රාවය

ස්ත‍්‍රී නියෝජනය, සමානත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

ස්ත‍්‍රී නියෝජනය, සමානත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

දවස් කිහිපයකට පෙර උදයේ, ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ ඉතා වටිනා දේශපාලන සාකච්ඡාවක් ප‍්‍රචාරය විය. එය සිදුවූයේ මේ දිනවල දේශපාලන පක්ෂ සූදානම් වන පළාත් පාලන මැතිවරණ යන තේමාව යටතේය. එම වැඩසටහන අසන්නට මට අවකාශ ලැබුණු අවස්ථාවේදී සාකච්ඡා වූයේ, ස්ත‍්‍රීන්ට අපේක්ෂක කෝටා ක‍්‍රමයක් අලූත් පළාත් පාලන මැතිවරණ නීතිය යටතේ ලබාදීම ගැනය.

අසන්නන් කිහිපදෙනෙකු දුරකථනයෙන් ඇසූ ප‍්‍රශ්නවලට සාකච්ඡාව මෙහෙය වූ නීතිඥ මහතාත්, සාකච්ඡාවට සහභාගි වූ පැෆ්රල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මහතාත් ඉතා හොඳ පැහැදිලි කිරීම් කළහ.

එම සාකච්ඡාවෙන් මතුවූ වැදගත් ප‍්‍රශ්න කිහිපයක් ගැන තරමක් ගැඹුරට සලකා බැලීමේ මේ ලිපියේ අරමුණයි.

මගේ ලිපියට ප‍්‍රස්තුත වන කාරණා මතුවූයේ ඉහත සාකච්ඡුාවට දුරකථනයෙන් සහභාගි වූ පුරවැසියන් ඉදිරිපත් කළ අදහස් සහ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ පිළිතුරු අපේක්ෂාවෙන්, සාකච්ඡාව මෙහෙයවූ මහතා – එතුමාගේ නම අඛිලය- මතු කළ, ස්ත‍්‍රීන්ගේ කෝටා ක‍්‍රමය ගැන අප සමාජයේ පවත්නා විවේචනවලට කන් දුන් විටය. ඒවායින් මතුවුණු, අපේ බැරුම් සැලකිල්ලට පාත‍්‍රවිය යුතු ගැටලූව නම් කෝටා ක‍්‍රමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර පවත්නා සම්බන්ධයයි. එම ගැටලූවේ පැතිකඩ කිහිපයක් එම සාකච්ඡුාවේදී මතුවිය. ඒවා මෙසේය.

(අ) අප රටේ ඉතිහාසයේද, වර්තමානයේද ස්ත‍්‍රීහු දේශපාලනයේ යෙදී සිටියහ; සිටිති. ඉතින්, කෝටා ක‍්‍රමයක් අලූතින් දීම අවශ්‍යමද?

(ආ) ස්ත‍්‍රීන්ට ඇත්තටම දේශපාලනය කරන්නට තරම් සුදුසුකම්, හැකියාව, දක්ෂතා සහ විවේකය තිබේද?

(ඇ) කෝටා ක‍්‍රමය නිසා, ස්ත‍්‍රීන්ට ලැයිස්තුවල ප‍්‍රතිශතයක් අනිවාර්යයෙන් දිය යුතු නිසා, ස්ත‍්‍රී අපේක්ෂකයන් කියා ඉදිරිපත් කරන්නේ පිරිමි දේශපාලනඥයන්ගේ බිරියන්, අනියම් බිරියන් සහ පේ‍්‍රමවන්තියන් නොවේද?

(ඈ) ස්ත‍්‍රී කෝටා ක‍්‍රමය නිසා පළාතේ දැනටම වැඩ කර තිබෙන දක්ෂ පිරිමින්ට තැන නැතිවෙනවා නේද?

(ඉ) එවැනි දක්ෂ පිරිමින්ට අපේක්ෂකත්වය අඩු කිරීම නිසා, ඡුන්දය දිනීමට පක්ෂවලට ඇති අවකාශයට හානි පැමිණෙනවා නේද?

මෙම ප‍්‍රශ්න වනාහි අලූත් ඒවාම නොවේ. 1929දී ලංකාවට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කිරීමට පැමිණි ඩොනමෝර් කොමසාරිස්වරුන් ලංකාවට සර්වජන ඡන්ද බලය යෝජනා කළ විට, එයට විරුද්ධව අප රටේ ජාතික නායකයන්ගෙන් පැමිණි විවේචන සහ විරෝධතා ද මේ ආකාරයේම එකකි. ස්ත‍්‍රීන්ට ඡුන්ද බලය දීම ගැන විරෝධය පළකරමින්, අපේ ජාතික වීරයන් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ කළ කතා කියවන විට, අප රටේ දේශපාලන විඥානයේ පැවති නොදියුණු බව පෙනේ.

එහෙත් අප දැන් සිටින්නේ සර්වජන ඡුන්ද බලය ලැබී අවුරුදු අසූ හයකට පසුවය. ස්ත‍්‍රීන්ට ඡන්ද බලය දිය යුතුද නැද්ද යන්න අද කිසිසේත්ම විවාදාත්මක කරුණක් නොවේ. එය ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියේ ගෞරවසම්පන්න අංගයක් ලෙස හැමදෙනාම පිළිගනිති.

එහෙත් සර්වජන බලය ලැබුණු දා පටන් අද දක්වා, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇතිවූ සහ දිගටම පවත්නා, ප‍්‍රතිවිරෝධයක් තිබේ. එය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ව්‍යාප්තිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නියෝජන ආයතනවල ස්ත‍්‍රී සහභාගිත්වය අතර ඇති පරස්පර සම්බන්ධතාවයි. 1931 සිට මේ දක්වා ස්ත‍්‍රීන්ගේ පාර්ලිමේන්තු නියෝජනයේ ප‍්‍රතිශතය සියයට හය දක්වා ඉහළ ගොස් නැත.

පළාත් පාලනයේ එහි ප‍්‍රතිශතය සියයට තුනක පමණ ඉතා අඩු ප‍්‍රමාණයකි. ලංකාවේ සමාජය සහ දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීමේදී මුහුණ දෙන මෙම අභියෝගය වනාහි, ලංකාවේ දේශපාලනයේ දැනට පවත්නා මෙම ප‍්‍රජාතාන්ත‍්‍රික පරස්පරය (Democratic Anomaly) ජයගන්නේ කෙසේද යන්නයි.

සමාජ න්‍යාය පැත්තෙන් බලන විට, මෙම ‘ප‍්‍රජාතාන්ත‍්‍රික පරස්පරයේ’ තවත් විස්මයජනක පැත්තක් දැකගැනීමට අපට හැකියාව ලැබේ. එය නම් අප රටේ ජනගහනයේ 52%ට ආසන්න බහුතරයක් සිටින ස්ත‍්‍රීන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට, ලංකාවේ දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනාහි බහුතරය දේශපාලන නියෝජන අයිතියෙන් බැහැර කරන ‘බැහැර කිරීම්වාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්’ (Democracy by Exclusion) බවට පත්වී තිබෙන බවයි. මේ අනුව ලංකාවේ තිබෙන්නේ, ස්ත‍්‍රීන්ගේ පැත්තෙන් බලන විට අවමවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි.

එනම් ඡන්ද අයිතියට හිමිකම් ලබාදෙන, එහෙත් නියෝජන අයිතිය ඉතා දැඩි ලෙස සීමා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. මේ ගැන තවදුරටත් සිතන්නේ නම් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රීයකරණ න්‍යාය පත‍්‍රයේ තිබෙන අභියෝගය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිරීමේ කාර්යයි.

න්‍යායික පැත්තෙන් බලනවිට කෝටා ක‍්‍රමයේ අදාළත්වය මතුවන්නේ මෙතැනදීය. දැන් අපි ඒ කාරණය විභාග කරමු.

ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය පිළිබඳ සාම්ප‍්‍රදායික ප‍්‍රවේශයේ තිබුණු එක් උපකල්පනයක් වූයේ, සමාජ-ආර්ථික-සංස්කෘතික නවීකරණ ක‍්‍රියාවලීන් සමඟ දේශපාලන ක්ෂේත‍්‍රයද, හැමටම සමාන අවකාශ ලබාදෙන සමානාත්මතාවාදී පරිවර්තනයකට භාජනය වන බවයි. ධනවාදය, වෙළෙඳපොළ හා දේශපාලන තරගය විසින් මෙම සමානාත්මතාවාදී පරිවර්තනය පහසු කරනු ඇතැයිද තවදුරටත් උපකල්පනය කරනු ලැබිණ.

එහෙත් එම ක‍්‍රියාවලිය එම ආකාරයෙන්ම සිදුවී නැත. සමාජ, ආර්ථික හිමිකම් සහ අවකාශ පිළිබඳ බරපතළ විසමතා පවතින ධනවාදී සමාජයේ දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමාකම් පිළිබඳ මෙම ගැටලූව බටහිර කාර්මික සමාජයේ පළමුවෙන් දක්නට ලැබිණ. එම ගැටලූවම ලංකාව, ඉන්දියාව වැනි ආසියාතික රටවල ඉතා ප‍්‍රබල ලෙස මතුවූයේ, තවත් අමතර සාධකයක් නිසාය.

එනම් නූතන ධනවාදය, වෙළෙඳපොළ සහ නවීකරණය යන බලවේගවලින් පවා වෙනස් කිරීම දුෂ්කර වූ ව්‍යුහාත්මක සහ මතවාදී සාධක මත ගොඩනැගුණු අසාධාරණතා සහ අසමානතාවලට සමාජයේ විශාල කොටස් භාජනය කර තිබීමයි. දකුණු ආසියාවේ සමාජවල ඇති කුල පීඩනය සහ ස්ත‍්‍රී පීඩනය මේ කරුණ ප‍්‍රකාශයට පත්වන ප‍්‍රධාන මාධ්‍ය දෙකයි.

මෙම ගැටලූවට දකුණු ආසියාතික යැයි සැලකිය හැකි අර්ධ විසඳුමක් යෝජනා වූයේ ඉන්දියාවේය. එය නම් ගාන්ධිගේ, නේරුගේ සහ අම්බෙඞ්කාර්ගේ ප‍්‍රධාන දායකත්වය ඇතිව නූතන ඉන්දියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී චින්තනය තුළ ගොඩනැගුණු ‘සමාජ සාධාරණත්වය’ (Social Justice) පිළිබඳ ධර්මයයි.

ලංකාවේ තවමත් නැති, එහෙත් නූතන ඉන්දියාවේ දේශපාලන සහ නෛතික චින්තනයේ වැදගත් ප‍්‍රතිමානීය අංගයක් වී ඇති සමාජ සාධාරණත්වය පිළිබඳ ධර්මයේ ඇති මූලික තර්කයක් මෙසේය.

සෑම දෙනාටම එක සමානව සලකන ලිබරල් සමානාත්මතා සංකල්පය උතුම් සමාජ ධර්මයක් වුවත්, ඓතිහාසික වශයෙන් සියවස් ගණනාවක් තිස්සේ අසාධාරණයට හා කොන් කිරීමට ලක්වූ ජන කොටස් සිටින ඉන්දියාව වැනි සමාජයකට, එම මූලධර්මය පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැත. මන්දයත්, සෑම දෙනාට එක සේ සලකන විට, බලය නැති, කොන් කරනු ලැබූ සමාජ කොටස් සහ බලසහිත, වරප‍්‍රසාදලාභී සමාජ කොටස්වල සමානයන් ලෙස සමාජ ප‍්‍රතිලාභ නොලබන නිසාය. උදාහරණ වශයෙන් රැකියා සහ අධ්‍යාපන අවකාශ ඇත්තන් සහ නැත්තන් අතර සමසේ බෙදී යන්නේ නැත.

සෑම පුරවැසියෙකුම එක සමාන අයිතිවාසිකම් මල්ලකට හිමිකරුවන් ලෙස සලකන ලිබරල් සමානත්වය පිළිබඳ මූලධර්මයට අනුව රාජ්‍ය ප‍්‍රතිපත්ති සකස් කළ විට සිදුවන්නේ නැත්තන්ට අවාසි සිදුවන, ඇත්තන්ට වාසි සිදුවන ‘අසමාන සමානත්වයක්’ (Unequal Equality) ඇති කිරීමය.

ඒ වෙනුවට, නැත්තන්ටද වාසි ලබාදිය හැක්කේ නැත්තන්ට වාසි ලැබෙන විශේෂ ක‍්‍රියාමාර්ග සහිත සාධනීය ආකාරයේ ‘අසමාන සමානත්වයක්’ :(Positive Unequal Equality) ඇති කරන රාජ්‍ය ප‍්‍රතිපත්තිවලිනි. කෝටා ක‍්‍රමයෙන් කරන්නේ එයයි. එනම් ව්‍යුහාත්මක සහ ඓතිහාසික වශයෙන් කොන් කිරීමට සහ වෙනස්කම්වලට භාජනය වී ඇති සමාජ කොටස්වලට අධ්‍යාපනය, රැුකියා, නිවාස, සෞඛ්‍යය වැනි මූලික පුරවැසි අයිතිවාසිකම් ලබාගත හැකිවන විශේෂ ක‍්‍රියාමාර්ග රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට සම්බන්ධ කිරීමය.

පීඩිත සහ වරප‍්‍රසාද රහිත කුල සහ ගෝත‍්‍රික ප‍්‍රජාවන්ට කෝටා ක‍්‍රමයක් අනුව අධ්‍යාපන සහ රැකියා අවකාශ ලබාදෙන ‘සාධනීය වෙනස්කම් කිරීම’ යන මූලධර්මය ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන්නේ ඒ නිසාය. සමානත්වය පිළිබඳ දේශපාලන සහ නෛතික න්‍යායට නූතන ඉන්දියාව විසින් කරන ලද වැදගත්ම එකතුව වන්නේද මෙයයි.

ස්ත‍්‍රීන්ට නියෝජන කෝටා ක‍්‍රමයක් ලබාදීමේ න්‍යායික සාධාරණීකරණය පැන නගින්නේද සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය පිළිබඳ මෙම මූලධර්මය වෙතිනි. නූතන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක කිරීමේදී අලූතෙන් ඇතිවන ව්‍යුහාත්මක බැහැර කිරීම්, කොන්කිරීම් සහ අසමානතාවලට ආමන්ත‍්‍රණය කිරීම එයින් අපේක්ෂා කෙරේ.

”ස්ත‍්‍රීන්ට කෝටා ලබාදීමේදී ‘නුසුදුසු’ ස්ත‍්‍රීහුද දේශපාලනයට එති” යන විවේචනයටද එය බැ?රුම්ව සලකා ප‍්‍රතිචාරයක් දැක්වීම වටී. එදා ගුවන්විදුලි සාකච්ඡුාවේදී ඇසූ විවේචනයේ තිබුණේ ස්ත‍්‍රීන් පිළිබඳව පිරිමින් සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන සදාචාරවාදී විවේචනයයි. එම සදාචාරවාදී විවේචනය එල්ල නොවිය යුතු පිරිමි දේශපාලනඥයන් සහ අපේක්ෂකයන් කොතරම් සිටින්නේද යන්න වෙනම ප‍්‍රශ්නයකි. අපට පහසුවෙන් මතු කළ එම ප‍්‍රශ්නය වෙතින්ම පැනනගින තවත් කරුණක් නම් ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය පිළිබඳ එසේ ප‍්‍රකාශ වන සංශයවාදය සහ අවිනිශ්චිතතාව (Democractic Anxiety) ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින්ම ආමන්ත‍්‍රණය කෙරෙන කාරණයක්ය යන්නයි.

මෙය එක්තරා විධියක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති ප‍්‍රහේළිකාවක්ද නිරූපණය කරන්නකි. මැතිවරණවලදී තම ‘චරිතය’ පිළිබඳව වඩාත්ම පරීක්ෂාවට, විවේචනයට සහ විනිශ්චයට ලක්වන්නේ පිරිමින් නොව ස්ත‍්‍රී අපේක්ෂකයන්ය. චරිත ඝාතන කටකතාවලට, කැලෑ පත්තරවලට සහ පිරිමි කථිකයන්ගේ අසභ්‍ය උපහාසයට වැඩියෙන්ම ලක්වන්නේ කාන්තාවන්ය.

චන්ද්‍රිකා කුමාරතුංගගේ සිට මා දන්නා පළාත් පාලන ඡන්ද අපේක්ෂිකාවන් දක්වා මැතිවරණ දේශපාලනයට සහභාගි වී ඇති අප රටේ ස්ත‍්‍රීන්ගේ මෙම අත්දැකීම දෙස බලන විට, ස්ත‍්‍රීන්ගේ දේශපාලන සහභාගිත්වය ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් ඉවතට නොයන්නේ මන්ද යන්න පිළිතුරු දීමට අමාරු ප‍්‍රශ්නයක් නොවේ. එම අපහාස සහ නින්දාවන් දරාගෙන සිටින්නට නම් දේශපාලනයට එන එක් කාන්තාවකට, කාන්තාවන් සියයකගේවත් ආත්ම ශක්තිය තිබිය යුතුය.

”ගෑනු අය ඡුන්දෙ ඉල්ලනවට අපි විරුද්ධ නෑ. ඒකට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. නමුත් අපි විරුද්ධ ඡුන්දෙට එන ගෑනු අයගෙ චරිත ගැන බලන කොටයි.” යනුවෙන් මා ඉහත කියූ ගුවන්විදුලි සාකච්ඡාවට සහභාගි වූ ශ‍්‍රාවකයා ප‍්‍රකාශ කෙළේ අප සමාජයේ පිරිමි මෙන්ම ස්ත‍්‍රී පුරවැසියන්ද අතර පවතින, තවමත් ප‍්‍රශ්න කිරීමට භාජනය වී නැති සමාජ සහ මතවාදීමය අගතියකි.

එය වනාහි ස්ත‍්‍රී-රෝෂණ අගතියකි. එයට දෙන පිළිතුර සතුව තිබෙන්නේද ස්ත‍්‍රීන්ටම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටමය. එය නම්, ස්ත‍්‍රීන් හැකිතාක් දුරට, මෙම අමාරුවෙන් ලැබුණු කෝටා ක‍්‍රමය හෝ පාවිච්චි කරමින්, නියෝජන සහ මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සක‍්‍රිය පාර්ශ්වකරුවන් වීමයි. ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය, අපගේ වැනි සමාජවල අධිපතිව පවත්නා පීතෘ මූලිකත්වයට එරෙහිව ගෙනයා යුතු සමාජ සංස්කෘතික සහ මතවාදී අරගලවලම අනිවාර්ය කොටසක් බව අන් කාටත් වඩා තියුණුව වැටහෙනු ඇත්තේ මෙවර පළාත් පාලන ඡුන්දයට ඉදිරිපත් වන ස්ත‍්‍රී ඡුන්ද අපේක්ෂකයන්ටය.