නාමල්ට අක්මාව දී අසරණ වූ මිනිසාගේ කතාව

රේඛා නිලූක්ෂි හේරත්

අපි නාමල් උඩුගමට ආදරය කරන්නෙමු. ඔහුගේ ගැයුම් ලාංකීය රසිකයන්ගේ හිත් පැහැරගත්තේය. එක් කලෙක ඔහු සිහින කුමාරයෙක් විය. අදත් ඔහුගේ ගී අපට ඇසෙයි. ඉතින් මේ සටහන ලියද්දී වුව ඔහු කෙරෙහි තිබුණු ගෞරවයේ අඩුවක් නැත.

නාමල් උඩුගම 2014 අගභාගයේදී පමණ අසනීප වුණේ අක්මාවේ රෝගයකිනි. නාමල් උඩුගමම එකල පවසා තිබුණු ආකාරයට අක්මාවේ රෝගය ඇතිවීමට හේතුවී තිබුණේ නරක ඇබ්බැහිවීම්ය. ඔහුට අක්මාවක් බද්ධ කළයුතු විය. එය ලංකාවේ සිදුකළ නොහැකි නිසා ඉන්දියාවට යා යුතුව තිබුණි. සැත්කම අවසන්ව 2015 ජුනි 07 ලංකාවට පැමිණෙද්දී නාමල් මෙසේ කීය.

‘මේ රෝගය කිසිම කෙනෙකුට ඇති නොවේවා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. දැන් තමයි තේරෙන්නේ තරුණ කාලයේ ඇබ්බැහිවීම් නිසා මේවා ඇතිවුණේ. මම තරුණ තරුණියන්ගෙන් ඉල්ලනවා මේ වගේ ඇබ්බැහිවීම් ඇති කරගන්න එපා කියලා. වැරදිකරුවෝ කවුද කියලා හිතාගන්න බෑ, ඇත්තටම වැරදිකරුවෝ අපිම තමයි.’ ඔහුම කී ආකාරයට මෙය නරක ඇබ්බැහිවීම් නිසා ඇතිවූ රෝගයකි.

අක්මා පරිත්‍යාගයක්

නාමල් සුව කිරීමට අක්මාවේ කොටසක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශිලී අයෙකු සොයාගත යුතු විය. එපමණක් නොව රුපියල් කෝටියක් පමණ සැත්කමට වැය වෙන නිසා ඒ සම්පූර්ණ මුදල සොයාගැනීමද අවැසි විය. නාමල්ට අවැසි වූ ඒ පොසිටිව් වර්ගයේ අක්මාවක් පරිත්‍යාග කිරීමට සූදානම් ඥාතියෙකු නොවූ නිසා නාමල්ගේ රසිකයෙකු ඒ සඳහා සොයාගත යුතු විය. ඒ දිනවල නාමල්ගේ බිරිය වන රුවන්ති මංගලා කී ආකාරයට එවන් පරිත්‍යාගශීලී රසිකයන් බොහෝ දෙනෙකු ඉදිරිපත් වී තිබුණි. එපමණක් නොව කලා ලොව සහෘදයන් මෙන්ම රසිකයන් මුදල් ආධාරද ලබා දී තිබුණි.

මේ ඉදිරිපත්වූවන් අතරින් අක්මාව පරිත්‍යාග කළේ ක‍්‍රිෂාන්ත සම්පත් සිංහලගේ නමැති තඹුත්තේගම පදිංචිකරුවෙකි. ඔහුද නාමල්ගේ රසිකයෙක් විය. මේ ඔහුට කියන්නට ඇති කතාවයි.

‘මගේ ගම තඹුත්තේගම. මම උපන්නේ මීරිගම. මම රැුකියාවක් විදියට ග‍්‍රාමසේවක රැුකියාව කළේ. ඒත් 2010 දී මාව රැුකියාවෙන් ඉවත් කළා. පදිංචිවෙලා ඉන්න ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පිට රැුකියාව කළා කියන චෝදනාව උඩ. හැබැයි එතැන මගේ වැරැුද්දක් නැති නිසා මම ඒක කම්කරු උසාවියට දාලා තිබුණේ. ඒක ලේසියෙන්ම විසඳාගන්න පුළුවන්කම තිබුණා.

ඒ අතරේ තමයි 2014 දී ලක්බිම පත්තරේ දැන්වීමක් තිබුණේ නාමල් උඩුගමට අසාධ්‍යයි කියලා. ඒ පොසිටිව් වර්ගයේ අක්මාවකින් කොටසක් අවශ්‍යයි කියලා. දැන්වීමේ රුවන්ති මංගලාගේ දුරකථන අංකය දාලා තිබුණා. මම ඇයට කෝල් කළා. මම ඇහුවේ මම උදව් කරන්න කැමතියි, හැබැයි මේකෙන් මට හානියක් වේවිද කියලා. ඒ ගැන කතාකරන්න වත්තල මාබෝලේ එයාලාගේ ගෙදරට එන්න කියලා රුවන්ති මට කීවා. පස්සේ මම එහේ ගියා. එතැනදී මම නාමල් දැක්කා. ඉතාම අසාධ්‍ය මට්ටමේ හිටියේ. එතැනට ආවා රියාස් කියලා කෙනෙක්. රුවන්ති මට හඳුන්වලා දුන්නේ ඩොක්ටර් රියාස් කියලා. හැබැයි පස්සේ මම දැනගත්තා ඔහු දකුණු ඉන්දියාවේ ග්ලෝබල් හොස්පිටල් එකේ ලංකාවේ ඉන්න සම්බන්ධීකාරක කෙනෙක් කියලා.’

අපි ග්ලෝබල් හොස්පිට්ල් ආයතනයේ ලංකාවේ එම්.එෆ්.ඒ. රියාස් මහතාට දුරකථන ඇමතුමක් ලබාදුන්නෙමු. ඔහුගේ ප‍්‍රකාශයෙන් අක්මාව ලබාදුන්නේ ක‍්‍රිෂාන්ත බව තහවුරු විය.

අක්මාව ගැළපෙයි

‘රුවන්ති මට ඒ වෙලාවේ කීවේ අක්මාවෙන් 10%ක කොටසක් විතරයි ගන්නේ කියලා. ඒ කොටස ආපහු ඉක්මනින් වැඩෙන බව ඇය කීවා. එහෙම සනීප වෙන තුරු ඉන්දියාවේ ඉඳන් බෙහෙත් කරලා තමයි ලංකාවට එවන්නේ කියලා කීවා. මම ඒ වෙලාවේ එක උදව්වක් ඉල්ලූවා.

මගේ ග‍්‍රාම නිලධාරී පත්වීම නැතිවෙලා මම ඉන්නේ, පුළුවන් නම් මගේ ජොබ් එක ගන්න උදව් කරන්න කියලා. රුවන්ති කිව්වා අපෝ පුළුවන්, ජනාධිපතිතුමාට (එවකට මහින්ද රාජපක්ෂ) කියලා හරි ඔයාගේ ජොබ් එක අරන් දෙන්නම් කියලා. ඉන් පස්සේ නවලෝක මෙට්‍රොපොලිටන් ලැබ් එකට ගිහින් මගේ ලේ ගත්තා. ඒක වුණේ 2014 අන්තිම කාලයේ.

2015 මුල පළමුවැනි වතාවට ඉන්දියාවේ යද්දී මම වයිෆ්වත් එක්කරගෙන ගියා. (2015 පෙබරවාරි 23) අපි අවයව බද්ධ කිරීමේ සැත්කමක් කරද්දී කැමැත්ත දෙන්න ඕනෑ. වීඩියෝවක් ගන්නවා අවයව පරිත්‍යාග කරන කෙනාගේ කැමැත්ත ගැන. එයා ස්වාධීනව කැමැත්තෙන් අවයව දෙනවා කියලා එතැන කියන්න ඕනෑ.

එතැනදී මගෙන් ඇහුවා ඔයා ඇයි අක්මාවේ කොටසක් දෙන්නේ, ඔයාට ළමයි දෙන්නෙක් ඉන්නවා නේද කියලා. එයා බීලා එයාගේ අක්මාව නැති කරගෙන තියෙන්නේ, ඇයි ඔයා දෙන්නේ කියලා ඇහුවා. ඒත් මම ඒ වෙලාවේ උත්තර දුන්නා මගේ කැමැත්තෙන් මම දෙන්නේ ඔහුව ජීවත් කරවන්න කියලා. මගේ ප‍්‍රකාශය රෙකෝඞ් කරගත්තා. ඒක ඉන්ටවීව් එකක් වගේ. කමිටි එක කියලායි ඒක හඳුන්වන්නේ. වයිෆ් මා එක්ක රට ගියේ තුන්වැනි බබා හම්බවෙන්න ඉන්නකොට. ගුවන් යානය නුහුරු නිසා ගුවන් යානයේ ගැස්සීම් නිසා ගබ්සා වුණා. හැබැයි බිරිඳව එක්කාගෙන ගියේ මම නිසා අපිම තමයි ඒකේ වගකීම ගන්න වෙන්නේ.’

සැත්කමට විදේශගත වීම

නාමල් නැවත විදේශගත වීමට පෙර මාධ්‍යවලින් විශාල වශයෙන් නාමල්ගේ අසනීපය සහ මුදල් අවශ්‍යතාව ගැන වාර්තා කර තිබුණි. බොහෝදෙනෙක් නාමල්ට ආධාර කිරීමට ඉදිරිපත් වූහ.

‘ලංකාවට ඇවිත් ටික දවසකින් මට කතාකළා සැත්කමට ඉන්දියාවේ යමු කියලා. දෙවැනි වතාවට ඉන්දියාවට ගියාට පස්සේ තමයි මම දන්නේ මගේ අක්මාවෙන් 68%ක් ගන්නවා කියලා. එතෙක් හැමෝම මට කීවේ 10%යි ගන්නේ කියලා. රුවන්ති මුලින්ම කතාකරද්දී අතිනුත් පෙන්නුවා පුංචි කොටසක් ගන්න බව.

ඉන්දියාවේදී මම වෛද්‍යවරයාගෙන් ඇහුවා සැත්කමෙන් මට හානියක් වෙයිද කියලා. ඇය කීවා බයවෙන්න එපා, මේක ලොකු සැත්කමක් තමයි. හැබැයි අපි ඔයාව සනීප කරනවා කියලා. මේ වගේ සැත්කම්වලදී අවයව පරිත්‍යාග කරන කෙනා මියයන්නේ තුන්සීයකට එකක් කියලා කීවා. ඒ අවදානම ගන්න වෙනවා කියලා ඩොක්ටර් කීවා. ඒ වෙද්දී සැත්කමට රටේම අවධානය තිබුණු නිසා මට කොහොමත් ආපහු හැරෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ.

ඉන්දියාවේ අපි නැවතිලා හිටියේ පොඩි අපාර්ට්මන්ට් එකක. මම සැත්කමේ ඇත්ත විස්තරය දැනගත්තාට පස්සේ රුවන්ති අපාර්ට්මන්ට් එකේ මම හිටපු කාමරය ලොක් කරන්න ගත්තා. එයාලා එළියට යනකොට කාමරය ලොක් කරලා යනවා. ඒ වෙද්දී මම බයෙන් හිටියේ. නාමල් සහ රුවන්ති දොර ලොක් කරලා නිතර එළියට යනවා. මෙයාලා මෙහෙම කරන්නේ ඇයි කියලා මම බයෙන් හිටියේ. කෑම දෙන්න විතරක් දොර ඇරියේ.

මෙහෙම ටික දවසක් යනකොට මම ලියුමක් ලීවා මම අක්මාව දෙන්න කැමැත්තෙන් ආවේ. මම අදහස වෙනස් කරගන්නේ නැහැ. හැබැයි මට ඕනෑ නම් සැත්කමට මොහොතකට කලින් වුණත් අදහස වෙනස් කරගන්න පුළුවන් කියලා. ඔයාලා කරන දේ මට පැහැදිලි නෑ, ඇයි මට මෙහෙම කරන්නේ කියලා මම ඇහුවා. මම කිව්වා මට නැවත යන්න ටිකට් එක දෙන්න කියලා. රුවන්ති මට කෑම එක දෙන්න කාමරයේ දොර ඇරියාම මම ලියුම මේසය උඩින් තියලා බෑග් එක අරන් යන්න පිටත්වුණා.

අපි හිටපු අපාර්ට්මන්ට් එක ළඟ පල්ලියක් තිබුණා. ඒ පල්ලියේ ෆාදර්ට මම විස්තරේ කීවා. ෆාදර්ට කිව්වා මගේ පාස්පෝට් එකයි ටිකට් එකයි ඉල්ලලා දෙන්න කියලා. ඒ වෙද්දී ලියකියවිලි හදලා තිබුණේ රුවන්තිලා සහ මම නෑදැයෝ වෙන විදියට. මොකද අවයව පරිත්‍යාග කරන්න පුළුවන් ඥාතීන්ට විතරයි. ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර් ළඟ අත්සන් කරලා ඒ ලියකියවිලි හදලා තිබුණා.’

මේ සැත්කම සිදුකිරීමට නියමිතව තිබුණේ සම්පූර්ණයෙන් නීත්‍යනුකූලව නොවේ. ඉන්දියානු නීතිය අනුව අවයව පරිත්‍යාග කළ හැක්කේ ඥාතීන්ට පමණි. ඒ නිසා ක‍්‍රිෂාන්ත සහ නාමල් අතර ලියකියවිලි හරහා ඥාතීත්වයක් නිර්මාණය කිරීමට සිදුවිය. එය නීත්‍යනුකූලව ගත් කළ වරදකි.

සැත්කමට මුහුණදෙයි

‘මේ වෙද්දී රුවන්ති අපේ ගෙදරට කෝල් කරලා වයිෆ් එක්ක අඬලා විස්තරය කියලා තිබුණා. වයිෆ් මට කතාකරලා කිව්වා ඔයා ගිය එකේ ඔය කොටස දීලා එන්න. ඔයා බැහැ කියලා නාමල්ට මොනවා හරි වුණොත් රටම ඔයාට විරුද්ධ වෙයි කියලා කීවා. ඒ ඔක්කෝම නිසා 2015 මාර්තු 27 සැත්කම කළා.’ ගෝමදී කියලා වෛද්‍යවරියක් විසින් ඔහුගේ සැත්කම සිදුකර ඇත.

‘සැත්කමට කලින් හිටපු රුවන්ති නෙවෙයි සැත්කමෙන් පස්සේ හිටියේ. මට සැත්කමෙන් පස්සේ ගොඩක් අමාරු වුණා. මම රෝහලේ ඉන්නකොට මගේ ගාව උපස්ථායකයෙක්වත් හිටියේ නැහැ. රුවන්ති බැලූවෙත් නැහැ. ඇය නාමල් ළඟ හිටියේ. රුවන්ති නිතර මගේ ඇඳ ළඟට ඇවිත් කියනවා හොස්පිට්ල් චාර්ජස් වැඩියි, ඉක්මනින් සනීපවෙලා යන්න කියලා.

මේවා නිසා මම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලූවා මාව ඩිස්චාර්ජ් කරන්න කියලා. වෛද්‍යවරු කිව්වා ඔවුන් මගේ ජීවිතය ගැන වගකියන නිසා සීයට සීයක් සනීප වෙනතුරු යන්න දෙන්න බැහැ කියලා.

ඒ වෙලාවේ නාමල්ටත් අමාරු වුණා. නාමල්ගේ ශරීරය මුලින්ම අක්මා කොටස බාරගත්තේ නැහැ. ඒ වෙලාවේ රුවන්ති මගේ ඇඳ ළඟට ඇවිත් ඇනුම්පද කියනවා. ගම්වල කොස් පොළොස් කාපු අයගේ අක්මාව නාමල්ට ගැළපෙන්නේ නැහැ කියලා. මම ගොඩාක් මානසිකව වැටුණා ඒ කතාවෙන්. කොහොමහරි දින කිහිපයකින් නාමල්ට සනීප වෙලා තිබුණා. මාස එකහමාරක් විතර රෝහලේ හිටියා මමත්.’

නැවත ලංකාවට

‘අපේ‍්‍රල් 24 වැනිදා තමයි මම ලංකාවට ආවේ. මට ලංකාවට එන්න සල්ලි තිබුණේ නැහැ. රුවන්තිගෙන් එන්න සල්ලි ඉල්ලූවාම කිව්වා ඔයාගේ පොතට සල්ලි දාලා තියෙනවා වයිෆ්ගෙන් සල්ලි ගෙන්නගන්න කියලා. මම කිව්වා මට එයාපෝට් එකෙන් ගෙදර යන්නවත් සල්ලි දෙන්න කියලා. එතකොට කිව්වේ එයාට කරන්න දෙයක් නෑ කියලා.

ඒ වෙද්දී රියාස් කියන කෙනා ඉන්දියාවට ඇවිත් හිටියේ. මම එයාට විස්තරය කිව්වා. එයා කිව්වා ඔයා හොඳට සනීප වෙලා යන්න කියලා. එයා මට කී විදියට නාමල්ට රුපියල් කෝටි හතරහමාරක විතර ආධාර ලැබිලා තිබුණා, ප‍්‍රතිකාරවලට කෝටි එකහමාරක් විතර ගියේ කියලා.
මම ලංකාවට ආවා. එද්දී අතේ සල්ලි තිබුණේත් නෑ. කොළඹ එයාපෝට් එකේ වැඩකළ පොලිසියේ කිහිපදෙනෙක් තමයි සල්ලි එකතුකරලා මට ගෙදර එන්න සල්ලි දුන්නේ.’

නාමල්ට ආදරය කරන අය බොහෝය. කලාකරුවන් ඇතුළු බොහෝදෙනෙකු නාමල්ට අවශ්‍ය වූ කෝටියක මුදල සොයාගැනීමට උදව් කළෝය. මධුමාදව අරවින්ද, රෝහණ වීරසිංහ ඇතුළු කලාකරුවන් රැුසක් එලෙස ඉදිරිපත් විය. නාමල් උඩුගමගේ බැංකු තොරතුරු සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් සංසරණය විය. ඊසිකෑෂ් ක‍්‍රමයෙන් නාමල්ට මුදල් ලබාදුන්නේය. නාමල් වෙනුවෙන් රටක් සිටගත්තේය. ඒ ඔහු විශිෂ්ට ගායකයෙකු නිසාය.

අපේ‍්‍රල් දෙවැනිදා නාමල් වෙනුවෙන් මහරගම තරුණ සේවා සභාවේ දැවැන්ත ප‍්‍රසංගයක් පැවැත්වුණේ ‘සමුගන්නට දෙන්නෙ නෑ’ යන නමිනි. මධුමාදව අරවින්දගේ මූලිකත්වයෙන් සංවිධානය වූ ප‍්‍රසංගයට කසුන් කල්හාර, අමල් පෙරේරා, භාතිය සන්තුෂ්, ජිප්සීස් සුනිල්, ආත්මා ලියනගේ රොමේෂ්, සමිතා මුදුන්කොටුව, නිරෝෂා විරාජිනී ඇතුළු ජනප‍්‍රියම ගායක ගායිකාවන් සහභාගි වී තිබුණි. ටිකට්පත් රුපියල් 5000, 2000, 1000, 500 මිල ගණන්වලට නියම වී තිබුණි. විශාල සහයෝගයක්ද ප‍්‍රසංගයට ලැබී තිබුණි.

නාමල් පැමිණෙයි

‘එයාලා මට කතාකළේවත් නෑ. ලක්ෂ දහයක් මගේ පොතට දාලා තිබුණා. හැබැයි මම ඔපරේෂන් එකට කලින්වත් සල්ලි ඉල්ලූවේ නැහැ. මම ජොබ් එක හදලා දෙන්න කියලයි ඉල්ලූවේ. මොකද කම්කරු උසාවියේ නඩුව තිබුණේ සැත්කම තිබුණු කාලයේ. සැත්කම නිසා මට රැුකියාවක් තිබුණෙත් නැහැ, පරිපාලන අභියාචනා විනිශ්චයාධිකරණයේ නඩු වාර ටිකත් මඟහැරුණා. මම ඒක පරාදවෙලා. මට අසනීපයත් වැඩිවුණා.

රුවන්ති කියලා තිබුණේ සැත්කම ඉවරවෙලා ලංකාවට ආපු ගමන් නාමල් එක්ක ජනාධිපතිතුමාව මුණගැහිලා රැුකියාව ඉල්ලලා දෙනවා කියලා. නාමල් ලංකාවට ඇවිත් කියලා මම දැනගත්තේ ස්වර්ණවාහිනියේ ප‍්‍රවෘත්තිවලින්. (ජුනි 07 වැනිදා ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්තිවලින් නාමල් ලංකාවට පැමිණි බව විකාශය විය.)

මම නාමල්ගේ අංකයට කතාකළාම කෝල් එක කට් කරලා ඔයා කවුද? කියලා මට මැසේජ් එකක් එව්වා. මම යැව්වා ක‍්‍රිෂාන්තව මතක නැද්ද කියලා. ඊට පස්සේ ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ.

රුවන්ති මට කතාකරලා කිව්වා නාමල් හොඳින් ඉන්නවා කියලා. ඊට පස්සෙ එකපාරම ෆෝන් එක කට්කළා. මම ගත්තාට ආන්සර් කලේ නැහැ.’

වත්මන් තත්ත්වය

ක‍්‍රිෂාන්ත අප මුණගැහෙද්දීත් ඔහුගේ අසනීප තත්ත්වය පෙනෙන්නට තිබුණි.
‘මට සනීප වෙන්න ගොඩක් කල් ගියා. දැන් බඬේ කැක්කුමක් එනවා.’ ඔහු කියයි. ඔහුගේ බිරිඳ වසරකට පෙර විදේශගත වී ඇත. අරාබි රටක ඇය රැකියාවක් කරන්නේ ඔහුගේ රැකියා ප‍්‍රශ්නය නිසාය. මේ වනවිට දරුවන් ගැන බලාගැනීමත් අපහසු වී ඇත. පාසල් යන දරුවන් දෙදෙනා ඉන්නේ බිරිඳගේ මව ළඟ බව ඔහු කියයි.

මේ වෙද්දී ඔහුට ඇති ලොකුම අභියෝගය වී ඇත්තේ රැකියාව නැවත ලබාගැනීමයි.

ඔහුගේ දුරකථන ඇමතුම්වලට රුවන්ති මංගලා හෝ නාමල් උඩුගම පිළිතුරු දී නොමැති නිසා ඔහු ඔවුන්ට ඇමතුම් දීමට තවදුරටත් උත්සාහ නොකරන බව පැවසීය.

ඔහුට තවමත් අසනීපය තිබුණද තමන්ගේ අසනීපයේ තත්ත්වයට ඔහු නිවැරදිව දන්නේ නැත. ‘‘ඉන්දියාවේ ඩොක්ටර්ස්ලා මට කිව්වේ අසනීප වුණොත් රෝහලට එන්න කියලා. මට කොහොමත් ඉන්දියාවේ යන්න බෑ. ලංකාවේ පරීක්ෂණ ටික කරන්නත් මගේ අතේ සල්ලි නැහැ. බිරිඳත් නැති නිසා මට මෙහේ වගකීම් වැඩියි. අනෙක තවත් අසනීපයට කාලය නාස්ති කළොත් මගේ රැකියාව හදාගන්න බැරිවේවි.’’

සාමාන්‍ය විදියට ගෙවුණු ඔහුගේ ජීවිතය සැත්කමක් නිසා උඩු යටිකුරු වී ඇත. ඔහු අපෙන් කිසිවක් නොඉල්ලයි. තමාගේ කතාව වාර්තා කරන ලෙස පමණක් ඉල්ලයි.

නාමල් උඩුගම සහ රුවන්ති මංගලා යුවළටද මේ සියලූ සිදුවීම් පිළිබඳව කියන්නට දේවල් තිබෙනවා විය හැකිය. ඒ නිසා අපි මේ දෙපළම දුරකථනයෙන් සම්බන්ධ කරගන්නට උත්සාහ ගත්තෙමු. නාමල් උඩුගම කෙටි පිළිතුරු ලබා දී දුරකථනය විසන්ධි කළේය.

අක්මාව පරිත්‍යාග කිරීම ගැන වෛද්‍යවරයෙකු දැක්වූ අදහස්
අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීමෙන් පසුව පරිත්‍යාග කළ කෙනාත් රෝගියෙක්. ඔහු මාස තුනෙන් තුනට වෛද්‍ය පරීක්ෂාවක් කරගත යුතුයි. අවුරුදු දෙකක් යනතෙක් මාස තුනෙන් තුනට කරන්න ඕනෑ. වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ඕනෑ අක්මාව වැඩෙනවාද කියලා. අක්මාව වැඩෙන්නේ නැත්නම් ප‍්‍රතිකාර ලබන්න ඕනෑ. අවුරුදු දෙකක් සාමාන්‍ය විදියට අක්මාව වැඩෙනවා නම් අවුරුදු පහක් යනතෙක් වසරකට වතාවක් පරීක්ෂා කරවාගන්න ඕනෑ. අවුරුදු පහකින් අක්මාව වැඩිලා තිබුණොත් ඔහුට සුවයි. එහෙත් වැඩිලා නොතිබුණොත් දිගටම ප‍්‍රතිකාර ලබන්න ඕනෑ.

 

 

 

නාමල් උඩුගම

නාමල් උඩුගම?
ඔව්.
මම කතාකරන්නේ රාවය පත්තරයෙන්?
ඔව්.
ක‍්‍රිෂාන්ත සම්පත් කියලා කෙනෙක් නේද ඔයාට අක්මාවෙන් කොටසක් දුන්නේ?
ඇයි ඔයාලා අහන්නේ. ඒක ගැන මම දන්නේ නැහැ.
ක‍්‍රිෂාන්ත අපට ඒ ගැන කිව්වා?
නැහැ මම එහෙම කෙනෙක්ව දන්නේ නැහැ.
(දුරකථනය විසන්ධි විය.)

රුවන්ති මංගලා

රුවන්ති මංගලාද?
ඔව්.

ක‍්‍රිෂාන්ත සම්පත් සිංහලගේ නේද නාමල් උඩුගමට අක්මාවේ කොටසක් පරිත්‍යාග කළේ. ඇයි එයාට පොරොන්දු වුණ මුදල් ප‍්‍රමාණය නොදුන්නේ?

අපි මුදල්වලට නෙවේ මේ ඔපරේෂන් එක කරන්න කතාකරගත්තේ.

ක‍්‍රිෂාන්ත සම්පත් ගැන ඔපරේෂන් එකෙන් පස්සේ ඔයාලා ඔහු ගැන බැලූවාද? ඔහුට ප‍්‍රතිකාර කළාද?

මම එයාව වැඩිය දන්නේ නැහැ. මම හරියට අඳුනන්නේ නැහැ.
ඒ කියන්නේ ඔහුගෙන් අක්මාවේ කොටසක් ගත්තාට පස්සේ ඔහුට වැඩිදුර ප‍්‍රතිකාර කළේ නැහැ කියලාද?

මම ඔයාට උත්තර දෙන්න බැඳිලා නැහැ.
(දුරකථනය විසන්ධි විය.)

 

ග්ලෝබල් හොස්පිට්ල් ආයතනයේ ලංකාවේ සම්බන්ධීකාරක එම්.එෆ්.ඒ. රියාස්

රියාස් මහත්තයා නේද?
ඔව්

මම කතාකරන්නේ රාවය පත්තරෙන්. මට දැනගන්න ඕනෑ නාමල් උඩුගමගේ සැත්කමට අක්මාවේ කොටසක් ලබාදුන්නේ ක‍්‍රිෂාන්ත සම්පත් කියලා කෙනෙක්ද? එයාගේ ලිවර් එකෙන් 10%ක් ගන්නවා කියලා 68%ක් ගත්තාද?

එයාට ඇවිත් කියන්න මාව ඇවිත් හම්බවෙන්න කියලා. මම එයාගේ ප‍්‍රශ්නය විසඳන්නම්. මම දැන් ලංකාවෙන් පිට ඉන්නේ. කරුණාකරල එයාට කියන්න මම ලංකාවට ආවාම මාව හම්බවෙන්න කියලා. එයාට කියන්න මට කෝල් එකක් දෙන්න කියලා.

(දුරකථනය විසන්ධි විය.)