රාවය

පොහොර හිඟයක ලකුණු

පොහොර හිඟයක ලකුණු

දෙදහස් දහහත දෙදහස් දහඅට මහ කන්නය සඳහා රාජ්‍ය පොහොර සමාගම් දෙකෙන් බෙදාහැරීම සඳහා පොහොර ගෙන්වීමට ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් ප‍්‍රතික්ෂේප කිරීම නිසා පොහොර හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

මහ කන්නයේ පොහොර හිඟය සමනය කරගැනීම සඳහා සාමාන්‍ය ක‍්‍රමවේදයෙන් බැහැරව හදිසි මිලදී ගැනීමක් සඳහා දෙසැම්බර් 07 දින ලංසු ලබාගැනීම අවසන් කළ ටෙන්ඩරයද කිසිවකු සුදුසුකම් නොලැබූ බව සඳහන් කරමින් අවලංගු කිරීමට සිදුවී ඇති අතර ඒ සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමක්ද මෙතෙක් සිදුකර නැත. එමෙන්ම ඊට පෙර පසුගිය නොවැම්බර් 21 දින කැබිනට් මණ්ඩලය අනුමත කළ ටෙන්ඩරයද කෘෂිකර්ම අමාත්‍යාංශය අවලංගු කරනු ලැබීය.

මීට අමතරව මහ කන්නයේදී වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා පෞද්ගලික අංශය විසින් පාකිස්තානයෙන් ඇණවුම් කර ඇති පොහොර තොගද පොහොර අපනයනය සඳහා එම රට ලබාදී ඇති කාලසීමාව ඉකුත්වීම නිසා තවමත් ශ‍්‍රී ලංකාවට නොලැබීමේ තත්ත්වයද මෙම පොහොර හිඟය නිර්මාණය කිරීමට හේතුවී ඇත.
මේ පොහොර අර්බුදය නිසාම මහවැලි ව්‍යාපාරය යටතේ අස්වද්දවන ඉඩම් සඳහා ජලය මුදාහැරීමද මෙතෙක් සිදුකර නැති අතර පොහොර ලබාගැනීම සඳහා ගොවීන්ට නිකුත් කරන මුදල්ද ඔවුන්ගේ ගිණුම්වලට බැරකර නැත.

ප‍්‍රගතිශීලී ගොවි සංවිධානයේ කවුඩුල්ලේ ජයතිස්ස මහතාගෙන් මේ පිළිබඳව කරන ලද විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ මහ කන්නය සඳහා පසුගිය නොවැම්බර් 15 වැනිදා ජලය මුදාහරින බව පැවසුවත් එය සිදු නොවූ බවත් දැන් දෙසැම්බර් 15 වැනිදාට ජලය නිකුත් කරන බවට දැනුම්දීමක් ලැබී ඇති බවත්ය. එමෙන්ම පොහොර සඳහා වූ මුදල් ගොවීන්ගේ ගිණුම්වලට තවම ලැබී නැති බවද ඔහු සනාථ කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය යල කන්නයද නියමිත දිනට ජලය මුදා නොහැරීම නිසා පරක්කු වූ බව හා පොහොර සඳහා මුදල්ද ගොවීන්ට ලැබුණේ කල් පසුවී බවය. එමෙන්ම යල කන්නයේදීද නියමිත පරිදි ලබාගැනීමට පොහොර වෙළෙඳපොළේ නොතිබූ බවද ඔහු කීවේය.

අවලංගු කරන ලද පළමු පොහොර ටෙන්ඩරය නොවැම්බර් මස 09 දින කැඳවූ අතර එයින් යුරියා මෙටි‍්‍රක් ටොන් 72,000ක්, TSPමෙටි‍්‍රක් ටොන් 30,000ක් හා MDP මෙටි‍්‍රක් ටොන් 30,000ක් ලබාගැනීමට නියමිතව තිබුණි. නොවැම්බර් 01 කැඳවූ හදිසි දෙවන ටෙන්ඩරයේදී යූරියා මෙටි‍්‍රක් ටොන් 36,000ක්, TSP මෙටි‍්‍රක් ටොන් 12,000ක් හා MOP මෙටි‍්‍රක් ටොන් 12,000ක් ලබා ගැනීමට මිල කැඳවා තිබුණි.

මේ තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජේරත්න පැවසුවේ දෙවන ටෙන්ඩරයේ අඩු මිල ඉදිරිපත් කළ සමාගමේ ලංසු ඇපකරයේ ප‍්‍රශ්නයක් තිබූ බවත් ඉතිරි මිල ගණන් මෙටි‍්‍රක් ටොන් එකක් සඳහා ඩොලර් තුන්සියයකට වඩා වැඩි අගයක් ගැනීම නිසා එම ටෙන්ඩරයද අත්හැර දැමූ බවත්ය.
මහ කන්නය සඳහා නිකුත් කිරීමට රාජ්‍ය පොහොර සමාගම් දෙක සඳහා පොහොර ගෙන්වන්නේ නැද්දැයි විමසීමේදී ඔහු ප‍්‍රකාශ කළේ තවත් ටෙන්ඩරයක් කැඳවා පොහොර ලබා ගැනීමට ගතවන කාලයේදී මහ කන්නය අවසන් වී තිබිය හැකි බවය. ඒ නිසාම පොහොර ගෙන්වීම සඳහා නව ටෙන්ඩරයක් නොකැඳවනු ඇති බව ලේකම්වරයා ප‍්‍රකාශ කළේය. x