රාවය

ඇ‍ඟේ තේ හලාගත් අයුරු

ඇ‍ඟේ  තේ හලාගත් අයුරු

රුසියාවට ලංකාවෙන් අපනයනය කෙරෙන තේ හා අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සියල්ල දෙසැම්බර් 18වැනිදා සිට තහනම් කිරීමත් සමග ඒ තහනමට හේතු හැටියට විවිධ කාරණා පසුගිය සතියේ පැතිර ගියේය.

ඉන් ප‍්‍රකටම හේතුව වුණේ, ලංකාවෙන් රුසියාවට යැවූ තේ කන්ටේනරයක සිටි ඛප්රා නමැති කුරුමිණියකු රුසියාවේ නිරෝධායන මධ්‍යස්ථානයකදී හඳුනාගැනීම නිසා තහනම පැනවුණු බවයි. එහිද ඇත්තක් තිබෙන බව පෙනෙන්නේ රුසියානු මාධ්‍ය ද එය එසේම බව වාර්තා කළ නිසාය. ඒ අතර රොයිටර් පුවත් සේවයද කුරුමිණියාගේ කතාව නිසා ලංකාවේ තේ තහනම් කළ බව කීවේය.

එහෙත්, මේ හුදෙකලා කුරුමිණියා වෙනුවෙන් රුසියාව ලංකාවට දුන් දඬුවම නම් සෑහෙන්නට බරපතළය. ඒ වගේම විරලය.

රුසියාව තහනම් කළේ ලංකාවේ තේ පමණක් නොවේ. අනෙකුත් කෘෂිකතාර්මික නිෂ්පාදනද සමගිනි. ලංකාවේ බලධාරීන් නම් කියන්නේ කුරුමිණියා සිටියේ තේ ඇසුරුමක් තුළ නොව, තේ කන්ටේනරයක් තුළ බවය. එසේම, එම කුරුමිණියා වෙනත් රටක වරායකදීද අදාළ කන්ටේනරයට ඇතුළු විය හැකි බවය. ඊටත් අමතරව ඛප්රා කුරුමිණියා සිටින බව ලංකාවේදී වාර්තා වී ඇත්තේ ඉතාමත් විරල වශයෙන් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මතයයි. මේ නිසා, කුරුමිණියා සිටීම ලංකාවේම වරදක්ද, නැද්ද යන්න ගැන විවිධ වාද විවාද තිබේ.

කොහොම වුණත්, කුරුමිණියා පිට දැමූ වෙනත් හේතුවක් හෝ හේතු මේ තේ තහනම පිටුපස රුසියාවට තිබෙන්නට ඇති බව බොහෝ දෙනාගේ මතයයි.
ඒ අදහස තහවුරු කරමින්, පසුගිය කැබිනට් රැුස්වීමේදී, ලංකාවේ ඇස්බැස්ටස් භාවිතය සඳහා පනවා තිබුණු තහනම ලිහිල් කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව, 2018 ජනවාරි 1වැනිදා සිට රජයේ ගොඩනැගිලි ඉදිකිරිමේදී හා ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම්වලදී ඇස්බැස්ටස් භාවිතය සඳහා පනවා තිබුණු තහනම ඉවත් කරන්නට ආණ්ඩුව තීරණය කළේය. කැබිනට් මාධ්‍ය හමුවේදී දයාසිරි ජයසේකර ඇමතිවරයා කිව්වේ, ඇස්බැස්ටස් තහනම ලිහිල් කිරීම පදනම් කොටගෙන රුසියාව සමග සාකචජා කරන්නට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.

මෙයින් පැහැදිලි වන්නේ, රුසියාවේ තේ තහනමට ලංකාවේ ඇස්බැස්ටස් තහනමේ සම්බන්ධයක් තිබෙන බවට ලංකාව විශ්වාස කරන බවයි.
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පරිසර හිතකාමී වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයමින්, 2029 වන විට ලංකාව ඇස්බැස්ටස් රහිත රටක් කිරීමේ වුවමනාවෙන්, 2018 වසරේ සිට ලංකාවට ඇස්බැස්ටස් ගෙන්වීම තහනම් කරන බව 2015 අගෝස්තු 29 වැනිදා නිවේදනය කෙරුණේය.

පරිසරය ගැන, මහජන සෞඛ්‍යය ගැන ජනාධිපතිවරයා උනන්දුවීමත්, ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගැනීමත් පසුගිය කාලය පුරාම දකින්නට ලැබුණි.
පරිසරයත් මහජන සෞඛ්‍යයත් රැුකගැනීම ගැන ජනාධිපතිවරයාගේ කැපවීම යහපත් දෙයකි. එහෙත් ඒ යහපත් ක‍්‍රියාකලාපයේදී ජනාධිපතිවරයා වටේ සිටින, අතුරලියේ රතන හිමි, ……………………………….. ප‍්‍රමුඛ අමනෝඥ පරිසරවාදීන් පිරිසකගේ ද දායකත්වයෙන් ගත් සමහර හුදෙකලා තීන්දු තීරණ කොපමණ ප‍්‍රායෝගිකද යන්න ගැටලූවකි.

තීරණ ගැනීමේදී ඒවායේ පසු ප‍්‍රතිඵල ගැන හොඳින් සලකා බැලූවේද වැනි ප‍්‍රශ්න රාශියක් පැනනගින තැන් තිබුණි. ඒ සඳහා තිබෙන හොඳම උදාහරණය ග්ලයිෆොසේට් තහනමයි. හඳුනා නොගත් වකුගඩු රෝගයට හේතුවනවායැයි කියමින් ග්ලයිෆොසේට් තහනම් කිරීමෙන් තේ වගාවට අද ඇතිවී තිබෙන බලපෑම ක්‍ෂෙත‍්‍රයේ සියල්ලෝ දනිති. වගාවට අත්‍යවශ්‍යයැයි ගොවියන් සලකන නමුත්, රජයේ තහනම නිසා අද ග්ලයිෆොසේට් ඉන්දියාවේ සිට හොර පාරවලින් ලංකාවට ගෙනඒම බහුලව දකින්නට ලැබේ.

නාවික හමුදාවේ එක් රාජකාරියක් බවට පත්ව ඇත්තේ, මත්ද්‍රව්‍ය, ඉන්දියානු අනවසර ධීවර යාත‍්‍රා හැරුණු විට ග්ලයිෆොසේට් හොරෙන් ගෙනෙන යාත‍්‍රා ඇල්ලීමය. අද ග්ලයිෆොසේට් කළුකඩයේ ඉතාම ඉහළ මිලකට අලෙවිවන රසායන ද්‍රව්‍යයකි. ප‍්‍රශ්නයේ හැම පැත්තක්ම සලකා නොබලා, අත්‍යවශ්‍ය විශේෂඥයන්ගෙන් අදහස් නොගෙන, හැම දෙයක්ම දන්නා බවක් පෙන්වන අන්තවාදී භික්‍ෂුන්ගේ හා බකපණ්ඩිතයන්ගේ උපදෙස් ලබා කරගන්නා අවුල්වලටද ග්ලයිෆොසේට් හොඳ උදාහරණයකි.

ඒ උදවියගේම උපදෙසින් කාබනික පොහොර මගින් වස විස නැති වී ගොවිතැනක් කරන්නට පටන්ගත් නමුත්, අද ඒ ගොවිතැනට කුමක් වුණාදැයි දන්නා කිසිවකුත්, ඒ ගැන කතාකරන, පත්තර පිටු පුරා ප‍්‍රචාරක දැන්වීම් පළකරන, දින තුනේ හතරේ ප‍්‍රදර්ශන තබන කිසිවකුත් දක්නට නැත. ඊටත් අමතරව රජය විසින් අලෙවි කරන්නට සකස් කළ කාබනික දියර පොහොර ටොන් ගණන් විකිණෙන්නේ නැතිව රජයේ ආයතනවල මුල්ලකට දමා තිබෙනුද වාර්තාවී තිබේ.

මේ ආකාරයෙන්, එක පැත්තක් පමණක් සලකා ගත්, මෝඩ තීරණ නිසා සිදුවන හානියට අලූතෙන්ම ලැබුණු උදාහරණය ඇස්බැස්ටස් තහනමයි. සාමාන්‍යයෙන් ආණ්ඩුව මාසයකට වරක්වත් මෙවැනි කොලේ ඉරාගෙන ඇෙඟ් හලාගැනීම් කරන බව දැන් ප‍්‍රකට ඇත්තකි.

ඇස්බැස්ටස් පිළිකාකාරක ද්‍රව්‍යයක් බවට ලෝකයේ පිළිගැනීමක් තිබේ. සුදු වුණත්, නිල් වුණත් ඇස්බැස්ටස්වලින් වන්නේ එකම හානියකි. ඒ දෙකෙන් වන හානි වෙනස් නම්, සුදු ඇස්බැස්ටස්වලින් ඔය කියන තරම් හානියක් නැතිනම් 2015දී එය තහනම් කිරීමට තීන්දුවක් ගත්තේ ඇයි? 2015දී තීන්දු කළේ, පරිසරයට හා මිනිස් සිරුරට හානිකර නිසා නම්, ලබන ජනවාරි 1දා සිට ඒ හානිය ඉවත්වන්නේ කොහොමද? එදා නොතිබුණු විiාත්මක ඥානයක් අද පහළ වී ඇද්ද?

ඒ නිසා, ජනවාරි 1වැනිදා සිට සුදු ඇස්බැස්ටස් සඳහා පමණක් තහනම ඉවත්කරන්නට ආණ්ඩුව තීරණය කළායැයි කීම එක්තරා ආකාරයකින් කොලේ ඉරාගැනීමෙන් ඇෙඟ් හැළුණු දේවල් ඇඳගෙන ඉන්නා ඇඳුමෙන් පිහිදාගන්නට කරන වෑයමකි.

පරිසරය සම්න්ධයෙන් ගන්නා තීන්දු තීරණ පවා හුදෙකලා ඒවා නොවන බවත්, නොවිය යුතු බවත්, තේ අපනයන අර්බුදයෙන් අපට පාඩමක් හැටියට ගත හැකිය.

ලංකාවට ඇස්බැස්ටස් තහඩු සහ ආශ‍්‍රිත ද්‍රව්‍ය අපනයනය කරන ප‍්‍රධාන නිෂ්පාදකයා රුසියාවයි. සාමාන්‍යයෙන් වසරකට මෙටි‍්‍රක් ටොන් 35,000ත් 40,000ත් අතර ප‍්‍රමාණයක් සියලූ වර්ගයේ ඇස්බැස්ටස් රුසියාවෙන් ලංකාවට ආනයනය කරන බව වාර්තාවෙයි. 2013දී එසේ කළ ආනයනවල වටිනාකම ඩොලර් මිලියන 22කි. 2014දී 34කි. 2015දී 28ක් වන විට, 2016දී 24කි.

රුසියාවට වැදගත් වන්නේ ලංකාවේ ඇස්බැස්ටස් වෙළෙඳපොළම නොවේ. ලංකාව මෙන්ම වෙනත් ආසියානු රටවලටද රුසියාව ඇස්බැස්ටස් අපනයනය කරයි. ලංකාව මෙවැනි තහනමක් පැනවීම හේතුවෙන් එම අනෙක් රටවල ඇස්බැස්ටස් වෙළෙඳපොළටද බලපෑමක් වන බව රුසියාව සාධාරණව තේරුම් ගන්නට ඇත.

මේ සියල්ලෙහි ප‍්‍රතිඵලය හැටියට රුසියාවෙන් ලංකාවට තේ තහනමක් පැනවීමෙන්, ලංකාවේ තේ අපනයනයෙන් සියයට 12කට පමණ වෙළෙඳපොළ අහිමිවී යයි. රුසියාව ලංකාවේ දෙවැනි විශාලතර තේ වෙළෙඳ ගනුදෙනුකරුවාය. 2016දී රුසියාව ලංකාවෙන් මිලදී ගත් තේ ප‍්‍රමාණය ඩොලර් මිලියන 143කි. එය දෙවැනි වන්නේ ඉරානයට පමණකි.

අනෙක් අතට ලංකාවේ තේ, රුසියාවේ මුළු තේ ආනයනවලින් සියයට 23කි. රුසියාවට තේ යවන අනෙක් රටවල් වන්නේ කෙන්යාව, චීනය, ඉන්දියාව හා වියෙට්නාමයයි.

පසුගිය කාලය පුරාම, ග්ලයිෆොසේට් තහනමත්, අයහපත් කාලගුණ තත්ත්වයත්, වෙන්දේසියේදී අඩු මිල ලැබීමත් විසින් ලංකාවේ තේවලට විශාල බලපෑමක් කර තිබුණු අතර, ඉතාම මෑත කාලය තුළ තත්ත්වය වෙනස් වෙමින්, තේවලට ඉතා හොඳ මිලක් ලැබෙමින් පැවතුණි. එවැනි මොහොතක, මේ තහනම බරපතළ ලෙස සලකා බැලිය යුතු තත්ත්වයකි. තහනම නිසා, රුපියල් මිලියන 300ත් 400ත් අතර ප‍්‍රමාණයක නැව්ගතකිරීම්වල පමාවක් ඇතිවුණු බව ලංකාවේ තේ නිෂ්පාදකයෝ කියති.

කොහොම නමුත්, ලංකාවේ තේ මිලදී ගන්නවුන් මෙතෙක් තත්ත්වය මැනැවින් කළමනාකරණය කළ නිසා විශාල පාඩුවක් තේ වෙන්දේසියේදී සිදුනොවුණු බවද මාධ්‍ය වාර්තා කළේය. වාසනාවකට මෙන් එළැඹෙමින් තිබෙන්නේ රුසියාවේත් ලංකාවේත් නත්තල් හා අලූත් අවුරුදු නිවාඩු සමයයි. ඉදිරි දිනවල කොළඹ තේ වෙන්දේසිය නොපැවැත්වෙයි. දෙසැම්බර් 30 සිට ජනවාරි 12 දක්වා රුසියාවේ වසරාවසාන නිවාඩුව ක‍්‍රියාත්මක වෙයි. රුසියාව නැවතත් මිලදී ගැනීම් කරන්නේ ජනවාරි මැද සිටය. ඒ නිසා, මෙම කාලය තුළ ගැටලූව යහපත් ආකාරයෙන් විසඳාගන්නට හැකිවේයැයි ලංකාවත්, ඊට වැඩිමනත්ව රුසියාවත් කල්පනා කරන බව පෙනෙන්නට තිබේ. ඒ වෙනුවෙන් ලංකාවෙන් නියෝජිතයන් රුසියාවටද, රුසියාවෙන් නියෝජිතයන් ලංකාවටද ඒමට නියමිත බවද දැනගන්නට තිබේ. පසුගිය අඟහරුවාදා රුසියාවේ කෘෂිකර්ම නිෂ්පාදනවල නිරෝධායන බලධාරියා වන Rosselkhoznadzor ආයතනය දෙසැම්බර් අගදී ලංකාවේ තේ තහනම ගැන සාකච්ඡුා කරන්නට තමන් සූදානම් බව කීවේය.

එම ආයතනය මොස්කව්හිදී ලංකාවේ තානාපතිවරයාද මුණගැසී සාකච්ඡුා කළ බව මාධ්‍ය වාර්තා කළේය.

ඒ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනද රුසියානු ජනාධිපතිවරයා පෞද්ගලිකවම අමතමින්, ලංකාව සම්බන්ධ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ලියුමක් යැව්වේය. රුසියානු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරාධනය පිට තමා රුසියාවට ගෙන්වාගත් බවට උදම් අනන සිරිසේන ජනාධිපතිවරයාට, ජනාධිපති පුටින් සමග තිබෙන ඒ පෞද්ගලික ඇයිහොඳයියද මේ අර්බුදය නිවාඩු කාලය තුළම විසඳාගැනීමට පාවිච්චි කළ හැකි වනවා ඇත.

මේ කතාවේ අවසානයට තවත් දෙයක් එකතු කළ යුතුය. මනුවර්ණට දැනගන්නට තිබෙන්නේ, කුරුමිණියා, ඇස්බැස්ටස් හැරුණු විට තේ තහනමට තවත් කාරණයක්ද බලපා තිබෙන බවය. නම් ගම් පළනොකර කිව්වොත් තහවුරු නොකරන ලද එම කතාව මෙසේය.

අමෙරිකාවේ විවිධ අපරාධ සිදුකොට ලංකාවේ සැඟවී සිටින රුසියානු ජාතිකයෙන් සිටියි. ඔහු තම රටට භාරදෙන ලෙස ඇමරිකාව ලංකාවෙන් ඉල්ලා ඇති අතර, අමෙරිකාවට භාර නොදී ඔහු රුසියාවට එවන ලෙස රුසියාවේ ඉහළම බලධාරීන් ලංකාවේ ඉහළම බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණි.

තත්ත්වය එසේ තිබියදී, ලංකාවේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. රුසියාව සැලකුවේ එය තමන්ගේ ඉල්ලීම නොසලකා හැර ගත් දරදඬු පියවරක් හැටියටය. ඔහු අධිකරණයට ඉදිරිපත් කරන විට, එවකට ලංකාවේ රුසියානු තානාපතිවරයා පෞද්ගලිකවම උසාවියට පැමිණි බවද වාර්තා වී තිබේ. දැනගන්නට ඇති පරිදි ඔහු දැන් ඉන්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය.

ලංකාවේ තේ තහනමට එකතුවුණු අනෙක් හේතුව එයයි.