රාවය

මඩකඩිත්තක් තුළින් විශ්වය දකින්න

මඩකඩිත්තක් තුළින් විශ්වය දකින්න

එඩුවර්දෝ ගලියානෝ

සුභාෂිණි චතුරිකා

2009 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ඇමරිකානු සමුළුවට සහභාගි වීමට පැමිණි, එවකට වෙනිසියුලානු ජනාධිපතිවරයාව සිටි හියුගෝ චාර්වේස්, එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය හෙබවූ බැරැුක් ඔබාමා වෙත පැමිණ ඉතාමත් මිත‍්‍රශීලි ලෙස අතට අතදී ආචාර කොට, සිනා මුසු මුහුණින් එක්තරා කෘතියක් ඔබාමා අතට පත්කළේය. එම සිදුවීම ප‍්‍රවෘත්තියක් ලෙස පළවීමත් සමඟ ඇමරිකාව තුළ එම කෘතියේ පිටපත් විශාල වශයෙන් විකිණෙන්ට වූ අතර ඇමසන් පොත් අලෙවි ව්‍යාපාරය තුළ එවකට එම කෘතිය, වැඩිම අලෙවිය ඇති කෘති අතරින් හයවැනි ස්ථානයට පත්විය. එම කෘතිය නම් උරුගුවේ ජාතික ලේඛකයකු හා ජනමාධ්‍යවේදියකු වන එඩුවර්දෝ ගලියානෝ විසින් 1971 වසරේ රචිත Open Veins of Latin America (Five Centuries of the Pillage of a Continent)

එම කෘතිය ලොව පුරා මෙන්ම විශේෂයෙන් ලතින් ඇමරිකානු කලාපය තුළ වාමාංශික ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිකයන් බහුලව භාවිත කරන අත්පොතක් බවට පත් වූ අතර එහි මූලික වශයෙන් අන්තර්ගතව ඇත්තේ ශතවර්ෂ ගණනාවක් පුරා යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය, ලතින් ඇමරිකානු රටවල රත්රන්, රිදී, කොකෝවා සහ කපු වැනි ස්වාභාවික සම්පත් කොල්ලකමින් එම රටවල් අන්ත දුගී තත්ත්වයට පත් කළ ආකාරයයි. එඩුවර්දෝ ගලියානෝ වැඩිමනත් ලෙස සාහිත්‍ය ලෝකයේ කීර්තියක් අත්පත් කරගත්තේ එම කෘතිය සම්පාදනය කිරීම නිසාය. බටහිර මාධ්‍ය විසින් ගලියානෝ හඳුන්වන්නේ ‘ලතින් ඇමරිකානු වාමාංශික ව්‍යාපාරයේ සාහිත්යික දැවැන්තයා’ නාමයෙනි.

පසුකලෙක Open Veins of Latin America   කෘතියේ නව මුද්‍රණයකදී, සුප‍්‍රකට ලතින් ඇමරිකානු ලේඛිකා ඉසබෙල් අයියන්දේ එම කෘතියට පෙරවදනක් ලියමින් සඳහන් කරන්නී, 1973 වසරේ චිලීයේ මිලිටරි පාලනයෙන් බේරී පලා යන විට තමා රැගෙන ගිය අතලොස්සක් දේවල් අතර එම කෘතියේ පිටතක් ද තිබූ බවයි. එම කෘතියේ අඩංගු සමාජවාදයට නැඹුරු අධිරාජ්‍ය විරෝධි මත පළ කිරීම් නිසා එවකට එම කෘතිය චිලී, අර්ජන්ටිනාව සහ ඔහුගේ මව් රට වන උරුගුවේ යන රටවල් තුළ තහනම් කෘතියක් බවට නම් කෙරිණි.

ඔහු සිය ලේඛන ජීවිතය ආරම්භ කළේ, මානව හිමිකම්, සමාජ සාධාරණත්වය, ලතින් ඇමරිකාව සූරා කන සහ පීඩනයට පත්කරනු ලබන ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදය පිළිබඳ නොබියව සිය මතය පළ කරන ජනමාධ්‍යවේදියකු ලෙසිනි. Open Veins of Latin America   කෘතියට අමතරව ඔහු ලියා ඇති වෙනත් කෘති අතුරින් Days and Nights of Love and War, Football in Sun and Shadow සහ Memory of Fire යන සාහිත්‍ය නිර්මාණ විශේෂ තැනක් ගනියි.

දේශපාලන සහ සාහිත්‍ය විචාරකයන් පවසන පරිදි ගලියානෝ, සිය මනබඳිනසුලූ සහ අවංක ලිවීම් තුළින් ලෝකයට ලතින් ඇමරිකාවේ සංස්කෘතිය, උරුමය සහ එහි අරගල පිළිබඳ මනා දැනුමක් ලබා දෙමින් ඔහු සෙසු ලෝකයට ලතින් ඇමරිකාව පිළිබද රාජදුතයෙකු ලෙස ක‍්‍රියාකොට ඇත. ඔවුනට අනුව ගලියානෝගේ ප‍්‍රබන්ධ සහ ප‍්‍රබන්ධ නොවන කෘති සියල්ලගේම පාහේ ඉතා සමබර ලෙස ලතින් ඇමරිකානු සංස්කෘතියත් එහි ඉතිහාසයත් අන්තර්ගතව ඇත.

ඔහුගෙන් සාහිත්‍ය ක්ෂේත‍්‍රයට සිදුවූ අනුපමේය සේවාව වෙනුවෙන් සාහිත්‍ය සම්මාන කිහිපයකින් ම පිදුම් ලැබූ එඩුවර්දෝ ගලියානෝ 74 වැනි වියේදී පෙණහලූ පිළිකාවකින් රෝගාතුරව 2015 වසරේ අප‍්‍රියෙල් මස 13 වැනිදා මෙලොවින් සමු ගත්තේය.

මෙහි දැක්වෙන්නේ ඔය The Atlantic online වෙබ් අඩවියේ පළවුණු, 2000 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ මැන්හැටන් නගරයේදී ස්කොට් ෂර්මන් නම් ජනමාධ්‍යවේදියා විසින් එඩුවර් දෝ ගලියානෝ සමඟ කරන ලද සම්මුඛ සාකච්ජාවකින් කොටසකි.

 

ජෝර්ජ් ඕර්වල් වරෙක ‘මම ලියන්නේ ඇයි’ යන නිබන්ධයේ මෙසේ පවසා තිබෙනවා. ‘නිතරම මාගේ ඇරඹුම් ලක්ෂ්‍යය වන්නේ ස්වපාක්ෂිකත්වය පිළිබ`ද හැඟීමක් හෝ අසාධාරණත්වය පිළිබඳ සංවේදිතාවක්.’ ඔබගේ ඇරඹුම් ලක්ෂ්‍යය කුමක්ද?

මම ලියන්නේ මගේ අත කසන විටදී, මම එසේ කළ යුතුයැයි දැනෙන වෙලාවලදී. මම එය ඉගෙන ගත්තේ දිව්‍යමය බෙර වාදකයකු වු කියුබානු සංගීතඥයෙකුගෙන්. එය ඔහුගේත් රහස වුණා. ‘මම වයන්නේ මගේ අත කසන විටදී.’ මම ලියන්නේ, මගේ හෘදය සාක්ෂිය මට එසේ කරන්නැයි කියා සිටින විටදී නොව, මා ලිවිය යුතු යැයි මට දැනෙන විටදී පමණයි. එය සුන්දර ලෙස භයානක, භයානක ලෙස සුන්දර ජීවිතය සම්භාෂණය කිරීමක්.

වසර 1993දී, ජෙර්ජ් ජී. කැස්ටනේඩා ඔහුගේ  Utopia Unarmed (The Latin American Left After the Cold War) නම් කෘතිය තුළ තර්ක කරනවා, ලතින් ඇමරිකානු බුද්ධිමතුන් නිතරම පාහේ ‘කේන්ද්‍රීය කාර්යය’ සපුරන බව. ඔහුගේ වචනවලින් කිවහොත් ඔවුන්, ”ජාතියේ සවිඥානක බව රැකගන්නන්, විවේචකයන්, වගවීම පිළිබඳ සිහිපත් කරන නිරන්තර ඝෝෂකයන්, ප‍්‍රතිපත්ති සහ අවංකභාවයේ ආරක්ෂකයන්” බව. ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂා කතා කරන ප‍්‍රජාව තුළ බොහොමයක් කලාකරුවන්, ලේඛකයන් සහ සංගීතඥයන්ව ඔවුන් වටා ඇති දිළිඳුභාවයත්, අසාධාරණත්වයත් විසින් සසල කර ඇති බවක් පෙනෙනවා.

උදාරණයක් ලෙස, නොබෙල් සම්මානලාභී ජෝර්සෙ සරමාගෝ නිතරම මෙක්සිකෝහි චියාපාස්වල සංචාරය කරමින්, සැපටිස්ටා ගරිල්ලන්ට ඔහුගේ සහයෝගීතාව ප‍්‍රකාශ කර සිටියා. ඇයි සාමාන්‍යයෙන් මෙහි, එනම් ඇමරිකාවේ ලේඛකයන්ට වඩා ලතින් ඇමරිකාවේ ලේඛකයන්ගේ දේශපාලන සවිඥානක බව ඉහළ මට්ටමක පවතින්නේ?

මම සාමාන්‍යකරණය විශ්වාස කරන්නේ නැහැ, මම බුද්ධිමතුන්ගේ ‘භූමිකාවත්’, ලේඛකයාගේ ‘කාර්යභාරයත්’ පිළිබඳ කල්පිත ගොඩනගාගෙනත් නැහැ. එය ස්ථානය මත රඳා පවතින්නක්, අනෙක එය සාමාන්‍යකරණය සාධාරණ නැහැ. සරමාගෝ කියන්නේ උත්කෘෂ්ට ලේඛකයෙක්. ඔහුට පුළුවන්කම තියෙනවා ඔහුගේ චරිතවල ආත්මය තුළට කිඳාබහින්න. ඔහුව මෙහෙයවනු ලබන්නේ මා ද පංගුකාර වන සහ මා දැඩි සේ අනුමත කරන සහයෝගීතාවේ ආවේගයන්ගෙන්. එහෙත් වෙනත් ලේඛකයන් බොහොමයක් ඉන්නවා නිශ්චිත ලෙස දේශපාලනික නොවන. තමන්ගේ ජනතාවගේ සැඟවුණු අනන්‍යතාව හෙළිදරව් කරගැනීමට විශිෂ්ට ලෙස පිටිවහලක් වුණු ලේඛකයන් පිරිසක් සිටිනවා. ඔවුහු ඉතා විශිෂ්ට දේශපාලනික කාර්යභාරයක් කර තිබෙනවා ඔවුන් නොදැනුවත්ම.

මගේ මතය අනුව විසිවැනි ශතවර්ෂයේ අනර්ඝතම ලතින් ඇමරිකානු ලේඛකයා ලෙෂ සැලකිය හැකි ශ්‍රේෂ්ඨ මෙක්සිකානු ලේඛක උවාන් රුල්ෆෝ ගත්තාමත් එහෙමයි. ඔහු ගැඹුරු අර්ථයෙන්ම යථාර්ථය හෙළිදරව් කළ කෙනෙක්, ඒ එළිපිට දකින්න තිබෙන යථාර්ථයම නොවෙයි, සිහිනවල තිබෙන යථාර්ථයද ඔහු හෙළිදරව් කළා, එමෙන්ම යථාර්ථයේ ඇති සිහිවිකල් බවත්. එහෙත් අපට නිර්වචන පිළිබ`ද පරිස්සම් වෙන්න වෙනවා. මේ කාලයේ තිබෙන ප‍්‍රවණතාවක් තමයි, පුද්ගලයන්ට ලේබල් ඇලවීම. ”දේශපාලන ලේඛකයා” කියන්නේ එවැනි ලේබලයක් විතරයි. අපි දැන නොසිටියත් අපි හැමදෙනාම දේශපාලනිකයි. නිශ්චිත දේශපාලන අනන්‍යතාව කියන්නේ විය හැකි එකම දේ නොවෙයි. මේ කාර්යභාරයේදී ලේබල් ඇලවීම සෑහෙන තරම් භයානක දෙයක්.

දේශපාලන වගකීමකින් කිසියම් ලේඛකයෙක් බැඳී ඇත්නම්, ප‍්‍රචාරකවාදී ස්වභාවයකට පත් නොවී ඔහු හෝ ඇය තම ප‍්‍රකාශනය කලාත්මකව ඉදිරිපත් කරන්නේ කෙසේද?

මම මා ‘දේශපාලනික වගකීමකින් බැදී සිටින’ ලේඛකයෙකු ලෙස දකින්නේ නැහැ. මා යනු, යථාර්ථය නිතරම සැඟවී පවතින නිසා ජීවිතයේ අබිරහස්, සමාජයේ රහස් සහ සැඟවුණු අපැහැදිලි කලාපවල අභ්‍යන්තරයට ප‍්‍රවේශවීමට උත්සාහ දරන ලේඛකයෙක්. මා දේශපාලනයේ නියැලීමත්, ලේඛකයෙක් ලෙස මාගේ කාර්යභාරයත් දෙකක් නොව එකක්. ඒ නිසා මම ප‍්‍රචාරයත් සමඟ කිසිදු මොහොතක සම්මුඛ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ප‍්‍රචාරය කාර්යක්ෂම නැහැ. එය අයිති වන්නේ එක මොහොතකටයි. ඒක කමක් නැහැ. එහෙත් එය කලාව නොවෙයි.

යම් අවස්ථාවලදී සමහර කලා කටයුතු ප‍්‍රචාරක මාධ්‍ය ලෙස ක‍්‍රියාත්මක වෙන වෙලාවල් තිබෙනවා, ඒත් පසුව එය කිසියම් ශෛලියක් බවට පත්වෙනවා. Casablanca කියන්නේ ප‍්‍රචාරකවාදී චිත‍්‍රපටයක්. ස්ටාලින්ගේ කාලයේ අයිසන්ස්ටයින් නිර්මාණය කළ චිත‍්‍රපට ප‍්‍රචාරකවාදී වුණත් ඒවා සුන්දර ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ. ඉතින් ප‍්‍රචාරය නිතරම තාවකාලික නැහැ, ඒත් සාමාන්‍යයෙන් එය එහෙමයි. දැන් ඔබට පෙනෙනවා ඇති මම ආකෘතිගත සමීකරණ එතරම් විශ්වාස කරන්නේ නැහැ. යථාර්ථය ඉතාමත් සංකීර්ණයි.

එක් උදාහරණයක් දක්වනවා නම්, ශෝන් පෝල් සාත‍්‍ර වැරදි සහගත ලෙස විශ්වාස කළා ලේඛකයන් විශේෂ ආකාරයකට හැසිරෙන්න බැඳී සිටිනවාය කියා?

මම හිතන්නේ නැහැ ලේඛකයන් දේශපාලනික විය යුතුයි කියලා. මම හිතන්නේ ලේඛකයන් අවංක විය යුතුයි, ඔවුන් කරන දෙයට අවංක විය යුතුයි. ඔවුන් ඔවුන්වම විකිණීම සිදු නොකළ යුතුයි. ඔවුන් ඔවුන්ට ගරු කරන්න ඕනෑ. ඔවුන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න ඕනෑ, මිනිසුන් ලෙස වාගේම වෘත්තීයමය ලේඛකයන් ලෙස. ඔවුන් පැවසිය යුත්තේ පැවසීමට අවශ්‍යම දෙයයි. ඔවුන්ගේ වදන් නොඉඳුල් විය යුතුයි. ඒවා ඔවුන්ගේ හදවතින්ම පැනනඟින දෑ නොවේ නම්, එම වදන් කෘත‍්‍රිම වෙනවා. ඔබ දේශපාලනික වීමට ඔවුනට විධානය දෙන්නේ නම්, එය විනාශයක්. ඔය කියන ‘ඊනියා සමාජවාදී යථාර්ථවාදය’ එහි ප‍්‍රතිඵලයක්. එය ‘ධනවාදි යථාර්ථවාදය’ සේම විනාශකාරීයි.

වසර තිහකට ඉහතදී, Open Veins of Latin America ලිවීමේදී ඔබගේ අරමුණ වූයේ සමනලයෙකුගේ සුන්දරත්වය විස්තර කිරීම නොව, ලතින් ඇමරිකාව තුළ ක‍්‍රියාත්මක වන ඇමරිකානු අධිරාජ්‍යවාදය ලේඛනගත කිරීමයි.

ඔව්. එය තමයි මට ඕනෑ කළේ. අවුරුදු තිහකට කලින්, මම ප‍්‍රශ්නත් සමඟ පොරබදමින් ඒවාට විසඳුම් සොයමින් සිටියා. නොදියුණු රටවල් ‘සංවර්ධනය වෙමින් පවතින’ රටවල් ලෙස හැඳින්වූ විට, ඉන් ඇඟවෙන්නේ ඒ රටවල් තවම ළදරුවන් වගේ, තවම වැඩෙනවා, සංවර්ධනය වෙනවාය කියන කාරණය. එහෙත් එය බොරුවක්.

ඔවුන් නොදියුණු තත්ත්වයට පත්වුණේ බලසම්පන්න රටවල් එම නොදියුණු යැයි රටවල වියදමින් ජීවත් වූ නිසා. තුන්වැනි ලෝකයේ රටවල් නොදියුණු බව කියන්නේ, සංවර්ධිත තත්ත්වයට ළඟාවීමේදී පසු කරන අවධියක් නොව, රටවල් සුළු සංඛ්‍යාවක් සංවර්ධිත තත්ත්වයට පත් වූ නිසා ඇති වූ ප‍්‍රතිඵලයක්. එය තමයි Open Veins of Latin America කෘතියේ මූලිකම තර්කය වූයේ. ධනවත්බවේ ඉතිහාසයත් සහ දුගීබවේ ඉතිහාසයත් එකිනෙකට වෙලී පවතින්නක්. මම ඒ කෘතියෙන් උත්සාහ ගත්තේ ශතවර්ෂ පහක් පුරා මෙය සිදු වුණේ කොහොමද කියලා පෙන්වා දෙන්න.

ඇමරිකානු අධිරාජ්‍යවාදය කියන්නේ එම කතා වස්තුවේ එක් කොටසක් පමණයි. මම එය ලීවේ දේශපාලනික පත‍්‍රිකාවක් විදියට. මම හිතුවේ ඒක අවුරුදු දෙක තුනක් පවතින දෙයක් විදියට විතරයි, ඒත් ඒය බොහෝ කාලයක් අල්ලා හිටින පොතක් බවට පත්වෙලා. එක්තරා විදියකට එය ප‍්‍රචාරකවාදී කෘතියක්. එහෙත් පසුකලෙක මම මා නැවත නැවත එකම අයුරින් ප‍්‍රකාශයට පත් වීම වැළැක්වීමට වෙනස් දේවල් ද ලීවා. Upside Down කියන්නේ Open Veins කෘතියට වඩා හාත්පසින්ම භාෂාවකින් ලියන ලද කෘතියක්, ඒත් එහි ඇති කාරණාවලට තවමත් මම පක්ෂපාතියි. මම ඒ කෘතිය පිළිබඳ ආඩම්බර වෙනවා. එය ආලය පිළිබඳ කෘතියක්.

මේ දිනවල ඇමරිකාවේ, මෙක්සිකෝ චියාපාස්හි ආකර්ෂණීය සැපටිස්ටා ගරිල්ලා නායක kdhl Subcomandante Marcos  පිළිබඳ එතරම් අසන්න ලැබෙන්නේ නැහැ. එහෙත් මාර්කෝස් යුරෝපයේ සහ ලතින් ඇමරිකාවේ ඉතාමත් ජනප‍්‍රියයි. 1994 වසරේ සිට මෙක්සිකෝ නගරයේ පුවත්පතක් වන La Jornada හි පළවුණු ඔහුගේ නිල නිවේදන කියැවූ විචාරකයන්, මාර්කෝස්ව හැඳින්වූයේ කලාපයේ සිටින වඩාත් සියුම්ම ලේඛකයන්ගෙන් කෙනෙකු බවයි. ඒ අනුව ඔහුගේ සාහිත්‍යයික බලපෑම් බවට පත් වී ඇත්තේ විලියම් ෂේක්ස්පියර්, ෆෙඞ්රිකෝ ගාර්සියා ලෝර්කා, යුලියෝ කොර්තසාර්…. සහ එඩුවර්දෝ ගලියානෝ බව මෙක්සිකෝව තුළ ප‍්‍රචලිත කාරණයක්.

මම දන්නේ නැහැ ඔහුට මම බලපෑමක් වුණාද කියලා. ඔහු නියෝජනය කරන ජනතා ව්‍යාපාරය එනම්, චියාපාස්හි ස්වදේශීක ජනතාවගේ විරෝධය වෙනුවෙන් ගොඬනැඟුණු ව්‍යාපාරයේ සාමූහික අපේක්ෂාවන් ඔහු මූර්තිමත් කරනවා. මූලිකව ප‍්‍රාදේශීය ව්‍යාපරයක් ලෙස ආරම්භවී පසුව ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ව්‍යාප්ත වුණු එම ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් එම ව්‍යාපාරය වැඩිමනත් ලෙස ඔහුට කෘතඥ විය යුතුයි. සැපටිස්ටාවරුන් ක‍්‍රීඩාවේ නීති වෙනස් කළා. මෙක්සිකෝවේ ආර්ථිකය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන නිසා, මෙක්සිකෝව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් නොවෙයි, එය පැහැදිලියි. ඒත් දේශපාලනිකව මෙක්සිකෝව ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට බොහෝ සෙයින් නැඹුරු වුණා. මෙම නැඹුරුවීම්, සැලකිය යුතු ආකාරයකට සැපටිස්ටාවරුන් විසින් ඇති කළ පීඩනය නිසා සිදුවූවක්. ඔවුන් සිවිල් සමාජයේ ශක්තිය සවිමත් කරමින් එය මෙහෙයවූවා.

අන්තර්ජාතික වශයෙන්ද බලපෑමක් ඇති කළ ව්‍යාපාරයක් බවට පත්වුණා, ඒ සෑම සාර්ථකත්වයක් වෙනුවෙන්ම මාර්කෝස්ගේ භාෂාවට බොහෝ සෙයින් කෘතඥ විය යුතුයි. මගේ දැක්මට අනුව එය අප‍්‍රසාදය, කවීත්වය, මේ සියල්ලට එපිටින් හාස්‍යය පිරුණු භාෂා විලාසයක්. අපට ආහාර ජලය අවශ්‍යවන්නා සේ අපට හාස්‍යය අවශ්‍ය වෙනවා. එය තමයි ලේඛකයෙකු ලෙස ඔහු සතු ශ්‍රේෂ්ඨ කෞශල්‍යය.

ඔබ තුළ බලපෑමක් ඇති කළ ඇමරිකානු ලේඛකයන් සහ බුද්ධිමතුන් කවුද? එසේ නම් ඒ ඇයි?

මට එම ප‍්‍රශ්නයට උත්තර දෙන්න අමාරුයි, මොකද එහෙම ගොඩාක් අය ඉන්නවා. ආරම්භයේදීම මාර්ක් ට්වේන්, ඇම්බ්‍රෝස් බියර්ස්, කාර්ස්න් මැකලර්ස්, විලියම් ෆෝර්ක්නර් සහ ජී.ඞී. සැලින්ජර් වැනි අය මා තුළ මහත් බලපෑමක් ඇති කළා. මම පුදුමයට පත් වුණා ට්වේන් සහ බියර්ස්ගේ හාස්‍යයට.

ජෙම්ස් බොල්ඞ්වින් ඔහුගේ Notes of a Native Son නම් කෘතියේ පෙරවදනේ සඳහන් කර තිබෙනවා, ‘‘මට අවශ්‍ය අවංක මිනිසෙක් සහ හොඳ ලේඛකයෙක් වීමටයි.” ඔබට අවශ්‍ය කිනම් ආකාරයේ මිනිසෙක් සහ කිනම් ආකාරයේ ලේඛකයෙක් වීමටද?

ජේම්ස් බෝල්ඞ්වින් කීවා වගේ මටත් ඕනෑ අවංක මිනිසෙක් සහ හොඳ ලේඛකයෙක් වීමටයි. මම ඔහුට බොහෝසෙයින් ගරු කරනවා. ඔහු දවසක් කියූ කතාවක් මම යොදාගත්තා මගේ ඵැපදරහ දෙ ත්‍සරු කෘතියේ තුන්වැනි වෙළුම සඳහා. ඉතා ළාබාල අවධියේදී දිනක් ඔහු සිය හිතමිත‍්‍ර සිත්තරෙක් සමඟ වීදියේ ඇවිද යමින් සිටියා. ඔවුන් රතු ආලෝකය අසල නැවතුණා. ‘බලන්න’ ඔහුගේ මිතුරා එකවරම පැවසුවා. එහෙත් බෝල්ඞ්වින් කිලිටි වතුර රැදුණ දිය කඩිත්තක් හැර වෙන කිසිවක් දුටුවේ නැහැ.

මිතුරා නැවත ඉල්ලා සිටියා, ”ඒ දිහා හරියට බලන්න.” ඉතින් බෝල්ඞ්වින් නැවතත් හොඳින් බැලූවා. එවිට ඔහු දැක්කා මඩ කඩිත්තේ තෙල් පැල්ලමක් පැතිර යමින් තිබෙනවා. ඒ තෙල් පැල්ලම තුළ ඔහු දුටුවා දේදුන්නක්, වීදිය මත ඇති චලන, වීදිය මත මිනිසුන්ගේ එහා මෙහා යාම්, උන්තමත්තකයන්, විජ්ජාකාරයන්. ඔහු ඒ කුඩා දිය කඩිත්ත තුළ මුළු විශ්වයම දුටුවා. ඒ දවසේ බෝල්ඞ්වින් කීවේ ඔහු දකින්නට ඉගෙනගත් බවයි. මට එය ඉතාමත් වැදගත් පාඩමක් වුණා. මමත් නිතරම උත්සාහ කරන්නේ, වීදියේ මඩකඩිති තුළින් විශ්වයම දකින්නයි.