රාවය

හිතන්න ගත්තොත් විදවන්නම වෙනවා

හිතන්න ගත්තොත් විදවන්නම වෙනවා

ප‍්‍රවීණ නාට්‍යවේදී, පිටපත් රචක
කේ.බී. හේරත්

 

ඔබ ළමා කාලයේ අත්විදි අත්දැකීම් ජීවිතයට එකතු වුණේ කොහොමද කියලා හිතලා තියෙනවාද?

පහුකාලීනව ගැඹුරට කල්පනා කරනකොට එහෙම හිතිලා තියෙනවා. මුලින් මම හිතන්නේ මම නාට්‍යකරුවෙක් වුණේ විශ්වවිදයාලයට ආ හින්දා කියලයි. ඒක ඇත්ත. ඒත් එහෙම වෙන්න ඊට කලින් මා තුළ පැලපදියම් වෙච්ච දේවල් තිබුණා කියලා අද හිතෙනවා.

මම කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වාරියපොළ ග‍්‍රාමයට ආසන්න නවගත්ත කියලා ගමක ඉපදුණේ. මගේ මව්පියෝ හොද ගොවියෝ. අපිට කුඹුරු තිබුණා. අපිත් මේවායේ වැඩකරලා පොළොවත් එක්ක ඔට්ටු වුණා. මුලින් මාස්පොත මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඒත් වැඩිපුර අධ්‍යාපනය ලැබුවේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන්.

මේ 1950 කාලේ. ඒ කාලේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවක් තිබුණ කාලයක් නෙමෙයි. මේ කාලයේ තමයි මැලේරියාව ඉතාම දියුණුවට තිබුණේ. ඒ කාලේ අපේ ගම්වල හැමදේටම කළේ තොවිල්පවිල්. ඉතින් මැලේරියාව පැතිරීමත් එක්ක හැම ගෙදරකම වගේ තොවිල් කරන්න ගත්තා. ඒ කාලේ තොවිලයක් නැති දවසක් නෑ. මේකේ විද්‍යාත්මක පැත්ත පැත්තකින් තිබ්බාම ඒ ඉදිරිපත් කිරීම් මගේ හිත ගත්තා. ළමයෙක් විදිහට මම ඒවාට ආසකළා. අපේ ගමේ ඊට අමතරව උඩරට නැටුම් තිබුණා. මේ දේවල් හැම එකකම එකතුවක් පුංචි කාලයේ ඉදලා මගේ ඇෙග් තිබුණා. ඒවා තමයි නාට්‍ය ජීවිතයට යොමුවෙන්න මාව තල්ලූ කරන්න ඇත්තේ කියලා අද මට හිතෙනවා.

කේ.බී. කියන්නේ මොකක්ද?

කපුරු බණ්ඩාර කියන එක.

ඒත් නාට්‍ය පැත්තට නැඹුරුව එන්නේ විශ්වවිද්‍යාලය නිසා නේද?

ඔව්! කලාව පිළිබද ආශාව ඉපදෙන්නේ ගමේ තොවිල්පවිල් හින්දා. ඒවා සෙත් ශාන්ති විදිහට කළාට මම ඒ තුළ දැක්කේ කලාවක්. කොහොම හරි මම 1962 කැම්පස් එනවා. අපේ ගම්වල අධ්‍යාපනය පැත්තට තිබුණු නැඹුරුව අඩුයි. ඒත් මාව ඒ පැත්තට මගේ මව්පියෝ යොමු කළා. මමත් එකේ ප‍්‍රතිඵල ලැබුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්වර්ණමය යුගය තමයි ඒ. සරච්චන්ද්‍ර මහත්තයා සිංහබාහු කරලා අවුරුද්දක් ඇති එතකොට.

ඒ කාලේ කැම්පස් එකේ මුල් අවුරුද්දේ විභාගය කළාම ආයේ අවුට්වෙන අවුරුද්දේ අන්තිමට තමයි විභාගය කළේ. ඒ අතර අවුරුදු දෙකක විතර කාලයක් උපරිම නිදහස තිබුණා යමක නියැලෙන්න. සමහරු නාට්‍ය කළා. සමහරු කී‍්‍රඩා කළා. තව අය දේශපාලනය කළා. මමත් තෝරාගත්තේ දේශපාලනය. කොහොම වුණත් කියවීමේ පිස්සුවක් මට තිබුණා. අනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලය තමයි ඒ කාලේ ආසියාවේ තිබුණ හොදම පුස්තකාලය. මම ඕක ඇතුළෙම තමයි. සරච්චන්ද්‍ර මහත්තයා ඇතිකළ නාට්‍ය ආශාව නිසා මම ලෝක නාට්‍ය ප‍්‍රවණතා නිතර කියෙව්වා. විශ්වවිද්‍යාලයේදී කියවලා මම ලොකු දැනුමක් ගත්තා. ඒ හැම දේම ලබාගත්තත් නාට්‍ය කළේ විශ්වවිද්‍යාලයෙන් අයින් වුණාට පස්සේ.

 

සරච්චන්ද්‍ර මහත්තයා එක්ක වැඩ කළේ නැද්ද?

එතුමා අපේ සිංහල ගුරුවරයා. නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. මොකද ඔහු තෝරාගන්න ප‍්‍රතික්ෂේප කරන විදිහ මම දන්නවා. ඉතින් ඒවාට ඉල්ලන්න ගියේ නෑ. හැබැයි නාට්‍ය කරන්න ආශාව ඒ හරහා ආවා. ඒක නම් කියන්නම ඕනෑ. ඒ වගේම ඒ කාලේ විශ්වවිද්‍යාලයේ දැවැන්ත චරිත හිටියා. සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ, පරණවිතාන, ඞීඊ හෙට්ටිආරච්චි.. මේ චරිත නිසා අපිට නව ලෝකවල දොරවල් ඇරුණා. විශ්වවිද්‍යාලය තුළින් අලූත් ජීවිතයක් ලැබුණා කිව්වොත් හරි. ගමත් එක්ක ලැබුණු ග‍්‍රාමීය දැනුමත් පස්සේ විශ්වවිද්‍යාලයට ඇවිත් ලබපු දැනුමත් එක්ක ඒ ජීවිතය හැඩගැහුණා.

කැම්පස් එකෙන් පස්සේ ජීවිතය කොහොමද ගෙවුණේ?

ඒ කාලේ රැුකියා හිගයක් තිබුණ කාලයක්. මම කැම්පස් යනකොටම ඒ කිට්ටුව තිබුණ සාරානන්ද පිරිවෙනේ ඉංගී‍්‍රසි ඉගැන්නුවා. ඉතින් කැම්පස් එකෙන් අයින් වුණාමත් මම ඒ රස්සාවම කරගෙන ගියා. සාරානන්ද පිරිවනේ ළමයි එක්කාසු කරගෙන තමයි මම මුලින්ම නාට්‍ය කරන්න පටන්ගත්තේ. අපි පාසල් නාට්‍ය උලෙළේ් අවසාන වටවලටත් ආවා. 1967 විතර. කොහොම හරි 1979 දී තමයි මම ‘සුදු කරල්’’ කළේ. ඒක රාජ්‍ය නාට්‍ය උලෙළේ හොදම නාට්‍යය වුණා. මම දිගටම නාට්‍ය කළා. පේරාදෙණියේ පදිංචි වෙලා ගුරු වෘත්තිය කරන ගමන් කොළඹ ඇවිත් නාට්‍යත් කරනවා. 85දී මායා දේවි කළා. කියන්න ඕනෑ මම කැම්පස් එකේදීම යාළුවෙලා අවුට් වුණ ගමන් බැන්දා. ඔය කාලේ වෙනකොට මට දුවලාම පහක් ඉන්නවා. කොහොම හරි මම හොද ආර්ථික මට්ටමකුත් හදාගෙන පේරාදෙණියේම ඉඩම් අරගෙන ගෙවල් හදලා හොදට ස්ථාවර වුණා. ඒත් ඒ හැම දේම එක තැනකදී කුණාටුවකට අහුවුණා.

ඒ ඇයි?

අසූඅට අසූනවයේ කාලය අපිට නෙමෙයි ගොඩක් ජීවිතවලට අදුරු කාලයක්. කොහොම හරි ඒ කාලය අපිව එහෙන් පිටමං කරන්න හේතු වුණා. මාත් එක්ක තව ගුරුවරයෙක් හිටියා. අපි දෙන්නා හවස් වරුවට හන්දියට ගිහිල්ලා එන පුරුද්දක් තිබුණා. මේ විදියට ගිහිල්ලා එන දවසක මගේ මිත‍්‍ර ගුරුවරයාට වෙඩි තියලා මැරුවා. ඒක මට දරාගන්න බැරි වුණා වාගේම ඒ අනතුරු බොහෝම ඉක්මනට මටත් එයි කියලාත් මට හිතුණා. ඒ නිසා එදාම ? පොඩි ලොරියක් හොයාගෙන බඩුමූට්ටු ටිකත් පටවාගෙන කොළඹ ආවා. කොහේ යනවාද, කොහේ නවතිනවාද, කිසිම අරමුණක් නෑ. ජීවිත බේරාගැනීම විතරයි තිබුණ එකම වුවමනාව. ඒ කාලේ මගේ මල්ලිට පැපිලියානේ ගෙයක් තිබුණා. ඒක බෝඩිං හවුස් එකක් කරලා තිබුණේ. මල්ලි දන්නේත් නෑ මම බලෙන්ම වගේ ඒකට ඇවිත් කාමරයක් අරගෙන පදිංචි වුණා. දැන් මට රස්සාව නෑ. ළමයි පහක්. සියලූ දේම එක රැයින් නැති වුණා. එදා ඉදලා ආයේ අලූත් ජීවිතයක් ගොඩනගන්න සෑහෙන්න වෙහෙසුණා. එකේ ප‍්‍රතිඵලයක් විදිහට තමයි මම ටෙලිනාට්‍ය පිටපත් රචකයෙක් වුණේ. වේදිකා නාට්‍ය කළා කියලා ආර්ථික වාසියක් නැහැ. ඒ නිසායි ටෙලිනාට්‍ය පිටපත් ලියන්න පටන් ගත්තේ. ඒක පැවැත්මට වාසි වුණා. අදටත් ගොඩක් අය මාව දන්නේ ටෙලිනාට්‍ය රචකයෙක් විදියටයි. මම කැමතිම වේදිකා නාට්‍ය වුණාට ජීවිත ස්ථාවරයක් ලැබුණේ ටෙලිනාට්‍ය නිසා. ඒක කලාවට සම්බන්ධ දෙයක් නෙමෙයි. හැබැයි කලාකරුවාගේ පැවැත්මට සම්බන්ධයි. කර්මාන්තයක් විදිහට ඒකේ අඩුපාඩු ඇති, ඒ්ත් අපිට වේදිකාවේ හරි නියැලෙන්න පුළුවන් වුණේ ටෙලිනාට්‍ය රචකයෙක් විදිහට ගිය ගමන නිසායි. මම ඒකට ගරු කරනවා. මේ හරහා මම ආයෙත් අලූත් ජීවිතයක් ගොඩනැගුවා. මගේ ළමයින්ට ඉගැන්නුවා. කොළඹින් ඉන්න තැනක් ගොඩනගා ගත්තා. පේරාදෙණියේ දේවල් විකුණලා ඒ මතකය අමතක කරලාම දැම්මා.

ඔබ ඇයි වේදිකාවට එතරම් කැමති.

ටෙලිනාට්‍යය සිනමාව අතීත දෙයක්. අපි ඒක බලන්න යනකොටම ඒක වෙලා ඉවරයි. ඒත් වේදිකාව එහෙම නෑ. ඒකේ කෙනෙක් මැරෙන්නේත් අපිත් එක්කමයි. ඒක සජීවි අත්දැකීමක්. සිනමාවට ටෙලිනාට්‍යවලට පේ‍්‍රක්‍ෂකයෝ හිටියාට රංග කලාවට පේ‍්‍රක්‍ෂකයෝ නෑ. ඒ වෙනුවට ඉන්නේ සහභාගිවෙන්නෝ. සහභාගි වෙන අයයි ර`ගපාන අයයි අතරේ කුමන්ත‍්‍රණයක් තමයි එතැන වෙන්නේ. මෙන්න මේ සජීවිභාවය නිසා මට වේදිකාව කියන දේ ජීවිතයේම කොටසක්. ටෙලිනාට්‍ය රචනය නිසා ජීවිතය ගොඩනගා ගත්තාට වේදිකාව කියන්නේ ජීවිතය. ඒකයි මම හැමදාම වේදිකාවට කැමති.

ඔබ නාට්‍ය පටන්ගත්ත කාලේ දැවැන්ත නාට්‍ය රචකයෝ ඉන්නවා. ඔබ මේ යුග දෙකම තුළ ඉන්නවා. එදා සහ අද නාට්‍යකරුවන් අතර දකින වෙනස මොකද්ද?

ඒ කාලේ සරච්චන්ද්‍ර මහත්තයා ඇරුණු කොට හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා වගේ දැවැන්තයන් හිටියා. මේ අය අතර නිතර කතිකාවක් තිබුණා. නාට්‍ය කලාව කොතනද තියන්න ඕනෑ කියලා අරගලයක් තිබුණා. ඒ කතාබහ අතරේ මතවාදී මරාගැනීම් තිබුණාට එතැන කතිකාවක් තිබුණා. ඒ කතිකාව ලෝක ප‍්‍රවණතාත් එක්ක බැදුණු දෙයක්. මොකද මේ හැමෝම ද්විභාෂා උගතුන්. ඒත් අද දක්‍ෂ නාට්‍යකරුවන් ඉන්නවා. භාෂා ප‍්‍රශ්නය නිසා ඒ අය දන්නේ මේ වටපිටාව විතරයි. ඉතින් හැමෝම හුදෙකලාව දන්න දේ තියාගෙන ඉන්නවා. ඒ නිසා හොද කතිකාවක් නෑ. ඕක තමයි මම එදා සහ අද දකින ලොකුම වෙනස.

වේදිකාව ඇතුළේ දස්කම් පෑවත් ටෙලිනාට්‍ය ඇතුළේ ඒ අය අසාර්ථක වෙන්නේ ඇයි?

ඉස්සර ටෙලිනාට්‍යයක් කළාම ඒක රූපවාහිනිය මිලදී ගෙන අනුග‍්‍රාහකයෙක් හොයාගන්නවා. ඒ නිසා හොද නාට්‍ය කරන්න පුළුවන්කම තිබුණා. ඒත් අද චැනල් ගොඩක් තියෙනවා. ඒ චැනල් තමයි නාට්‍ය මිලදී ගන්නේ. තේමාවත් ඒ අයගේ ඒ වගේම කුණුකොල්ලෙට ගන්නේ. ඉතින් ඒ ගාණට කරන්න ගියාම වැඩත් කුණුගොඩවල් තමයි. බොහෝ දක්‍ෂ පිරිස් ටෙලිනාට්‍ය කරන්නේ නැහැ. ඒ නොකර ඉන්න කොට දවසින් දෙකින් පොඞ්ඩක් අහුලාගත්ත අය වැඩ පටන්ගන්නවා. ඒ අය ගැටගහලා අර අඩු බජට් එකට වැඩ කරනවා. ඒ වගේම අද ඉන්න නළුනිළියෝ කියාගන්න අයගෙන් සියයට අසූවකටම රගපාන්න බෑ. ඒ අය නිකං පෙනීඉන්න එක කරන්නේ. හැබැයි නළුනිළියෝ කියලා හිතනවා. ඒ අය පුංචි මුදලටත් ගන්න පුළුවන්. ඒ ගත්තත් කතාබහ වන නාට්‍යයක් තියෙනවා නම් බලන්න ඒකේ රගපාන්නේ වේදිකාවේ ඉදලා යමක් කරන්න පුළුවන් නළුනිළියෝ. ඒක තමයි ඇත්ත.

ඔබ වසන්ත ඔබේසේකරත් එක්ක චිත‍්‍රපට කිහිපයකත් වැඩ කළා නේද?

ඔව්! ඒත් මට හිතුණා මම වේදිකාවේ දක්‍ෂයෙක් වුණාට ඒ ෆිල්ඞ් එකේදී එතරම් දක්‍ෂයෙක් නෙමෙයි කියලා. ඒක වෙනම හැදෑරිය යුතු විෂයක්.

ඔබගේ දේශපාලන ස්ථාවරය දැන් මොකද්ද?

මුකුත් නෑ. ලොකු කලකිරීමක් විතරයි ඉතිරි. 1994දී අපි පිහිටුවා ගත්තා නිදහස් කලා සංවිධානයක්. මම ඒකේ සභාපති. සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක, රෝහණ වීරසිංහ වගේ ගොඩක් අය හිටියා. අපි ඒ ආණ්ඩුව විශ්වාස කරලා ලොකු ඉල්ලීම් කළා. ඒවාට අදහස් යෝජනා දුන්නා. මුකුත් වුණේ නෑ. ආයේ 2015දීත් මේකම කළා. ඒත් මුකුත් නෑ. ලොකු රැවටීමක් විතරයි. ඒ නිසා මම ඒ ගැන කලකිරීමෙන් ඉන්නේ. දෙයක් කියන්නම ඕනෑ. නිදහස ලැබුණාට පස්සේ කලාව සංස්කෘතික ජීවිතය කොයි තරම් ප‍්‍රමාණයකට අවශ්‍යද කියලා හ`දුනානොගත්ත කාලයක් තිබුණා නම් මේ ගෙවෙන්නේ ඒ කාලයයි. අපි හිතුවා යහපාලන ආණ්ඩුව ඒවා වෙනස් කරයි කියලා. මුකුත් වෙන්නේ නෑ. අද සංස්කෘතික ජීවිතය අමතකම කරලා.

ඔබගේ දරුවන් කලාව පැත්තට යොමුවුණේ නැද්ද?

නෑ. වෛද්‍යවරු, ඉන්ජිනේරුවෝ හැම අංශයෙන්ම ඉන්නවා. ඒත් ඒ අධ්‍යාපන රාමුව ඇතුළේ ඒ අය කලාවට යොමුවුණේ නෑ. අධ්‍යාපනයටමයි යොමුවුණේ. මේ හැම පැත්තකම තියෙන අඩුව තමයි අද සමාජයට අත්වෙලා තියෙන ඉරණමේ ප‍්‍රතිඵල. අද වැඩිහිටියෝ ටෙලිවිෂන් එකට අනුව ජීවත්වෙනවා. තරුණ තරුණියෝ තාක්‍ෂණික වහල්ලූ වෙලා ජීවත්වෙනවා. අපි කොහේ ගිහින් නවතියිද කියලා හිතාගන්නත් බෑ. ලෝකයත් එක්ක බැලූවාම අපි හරිම ප‍්‍රතිගාමීයි. ඒ කාලේ බිව්වේ සංවාද කරන්න. අද බොන්නේ කරුම ගෙවන්න. හැමදේම වෙනස් වෙලා. මොකක්දෝ කරුමයකට අපිත් හොද රටක්, කලාවක් බලාපොරොත්තුව විදවනවා.

අද ඔබ විදවිල්ලෙන්මද ඉන්නේ.

ඒක මෙහෙමයි. මගේ පැත්තෙන් බලාගෙන හිටියාම මට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ගොඩාක් අය ඉන්නෙත් එහෙමනේ. ඒත් ඊට එහා කලාව හෝ දේශපාලනය හෝ රට ගැන හිතන්න ගත්තොත් විදවන්නම වෙනවා නේද?

ඔබ නාට්‍ය අනුමණ්ඩලයේ එහෙම සෑහෙන කාලයක් හිටියා.

ඔව්! ගිය අවුරුද්ද වෙනකම්ම හිටියා. ඉන්න බෑ කියලා හිතලා අයින් වුණා. ඉන්නවා නම් වැඩ කරන්න ඕනෑ. වැඩ කරන්න බැරි නම් වැඩ කරන්න දෙන්නේ නැත්නම් අයින් වෙන්න එපැයි. තනතුරු නෙමෙයි ප‍්‍රශ්නේ, තනතුරුවල වැඩ කරන්න පුළුවන්ද කියන එකයි.

ඡායා – රේඛා නිලූක්‍ෂි හේරත්