රාවය

හතුරු ආවා…. ඔක්කොම හරිද?

හතුරු ආවා…. ඔක්කොම හරිද?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවසානයේ අන්තිම තුරුම්පුවත් ගැසුවේ ය. ඒ සියලූ කොන්දේසි සහිත ව චන්දික හතුරුසිංහ වෙත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුර පිරිනමමිනි. ඒ සම්බන්ධයෙන් තැන තැන කතා පසුගිය කාලයේ කියැවුණ අතර හතුරුසිංහ ප‍්‍රථම වතාවට මාධ්‍ය ඉදිරියට පැමිණෙමින් ඒ බැව් සනාථ කළේ නොබෝදා ය.

හතුරුසිංහ යනු ශ‍්‍රී ලාංකිකයන්ට අමුත්තෙකු නොවන බැව් අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. එහෙත් පසුගිය කාලයේ ක‍්‍රිකට් පාලකයන් නම් කළේ ඔහු ආගන්තුකයෙකු ලෙසින් සැලකීම ය. අවස්ථා ගණනාවක දී ක‍්‍රිකට් පුහුණුකාර ධුරයට හතුරුසිංහගේ නම යෝජනා වූව ද ඒ සම්බන්ධයෙන් ‘හ්ම්’වත් කීමට කිසිවෙකුත් සිටියේ නැත. සිටිය ද ඔවුන් ද කළේ ‘අත දී දත නියවීමේ’ න්‍යායෙන් කටයුතු කිරීම ය.

ඇතැම් විට හතුරුසිංහ ද ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් පාලනය ගැන දන්නා බැවින් පසුපාදයේ සිට ක‍්‍රීඩා කරමින් තමන් විසින් ගොඩ නගාගත් යසස ආරක්ෂා කරගෙන කටයුතු කළා ද විය හැකිය. එය ඔහුගේ පැවැත්මට බෙහෙවින් ම ඉවහල් වුණි. බංග්ලාදේශයේ ක‍්‍රිකට් උඩුයටිකුරු කිරීමට හතුරුසිංහට හැකි වෙන්නේ ශ‍්‍රී ලංකාවේ වැනි උද්දච්ච නිලධාරීන් එහි නොසිටි නිසා ය. සිටිය ද හතුරුසිංහට ඇවැසි ආකාරයට ක‍්‍රිකට් ගොඩනැංවීමට හැකි නිදහස ඔහු වෙත ලැබූ නිසා ය.

එවන් වටපිටාවත් සමගින් හතුරුසිංහ ඒ දේ කළේ ය. එබැවින් ය ඔහුට මිලක් නියම වෙන්නේ. මෙම මිල නියම වන්නේ දේශීය ක‍්‍රිකට් අරබයා නොව ජාත්‍යන්තරයෙන් ය. ක‍්‍රිකට් පුහුණුකරුවන් අතුරින් ලොව වැඩිම ඉල්ලූමක් සහිත පුහුණුකරුවන් අතලොස්සේ හතුරුසිංහ ද ස්ථාවර වන්නේ ඒ අයුරිනි.

ඒකා මොකා වූවත් තමන්ගේ තරමට නැත්නම් පිළිගැනීමක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙතින් නම් ලැබෙන්නේ ම නැත. ඔවුන් කටයුතු කරනුයේ ඔවුන් විසින් ඔවුන්ට ම වාසි සහගත වන අයුරින් හදාගත් රාමුවක ය. එබැවින්, එවැන්නක එදවස නම් හතුරුසිංහට ඉඩක් ඇත්තේ ම නැත.

දියේ ගිලී එල්ලීමට පරඩැලක්වත් නැති වන විට ය, ඔවුන්ට හතුරුසිංහගේ අගය වැටහෙනුයේ. ඔහු නිසි තැනට ගෙන එමින් දැන් බයිලා ගසමින් පසුගිය කාලය සර්වසාධාරණ කිරීමට ද ඔවුන් පෙළැඹී ඇති සෙයකි පෙනෙනුයේ.

‘කණ්ඩායමේ අවසන් 11 දෙනා තෝරාගැනීමේ දී ඔහුට අවශ්‍ය කණ්ඩායම නොලැබුණොත් පුහුණුකරුවාට අවශ්‍ය විදිහට කණ්ඩායම හදාගෙන ඉදිරියට යෑමට අමාරුයි. මෙතැන අඩුපාඩුවක් තියෙනවා. පුහුණුකරුවා ද අවසානය වශයෙන් තෝරා ගන්නා කණ්ඩායමේ කොටස්කරුවෙක් විය යුතුයි.

වර්තමාන ව්‍යවස්ථාවේ පුහුණුකරුට එවැනි තැනක් හිමිවෙලා නැහැ. අපි ඒ තත්ත්වය වෙනස් කිරීමට ඉදිරියේ දි බලාපොරොත්තු වෙනවා.’
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, හතුරුසිංහ ද ප‍්‍රධාන මේසයේ තබා ගනිමින් මාධ්‍ය හමුවේ කීවේ නොබෝදා ය. මේ නම් ගජබින්නයකි. තිලංගලා මෙතෙක් කටයුතු කළේ ක‍්‍රීඩා ව්‍යවස්ථාවට අනුව ම බැව් ය එමගින් ගම්‍ය කිරීමට උත්සාහ කරනුයේ. එකී පරිපාලනය කෙසේ දැයි දන්නෝ දනිති.

කන්දක් කෙන්දක් කිරීමට කෙන්දක් කන්දක් කිරීමට තිලංගලා වැන්නෝ සමත් ය. තිලංග ක‍්‍රිකට් පාලනය පිවිසි මංගල ගමනේ දී ඔහු විසින් කළ කී දේහි අංශුමාත‍්‍රයක දෙයක් වර්තමානයේ කර නැත. මෙකල කළේ නම් ඒ ක‍්‍රිකට් විනාශ කිරීමට පෙළ ගැසී සිටින වන්දිභට්ටයන්ට ඊට අවැසි වටපිටාව නිර්මාණය කරදීම ය. තිලංග දේශපාලනයට නොපිවිස ක‍්‍රිකට් පරිපාලනය පමණක් කරමින් සිටියේ නම් අපට ස්වර්ණයම ක‍්‍රිකට් යුගයක් මේ වනවිට උදාවී හමාර ය.

තිලංගගේ පරිපාලනය සම්බන්ධයෙන් ඒ තරමට ම විශ්වාසයක් අපට විණි. ඒත් අවාසනාවකට තිලංග ඒ සියල්ල දුෂිත දේශපාලන සම්බන්ධකම් මත අලගු තැබුවේ ය.

අද තිලංග, හතුරුසිංහ ද ප‍්‍රධාන මේසයේ රදවා තබා ගනිමින් මම සුදනා න්‍යායෙන් කටයුතු කිරීමට කතාන්දර කියන්නේ එබැවිනි. ක‍්‍රීඩා ව්‍යවස්ථාව මත වරද පටවා එය නිවැරදි කර ගැනීමට අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු බැව් පවසන්නේ එබැවිනි. නූතන තාක්ෂණයට ක‍්‍රිකට් ගළපාලිය යුතු බැව් පවසන්නේ එබැවිනි. ඊට සුදුස්සා හතුරුසිංහ බැව් පවසන්නේ ද එබැවිනි.

මේ කතාන්දරවල ඊට එහා ගිය කතාන්දර බොහොමයක් තිබේ. තිලංග මේ බැව් දැන සිටියේ අද ඊයේ නොවන බැව් ය පළමුවෙන් ම පැවැසිය යුත්තේ. ඔඩු දුවා ඇති තුවාලය තවත් ටිකක් පෑරෙන තුරු සිට ප‍්‍රමාද වෙමිනි තිලංග ප‍්‍රතිකාර වෙනුවෙන් කරලියට පිවිසෙන්නේ. එතෙක් ඇති පදමට ක‍්‍රිකට් සාරය උරා බීමට නිලමැස්සන්ට ඉඩ හසර ලබා දුන්නේ අන් කවරෙකුවත් නොව ඔහු නොදන්නා ඔහු ම ය.

අද ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ රියැලිටියක චරිතයක් වෙමින් හෝ තිලංග මේ ගත් තීරණය ක‍්‍රිකට් අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ගත්තා වූ තීරණයක් සේ දකිමු. නමුත් පෙර කාලයේ කල කී දේහි වගකීම ද ඔහු වෙත පැවැරෙන්නේ ය.

මේ වනවිට ක‍්‍රිකට්හි වසා පැතිරුණ අදුරු වළාවන් කොන්දේසි විරහිතව ඉවත් කරමින් හතුරුසිංහ මේ තැනේ වඩා හිදුවී දැයි අපට ඇත්තේ කුකුසකි. ක‍්‍රීඩකයන් සංචිත ගත කිරීමේ සිට කණ්ඩායම තේරීම දක්වා වූ වපසරියේ දී වටමේස මිතුරන් විසින් කළ කී දේ කොතෙක්දැයි දන්නේ තිලංග ය. එබැවින් එහි වගකීම රැදී ඇත්තේ ද තිලංග වෙත ය. මාධ්‍ය ඉදිරියේ කුමක් කීව ද පසුගිය කාලයේ ක‍්‍රිකට් පසුබැසීමට ‘ව්‍යවස්ථාව’ හරහට වූ බැව් පැවැසීම අමු ම අමු මුලාවකි.

ඒ මත සියල්ල තබා පසුගිය කාලය නිවැරදි කර ගැනීමට උත්සාහ දරන තිලංග අනාගතයේ දී හතුරුසිංහ මත සියල්ල තබා තමන් නිවැරදි වීමට උත්සාහ නොදරතැයි ද කිව නොහැකි ය. එබැවින් මේ ව්‍යායාමයේ දී හතුරුසිංහට පැවැරෙනුයේ ද දැලිපිහියෙන් කිරි කෑමට වඩා දරුණු ගණයේ කාර්යයකි. එකී කාර්යයේ දි හතුරුසිංහ දක්ෂයෙකු වූවත් නොවූවත් තිලංග එතැන දීද තමන්ගේ බේරීමට කතාවක් නිර්මාණය කර ගනු ඇත. ඊට සූදානමින් හතුරුසිංහ කටයුතු කළ යුතු ය.

කෙසේ වෙතත් හතුරුසිංහගේ මේ ප‍්‍රවිෂ්ටය බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුවකි. විශේෂයෙන් ම මෙරට සිටින සැබෑ ක‍්‍රිකට් පේ‍්‍රමීන් ය. අතලොස්සක් වූ ක‍්‍රිකට් නිලධාරීන් ය. හතුරුසිංහගේ ඉදිරි කෙරුවාවල් සම්බන්ධයෙන් කිසිවක් කීමට දැන් ම කාලය නොවේ. ඔහුට ලැබී ඇත්තේ අතිවිශාල වූ අභියෝගයකි. සහමුලින් විනාශයම සෙවූ අඤ්ඤකොරොස් පාලනයකින් විලම්බීත කරන ලද පටලැවිල්ලකි. මේ පටලැවිල්ල ලෙහා දැමීමට කාලයක් යනු ඇත. අපි එතෙක් හතුරුසිංහ කෙරෙහි විශ්වාසය තබා සිටිමු.

-රජිදු කාශ්‍යප-