විචාරය අවශ්‍ය අවිචාරය නිසා

සුමිත‍්‍රා රාහුබද්ධ

ලිවීම සම්බන්ධයෙන් ඔබට එදා සහ අද යනුවෙන් වෙනසක් දැනෙනවාද?

එදා ලිවීමත් අද ලිවීමත් හරිම සුන්දර අත්දැකීමක්. ‘බුමුතුරුණු’ කියන මගේ පළවන නවකතාව මුද්‍රණයෙන් එළිදකින්නේ 1978දී. ඒ අවධිය වෙනකොට ලොකු පිරිසක් ලියන්න හිටියේ නැහැ. කාන්තාවෝ නම් බොහොම අඩුවෙන් හිටියේ. ඒ වගේම යමක් ලිව්වාම ඒ ගැන කතාකරන්න පිරිසක් හිටියා. ප‍්‍රමාණාත්මක වශයෙන් ඒ පිරිස විශාල නොවුණත් ගුණාත්මක වශයෙන් ඔවුන් ඒ දේවල් ගැන හොඳ වැටහීමකින් හිටියා. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා.

අද යම් කෘතියක් හෝ වෙනත් නිර්මාණයක් ග‍්‍රහණය කරගන්නේ එහි ඇති ගුණාත්මක බව අනුව නෙමෙයි. එයට වඩා වැදගත් වෙන්නේ නිර්මාණකරුවාගේ ජනප‍්‍රියභාවය, පෞද්ගලික හිතවත්කම්, විචාරකයන්යැයි කියාගන්නා පිරිස් සමඟ ඇති සම්බන්ධතා, දෘශ්‍ය මාධ්‍ය සමඟ ඇති කුළුපග ගනුදෙනු යනාදියයි. ඒ අනුව අද කෘතිය එතරම් වැදගත් නැහැ. මෙය නවකතාවට කෙටිකතාවට පමණක් නෙමෙයි සෑම කලා මාධ්‍යයකටම පොදු ලක්ෂණයක්. නිර්මාණාත්මක පැත්තෙන් බැලූවොත් 78දී අපි පටන් ගත්ත කාලෙට වඩා නොයෙක් ඉසව් සොයාගිය නිර්මාණකරුවන් ඉන්නවා. ඒත් එහි ඇති නිර්මාණාත්මක බව පිළිගන්න කවුරුත් නැහැ.

තාම සමහරු නැවතිලා ඉන්නේ මාර්ටින් වික‍්‍රමසිංහ, ගුණදාස අමරසේකර ඇතුළු තවත් කිහිපදෙනෙකු ළඟ පමණයි. ඊට පසු යුගයේදී නවකතාවේ හෝ කෙටිකතාවේ හෝ නාට්‍යයේ, කවියේ විවිධ මංපෙත් හොයාගිය ඒ විවිධ ඉසව් නිර්මාණාත්මක ලෙස ජයගත්ත අය ගැන කතා කරන්නවත් ඔවුන්ට නිසි ඇගැයුමක් ලබාදෙන්නවත් කවුරුත් නැහැ. අද මම ආරම්භ කළ තැන ඉඳන් ඉතා විශාල දුරක් ගිහින් තියෙනවා. විවිධ ඉසව් පිළිබඳ සාකච්ඡුා කරලා තියෙනවා. ඒ අනුව මගේ ලිවීමේ කලාව එදාට වඩා අද වෙනස් වෙලා. හැබැයි වෙන කාටවත් එය දැනෙන්නේ නැහැ. එහෙම වෙන්නේ මම මුලින් කිව්වා වගේ ගුණාත්මක ලෙස පොතක් විචාරයට භාජනය වෙන්නේ නැති නිසායි. ඒක සාහිත්‍යයේ වර්ධනයට විශාල බාධාවක්. මා කියන්නේ මගේ පොත් ගැන පමණක් කතාකරන්න කියලා නෙමෙයි. හොඳ පොතක් නම් ඕනෑම කෙනෙකුගේ පොතක් ගැන කතාකරන්න කියලායි. එතැනදී ආධුනිකද ප‍්‍රවීණද කියලා බලන්න ඕනෑ නැහැ. එහෙම බැලූවා නම් මටත් අද නිර්මාණකාරියක් හැටියට මේ තැනට ළඟාවෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒ කියන්නේ ඔබේ ජ්‍යේෂ්ඨයන් ඔබව පිළිගත්තා..

ඉතාම හොඳින් පිළිගත්තා. ‘බුමුතුරුණු’ නවකතාවේ මිල ඒ කාලේ රුපියල් දහයයි. ඒ අත්පිටපත අරගෙන මම ප‍්‍රකාශකයෝ කිහිපදෙනෙක් ගාවට ගියා. ඒත් කිසි කෙනෙක් භාරගත්තේ නැහැ. ඊට පස්සේ මම සල්ලි ටිකක් එකතු කරලා තමයි පොත මුද්‍රණය කළේ. පොත පිටවුණ හැටියෙම වගේ ලාල් පේ‍්‍රමනාත් ද මැල් මහත්තයා ඒ පිළිබඳ පත්තරේට විචාරයක් ලිව්වා. සිරිල් ඒ. සීලවිමල, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, එස්.ජී. සමරසිංහ, ලීල් ගුණසේකර, කරුණාසේන ජයලත් කියන එවක පුවත්පත්වල කීර්තිනාමයක් දිනාගත් සියලූම දෙනා ඒ පොත ගැන විචාර ලිව්වා. කරුණාසේන ජයලත් මහත්තයා විචාරයක් පමණක් ලියලා නැවතුණේ නැහැ. ඒ ඔහු ‘කුල කුමරිය’ පොත ලියමින් හිටිය කාලේ. ඒ පොතේ චරිත දෙකක් ලවා මගේ පොත ගැන සඳහන් කළා. තමාගේ පොතක චරිතයක් ලවා මගේ පොත ගැන කතාකරන්න තරම් ඒ අය නිහතමානී වුණා. එතකොට මම ආධුනික ලේඛිකාවක්. ඔවුන් කිසිකෙනෙක් මාව දැනගෙන හිටියේ නැහැ. මහාචාර්ය සරච්චන්ද්‍ර විචාරයක් ලියලා කිව්වා, ඉදිරි පිරිසකට මගපෙන්වමින් යන ලේඛිකාවක් බිහිවෙලා ඉන්නවා කියලා.

මම ආධුනික වුවත් මෙවැනි පුද්ගලයන් රාශියක් පොත ගැන කතාවුණු නිසා එකපාරටම මට විශාල පිළිගැනීමක් ඇතිවුණා. කොහොමහරි පරිපාලන සේවා විභාගෙ සම්මුඛ පරීක්ෂණයට යනකොට එහි සභාපති වෙලා හිටිය ඞී.පී. සිරිවර්ධන මහත්තයා සුමිත‍්‍රා රාහුබද්ධ කියන්නේ කවුද කියලා හඳුනාගෙන හිටියා. ඒක මම ලිව්ව නිසා වුණු වැඩක් නෙමෙයි. විචාරකයෝ මගේ පොත පිළිබඳ කළ විවේචන නිසා ඒ හැම ක්ෂේත‍්‍රයකටම වගේ ‘බුමුතුරුණු’ ගිහින් තිබුණා.
විචාරකයන් කළ කාර්යභාරය නිසා පොතේ පිටපත් 500ක් අත්පිට මුදලට දයාවංශ ජයකොඩි මහත්තයා ගත්තා. ගොඩගේ මහත්තයා ගත්තා. ඒ නිසා මගේ නොදැනුවත්කම නිසා ගහපු මුල් පිටපත් 3000ම එතරම් කලබලයක් නැතුව විකුණාගන්න පුළුවන් වුණා. අද වෙනකොට එහි මුද්‍රණ වාර රාශියක් පිටවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පළමුවන නවකතාවටම මට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා. ඒ කිසි දෙයක් මා නිසා ලැබුණු දේවල් නෙමෙයි. ඒ කාලේ හිටපු ජ්‍යේෂ්ඨ විචාරකයන් නිසා ලැබුණු දේවල්. හැබැයි අද මගේ පොත් 500ක් ගන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ පොත් පිළිබඳ සංවාදයක් ඇති නොවීමයි.

ඔබගේ නවතම කෘතිය වන ‘සිය සිය පත් සිය’ කෘතිය සම්බන්ධයෙන්ද එම කරුණ වලංගුයි.

ඒ කෘතිය පමණක් නෙමෙයි ‘කෙළිමඬල’ කෘතියෙන් පස්සේ බිහිවුණු කිසිදු පොතක් සම්බන්ධයෙන් එවැනි කතිකාවතක් ඇතිවුණේ නැහැ. ‘කන්දක් සේමා’ කෘතිය සම්බන්ධයෙන් පවා ලියවුණේ එයට සම්මාන ලැබුණාට පස්සේ. ඒවාත් බොහෝ ප‍්‍රමාණයක් අවලාද. පසුගිය දශක කිහිපයේදී අලූත් පරම්පරාවක් පුවත්පත්වල බිහිවුණා. ඔවුන් අතින් ලියවුණේ පොත් විස්තර මිසක් පොතක් පිළිබඳ විචාර නෙමෙයි. ඒ පරම්පරාව අතින් අපිව ගිලිහිලා ගිහින් තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා මම හරියට දන්නේ නැහැ.

‘සිය සිය පත් සිය’ කෘතිය මම ඉතාම මහන්සියෙන් කළ පොතක්. අපිට හැම දෙයකම එදා ඉඳන් සිදුවෙලා තියෙන විකාශය හා යුග පෙරළිය අහුවෙලා තියෙනවා. වේදිකා නාට්‍යකරුවන්ට, සිනමාකරුවන්ට මේ හැම කෙනෙකුටම එය ප‍්‍රස්තුත වෙලා තියෙනවා. ඒත් විවාහය නිර්මාණයකට ප‍්‍රස්තුතයක් වෙලා නැහැ. 50 ගණන්වලින් පස්සේ විවාහය බරපතළ වෙනස්කම් රාශියකට මුහුණපාල තියෙනවා. විශේෂයෙන් 70 දශකයෙන් පස්සේ ක‍්‍රමයෙන් එය ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා. පවුලක් තුළ සිදුවන ඉතා බරපතළ දෙයක් හැටියට තමයි එදා විවාහය පිළිගත්තේ. එය කිසිසේත්ම ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබුණේ නැහැ. විවාහය කියන්නේ ඒ කාලේ ඉතාමත්ම පැහැදිලි අදහසකින් වන දෙයක්. ඒත් අද විවාහ සංස්ථාව හොඳ පදනමකින් තබාගන්න සමාජයෙන්වත් ඉඩ දෙන්නේ නැහැ. ඒක අද වෙනකොට සිල්ලර තත්ත්වයකට පත්වෙලා. ඉස්සර මඟුලක් කියන්නේ සාමූහික ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක්.

ගෙදරින් දෙන්න වෙන්නේ දෑවැද්ද විතරයි. අනිත් සියලූම කටයුතු කෙරෙන්නේ නෑදෑයෝ, හිතවතුන් අතින්. හැම වැඩක්ම බෙදාගෙන කරනවා. ඒත් අද වෙනකොට ඒ සාමූහික ක‍්‍රියාවලිය වෙනත් ව්‍යාපාර අතට පත්වෙලා. හැම අංශයකටම කිසියම් ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඡුායාරූප ශිල්පියා තමයි විවාහයේ හැම සිදුවීමක්ම තීරණය කරන්නේ. ඔහුට ඕනෑ විදියට තමයි උත්සවේ කෙරෙන්නේ. අද වෙනකොට ප‍්‍රී-ෂූට් කියලා දෙයකුත් ඇවිල්ලා. මේ හැම දෙයක්ම නිසා අද වෙන විට විවාහය කියන එක සංකීර්ණ ක‍්‍රියාවලියක් බවට පත්වෙලා. මට ඕනෑ කළේ මූලික වශයෙන් විවාහයේ සිදුවෙලා තියෙන මේ පරිණාමය පරම්පරා පහකින් විස්තර කරන්න. එය අවුරුදු පනහක විතර කාලපරිච්ෙඡ්දයක් හරහා ගලා යන්නක්.

සමාජය වෙනස් වනවිට විවාහ සංස්ථාව පමණක් වෙනස් නොවී තියෙන්න විදියක් නැහැ.

ඒක එහෙම තමයි. මට පෙන්නන්න ඕනෑ කළේත් ඒ දෙයම තමයි. හැබැයි අපි වෙනස්වෙලා තියෙන්නේ කොයි විදියටද කියන එක ගැන හිතා බලන්න වෙනවා. පනහ දශකය පමණ වෙනකොට කාන්තාවන් ඉගෙනගත්තේ තුන්වන පන්තිය පමණ දක්වා පමණයි. ඒ ඉගෙනගත්තේත් ටෙලිග‍්‍රෑම් එකක් කියවන්න හැකියාව ඇතිකර ගන්න විතරයි. සමහර වෙලාවට තමන්ගේ සහකරුවා පළමුවන වතාවට දකින්නේ පෝරුවේදී. ඒ්ත් අද ඒ හැම දෙයක්ම වෙනස් වෙලා. ඒ වගේ තමයි පනස් ගණන්වල කාන්තාව විවාහය සමඟ සියලූ දේ දරාගන්නවා. තමාගේ ස්වාමියාට වෙනත් සම්බන්ධතා තියෙනවා නම් ඒ බර උහුලාගෙන හිටියා. ඒ වගේම තමාගේ ස්වාමියාගේ දුරාචාරයන් භාර අරගෙන ඔහු සමඟ ජීවත්වෙන්න වුණා. ඒත් අද වෙනකොට මේ බැඳීම් නැහැ. සමාජය හොඳටම ලිහිල්වෙලා. ඒ එක්කම මිනිස්සු ස්වාධීන වෙලා.

 

ඒ අනුව එය දිගු නිරීක්ෂණයක ප‍්‍රතිඵලයක් මත බිහිවෙන්නක්.

ඔව්. එය ඉතා දිගු නිරීක්ෂණයක ප‍්‍රතිඵලයක්. මට මතකයි අපි පොඩි කාලේ මඟුල් ගෙදරක තිබුණු ගාම්භීරත්වය. ඒ මිනිස්සුන්ගේ තිබුණු සරලකම. ඒ හැම දෙයක් ගැනම මට මතකයක් තිබුණා. ඊට අමතරව මේ ජීවිතේ පුරාම මම සහභාගිවුණු විවාහ උත්සවවලින් මම විශාල අත්දැකීම් රාශියක් එකතුකර ගත්තා. ඒ මතකය එහෙමම තියාගෙන මම ගියා ජාතික ලේඛනාගාරයට. විපරම් කළා ඒ කාලේ කොහොමද මංගල උත්සව කරලා තියෙන්නේ කියලා. ඒ සම්බන්ධව ලිපි ලේඛන රාශියක් මම කියෙව්වා. එතැනදී under the Bo Ttree   කියන කෘතිය මට හමුවුණා. ඒ කෘතියේ මම නිරීක්ෂණය කරලා තිබුණු ගොඩක් දේවල් සටහන් වෙලා තිබුණා. ඒ හැම එකතුවෙන් තමයි මම නවකතාවෙ චරිත වෙන්කර ගත්තේ.

එය පරම්පරා පහක් තිස්සේ දිවයන නිසා චරිත රාශියක් යොදාගන්න මට සිදුවුණා. ඒත් අතරමගදී හැලෙන චරිත තියෙනවා. ඉදිරියට යන්න ඕනෑ හැම චරිතයක්ම මම ඉදිරියට අරගෙන ගිහින් තියෙනවා. උදාහරණයක් වශයෙන් එහි එන රත්නාවලී චරිතය ගන්න පුළුවන්. ඇය මුල් පරිච්ෙඡ්දයේ ඉඳන් අවසාන පරිච්ෙඡ්දයට එනකං ඉන්නවා. ඒ වෙනකොට ඇය අත්තම්මා කෙනෙක්. එහි වැදගත්ම චරිතය ඇයයි. පරම්පරා පහේම වෙනස්කම් දකින්නේ ඇයයි. ඒ නිසා ඒ කෘතියේ වපසරිය ඉතා පුළුල්. ඒත් මං හිතන්නේ ‘සිය සිය පත් සිය’ කෘතියට ලැබිය යුතු විචාරය ලැබුණේ නැහැ කියලායි. ඒකට හේතුව ඇත්තටම අද වෙනකොට හොඳ විචාර කලාවක් නොමැතිවීමයි.

ඔබ එසේ ප‍්‍රකාශ කළත් පුවත්පත්වල හා විවිධ සමාජ මාධ්‍යවල පොත් පිළිබඳ අදහස් පළවෙනවා. විචාරයක් කියන්නේත් අදහස් සමූහයක එකතුවක්නේ.

එහෙම පළවෙනවා තමයි. විවිධ සමාජ වෙබ් අඩවිවල යම් යම් දේ පළවෙනවා. ඒත් ඔවුන්ගේ අරමුණ මොකක්ද කියලා අපි බලන්න ඕනෑ. බොහෝ දෙනෙක් පොතක් පිළිබඳ නියම අදහසක් ප‍්‍රකාශ කරන්නේ නැහැ. මං හිතන විදියට ඔවුන්ට වෙනත් වෙනත් අරමුණ තියෙනවා. මෙන්න මේ අවිචාරය නිසා තමයි හොඳ විචාරයක අවශ්‍යතාව මතුවෙන්නේ.

මං කියන්නේ මේ තියෙන සියලූම සම්මාන උලෙළ නවත්වන්න ඕනෑ. පාඨකයාට ඉඩක් දෙන්න ඕනෑ හොඳ පොතක් හොයාගෙන යන්න. මොකද පාඨකයා තමයි එහි අවසාන විනිශ්චයකරුවා වෙන්නේ. මෙච්චර සම්මාන උලෙළ කිසි දෙයක් නැති කාලේ පාඨකයෝ හොඳ පොත් හොයාගෙන ගියා. ඒ ඉව පාඨකයාට තියෙන්න ඕනෑ. ඒත් අද වෙලා තියෙන්නේ පාඨකයාගේ ඉවට උඩින් කෘත‍්‍රිම වශයෙන් යම් යම් දේ උඩට අරගෙන තියෙනවා. එතැනදී පාඨකයා අතරමං වෙනවා. එහෙම ටික කලක් යනකොට මිනිස්සු පොත් කියවන එක නවත්වනවා. පොත් පිළිබඳ සටහන් ලියන අය කරන්න ඕනෑ දෙයක් තියෙනවා. ඒ තමයි තෝරාගත් පොත් කිහිපයක් පිළිබඳ පුන පුනා කතා කරනවාට වඩා පොදුවේ සෑම හොඳ කෘතියක් පිළිබඳවම ඇගැයීමක් ලබාදීම. එහෙම නැත්නම් අවම වශයෙන් බොරු කරන්නේ නැතුව ඉඳීමයි.

සුලෝචන වික‍්‍රමසිංහ