රාවය

අපිටත් සවන් දෙන්න

අපිටත් සවන් දෙන්න

මධ්‍යම අධිවේගී මාර්ගයට දේපළ යටවෙන මිනිසුන්ගේ කතාව

රසික ගුණවර්ධන

සංවර්ධන ව්‍යාපෘතියකින් ජනතාවට ප‍්‍රතිලාභ ලැබිය යුතුය. යම් සංවර්ධන ව්‍යාපෘතියක් තුළින් මහා පරිමාණයෙන් ජනතාව පීඩාවට පත්වෙත් නම් එය සංවර්ධන ව්‍යාපෘතියක් වේදැයි කුරුණෑගල වෙහෙරබැද්ද ගම්වාසීන් ප‍්‍රශ්න කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා ඔවුන්ගේ ජීවිත බරපතළ තර්ජනයකට ලක්ව ඇති පසුබිමකය. කුරුණෑගල මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා කරද්දී ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා කියන්නේ මේ අධිවේගී මාර්ගය දළඳා වඳින්නට යන මාර්ගය නිසා එය තැනීමට විරුද්ධ වීම මහත් පාපයක් බවයි.

එසේ වුවත් කුරුණෑගල වැසියන් ඉල්ලන්නේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නතර කරන ලෙස නොවේ. ඔවුන්ගේ ජීවිත සහ දේපළවලට ඇති අවදානම අවම කරමින් අධිවේගී මාර්ගය නිර්මාණය කරන ලෙසයි.

කුරුණෑගල ජනතාවගේ විරෝධය ගැන රාවය මීට පෙරත් වාර්තා කළේය. සියල්ල සිදුවෙන්නට කලින් එදා අවදානම පෙන්වූ අතර මෙවර අප එහි යද්දී වැඩ කටයුතු ආරම්භ කර තිබුණි. ඒ පෙන්වා දුන් අවදානම නොසලකා හරිමිනි.

අධිවේගී මාර්ගය

සියල්ලට පෙර අධිවේගී මාර්ගය අවශ්‍යදැයි විමසීම වටී. මීට පෙර රාවය හරහාම පෙන්වාදී ඇති පරිදි ලංකාවේ අධිවේගී මාර්ග නිර්මාණය කිරීමේදී වැයවී ඇති මුදල සලකා බැලිය යුතුය. එමෙන්ම ඒ මුදල වේගයෙන් වෙනස් වී ඇති ආකාරයද අපූරුය. මුලින්ම තැනුණුු කොට්ටාව සිට ගොඩගම දක්වා වන කොටසකට කිලෝමීටරයක් සඳහා වැයවී තිබෙන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 7කි.

වර්තමාන රුපියලේ වටිනාකම අනුව නම් රුපියල් මිලියන 1071කි. ගොඩගම සිට බෙලිඅත්ත දක්වා කිලෝමීටරයක් සඳහා ඩොලර් මිලියන 26ක් හෙවත් රුපියල් මිලියන 3978කි. කටුනායක කොළඹ අධිවේග මාර්ගයේ කිලෝමීටරයක් සඳහා ඩොලර් මිලියන 19ක් හෙවත් රුපියල් මිලියන 2907කි. කඩුවෙල සිට කඩවත දක්වා ඩොලර් මිලියන 43ක් හෙවත් රුපියල් මිලියන 6579කි. කඩවත සිට කෙරවළපිටිය දක්වා ඩොලර් මිලියන 72ක් හෙවත් රුපියල් මිලියන 11016කි. මේ වියදම මධ්‍යම අධිවේගී මාර්ගයට එද්දී තවත් ඉහළ ගොස් ඇත. කිසිසේත්ම අඩුවී නැත.

මේ තරම් වියදම් දරන්නේ පෞද්ගලික වාහන හිමියන් වෙනුවෙනි. පුද්ගලික වාහන හිමියන්ට වුව වර්තමානයේ කොළඹ සිට මහනුවරට යෑමට ගතවෙන්නේ පැය තුනක් පමණි. මෙය පැය එකහමාරකින් පමණක් අඩුවීම අධිවේගී මාර්ගයකින් සිදුවෙනු ඇත. මේ මාර්ග සාමාන්‍ය බහුතර ජනයාට එදිනෙදා පාවිච්චියට ගැනීමට අවස්ථාවක් නොලැබේ. ඒ වෙනුවට ගම්මානවල සාමාන්‍ය මාර්ග නිර්මාණය වීම එදිනෙදා ආර්ථිකයට බලපෑම් කරන අතිබහුතර ජනයාට ප‍්‍රයෝජනවත්ය.

පස් කඳු මතින්

කෙසේ වෙතත් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය අධිවේගී මාර්ගය තැනීම නම් එය කිරීමෙහි ගැටලූවක් නැත. එහෙත් ගැටලූව වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමෙන් පසුව ස්වාභාවික ආපදා වර්ධනය වී ඇති බව දැන දැනම ආණ්ඩු විසින් යල්පැන ගිය උපක‍්‍රමයක් වන පස්කඳු මතින් අධිවේගී මාර්ග තැනීමේ උපක‍්‍රමය පාවිච්චි කිරීමයි.

ගම්වාසීහු ඒ ගැන මෙසේ කියති.

”කිරිඇල්ල ඇමතිතුමා පැහැදිලිව කියනවා ගාල්ල, මාතර පාර යට වුණේ ඒක කණු මත ඉදිනොකළ හින්දා කියලා. ඒ හින්දා මේක වතුර බැහැලා යන්න තැනින් තැනින් කාණු ගහනවලූ. එහෙම හරි අපි දෙයක් කළාලූ. ඒ අතර එතුමා නිශ්චිතවම කියනවා කාණු නොගැහුවොත් යට වෙනවා කියලා.” අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටස කිලෝමීටර තිස් නවයයි දශම තුනයි හතකි. කිලෝමීටර එකයි දශම හයක් පමණක් කණු මතින් ඉදිකිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් එය කිලෝමීටර අටයි දශම දෙකක් දක්වා වැඩි කර ඇතත් එය පස්කඳු මතින් යන දුරට සාපේක්ෂව ගත් කල සුළු ප‍්‍රමාණයක් බව ගම්වාසීහු පවසති. ගම්වාසීන් පෙන්වාදෙන්නේ කුරුණෑගල නගරය අධිවේගී මාර්ගය නැතත් ගංවතුර අවදානමට ලක්වෙන බවයි. එහෙත් ඒ ගංවතුර කුඹුරු දිගේ බැස ගිය අතර කුඹුරු හරහා ඉදිවෙන පස් බැම්මක් වැනි අධිවේගී මාර්ගය නිසා ඒ ගංවතුර බැසයන්නට ක‍්‍රමයක් නැත. කාණු ඉදිකිරීම විකල්පයක්යැයි ඇමතිවරයා කීවත් එයින් ප‍්‍රමාණවත් ලෙස ගංවතුර බැස යන්නේ නැති බව ගම්වාසීන් කියයි.

”අපි ඇමතිතුමා එක්ක සාකච්ඡුා කළා. එතුමාට කීවා ඔබතුමාලා කියන විදිහට වතුර පිරෙන්නේ නැත්තං අපිට ඒ බව ලිඛිතව ලබා දෙන්න කියලා. හැබැයි එහෙම ලබාදෙන විශේෂඥ වාර්තා බොරු වුණොත් විනාශ වෙලා දේපළවලටයි ජීවිතවලටයි වන්දි තක්සේරුවක් කරන්න කියලා ඉල්ලූවා. ඇමතිතුමා ඒකට එකඟ වුණේ නෑ. දැන් බන්ට් එක වාගේ පාර ගහලා ඉවරයි. අපි කොච්චර කීවත් මේගොල්ලෝ ආය මේක අයින් කරන්නේ නෑ. අපේ ජීවිත අනතුරේ දාලා මේගොල්ලෝ මග අරින එක තමයි කරන්නේ.” මේ අවදානමට එරෙහිව කුරුණෑගල ජනතාව සංවිධානය කිරීමේ කටයුත්තෙහි පෙරමුණේ සිටින සංජීව අප සමඟ එසේ පැවසීය.

”හයිවේ හදනවාට අපි විරුද්ධ නෑ. සල්ලි වියදම් කරලා හයිවේ හදන්නේ පාර බ්ලොක් වෙන එක අඩු කරන්නනේ. ඒත් ඒකෙන් මිනිස්සුන්ට හානි වෙනවා නම්, හරි විදිහට හදන්න රජයට සල්ලි නැත්තං ඒක නොහදා ඉන්න එක නේද හොඳ.” සංජීව එසේ කියයි. ඔවුන් අන්තවාදී නැත. ඔවුන්ට ඕනෑ ආරක්ෂාව ගැන සහතිකයකි.

ජල උල්පත්

සංජීව ප‍්‍රමුඛව ගම්වාසීන් අපට පෙන්වාදුන්නේ මේ වනවිට අධිවේගී මාර්ගය තැනීමට කඳු පෙදෙස්වලින් පස් ගැනීම නිසා ජල උල්පත් සිඳීයෑමද සිදුවෙමින් පවතින බවයි.

”මෙතන අඩි විස්සක් උස අඩි තුන්සීයක් පළලට පස් වැටියක් ගහන්නේ. මේකේ එක කිලෝමීටරයට පස් ඝන මීටර් දෙලක්ෂ හැත්තෑදාහක් විතර යනවා. මේ පස් ගේන්නේ දඹදෙණිය, ගිරිඋල්ල, මාවතගම කඳු කපලා. ඒ හින්දා ඒ පැතිවල ළිං හාරසීයක් විතර සම්පූර්ණයෙන්ම හිඳිලා තියෙනවා.”

”ළඟ තියෙන දාංවු කන්දත් කපන්න මේගොල්ල උත්සාහ කළා. අපි මැදිහත් වෙලා ඒක නැවැත්තුවා. හැබැයි මේ වෙල්යාය ගොඩ කළාට පස්සේ පොළොවට වතුර උරාගන්න එක සෑහෙන ප‍්‍රමාණයකින් අඩු වෙනවා. ඒක අනාගතයේ මේ පැත්තේ ජල මූලාශ‍්‍ර හිඳිලා යන්න හේතුවෙන්න පුළුවන්.” පරිසර අධ්‍යයන වාර්තාවල කරුණුත් සමඟ ඔවුහු කියති.

පරිසර වාර්තා පසෙක ලා ජනතාවගේ උද්ඝෝෂණ තඹේකට මායිම් නොකර සිදු කරනු ලැබූ උමා ඔය ව්‍යාපෘතිය නිසාවෙන් මිනිසුන්ට සිදුව ඇති පීඩාව සියල්ලන්ටම නොරහසකි. එවන් පසුබිමක මේ ගම්වාසීන් කියන දේ තුට්ටුවකට මායිම් නොකිරීම ආණ්ඩුවකට නොවටිනා දෙයකි.
එසේම ගම්වාසීන් චෝදනා කරන්නේ පස් කඳු කැපීමට ඇමතිවරුන් කිහිපදෙනෙකුම සම්බන්ධ වී සිටින බවයි.

”අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලූවා පරිසර ඇමති විදිහට මේ සම්බන්ධව සාකච්ඡුා කරන්න අපිට අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒත් එතුමා කාර්ය බහුලයි කියලා ලිපි එවනවා, මේ පැත්තේ ශ‍්‍රීලනිප ඇමතිවරයෙක් එක්ක සාකච්ඡුාවක් ලබා දෙන්නම් කියලා. ඒ ඇමතිවරයාත් කඳු කපන වැඩවලට සම්බන්ධ බව අපට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඉතින් එහෙම පසුබිමක එයාගෙන් මේ ගැන අහනවා කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.”

මර්දනය

රජය මෙම ගැටලූවලට විසඳුම් ලබාදීම වෙනුවට දිගින් දිගටම මර්දනය සිදුකරමින් සිටින බව ගම්වාසීහු චෝදනා කරති. ඒ හේතු නිසා මේ වන විට සංජීව හැර අනෙක් ගම්වාසීහු මාධ්‍යවල නම් ගම් පළකරනවාටද බියක් දක්වති.

”එක පාරක් ඩෑම් එක ගහන්න දෙන්නේ නැතුව මිනිස්සු එකතු වෙලා පාර වහගෙන හිටියා. සති තුනක් විතර හිටියා. ඊට පස්සේ පොලිසියෙන් බස් දෙකක් ගෙනල්ලා මිනිස්සුන්ව දාගෙන යන්න හැදුවා. අපි කියන දේ තේරුම් ගන්නවත් ඒගොල්ලෝ උත්සාහ කළේ නෑ.” ගම්වැසියෙක් එසේ විස්තර කරයි.

සංජීවට කිහිප වතාවක්ම පොලීසි යන්නට සිදුවිය. කොළඹ මාධ්‍ය ආයතන සමඟ පසුගිය කාලයේ සංජීවලා ඇති කරගෙන තිබුණු සම්බන්ධතා නිසා ඒ අවස්ථාවලට මුහුණදීමට හැකිව තිබුණි.

”ගිය මාසේ විසිපහ නයිලිය පන්සලට නිලධාරීන් පිරිසක් ආවා අපිත් එක්ක සාකච්ඡා කරන්න. එතැන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් හිටියා. අපට විසඳුම් දෙනවා කියලා තමයි ඒගොල්ලෝ ආවේ. ඒ වුණාට අපි ප‍්‍රශ්න අහනකොට ඒගොල්ලෝ නැගිටලා යන්න ගත්තා. විනාඩි පහළොවයි. රැස්වීම ඉවරයි.” ඉන්පසුව යළි ඔවුන් උද්ඝෝෂණවලට යොමුවී ඇත.

”ඊට පස්සේ අපි කට්ටිය ගිහිල්ලා කොළඹ-කුරුණෑගල පාර වහලා උද්ඝෝෂණය කළා. ඒ පාර පොලිසියෙන් අපිට විරුද්ධව පොල්ගහවෙල උසාවියේ නඩුවක් දැම්මා. රජය නීතිය යොදාගෙන අපේ කටවල් වහන්න හදන්නේ.”

කුරුණෑගල පොලිසිය පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බව ගම්වාසීහු චෝදනා කරති. කිහිප වතාවක් ව්‍යාපෘතිය සහ එයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇතත් ඒවා පිළිබඳ පියවර නොගැනෙන බව ඔවුහු කියති. ඒ වෙනුවට ගම්වාසීන්ට එරෙහිව ව්‍යාපෘතියට සම්බන්ධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන පැමිණිලි ක්ෂණිකව විභාගයට ගැනෙන බවද කියති.

ඔවුන් ප‍්‍රකාශ කරන්නේ ජනතාව නීතිය ඉදිරියට පමුණුවමින් ඔවුන්ට අසත්‍ය චෝදනා එල්ල කරමින් මෙම ව්‍යාපෘතිය ජනතාවට පීඩාකාරී අයුරින්ම සිදු කරගෙන යාමට රජය උත්සාහ ගන්නා බවයි.

වන්දි

ප‍්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වන්දි ලබාදීමේ පවා නිසි ආකාරයෙන් සිදුවී නොමැති බවයි. මේ සම්බන්ධව ඔවුහු තක්සේරු දෙපාර්තමේන්තුවට චෝදනා කරති. ඉදිකිරීම්වල මුල් අදිරයෙහි හා වර්තමානයේ ලබා දුන් වන්දි මුදල් අතර විශාල වෙනසක් පවතින බවත් එම ක‍්‍රියාවලිය විනිවිද බවකින් තොර බවත් ඔවුහු තවදුරටත් පවසති.
නිසි ක‍්‍රමවේදයෙන් තොරව, වෙළෙඳපොළ වටිනාකම පවා නොසලකා හරිමින් පෞද්ගලික වුවමනා එපාකම් සපුරා ගැනීම උදෙසා පමණක් වන්දි ලබාදීම තුළින් ජනතාව අසීරුතාවට ලක්වෙති. ඔවුන් වර්ෂ ගණනාවක සිට ජීවත් වූ භූමියට නිසි වටිනාකමක් ලබාදීමට රජය අපොහොසත් වීම කනගාටුදායකය.

”හයිවේ පටන් ගත්ත කාලේ දීපු වන්දියි, ඊට මාස දෙක තුන යද්දී දීපු වන්දියි සෑහෙන්න වෙනස්, මුදල් ප‍්‍රමාණය ටික ටික අඩු වෙනවා. එක තැනක එකම ඉඩමේ තාත්තාගේ කොටසට පර්චස් එකට විසිපන්දාහ ගානේ දීලා දුවගේ එකට පර්චස් එකට හැට දාහ ගානේ දීපු අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට හඬක් නැති මිනිස්සුන්ට ලැබෙන්නේ අඩු වන්දි.” ඔවුහු කියති.

ඔවුන් ඉල්ලන්නේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නවත්වන්න කියා නොවේ. තමන්ට සාධාරණයක් ලබාදෙන ලෙසය. තමන්ට අහිමිවන සිය ඉඩම්වලට නිසි වන්දි වටිනාකමක් ලබාදෙන ලෙසය. සිය ජීවිත අනතුරේ නොහෙළා මාර්ග කණු මතින් ඉදිකරන ලෙසය. ඒවා අසාධාරණ ඉල්ලීම් යැයි කිසිවෙකුට ප‍්‍රකාශ කළ නොහැක. ඉංජිනේරුවන්ට, තාක්ෂණ නිලධාරීන්ට විවිධ අර්ථකථන ලබාදී පීඩාවක් නොවන බව සාධනය කර දැක්විය හැකිය. එහෙත් පොළොවේ සිටින මිනිස්සු ඔවුහුය. පොළොව ගැන දන්නෝ ඔවුහුය. ඒ නිසා ඔවුන්ට කන්දීම යුතුමකි. මේ වන විට ඒ යුතුකම පැහැර හරිමින් මාර්ගය ඉදිකරමින් පවතී. එසේ නම් ජනතාවගේ වගකීම රජය බාරගත යුතුය.

 

මේ ගැන විමසද්දී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ අධිවේගී මාර්ගය කණු මතින් ඉදිකිරීමට මූල්‍ය ප‍්‍රතිපාදන නොමැති බවයි. එසේ නම් මිනිස් ජීවිත අනතුරේ හෙළීම වෙනුවට මුදල් ලැබුණු විටෙක මේ ව්‍යාපෘතිය කළා නම් යහපත් බව අපේ හැඟීමයි. මේ වන විට ඉදිකිරීම් ඇරඹී ඇත. හෙට මේ සියල්ල ඛේදවාචකයකට හැරෙනු ඇතැයි බියෙන් ගම්වාසීන් බලා සිටිති.

දැන් ගැටලූවක් නෑ

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එන්. සූරියආරච්චි

මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු මේ වෙද්දී හොඳින් කෙරෙනවා. ජනතාව සමඟ කතා කරලා අපි විසඳුම්වලට ඇවිල්ලා ඉන්නවා. හැමෝවම සතුටු කරන්න බැහැ. අනෙක කුඹුරු යාය යටවෙනවාද නැද්ද කියලා කිසිම සංවිධානයකට වාර්තාවක් දෙන්න මම බැඳිලා නැහැ. දිසාපතිවරයා හෝ රාජ්‍ය නිලධාරියෙකු ඉල්ලීමක් කළොත් වාර්තාවක් දෙන්න පුළුවන්.