රාවය

ස්පිට්ල් ගිය මග දිගේ සීතල වන්නියට

ස්පිට්ල් ගිය මග දිගේ සීතල වන්නියට

 

සෝමවතී

ප්‍රේෙම්

 

මම කවි කියමි. මම කල්පනාවට වැටෙමි. මම සුසුමන් විඳිමි. විඳගමි. පහළ බලමි. මම දැන් කඳු මුදුනේ ය. ජීවිත කන්දත් මෙතරම් ලේසියට පහසුවට නැග ගන්න තියෙයි නම්.. මම සිතමි.. සීතල සුළං දහරක් මා විනිවිද කොහේදෝ ඉසව්වකට පියඹා යයි. ඒ සුළං රැුල්ලට නටන තුරු හිස් කවි කියයි.. මම අහගෙන සිටිමි..

අතීත ජීවීන් මේ කඳු අස්සේ හුස්ම ගත්ත ඒ සුසුම් එක හුස්මට උරාගන්න ඇත්නම්… සුසුම් සුළි සුළඟක්.. ටොනේඩෝවක් මා අසය. මේ සීතලවන්නියයි. සීතලවන්නිය සීලවන්තව. පහළින් රඹකැන් ඔය සරැලි නගයි. මම ගල්කුළක් මත හිඳ ගනිමි. සිත ඈත වැව් දියට හිස් කරමි. දැන් මා නිදහස් ය. මා ආ මග කඳු කඳු ඔහොක් කරගෙන මා දෙස බලා හිඳී.

මේ මහනුවර, ගාල්ල බළකොටු නගරයට පස්සේ මා ආසම නගරය. ඊළඟට මැද මහනුවර. ශ‍්‍රී වික‍්‍රම හිත මැදට. ඊළඟට උඩුදුම්බර. රටාවට ගෙතෙන පේෂකර්ම, හිත අග්ගිස්සේ රටා මවපු ලියන්. ඊළඟට ඉතිං එහෙට මෙහෙට විසිවෙන වංගු 18. මඳින් මඳ කැඩෙන පෙම් කතාබස්. එහෙට මෙහෙට වැනෙන නළියන කෙහෙ සුළං රැලි මුහුණ මත තවරන හාදු. හිතේ හැටියට හිතුණත් දෙන්න බැරිව සිත කකියවන හාදු.

අතීතය නම් වාහන මේ ඉසව්වේදී ඉස්සරහට පස්සට.. දැන් එහෙම නැත.. රූස් ගාලා එක හුස්මට කපලා අරගෙන ඉස්සරහටම යන්න පුළුවන්. එක්කෝ පහළට එක්කෝ උඩට. ජීවිතයත් ඒ වගේ වුණා නම්.. පහළින් මහියංගණ නගරය, දඟර ගැහුණු මහවැලි නදිය අපි දිහා බලාන… නිදිබරව.. අපිව පිළිගන්න. මේ හරියේදී මහවැලියට හරි මහන්සි පාටයි. හැමතැනින්ම කපලා කොටලා වතුර අඩුකරගෙන.. මහියංගණ නගරයෙන් මම මඩකළපු අම්පාර පාරට නැතිනම් 26 පාරට හැරෙමි.

ඊළඟට පදියතලාව. ඊළඟට මහඔය.

මගේ ගමනාන්තය මහඔය. පදියතලාවෙන් පස්සේ පාර ටිකක් අවුල්. ඒක පස්සට හොඳට දැනෙනවාය. මම මේ යන්නේ මාදුරුඔය වන ගුල්මයටය. නැත්නම් නුවරගල, සීතලවන්නිය, කළුහෙළ, කඹරහෙළ, ?නවින්න කන්ද, මල්ගහ උස්ස, යකින්නන්ගේ හෙළ, කුඩා බල්ලා හෙළ, මහා බල්ලා හෙළ, දානිගල වගේ ශේෂ කඳු අතරටය. කඳු හුස්ම ගන්නා’යුරු විඳිමි..

මේ කඳු අතර ඇවිද ගිය මිනිස් ප‍්‍රාණීන් දෙන්නෙකු ගැන මතකය හොයමි. මතක මතක කැබලි එකතුකර මතක මල් මාලයක් ගොතමි.. කෙනෙක් පුරාවෘත්තයක් වන් මිනිසෙක්. වැද්දෙක්. තිසාහාමි. අනෙකා තිසාහාමි ගැන ලෝකයට කියපු සුදු හූරා, දොස්තර ආර්එල් ස්පිට්ල්. මහඔය රෝහලට පදනම දමන්නේ ඔහුය. දානිගලින් බිංගොඩින් වැදි හූරෝ පහළට බස්සා පොල්ලේබැද්ද වැදි ජනපදයට පදනම දාන්නෙත් මේ සුදු දොස්තරම තමයි. ඒ 1930හේ අන්තිම 1940හේ මුල. හේතුව වන්නි වසංගතවලින් මියැදීම.

”දොස්තර ස්පිට්ල් මහඔයට මුලින්ම එනකොට තිසාහාමි ඉස්සරහට හම්බවෙලා තියෙනවා. මහා සත්තිවන්ත මනුස්සයා. මහ තඩි ගෝනෙක් කරේ තියාගෙන තමයි එතකොට තිසාහාමි ඉඳලා තියෙන්නේ. ඉතිං ඊට පස්සේ මෙයාලා යාළුවො වුණා කියලයි කතාවට කියන්නේ.”
මා මහඔයට බැහැලා පොල්ලෙබැද්දට යන්නේ ත‍්‍රීවීලරයකය. පේමේ අයියා තමයි ඩ‍්‍රයිවර්. මනුස්සයා තිසාහාමියි ස්පිට්ල් දොස්තර මහත්තයායි එකට තියලා ගැටගැහැව්වේ එහෙමය. ඇත්තටම කවුද මේ තිසාහාමි..

”තිසාහාමි ළමයෙකු වශයෙන් සිටියදී පවා තමා තුළ පැරණි මුතුන් මිත්තන්ගේ වැදි ගති තිබෙන බව ඔහුගේ ක‍්‍රියාවලින් පෙන්වීය. ඔහුගේ පියා උනාපාන පරපුරේ වන්නකුය. ඔහුගේ මව මොරාන පරපුරේ කිරිමැණිකා ය. ඔවුන්ගේ ගම වූ හෝලිකේ සිංහල මිනිසුන් ටිකින් ටික ගොස් පදිංචි කරගත් මෑතක් වනතුරුම වැදි වාසස්ථානයක් ය.”
මේ දොස්තර ස්පිට්ල් වන සරණ (Savage Sanctuary) නම් කෘතියේ තිසාහාමිගේ මුල් සොයා ගමන අරඹනා’යුරුය. එදා ගෙවල් පහ හයකට නොඅඩු හෝලිකේ අද මහ ලොකු ගමක් ය. ගෙවල් යායක් ය. මෙගම මහඔයට මෙහා පදියතලාවෙහිය. දැන් මෙහි වැදි මිනිසුන් අතේ ඇඟිලිවලටත් වඩා අඩුවෙන්ය. මිශ‍්‍ර ලේ මිනිස් ප‍්‍රාණීහු සුලබයහ.

අමිශ‍්‍ර ලේ දුලබය. ඔවුන්ගේ මුහුණු ටක්කයට හඳුනාගත හැකිය. කාලවර්ණය සුදු පැහැයෙන් මාත්තු වෙලා අතරමැද වර්ණයක් ගෙනය. සෙස්ස පස්සට කතා දැමිය හැකිය.. බුලත් ද පුවක්ද හුණු දුම්කොළද එකට ඇඹරූ කටවල් එකට ඇමිණුණු මිනිස් ගජ්ජෝ හැමතැනම ය.. ගැහැනුන්ගේ තොල් සඟල නාදල්ලට වැඩිය රතය. මුහුණු වටකුරුය. කෙස රැලිය. මිනිසුන් මිටිය. හැඩිදැඩි ය. හැබැයි කම්මැලිය. පොල්ලේබැද්ද මහෝයට කිට්ටුවෙන්ය. තිසාහාමි වැඩියෙන්ම හිටිය ඇඹිලියන් කුඹුර ඒ කිට්ටුවය.

අපි දෙදෙන දුෂ්කර මගක පොල්ලේබැද්ද සොයා ගතිමු. දානිගල මහ බණ්ඩලාගේ අප්පොහාමිලා ඇත්තෝ අපට දෙඅත පෑවේය. ඒ වැදි සිරිතටය. අපේ හූරලා පොල්ලේබැද්දට පිළිගන්නා බවද කීවේය. අපි ඔහු පසුපස ඔහුගේ ගෙදරට වැටුණෙමු. ඔහු ගෙදරට දුවවිත් සාම්ප‍්‍රදායික ඇඳුමට බැස්සේය. පොරෝකෙටිය කරමැදට ඇලෙව්වේය. ඔහුගේ දුවගේ දරුවෝ ලූණුමිරිසට බත් රසයි කියති.

හැමතැනම හුස්ම ගන්නේ දුප්පත්කමක මහතය. කම්මැලිකමද, මහ කැලයෙන් විසිකිරීමේ ප‍්‍රතිඵලද මේ, මම සිතමි. ඒ අහුඅස්සේ ජීසස් ද පොල්ලේබැද්දට පැමිණ ඇති බව ගෙදර බිත්තියේ එල්ලී සිනාසෙන පුංචි පෝස්ටර් තොගය කියයි. දුප්පත්කමක මහත දිගට පළලට සිතුවම් වෙයි. ගම නිහැඬියාවක ගිලී ඇත.

‘තිසාහාමි ඇත්තෝ අපේ හූරෙක් තමයි හූරා’ අපි ගමනටත් කතාවටත් වැටුණෙමු.
”දැන් ගමේ ඔක්කොම පවුල් 207ක් ඉන්නවා. මිනිස් ගජ්ජෝ විදිහට ගත්තොත් 920ක් විතර.

දොස්තර හූරා තමයි දානිගලින් බිංගොඩින් අපේ ඇත්තන්ව අරගෙන ඇවිල්ලා පදිංචි කළේ. පරංගි මොරඋණ වගේ ලෙඩරෝග හැදිලා අපේ කැකුලියෝ කැකුලෝ මීපොටදාන්න (මියැදෙන්න) තිබාගත්තාහම තමයි දොස්තර හූරා අපේ ඇත්තන්ව මෙහාට මංගච්චවලා තියෙන්නේ.”
තවමත් ගෙවල් අතරින් පතරය. ස්පිට්ල් දොස්තර මහත්තයා හැදු මේ ගම තවමත් එදා තැනමදැයි මට සිතේ. එදා පරංගි ලෙඬේ හැදී වැද්දන් මියැදෙනවා බලා සිටින්නට බැරි තැන කැලේ මැද ගල් රුකුල්වල වහන්වෙලා හිටපු වැදි ගජ්ජෝ දොස්තරගේ පිහිටෙන් පොල්ගහබැද්දට ආවෝ. අද ඒ ගම පොල්ලේබැද්දය.

තැනින් තැන නිවාස ආධාර ලැබ තැනූ නිවෙස් කෑලි බෑලිය. ගෙවල් අතර පුංචි මිදුල් වෙනුවට කැලෑ කැටිතිය. ගෙවල මිනිස්සු නැත. රැුකියාවලට ගොස්ය. පුංචි කොල්ලෝ කෙල්ලෝ නාවර පෙරාගත් සරීර සමග සෙල්ලම්ය. අපි ගම හරහා යමු. බොහෝ තැනක කැඳපෙතක්වත් ඉදී නැත. සමහර තැනෙක ලූණුමිරිසට බත්ය. දුප්පත්කම හැමතැනක සිටම අපට ඔච්චම් කරයි.

”මේ මිනිස්සු වැඩට කම්මැලියි. වගාව ඇඟ් නැහැ. දැන් කැලේ කොලේ විතරක් නෙවෙයි තුවක්කුවත් තහනම් හින්දා මේ මිනිස්සු අමාරුවේ.”
අපේ පේමේ අයියා තමන් කාලයක් තිස්සේ මහඔය සිට අත්දකින කටුක ඇත්ත වචනවලට පෙරළන්නේය. මේ ලංකාවේ වල්බූරු සංවර්ධනයේ තවත් ප‍්‍රතිඵලයක් ය. අපට කැලෑවෙන් එළියට ගත් වැද්දන් හරියට සමාජගත කරගන්නට බැරිවූ කරුමයය මේ.

සීතලවන්නිය සීලවන්තව

අපි පොල්ලේබැද්ද හරහා සීතල වන්නියට යමු. තිසාහාමි ඇත්තන්ගේ මුදුන්මුල තිබෙන්නේ සීතලවන්නියේ මේ කඳු අතරය. රඹකැන් ඔය හරස්කර අතීතයේ බැඳ තිබූ වැව දැන් විශාල කර රඹකැන් ඔය ජලාශය නිර්මාණය කර ඇත. තිසාහාමි මෙන්ම දොස්තර හූරාද තවත් වැද්දන්ද මරක්කල වෙළෙන්දන්ද එවක ඇවිද ගිය ගොඩක් ගම් පොකුරු මේ ජලාශයට දැන් යටවී ඇති බව කියන්නේ අප්පොහාමි ඇත්තන් ය. ඒ අතර තිසාහාමි ජීවිතේ සෑහෙන්න කාලයක් දිවිගෙවූ ඇඹිලියන් කුඹුරද වෙයි. ජලාශයට උඩින් උඩින් සීතලවන්නිය සීලවන්තව සිටින ඇසිල්ලක අපි ගස්ද ගල්ද පසු කළෙමු.

තිසාහාමිගේ, ඔහුගේ මායියන් වන හුදු බංඩිගේද, වල්ලිගේද, ඔවුන්ගේ දරුවන් වන සුදු බණ්ඩා, කපුරි, කොම්ඹි, ටිකිරි, බාලවන්නියා ආදි වැද්දන්ගේ සුසුම් සර මේ තුරු ගොමු අතර ගුමුගුමුවක ය. තිසාහාමිගේ ජීවිතයට මේ සීතලවන්නිය ගැටගැසෙන්නේ කෙසේද අපි සොයමු.
මේ ස්පිට්ල් දොස්තර හූරාගේ පොතින් ගත් උපුටනයක්ය. ”තිසාහාමිගේ මෑලිවී ගිය මිටිවූ කිරි අම්මා අමිශ‍්‍ර වැදි ලේ ඇති වැදි ගැහැනියෙකි. ඈ තමාගේ පරපුර ගැන ආඩම්බර වූවාය. ඈ උපන්නේත් වැඩුණේත් සීතලවන්නියේ ගල් රුකුල්වලය. ඇගේ අවසාන කාලයේ පුතා සමඟ පදිංචියට හෝලිකේ ගමට පැමිණි නමුත් ඇගේ සිත නිතරොම රැුඳී තිබුණේ කඳුහෙල් අතරය.

ඈ තිසාහාමි සහ ඔහුගේ අනෙකුත් සහෝදරයන් අමතා නිතර කීවේ තොපි මොරාන වැද්දෝ කියා ය. තොපි දැන් සිංහලයෝ වගේ මෙහෙම හිටියට ඇහූ කෙනෙකුට කියාපියව් තොපේ මුත්තා තමයි මරක්කල මිනිහෙකුට විද මරලා කැවුත්ත කෑවේ කියලා ය.”

ඉතිං මම අප්පොහාමි ඇත්තෝත් එක්ක ඒ සීතලවන්නියේ ගල් රුකුවල එකල මෙකල වූවෙමි. එක කටාරම් කෙටූ ලොකු ගල් ගෙදරකදී අප්පොහාමි ඇත්තෝ මට පෙන්වන්නට කිරිකොරහා නටන්න දැයි ඇසුවේ ය. මම කිසිත් නොකියූවෙමි. වැදිකම දැන් වැද්දන්ට පණකෙන්ද රැුකගන්න වෙළෙඳ භාණ්ඩයක් වී ඇති සෙයකි. එහෙත් මේ දුප්පතුන් ජීවත්වෙන්න යැයි කියා කුමක් කරන්නද? පිළිතුරු නැත

නුවරගල කඳු මුදුනට

අපි නුවරගල කඳු මුදුනට නගින්නට මග සොයමු. ඒ අතර මේ ගම් දෙවනත් කළ හොරාට කංසා වැව් මරක්කල මිනිසා පීනා ගැනද කරුණු සෙව්වෙමි. එහෙත් දැන් බොහෝ කතා කාලයේ වැලිතලාවෙන් යටවී ඉතිහාසයට එකතුවී ඇත. තිසාහාමි සහ පවුල ගැන මෙන්ම මේ මරක්කල වෙළෙන්දා ගැනද බොහෝ තොරතුරු දොස්තර හූරාගේ වනසරණ පොතේ සඳහන් වෙයි. ඒ කතා සුමියුරුය.

”තිසාහාමි ඇත්තෝ කියන්නේ නාහෙට අහපු නැති හරි අමුතු මිනිහෙක්. උන්දැට හොඳට දඩයම පුළුවන්. කිව්වොත් කිව්වා. මිනිස්සු කියන විදිහට ගොඩක් මිනී මරලා නැහැ. තුන්දෙනයි. තිසාහාමි ඇත්තන්ගේ ලොකුපුතා සුදු බණ්ඩාත් එහෙම තමයි. තිසාහාමිගේ දෙවෙනි කසාදේ වල්ලි අපේ රැුහේ එකියක්.”
වැද්දෝ සාමාන්‍යයෙන් ගැහැනු එක්කෙනාට වැඩිය සහේට ගන්නවා නේද? දැන් ඒ ක‍්‍රමය නැද්ද? මම අප්පොහාමි මාමාගේ කතාවට පුංචි දිගුවක් දෙන්නට සිතුවෙමි.

”දැනුත් තියෙනවා ඇත්තෝ..” එතකොට මාමට හිතක් නැද්ද තවම?
”තාම හිත්ලෑවෙ නැහැ. හිත් ලෑවොත් තිබා ගන්නවා.” ඊට පස්සේ නුවරගල කඳු මුදුනටම ඇහෙන්න අපි සිනාසුණෙමු. තුරුගොමුද සිනාසුණේ මේ වැදි රැහේ අතීතය මතක නිසා වන්නට ඇත.
තිසාහාමි කියන්නේ පුරාවෘත්තයක් ය.

අසම්මත චරිතයක් ය. ඔහු තමන්ගේ අඹුවන්ට වගේම දරුවන්ට ද නොසෑහෙන්න වධ දුන්න මිනිසෙක් ය. අනෙක් පැත්තෙන් දරුවන්ට සහ අඹුවන්ට නොසෑහෙන්න ආදරයද සෙනෙහසද පෑ මිනිසෙක් ය. වැදි රැුහේ අනෙක් මිනිසුන්ට නොසෑහෙන්න උදව් කළ මිනිසෙක් ය. ඔහු තමන්ගේ දියණියක වූ කපුරි කාලයක් අඹුව ලෙසද තබාගත් මිනිසෙක් ය.

වැද්දන් කොහොමත් මහත දෙහෙත නැත. එහෙත් තිසාහාමි අසීමිත ශක්තියක් කැටිකර ගත්ත ශරීරයක් දරාගත් මිනිසෙක් ය. මේ ශක්තිය කාලයක් මුළු බින්තැන්නම සෙලවූවේය.

ඔහුගේ ලිංගික ජීවිතේ කතා ගොන්න ආරම්භ වන්නේ සුදුකුමී නම් කාන්තාවක සමඟ සම්බන්ධයක් හදාගැනීමත් සමඟ ය. මේ සම්බන්ධය නිසාම උක්කුබණ්ඩාට වෙඩි තබන තිසාහාමි හිරේ යන්නේය. ඊළඟට ඔහු මුලින්ම සහේට ගන්නේ මැණිකා ය. මුලින්ම මැණිකා සමඟ පදිංචි වන්නේ ඉඩම්බෝවේ ය. ටික දොහකින් මැණිකා මැරී වැටුණු පසු සහේට ගන්නේ හුදුබණ්ඞී ය.

ඊළඟට වල්ලී ගෙදරට ඇන්න එන්නේ හුදුබණ්ඞී සිටියදීම ය. ඒ ඔහු ජීවිතේ බොහෝ කාලයක් ගත කළ සීතලවන්නියට පෙනෙන දුර ඇඹිලියන්කුඹුරටය. වල්ලී ඉඩම්බෝවේ සිට ඇඹිලියන්කුඹුරට ඇන්න එන ඇසිල්ලේ මධුසමයට තිසාහාමි යන්නේ නුවරගල අප මේ නගින අතීත රාජධානියටය. මේ කඳු ඉහත්තාව මධුසමයට නම් මරුය. ආකැහේ වදින නොවැදින දිය කෙම, පහළින් විශාල ගල් කෙම ජීවිතය මිහිරෙන් පුරවන්නේ නොදන්වා ය.

තිසාහාමිගේ මුණුබුරා

නුවරගලින් බැස්ස අපි තිසාහාමිගේ මුණුබුරු හඳුනා වන්නියා සොයා ගියෙමු. පලක් වූවේ නැත. ඔහු නිවසින් පිටමං වී සිටියේය. හතරවටින් කුඹුරු බලාගෙන ඉන්න ඉසව්වක ලස්සන ගේ පොඞ්ඩක් හඳුනාට ඇත. හඳුනාගේ බිරිය දානිගල මහ බණ්ඩලාගේ සෝමාවතී අප සමඟ දොඩමලූ වන්නීය. ”තිසාහාමිගේ දෙවෙනි පුතා ටිකිරි වන්නියාගේ පුතා එක්ක තමයි මම ඉන්නේ. උන්දැ හඳුනා.

ඇදුම හැදිලා ඉස්පිරිතාලේට ගැච්චුවා. අපේ අම්මලා අප්පිලා දානිගල ඉඳලා සුදු හූරා නිසා තමයි මෙහාට දැක්කුවේ. 1947 විතර.” ඇය බොහෝ දේ කියාගෙන යන්නීය.

අපි අවසන යන්නට හැරුණෙමු. ඇය අසරණකමට අපෙන් මුදල් ඉල්ලූවාය. මේ අද ආදිවාසී ප‍්‍රජාවට උරුම වී තිබෙන තත්ත්වයයි. ස්පිට්ල් දොස්තර උන්දෑ මෙහෙම දෙයක් කවදාවත් බලාපොරොත්තුවන්නට නැතුව ඇති. අපි දොස්තර හූරා ගිය මග තව බොහෝ දුර ගියෙමු. ඒවාද වෙනත් දවසක ලිවිය හැකිය.

වැද්දන් සොයා බින්තැන්නේ කැලයට රිංගූ දොස්තර හූරාට තිසාහාමි මුලින්ම මුණගැහෙන්නේ පීනාගේ වාඩියේදීය. ඉන්පසුව මේ දෙදෙනා බොහෝ කාලයක් මිතුරන් ලෙස සිටි බවත් කියැවෙයි. මේ මිත‍්‍රත්වය නිසාම සහ දොස්තර හූරාට වැද්දන් ගැන තිබුණු මේ සලෝලා උණ නිසාම අද තිසාහාමිගේ ජීවිතය වගේම ඔහු වටේ සිටි දානිගල බිංගොඩ වැදි පරපුරුවල ජීවිතද පොතක් ලෙස ඉතිහාසයේ සුරක්ෂිත වී සදාකාලික වී ඇත.

හදුනාගේ නිවස