ශ‍්‍රීලනිප – පොදු ජන පෙරමුණ ඡන්දයෙන් පසු එකතුවීමේ උත්සාහයක

එළැඹෙන පළාත් පාලන ඡුන්දයට පෙර ශ‍්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එකතුවීමට පැවති සාකච්ඡුා අසාර්ථක වුවත්, මැතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතනවල එජාපයට එරෙහිව බලය පිහිටුවීම සඳහා දෙපාර්ශ්වය එකතු කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ.

මැතිවරණයෙන් පසු හෝ දෙපාර්ශ්වයේ එකතුවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සුබවාදීව සිටින බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමතිවරයෙක් රාවයට පැවසීය.
ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඍජුව හෝ වක‍්‍රව උදව් කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළ අතර, ඒ ගැන විමසූ විට අදාළ ඇමතිවරයා ප‍්‍රකාශ කළේ එවැනි ප‍්‍රකාශ මාධ්‍යයට කරන බොරු රංගන පමණක් බවය.

වෙන්ව ඡුන්දය ඉල්ලීම තුළ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එජාපය ජයග‍්‍රහණය කර ශ‍්‍රීලනිප හෝ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ ඒ සභාවලදී දෙවන හෝ තුන්වන ස්ථානවලට පත්වීමට හැකි බවට වූ විශ්වාසය මත ඡුන්දයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය එක්ව පිහිටුවීම සඳහා අවධානය යොමුවී ඇත.
මෙතෙක් දේශපාලන කරළියේ කටයුතු නොකළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ බාල සොහොයුරු ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා ශ‍්‍රීලනිපය සමඟි කරවීමේ කටයුත්තට මැදිහත්කරුවකු ලෙස ක‍්‍රියා කරන බවත් වාර්තා වේ. ඩඞ්ලි සිරිසේන මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොනිල නායකයා වන බැසිල් රාජපක්ෂ මහතාටද කිහිප වතාවක්  දුරකතන ඇමතුම් ලබාගෙන ඇත.

ඩඞ්ලි සිරිසේන මහතා ශ‍්‍රීලනිපය සමඟි කරවීමට සහ ශ‍්‍රීලනිපයේ දෙවැනි නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කරන බවත් බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේම කිහිපදෙනෙකු එයට විරුද්ධ වන බවත් අපගේ ආරංචි මාර්ග වැඩි දුරටත් ප‍්‍රකාශ කරයි.

කේ. සංජීව/තරිඳු උඩුවරගෙදර