එක්සත් ජාතීන්ගෙන් තවත් වාර්තාවක්: ශ‍්‍රී ලංකාවෙහි නීති විරෝධී රඳවාගැනීම්

දෙසැම්බර් 04-15 කාලය තුළ ශ‍්‍රී ලංකාවේ දුත මෙහෙවරක නිරතවූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී රඳවාගැනීම් පිළිබද වැඩ කණ්ඩායමෙහි වාර්තාව සුපුරුදු පරිදි නිහඬතාවෙහි කුමණ්ත‍්‍රණය මගින් යටපත්කර දමන ලදි. එම වැඩ කණ්ඩායම විසින් ඉදිරිපත්කරන ලද නිරීක්ෂණ අතර මෙරට මානව අයිතිවාසිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රාර්ථනා කරන කවරකුගේ වුව අවධානයට ලක්විය යුතු වැදගත් කරුණු ගණනාවක් තිබේ.

වැඩ කණ්ඩායමෙහි වාර්තාව, එක්සත් ජාතීන්ගේ දුත පිරිස් මෙරට නිරීක්ෂණයන්ට පැමිණෙන්නේ එල්ටීටීඊ හිතවාදී පියවර යෝජනා කිරීමටය හෝ ශ‍්‍රී ලංකාවේ ස්වෛරීයත්වය කෙළෙසීමටය යන දුෂ්ට ප‍්‍රචාරයන්ට හොඳ පිළිතුරකි. මන්ද යත් වාර්තාවෙහි අවධානය විවිධ හේතූන් උඩ විවිධ තත්ත්වයන් යටතෙහි රදවා සිටින ශ‍්‍රී ලංකිකයින් කෙරෙහි යොමුව ඇති නිසාය.

වැඩ කණ්ඩායමට පොලිස් ස්ථානද ඇතුළුව රැදවුම් ස්ථාන 30ක් නිරීක්ෂණය කිරීමටත්, එම රඳවා සිටි සියදෙනෙකු හමුවී පුද්ගලිකව කරුණු විමසීමටත් ශ‍්‍රී ලංකා ආණ්ඩුව පහසුකම් සලසන ලදි. එසේ නිරීක්ෂණය කළ ස්ථාන අතර ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ මානසික රෝහල්ද විය. නිදහස අහිමි ස්ථාන ගණයට මෙම සියල්ල ඇතුළත් වෙයි.

අනෙක් සියලූ එජා මානව හිමිකම් දුතයන් මෙන්ම මෙම වැඩ කණ්ඩායමද මානව හිමිකම් කවුන්සිලයෙහි 30/1 දරන ශ‍්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ශ‍්‍රී ලංකාණ්ඩුව සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කර තිබේ. අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය ඉක්මනින් සක‍්‍රිය කරන ලෙසත් සත්‍යය සෙවීමේ කොමිසම, හානිපූර්ණ වැඩසටහන සහ වගවීමේ යාන්ත‍්‍රණය නොපමාව පිහිටුවන ලෙසත් වැඩ කණ්ඩායම ඉල්ලා තිබේ.

ලංකාණ්ඩුවෙහි 2016-2021 මානව හිමිකම් ක‍්‍රියාකාරී සැලැස්ම වැඩ කණ්ඩායමෙහි ප‍්‍රසාදයට ලක්ව තිබේ. එහිලා දැක්වෙන වැදගත් කරුණක් වන්නේ එම සැලැස්මෙහි ක‍්‍රියාකාරිත්වය නිරීක්ෂණය පිණිස සිවිල් සමාජය සහ මානව හිමිකම් කොමිසමද ඇතුළත් වන සියලූ පරදුතබන්නන් සඳහා විවෘත වේදිකාවක් නිර්මාණය කරන බවට ආණ්ඩුව වැඩ කණ්ඩායමට දී ඇති පොරොන්දුවයි. (එම ලියැවිල්ල අගමැති කාර්යාලයේ වෙබ් අඩවියෙන් බාගතකර ගතහැකිය).

ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මූලික අයිතිවාසිකම් නඩු පැවැරීමට දී ඇති එක් මාසයක කාලසීමාවත් ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ පිහිටා තිබීම නිසා දුරබැහැර වාසීන්ට ඇතිවන නොහැකියාවත් වැඩ කණ්ඩායමෙහි කනස්සල්ලට හේතුවී තිබේ. එය ඉල්ලා සිටින්නේ නව ව්‍යවස්ථා සම්පාදනයෙහි අයිතීන් පිළිබඳ පරිච්ෙඡ්දයෙහිදී එම සීමා සහ දුෂ්කරතා ආමන්ත‍්‍රණය කරන ලෙසයි.

දීර්ඝ කාලයක් හදිසි නීති යටතේ පාලනයවී ඇති නමුත් දැන් සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව නීතියේ පාලනය මුල් තැනට ගත යුතු බව වැඩ කණ්ඩායම පෙන්වාදෙයි. නීතියේ පාලනයෙහි මූලික කරුණක් නම් පුද්ගලික නිදහස ගරුකිරීමයි. එනමුත් එය සඳහන් කරන්නේ, විවිධ සිදුවීම් සම්බන්ධයෙන් බලධාරීන්ගේ ප‍්‍රථම ස්වයංක‍්‍රිය ප‍්‍රතිචාරය වන්නේ නිදහස අහිමි කැරෙන අත්අඩංගුවට ගැනීම බව හැම තැනකදීම තමන්ට දක්නට ලැබුණ බවයි. එවැනි බොහෝ අවස්ථාවලදී නිදහස අහිමි කිරීමට තරම් හේතු තිබී නැත.

සියලූම ශ‍්‍රී ලංකිකයන් සම්බන්ධයෙන් නීතිය විය යුත්තේ නිදහසය. නිදහස අහිමිකිරීම ව්‍යතිරේකයක් විය යුතුය. අපරාධයක් සම්බන්ධයෙන් වේවා, සෞඛ්‍ය හේතු උඩ වේවා අත්අඩංගුවට ගැනීම්/රඳවා තිබීම් සිදුවිය යුත්තේ පැහැදිලි සහ නිශ්චිත නීති පදනමක් යටතේය.

ශ‍්‍රී ලංකාවේ බන්ධනාගාර ජනගහණය 20,598කි. ඉන් අඩක් වන 11,009කට තවම නඩු පවරා නැත. නැතහොත් රඳවා සිටින පිරිස්ය. මේ වනාහි අතිශය ඉහළ ප‍්‍රතිශතයකි.

සාමාන්‍යයෙන් මෙරට පූර්ව නඩු විභාග රැදවුම් කාලය වසර 3-4ක් වන අතර සමහර විට එය වසර 10ක් තරම් වෙයි. එලෙස ගතකරන කාලය සෑමවිටම දඩුවම් කාලයෙන් අඩු කැරෙන්නේද නැත. රඳවා තැබෙන තත්ත්වයන්ද ඉතා දුෂ්කර වන අතර ඒ නිසාම වරද පිළිගන්නා අයද වෙති. දීර්ඝ කාලයක් රඳවා තබාගෙන සිට නිදොස් කර නිදහස් කරන ලද අවස්ථාවන්හිදී ඔවුනට වන්දියක් ලැබෙන්නේද නැත.

මෙවැනි දීර්ඝ කාලීන රඳවාතැබීම් ශ‍්‍රී ලංකාවේ අන්තර් ජාතික මානව හිමිකම් බැදීම්වලට රැහැණිය. ඇප ලබාදීම, පරීක්ෂණ සහ නඩු විභාග ඉක්මන් කිරීම මගින් මෙම තත්ත්වයට පිළියම් යෙදීමට ලංකාණ්ඩුව ඵලදායි පියවර ගත යුතුය.
අන්තර්ජාතික නීතිය යටතේ හේතුයුක්ති කාලසීමාවක් තුළ නඩු විභාගයකට පෙනීසිටීමට අත්අඩංගුවේ සිටින සැකකරුවකුට අයිතියක් ඇති බව පෙන්වාදෙන වැඩ කණ්ඩායම යෝජනා කරන්නේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටින පිරිස් සම්බන්ධ නඩු විභාග ඉක්මන් කිරීමට ලංකාණ්ඩුව පියවර ගත යුතු බවයි.

පොලිස් ස්ථානයන්හිදී මෙන්ම සීඅයිඞී සහ ටීඅයිඞීහිදී පාපෝච්චාරණ ලබාගැනීම පිණිස වධහිංසා පැමිණවීම පිළිබඳව තමන්ට බොහෝ සාක්ෂි ලැබුණ බවද වාර්තාවෙහි සඳහන් වෙයි. සැකකරුවකුගේ පාපෝච්චාරණයක් ලබාගත යුත්තේ විනිසුරුවරයකු ඉදිරියෙහිදී පමණක් බව වාර්තාව අවධාරණය කරයි. බොහෝ සැකකරුවන්ට නීතිවේදියකු සමඟ කතාකිරීමට අවස්ථාව ලැබෙන්නේ නඩු විභාග අවස්ථාවෙහිදීය. අත්අඩංගුවට පත් අවස්ථාවෙහිදීම නීතිවේදියකු හමුවීමේ එම අයිතිය මෙරටදී ලැබෙන්නේ නැති බව වාර්තාව සඳහන් කරයි.

බන්ධනාගාර ක‍්‍රමය සකස්විය යුත්තේ දඩුවම් ලද සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට සහ යළි සමාජයට අන්තර්ග‍්‍රහණය කිරීමට වන මුත් මෙරට දීර්ඝ කාලීන සිරදඩුවම් ලද පිරිස්වලට එවැනි අවස්ථා නැති බවද වාර්තාවෙහි ව්වේචනයට හසුවේ. එමෙන්ම සිරකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම පැහැදිලි මඟපෙන්වීම් මත සිදුවිය යුතු අතර එමගින් අවනීතික සමාව දීම් වැළැක්විය හැකිය.

ආණ්ඩුව විසින් මෙම දුත පිරිසට දී ඇති තවත් පොරොන්දුවක් වන්නේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තවදුරටත් අත්අඩංගුවට ගැනීම් සිදු නොකෙරෙන බවයි.

එසේ නමුත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙහි රඳවා තබා ඇති සැකකරුවන් මුහුණදී ඇති සහ මුහුණදෙන හිරිහැර, බියවැද්දවීම් සහ තර්ජනද වැඩ කණ්ඩායම විවේචනයට හසුකරයි. (මෙම පනත යටතෙහි සිංහල සහ ආරක්ෂක අංශ පිරිස්ද රඳවා තිබේ). ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙහි නඩු විභාගයකින් තොරව පුද්ගලයකු වසර 22ක් රඳවාගෙන සිටි අවස්ථාවක්ද තමන්ට වාර්තාවූ බවත් එම පනත යටතෙහි සාමාන්‍යයෙන් වසර 10ක් පූර්ව නඩු විභාග කාලයක් ගතකරන්නට සිදුවන බවත් වැඩ කණ්ඩායම වාර්තා කරයි.

එය දක්වන්නේ තමන් ලද තොරතුරු අනුව දැනට ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිටින සැකකරුවන් 69 දෙනෙකුට නඩු පවරා ඇති බවයි. ඉන් 59 දෙනෙකු දෙමළය. නඩු පැවැරීමට සිටින තවත් 17 දෙනෙකු පනත යටතේ රඳවා සිටින අතර ඉන් 10දෙනෙකු දෙමළය.

 

මෑතදී වවුනියා සහ ත‍්‍රිකුණාමල අධිකරණයන්හි සිට ත‍්‍ර.වැ.ප. යටතේ දෙමළ සැකකරුවන්ගේ නඩු විභාග අනුරාධපුර අධිකරණයට මාරුකරන ලද නමුත් එම නඩු විභාග වන අනුරාධපුර මහාධිකරණයෙහි සිටින්නේ එක් දෙමළ භාෂා පරිවර්තකයකු පමණි. අධිකරණ වාර්තා පරිවර්තනයද බොහෝ පමාවෙයි. භාෂා සීමාවන් දෙමළ සැකකරුවන්ට සාධාරණ විනිශ්චයක් ලබාගැනීමට බාධාවක් බව වාර්තාව සඳහන් කරයි.

එපමණක් නොව වැඩ කණ්ඩායම වාර්තා කරන්නේ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයෙහි දෙමළ බස කතාකරන එකුදු හෝ විනිසුරකු නැති බවයි.

ශ‍්‍රී ලංකාවෙහි සෑම දෙනෙකුටම සාධාරණය ඉටුවීමට නම් යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලියෙහි ප‍්‍රතිසංස්කරණ ඇතිකිරීමට ලංකාණ්ඩුව ඉක්මන් පියවර ගත යුතුය.
(ළමා නිවාස, වැඩිහිටි නිවාස, මානසික රෝහල් යනාදියෙහි ජනකණ්ඩායම්හි අයිතීන් අහිමිවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ නීති විරෝධී රඳවාතැබීම් පිළිබ`ද වැඩ කණ්ඩායමේ නිරීක්ෂණයන් පසුව ලියමි.)