රාවය

කාණුවේ රන් සුණු නිධානය

කාණුවේ රන් සුණු නිධානය

සාදාගත් රත‍්‍රං කැබැල්ල දක්වමින්

මඩ සහිත ද්‍රාවණයෙන් රන් වෙන් කර ගැනීම

 

වෙළෙදසැල් හිමියන් අලූත් දවසකට තම වෙළෙදසැල්වල දොර පියන් විවර කරමින් සිටියේ සාම්බ‍්‍රානි දුම් සුවදින් මුළු වීථියම සුවද කරමිනි. එක් තැනෙක පුංචි තේ කඩය වටා රොක් වුණු කීප දෙනෙක් තේ වීදුරු තොල ගාමින් සිටියහ. නානා විධ වෙළෙන්දන්, එම වීථියට සුපුරුදු චරිතම හැරෙන්නට ඒ උදෑසන එහි ආගන්තුකයෝ අපි වුණෙමු. කොළඹ පිටකොටුවේ හෙට්ටිවීදිය තවත් දවසකට ආරම්භය සනිටුහන් කරමින් තිබුණේය.

හෙට්ටිවීදිය ගැන නම් අමුතුවෙන් කිව යුතු නැත. රන් භාණ්ඩ හදන, විකුණන, රන් මිල දී ගන්නා වෙළෙදසැල් පසු කරමින් අප ඉදිරියට ඇදෙද්දී පදික වේදිකාවේ තැනෙක ලහිලහියේ අඩුමකුඩුම එකතු කරමින් කොහේදෝ යන්නට සැරසෙන කිහිප දෙනාත් ඔවුන් අසල පදික වේදිකාවේම වූ බඩුබාහිරාදියත් කුතුහලය දනවනසුලූ විය. ලොකු වතුර කෑන් කීපයක්, දියර වර්ග සහිත ලොකු කුඩා බෝතල්, බාල්දි, තාච්චි, බුරුසු ආදි බොහෝ දේ පදික වේදිකාවේ පසෙක පිළිවෙළකට තබා තිබුණි. පුංචි වැඩපොළක් ලෙස දිස් වූ ඒ වෙත අප ළං වෙද්දී එක් අයෙක් අප වෙත සුහද සිනා පෑවේය. ඒ මේ හෙට්ටි වීදියට සුපුරුදු චරිතයක් වූ නසාර්ය. ඒ වන විටත් නසාර් බාල්දියක් සහ බුරුසුවක් අතැතිව සිටියේ දවසේ වැඩ කටයුතු සුපුරුදු ලෙස අරඹන්නටය.

”මේක මැණික් ගරනවා වගේ වැඩක්. ලැබීම කොච්චරද කියන්න බෑ. මම මේ රස්සාව පටන් අරන් දැන් අවුරුදු විසිපහකට වැඩියි. ඉන්දියාවේත් මේක මහා පරිමාණෙන් කරනවා. වෙන තැනක නම් බාත්රූම් ටොයිලට් හෝදන කෙනෙක්ට ගෙවන්නේ අයිතිකාරයෝනේ. මේකේ එහෙම නෙමෙයි, අපිම ඒවාට ඕනෑ කරන කෙමිකල් වර්ග සල්ලි දීලා අරන් ගිහින් තමයි හෝදන්නේ. මොකද නාන තැනත් හේදිලා යන්නේ රත්තරන් ඩස්ට්. මෙහේ දුවිල්ලත් වටිනවා. ඒකත් අපතේ යවන්නේ නෑ.’’

නසාර් අපට ඔවුන්ගේ රාජකාරි ගැන විස්තර කරමින්ම සිය සගයා සලීම් සමග කඩිසර ගමනින් හෙට්ටිවීදියේ රන්බඩු වෙළෙදසැල් අතරින් ඇදුණේය. වෙළෙදසැල් පෙළක දොරටුව අසල නැවතුණු ඔහු, තම අත වූ බාල්දිය පසෙකින් තබා සලීම් සමග එහි බිම වූ දුවිලි, කොළ කැබලි, කසළ සියල්ල බුරුසුවෙන් එකතු කරමින් බාල්දියට දමන්නට විය. ඒ අසල වෙළෙදසැල් හිමියන්් මේ ගැන එතරම් අවධානයක් යොමු නොකළේ එය ඔවුනට නුපුරුදු දසුනක් නොවූ නිසා විය යුතුය.

එහෙත් ඇතැම් වෙළෙදසැල් ඉදිරිපිටට නම් නසාර්ලා ගියේ නැත. ඒ තැන් නසාර්ලාට තහනම් කලාප බවට පත් වී තිබුණි.

රන්බඩු වෙළෙදසැල් පෙළක් අතරින් වූ පටු තීරයක් දිගේ නසාර් ඉක්මන් ගමනක යෙදුණේය. වෙළෙදසැල් පිටුපසින් වැටුණු කුඩා මග කෙළවර වූ නාන කාමරය සහ වැසිකිළිය ළග ඔහු නතර විය. පිරිසිදුකාරකයක් එහි සෑම තැනටම විසි කළ නසාර් බිමට නැඹුරු වී එහි බිම සෑම ස්ථානයම ඉතා කඩිසර ලෙස බුරුසුවකින් මැද්දේය. පසුව ක්ෂණයෙන් ඔහු නාන ස්ථානයේ අයිනේ වූ කොන්ක‍්‍රීට් ලෑල්ල උස්සා පසෙකින් තැබුවේය. පයේ ලා සිටි රබර් සෙරෙප්පු යුවල ගලවා දණ හිස් ඒ මත සිටින සේ තබාගත් ඔහු එම ගලිය තුළට නැඹුරු වූයේය. ඒ තුළ වූ තද කළු පැහැ මඩ කැළිකසල සහිත උකු දියරය බඳුනකින් ගෙන අසල වූ බාල්දියට ඉතා ඉක්මනින් පුරවන්නට වූයේය. එහි වූ රොඩුබොඩු සහිත මඩ වතුර අවසන් වූ පසු බුරුසුවෙන් ද පසුව ස්පොන්ජ් කැබැල්ලකින් ද මඩ වතුර සියල්ල ඔහු වළෙන් පිටතට ගෙන බාල්දියට එකතු කර ගත්තේය. ගලිය සම්පූර්ණයෙන්ම හිස් කළ ඔහු එයට ගලා එන බර දේ මඩ සම`ග පතුළේ තැන්පත්ව ජලය පමණක් ඉන් ඉවත්ව ගලා යන ආකාරයට බටයක් හරස්කොට තබා නැවත කොන්ක‍්‍රීට් ලෑල්ලෙන් ගලිය වසා දැම්මේය. මොහොතකට පෙර මදින ලද නාන කාමරයත් වැසිකිළියත් සෝදා දැමූ නසාර්, කළු පැහැ දියරය සහිත බාල්දියත් අනෙකුත් උපකරණ ටිකත් ගෙන නැවතත් සුපුරුදු කඩිසර ගමනින් පදික වේදිකාව වෙත පියවර තැබුවේය.

ඒ වන විටත් සලීම්, නිලාම් තවත් දුවිලි ගොන්නක් සොයාගෙන එහි පැමිණ සිටියහ. ඔවුන්ගේ සහාය මැද නසාර් පදික වේදිකාවේ පුංචි රසායනාගාරයේ වැඩ කටයුතු ආරම්භ කළේය. මුලින්ම බාල්දිවල වූ කළු පැහැ දියරයෙන් කොටසක් තාච්චියකට ගෙන එයට කෑන්වල වූ ජලය එක් කර කලතමින් ඝන ද්‍රව්‍ය යට ඉතිරිවන සේ කිහිපවිටක් ජලය සෝදා හැරියේය. පසුව නැවත ජලය එක්කරමින් එය පෙනේරයක ආධාරයෙන් පෙරා ගත්තේය.

ඉන්පසු කාන්දම් කැබැල්ලක් ගෙන එම ඝන ද්‍රව්‍ය අතර වූ යකඩ කැබලි ආදිය ඉවත් කරගනු ලැබිණි. ඉතිරි වූ ඝන මිශ‍්‍රණයට අසල වූ කුඩා බෝතලයකින් ඇසිඞ් වත්කළේය.

”තඹ, පිත්තල, යකඩ මාත්තු ඔක්කෝම මේකට පිච්චිලා යනවා. රත්තරං ටික ඉතිරි වෙනවා.’’

ඔහු අපට ද පැහැදිලි කළේය. දුම් දමන ඇසිඞ් නසාර් ඇගිලිවලින්ම කැළතුවේය. ඔහුගේ දෑත් ඇගිලි අග ඇසිඞ්වලටම පිච්චී පිපිරී පදම් වී වෙනස්ම පැහැයක් හැඩයක් ගෙන තිබුණි. දැන් ඇසිඞ්වලට ඇගිලි නොපිච්චෙන බව ඔහු කීවේය. භාවිත කළ ඇසිඞ් ඔවුන් වෙනම කුඩා බෝතලයකට නැවත පිරවූයේ පසු ප‍්‍රයෝජනයටය. පිරිසිදු ඇසිඞ් ඇති බෝතලයෙන් ඇසිඞ් ටිකක් ඝන මිශ‍්‍රණයට නැවතත් වත්කොට කැලතූහ. සලීම් සූදානම් කළ ගිනි අගුරු සහිත හට්ටිය මත ඔහු ඇසිඞ් සහ මිශ‍්‍රණය සහිත බදුන තබා රත් කළේය. පසුව ඇසිඞ් පෙරා ගත් මිශ‍්‍රණයට රසදිය ස්වල්පයක් දමා එය බදුනේ තදින් අතුල්ලමින් මිශ‍්‍ර කළේය. ටික වේලාවකින් ඉතා කුඩා රන් පැහැ බෝලයක් රොඩුබොඩු අතරින් නිමවී තිබුණි. එය ගිනි කබල තුළට දැමූ නසාර් කුඩා බටයකින් ගිනි අගුරුවලට පිම්බේය. අඩුවක් ආධාරයෙන් ගිනි අගුරු අතරින් ගත් කුඩා රත‍්‍රං ගුලිය ඔහු අත්ල මත තබා ඔවුන්ගේ වික‍්‍රමය අපට පෙන්වූයේය.

අතරමග මේ කුඩා රන් බෝලය අස්ථානගත නොවන්නට ඔහු එය සැණෙකින් මුව තුළට දමාගෙන හුරු පුරුදු වෙළෙදසැල වෙත යන්නට පියවර එසවූයේය. ස්වල්ප වේලාවකින් ඔහු නැවත අප වෙත පැමිණියේ පැයක දෙකක කාලයක් ගත කර සෙවූ මුදලත් අතැතිවය.

පාරේ කොනක ඇති කොන්ක‍්‍රීට් පියන ඔසවා ඒ තුළට බැස එහි ඇති මඩ පිටතට රැුගෙන ඒමට ද මේ කණ්ඩායම ඇතැම් රාත‍්‍රීන්හි පුරුදුව සිටියහ. ඒ තුළට බැස්ස විට ඉඩකඩ හොදින් ඇති බැවින් වරාය දෙසින් මුහුද වෙතම ඇවිද යා හැකි බව ඔවුහු කියති. යම් දිනක එම කාණු පද්ධතිය තුළ ඇති රොන් මඩ සියල්ල රැුගෙන විත් පිරිසිදු කළහොත් රත‍්‍රං කිලෝ ගණනක් ඒවායේ තිබිය යුතු බව මේ අපූරු ගවේෂක කණ්ඩායමේ මතයයි.

”මම ඉස්සර යාපනේ පලාලි මුස්ලිම් ඉස්කෝලෙක ඉගෙන ගත්තා. ඒ ඉස්කෝලේ ඉගෙනීමට හොදයි කියලා අම්මලා මාව එහේ යැව්වා. හොස්ටල් එකේ තමයි හිටියේ. අසූතුනේ අවුරුද්දේ යුද්දේ පටන් ගත්තාම මම ආයේ කොළඹට ආවා. එතකොට මම හිටියේ දහය පංතියේ. ඉස්කෝලේ ගමන එහෙමම නතර වුණා. අපේ අක්කා කෙනෙක් මෙහේ සිල්ලර බඩු කඩයක් කළා. මම උදව්වට ඒ කඬේට ගියා. එහෙම ඉන්න කාලේ දවසක් අපේ කඬේ ඇතුළට ඇවිත් කෙනෙක් සිගරට් එකකට මොනවාද පුරවනවා මම දැක්කා. දවස් කීපයක් ඒක බලාගෙන ඉදලා මම ඇහුවා ඒ මොනවාද කියලා. එයා කීවා ඩ‍්‍රග්ස් කියලා. මටත් ඒක අරන් බලන්න ආසාවක් ඇති වුණා. ඒ බලපු බැලිල්ල තමයි අද වෙනකම්ම මම ඒවාට ඇබ්බැහි වුණා.’’

තමාට අක්කලා දෙදෙනෙකු, නංගී සහ මල්ලිලා දෙදෙනෙකු සිටින බවත් ඒ අය සමාජයේ ඉහළ යැයි පිළිගන්නා රැකියා කරන අය බවත් නසාර් කීවේය. නසාර් මත්ද්‍රව්‍යයන්ගෙන් මුදවා ගන්නට මවත් සොයුරු සොයුරියනුත් නොකළ දෙයක් නැති බව ද ඔහු කියයි. එහෙත් එය අත්හැර ගත නොහැකි වූ බව ඔහු පවසයි. ඒ නිසා තම පවුලෙන් ඈත්ව ඉන්නට ඔහු තීරණයකොට තිබුණි. නසාර්, සලීම්, නිලාම් ඇතුළු රන් සොයා හෙට්ටිවීදියේ කුණු කසල කාණු පීරන කිහිප දෙනාම මත්ද්‍රව්‍යවලට දැඩි සේ ඇබ්බැහිවූවෝ වූහ. ඔවුන්ට හිරගෙය ද නුපුරුදු ස්ථානයක් නොවීය. වරින් වර ඔවුහු එහි ආ ගියහ. ඒ වන විට ද ඒ කණ්ඩායමේ ඇතැමුන් හෙට්ටිවීදියේ නොසිටියේ හිරගෙයි වසන නිසා බව සගයෝ කීහ.

”රත්ත‍්‍රන්වලින් සමහර දවසට ලොකු ගණන් හොයනවා. ඒත් ඒ ඔක්කෝම වියදම් වෙනවා. සතයක්වත් ඉතුරු වෙන්නේ නෑ. දැන් අලූත් ඩ‍්‍රග්ස් වර්ග එනවා. අනන්ත අප‍්‍රමාණ ඒවා විකුණන අය මේවායේ ඉන්නවා. සල්ලිවලට ආස කරන අය විකුණනවා. ලෝකේ දියුණු වෙන්න දියුණු වෙන්න විනාශයත් ඒ එක්කම එනවා. දියුණු වීම සීයට සීයක් වෙනකොට ඒ එක්කම විනාශ වීමත් සීයට අනූනවයක් වෙනවා.” හෙට්ටිවීදියේ අපිරිසිදුම ස්ථාන ද පීරා රන් සොයන නසාර්ලාගේ මුදල් ක්ෂණයකින් දියවී යන්නේ කෙසේදැයි ඔවුහුම පැවසූහ. සලීම් සහ නිලාම් විවාහ වී දරුවන් ද සිටින්නන් වුවත් ගමේ සිටින ඔවුන්ට ඉදහිටක වියදමට මුදලක් යවන බව ඔවුහු කීහ. එහෙත් මතට ඇබ්බැහිවීමත්, මේ රැකියාවට හුරු වීමත් නිසා ගමට යාමට නොහැකි බව ද ඔවුහු පැවසූහ.

”මම විවාහ වුණේ මත්ද්‍රව්‍යත් එක්කනේ.’’ විවාහය ගැන නසාර්ට තිබුණේ එවන් පිළිතුරකි.

”අපි දවල්ට මෙතැන ඉන්නවා. ?ට කොහේ හරි අයිනකට වෙලා බුදිය ගන්නවා. ස්ථිර වාසස්ථානය පදික වේදිකාව තමයි. මේ ලංකාවේ ඉපදුණාට මට හැ`දුනුම්පතක්වත් නෑ. ලබන අවුරුද්දට මට වයස අවුරුදු පනහයි. කවදාවත් මම ඡුන්දෙ දාලා නෑ. ඡන්ද අයිතිවාසිකමක් නෑ. මොකද මට ස්ථිර පදිංචිය තහවුරු කරන්න විධියක් නෑනේ. දැන් ඔයගොල්ලෝ ගිහින් මේවා ලියුවා කියලා කිසිම දෙයක් වෙන්නේත් නෑ. අඩුම ගාණේ මට හැදුනුම්පතක් ලැබෙන්නේත් නෑ. මම කියන්නේ බොරු නම් බලන්න.’’

නසාර් කියාගෙන ගියේ අපට ද දොස් පවරන්නට මෙනි. ඔහුගේ උප්පැන්න සහතිකය අම්මා සිටින ගෙදර තිබුණත් ස්ථිර වාසස්ථානයක් ඔප්පු කළ නොහැකි වූ බැවින් හැදුනුම්පතක් නොලැබුණු බව ඔහු කියයි. මෙරට දේශපාලනඥයන් ද සිහි කිරීමට නසාර් අමතක නොකළේය.

”අද උපදින දරුවෝ පවා ලක්ෂ ගාණක් ණයයි. ඒත් හන්දියක් හන්දියක් ගානේ රැස්වීම් තියලා එක එක දේවල් කියන්නේ මොකද ඒගොල්ලොන්ගේම මඩි තර කරගන්න. කවුරු පාලනයට ආවත් රට දැය වෙනුවෙන් එන්නේ නෑ. ඒගොල්ලෝ එන්නේ සුඛෝපභෝගී ජීවිත ගතකරන්න.’’

ඔවුන්ගෙන් සමුගත් අපි හෙට්ටිවීදියේ රන් භාණ්ඩසැල් අතරින් පිය මැන්නෙමු. නසාර්ලා රන් විකුණන වෙළෙදසැල කුමක්දැයි ඔවුහු අපට නොකීවත් අප ඊට ගොඩවැදුණේ අහම්බයකින් මෙනි. තොරතුරු විමසමින් සිටින අතරවාරයේ නසාර්ලාගේ රන් මිලදී ගන්නා වෙළෙදසැල එය බව අපට අනාවරණය විය.
”අවුරුදු විසි හතක වගේ ඉදලා ඒ අය ඔය වැඬේ කරනවා. රත‍්‍රං බඩු හදන අයගේ ඇ‍ගේ, ඇදුම්වල ගෑවිලා තියන රත‍්‍රං ඩස්ට් නාන තැන්වල හේදිලා යනවා. ඒ අය ඒවා වළට බැහැලා එකතු කරනවා. සාමාන්‍යයෙන් එක්කෙනෙක් රුපියල් දහදාහක් විතර දවසට හොයනවා.

ඒ ගණන වෙනස් වෙනවා. ඊට වඩා ගොඩක් වැඩි වෙන වෙලාවල් වුණත් තියනවා. හැබැයි ඒ සල්ලි ඒ අය දවසෙන් ඉවර කරනවා. නසාර් හොදට ඉගෙනගෙන තියනවා. පවුලේ ඔක්කොම හොඅදට ඉන්නවා. මෙයා ඩ‍්‍රග්ස්වලට ඇබ්බැහි වෙලා. එක සැරයක් නසාර්ට රත්තරන් ඩිසයින් කරලා පාස්සන ඒවා වගයක් ලැබිලා තිබුණා. ඒවා පාස්සලා ඉවර වුණාම විසි කරනවා. ඒ ඔක්කෝම එයා අපේ ඉඩමේ ගෙනත් හෝදලා ලක්ෂ පහක් හෙව්වා. ඒ සල්ලි මම එයාගේ අම්මාට දුන්නා බැංකුවේ දාන්න. ඒ දාලා දවස් දෙකයි ගියේ මෙයා ඒ සල්ලි අම්මාගෙන් ඉල්ලලා දෙන්න කියලා කරදර කරන්න ගත්තා. පස්සේ කරන්න දෙයක් නැති නිසා අන්තිමට අම්මා සල්ලි ටික දුන්නා. දැන් ඒ සල්ලි ඔක්කෝම ඉවරයි.’’ වෙළෙදසැල් හිමියා ඒ තොරතුරු සැලකළේය.

හෙට්ටිවීදියේ රන් භාණ්ඩ සාදන ස්ථානවල වැලි, දුවිලි, පා පිස්නා පවා මිල දී ගන්නෝ පිරිසක් ද සිටිති. එය වෘත්තියක් ලෙස පාරම්පරිකව කරගෙන යන්නකි. ඊට අමතරව වැසිකිළි, නාන ස්ථාන, කාණු පීරා රන් සොයන කණ්ඩායම ද හෙට්ටිවීදියේ පදික වේදිකාවේ වෙසෙති.

” එක්කෙනෙක් ගලියට බැහැලා ඒක දිගේ ඇවිදන් ගිහින් මඩ එකතු කරන් ගලියේ කට ළගට ඇවිත් අනිත් කෙනාට කෝල් කරනවා. එතකොට අනිත් කෙනා කට ළගට ගිහින් ඒවා ගොඩට ගන්නවා. හැබැයි ඒ අය ගලියට බැස්සාම ඇතුළේ ෆෝන් කවරේජ් නෑ. ඒකට ඒ අය කරන්නේ සීඞී එකක් ගෙනිහින් තඹ කම්බියකින් ඒක ගලියේ කටේ එල්ලනවා. එතකොට කවරේජ් එනවා.” වෙළෙදසැල් හිමියා එලෙස නසීර්ලාගේ හපන්කම් පිළිබද දොඩමළු වූයේය. මඩ තැන්පත් වන ලෙස ජලය සෙමින් ගලා බැස්සවීමට කාණු පද්ධතියේ තැන තැන යම් යම් දේ තබා තිබෙන බව ද ඔහු කීවේය.

කාණු වැසිකිළි ශුද්ධ පවිත‍්‍ර කරමින් නොවිදිනා දුක් විදිමින් සොච්චම් මුදලක් උපයා ජීවිත ගැටගසා ගන්නට වෙර දරන මිනිසුන් අතර නසීර්ලා කාණු, වැසිකිළි තුළින් උපයා ගන්නේ රන්ය. එහෙත් ඔවුන්ගේ බඩට අහරක්වත් හරිහැටි නොවැටී ම ඒ රන් දිය වී යන්නට ද මංපෙත් විවරව තිබුණි.

 

සටහන හා ඡායා
ඉදුනිල් උස්ගොඩ ආරච්චි