රාවය

පළාත් පාලන ඡන්දයේ දේශපාලන අවකාශය

පළාත් පාලන ඡන්දයේ දේශපාලන අවකාශය

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ගැනීම ආරම්භ කිරීමත් සමඟ අප රටේ දේශපාලන උණුසුම අලූත් අවධියකට යොමුවී තිබෙන බව පෙනේ. දේශපාලනඥයන් දේශපාලන පිල් මාරු කිරීම මාධ්‍යයෙන් වඩාත් ප‍්‍රසිද්ධිය ලැබෙන කාරණයයි. ප‍්‍රසිද්ධිය නොලැබෙන, එහෙත් දේශපාලන වශයෙන් අවදියෙන් සිටින පුරවැසියන්ගේ අවධානය යොමුවිය යුතු කරුණු බොහොමයක් මේ ක‍්‍රියාවලිය තුළ මතුවෙමින් තිබේ. ඒවා කිහිපයක් ගැන සාකච්ඡා් කිරීම මේ ලිපියේ අරමුණයි.

මැතිවරණ ව්‍යාපාරයකදී, එය ජාතික මට්ටමේ හෝ ප‍්‍රාදේශීය මට්ටමේ හෝ වේවා, නිරීක්ෂණය කළ හැකි දෙයක් නම් සමාජයක දේශපාලන සංස්කෘතියේ ඇති එහෙත් සැඟවී පවතින සාධනීය මෙන්ම නිශේධනීය ගතිලක්ෂණ එළියට පැමිණ අනාවරණය වන්නේය යන්නයි. එලෙස මතුවන වඩාත්ම ප‍්‍රබල සාධනීය කාරණය නම්, පුරවැසියන්ගේ දේශපාලන විඥානයත්, දේශපාලන සාකච්ඡාවත් ඉතා තියුණු අවධියකට පැමිණීමයි. රටේ පාලකයන් වීමට අපේක්ෂා කරන වෘත්තීය දේශපාලනඥයන්ට, පාලකයන් බවට පත්වීමට අවශ්‍ය ‘අවසරය’ ලබා දෙන්නේ තමන්ය යන කරුණ ගැන සෑම පුරවැසියාම සවිඥානක වන්නේ මේ කාලයේදීය. මැතිවරණයකින් සංකේතවත් කරන ඉතාම වැදගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කාර්යය මෙයයි. මෙය වනාහි නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පමණක් ඇති ගුණාංගයකි. නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති පදනම්වාදී මූලධර්මය නම්, පාලකයන්ට රට පාලනය කිරීම සඳහා ඇත්තේ අයිතියක් නොව, පුරවැසියන් වෙතින් කොන්දේසි සහිතව පැවරෙන අවසරයක්ය යන්නයි. ඡුන්දය ප‍්‍රකාශ කිරීම මගින් හැම පුරවැසියෙකුම කරන්නේ මෙම අවසර දීමේ කාර්යය (authorization) ඉටු කිරීමයි. අවුරුද්දක් පාසාම නොයෙක් ආකාරයේ මැතිවරණ තිබෙන කාලයකදී පවා ලංකාවේ පුරවැසියන්ට මැතිවරණ ගැන හති නොවැටෙන්නේ, මෙම සාධකය නිසා යැයි අපට අනුමාන කළ හැකිය.

දේශපාලන පක්ෂ හා පුරවැසියන් අතර සම්බන්ධතා අලූත් වන්නේද මැතිවරණ ව්‍යාපාර කාලයේය. ලංකාවේ විශේෂයෙන්ම නිරීක්ෂණය කළ හැකි පරිදි, දේශපාලන පක්ෂ සම්බන්ධව ඇති මෑතකාලීන ප‍්‍රවණතාවක් නම්, දේශපාලන පක්ෂ සහ පුරවැසියන් අතර සම්බන්ධයේ ප‍්‍රධාන පුරුක බවට ටෙලිවිෂන් මාධ්‍යය පත්වීමයි. සෑම ඉරිදාවකම තම ඡුන්ද කොට්ඨාසයට ගොස් ඡන්දදදායකයන් හමුවීමේ පැරණි පුරුද්ද දැන් මන්ත‍්‍රීවරුන් සහ දේශපාලනඥයන් අතර නැත. නවීන පන්නයේ සුඛෝපභෝගී වාහන ඔවුන් පාවිච්චි කරන්නේ ආසනයට ආපසු යෑමටම නොවේ. රැකියා ලබාදීම සහ ළමයින් ලොකු පාසලකට ඇතුළත් කරදීම වැනි සාම්ප‍්‍රදායික සේවාදායක-සේවාලාභී කර්තව්‍යයන් ඉටුකර දීමේ හැකියාව සීමාවී ඇති නිසා, ඡන්දදායක-දේශපාලක ඍජු සම්බන්ධයද දැන් දුර්වල වී තිබේ. මැතිවරණවලින් දැන් සිදුවන ඉතා වැදගත් කාර්යයක් නම් දේශපාලක-ඡන්දදායක ගනුදෙනුව අලූත් කිරීමයි. මේ දිනවල පුුවත්පත් කාටූන් චිත‍්‍ර ශිල්පීන්ගේ නිරන්තර තේමාවක් බවට පත්වී තිබෙන්නේද මෙම දේශපාලන-ඡන්දදායක හමුව අලූත්වීමේ ඇති හාස්‍යජනක පැත්තයි. හාස්‍යය තිබියදී පවා මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියට වැදගත් වන සිදුවීමකි.

මේ අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියේ නරක ප‍්‍රවණතාද ඉහළින්ම මතුවන බව පෙනේ. එයින් දෙකක් ගැන පමණක් දැනට අපි සාකච්ඡා කරමු.

පළමුවැන්න නම්, ‘දේශපාලන දුෂණය’ යන පදයෙන් හැඳින්විය හැකි ක‍්‍රියාවලියට නව ජීවයක් ලැබීම සහ ඒ සඳහා අවශ්‍යතාවක්ද මතුවීමයි. දේශපාලන දුෂණය නොයෙක් ස්වරූප ගෙන ඇති බව පෙනේ. ඒකාබද්ධ විපක්ෂයේ සෑහෙන පිරිසකටම, හිටිගමන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ බෝධිසත්ව ගුණ පෙනෙන්නට පටන් ගෙන, ජනාධිපති නිල නිවස පැත්තට පැමිණීමට හැකි වී තිබෙන්නේ ‘මැතිවරණ පිල් මාරුව’ යනුවෙන් පුවත්පත්වලින් හඳුන්වන ‘දේශපාලන දුෂණ’ ප‍්‍රවණතාව අලූත්වීම නිසාය. මෙසේ පැමිණෙන මන්ත‍්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමති ධුර ලැබෙන්නටද බොහෝ විට ඉඩ තිබේ. එතුමන්ලාගේ හිතවතුන්ට ඡුන්ද අපේක්ෂක ධුරද ලැබෙනු ඇත. ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ යනු, අතීත අත්දැකීම් ආශ‍්‍රයෙන් බලන්නේ නම්, අප රටේ දේශපාලන දුෂණයේ උච්ඡු අවස්ථායි. මෙහිදී මතුවන ප‍්‍රශ්නය නම් දුෂණය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියේ අභ්‍යන්තරයටම විනිවිද ගොස් තිබීමයි.

මේ ලිපිය ලියන්නට කල්පනා කරමින් සිටිද්දී කෙනෙකු මට කියූ දෙයකින් ළඟ එන පළාත් පාලන මැතිවරණය විසින් නව ජීවය ලබාදෙන ලද දේශපාලන දුෂණය නම් සංසිද්ධිය පිළිබඳ නව තොරතුරක් මට ලැබිණ. ඒ අනුව, එක්තරා දේශපාලන පක්ෂයක්, පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ධුර අපේක්ෂා කරන පක්ෂ කාර්යධරයන්ට කියා ඇත්තේ, පක්ෂ අරමුදලට පරිත්‍යාගයක් කරන ලෙස සහ ඉන්පසු ඡන්ද ව්‍යාපාරයේ වියදම තමන්ම දරාගන්නා ලෙසයි. මේ අනුව ප‍්‍රාදේශීය සභාවක ඡන්දය ඉල්ලීමේදී පවා කෙනෙකුට මිලියන හත අටක් වියදම් කළ යුතුව තිබේ. දුෂිත වීම හැර අන් විකල්පයක් ඡන්ද අපේක්ෂකයන්ට ලබා නොදෙන තත්ත්වයකට අප රටේ නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පත්වී තිබීම ගැන මේ සිදුවීම වනාහි සුළු නිදසුනකි. පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී මෙහි පරිමාව කිහිප ගුණයකින් ඉහළ යයි. ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යැයි බටහිර පුවත්පත්වල හැඳින්වෙන ඉන්දියාවේ මැතිවරණවලදී දේශපාලන දුෂණයේ පරිමාව අප රටේ අයට සිතා ගැනීමටවත් නොහැකි තරමට විශාලය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය සහ දේශපාලන දුෂණය අතර ඇති මෙම අශුද්ධ සන්ධානය ෙඡ්දනය කළ නොහැකිද? මෙය වනාහි පහසු පිළිතුරක් නැති ප‍්‍රශ්නයකි.

දෙවැනි කාරණය සම්බන්ධ වන්නේ, මෙම පළාත් පාලන ((Local Government)  මැතිවරණයේ Local භාවය නැතිවීම යන කරුණටයි. ජවිපෙ ඡුන්ද පෝස්ටර්වල ‘ගමේ ආණ්ඩුව’ යැයි හැඳින්වෙන පළාත් පාලන ආයතනවලට ගම් මට්ටමෙන් නියෝජිතයන් තෝරා ගන්නා මේ මැතිවරණ ව්‍යාපාරයේදී, දේශපාලන පක්ෂවල න්‍යාය පත‍්‍රවල අවධානය යොමු නොකෙරෙනම තේමාව බවට පත්වී තිබෙන්නේ Local කාරණායි. ප‍්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ පෙරදී කළේත්, දැන් කරන්නේත් පළාත් පාලන මැතිවරණය තම ජාතික බල ව්‍යාපෘතියේම තවත් අවස්ථාවක් බවට පත් කිරීමයි.

එජාපයට අවශ්‍ය වී තිබෙන්නේ, රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය තමන් බව ඔප්පු කිරීමටය. ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය ඊළඟ මැතිවරණවලින් ජයගෙන නැවත බලයට පැමණීමේ ‘ජාතික’ ක‍්‍රියාවලිය ආරම්භ කිරීමටය. ශ‍්‍රීලනිපයට අවශ්‍ය වී තිබෙන්නේ තුන්වැනි ස්ථානය ශක්තිමත් කරගැනීමටය. නැත්නම් දෙවැනි ස්ථානයට පැමිණීමටය. කුඩා පක්ෂද කරන්නේ මෙම ජාතික රැල්ලේම පාවී යාමය.

ජවිපෙ නායකත්වයේ අවධානය විශේෂයෙන් යොමු වෙතැයි අපේක්ෂා කළ හැකි, ලංකාවේ වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති එක්තරා ගැටලූවක් සූත‍්‍රගත කිරීමට මෙහිදී අපට අවස්ථාව ලැබේ. එම ගැටලූව මෙසේය: ප‍්‍රාදේශීය/ග‍්‍රාමීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය (Local Democracy) ජාතික මට්ටමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති නිර්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලින් වෙන් කරන්නේ කෙසේද? ග‍්‍රාමීය/ප‍්‍රාදේශීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ප‍්‍රතිසංස්කරණයට හා යළි ගොඩනැගීමට පාත‍්‍ර කළ හැකිවන්නේ කෙසේද?

මගේ අදහස නම් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රීකරණය පිළිබඳ සාකච්ඡාවට මෙම ගැටලූවේ තේමාව, සම්බන්ධ කරගත යුතුය යන්නයි. ඒ සඳහා අවශ්‍ය දේශපාලන සූදානම තිබෙන බව පෙනෙන්නේ ජවිපෙටයි. පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය තුළදී ජවිපෙට අවධාරණය කළ හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ඉදිරි දර්ශනයක් තිබේ. එය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන යළි ගොඩනැගීමේ ක‍්‍රියාවලිය පහත සිට ආරම්භ කිරීමට අවකාශ තිබෙන්නේය යන්නයි. මේ සඳහා පළාත් පාලනය දෙස බැලිය යුත්තේ ප‍්‍රාදේශීය/ග‍්‍රාමීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ප‍්‍රාදේශීය/ග‍්‍රාමීය ස්වායත්තතාව පිළිබඳ දෘෂ්ටියෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැඹුරු කිරීමේ සිතීමක් සහ දැකීමක් ආශ‍්‍රයෙනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ‘ගැඹුරු කිරීම’ අවශ්‍ය වී තිබේය යන කියමනෙන්, ලංකාව වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැතිරී තිබෙන රටවල පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ එක්තරා ප‍්‍රහේළිකාවකට අපේ අවධානය යොමු කෙරේ. එය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජය තුළදී පැතිරීමේදී සහ ව්‍යාප්තවීමේදී, එය තුනීවීමද සිදුවී ඇති බවයි. එය හරියට රොටි පිච්චීමේදී රොටිය ලොකු කිරීමට පිටි තාච්චියේ පතුරුවන විට, රොටිය තුනීවීමට සමාන දෙයකි. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මෙම ලක්ෂණය තදින්ම විද්‍යමාන වේ. ඡන්ද බලය, පක්ෂ ක‍්‍රමය, දේශපාලන තරගය, මැතිවරණ සහභාගිත්වය සහ සිවිල් සමාජය ලංකාවේ ඉතාම පිටිසර ගම්වලට පවා පැතිරී තිබේ. දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය අප රටේ සෑම අස්සක් මුල්ලක් නෑර විනිවිද ගොස් තිබේ. එය යහපත් දෙයකි. එහෙත් පැතිරෙන ගමන්ම දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණය පිරිහීමද සිදුවී තිබේ. පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ආශ‍්‍රිතව අප මේ දිනවල නැවත වරක් දකින්නේ මෙම කාරණයයි. පැතිරී තුනීවී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පටු කරන්නේ නැතිව ඝන සහ ගැඹුරු කිරීම ගැන සිතීම අප රට පුරවැසියන් ඉදිරියේ තිබෙන අභියෝගවලින් එකකි.