රියෝ, නවා අතීත මතකයන් අතර

රේඛා නිලූක්ෂි හේරත් / තරිඳු උඩුවරගෙදර

නවරත්නම් මහතා

 

 අමරජීව

 

 

 

 

 

 

 

 

 

 

ජයකොඩි

නන්දන

රේඛා නිලූක්ෂි හේරත් / තරිඳු උඩුවරගෙදර

 

බස් එක කොටුවෙන් පිටත්වුණා. ‘රියෝ බැහැගන්ඩ’ බස් කොන්දොස්තරවරයා කෑගහනවා. රියෝ සිනමාහල ළඟ අපි බැහැගන්නවා. කොම්පඤ්ඤවීදියෙ. කුමාරන් රත්නම් වීදියේ. නිපොන් හෝටලය තියෙන පාරේ. දිරාපත්වුණු අතිදැවැන්ත ගොඩනැඟිල්ල. රියෝ සිනමාහල, රියෝ හෝටලය සහ නවා සිනමාහල තිබුණු තැන.

ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ

අඳුරුම අඳුරු නවා සිනමාහලේ අපි ඉඳගෙන හිටියේ. විදුලි බල්බයක්වත් නෑ. ජංගම දුරකථනවල ටෝච් දල්වාගෙනයි ඇතුල්වුණේ. සම්පූර්ණයෙන්ම අත්හැරලා. ඉස්සර තිබුණු තිරය දැන් නැහැ. පුටු එකක්වත් නෑ. ඒත් එක මොහොතකට කලෙක මේ ශාලාවේ ඇහුණු විසිල් හඬවල් යළිත් ඇහෙනවා වගේ දැණුනා. එම්.ජී.ආර්.ගේ සිවාජි ගනේෂන්ගේ චිත‍්‍රපටියකට විසිල් වදිනවා වගේ ඇහුණා. අලි බබාවුම් 40 තිරුඩර්ගලූම් චිත‍්‍රපටිය මවාගත්තා.

එම්.ජී.ආර්. තිරයේ ගයනවා මවාගත්තා. මාසිලා උන්නයි කාදලේ. (තනුව සිංහලට හැරුණා ‘වාසනාවන්ත කල ලබා’ නමින්) ගීතය ඇහෙනවා වගේ. අඳුරු ගුහාවක විසිල් හඬනඟන මිනිසුන්ව මවාගත්තා. ඒ හැම ඓතිහාසික චිත‍්‍රපටියක්ම මෙතැන තිරගත වුණා. ආයිරත්තිල් ඔරුවන්. දාසය හැවිරිදි ජයලලිතා උන්නයි නාන් සන්දිතේන් ගීයෙන් මුලින්ම සිනමා තිරයෙ පෙනී හිටපු හැටි මෙතැන බංකුවල ඉඳගත් මිනිසුන් පිරිසක් බලා සිටියා.

නවා සිනමාහලේ ඇතුල්වීමේ දොරටුව වසා පරණ යකඩ බඩු වෙළෙඳසැළක් සඳහා කුලියට ලබා දී තියෙනවා. එයට හේතුව වී ඇත්තේ කුඩුකාරයන් සහ විවිධ අපරාධ සඳහා නවා සිනමාහල පැත්තෙන් ගොඩනැඟිල්ලට ඇතුල්වෙන නිසා. නවා ශාලාවට ඇතුළුවෙන්න අපට අවසර ලැබුණේ රියෝ සිනමාහලේ හිමිකරු නවරත්නම් මහතාගෙන්. ඔහු සමඟ කතාබහකින් පස්සේයි අපි නවා ශාලාවට පා තිබ්බෙ. රියෝ හෝටලය පුරා ඇවිද්දේ. මොහොතක් ආපස්සට ගියොත් අපේ සම්පූර්ණ සංචාරය එක්ක එක්වෙන්න පුළුවන්.

ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ

නවා සිනමාහල, රියෝ සිනමාහල සහ රියෝ හෝටලය කියන්නේ 1983 කළු ජූලියේදී එවකට ආණ්ඩුව විසින් මෙහෙයවපු ජාතිවාදීන් විසින් ගිනිතැබූ දැවැන්ත ගොඩනැඟිලි සංකීර්ණයක තියෙන පැරණි මතකයන් තුනක්. ඒ මතකයන් අතරින් පණ අදිමින් හෝ තවම වැඩකටයුතු කෙරෙන්නේ රියෝ සිනමා ශාලාවේ පමණයි. මේ මහා ගොඩනැඟිලි තුනේ නන්දන එක්ක අපි ඇවිද්දා. වංකගිරිය වගේ. පහළින්ම රියෝ, නවා ශාලා දෙකත්, රිය නැවතුම්පලත්, රියෝ හෝටලයේ පහළ කොටසත් තියෙනවා. හෝටලයේ නාන තටාකයක් පවා තිබුණු බවට සාක්ෂි තියෙනවා.

අතීතයේ තිබුණායැයි කියන, අප කිසිදා නොදුටු සිනමා සංස්කෘතියක සාක්ෂි දරාගෙන මේ මහා ගොඩනැඟිලි ඉන්නවා. අනෙක් පැත්තෙන් ඒ ගොඩනැඟිලි සාක්ෂි දරන්නේ ලංකාවේ බුර බුරා නැඟුණු ජාතිවාදී අන්තවාදය. ගොඩනැඟිල්ලේ හැම බිත්තියක්ම, හැම කොන්ක‍්‍රීට් කැබැල්ලක්ම කළු ජූලියේ අවනඩුව කියමින් හඬා වැටෙනු පෙනුණා. මේ කිසිම ගොඩනැගිල්ලක් යළි ගොඩගන්න බැහැ. අපි රියෝ සිනමාහල ඇතුළට රිංගුවා. ඉස්සර පවුල් පිටින් ආ මේ ගොඩනැගිලි පරිශ‍්‍රයට දැන් කාන්තාවක් ඇතුළුවීම බොහෝදෙනෙකුගේ වපර ඇස් දිනාගන්නට සමත් වැඩක්.

අඳුරු පඩිපෙළවල් නැඟීම අසීරුයි. අපි රියෝ හෝටලයේ ඉහළටම නැඟුණා. ඉහළින්ම බැල්කනියක් තියෙනවා. දැන් එතැන සිග්නල් කණුවක්. ඊට පහළින් උඩම තට්ටුව. එතැන පොඩි උත්සව ශාලාවක්. ප්‍රෞඪ ගතියක් ඒ ශාලාවේ තියෙනවා. එතැනින් එළිය බලද්දී වටේට පෙනෙන්නෙ අලූතින් කොළ පැහැය ආලේප කරන නෙළුම් කුළුණ, වටේට තියෙන වැදගත්ම ගොඩනැඟිලි රැුසක්, වරාය ආදිය. ඊට පහළින් අත්හරින ලද හෝටල් කාමර තියෙනවා.

 

මේ සම්පූර්ණ ගොඩනැඟිල්ලේ සහ පහළ හෝටලයට අයත් කොටසේ බිත්තිවල දැවැන්ත බිත්ති චිත‍්‍ර තියෙනවා. ඒවා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයට සම්බන්ධ අය විසින් ඇන්ද ඒවා. පහුගිය කාලයේ මේ ගොඩනැඟිලි ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් කලා කටයුතුවලට යොදාගෙන තිබුණා. මොහොතක් අතීතයට ගියොත් ඒවා ගැන දැකගන්න පුළුවන්.

ෆෆෆ

ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ජෑන් රමේෂ් ද සේරම් රියෝ හෝටලය අවකාශයේ කලක් කලා සංස්කෘතික වැඩසටහන් සංවිධානය කර තිබුණා. ලංකාවේ සිටින විවිධ කලාකරුවන් මේ අවකාශයේ චිත‍්‍ර, ඡුායාරූප, කොලාජ්, දෘශ්‍ය කලා සහ වෙනත් විවිධ කලාකෘති සඳහා කලා අවකාශයක් ලෙස පාවිච්චි කර තිබුණා. එමෙන්ම කාලයක් මෙතැන පුංචි උත්සව සඳහාත් යොදාගෙන තිබුණා. එහෙත් මේ ගොඩනැඟිල්ල තවදුරටත් එවැනි අවස්ථා දරාගන්නට ශක්තිමත් නොවනු ඇතැයි කියනවා. මේ වෙද්දී ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය රියෝ හෝටලය අවකාශයේ කටයුතු කරන්නේ නැහැ.

ෂැඩෝ සීන්ස් නම් 2015 සැප්තැම්බරයේ පැවති ප‍්‍රදර්ශනයට මුවිඳු බිනෝයි, චන්ද්‍රගුප්ත තේනුවර, මහේන් පෙරේරා ආදි කලාකරුවන් මෙන්ම විදේශීය කලාකරුවන්ද මේ ප‍්‍රදර්ශනයේ නිර්මාණ ඉදිරිපත් කර තිබුණා. එමෙන්ම පෙටා ඉන්ටර්ටේන්ජ් නම් ඞී.ජේ. සාදයක් පවත්වා තිබුණේත් 2015දීයි. ඒ සියල්ලට අවසර දුන් උණුසුම් මනුස්සයා රත්නරාජා නවරත්නම්. මේ සියල්ලෙහි වත්මන් හිමිකරුවා. ඔහුව අපි හමුවුණේ මොහොතකට කලින්.

ෆෆෆෆ

රත්නරාජා නවරත්නම් කියන්නේ මේ දැවැන්ත පෞරාණික ගොඩනැගිල්ලේ හිමිකරුවා. කලින් ඇමතුමක් දී ඔහුට දැනුම් දී තිබුණු නිසා අපව උණුසුම් විදියට පිළිගන්න බලා සිටියා.

‘මගේ තාත්තා තමයි මේ ශාලාව හැදුවෙ. 1951 දී නවා සිනමාහල තමයි ඔහු හැදුවෙ. නවරත්නම් තමයි ඔහුගෙ නම. මුලින්ම නවා සිනමාහල පටන්ගත්තේ. ඉන්පස්සේ ආදායම් ලබද්දී ටිකෙන් ටික ඉඩම් අරගෙන තමයි රියෝ සිනමාහලයි හෝටලයයි පටන්ගත්තේ.’ ඔහු මතකයන් අවුස්සන්න පටන්ගත්තේ එහෙම.
1965 රියෝ සිනමාහල පටන්ගත්තා. එවකට ආණ්ඩුකාර විලියම් ගොපල්ලව තමයි රියෝ ශාලාව විවෘත කළ දවසේ ආවෙ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් ඒ කාලයේ ආවා. ඩඞ්ලි සේනානායක අගමැතිවරයා ආවා. හැමෝම මේ ගැන ඉහළින් කතාකළා.’

‘නවා සිනමාහලේ දෙමළ ෆිල්ම් තිබුණේ. රියෝ හෝල් එක හැදුවේ ඉංග්ලිස් ෆිල්ම් එකට. ඒ කාලෙ ලංකාවෙ තිබුණෙ 35 මිලිමීටර් ප්‍රොජෙක්ටර්. 70පප ඔධෲ-්ධ කියන ප්‍රොජෙක්ටරය මුලින්ම පාවිච්චි කළේ රියෝ හෝල් එකට. ඔප්ටිකල් ශබ්ද පද්ධතිය වෙනුවට අපි මැග්නටික් දැම්මා.’

රියෝ සිනමාහල ගැන ඒ කාලයේ පුවත්පත් මහා ඉහළින් වාර්තා කළ බව කියනවා. ලංකාවෙ දැවැන්තම තිරය. අලූත්ම තාක්ෂණය. සුවපහසු අසුන් ගැන විස්මය මුසුවෙමින් පුවත්පත් වාර්තා කර තිබුණා. අදත් රියෝ ශාලාවේ දැවැන්ත තිරය දකින අපට ඒ පුදුමයම ඇතිවෙනවා. මේ තරම් දැවැන්ත තිරයක්. මේ තරම් දැවැන්ත ශාලාවක්.

‘සවුත් පැසිෆික් චිත‍්‍රපටිය තමයි මුලින්ම රියෝ හෝල් එකේ පෙන්වුවේ. ඉන්පස්සෙ හොඳම තත්වයෙ ෆිල්ම් පෙන්වුවා. සවුන්ඞ් ඔෆ් මියුසික්, කැන් කැන් වගේ මියුසිකල් ගෙනාවා. මිනිස්සු ගොඩාක් ෆිල්ම් බලන්න ආවා. මම පුංචි කාලයේ. හෝල් එක පටන්ගත්ත කාලයේ ඉංග්ලිෂ් ෆිල්ම් ගෙනාවෙ ලිබර්ටි සහ ඊඒපී සිනමාහල්වලින්. එතකොට 70 මිලිමීටර් කාටවත් තිබුණේ නෑ. චිත‍්‍රපටි බෙදාහරින්නෝ හිටියේ ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්, පැරමවුන්ට් වගේ සමාගම්. ඒ වගේ සමාගම්වලින් අපට ෆිල්ම් ලැබුණා.

වැඩියෙන් ලැබුණෙ ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් කම්පැණියෙන්. හොඳම ෆිල්ම් අපි ගෙනාවා. ඒ කාලයේ චිත‍්‍රපටියක් අඩුම සති හතරක් දුවනවා. සවුන්ඞ් ඔෆ් මියුසික් මාස හයක් දිව්වා. මිනිස්සු පවුල් විදියට ෆිල්ම් බැලූවා. ඒ දවස්වල පවුලේ අය එළියට යද්දී සිනමාහලට ආවා. හෝල් එකට අමතරව වෙනම ඉඩක වාඩිවෙලා ඉන්න. කෑම කන්න, ඩි‍්‍රන්ක් එකක් ගන්න ඉඩ තිබුණා. පවුල එක්ක චිත‍්‍රපටි සංස්කෘතියක් ඇතිවෙන්න ඉඩ තිබුණා.’

මහා ඉහළින් රියෝ ශාලාවේ තිබුණු චිත‍්‍රපටි සංස්කෘතිය වෙනස්වෙන්න පටන්ගෙන තිබුණා.

‘චිත‍්‍රපටි සංස්ථාවේ ආගමනයෙන් තමයි අපට පෙනුණු විදියට මේ චිත‍්‍රපටි සංස්කෘතිය වෙනස්වුණේ. චිත‍්‍රපටි සංස්ථාවෙන් තමයි ඊට පස්සේ චිත‍්‍රපටි ගෙනාවෙ. එතකොට ජාත්‍යන්තර චිත‍්‍රපටි සමාගම් කිව්වා එයාලා එක්කෙනෙක් එක්ක වැඩ කරන්නේ නෑ. ෆිල්ම් ලැබුණේ නෑ. අපට ෆිල්ම් ගේන්නත් බෑ. අන්තිමේ චිත‍්‍රපටි නැතිවුණා. නවා සිනමාහලට ටිකක් දෙමළ චිත‍්‍රපටි ලැබුණා. ඒත් රියෝ සිනමාහලට පවතින්න අමාරුවුණා.

සිංහල ෆිල්ම් පෙන්වලා අපට වැඩක් තිබුණේ නෑ. මොකද ලංකාවෙ තිබුණා ඉංග‍්‍රීසි චිත‍්‍රපටි බලන්නේ අහවල් ශාලාවෙ, දෙමළ චිත‍්‍රපටි තියෙන්නේ අහවල් ශාලාවෙ කියලා ආකල්පයක්. ගාමිණී හෝල් එකට වගේ තමයි සිංහල ෆිල්ම් බලන්න ගියේ. අපේ හෝල්වල හොඳ ෆිල්ම් තිබුණේ නෑ. ඉතින් අසාර්ථක වෙන්න ගත්තා.’
ඒ සියල්ලට වඩා මහා ඛේදවාචකයක් වුණේ කළු ජූලිය.

‘සම්පූර්ණයෙන් ගිනිගත්තා. රියෝ එකේ හොඳම ප්‍රොජෙක්ටර් ඇතුළු කොටස් ගිනිගත්තා. හෝටලය සම්පූර්ණයෙන් ගිනිගත්තා.’

ඒ වන විට රියෝ හෝටලය පටන්ගෙන ඉතා සුළු කාලයක්. හෝටලය සම්පූර්ණයෙන් ගිනි අරගෙන. නවා ශාලාවට ලොකු හානියක් නොතිබුණත් රියෝ ශාලාවේ යන්ත‍්‍ර සියල්ල ගිනිඅරන්.

‘තාත්තා හින්දු. ඔහු මෙතැන කෝවිලට උදව් කළා. පිටිපස්සේ මුස්ලිම් පල්ලියට උදව් කළා. පල්ලියට සහ බෞද්ධ විහාරවලටත් උදව් කළා. ගංගාරාමයට පවා තාත්තා ඉහළින්ම උදව් කළා. ඔහු එහෙම හිටපු කෙනෙක්. ඔහු කාලයක් තිස්සේ ගොඩනගපු දේවල් අසූතුනේදී එක රැුයෙන් ගිනිතිබ්බා. ඒකේ වේදනාව තාත්තාට තදින්ම දැනුණා. එදා රටෙන් පිටවුණ මම ලංකාවට 87දී ආවේ. තාත්තා 86දී නැතිවුණා එහේදී. දැන් අපේ පවුලේ ගොඩක් අය ඉන්නේ ඕස්ටේ‍්‍රලියාවේ. මගේ දරුවෝ ඉන්නේ ඕස්ටේ‍්‍රලියාවේ.’

නවා ශාලාව බදු දීලා. රියෝ ශාලාවත් මූලික අලූත්වැඩියාවක් කරලා. ඉන්පස්සේ බදු දීලා.

‘ඒ කාලයේ චිත‍්‍රපටි සංස්ථාවේ රත්නායක කියලා සභාපතිවරයෙක් හිටියා. ඔහු මේක බදු ගත්තා.’ නවරත්නම් මහතා කියනවා.

කාලයක් අසීරුවෙන් දිවූ ශාලා දෙකෙන් නවා සිනමාහල මෑත කාලයේ වැසී යනවා. දැන් එහි පුටුවක් තබා තිරයවත් නැහැ. රියෝ සිනමාහලේත් පුටුවලින් බාගයක් නැහැ. එයත් අසීරුවෙන් ඇදෙන්නේ පුස් ගෙදන් පිරුණු දිරාපත් ශාලාවක් ලෙසයි.

එහි නරඹන්නට ලැබෙන්නේ පැරණි වැඩිහිටි චිත‍්‍රපටි පමණයි. 10.30 සහ 3.30 දර්ශන වාර තමයි නරඹන්නට තියෙන්නේ. දර්ශන වාරයක් නරඹන්නේ 10ක් 12ක් පමණයි. රූපවාහිනිය, අන්තර්ජාලය පැමිණෙද්දී වැඩිහිටි චිත‍්‍රපටියක් නරඹන්නවත් කෙනෙක් නැහැ. චිත‍්‍රපටි ශාලාවේ සේවය කරන අයත් අපි එක්ක කතාකළා.

ෆෆෆෆෆෆ

රීගල් ශාලාවේ අතිරේක වැඩකරයුතු කරන ෂ්‍යාම් සිනමා රසිකයෙක්. ඔහු සිනමාහලේ වැඩට විත් වැඩි කාලයක් නෙවෙයි. එහෙත් ඔහු මේ සිනමාහල් දෙකේම කාලයක පටන් ගැවසී ඇත්තේ චිත‍්‍රපටි පිස්සෙක් විදියට.
‘අපි ගැලරියේ ෆිල්ම් බැලූවේ. කොච්චර සල්ලි තිබුණත් ගැලරියට තමයි අපි යන්නේ. නවා එකේ බංකු තිබුණේ. පස්දෙනෙක්ට ඉඳගන්න පුළුවන් බංකුව.

හැබැයි හයක් ඉඳගන්නවා. පොරකනවා ෆිල්ම් එක බලන්න. පිරිමි විතරක් නෙවෙයි, කාන්තාවොත් පොරකනවා. විසිල් ගගහා බලනවා. සිවාජිගේ, එම්.ජී.ආර්.ගේ ෆිල්ම්. එයාලාගේ ෆිල්ම් එකක් පළමුවැනි දවසේ බලනවා කියන්නෙම ලොකු දිනුමක්.’

කන්නදාසන් ලියපු එම්ජීආර්ගේ මහාදේවි (1957)වැනි චිත‍්‍රපටි ඔහු නරඹලා තියෙනවා.

‘එතකොට නවා එකේ ගේට්ටුව සම්පූර්ණයෙන් ඇරියේ නෑ. චේන් එකක් දාලා ගේට්ටුව අරින්නේ එක්කනෙක්ට අමාරුවෙන් ඇතුල්වෙන්න විතරයි. එක එක්කෙනා ගත්තා. එළියෙ පොරකනවා.’ ඒ මතකයන් එක්ක ඔහු මේ අඳුරු බිත්ති අතරේ සැරිසරනවා.

අමරජීව මහතා දිවුලපිටියේ සිනමාහලක කලක් සේවය කළ බව අපට කීවා. අවුරුදු දහතුනේ සිටයි ඔහු සිනමා ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර ක‍්‍රියා කරවන්නෙක් ලෙස කටයුතු කරන්නේ. දැන් ඔහු රියෝ සිනමාහලේ මැනේජර්වරයා ලෙස කටයුතු කරනවා. ඔහුට තියෙන අත්දැකීම් කප්පරක්. මතකයන් ගොන්නක් ඔහු දිගහැරියා. පුංචි කාලයේ සිට සිනමාවට ඇති ආදරය අදත් රියෝ ශාලාව සමඟ තදින්ම ගැටගැහී තියෙනවා. රියෝ ශාලාවේ පැරණි බිත්ති ඒ ආදරය තදින්ම අල්ලාගෙන ඉන්නවා.

‘තාක්ෂණය දියුණුවෙද්දී ෆිල්ම්හෝල්වල වැඩකරන්න ඕනෑ සේවකයො ගණන අඩුවෙනවා. ඩිජිටල්වල ලොකු සේවකයො පිරිසක් ඕනෑ නෑ. එකම කෙනාට ටිකට් කඩලා, ෆිල්ම් එක ප්ලේ කරලා, ඉන්ටවල් එකේ ඇවිල්ලා කැන්ටිමේ කවුන්ටරේට ඉඳගන්නත් පුළුවන්.’ අමරජීව මහතා දැන් සිනමාහල්වල සේවකයන් ගැන කියනවා.

‘සිනමාහල්වල වැඩ කරන සේවකයන් වෙනුවෙන් කිසිම සංගමයක්වත් නෑ. කවුරුත් ඒ අය ගැන කතාකරන්නෙත් නෑ.’ ඔහු තව පැත්තක් පෙන්වා දෙනවා.
නන්දන මහතා බොහෝවිට වැඩ කරන්නේ ටිකට් කවුන්ටරයේ. අපව රියෝ හෝටලයේ ඉහළට එක්කාගෙන ගියේ නන්දන. ඔහු ගම්පොල ඉඳන් කොළඹ ආ කෙනෙක්. තරුණ කාලයේ ඉඳන් මේ ශාලාවේ සේවය කරනවා.

‘කාලයක් මේ හිස් කාමරවලට කුඩුකාරයන් එහෙම බලෙන් කඩාපාත් වුණා. අපටත් තර්ජනය කළා. ඒත් දැන් නම් එහෙම කරදරයක් නෑ. විශේෂයෙන් යුද්ධය කාලේ මෙතැන ආරක්ෂාව ගැන අපට ලොකු බයක් තිබුණා.’ නන්දන කියනවා.
‘මම දෙදාස් ගණන්වල මුල ආවේ. ඒ කාලයේත් හෝල් එකේ සෙනඟ හිටියා. මෑත කාලයේදී තමයි සෙනඟ දරුණු විදියට අඩු වුණේ. දැන් ටීවී තියෙනවා.’ නන්දන වැඩිදුරටත් එහෙම කීවා.

ජයකොඩි ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර ක‍්‍රියා කරවන්නා. ඔහුට ඇති අත්දැකීම් බොහෝයි. ඒවා ගැන වෙනම කතාකරන්නට අපි ඉටාගත්තා. ඔහු සමඟ කොළඹ සිනමාහල් සංස්කෘතියේ රවුමක් ගහන්න පුළුවන්. ඒකට විශාල පත්තර පිටු ඉඩක් ඕනෑ. ඒ ඉඩ පසුව වෙනකරගන්න ඕනෑ. ඔවුන්ගෙන් අපි වෙන්ව නැවත පැමිණියා.

ෆෆෆෆෆ

නවරත්නම් මහතා මේ ඉඩම් විකුණා දමන්නට බලාපොරොත්තුවෙන් සිටි බව අපට දැනගන්න ලැබුණා. ඒ ගැන ඔහු අපට කීවේ නැහැ. අප සමඟ ඔහු කීවේ මෙතැන යළිත් සිනමා සංකීර්ණයක් ගොඩනඟන්න බලාපොරොත්තු වෙන බවයි. ඒ කියන්නේ සිනමාහලක්, පුංචි අවන්හලක්, අවශ්‍ය නම් දැනටත් තිබෙන බාර් ලැයිසමෙන් මධුවිතක් සමඟ මුසුවෙන්නට ඉඩක් සහ දැවැන්ත ගොඩනැගිලිවල කඩකාමර සහ කාර්යාල කාමර සඳහා බදු දෙන්නට ඉඩක් සමඟ යළි මෙය ගොඩනඟන බවයි.

‘‘සිනමාව කියන්නෙ නිකන්ම සල්ලි උපයන ව්‍යාපාරයක් නෙවෙයි. ඒක අපේ ලේවල තියෙන උන්මාදයක්. තාත්තා මේක හැදුවේ ඒ උන්මාදය එක්ක. මිනිස්සු පෝලිමේ ඇවිල්ලා ෆිල්ම් බලන්න එකතුවෙන විදියේ සිනමාහලක් තැනීම හීනයක්. ලොකු බලාපොරොත්තුවක්. මගේ පුතාටත් ඒ හීනය තියෙනවා. මට මේක ආපහු හදාගන්න පුළුවන් වුණොත් පුතා ලංකාවට ඇවිත් මේවා බාරගනියි. අනෙක මෙතැනට බිස්නස් තියෙනවා. මෙතැන අලූතෙන් නිවාස සංකීර්ණ දෙකක් හැදෙනවා. මෙතැන ඉදිරියෙන්ම පොලිස් නිවාස සංකීර්ණයක් ඉදිවෙනවා. දහස් ගණන් මිනිස්සු වටේට ඉන්නවා.

කොළඹට පිටින් එන අයට වුණත් බස් එකෙන් බැහැලා මෙතැනට එන්න ලේසියි. බෙහෝ අයට කොල්ලූපිටිය, වැල්ලවත්ත, බම්බලපිටියට යනවාට වඩා ලේසියි.’’
නවරත්නම් මහතා සුපුරුදු නිහතමානී සිනහව පාමින් කියනවා. ඔහුට මේ සියල්ල කළ නොහැකි වුණත්. ඔහු සිනමාහල අලෙවි කළත් සිනමාව සම්බන්ධ ව්‍යාපාර ගැන ඉවක් තියෙන අයෙකුට මෙය විකුණන්නට හැකිවුණොත් යහපත් අනාගතයක් ගැන හීන දකින්න පුළුවන්.

අපි ඔවුන්ගෙන් සමුගෙන එද්දී සිහින දැක්කේ යළි මෙතැන තියෙන දැවැන්ත සිනමාහලකට ඇතුළුවෙන්නට අවස්ථාව ලැබෙන දිනයක් ගැනයි. ඒ නවරත්නම් මහතා මෙන්ම අපේ ඇෙඟ්ත් ලේවලට මුසුවී සිනමා උන්මාදයක් දිවෙන නිසායි. සිනමාහලක චිත‍්‍රපටියක් බැලීම නම් අසමසම අත්දැකීමේ වටිනාකම දන්නා නිසායි.

කවුරු මෙය බාරගත්තත් මේ තියෙන කොන්ක‍්‍රීට් ගොඩ කඩා දැමිය යුතුයි. ඉන්පසුව නවීකරණය කිරීම දැවැන්ත මුදල් ආයෝජනයක් විය යුතුයි. නවරත්නම් මහතාට ඒ සඳහා ශක්තිය ලැබෙනවායැයි අපි උපරිමයෙන් සුබ පැතුවා. ඔහුට මේ සියල්ල අත්හැර යෑමට ඇත්තේ විශාල දුකක්.