රාවය

ණය ආපසු ගෙවීමේ බද්දේ හොඳ නරක

ණය ආපසු ගෙවීමේ බද්දේ හොඳ නරක

විශේෂ ‘ණය ආපසු ගෙවීමේ බද්ද’ වශයෙන් හඳුන්වනු ලබන බද්දක් පනවා බැංකු හරහා කරනු ලබන සෑම ගනුදෙනුවකටම රුපියල් දහසකට සත 20ක් බැගින් අයකිරීමෙන් රුපියල් බිලියන 20ක මුදලක් උපයා ගැනීමට 2018 අය-වැය කතාව තුළින් යෝජනාවක් ඉදිරිපත් කර තිබීම ඒ තුළින් නිර්මාණය විය හැකි වෙනත් දිරිගැන්වීම් සම්බන්ධව සිතා බලන්නට මා තුළ පෙළඹුමක් ඇති කළේ ය.

රුපියල් දහසකට සත විස්සක් නොඑසේ නම් ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 0.02ක් යනු ඉතා සුළු ප‍්‍රමාණයක් වුවත්, ගනුදෙනු කළහැකි වෙනත් ක‍්‍රමවේදයන් පැවතීම බද්දට යටත් විය හැකි ආකාරයෙන් ගනුදෙනු කිරීම අධෛර්ය කිරීමක් නිර්මාණය කරයි. මේ බද්ද විසින් විද්‍යුත් ක‍්‍රමවේද හරහා ගනුදෙනු කිරීම සඳහා දිරිගැන්වීමක් සැපයෙන්නේ ද? ණය ආපසු ගෙවීමේ බද්ද ක‍්‍රියාත්මක කිරීම පිණිස දැරීමට සිදුවන පිරිවැය මොනවා ද?
මේ බද්දට යටත්වන ගනුදෙනු කවරේද?

‘මූල්‍ය ආයතනවලින් සිදුකරනු ලබන මුදල්මය ගනුදෙනු මත ‘ණය ආපසු ගෙවීමේ බද්ද’ පැනවීම ආරම්භ කරනු ඇති බව අය-වැය ලේඛනයේ තාක්ෂණික සටහන්වල සඳහන්ව තිබේ. එහි තවදුරටත් සඳහන් වන අන්දමට ‘මුදල්මය ගනුදෙනු සමස්තය මත බද්ද අයකරනු ලබන අතර එය මූල්‍ය ආයතනය විසින් ගෙවිය යුතුව තිබේ’.
මූල්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ තාක්ෂණික කරුණු පිළිබඳව ගැඹුරු දැනුමක් නොමැති පුද්ගලයකු වශයෙන්, මේ සියයට 0.02 බද්දට හසු නොවන, ‘මුදල් නොවන’ ගනුදෙනු මොනවාදැයි සිතන්නට මම තැත් කළෙමි. වෙළෙඳුන් සමග කරන ගනුදෙනුවලදී මුදල් නොවන ක‍්‍රම මගින් ගෙවීම් සිදුකිරීම සහ සිය වැටුප් විද්‍යුත් හුවමාරු හරහා ලබා ගැනීම හොඳ උදාහරණ බව මට පෙනිණි.

ණය (credit) , හර කිරීම් (debit) හෝ අගය අඩංගු කරන ලද කාඞ්පත් යොදා ගනිමින් සේවා හෝ භාණ්ඩ මිලදී ගැනීමක් වෙනුවෙන් ගෙවීම් සිදුකිරීම, තමන් විසින් ඍජුව සිදුකර නැතත් වෙනත් පුද්ගලයකු විසින් හෝ එසේ කරනු ශ‍්‍රී ලාංකික බොහෝ දෙනෙකු දැක ඇතිවාට සැක නැත. මේ ආකාරයෙන් ගෙවීම් කිරීම 1994 වර්ෂයේ සිටම මේ රට තුළ සිදුවෙමින් පවතින්නකි. මෙහිදී කුඩා යන්ත‍්‍රයක පවතින දාරයක කාඞ්පත අතුල්ලා පාරිභෝගිකයාගේ අත්සන ලබා ගැනීමෙන් හෝ වෙනත් ආකාරයක් භාවිත කරමින් නියමිත මුදල හර කිරීම සඳහා ඔහුගේ අනුමැතිය ලබාගැනේ. ගෙවීම් සඳහා මුදල් භාවිත කරන ක‍්‍රමයේදී පාරිභෝගිකයා වෙළෙන්දා වෙත ගොස් මුදල් ලබා දෙන අතර ඉතිරි මුදල් ලැබිය යුතු අවස්ථාවක දී එය මුදලින්ම එය ලබා ගනී.

ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන අන්දමට, 2017 වර්ෂයේ දෙවන කාර්තුව වන විට අප ඉහත විස්තර කළ කාඞ්පත් වර්ගයකින් ගෙවීම් සිදුකළ හැකි ස්ථාන 44,842ක් මේ රටේ පැවතණි. එම ස්ථාන හරහා 2017 දෙවන කාර්තුව තුළ සිදුකරන ලද ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 101.1කි. 2016 සමාන කාර්තුව සම`ග සසඳන විට මෙය සියයට 24.9කින් ඉහළ නැගීමකි. එම ස්ථාන හරහා සිදුකරන ලද ගනුදෙනු සංඛ්‍යාව සියයට 22කින් ඉහළ ගොස් මිලියන 20.7ක් බවට පත්වී තිබේ.

පුද්ගලයකුට වැටුප් ගෙවීම මුදල් නෝට්ටුවලින් මෙන්ම චෙක්පතක් මගින් සිදුකළ හැකි වන අතර සේවකයාගේ බැංකු ගිණුමෙන් ඍජුවම සේවකයාගේ ගිණුමට මාරු කිරීමේ හැකියාව ද තිබේ. මුදල් නෝට්ටු යොදා ගනිමින් ගෙවීමේදී වැටුප මත සියයට 0.02 බද්ද අය වනු ඇත. පෙනෙන ආකාරයට, සේවකයාගේ සිට සේවකයාට විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ ක‍්‍රමයට මෙම බද්ද අදාළ නොවේ’   Sri Lanka Interbank Payment (SLIP) නමින් හැඳින්වෙන ක‍්‍රමය හරහා මේ ආකාරයේ මුදල් මාරුකිරීම් සිදුවන අතර රටේ මුදල් නෝට්ටු රහිතව සිදුවන සිල්ලර ගනුදෙනුවලින් සියයට 12ක් SLIP ක‍්‍රමය හරහා සිදුවන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2017 වර්ෂයේ දෙවන කාර්තුව තුළ රුපියල් මිලියන 415.6 අගයකින් යුතු ගනුදෙනු 7,584,500ක් SLIP ක‍්‍රමය තුළින් සිදුකර ඇත. පෙර වර්ෂයේ (2016* දෙවන කාර්තුව සමග සසඳන විට ඒ ආකාරයේ ගනුදෙනුවල අගය අතින් සියයට 19.6ක ඉහළ යාමක් වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් නිවේදන වාර්තාවේ භාවිත කර ඇති භාෂාවට අනුව,SLIP ක‍්‍රමය හරහා සිදුකරනු ලබන ගනුදෙනු මෙකී බද්දෙන් නිදහස් විය යුතු ය. මතුපිටින් පෙනෙන අන්දමට, දැනට මුදල් නෝට්ටු මගින් වැටුප් ගෙවන සමාගම්වලට වහාම SLIP ක‍්‍රමය භාවිත කිරීම ආරම්භ කිරීමට මේ බද්ද විසින් දිරිගැන්වීමක් සපයයි. චෙක්පත් හරහා කරනු ලබන වැටුප් ගෙවීම්වලට ද මේ සහනයම ලැබේ ද? චෙක්පත් මුදල් නෝට්ටු නොවන නිසා එම ගෙවීම්ද බද්දෙන් නිදහස් විය යුතු බව පෙනේ.

මුදලෙහි දක්නට ලැබෙන ගුණාංගය නම් එය සංසරණය වීමයි. පුද්ගලයකුට විද්‍යුත් ක‍්‍රමවේදයෙන් බැංකු ගිණුමට ලැබෙන වැටුප එතැනින් නතර නොවේ. එදිනෙදා අවශ්‍යතාවන් මිල දී ගැනීම උදෙසා ඔහු එක්කෝ ඩෙබිට් කාඞ්පතක් මගින් මුදල් ගෙවයි. නොඑසේ නම්, මුදල් ලබා ගන්නා යන්ත‍්‍රයකින් මුදල් ආපසු ගෙන සිය අවශ්‍යතාවන් මිල දී ගැනීමේ දී මුදලින් ගෙවීම් සිදු කරයි. මෙහි මුලින් සඳහන් කරන ලද ආකාරයේ ගෙවීමක් කිරීමේ දී ඔහුට බද්ද ගෙවීමට සිදු නොවනු ඇත. එහෙත්, දෙවන ක‍්‍රමයේ දී එනම්, බැංකුවෙන් මුදල් ලබා ගැනීමේ දී සියයට 0.02ක බද්ද ඔහු වෙතින් අය වනු ඇත.

තාක්ෂණිකව බලන විට, යන්ත‍්‍රයකින් රුපියල් දසදහසක් ලබා ගන්නා පුද්ගලයකුට ලැබෙනුයේ රුපියල් 9998කි. එහෙත්, මුදල් ලබා ගන්නා යන්ත‍්‍රවලට රුපියල් දෙකේ මේ බද්ද අය කරගෙන ඉතිරිය ගෙවීම ප‍්‍රායෝගිකව අපහසු කරුණක් වන හෙයින්, එම මුදල අඩු කරනු ලබනු ඇත්තේ ගනුදෙනුකරුවාගේ බැංකු ගිණුමෙනි. මේ සඳහා, රටේ මේ වන පවතින, විවිධ බැංකුවලට අයත් 4,035ක් වන මුදල් ලබා ගන්නා යන්ත‍්‍ර මෙහෙයවන පරිගණක වැඩසටහන් වෙනස් කිරීමට සිදුවනු ඇත.

වසර තුනක් සඳහා පමණක් මේ බද්ද එකතු කර ගැනීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන සහ මේසා විශාල වූ පරිගණක මෘදුකාංග වෙනසක් සිදුකිරීම පාඩුවක් නොවේ ද?

ගෙවීම් කිරීමේ එක් ක‍්‍රමයකට වැඩි වාසියක් දෙන්නේ ඇයි?

මුදල් නෝට්ටු සමග කටයුතු කිරීමේ දී මුහුණ දෙන්නට සිදුවන ගැටලූ පිළිබඳව ඒවා භාවිත කරන ව්‍යාපාරිකයන්ට හොඳ අවබෝධයක් තිබේ. ගෙවීමක් ලැබුණු විට හොර නෝට්ටු තිබේදැයි පරීක්ෂා කර බැලීමට, නිවැරදිව ගණන් කරන බවට වගබලා ගැනීමට සේම මුදල් ආරක්ෂිතව ගබඩා කිරීමට සේප්පු වැනි ක‍්‍රම යොදා ගැනීමට ඔවුන්ට සිදුවේ. මුදල් ගබඩා කර තබන ස්ථානයේ හෝ ඒවා ප‍්‍රවාහනය කරන අතරතුර සොරකම් මංකොල්ලකෑම්වලට ලක්වීමේ අවදානම නිරන්තරයෙන්ම පවතින්නකි. ඒ සමගම, මුදල් භාවිතයේ පවතින වාසි ද ඔවුහු දැන සිටිති.

දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු ඉපැයීම් අඩුවීමේ ප‍්‍රවනතාවට ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින බවට සහ මේ අවනතිය ආපසු හරවා ගැනීම සඳහා රජය විසින් ගනු ලබන විවිධ පියවර පිළිබඳව අපට නිතර අසන්නට ලැබේ. අපටත් වඩා අඩු අනුපාතයක එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.5ක පවතින මියැන්මාරයේ බදු ඉපයීම් පිළිබඳ මෑතකදී ඉකොනොමිස්ට් සඟරාවේ පළවී තිබූ ලිපියෙන් වැදගත් අදහස් ලබා ගත හැක.

යැන්ගොන් නගරයේ මධ්‍යම ප‍්‍රදේශයේ නූඞ්ල්ස් භෝජන ශාලාවක කාර්යබහුලව වෙළෙඳාම සිදුකෙරේ. පාරිභෝගිකයෝ මේස මත නැවී නූඞ්ල්ස් සුප් උරා බොමින් ඩම්ප්ලින් අනුභව කරති. සියලූදෙනාම මුදලින් ගෙවීම් කරති. ගෙවීම සඳහා රිසිට්පතක් ඉල්ලා සිටින්නේ පාරිභෝගිකයන් අතරින් කලාතුරකින් කෙනෙකි. කෙනෙක් රිසිට්පතක් ඉල්ලා සිටියහොත්, රජය විසින් නිකුත් කරන ලද ස්ටිකර් ඇතුළු සියලූ අංග සහිතව රිසිට්පතක් ලබා දෙනු ලැබේ. එහෙත්, කෑම වේල සඳහා එවිට වැඩි මිලක් අය කෙරේ. භෝජන ශාලාවේ වෙළෙඳාමෙන් අතිවිශාල කොටසක් සඳහා කිසිවකු විසින් බදු නොගෙවන බවක් පෙනේ.

කිසියම් ආකාරයක කාඞ්පත් මගින් ගනුදෙනු කිරීමට පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් පොළඹවන ආකාරයේ දිරිගැන්වීමක් ඇති වූයේයැයි සිතමු. මෙවැනි ක‍්‍රමයක් විගණනය කිරීමෙන් තොරතුරු ලබා ගැනීම උපාය ¥තයන් යවා ව්‍යාපාරයේ ආදායම පිළිබඳව අදහසක් ලබා ගැනීමට උත්සාහ කිරීමට වඩා බෙහෙවින් පහසු කරුණකි. ගනුදෙනු වැඩි ප‍්‍රමාණයක් වාර්තාගත වනු ඇති අතර ව්‍යාපාර වැඩි සංඛ්‍යාවක් බදු දැල තුළට හසු වනු ඇත. රජයේ මේ උත්සාහය එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහාද?

ණය ආපසු ගෙවීමේ බද්ද ක‍්‍රියාවට නැංවීම සඳහා පරිගණක පද්ධතීන් තුළ සිදුකළ යුතු වෙනස්කම් අතිශයින් බැ?රුම් සහ කරදර සහගත ය. මෙහි අර්ථකථන අපැහැදිලි ය. අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම උදෙසා නීතිඥයන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයන් යොදාගනිමින් විශාල වැඩ කොටසක් සිදුකිරිම අවශ්‍ය වනු ඇත. ඒ සඳහා ඒසා විශාල ශ‍්‍රමයක් සහ ධනයක් වැය කිරීමට සිදුවන්නේ නම් මේ බද්ද බල පැවැත්වෙනු ඇත්තේ වසර තුනක් පමණකැයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ මන්දැයි අපට නොතේරේ. තාවකාලික බදු, පහසුවෙන් සහ අඩු පිරිවැයකින් ක‍්‍රියාවට නැංවිය හැකි ඒවා විය යුතු අතර මේ බද්ද ඒ නිර්ණායකයන් සමග නොගැළපේ.
සරල ක‍්‍රම මගින් අවශ්‍ය මුදල් උපයා ගැනීමේ ක‍්‍රම නිලධාරීන් සොයාගනු ඇතැයි සිතන්නට සිදුවේ. එසේ නොමැති නම් මින් පෙර අය-වැය දෙකේදී බොහෝ යෝජනාවලට සිදුකළ ආකාරයෙන්ම මේ යෝජනාව ද රහසේ වල දමන්නට සිදුවනු ඇත.

මේ යෝජනාව විසින් සිදුකළ යහපත් දෙය නම් විද්‍යුත් ගෙවීම්වල හොඳ සහ නරක පිළිබඳව සිතා බලන්නට අපට පෙළඹවීමක් ඇති කිරීමයි. අපි ක‍්‍රමයෙන් එහෙත් ස්ථිරවම, පරණ තාලේ මුදල් නෝට්ටු අතහරිමින් නව සහ වඩාත් කාර්යක්ෂම ගෙවීම් ක‍්‍රම කරා සංක‍්‍රමණය වෙමින් සිටිමු. විද්‍යුත් ගෙවීම් ක‍්‍රම තුළට කුඩා ව්‍යාපාර සහ කුඩා ගෙවීම් ඇතුළත් කරමින් එකී සංක‍්‍රමණය වඩා වේගවත් කරන තල්ලූවක් ලබා දීම සඳහා තීරණයක් ගන්නට හොඳම කාලය සමහර විට, මේ කාලය වන්නට ඉඩ තිබේ. එහෙත්, ඒ තල්ලූව, විශාල පිරිවැයක් දැරීමට සිදුවන වසර තුනකට සීමාවේයැයි කියන මේ විශේෂ බද්ද වීම අවශ්‍ය නැත.