රාවය

රටේ අසාර්ථකත්වය හා චින්තනයේ දුප්පත්කම

රටේ අසාර්ථකත්වය හා චින්තනයේ දුප්පත්කම

දේවල් තියුණු ලෙස දැකීමට හා ඒවා අනාගතය කෙරෙහි ඇති කරන බලපෑම කල්තියා දකින්නට තිබෙන නොහැකියාව ලංකාවේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. එය ලංකාවේ දේශපාලකයන්ට හා නිලධාරීන්ට පමණක් නොව බුද්ධිමතුන්ට, විශේෂඥයන්ටද, විශේෂඥ ආයතනවලටද ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය මා මේ ලිපියෙන් කථාකරන්නට අපේක්‍ෂා කරන්නේ පොදුවේ රටේ පවතින තත්ත්වය නොව නිීති සම්පාදන විෂයට අදාළ තත්ත්වයයි. අප එම විෂයේදී කොතරම් අසාර්ථක හා බංකොලොත් තත්ත්වයකද යන්න පෙන්වා දීම සදහාය.

19 වැනි සංශෝධනය

19 වැනි සංශෝධනය ලොකු උගත්කමක් නැති ඉතාමත් සාමාන්‍ය මිනිසුන් කණ්ඩායමක් එකට එකතු වී තනන ලද සංකල්පයක් ලෙස සැලකිය නොහැකිය. උගත්කමක් තිබූ විශේෂ කණ්ඩායමක් විසින් කරළියට ගෙනා දෙයක් විය. එය තියුණු ලෙස කරුණු සලකා බැලීමකට ලක්කිරීමකින් පසු සකස් කර ගන්නා ලද දෙයක් නොවන බව බැලූ බැල්මට වුවත් තේරුම් ගැනීම අමාරු නැත.

වැදගත් කොට සලකා තිබෙන බව පෙනෙන්නේ අපේ මෝඩ දේශපාලකයින් සේම එහි ප‍්‍රායෝගිකභාවය නොව මහජනයාට විකිණීමට තිබෙන හැකියාවය. ඉතාමත් ඛේදජනක දේ වනුයේ නීති සම්පාදනය හා දේශපාලන විෂය සඳහා ලංකාවේ සිටින ලොකු උගතුන් හා විශේෂඥයන් ලෙස සැලකිය හැකි අය පවා එම සංකල්පයේ ඇති අවුල්සහගත නිමාව, පරස්පර විරෝධි ලක්‍ෂණ හා ප‍්‍රායෝගික නොවන මනෝරාජික ස්වරූපය තේරුම් ගැනීමට අසමත්වීමය. ඒ සියලූදෙනා එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් එම මෝඩ මනෝරාජික වැඩසටහන සමාජගත කිරීමට හා නීතිගත කිරීමට උදව් කළෝය.

විරුද්ධ පක්ෂය නියෝජනය කළ දේශපාලන පක්ෂවලට හා දේශපාලන ව්‍යාපාරවලටද ඒ ගැන කිසිදු විවේචනයක් නොතිබුණි. මහින්ද විරෝධී පක්ෂ හවුුලේ ප‍්‍රධානීන් එම වැඩසටහන භාරගත්තේද විවේචනාත්මකව කරුණු සලකා බලන තැනකට යෑමෙන් පසුව නොව අවිවේචනාත්මකවය. මෙම වැඩසටහන අවිවේචනාත්මකව කරට ගත් හා ඊට සහයෝගය දුන් එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ බුද්ධිමය වශයෙන් ඇද වැටී තිබෙන බංකොළොත්භාවයේ තරම සේ ම ලංකාවේ බුද්ධිමතුන් චින්තනමය වශයෙන් ඇද වැටී තිබෙන බංකොළොත්භාවයේ තරම ඉන් තේරුම් ගත හැකිය.

19 වැනි සංශෝධනය කෙටුම්පත් කර තිබුණේ ජනමත විචාරණයකින් තොරවම ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අපේක්‍ෂාවෙනි. ව්‍යවස්ථාවට අනුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමත විචාරණයක අනුමැතිය ද අත්‍යවශ්‍ය බව තේරුම් ගන්නටවත් එය සම්පාදනය කළ විශාරදයන් අසමත්ව තිබුණි. එම වැඩසටහන කරට ගත් දේශපාලන පක්ෂ පවා ඒ බව තේරුම් ගෙන නොතිබුණි. එසේ නැතහොත් මැතිවරණ ජයග‍්‍රහණයකින් පසුව නීතිය නොසලකා අධිකරණය එම වැඩසටහනට අනුමැතිය දෙනු ඇතැයි හෝ රාජ්‍ය බලය තිබෙන නිසා අනුමැතිය ලබා ගන්නට හැකිවනු ඇතැයි කල්පනා කළා විය හැකිය. එසේ කල්පනා කළේ නම් එම උගතුන්ගේ කල්පනාව නීති විරෝධි බව අමුතුවෙන් කිව යුතු නැත.

දර්ශනයේ දුප්පත්කම

19 වැනි සංශෝධනයෙන් සිදුවූ යහපත් දේ ලෙස සැලකිය හැක්කේ 18 වැනි සංශෝධනය අවලංගු කිරීම හා ජනාධිපතිගේ නිල කාලය අවුරුදු පහ දක්වා අඩුකිරීමය. ඒ නිසා ඇතිවූ යහපත් දේවලට වඩා ඇතිවී තිබෙන අයහපත් දේවල ප‍්‍රමාණය විශාලය. එය ආණ්ඩුක‍්‍රමය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවනවාට අතිරේකව ඊට විශාල වැය බරක් දැරීමට හේතුවන ඵලදායී නොවන ආයතන ක‍්‍රමයක් ඇති කිරීමට ද හේතුවී තිබේ.

ජනාධිපති පාලන ක‍්‍රමයක් සහිත ආණ්ඩු ක‍්‍රමයක් තුළ සේ ම අගමැති ප‍්‍රමුඛ කැබිනට් පාලනයක් සහිත ආණ්ඩු ක‍්‍රමයක් තුළද හදිසි අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පළමු ක‍්‍රමයේදී ජනාධිපතිටද, දෙවැනි ක‍්‍රමයේදී අගමැතිටද ලබාදෙන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වේ. හිතුවක්කාරී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබෙන ඉඩකඩ වළකන විධි විධාන ඇති කිරීම අවශ්‍ය වුවත්, පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් කිරීම අත්‍යවශ්‍ය අවස්ථාද තිබෙන්නේය.

කිසිවෙකුටත් පාලන බලයක් පවත්වාගෙන යෑමට නුපුළුවන් ආකාරයට පාර්ලිමේන්තු බලතුලනයේ ඇතිවන වෙනසකදී පාර්ලිමේන්තුවේ පැවැත්ම නින්දාසහගත තත්ත්වයට පත්වීම වැළකිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙනි. එවැනි විශේෂ අවස්ථාවකදී විසුරුවා හැරීමේ බලය ජනාධිපති ක‍්‍රමයක් තුළ ජනාධිපතිටද, අගමැති ක‍්‍රමයක් තුළ නම් අගමැතිටද තිබෙන්නේය. එහෙත් 19 වැනි සංශෝධනය යටතේ එවැනි විශේෂ අවස්ථාවක් ඇතිවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිට හෝ අගමැතිට නැත.

එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවිය යුත්තේ ස්වකැමැත්තෙනි. ස්වකැමැත්තෙන් විසුරුවා හැරීමක් ඉල්ලා සිටින පාර්ලිමේන්තු තිිබිය හැක්කේ කොයි ලෝකයේද?

මොන හේතුවක් නිසා හෝ පාර්ලිමේන්තු බලතුලනයේ වෙනසක් ඇතිවී විසුරුවා හැරීමක් කිරීම අත්‍යවශ්‍ය අවස්ථාවක් ඇතිවුවහොත් විසුරුවා හැරීමක් කිරීමට අවශ්‍ය විධිවිධාන නැතිකම නිසා මුළු රාජ්‍යයම අරාජික තත්ත්වයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය. මෙම ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන්ගේ නියම තකතීරු ස්වභාවය මහජනයා තේරුම් ගනු ඇත්තේද එවැනි අවස්ථාවකදීය. පාර්ලිමේන්තුවේ දක්නට තිබෙන අවුල්සහගත හා අස්ථාවර පෙළගැස්ම අනුව එවැනි අර්බුදයක් ඕනෑම මොහොතක ඇති විය හැකිය.

ස්වාධීන කොමිෂන් සභා

එම සංශෝධනය යටතේ ඇති කර තිබෙන ව්‍යවස්ථා සභා ක‍්‍රමයක් යටතේ ක‍්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමයද ඉන් අපේක්ෂා කරන අරමුණු ඉටුකර ගැනීමට කිසිදු හැකියාවක් නැති මහජනයා මත අනවශ්‍ය තරමේ වැය බරක් පැටවීමට හේතුවී තිබෙන මෝඩ ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. එම ක‍්‍රමය අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය හැකියාව ඇති ප‍්‍රායෝගික ක‍්‍රමයක් වීමට නම් අපේක්ෂා කරන පරමාර්ථ සපුරා ගැනීම සඳහා පැහැදිලි දර්ශනයක් ඇති ඒ සඳහා අවශ්‍ය බලතල ඇති, දේශපාලන ඇඟිලි ගැසීම්වලට යට නොවී ක‍්‍රියාකිරීමේ බලය ඇති එම පරමාර්ථ වෙනුවෙන් අවංක ලෙස ක‍්‍රියාකරන දක්ෂ පුද්ගලයන්ගෙන් යුතු ඒ සියල්ල සඳහා අවශ්‍ය විධිවිධාන ඇති ආයතන ක‍්‍රමයක් ගොඩ නැගිය යුතුව තිබුණි.

ගොඩනගන ලද ව්‍යවස්ථා සභාව ආණ්ඩුවේ දේශපාලන ආධිපත්‍යයෙන් අත්මිදුණු ස්වාධීන ආයතන ක‍්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. ඒ සඳහා සාමාජිකයන් තෝරා පත්කර ගැනීම සඳහා ඇති කර තිබෙන ක‍්‍රමයද හොඳම හා සුදුසුම පුද්ගලයන් තෝරා පත්කර ගැනීමට හේතුවන ක‍්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. එහි ඉලක්ක හා කාර්යභාරය පිළිබඳව නිසි අර්ථකථනයක් ලබාදී නැත. එම ක‍්‍රමයේ ප‍්‍රධාන අරමුණට අදාළ රජයේ ආයතනවල පොදුවේ දක්නට ලැබෙන දුෂණය, අකාර්යක්ෂමතාව නැති කොට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ඒවා ඵලදායී ලෙස ක‍්‍රියාකරන තැනකට ගැනීම සදහා ඒ අරමුණ පැහැදිලි ලෙස දක්වන අතර ඒ අරමුණ වෙනුවෙන් ක‍්‍රියාකිරීමට ඇත්ත හැකියාවක් ඇති සුදුසුම පුද්ගලයන් එම කොමිෂන් සභාවලට හෝ තනතුරුවලට පත්කිරීමට පුළුවන්කම ලැබෙන විධි විධාන ඊට ඇතුළත් කළ යුතුව තිබුණි. ව්‍යවස්ථාව සංශෝධනයේ අරමුණ පැහැදිලිව දක්වා නොතිබෙනවා සේම ඒ අරමුණට ගැළපෙන පුද්ගලයින් තෝරාගැනීම ස`දහා වන විධිවිධාන ද ශක්තිමත් ලෙස දක්වා නැත.

එසේම ව්‍යවස්ථා සභාව පත්කරන පුද්ගලයන් ඒ අරමුණට අනුකූලව ක‍්‍රියාකරන්නේදැයි සොයා බැලීමේ අයිතිය ව්‍යවස්ථා සභාවට ලබාදිය යුතුව තිබුණි. එහෙත් ව්‍යවස්ථා සභාවට දී ඇත්තේ පුද්ගලයන් පත්කිරීමේ බලය පමණය. ව්‍යවස්ථා සභාව පත් කරන පුද්ගලයන්ගේ ක‍්‍රියාකාරීත්වය සොයා බැලීමේ බලය ව්‍යවස්ථා සභාවට ලබාදී නැත.

ව්‍යවස්ථා සභාව

ව්‍යවස්ථා සභාව විසින් පත්කරන නිලධාරින්ගේ පත්වීම ලැබීමෙන් පසුව ඔවුන්ගේ ආයතනවල තිබෙන අකාර්යක්ෂමතාව හා දුෂණය ජයගෙන ඒවා මහජනයාට ඵලදායී හා කාර්යක්ෂම සේවාවන් සලසන ආයතන බවට පත්කිරීම සඳහා ඔවුන් කරන්නට අපේක්ෂා කරන ප‍්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තා ලබාගන්නා ක‍්‍රමයක් ඇති කළ යුතුව තිබුණි.

එම සැලසුම් සාකච්ඡුාවට ලක් කිරීම හා සැලසුම් ක‍්‍රියාත්මක කිරීම ව්‍යවස්ථා සභාවේ පරීක්ෂාව යටතේ සිදුවන දෙයක් බවටද පත් කළ යුතුව තිබුණි. අධිකරණය නිදර්ශනයට ගන්නේ නම් අගවිනිසුරු ධුරයට පත්වීම ලබන නිලධාරියාට අධිකරණයේ පවතින යථා තත්ත්වය හා එහි තිබෙන දෝෂ ද ඒ තත්ත්වය ජයගැනීම සඳහා කරන්නට අපේක්ෂා කරන ප‍්‍රතිසංස්කරණ ද ඇතුළත් වාර්තාවක් ලබා දෙන්නට සිදුවේ. එවිට අගවිනිසුරුවරයාට එම සැලැස්ම කරන්නට සිදුවන්නේ ව්‍යවස්ථා සභාවේ පරීක්ෂාව යටතේය.

එහෙත් දැන් තිබෙන ක‍්‍රමය යටතේ සිදුවන්නේ සුදුසු පුද්ගලයෙකු අගවිනිසුරු ධුරයට පත්කිරීම පමණය. ඉන්පසු තමන් කැමති ලෙස ක‍්‍රියාකිරීමේ බලය අගවිනිසුරු සතුය. අගවිනිසුරුවරයාගේ කාර්යභාරය පරීක්ෂාවට ලක්කිරීමේ බලයක් ව්‍යවස්ථා සභාවට නැත.
එහෙත් මා යෝජනා කරන ආකාරයේ ක‍්‍රමයක් ඇති කර තිබුණේ නම් අගවිනිසුරු ධුරයට පත්වන්නාට අධිකරණයේ ඇතිවී තිබෙන පිරිහීමේ යථා තත්ත්වය හා එය ජයගැනීම පිණිස ඉදිරිපත් කරන ප‍්‍රතිසංස්කරණවලට බර තබා ක‍්‍රියාකරන තැනකට යන්නට සිදුවේ.

ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන ආකාරයට ලබාදී තිබෙන තීන්දු නිෂ්ප‍්‍රභ කරන්නේ කෙසේද යන්න සැලකිල්ලට ගන්නට සිදුවේ. බරපතළ වැරදි කර තිබෙන විනිසුරුවන් සම්බන්ධයෙන් ක‍්‍රියාකරන තැනකට යන්නට සිදුවේ. විනිසුරුවන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම පිළිබඳ අවබෝධයක් විනිසුරුවරුන්ට ලබාදෙන්නට සිදුවේ.

නඩු ප‍්‍රමාදය වැළකීම සඳහාත්, උසාවි කටයුතුවල නිසි කළමනාකරණයක් නැතිකම වැළකීම සඳහාත්, විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලිවලදී ප‍්‍රමාදයකින් තොරව ඒ ගැන සොයා බලන ක‍්‍රමයක් ඇති කරන්නටත් අවසාන විග‍්‍රහයේදී අධිකරණයේ දක්නට තිබෙන පරිහානිය ජයගැනීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කොට ක‍්‍රියාවට නගන්නට සිදුවේ.

එවැනි ක‍්‍රමයක් ඇති කර තිබුණේ නම් එය අධිකරණය කෙරෙහි පමණක් නොව අදාළ අන් සියලූ ආයතන කෙරෙහි බලපායි. පත්වීම් ලබන සියලූ පුද්ගලයන්ට තමන්ගේ ආයතන ඒවාහි තිබෙන ¥ෂණයට හා අකාර්යක්ෂමතාවන්ට එරෙහිව ක‍්‍රියාකරන ආයතන ප‍්‍රධානීන් ලෙස ක‍්‍රියාකරන්නට සිදුවේ.

දුෂණය තුරන් කිරීම

ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමය නිර්මාණය කිරීමේදී උඩින් පල්ලෙන් කරුණු සලකා බලා ක‍්‍රියාකරන තැනකට නොගොස් තියුණු හා විචක්ෂණ ලෙස කරුණු සලකා බලා මෙම ආයතන ක‍්‍රමය ගොඩනගන තැනකට ගියේ නම් ¥ෂණය තුරන් කිරීමේ අරමුණ සඳහා මෙම ආයතන ක‍්‍රමය ඉතා බලවත් හා ඵලදායී ලෙස යොදා ගැනීමට හැකිවන ආකාරයට මෙම ආයතන ක‍්‍රමය නිර්මාණය කිරීමේ හැකියාව තිබුණි.

ව්‍යවස්ථා සභාව දුෂණයට අදාළ කාරණාවලදී රජයේ උසස්ම තනතුරු දරන්නන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ හැකි තැනක් බවට පත්කොට ඒ ලැබෙන පැමිණිලි පරීක්ෂා කිරීමේ හා සභාවේ අධීක්ෂණය යටතේ වෙනත් ආයතනයක් ලවා එම පැමිණිලි පරීක්ෂා කරවීමේ බලය ව්‍යවස්ථා සභාවට ලබාදී බලවත් වරදක් සිදුවී තිබෙන බව සනාථ වන අවස්ථාවලදී අදාළ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ බලය ව්‍යවස්ථා සභාවට ලබාදෙන විධිවිධාන ඇති කළ යුතුව තිබුණි. ව්‍යවස්ථා සභාව කතානායක මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එවැනි වාර්තාවක් න්‍යාය පත‍්‍රයට ඇතුළත් කොට එම වාර්තාව විවාදයට ලක් කොට ඡුන්ද විමසීමකට ගැනීමට අනිවාර්ය කරන විධිවිධානද ඇති කළ යුතුව තිබුණි.

එසේ වූ විට පාර්ලිමේන්තුවට අතිරේකව පුරවැසියෙකුට වුවත් බලවත් පුද්ගලයෙකු වරදක් කරන අවස්ථාවකදී ඒ පුද්ගලයාට එරෙහිව දෝෂාභියෝගයක් ආරම්භ කිරීමේ අයිතිය ලැබෙන්නේය.

දැන් පවතින ක‍්‍රමය තුළ මොනතරම් බරපතළ වරදකදී වුවත් ආණ්ඩු පක්ෂයේ සහාය නැතිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ නොහැකිය. වරදට අදාළ පුද්ගලයා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රබලයෙකු නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ නොහැකිය. එහෙත් මා යෝජනා කරන ක‍්‍රමය අනුව බලවත් වරදක් කර තිබෙන හෝ කරමින් සිටින ඕනෑම බලවත් පුද්ගලයෙකුට එරෙහිව ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කරන ශක්තිමත් පැමිණිල්ලක් මගින් ඒ වරද කරන බලවත් පුද්ගලයාට එරෙහිව දෝෂාභියෝගයක් ආරම්භ කළ හැකිය.

ව්‍යවස්ථා සභාවට පවා එසේ ලැබෙන පැමිණිලි යටපත් කිරීමට ඉඩක් නොලැබෙන ආකාරයට ලැබෙන පැමිණිලි එම සභාව විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියකින් ප‍්‍රසිද්ධ කරන හැම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම අනුගමනය කරන්නට යන ක‍්‍රියාමාර්ගය සටහන් කරන, පරීක්ෂණයක් ආරම්භ කොට ඇති නම් එහි ප‍්‍රගතිය කලින් කල වාර්තා කළ යුතු ක‍්‍රමයක් ඇති කළ හැකිය.

සිදුකරන ලද පරීක්ෂණයකින් චෝදනාලාභියා වරදකරු වන අවස්ථාවලදී ව්‍යවස්ථා සභාව එම පරීක්ෂණ වාර්තාව කතානායක වෙත ඉදිරිපත් කළ යුතුය. කතානායකවරයා එය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කොට විවාදයටත් ඡුන්ද විමසීමකටත් ලක් කළ යුතුය. මේ ක‍්‍රමය යටතේද ආණ්ඩු පක්ෂයට අවශ්‍ය නම් තමන්ට තිබෙන බහුතර බලය යොදාගෙන දෝෂාභියෝගයක් පරාජය කළ හැකිවුවත් ආණ්ඩු පක්ෂය එහිදී ආරක්ෂා කරන්නේ බරපතළ වැරදි කර තිබෙන ඒ බව ව්‍යවස්ථා සභාව විසින් කර තිබෙන පරීක්ෂණයකින්ද චෝදනා සනාථ වී තිබෙන පුද්ගලයෙකු බව මහජනයාට පැහැදිලිව පෙනෙන නිසා කවර ආණ්ඩුවක්වත් එවැනි පුද්ගලයෙකු ආරක්ෂා කරන තැනකට යනු ඇතැයි සිතිය නොහැකිය.

එසේ කළහොත් එම ආණ්ඩුව මහජනයාගේ මහත් පිළිකුළට හේතුවනු නොවැළැක්විය හැකිය. දැන් බලවත් පුද්ගලයන් වැරදි කරන්නේ ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක පිළිබඳව ඇතිකර ගන්නා බියකින් තොරවය. එහෙත් මෙවැනි ක‍්‍රමයක් කාර්යක්ෂම ලෙස ක‍්‍රියාත්මක වේ නම් බලවත් සියලූ පුද්ගලයන් දුෂණයට බියවනු ඇත.

චින්තනයේ බංකොළොත්බව

දැන් පවතින ක‍්‍රමය තුළ ව්‍යවස්ථා සභාව තවත් එක් ආයතන ක‍්‍රමයක් පමණය. සාමාජිකයන් සියලූදෙනා වැඩ කිරීමට අවශ්‍ය කරන ජවයක් නැති වයසට ගිය පුද්ගලයන්ය. ඔවුන් වෙත පැවරී තිබෙන එකම කාර්යය වන්නේ උසස් තනතුරුවලට සුදුසු පුද්ගලයන් පත්කිරීම හෝ නිර්දේශ කිරීමය. සභාවට අවුරුද්ද පුරා වැඩ කරන්නට වැඩ නැත. අවුරුද්ද පුරා කරන්නට වැඩ නැති ව්‍යවස්ථා සභාව පවත්වාගෙන යාමට ලොකු වැය බරක් දරන්නට සිදුවී තිබේ.

එහෙත් මා යෝජනා කරන ක‍්‍රමය යටතේ ව්‍යවස්ථා සභාව උත්තරීතර තත්ත්වයක් හා විධිමත් ඉදිරි දර්ශනයකින් යුතු ආයතනයකි. එහි සාමාජිකයන් බවට පත්වනු ඇත්තේ දුෂණය හා අකාර්යක්ෂමතාව තුරන් කිරීමට උනන්දුවක් ඇති වැඩ කිරීමට ජවයක් ඇති තමන්ගේ ස්වාධීනතාව ආරක්ෂා කරගැනීමට උනන්දුවක් ඇති පුද්ගලයන්ගෙනි. ඔවුන් තනතුරුවලට පත්කරනු ඇත්තේ ඔවුන් යටතේ තිබෙන ආයතනවල යහපත් විපර්යාසයක් කිරීමට පුළුවන්කම ඇති ඒ සඳහා ඉදිරි දර්ශනයක් ඇති පුද්ගලයන්ය.

ව්‍යවස්ථා සභාව පත්වීම් ලාභීන් තනතුරුවලට පත්කිරීමෙන් පමණක් සිය කටයුතු අවසන් කරන්නේ නැත. ඔවුන් කටයුතු කරන ආකාරයද පරීක්ෂාවට ලක් කරයි. ඔවුන්ට එරෙහිව ලැබෙන පැමිණිලිද පරීක්ෂා කරයි. ඊට අතිරේකව බලවත්ම පුද්ගලයන්ට එරෙහිව ලැබෙන පැමිණිලිද පරීක්ෂා කරයි. බලවත් පුද්ගලයෙකුට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් ගැන කෙරෙන පරීක්ෂණයකින් චෝදනාලාභියා වරදකරු වන අවස්ථාවලදී එම වරදකරුවන්ට එරෙහිව පාර්ලිමේන්තුව වෙත දෝෂාභියෝග ඉදිරිපත් කරන ආයතනයක් ලෙසද ක‍්‍රියා කරයි. එම සභාවට අවුරුද්ද පුරා කරගන්නට බැරිතරමට වැඩ තිබෙන්නේය.

19 වැනි සංශෝධනය යටතේ ඇති කර තිබෙන ක‍්‍රමය අවුල්සහගතය. නිසි අරමුණකින් තොරය. යහපත් වෙනසක් ඇති කිරීමේ ඇත්ත හැකියාවක් ඇත්තේම නැති තරම්ය. ඵලදායක බවෙන් තොරය. අකාර්යක්ෂමය. ඇතිකර තිබෙන්නේ වැය කරන වැය බරට ගැළපෙන කාර්යභාර්යක් නොකරන සුදු අලියෙකු වැනි ආයතන ක‍්‍රමයකි.
මෙහිදී මා නගන තර්කය, 19 වැනි සංශෝධනයේ නිර්මාතෘවරුන්ට විචක්ෂණ හා තියුණු දැක්මක් තිබුණේ නම් දේශපාලන ඇඟිලි ගැසීම්වලට තිබෙන ඉඩ මුළුමනින් නැති කරන දුෂණය හා අකාර්යක්ෂමතාව නැති කිරීම සඳහා බලවත් ලෙස කි‍්‍රයාකිරීමේ ශක්තියක් ඇති ආයතන ක‍්‍රමයක් ඇති කළ හැකිව තිබුණි. ඔවුහු මහජනයා රවටන්නට හේතුවන ආයතන ක‍්‍රමයක් ඇති කරන්නට දැන සිටියත් ඉහත කී ආකාරයේ ඵලදායී ආයතන ක‍්‍රමයක් ඇති කරන්නට දැන නොසිටියේය. ඒ අවශ්‍ය කරන තියුණුභාවය හා විචක්ෂණභාවය ඔවුන්ට නොතිබුණි. අවසාන විග‍්‍රහයේදී ඔවුන් රටට දායාද කළේ සුදු අලියෙකු බඳු ආයතන ක‍්‍රමයකි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙම විකාරරූපී ආයතන ක‍්‍රමය නිර්මාණය කළ පුද්ගලයන්ට ඵලදායක ආයතන ක‍්‍රමයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන තියුණු බව විචක්ෂණබව නොතිබුණද ගොඩනගන්නට යන ආයතන ක‍්‍රමයේ තිබෙන අවුල්සහගත හා මනෝරාජික බව දැකීමට අපේ රටේ බුද්ධිමතුන් සමත් වී නම් හා ඔවුන් ඒ ගැන අදහස් පළකරන තැනකට ගියේ නම් ලැබෙන ප‍්‍රතිඵලය මීට වෙනස් වන්නට ඉඩ තිබුණි. ඉන් පෙනෙන්නේ චින්තනයේ දුප්පත්කම ලංකාවේ උගතුන් හා බුද්ධිමතුන්ටද ආවේණික පොදු ලක්ෂණයක් වන බව නොවේද?

ඒ සියලූදෙනාට නොපෙනී තිබියදී වුවත් ලංකාව පාලනය කිරීමට අයිතිවාසිකම් කියන ලංකාවේ දේශපාලන නායකයන්ට ඒ තත්ත්වය කල්තියා දකින්නට හැකිවී නම් ඒ වරද නිවැරදි කරගත හැකිවන්නට ඉඩ තිබුණි. ඔවුන්ද එය දැකීමට අසමත් විය. ඔවුන් කළේ එම වැඩසටහන අවිවේචනාත්මකව කරගසා ගැනීමය. රට පාලනය කිරීමට අයිතිවාසිකම් කියන රටේ දේශපාලන නායකයන්ගේ යථා තත්ත්වය ඉන් තේරුම් ගත හැකිය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව

රටේ චින්තනය තිබෙන්නේ ඒ තරම්ම බංකොළොත් තත්ත්වයක නම් හොඳ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් හදා ගැනීමට පුළුවන් විය හැක්කේ කෙසේද? පුංචි ව්‍යවස්ථා සංශෝධනයක්වත් හරිහැටි හදාගන්න නොදන්නා පිරිසක් හොඳ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ කෙසේද?
ආණ්ඩුක‍්‍රම විෂයෙහි ලංකාවට තිබෙන්නේ යහපත් ඉතිහාසයක් නොව අපකීර්තිමත් ඉතිහාසයකි. සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පදනම් වූ මුල් කෙටුම්පත ඞී.ඇස්. සේනානායක අයිවර් ජෙනින්ස් ලවා ලියවා ගත් ආකාරයත් එය වෙනස් නොවන තත්ත්වයක තබාගැනීම සඳහා සෝල්බරි සාමිවරයා සමඟ හොර රහසේ කරන ලද අවලස්සන ගනුදෙනු ගැනත් ඞී.එස්. සේනානායකගේ ඉල්ලීම පොරොන්දු වූ පරිදි ඉටුකරදීම වෙනුවෙන් සෝල්බරි සාමිවරයාට පොරොන්දු වී තිබූ පරිදි ආණ්ඩුකාර ධුරය පිරිනමන ලද ආකාරය ගැනත් මම මීට පෙර ලියා ඇත්තෙමි. ඉන්පසු 1972 හා 1978දී ව්‍යවස්ථා සකස් කරගනු ලැබූ අවලස්සන ස්වභාවය ගැනද මම ලියා ඇත්තෙමි.

දැන් හදමින් තිබෙන්නේද ඒ ගණයෙහිලාම සැලකිය හැකි කෙටිකාලීන පටු දේශපාලන අරමුණු සපුරා ගැනීම සඳහා හදන අවස්ථාවාදී හා ආත්මාර්ථකාමි ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකිය. හොද ව්‍යවස්ථාවක් හැදීමට අවශ්‍ය වී නම් අතීතයේ සිදුවී තිබෙන අවලස්සන දේවල් දෙස ආපසු හැරී බලන තැනකට යායුතුව තිබුණි.

හදවත්වල ඇති කරගන්නා කම්පනයකින් යුතුව නැවත එවැනි අශෝබන දේවල් වෙන්න ඉඩ නොහැරිය යුතුයි කියන හැගීමකින් නව ව්‍යවස්ථාවක් ගැන අදහස් ඇතිකර ගන්නට පුළුවන්වන්නට ඉඩ තිබුණි.

ඒ ගැන වැඩිදුර විග‍්‍රහයක් කරන්නට මේ මොහොතේ ඉඩක් නැත. එහෙත් ඡුන්ද ක‍්‍රමය වෙනස් කරගැනීම සඳහා ඇති කරගෙන තිබෙන නීති සම්පාදනය ගැන කෙටියෙන් වුවත් සලකා බැලීම වැදගත්ය.
අපට මුලදී තිබුණේ පාර්ලිමේන්තු ක‍්‍රමයකට අතිරේකව පළාත් පාලන ක‍්‍රමයක් පමණය. පළාත් සභා ක‍්‍රමයක් කරළියට ඒමෙන් පසු පළාත් සභා සඳහාද මහජන නියෝජිතයන් තෝරා ගන්නා ක‍්‍රමයක් ඇතිවිය. ඇති කරන ලද පළාත් සභා ක‍්‍රමයට පාර්ලිමේන්තුව සතු ඇතැම් බලතල ලබා දුන්නද ඒ සමඟ පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගන්නා නියෝජිතයන්ගේ සංඛ්‍යාව ඊට ගැළපෙන ප‍්‍රමාණයකට අඩු කළේ නැත. දැන් පළාත් පාලන ඡන්ද ක‍්‍රමය වෙනස් කර තිබෙන්නේ පළාත් පාලන ආයතනවලට තේරී පත්වන නියෝජිතයන් සංඛ්‍යාව දෙගුණ කිරීමට හේතුවන ආකාරයටය.

රටේ දේශපාලන තන්ත‍්‍රයේ ප‍්‍රමාණය රටේ මහජනයාගේ ප‍්‍රමාණයට නොගැළපෙන තරමට විශාල වනවා සේ ම රටේ දේශපාලන තන්ත‍්‍රය නඩත්තු කිරීම සඳහා රටට දරන්නට සිදුවී තිබෙන වියදම තිබෙන්නේද රටට ඔරොත්තු නොදෙන තරම් විශාල තත්ත්වයකය. රටේ එවැනි තත්ත්වයක් තිබියදී හා තේරී පත්වන නියෝජිතයන් සංඛ්‍යාවේ මේ සා විශාල වැඩිවීමක් ඇති නොවන ලෙස ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට පුළුවන්කම තිබියදී පළාත් පාලන නියෝජිතයන්ගේ වැටුප් බිල දෙගුණයක් කිරීමට හේතුවන තරමේ නියෝජිතයන්ගේ වැඩිවීමක් ඇතිවන ලෙස ඇති කර තිබෙන මෙම නීති සම්පාදනය නොදන්නා කමින් සිදුකර තිබෙන වරදක් ලෙස සැලකිය නොහැකිය. එය රටේ පැවැත්ම නොසලකා දේශපාලන ආත්මාර්ථකාමය පිණිස හිතා මතා කර තිබෙන බරපතළ වරදකි.

අලූතෙන් ඇතිකර තිබෙන අවලස්සන ක‍්‍රමය ගැන මාතර නාගරික කොමසාරිස්වරයා කර තිබෙන විග‍්‍රහය ඉතා වැදගත්ය. ඇති කර තිබෙන්නේ පරාජය කළයුතු අය පිටු දැකිය හැකි ආකාරයට නොව ඔවුන්ටද පහසුවෙන් රිංගා ගැනීමට ඉඩ ලබාදෙන ආකාරයටය. මාතර නගර සභාවේ නියෝජිත සංඛ්‍යාව 15 සිට 26 දක්වා ඉහළ යයි. තංගල්ල නගර සභාවේ සභික සංඛ්‍යාව 9 සිට 19 දක්වා ඉහළ යයි. මාලිම්බඩ ප‍්‍රාදේශීය සභාවේ සභික සංඛ්‍යාව 9 සිට 17 දක්වා ඉහළ යයි.

සමහර පළාත් පාලන ආයතනවල කම්කරුවන්ගේ සංඛ්‍යාවට වඩා සභික සංඛ්‍යාව ඉහළ යයි. මාලිම්ඩ ප‍්‍රාදේශීය සභාවට තේරිපත්වන සභික සංඛ්‍යාව 17 කි. එම සභාවට මාර්ග කම්කරුවන් සිටින්නේ පස් දෙනෙකි. සෞඛ්‍ය කම්කරුවන් සිටින්නේ තුන් දෙනෙකි. පළාත් පාලන ආයතනවල වැටුප් බිල, දීමනා බිල දෙගුණ වනවා පමණක් නොව බොහෝ ප‍්‍රාදේශීය සභාවල රැුස්වීම් සදහා තිබෙන ශාලාවල ඇතිවන ඉඩ මදකම නිසා ඒ ශාලා අලූතේ හදන්නට ද ලොකු වැය බරක් දරන්නට රටට සිදුවේ.

මහජනයා මෙම පළාත් පාලන මැතිවරණයේදී සිය පරමාධිපත්‍යය බලය අභ්‍යාස කළයුත්තේ සිදුකර තිබෙන මෙම වරද ගල්ගැසෙන ආකාරයට නොව සිදුකර තිබෙන බලවත් වරද නිවැරදි කිරීමක් කරන ලෙස බල කෙරෙන ආකාරයටය. ඒ බව ප‍්‍රකාශ කිරීම සඳහා කළ හැකි හොඳම දේ ඡන්දය දීමෙන් වැළකී සිටින හෝ ඡන්ද කටුගාන තැනකට යොමුවීමය.

පාවිච්චි කෙරෙන වලංගු ඡුන්ද සංඛ්‍යාවේ සැලකිය යුතු ලොකු අඩු කිරීමක් ඇති කිරීමට හේතුවේ නම් සිදුකර තිබෙන මෙම වරද නිවැරදි කරගැනීමේ අවශ්‍යතාව ගැන බැ?රුම් ලෙස කල්පනා කරන්නට පාලකයන්ට සිදුවනු ඇත.