අද ජනමාධ්‍යවේදීන් කරන්නේ කටට මයික් අල්ලන එක විතරයි

සම්මාන මහාචාර්ය සිරි හෙට්ටිගේ
කොළඹ විශ්වවිද්‍යාලය

 

ලංකීය ජනමාධ්‍යයේ වර්තමාන ස්වරූපය ගැන ඔබේ තක්සේරුව මොකද්ද?

අද වන විට ලංකාවේ විද්‍යුත්, මුද්‍රිත ආදි සියලූ ජනමාධ්‍ය විශාල වශයෙන් ප‍්‍රසාරණය වෙලා තියෙනවා. නමුත් පහුගිය දශක කිහිපයේදී සිදුවූ මේ ප‍්‍රමාණාත්මක ප‍්‍රසාරණයත් එක්ක ඒවායේ ගුණාත්මක පාර්ශ්වය ප‍්‍රසාරණය වුණාද කියන එක තමයි ගැටලූව.

මේ රටේ ජනමාධ්‍ය මුල්කාලයේ ක‍්‍රියාත්මක වුණේ මහජන සුබසෙත සඳහා සන්නිවේදනය කියන සංකල්පය මත. යම් කිසි කණ්ඩායමකට දේශපාලනිකව කිරීම සඳහා ජනමාධ්‍ය භාවිත කිරීම ඒ තුළ පිළිගැනුණේ නෑ. නමුත් අද වන විට විවිධාකාර බලවේග වෙනුවෙන් පෙනී ඉන්න ජනමාධ්‍ය උත්සාහ කරන නිසා ජනමතය විකෘති වීමේ ප‍්‍රවණතාවක් මතුවෙලා තියෙනවා.

අපි දන්නවානේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකයම මේ වනවිට සංකීර්ණ ගැටලූ රාශියකට මුහුණ දෙමින් ඉන්නවා කියලා. උදාහරණයක් විදියට දේශගුණික විපර්යාස ගන්න පුළුවන්. රටවල් එකසිය හැට ගණනක් අත්සන් කරලා පැරිස් සම්මුතියට ගියේ මේ කාරණය ලෝකයේ හැමෝම පිළිගෙන තියෙන නිසා. ඉතිං දේශගුණික විපර්යාසයන් පිළිබඳ මේ කාරණය විද්‍යාත්මක දෘෂ්ටියක්. ලෝකය මේ එකඟතාවට යන්නේ මේ පිළිබඳව විද්‍යාඥයන් විසින් ඉතා ගැඹුරින් අධ්‍යනය කරලා ඉදිරිපත් කළ විද්‍යාත්මක කරුණු කාරණා අවබෝධ කරගෙන. ඉතිං මේ වගේ විපර්යාසයකට මුහුණදෙන්න නම් අපි ඒ දිහා බලන්න ඕනෑ බොහෝම තර්කානුසාරී සහ විද්‍යාත්මක පදනමකින් යුතුව. ඒ දැක්ම සඳහා සාමාන්‍ය මිනිස්සු රැගෙන යන එක කරන්න ඕනෑ රටේ ජනමාධ්‍ය. නමුත් ඒ කරුණු සිද්ධ වෙනවාද කියන එක ගැටලූවක්.

 

දැනුවත්භාවය නොදීම කියන කාරණය උඩ වගකීම් ඉටු නොකිරීම විතරක් නෙමෙයි, විද්‍යාත්මක දෘෂ්ටිය වෙනුවට මිථ්‍යා මත සමාජගත කිරීමටත් අපේ බහුතරයත් ජනමාධ්‍ය දායකවෙනවා නේද?

ඔව්. මේ දේ සිදුවෙන්නේ හිතාමතාමද නැතිනම් ජනමාධ්‍ය මෙහෙයවන්නන්ගේ පසුගාමීත්වය සහ නොදැනුවත්කම නිසාද කියලා කියන්න බෑ. කොයි හේතුව නිසා සිද්ධ වුණත් මේ දෙයින් සිදුවන අවසන් ප‍්‍රතිඵලය භයානකයි.

අවුරුදු පණහකට විතර කලින් අපේ රටේ තත්ත්වය බැලූවොත්, ඒ කාලේ සෑහෙන යාගහෝම බලිතොවිල් ආදි නොයෙකුත් මිථ්‍යා විශ්වාස පුළුල් ලෙස ව්‍යාප්ත වෙලා තිබුණා. මොකද තමන්ට එන කරදර, ලෙඩ රෝග ගැන විකල්ප අවබෝධයක් මිනිස්සුන්ට තිබුණේ නෑ.

උපදින දරුවන් සතිගාණෙන් මාස ගාණෙන් විවිධ රෝග තත්ත්වයන් නිසා මිය යනකොට, මැලේරියා, කොළරා, ලාදුරු වගේ වසංගත නිසා විශාල වශයෙන් මිනිස්සු මැරෙද්දී සාමාන්‍ය මිනිස්සු විශාල ගැටලූවකට ගියා. ඒ වාගේ දේවලට මිනිස්සුන්ට විද්‍යාත්මක විකල්ප තේරුණේ නැති නිසා තමයි යක් තොවිල්, දේව පූජා වගේ දේවල් ගැන ආකර්ෂණයක් ඇති වුණේ.

නමුත් ගෙවී ගිය අවුරුදු පණහ තුළ මේ දේවල් ටිකින් ටික අඩුවුණා. අද වන විට බලිතොවිල් වගේ දේවල් කලාතුරකින් සිදු කළත් ඒ කරන්නේ මිනිස්සුන්ට ආස්වාදයක් ලබාදෙන සංස්කෘතිකාංග විදිහට. මේ දේවල් අඩු වෙන්න හේතු වුණේ ගුවන්විදුලිය ඇතුළු ජනමාධ්‍ය මගින් එදා මේ ලෙඩ දුක් හා ස්වාභාවික ව්‍යසන ගැන විද්‍යාත්මක අවබෝධයක් මිනිස්සුන්ට දුන්න නිසා. නමුත් ඔබ කිව්වා වගේ අද මේ හැම දෙයක් ම සිදුවෙන්නෙ අනික් පැත්තට. අද ලංකාවේ ගුවන්විදුලි නාලිකාම තියෙනවා සෑහෙන ප‍්‍රමාණයක්. නමුත් අද වන විට ඒවායේ මොකුත් නෑ.

 

මාධ්‍යයක දෙකක තියෙන ඒකාධිකාරය නැතිකරමින් සෑම පාර්ශ්වයකට ම අදාල තොරතුරු ජනතාවට ලබාදීමට මාධ්‍ය ආයතන රාශියක් තියෙන එක වැදගත් නැද්ද?

විදේශ රටවල් ගත්තත් සමහර වෙලාවට ප‍්‍රමාණාත්මක විදියට විශාල ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා තියෙන්න පුළුවන්. නමුත් ඒ හැම දේකම සාරවත් දෙයක් තිබුණා. ඒ බොහෝමයක් නාලිකා එක ක්ෂෙත‍්‍රයක් සඳහා විතරක් වෙන් වුණ ඒවා. සමහර නාලිකා තියෙන්නේ ප‍්‍රවෘත්ති සඳහා විතරයි. සමහර ඒවා පරිසරය සඳහා. තවත් සමහර ඒවා ක‍්‍රීඩා සඳහා. තව සමහර නාලිකා තියෙනවා කාලගුණය ගැන. තවත් සමහර ඒවා චිත‍්‍රපට ටෙලිනාට්‍ය වැනි දේවල් සඳහා වෙන් වුණ දේවල්. ඒ නිසා ප‍්‍රමාණවත්ව වැඩි වුණාට ගැටලූවක් නෑ ඒවායේ සුවිශේෂත්වයක් තියෙනවා නම්. නමුත් ලංකාවේ තියෙන හැම මාධ්‍යකම වගේ තියෙන්නේ එකම දේවල්. කිසිම සුවිශේෂත්වයක් නෑ. ඒ වගේම මේවා අවම ප‍්‍රමිතීන්වත් පවත්වාගෙන යනවාද කියන ගැටලූව තියෙනවානේ.

 

ඔබ මතුකරන මේ කඩාවැටීම නිරපේක්ෂ සිදුවීමක්ද? නැත්තම් හැත්තෑ හතෙන් විතර පස්සේ සිදුවුණ සමස්ත සමාජ දේශපාලනික කඩාවැටීමේ ම එක අවස්ථාවක්ද?

ඔබ මතු කළ කාරණය ඇත්ත. මේක හුදකලා තනි සිදුවීමක් නෙමෙයි තමයි. මේක රටේ ඇතිවුණු සමාජ ආර්ථික පරිවර්තනයේම ප‍්‍රතිබිම්බයක්. වෙන එකක් නෙමෙයි මුල් යුගය තුළ දේශපාලනය තිබුණේ සේවාවක් විදිහට. අපි කුඩා කාලයේ හිටි දේශපාලන නායකයන් දේශපාලනයට ආවේ සමාජය තුළ යම් වෙනසක් ඇති කරන්න යම් මතවාදී පදනමකුත් එක්ක. ඒ මතවාදය කොච්චර දුරට නිවැරදිද නැද්ද කියන එක වෙනම කාරණයක්. නමුත් හැමෝම ආවේ රටට සේවයක් කිරීම. ඒත් මේ සමාජ ආර්ථික පරිවර්තන එක්ක දේශපාලනයත් ව්‍යාපාරයක් වුණා. ඉන් පස්සේ දේශපාලනය කරන්න මිනිස්සු එන්නේ මුදල් හම්බකරගන්න. බලය ලබාගන්න, තමාගේ සමාජ තත්ත්වය වර්ධනය කරගන්න වගේ තව දේවල් හිතාගෙන. ජනමාධ්‍යත් එහෙමයි.

අද ජනමාධ්‍යවේදීන් කරන්නේ යම් කිසි කෙනෙක්ගේ කටට මයික් අල්ලන එක විතරයි. ඒ අයගෙන් ප‍්‍රශ්න අහන්නේ නෑ. ඔහු කියන එක කියන්න දීලා ඒක ප‍්‍රචාරය කරනවා. ඒ වගේම බොහෝ විවාද වැඩසටහන් තුළදී සිදුවෙන්නේ තමා සහයෝගය දක්වන පාර්ශ්වය පැත්තට විතරක් අවස්ථාව දෙන එක. අනික් අයට අවස්ථාව දෙන්නේ නෑ. වෙනත්් අදහසකට ඉඩක් නෑ. ඒ වගේම ඒ වැඩසටහන්වලට සහභාගීවන බොහෝ දෙනාත් එහෙමයි. අන් මත ඉවසන්නේ නෑ. විරුද්ධ අදහසක් ප‍්‍රකාශ වුණොත් ඊට එරෙහිව කෝප ගන්නවා.

සාමාන්‍යයෙන් ගෙදරක රූපවාහිනී යන්ත‍්‍රයක් තියන්නේ සාලෙකනේ. ඒ හැමෝටම බලන්න පුළුවන් වෙන්න. නමුත් දැන් රූපවාහිනී යන්ත‍්‍රයක් සාලයේ තියන්න බයයි. මොකද මේ ප‍්‍රකෝපකාරී හැඟීම් සහ අදහස් ළමා මනස විකෘති කරන නිසා. යම් කෙනෙක් දත්මිටි කකා අනික් මනුෂ්‍යයාට බනිද්දි අපි ඡන්දෙ දීලා අපිව පාලනය කරන්න කියලා යැවූ පිරිසගේ සදාචාරය මේකද කියලා ළමයින් හිතන්න ගන්නවා.

මිනිස්සු ජනමාධ්‍ය ආශ‍්‍රය කරන්නේ දවසේ එක වෙලාවක විතරනෙ. පැය විසිහතර පුරාම ජනමාධ්‍ය ආශ‍්‍රය කරන්න හැකියාවක් මිනිස්සුන්ට නෑ. මිනිස්සු රස්සා කරන්න ඕනෑ. වත්තපිටියෙ වැඩ කරන්න ඕනෑ. සමාජය ආශ‍්‍රය කරන්න ඕනෑ. ඒ සියල්ල අතරේ තමයි මිනිස්සු ජනමාධ්‍ය ආශ‍්‍රය කරන්නේ. නමුත් මේ තියෙන ජනමාධ්‍ය ප‍්‍රමාණය අහන්න බලන්න කියවන්න ගියොත් මිනිස්සුන්ට වෙන දෙයක් කරන්න වෙන්නේ නෑ.

අද අපිට හැමතැනම තියෙන ගැටලූව තමයි අධිපරිභෝජනය. පාරට ගියාම වාහන වැඩියි. බඩුවක් ගන්න සුපර් මාර්කට් එකකට ගියාම එතැන තියෙන භාණ්ඩ හැමදේම අපේ ඇත්ත අවශ්‍යතාවන්ද කියලා හිතෙන තරමට. මේ අධිපරිභෝජනය නිසා තමයි අද කසළ බැහැරකිරීම වගේ දේවල් අද සමාජ ගැටලූවක් බවට පත්වෙලා තියෙන්නෙ. මීට අවුරුදු පණහකට කලින් කසළ බැහැරකිරීම ගැන ප‍්‍රශ්නයක් තිබුණේ නෑ අපිට. ජනමාධ්‍ය පිළිබඳ අද ඇතිවෙලා තියෙන තත්ත්වයත් ඔය වගේ. ඒක අර කියූ සමාජ වෙනසත් එක්කම යා වුණු එකක් තමයි.
අද තියෙන්නේ ජනමාධ්‍ය සේවා නෙමෙයි ජනමාධ්‍ය ව්‍යාපාර. අද ජනමාධ්‍ය වැඩිපුර පාවිච්චි වෙන්නේ භාණ්ඩ ප‍්‍රචාරණයට. ඒ වගේම ජනමාධ්‍ය හිමිකරුවන් බොහෝවිට දේශපාලනික න්‍යායපත‍්‍රවලට අනුව කටයුතු කරන බව පේනවා.

හතරවෙනි ආණ්ඩුව හැටියට සලකන ජනමාධ්‍ය තමංට ළං කරගැනීම වාසිදායක බව දේශපාලනඥයන් කල්පනා කිරීමත්, ජනමාධ්‍ය ආයතනයක් ගොඩනගාගැනීම දේශපාලනඥයන්ට ළංවීමේ හොඳම මාර්ගය ලෙස ව්‍යාපාරිකයන් දැනගැනීමත් කියන කාරණා මේ තත්ත්වයට හේතු වෙන්න පුළුවන්ද?

ඔව්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන රාමුවක් තුළ ජනමාධ්‍යයේ කාර්යභාරය ඉතාම වැදගත්. ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය ගත්තාම ඒ තුළ විවිධ බලවේග ඉන්නවා. ඒ අතර ප‍්‍රධාන බලවේගයක් තමයි විවිධාකාර ව්‍යාපාර සිදුකරන උදවිය. අද වන විට ලංකාවේ ජනමාධ්‍යයෙන් විශාල කොටසක් මේ පිරිසට යටවෙලා ඉවරයි. ඉතිං ඒ අය තමන්ගේ ජනමාධ්‍ය හසුරුවද්දී සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයන්ගෙන් ඈත් රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කල්පනා කරලා ඒවා මෙහෙයවයි කියලා හිතන්න බෑනෙ.

දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් අතර මේ විදිහේ සම්බන්ධකම් ඇතිවෙන එකත් බොහෝ විට සිදු වුණේ හැත්තෑ හතෙන් පස්සෙ තමයි. ඒ වාගේම ඒ එක්ක දේශපාලනය තුළින් ව්‍යාපාර බිහිවීමත් සිදුවුණා. දේශපාලන සම්බන්ධකම් මත ජනමාධ්‍ය ආයතන බිහිවුණා. අපි දන්නවා ජනමාධ්‍ය ආයතනයක් පටන්ගන්නවා නම් යම් යම් ප‍්‍රමිතීන් තියෙන්න අවශ්‍යයි. නමුත් ජනමාධ්‍ය දේශපාලනය හා ව්‍යාපාරත් එක්ක තියෙන මේ ත‍්‍රිකෝණාකාර සම්බන්ධය නිසා ඒවා අවධාරණය වෙන්නෙ නෑ. ඒ වගේම ඒ නිසාම ජනමාධ්‍යයෙන් බලාපොරොත්තු වන සමාජ මෙහෙවර ඒ විදිහට වෙන්නෙ නෑ.

ඒ නිසා අද ජනමාධ්‍ය පිළිබඳව සමාජ කථිකාවක් තියෙන්න ඕනෑ. ඒ වගේම මේ වගේ කාරණා පිළිබඳව ජනතාව දැනුවත් වෙන්න ඕනෑ. එහෙම නැතිව මේ රටේ ජනමාධ්‍ය නැවත ගොඩනගන්න බෑ.