩමිය වැදගත්.

ලංකාවේ සහ ලෝකයේ ඉන්න ඔබට සමීප සංස්කරණ ශිල්පීන් ගැනත් කතාකරමු.

Walter Scott Murch එඩිට් කළ ෆිල්ම්ස් සෑහෙන්න බලලා තියෙනවා. අද ලෝකයේ ඉන්න විශිෂ්ටතම එඩිටර් ඔහු. ඊළඟට අබ්බාස් කියරොස්තාමි. ඔහුගේ ෆිල්ම්වල එඩිටර් ඔහුමයි. ශ‍්‍රීකර් ප‍්‍රසාද්ටත් මම ගොඩාක් කැමතියි. ලංකාවේදී නම් ලාල් පියසේනට, රවින්ද්‍ර ගුරුගේට. එඩිටර් හැම වෙලාවෙම ඉන්නේ තිරය පිටුපස. එවැනි තත්ත්වයක, එඩිටර් ලංකාවේදී තිරය ඉස්සරහට අරගෙන ගියේ රවීන්ද්‍ර ගුරුගේ. ටෙලිනාට්‍ය ඒකට හේතුවක් වෙන්න ඇති. හැබැයි රවීන්ද්‍රගේ ටැලන්ට් එක තියෙන්නේත් එතැන. ඔහු මේ මාධ්‍ය දෙකම හොඳට හඳුනාගෙන වැඩකළ කෙනෙක්. ශ‍්‍රීකර් ප‍්‍රසාද් මාස්ටර් කෙනෙක්. 1982දී තමයි පළවෙනි එඩිට් එක කරලා තියෙන්නේ. මට මෑතකදී මේ දෙන්නාත් එක්ක එක ෆිල්ම් එකක ඉන්න වාසනාව ලැබුණා. ඒ ප‍්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර කියන තුන්දෙනා එකතුවෙලා කළ ‘තුන්දෙනෙක්’ කියන ෆිල්ම් එකේ විමුක්තිගේ කොටස එඩිට් කරන්න ලැබීමෙන්. ශ‍්‍රීකර් ප‍්‍රසාද් ෆිල්ම්ස් 200කට වැඩිය එඩිට් කරලා තියෙනවා. රවීන්ද්‍ර ගුරුගේ 50කට වැඩිය ඇති කියලා මම හිතනවා. මම තවම ෆිල්ම්ස් 4යි. ඉතිං ඒක මරු නැද්ද?

ඔබ Walter Scott Murch ටත් දක්ෂයි. අපි ඒ ගැනත් ටිකක් කතාකරමු.. ඒ වගේම තරුණ සිනමාව ගැන..

ෆිල්ම් කියන්නේ ඕඩියෝ සහ වීඩියෝ කියන දෙකේම එකතුවක්. එතකොට මෙතැන එකක්වත් ලොස්ට් වුණොත් ෆිල්ම් එක එතැනින්ම ඉවරයි. ලංකාවේ අපි ඕඩියෝ නැතිනම් ශබ්දය ගැන හිතනවා හරිම අඩුයි. අපි තවමත් ශබ්දය ඍජුව පටිගත කරනවා අඩුයි. ඩබින් ෆිල්ම් එකකයි, ඍජු ශබ්ද පටිගත කළ ෆිල්ම් එකකයි වෙනස ටක්ගාල අඳුනාගන්න පුළුවන්. මොකද ඒ හදන මූඞ් එක වෙනස්. මේ තාක්ෂණයට ගැළපෙන මෙවලම් නැති එකත් ගැටලූවක් වෙන්න පුළුවන්. හැබැයි ඉතිං සිනමාව කරනවා නම් එය ඉල්ලන සත්කාරය දෙන්නම ඕනෑ. දැන් අපි ස්වාධීන සිනමාව කරනවා කියලා 5D ෂූට් කරලා ෆිල්ම් කරනවා. 5D එකකින් අඩු වියදම් චිත‍්‍රපටියක් කළා කියලා ඒක ස්වාධීන සිනමාව (independent film) වෙන්නේ නැහැ. යම් අධ්‍යක්ෂවරයෙක් ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ ඔහු ඒ රටේ සිනමා කර්මාන්තේ ඇතුළේ වැඩකරන විලාසය මත මිසක් ඔහු අඩු වියදම් චිත‍්‍රපටි කරනවාද කියන දෙයින් නෙවෙයි. මම නම් කියන්නේ සිනමාවක් සිනමාව වෙන්න ඒකට නියම වුණු මිල ගෙවන්න ඕනෑ කියලා. එහෙම නැතුව රෙඞ් කැමරාවක් ඕනෑ එකට 5D එකක් දාලා ෂූට් කරලා පුළුල් තිරයේ මේක දිගහරිනකොට තේරෙනවා ඒ අඩුව.
රූපයේ ගුණය ගැන කතාකරන කොට color grading ගොඩක් වැදගත්. විෂුවල් එකකට පාට දානවා වගේ සරල තැනකින් තමයි අපි මේ වැඬේ අල්ලාගෙන තියෙන්නේ. ෆිල්ම් එකකට color grading කොච්චරද වැදගත් කියනවා නම් අපි හරි නම් ෆිල්ම් එක රූගත කිරීමට කලින් ෆිල්ම් එකේ කලර් මූඞ්එක ගැන color grading කරන ශිල්පියා සමඟ සාකච්ඡුාවකට යන්න ඕනෑ. මම හිතන්නේ මේ සාකච්ඡුාවට අධ්‍යක්ෂවරයාට අමතරව සිනමා ඡුායාරූප ශිල්පියා, ප්‍රොඩක්ෂන් ඩිසයිනර් වගේ අයත් එකතුවෙන්න ඕනෑ. අනික ෂූට් කරගෙන එන හැම රූපයක්ම color grading වලින් ගොඩදාන්නත් බැහැ. හැබැයි අපේ අය එහෙම හිතන බව පෙනෙනවා. ඉතිං එහෙම හිතනකොට සිනමාව ටිකක් ඈතයි.