රාවය

මේ අවනඩුව අරන් කොහේ යන්නද?

මේ අවනඩුව අරන් කොහේ යන්නද?

පනෛමරකාඩු  චිත්‍රපටය තිරගත ෙනාවීම පිළිබඳ කතාව

 

ශ‍්‍රී ලාංකේය දෙමළ සිනමා ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් නිර්මාණය කරමින් පනෛමරකාඩු චිත‍්‍රපටිය පසුගිය සතියේ ජාතික චිත‍්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවේදී තිරගත වීමට නියමිතව තිබුණි. එහෙත් පනෛමරකාඩු චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය කිරීම චිත‍්‍රපටි සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සෙනෙවිරත්න ප‍්‍රතිකේෂේප කිරීම නිසා චිත‍්‍රපටිය නැරඹීමේ බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනෙකුට නැරඹීමේ අවස්ථාව මඟහැරුණි.

දර්ශනය අත්හිටුවීමට හේතුව වුණේ චිත‍්‍රපටියේ නිෂ්පාදකවරයා තමා බවත්, තමාගේ අවසරයක් නැතිව චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය කළහොත් නීතිමය පියවර ගන්නා බවත් පවසමින් කේ. සෙව්වල් නමැති පුද්ගලයෙකු චිත‍්‍රපටි සංස්ථාවේ සභාපතිවරයාට ලිපියක් යැවීමයි.

චිත‍්‍රපටියේ වැඩකටයුතු කළ සියලූම දෙනා කියන්නේ චිත‍්‍රපටිය වෙනුවෙන් සෙව්වල්ට අයිතියක් නොමැති බවයි. නිෂ්පාදකවරයෙකු ලෙස සෙව්වල් මහතා කටයුතු කර නැති බවත්, චිත‍්‍රපටිය ආරම්භයේදී චිත‍්‍රපටිය නිෂ්පාදනය කරන්නට පොරොන්දු වී, චිත‍්‍රපටිය වෙනුවෙන් මුදල් ලබාදෙන බව පවසා පසුව මුදල් නොදී මඟහැරිය බවත් චිත‍්‍රපටියේ ශිල්පීන් කණ්ඩායම පවසති. මේ ලිපිය සැකසෙන්නේ ශිල්පීන් වෙනුවෙන් අධ්‍යක්ෂ කේසවරාජන් මහතා දැක්වූ අදහස්, නිෂ්පාදකවරයා දැක්වූ අදහස් සහ චිත‍්‍රපටිය ගැන ලියුම්කරුගේ අත්දැකීම් මත පදනම්වය.

නිිෂ්පාදනය

”චිත‍්‍රපටිය 2010 දී පටන් ගත්තේ. මම මිලියන හතක් විතර වියදම් කළා. චිත‍්‍රපටියෙන් සීයට හැත්තෑවක් ඉවරවුණාට පස්සේ චිත‍්‍රපටිය අත්හැරියා. චිත‍්‍රපටියේ ප‍්‍රධාන නළු නිළියන් ඇතුළුව බොහෝ දෙනෙක් වැඬේ අත්හැරලා ගියා. ප‍්‍රධාන නිළිය කේසවරාජන් නවරත්නම් එල්ටීටීඊකාරයෙක් කියලා කොටහේන පොලීසියේ පැමිණිල්ලක් පවා දාලා තියෙනවා. ඉන්පස්සේ 2014 දී ආයේ වතාවක් චිත‍්‍රපටිය නිෂ්පාදනය කරන්න කියලා කේසවරාජන් මගෙන් අයැද සිටියා. ඒ නිසා මම එකඟ වුණා චිත‍්‍රපටියට මුදල් දෙන්න. දින හතළිහක් ඇතුළත චිත‍්‍රපටියේ ඉතිරි ටික අවසන් කරනවා කියලා ඔහු පොරොන්දු වුණා. ඒත් ඔහු අවසන් කළේ නැහැ.

ඒ නිසා මම මුදල් දෙන එක නැවැත්වුවා. ඉන්පස්සේ මට දැනගන්න ලැබුණා ඔහු තනියම චිත‍්‍රපටිය කරනවා කියලා. මම නිෂ්පාදකවරයා වශයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළා චිත‍්‍රපටියේ රූගත කිරීම් නවත්වලා තියෙන්නේ කියලා. අපේ නිෂ්පාදන සමාගමට අයිති කැමරාව ඇතුළු උපකරණ ටිකත් ඔහු ආපහු දුන්නේ නෑ. චිත‍්‍රපටියේ කටයුතු කරලා තිබුණේ ඉන්පසුව. ඉතින් මම කියන්නේ මේ චිත‍්‍රපටිය වෙනුවෙන් මම වියදම් කළ මුදලක් තියෙනවා. දෙවැනි වතාවේ ගිය වියදමත් එක්ක මම රුපියල් මිලියන 10ක් විතර වියදම් කරලා තියෙනවා. ඒ මුදල් ආපහු දෙන්න කියලායි මම ඉල්ලන්නේ. මම මුදල් දුන් බවට අධ්‍යක්ෂවරයා පිළිගත්ත ලිපියක් මා සතුව තියෙනවා.”

සෙව්වල් මහතා අප සමඟ අදහස් දක්වමින් පැවසූ මේ අදහස්ම ඔහු චිත‍්‍රපටි සංස්ථාවේ සභාපතිවරයා වෙත යැවූ ලිපියෙහිද සඳහන්ව ඇත. චිත‍්‍රපටිය තිරගත නොකළේ මේ කරුණු මතය. කෙසේ වෙතත් අධ්‍යක්ෂ කේසවරාජන් සෙව්වල් මහතාගේම ප‍්‍රකාශවල පරස්පරයන් පෙන්වයි.

”චිත‍්‍රපටිය පළමුවැනි නිෂ්පාදනයේදී ඔහු මිලියන හතක් වියදම් කරලා සීයට හැත්තෑවක් ඉවර කළ බව කියනවානේ. ඉන්පස්සෙ ප‍්‍රධාන නළුවා සහ නිළිය අත්හැරලා ගිය බව කියනවා. ඔහු කියන්නේ මා නිසා ගිය බවයි. හැබැයි මම චිත‍්‍රපටියේ අධ්‍යක්ෂවරයා. ඇත්තටම ඔවුන් ගියේ නිෂ්පාදකවරයා මුදල් නොදීම නිසා. ඔහුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. හැබැයි මම පෙන්වන්නේ, මේ ශිල්පීන් ඒ වෙලාවෙ අත්හැරලා ගියාට පස්සේ අර ඉවරකළ සීයට හැත්තෑවෙන් වැඩක් නැහැ. මොකද චිත‍්‍රපටියේ ඒ දවස්වල හිටපු රංගන ශිල්පීන් නෙවෙයි මෙවර නිෂ්පාදනයේ ඉන්නේ. සීයට හැත්තෑවක් ඉවර කරලා තිබුණා වුණත් දෙවැනි වතාවෙ දවස් හතළිහකින් ඉවර කරන්න බෑ. රූගත කිරීම් ආපහු පටන්ගන්න ඕනෑ. එහෙම ගත්තාම ඔහුම කියන කරුණු අතර ලොකු පරස්පරයක් තියෙනවා. ඒ කියන විදියට ආයෙමත් දවස් හතළිහක් ඇතුළත පටන්ගත්ත වැඩකටයුතු ඔහු දවස් හතළිහකින් ඉවර නොකළ හින්දා නවත්වලා. ඒ දවස් හතළිහේ ඔහු මිලියන තුනක් වියදම් කළා වෙන්න ඕනෑ. මොකද පළමුව කිව්ව මිලියන හතට අමතරව ඔහු සම්පූර්ණ වියදම මිලියන දහයක් කියලා කියනවා. ඒ මිලියන දහය ඔහු වියදම් කළේ කොහොමද. ඒ මිලියන දහයෙන් මේ චිත‍්‍රපටිය ඉවර කරන්න පුළුවන්ද. මේ ශිල්පීන්ගේ වැටුප් ටික ගෙවන්නවත් ඒ මුදලින් පුළුවන්ද?”
කෙසේ වෙතත් ඔහු පවසන්නේ නිෂ්පාදකවරයාගේ කතාවෙහි අසත්‍ය කරුණු ඇති බවයි.

”ඔහු පළමුවැනි වතාවෙ ලක්ෂ හැත්තෑවක් වියදම් කළේත් නෑ. දෙවැනි වතාවෙ ලක්ෂ තිහක් වියදම් කළේත් නෑ. පළමු චිත‍්‍රපටිය නැවැත්වුවේ ඔහු. ඒ නිසා ඒ වියදම මගෙන් ඉල්ලීම සම්පූර්ණ අසාධාරණයි. දෙවැනි චිත‍්‍රපටිය පටන් ගනිද්දී ඔහු පොරොන්දු වුණ මුදල් පොරොන්දු වුණ විදියට දුන්නේ නෑ. මුදල් පාලනය කරන්න මගේ ඉල්ලීම මත ස්වෙච්ඡාවෙන් ආවා බැංකුවක වැඩකළ මගේ මිත‍්‍රයෙක්. මම ඔහුගේ අතින් සල්ලි ගත්තේ නෑ. බැංකුව හරහා ආවේ. මුලින්ම ලක්ෂ තුනක වැඩ අපි ණයට කළා ඔහු මුදල් දෙයි කියන පොරොන්දුව විශ්වාස කරලා. හැබැයි ඔහු සල්ලි දුන්නේ නෑ. අන්තිමේ ලක්ෂ එකහමාරක් දුන්නා. ඉන්පස්සෙත් ඒ විදියට ලබාදිය යුතු මුදලට අඩු මුදලක් දුන්නා දෙතුන් වතාවක්. ලක්ෂ තුනක් විතර සම්පූර්ණයෙන් ඔහු දෙන්න ඇති. නිෂ්පාදකවරයා ඔහු නම් ඔහු ළඟ නිෂ්පාදන කළමනාකරුවෙක් ඉන්න ඕනෑ. මුදල් ගෙවූ හැටි සාක්ෂි ඇතිව පෙන්වන්න ඕනෑ. ඔහු දුන්න මුදල් හැම සතයක්ම පිළිබඳ සාක්ෂි අපි ළඟ තියෙනවා. අපි ගත්ත ණය ගැනත් සාක්ෂි තියෙනවා. මේක අපි හැමෝම ණයවෙලා කළ චිත‍්‍රපටියක්. ඔහු කළේ මුදල් දෙනවා කියලා පොරොන්දුවෙලා නොදී හිටපු එක විතරයි.”

අධ්‍යක්ෂවරයා මුදල් ලබාගත් බව පිළිගන්නා ලිපියක් සෙව්වල් මහතා ළඟ ඇතැයි කීවත් ඔහු එවන් ලිපියක් අපට නොපෙන්වීය. ”මට එහෙම ලිපියක් ඔහු දීලා නැහැ. තියෙනවා නම් පෙන්වන්න කියන්න.” අධ්‍යක්ෂවරයා එසේ පවසයි.

කැමරාව

”ඔහු කියනවා කැමරාව සහ උපකරණ ගොඩාක් ඔහුගේ ඒවා මම හොරෙන් තියාගෙන ඉන්නවා කියලා. ඒකත් අර්ධ සත්‍යයක්. ඔහු පිටරට ඉඳන් යුද්ධය ඉවරවුණාම ලංකාවට ආවෙ දේශපාලනය කරන්න. ඔහු ශ‍්‍රීලනිපයේ දේශපාලනය කළා. චිත‍්‍රපටි නිෂ්පාදනය කිරීම පිටිපස්සේ දේශපාලන අරමුණුත් තියෙන්න ඇති. ඔහු ඒ.ඒ.ඒ. කියන නම යටතේ විවිධ උත්සව කළා. පත්තරයක් කළා. පත්තරේ කර්තෘ මම. එතැන වැඩවලින් බහුතරයක් ඇද්දේ මම. ඒ සියල්ලේම වැඩ කළේ මම. ඔහුගේ කතා ලියලා දුන්නේ මම. ඔහු සංවිධානය කළ උත්සව ගැන විස්තර දැන් වුණත් ඔහුගේ ෆේස්බුක් පිටුවෙ බලාගන්න පුළුවන්. ඒවායේ මම ඉන්නවා බලන්න පුළුවන්. හැබැයි ඒවාට මට වැටුප් ගෙව්වෙ නෑ. ගෙව්වා නම් සාක්ෂි පෙන්වන්න කියන්න.

අන්තිමේ ඔහුට ඡන්ද නැතිව පැරදුණා. ඔහු ආයෙත් රට ගියා. එතකොටයි පළමුවරට කළ චිත‍්‍රපටිය නවත්වන්න උත්සාහ කළේ. ඔහු මුලින්ම චිත‍්‍රපටියක් කරනවා කියලා, මට තියෙන ප‍්‍රතිරූපයත් පාවිච්චි කරලා දේශපාලන වැඩක් කළේ. ඔහු යන්න ලෑස්තිවෙද්දී මම මගේ වැඩවලට වැටුප් ඉල්ලූවා. එතකොට ඔහු කිව්වා කැමරාවයි ටීවී මොනිටර් එකයි තියාගන්න කියලා. ඒ විදියටයි ඒවා මගේ අතට ආවේ.”

කේසවරාජන් එයට පිළිතුරු දෙන්නේ එසේය. සෙව්වල් මහතාගේ ෆේස්බුක් පිටු කිහිපයක එවන් උත්සවවලට අදාළ ඡායාරූප පළවී ඇත.

ලියුම්කරුගේ අත්දැකීම්

චිත‍්‍රපටියේ ශිල්පීන්ට වැටුප්වත් ගෙවා නැති බව ලියුම්කරු පෞද්ගලිකව දනියි. සංගීතය නිර්මාණය කළ ශිල්පීන්, සංස්කරණය කළ ශිල්පීන්, රංගන ශිල්පීන් සියලූදෙනා සේවය ලබාදුන්නේ නොමිලේය.

ලියුම්කරු පසුගිය වසර දෙකක කාලයක් තිස්සේ කේසවරාජන් නවරත්නම් අධ්‍යක්ෂවරයා සමීපව ඇසුරු කළ අතර චිත‍්‍රපටියේ වැඩ කටයුතු සිදුවූ ආකාරය හොඳින් දනියි. චිත‍්‍රපටියේ කැමරාව සහ මොනිටරය හැර අවශ්‍ය උපකරණ රැුසක් නොතිබුණි. ආලෝකය පාලනය කරගත්තේ පැරණි කාඞ්බෝඞ් ආදිය පාවිච්චි කරමිනි. රාත‍්‍රී දර්ශන වෙනුවෙන් අවශ්‍ය ආලෝකකරණ උපකරණ තිබුණේද නැත. ඒ සියල්ල තබා ආහාරපාන වෙනුවෙන්ද මුදල් නැතිවුණු අවස්ථා ලියුම්කරු දනියි. බොහෝවිට කණ්ඩායම දින ගෙවාගත්තේ දන්නා කියන කෝවිලක හෝ වෙනත් තැනක උත්සවයක් තිබුණහොත් එවැනි තැනක පිසෙන ආහාරවලිනි.

කැමරාව පමණක් ඔවුන් සතුව තිබුණු සම්පත විය. එය පාවිච්චි කරමින් උත්සවවල කැමරාකරණ කටයුතු සිදුකොට මුදල් උපයාගත් අවස්ථාද විය. නල්ලූර් කෝවිලේ එවැනි උත්සව කැමරාගත කළ අවස්ථාවලට දකුණේ තවත් මාධ්‍යවේදීන් සමඟ ලියුම්කරුද සහභාගි විය. එපමණක් නොව කේසවරාජන්ගේ පරිගණකයේ එවන් උත්සවවල වීඩියෝ දර්ශන බොහෝවිය.

චිත‍්‍රපටිය නිෂ්පාදනය කරන බව පොරොන්දු වූ පුද්ගලයා මුදල් නොදී මඟහරින බව ලියුම්කරු දැනගත්තේ 2015 වසරේ මුල භාගයේ මුලින්ම කේසවරාජන් මුණගැසුණු අවස්ථාවේදීය. ඒ බව ඔහු පිළිබඳව මුලින් ලියුම්කරු රාවයට ලියූ ලිපියෙහිද සඳහන්ව තිබුණි.

නීතිමය තත්ත්වය

චිත‍්‍රපටිය සම්බන්ධයෙන් නීතිමය අයිතියක් කියාපාන්නට නිෂ්පාදකවරයායැයි කියාගන්නා සෙව්වල් මහතාට අයිතිය ඇතිදැයි සැකයකි. චිත‍්‍රපටියක් රූගත කිරීම් සඳහා 2010දී ලබාගත් අවසර පත‍්‍රයක් සෙව්වල් මහතා ඉදිරිපත් කරයි. ඒ සහතිකයේ චිත‍්‍රපටියේ නම ලෙස සඳහන්ව ඇත්තේ පනෛමරකාඩු නොවේ.

”මගේ ඊළඟ චිත‍්‍රපටියට පනෛමරකාඩු කියන නම යොදන්න මම බලාපොරොත්තුවෙන් හිටියේ කාලෙක පටන්. ඒ මනිරත්නම් අධ්‍යක්ෂවරයාගේ කන්නතිල් මුත්තමිටාල් චිත‍්‍රපටියෙ එන ගීතයක නමක්. 2010 දී මම චිත‍්‍රපටියකට පිටපතක් ලිව්වා. ඒ.ඒ.ඒ. සමාගම චිත‍්‍රපටි සංස්ථාවෙන් අනුමැතිය ගත්තේ ඒ වෙලාවෙ මම ලියපු පිටපත නිෂ්පාදනය කරන්නට. ඒ වෙලාවෙ අනුමැතිය අරන් තිබුණේ පැල්මයිරා ග්‍රෝ කියන නමට. ඉංග‍්‍රීසියෙන්. හැබැයි ඉන්පස්සෙ නළු නිළියන් තෝරලා, චිත‍්‍රපටියේ ප‍්‍රචාරණ කටයුතු සහ සංගිත තැටිය නිර්මාණය කළේ පනෛමරක්කාඩු කියන නමින්. හැබැයි නිෂ්පාදකවරයා සල්ලි දුන්නේ නෑ. චිත‍්‍රපටිය අත්හරින්න වුණා. නළුනිළියන් සල්ලි ප‍්‍රශ්න නිසා ගියා. ඒ පිටපත මම අත්හැරියා.

ඉන්පස්සේ 2014 දී ආයෙමත් චිත‍්‍රපටියක් හදනකොට ඔහු කිව්වා මේ පාර සල්ලි දෙනවා චිත‍්‍රපටිය පටන්ගනිමු කියලා. ඒත් මේක වෙන පිටපතක්. මේ චිත‍්‍රපටිය වෙනුවෙන් අනුමැතිය ගත්තේ නෑ. දෙවැනි වතාවටත් ඔහු සල්ලි දුන්නේ නෑ. මම මේ චිත‍්‍රපටිය පනෛමරක්කාඩු කියන නමෙන් කළේ. හැබැයි චිත‍්‍රපටිය වෙනුවෙන් ඔහු කිසිම නීතිමය අවසරයක් අරගෙන නෑ. ඔහුට චිත‍්‍රපටිය තමන්ගේ කියලා කියන්න අයිතියක් නෑ.”

අවනඩුව

කේසවරාජන් මහතාට චිත‍්‍රපටි කිරීම පිළිබඳවද ඇත්තේ කලකිරීමකි.
”මම ඊලාම් සිනමාව තියෙනකොට ප‍්‍රශ්නයක් නැතිව චිත‍්‍රපටි කළා. ඒ කාලේ හිටපු දේශපාලන අධිකාරිය එල්ටීටීඊය. ඔවුන් මැදිහත්වෙලා මේ වගේ ප‍්‍රශ්න විසඳුවා. ඔවුන් කලාවට ආදරය කළා. ඒත් දැන් මම මේ අවනඩුව අරන් කොහේ යන්නද ප‍්‍රශ්න ඇති කරන්නේම ආණ්ඩු පක්ෂයේ යාපනයේ සංවිධායකවරයා වෙද්දී.”
”අපි හතර අතේ ණයවෙලා මේ චිත‍්‍රපටිය කළේ. හැම ශිල්පියාගෙම වගේ නමට ණය තියෙනවා. අපට විශ්වාසයක් තිබුණා චිත‍්‍රපටිය පෙන්වලා ණය ගෙවාගන්න පුළුවන් වේවි කියලා. දැන් අපට මුදල් නොදුන්න ඔහු චිත‍්‍රපටිය පෙන්වලා අපේ මුදල හොයාගන්න තියෙන අවස්ථාවත් නැතිකරනවා. දැන් අපට නඩු කියන්න හැකියාවක් නැහැ. මම කොළඹ ඇවිත් ආපහු යද්දී අතේ රුපියල් දෙසීයයි තිබුණෙ. අතේ තිබුණ මුදල් වියදම් කළා. අපි එක්ක වැඩකළ අයගේ බලාපොරොත්තු නැතිවෙලා.” ඔහු පවසයි.

මේ අවනඩුවට යා හැකි දුරක් නැත. බලාපොරොත්තු කෝටියක් හිසේ රන්දාගෙන, තමන්ගේ තරුණ කාලය වැය කළ තරුණ ශිල්පීන් රැුසක් නොමිලේ ලබාදුන් ශ‍්‍රමය චිත‍්‍රපටිය පසුපස ඇත.

”එයාට චිත‍්‍රපටිය ඕනෑ නම් ගන්න කියන්න. මා එක්ක හිටපු කොල්ලො කෙල්ලන්ගේ වැටුප් ගෙවලා. අපේ ණය ටික බේරලා.” කේසවරාජන් කියන්නේ එයයි.