වාහන ගන්න ලක්‍ෂ 392ක් වැඩියෙන් ගෙවලා

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මන්තී‍්‍රවරුන්ගේ පාවිච්චිය සදහා මිලදී ගෙන ඇති වාහන 9කට නියමිත වටිනාකමට වඩා රුපියල් ලක්ෂ 392කට ආසන්න මුදලක් ගෙවීම සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

2010 ඔක්තෝබර් මාසයේදී සිදුවී ඇති මෙම වාහන ගනුදෙනුවේදී වාහන නියෝජිත ආයතනයෙන් සෘජුව මිලදී නොගෙන වෙනත් ආයතනයකින් මිලදී ගැනීම නිසා මෙම අලාභය සිදුව ඇති බවද විශේෂ විමර්ශන අංශය සොයාගෙන ඇත. වාහන නියෝජිත ආයතනයෙන් මිලදී ගන්නා විට එකක් ලක්ෂ 43ක් වන කයිරොන් වර්ගයේ වාහන 7ක් එකක් ලක්ෂ 87 බැගින් ලක්ෂ 308කටද, ලක්ෂ 60ක් වටිනා රෙක්ස්ටන් වර්ගයේ වාහන ලක්‍ෂ 204කටද මිලදී ගැනීම නිසා මෙම අලාභය සිදුව ඇති බවට විශේෂ විමර්ශන අංශය හෙළිකරගෙන තිබේ.

එය සිදුව ඇත්තේ වාහන ඒජන්තවරයාගෙන් සෘජුව වාහන මිලදී නොගෙන අයිඩියල් මෝටර්ස් නමැති ආයතනය හරහා වාහන මිලදී ගැනීමෙනි. නියමිත ප‍්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව මෙම ගනුදෙනුව සිදුවී ඇති බවත් විමර්ශන කණ්ඩායම තහවුරු කරගෙන තිබේ. එසේම යුදහමුදා බි‍්‍රගේඩියර්වරයකු තීරු බදු රහිතව ගෙන්වන ලද කයිරෝන් වර්ගයේ වාහනයක් ද මෙම මිලදීගත් වාහන අතර තිබෙන බවත් හෙළිදරව් කරගෙන තිබේ.

මෙම වාහන භාරදුන් පුද්ගලයන් හා එම වාහන නැවත රජයට භාරදී ඇත්ද යන්න පිළිබදව විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරමින් යන බවද දැන ගන්නට ඇත.