රාවය

ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි මඟ

ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි මඟ

2009දී එල්ටීටීඊය පරාජය වීමත් සමග ලාංකීය සමාජයේ සැලකිය යුතු කොටසක සිතුම්පැතුම් බරපතළ වෙනසකට ලක් කිරීමට එවකට පැවති රජය සමත් වූයේය. ජයග‍්‍රහණය සමරනු වස් පැවති සමරු උත්සවයේදී, ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කර සිටියේ මතුවට සිටින්නේ රටෙහි ජනතාව කොටස් දෙකක් පමණක් බවත්, ඒ් දේශපේ‍්‍රමීන් සහ දේශද්‍රෝහීන් බවත්ය. පසුකාලීනව ඔහු සහ ඔහුගේ රජය විසින් කළ කී දෑවලින් පැහැදිලි වන්නට වූ පරිදි ඔහු දේශපේ‍්‍රමීන් වශයෙන් හැඳින්වූයේ ඔහු සහ ඔහුගේ රජයේ කෙරුවාව පිළිගත්තවුන් වූ අතර ඵම රජය විවේචනයට ලක්කළෝ දේශද්‍රෝහීහු වූහ.

2010 ජනාධිපතිවරණයේදී ලැබූ සුවිශාල ජයග‍්‍රහණයත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා පෙර සඳහන් කළ ප‍්‍රකාශයේ භාවිතය වඩාත් තීව‍්‍ර කළේය. ඵහි ප‍්‍රතිඵලයක් වශයෙන් පෙර නොවූ ලෙස ජනතාව දේශපාලන ධ‍්‍රැවීකරණයට ලක්වූයේය. මහින්ද රාජපක්ෂ මහතා, තමාට විරුද්ධව හඬ නඟන සෑම කෙනෙකුම ජාත්‍යන්තර බලවේගයක කොටස්කරුවන් හෝ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට ආවඩන්නන් හෝ ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් මුදල් ලබන්නන් යන චෝදනාවන්ට යටත් කළේය. මේ අනුව ජනතාවට නොදැනීම ජනතාවගේ බහුතරය, ද්‍රවිඩ විරෝධයකට සහ පුද්ගලික මට්ටමෙන් රාජපක්ෂ රජය විරෝධීන්ගේ විරෝධීන් බවට පත් වූයේය.

2015 ජනාධිපතිවරණයේදී, මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන සටන්පාඨය වූයේ ‘ජාත්‍යන්තර අධිකරණයෙන් රණවිරුවන් බේරාගැනීම’යි. සිංහල ජාතිවාදය කෙතරම් සූක්‍ෂ්ම ලෙස ජනතාව අතර ඵ් වන විට ව්‍යාප්තවී තිබුණේද යත්, මැතිවරණ ව්‍යාපාරයක දේශපාලන සටන් පාඨයක් ගැන විශ්වාසයෙන් ඔබ්බට ගොස් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම ඇති කළ ජාතිවාදී රැල්ල සහ ඒ මත බිහිවූ ද්‍රවිඩ විරෝධය, දකුණේ ජනතාවගෙන් වැඩි කොටසක් එම අවස්ථාවේදී කැමැත්තෙන් වැළඳ ගත්හ.

2015 මහින්ද රාජපක්ෂ දකුණේ ස්ථාපනය කළ ජාතිවාදී මානසිකත්වය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට හෝ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ජාතික රජයටද පාලනය කරගැනීමේ ගැටලූවක් ඇතිවිය. විශේෂයෙන්ම යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා සහ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතුයැයි නැගෙන යෝජනාව යම් තරමකට හෝ සමනය කරගැනීමට දේශීයව සිදුකරනු ලැබූ අපරාධ විමර්ශන සියල්ලටම රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම බාධා ඵල්ලකළේ ‘මේ රජය විසින් රණවිරුවාව පෝරකයට දක්කාගෙන යාමට කටයුතුු කරයි’ යන සටන්පාඨය සමඟය. ජාතිවාදී දේශපාලන ධ‍්‍රැවීකරණය හමුවේ අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා සහ රජය මෙම කාරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කළද, රාජපක්ෂ හිතවත් මාධ්‍ය, රාජපක්ෂ හිතවත් විද්වතුන් දිගින් දිගට එල්ල කළ විවේචන රජයේ හඬ නිශේධනය කරන්නට තරම් සමත් වූයේය.

සිදුකළායැයි කියූ බොහෝ අපරාධ පිළිබඳ විමර්ශනවල ප‍්‍රගතිය අද වන විට අඩාල වී ඇත. රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය මුදල් සහ සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් වූ චෝදනාද, රාජපක්ෂ පවුලට සෘජුව එල්ලවී ඇති චෝදනාද විමර්ශන කි‍්‍රයාවලියෙහි වේගය අඩාල කරනු ලැබ හෝ නවත්වා ගැනීමට හෝ සමත්වී ඇත්තේය.

අද දක්නට හැකි ප‍්‍රතිඵලය, බොහෝ දේශපාලනඥයන් සහ දේශපාලන පක්‍ෂ යම් ආකාරයකට ඵම ජාතිවාදී ධ‍්‍රැවීකරණයේම කොටස්කරුවන් බවට පත්ව තිබීමයි. අද, මහින්ද රාජපක්ෂ මහතා සමඟ කැඞීගිය කණ්ඩායම සිංහල-බෞද්ධ මතවාදය ඉතා ප‍්‍රබලව සමාජගත කරන අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයද ඒ හා සමානවම සිංහල-බෞද්ධ ජාතිකත්‍වය මත පිහිටා දේශපාලනය කරයි. මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව ගෙනඑන ජාතිවාදී ස්වරූපයේ චෝදනාවලට පිළිතුරු දීම සඳහා සිරිසේන මහතා සහ ශී‍්‍රලනිපය යොදාගෙන ඇති ක‍්‍රමවේදය වන්නේද සිංහල-බෞද්ධ මතවාදය තම පක්‍ෂයේ මතවාද තුළින් ඉස්මතු කිරීමයි.

විශේෂයෙන්ම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇති විමර්ශන සහ නඩු කටයුතුවලදී සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇති යෝජනාවලදී ශී‍්‍රලනියේ සමහර ප‍්‍රබලයන්ගේ ස්ථාවරය සහ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ස්ථාවරය අතර කිසිදු ආකාරයේ වෙනසක් හෝ ගැටීමක් දක්නට නැත. ඒ අනුව, ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට ආගම සහ ජාතිය ප‍්‍රමුඛ දේශපාලන මතවාදයක් රට තුළ ඇතිවීම සහ ස්ථාවරභාවයට පත්වීම සිදුවී ඇත.
එජාපය මේ පවතින ජාතිවාදී රැුල්ල සමනය කිරීම සඳහා සකි‍්‍රයව කිසිදු සංවිධානාත්මක දෙයක් කරන බවක් පෙනෙන්නට නැත.

ජාතිවාදයට එරෙහිව එජාපයේ නිෂ්කි‍්‍රයභාවය යම් ආකාරයක දේශපාලන උපායක් බවට පෙනෙන්නේ දකුුුණේ ජාතිවාදයත් සමඟ නැඟීසිටින දේශපාලන නායකත්‍වයන්ට එරෙහිව සුළුතරය කතිරය ගසන බවට එජාපයට අවබෝධයක් ඇති බැවිනි. ඇත්තෙන්ම දකුණේ සිදුවන්නේ මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය ජාතිවාදය විකිණීමෙන් දේශපාලනය කිරීමත් එජාපය මහින්දගේ ජාතිවාදය විකිණීමෙන් දේශපාලනය කිරීමත්ය.

එජාපය පසුගිය මැතිවරණයේදී දෙන ප‍්‍රධාන පොරොන්දුවක් වූයේ දුෂණයෙන් තොර රටක් නිර්මාණය කරන බවයි. කෙසේ වෙතත්, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව බරපතළ වශයෙන් එජාපය ගැන ජනතාවගේ ඇති විශ්වසනීයත්‍වය පළුදු කිරීමට සමත්වී ඇත. එජාපය රාජ්‍ය දේපළ විකිණීම හෝ බදුදීම සම්බන්ධයෙන් ගත් සමහර ප‍්‍රතිපත්තිමය තීරණ දීර්ඝකාලීනව රටට කෙතරම් වාසි සහගතදැයි යන ප‍්‍රශ්නය අද පැනනැඟී ඇත.

උදාහරණ වශයෙන් හම්බන්තොට වරාය චීනයට පැවරීමේදී ලබාදී ඇති 100%ක බදු සහන සහ එ් බදු සහන ලබාදුන් කාලසීමාව සලකා බැලීමේදී වරාය සම්බන්ධයෙන් රජයට ලැබෙන බදු මුදල හැරෙන්නට රටේ ආර්ථිකයට වෙනත් ආකාරයක යහපතක් සිදුවන බව පෙනෙන්නට නැත. ඇත්ත වශයෙන්ම, රජය මේ ආකාරයට බදු විරාමයක් ලබා දෙන බවට පවසමින් වරාය සඳහා වූ ගනුදෙනුව ප‍්‍රසිද්ධ කළේ නම් සමහරවිට මෙම වරාය බදු ගැනීම සඳහා දේශීය ව්‍යවසායකයන්ද ඉදිරිපත් වීමේ හැකියාවක් තිබුණේය.

රජයේ සමහර ආර්ථික ප‍්‍රතිපත්ති සහ හිතුවක්කාරී තීරණ නිසා අද වන විට, එජාපයේ ආර්ථික ප‍්‍රතිපත්තියට විරුද්ධව ජනමතයක් රට තුළ ඇති කිරීමට විපක්‍ෂය මෙන්ම ආණ්ඩු පක්‍ෂයේද සමහර කොටස් සමත්වී ඇත. එජාපය පොරොන්දු වූ ආයෝජන, ආර්ථික ප‍්‍රතිසංස්කරණ, විනිවිදභාවය කි‍්‍රයාත්මකවීමේදී දක්නට නොලැබීම මෙයට ප‍්‍රධානතම හේතුවයි. හිතුවක්කාරී ආර්ථික ප‍්‍රතිපත්ති රටේ පැවැත්ම කෙරෙහි බරපතළ බලපෑමක් ඇතිකිරීමේ ප‍්‍රවණතාවක් පවතින අතර, සමහර ආර්ථික ප‍්‍රතිපත්ති රටට සෘජු තර්ජනයන් එල්ල කිරීමට සමත්ව ඇත.

සියල්ල සැලකීමේදී අද අවශ්‍යතාව වී ඇත්තේ, යම් ආකාරයක ආර්ථික, සමාජීය හා දේශපාලනික පරිවර්තනයකි. එය ජනතාව අද සිටින ස්ථානයෙන් ආපස්සට ගෙනයන පරිවර්තනයක් නොව තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි පරිවර්තනයකි. අද පවතින සමාජ ක‍්‍රමය තුළ ජනතාව භුක්ති විඳින ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික අයිතිවාසිකම් වඩාත් සුරක්‍ෂිතව ආරක්‍ෂා කළ හැකි පරිවර්තනයකි. රාජපක්ෂ පාලනය විසින් ජනතාව ග‍්‍රහණය කොටගෙන තිබූ දෘඪ හස්තය දැන් ලිහිල්ව ගොස් ඇති නමුත් මතවාදීව ජනතාව දියුණු පරිසරයක් තුළට ගෙනයාමට රජය සමත්වී නැත. රටේ පුරවැසියන්ගෙන් බොහෝ පිරිසක් මතවාදීව සිටින්නේ ඉතාමත් නොදියුණු ස්ථානයකය.පෙර කී පරිවර්තනයෙහි බලාපොරොත්තුව සමස්ත පුද්ගලයන් එක් තලයකට රැගෙන එ්ම සඳහා කටයුතු කිරීමයි.

2015 ජනවාරි 8න් පසුව ඇතිවූ වෙනස සම්බන්ධයෙන් කි‍්‍රයාකළ අයටද මෙම ප‍්‍රශ්නය පැනනැගී ඇත. බලාපොරොත්තු වූ පරිවර්තනය සමාජගත කිරීම සඳහා පාලකයන් අසමත් වීම මෙයට ප‍්‍රධාන හේතුවයි. එසේ නම් මෙය සිදුකළ හැක්කේ කාටද?

මෙයට සරල පිළිතුරක් නැත. එයට හේතුව වී ඇත්තේ අද වන විට, සමස්ත සමාජයම වසාගනිමින් පැතිරී ඇති ජාතිවාදී සහ ජාතිකවාදී මානසිකත්‍වය මත විකෘති වූ සමාජය සහ විකෘති කරනු ලැබූ ධනේශ්වර ආර්ථික රටාවන් මත ගොඩනැගී ඇති සමාජය වෙනස් කිරීමේ අභියෝගය භාරගැනීමට දේශපාලන පක්‍ෂයක් පෙරමුණ ගැනීමට ඇති අකමැත්තයි.

සමාජීය වශයෙන් ගුණාත්මක පරිවර්තනයක් සිදුවනු දැකීමට අවශ්‍ය නම්, කුමන හෝ දේශපාලන පක්‍ෂයක් මේ සඳහා පෙරමුණ ගත යුතුය. ප‍්‍රධාන පක්‍ෂ සියල්ලටම ඇති ගැටලූව වන්නේ සිංහල-බෞද්ධ ජාතිකත්‍වයෙහි තනි අයිතිකරු සම්බන්ධයෙන් වන තරගයේ තරගකරුවන් බවට මේ සියලූ පක්‍ෂ පත්ව තිබීමත් විකෘති කරනු ලැබූ ආර්ථික ක‍්‍රමයෙන් ලැබෙන ප‍්‍රතිලාභයන් වඩා පුළුල් වූ මහජන ආයතන සඳහා අත්හැරීමට ඇති අකමැත්තත්, එම පක්‍ෂවල පැවැත්ම එම කාරණා මත පමණක්ම රැඳී පැවැතීමත්ය. ජාතිවාදයෙන් මිරිකී ගිය, හැකිලී ගිය සහ දුෂිත රාජ්‍ය යන්ත‍්‍රණයකින් පාලනය වන සමාජයක් ඉදිරියට ඇතිවීම වැලැක්වීමේ වගකීම කවුරුන් හෝ ගත යුතුය.

අද වන විට ජවිපෙ යම් ප‍්‍රකාශනවලින් පෙනෙන්නේ ඔවුන්ද රටෙහි පාලනය අත්කරගැනීම සඳහා වූ සටනෙහි කොටසක් බවට පත්වෙමින් සිටින බවය. රටේ පාලකයන් බවට පත්වන්නට සිතන්නේ නම්, ජවිපෙ තමන්ගේ ක‍්‍රමෝපායයන් වෙනස් කරගත යුතුය. විශේෂයෙන්ම තමන්ගේ කාඩරයෙන් එපිට ස්ථානගතව ඇති ඡන්ද ආමන්ත‍්‍රණය කළ යුතු භාෂාව සහ කාරණය ජවිපෙ අවබෝධ කරගත යුතුය. ජවිපෙ සම්බන්ධයෙන් රටෙහි විවේචන පවතින්නේය. ඒ 1971 සන්නද්ධ කැරැුල්ල සහ 1988-89 ඇති වූ සන්නද්ධ කැරැුල්ල පාදක කොටගෙනයි. එසේ වෙතත්, 1994න් පසුව, අද වන තෙක් ජවිපෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ ආ දේශපාලන ගමන පැහැදිලිය.

මේ අනුව, අතීත කි‍්‍රයාකාරීත්‍වය මත පමණක් පදනම්ව ජවිපෙට කරන විවේචනයන්හි වලංගුභාවය සම්බන්ධයෙන් සැකයක් මතුවේ. ජවිපෙ අද දේශපාලන භාවිතය සලකා බැලීමේදී ඔවුන් රටේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව බිඳදමමින් කටයුතු කරන බවට කිසිදු පැමිණිල්ලක් හෝ චෝදනාවක් නොමැත. 1994න් පසුව ජවිපෙ දේශපාලනය ඔවුන් විසින්ම කොටු කරගනු ලැබුවේ, පුරවැසියාගේ අයිතිවාසිකම්, රාජ්‍යයේ වගකීම් සහ වගවීම් යන සිද්ධාන්ත වෙනුවෙන් පෙනීසිටීමටය.

ජවිපෙ දේශපාලන භාවිතයෙහි අවශ්‍යතාව අද ගමට මෙන්ම නගරයටද තිබේ. ආසන්නතම උදාහරණය පසුගිය මහ මැතිවරණයේදී, කොළඹ, ගම්පහ, කළුතර යන ප‍්‍රධාන දිස්ති‍්‍රක්ක තුනෙන්ම ජවිපෙ සාමාජිකයන් පාර්ලිමේන්තුවට තෝරා යැවීමයි. 2004 මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව තරග කොට ප‍්‍රධාන දිස්ති‍්‍රක්ක වැඩි ප‍්‍රමාණයක වැඩිම මනාප ලබාගත් අපේක්‍ෂකයා බවට පත්වීමට ජවිපෙ අපේක්‍ෂකයන්ට හැකියාව ලැබීමෙන් පෙනීයන්නේ ‘දේශපාලනයෙහි තුලනය සඳහා ජවිපෙ පැවැත්ම අත්‍යවශ්‍ය සාධකයක්’ ලෙස, සාමාන්‍යයෙන් ඔවුන්ගේ දේශපාලනය විශ්වාස කළ සමාජ පන්තියෙන් එහා ගිය, මධ්‍යම පන්තියක් ඔවුන්ව විශ්වාස කරන බවයි.

කෙසේ වුවත්, ජවිපෙ පාලනයට පත්කිරීම සම්බන්ධයෙන් ඇති සමාජ භීතිකාවට හේතුපාදක වී ඇත්තේ ඔවුන්ගේ දේශපාලන දර්ශනයයි. ජවිපෙ ජනතාවට ඉදිරිපත් කළ යුතු වන්නේ, අද ඔවුන් භුක්ති විඳින අයිතිවාසිකම්, වරප‍්‍රසාද, ආපස්සට හරවාවියැයි සැක හිතන මොඩලයක් නොව, පොදුවේ ඒවා වඩාත් සුරක්‍ෂිත කරන බවට සාක්‍ෂාත් දේශපාලන ආකෘතියකි. ජවිපෙ අද රාජ්‍ය පාලනයට කරන බලපෑම සම්බන්ධයෙන් රටේ මහජන පිළිගැනීමක් ඇතිවී ඇත.

එය ‘රාජ්‍ය පාලනයෙහි මුරබල්ලා’ යන හැඳින්වීමෙනි. එය ‘ප‍්‍රතිපත්ති සම්පාදකයා’ බවට මාරුවිය යුතුව ඇත. එය තමන්ගේ කාඩරයෙන් එහාට රටෙහි ජනතාව සමඟ සංවාදයක නියැලෙමින් කරන දේශපාලනයකි. රටට අවශ්‍යව ඇත්තේ දේශපාලන හෝ ආර්ථික ප‍්‍රතිසංස්කරණයකට වඩා දේශපාලන, ආර්ථික පරිවර්තනයකි. ජවිපෙ අනාගතයේ ඇතිවිය හැකි දේශපාලන රික්තය පිරවීමට අදහස් කරන්නේ නම් ඔවුන් සූදානම් විය යුත්තේ එම දේශපාලන පරිවර්තනය සඳහාය.