රාවය

නේස්බි සාමි පෙන්වන පරීක්‍ෂණයක අවශ්‍යතාව

නේස්බි සාමි පෙන්වන පරීක්‍ෂණයක අවශ්‍යතාව

රටේ ජනාධිපතිවරයා ද ඇතුළු සියලූම ජාතිකවාදීන් හා ජාතිවාදීන් දැන් හදන්නේ නේස්බි සාමිගේ වලගෙහි එල්ලී දිව්‍ය ලෝකයට යන්නට ය.

ඒ ඔහු පසුගිය දා බි‍්‍රතාන්‍ය සාමි මන්ත‍්‍රී මණ්ඩලයේ දී කළ කතාවක් හේතුවෙනි. ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීම වැරදි බවත්, යුද්ධයේ අවසන් අදියරේ දී මියගිය සිවිල් ජනතාව 7,000ක් 8,000ක් අතර පමණක් විය හැකි බවත් ඔහු එහි දී කීවේ ය. එයිනුත් සියයට විස්සක් පමණ සිය නිල ඇඳුම් අතහැර දමා සිවිල් ජනතාව අතර සිටි එල්ටීටීඊ සාමාජිකයන් වන බව ද ඔහු වැඩිදුරටත් කීවේ ය. ඒ තොරතුරු යුද ගැටුම් පැවති අවධියේ ලංකාවේ සිටි එක්සත් රාජධානියේ රජයේ නිලධාරියකුගෙන් ලත් විශ්වාස කළ හැකි තොරතුරු බව ද ඔහුගේ අදහසයි.

ලංකාවේ ජාතිකවාදීන්ට නේස්බි වීරයෙකු වී තිබෙන්නේ ගැටුමේ දී මියගිය සිවිල් ජනතාවගේ සංඛ්‍යාව ඔහු විසින් 7,000-8,000කට බස්සවා ඇති නිසා ය. එහෙත්, මිනිසුන් 7,000ක් 8,000ක් වුණත් ආයුධ රහිතව සිටිය දී උඩින් බෝම්බ දමා, වෙඩි තබා මරා දැමීම සහගහන අපරාධයකි. පසුගිය මාසයේ එක්සත් ජාතීන්ගේ යුගෝස්ලාවියාවේ යුද අපරාධ පිළිබඳ විශේෂ අධිකරණය විසින් ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කෙරුණු, හිටපු බොස්නියා-සර්බියානු හමුදාවේ අණදෙන නිලධාරී රැට්කෝ මිලියෙවිච්ට ඒ දඬුවම හිමිවුණේ සිවිල් වැසි මුස්ලිමුන් 8,000ක් දෙනා ඝාතනය කළ වරදට ය. ඔහු හැඳින්වුණේ ‘බොස්නියාවේ මස් මරන්නා’ නමිනි.
කොහොම වුණත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ ප‍්‍රකාශය ගැන නේස්බි සාමිවටරයාට ස්තුතිය පළ කරන ලිපියක් පෞද්ගලිකව ම ගෙන ගොස් බාර දෙන්නට තරම් කෘතගුණවේදී වූ බව ද වාර්තා වෙයි.

එහෙත්, නේස්බි සාමිවරයා ස්වාධීන, මධ්‍යස්ථ මත පළ කරන්නකු හැටියට සැලකෙන්නේ නැත. සුප‍්‍රකට චැනල් ෆෝ නාලිකාවේ විකාශනය වුණු අත්අඩංගුවේ සිටින එල්ටීටීඊ සාමාජිකයන්ට සන්නද්ධ හමුදා සෙබළුන් වෙඩි තබා මරන ආකාරය දැක්වෙන වීඩියෝවේ සිටින්නේ මුදලට රඟපාන වෙස් ගන්වන ලද නළුවන් ය වැනි විකාර කතා කියා විහිළුවට ලක් වුණේ ද මේ සාමිවරයා ය.

නේස්බි සාමිවරයා විසින් ප‍්‍රකාශිත, ලංකාවේ ජාතිකවාදීන්ගේ ප‍්‍රහර්ෂයට හේතු වී ඇති කතාවෙන් ගම්‍ය වන ඇත්ත කුමක් ද? ගැටුමේ අවසාන භාගයේ දී මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව ගැනත්, ඔවුන්ගේ සංයුතිය ගැනත් සැකයක් තිබෙන බවයි. නේස්බි සාමිට අනුව එය 7,000-8,000ක් වන අතර, එයින්් ද සියයට විස්සක් එල්ටීටීඊ සාමාජිකයෝ වෙති. නේස්බි කියන විදියට ඔහුගේ සංඛ්‍යාව පදනම් වී ඇත්තේ විශ්වාස කටයුතු මූලාශ‍්‍ර මත ය. එහෙත්, සුප‍්‍රකට දරුස්මාන් වාර්තාවේ සඳහන් වන අන්දමට එසේ ඝාතනය වුණු සිවිල් වැසියන් සංඛ්‍යාව 40,000කට ආසන්න වෙයි. දරුස්මාන් කමිටුව කියන පරිදි ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන පදනම් වී ඇත්තේ ද විශ්වාස කටයුතු මූලාශ‍්‍ර මත ය. ඒ අතර, මන්නාරමේ රදගුරු රායප්පු ජෝසප් හිමිනම, අවසන් ගැටුමේ දී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 130,000ක් පමණ වන බව පැවසූ බව ද අමතක නොකළ යුතු ය.

මේ එකිනෙකට වෙනස් සංඛ්‍යා, තොරතුරු හා මූලාශ‍්‍ර විසින් පෙන්වා දෙන ඉතාම සරල සත්‍යයක් තිබේ. එනම්, ඒ සිදුවීම් දෙස ආපසු හැරී බලන, විශ්වාසවන්ත පරීක්‍ෂණයක අවශ්‍යතාවයි. තමන්ට වාසිදායක යමක් කියන විටෙක සුද්දෙකුට වුණත් ස්තුති ලියුම් යැවීමත්, අවාසිදායක දෙයක් කියන විට කල්ලකු වුණත් දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගැසීමත් කරනවා වෙනුවට, මේ සියලූ ජාතිකවාදීන්, ජාතිවාදීන්, අන්තවාදීන් එක හඬින් ඉල්ලා සිටිය යුත්තේ නේස්බි සාමි වැනි පුද්ගලයන් අත තිබෙන, තමන්ට අනුව සාධාරණයැ’යි පෙනෙන සාක්‍ෂි ඉදිරිපත් කිරීමට ස්වාධීන අධිකරණයකි. නැතිනම් පරීක්‍ෂණ යන්ත‍්‍රණයකි. එසේ නොවන තාක් සිදුවන්නේ හැමදා ම යුද්ධයේ දී මියගිය සංඛ්‍යාව ගැන තොරතුරු හෝද හෝදා මඬේ දැමීම ය.

බහුවිධ තොරතුරුවලින් ඇත්ත දැන ගැනීමට ස්වාධීන පරීක්‍ෂණයක් අවශ්‍ය ය. ලංකාවේ අධිකරණ ගැන ගැටුමට සම්බන්ධ වූ පාර්ශ්වවලට විශ්වාසයක් තිබේ නම්, රටේ අයගේ ම සහභාගිත්වයෙන් එවැන්නක් කළ හැකි ය. එවැනි යන්ත‍්‍රණයක් ගැන එක් පාර්ශ්වයක් හෝ විශ්වාසයක් නැතැ’යි කියන්නේ නම්, හැමෝට ම පිළිගත හැකි, හැමෝටම සාධාරණයක් ඉටුවන, අපක්‍ෂපාතී ක‍්‍රමයකට ඒ පරීක්‍ෂණය පැවැත්වීම අවශ්‍ය ය. නේස්බි සාමිගේ ප‍්‍රකාශයේ යටි පෙළ කියන්නේ ඒ ඇත්තයි. එනිසා, නේස්බිගේ කතාව අත්පොළසන් දී පිළිගැනීමත්, ගැටුමේ අවසන් අදියරේ දී මියගිය පිරිස ගැන ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමත් එක ම කාසියක දෙපැත්තය