රාවය

සටන් විරාම කාලේ මනුෂිකත්වය ගැන සංවාදයක් සදහායි මේ නාට්‍ය කලේ

සටන් විරාම කාලේ මනුෂිකත්වය ගැන සංවාදයක් සදහායි මේ නාට්‍ය කලේ

අශෝක හඳගම

මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන ”නැගෙනහිර වෙරළෙන් ඇසෙන” ටෙලිනාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක පැත්තකින් ටෙලිනාට්‍ය කලාව නීරස, අරුත්සුන් කලාවක් වෙලා තියෙද්දී කලාත්මක ගණයේ නිර්මාණ අතේ ඇගිලි ප‍්‍රමාණයටත් අඩුවෙන් තමයි තියෙන්නේ. මේ තත්ත්වය උඩ නැගෙනහිර වෙරළ විශේෂ වන්නේ කොහොමද?

මං මෙහෙම කියන්නම්කෝ. ලංකාවේ ටෙලිනාට්‍ය කියන එක කලා මාධ්‍යයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා විශ්වාස කළ අපේ පරම්පරාවේ හිටපු කීප දෙනා අතරින් එක්කෙනෙක් මම. ජයන්ත, මම, පතිරාජලා, ඔබේසේකරලා ඔය අපි හැමෝම ඒ කාලේ ටෙලිනාට්‍ය කළානේ. මේක හරහා හොද රසික ප‍්‍රජාවක් ඇතිකරන්න පුළුවන් වේවි කියලා අපේ විශ්වාසයක් තිබුණා ඉස්සර. එක්තරා විදියකට සිනමාවෙන් පේ‍්‍රක්ෂකයන් ඈත්වෙමින් තිබුණා විවිධ තාක්ෂණික හේතු හින්දා. එතකොට මේ හරහා ඇති කෙරෙන රසවින්දනයේ කිසියම් හුරුකිරීමක් ඔස්සේ වෙන කලා

භාවිතාවකට මිනිස්සු පුරුදු කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කළා. එහෙම විශ්වාස කරගෙන තමයි ටෙලිවිෂන් එකේ වැඩකළේ. ඒකේ ප‍්‍රයෝජන තිබුණා. ඒ දවස්වල මට මතකයි දියකැට පහණ, සින්තටික් සිහින වගේ ටෙලිනාට්‍ය විකාශය වෙන කාලේ, ටෙලිවිෂන් එකේ අටහමාරේ විකාශය නවයට නැවතුණාට පස්සේ, නවයේ ඉදන් නවයහමාර වෙනකම් ලක්හඩ ගුවන්විදුලියේ ඒ එපිසෝඞ් එක පිළිබද විද්වතුන් ඇවිල්ලා සාකච්ඡුාවක් තිබුණා.

එතකොට තිබුණේ රූපවාහිනී නාලිකා දෙකයි. රූපවාහිනිය තමයි ටෙලිනාට්‍ය සදහා විශේෂ සහන කාලයක් දීලා තිබුණේ ඒ අරමුණ සදහාම. දැන් ඒ සහජාතකම නැතිවෙලා. අයිතිකාරයො නෑනේ ටෙලිනාට්‍යවලට. අධ්‍යක්ෂත් සමහර වෙලාවට මැරිලා ඉන්නේ. කමර්ෂල්වලින් නාවලා තියෙන්නේ. ඔය පුරුද්ද ආවාට පස්සේ ටෙලිනාට්‍යයක ගුණාත්මක බව කියන එක වැදගත් වුණේ නෑ. ඒ හින්දා රූපවාහිනියෙන් මිනිස්සු ටික ටික ඈත්වෙන්න පටන්ගත්තා.

අපි එතකොට රූපවාහිනිය අතෑරලා සිනමාව විතරක් ප‍්‍රකාශනය හැටියට පාවිච්චි කරන්න පටන්ගත්තා. කලාවක් මේක ඇතුළේ කරන්න පුළුවන් කියන අදහස අතහැරලා දැම්මා. ඒත් ඔය අතරේ තමයි, සටන් විරාම කාලයක් ආ වෙලාවේ ආරාධනා ලැබුණේ ටෙලිනාට්‍යයක් කරන්න. ඒ ආරාධනාවට තමයි ‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන’ කළේ.

එතකොට ඒක හරහා, ඒ දවස්වල ඇතිවෙමින් තිබුණු යුද්ධය, යුද්ධයේ පලවිපාක, ජාතීන් අතර ඇතිවෙලා තිබුණු ආතතිය, ඒ ආතතියට හේතුවෙලා තිබුණු දේවල්, එතකොට සුනාමිය වගේ සුවිශේෂී සිදුවීමක් කොහොමද මිනිස්සු තුළ නැවත වතාවක් මානුෂිකත්වය කියන එක ඇතිකළේ, ඒක කොච්චර දුරට පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක ගැන සංවාදයක් ගොඩනගන්න පුළුවන් පසුබිමක් යටතේ ටෙලිනාට්‍යයක් කරන්න අවස්ථාවක් ලැබුණා. එහෙම ලැබුණා වුණත් මේක මිනිස්සුන්ට දැනගන්න විකාශය කරන්න හැකියාවක් ලැබුණේ නෑ. නැවත වතාවක් මේක අයිටීඑන් ඔස්සේ විකාශය වීම හරහා නොබැලූ විශාල පිරිසක් මේ නාට්‍යය බලන්න පුරුදුවෙලා තියනවා.

‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන’ තේමාව මොකක්ද?

මිනිස්සු ජාති, ආගම්, කුල හැටියට වෙන්වෙන්නේ සංස්කෘතික වුණාට පස්සේ. සංස්කෘතිය විසින්නේ කෙනෙක්ගේ ජාතිය, ආගම තීරණය කරන්නේ. සංස්කෘතිකව තමයි අපි වෙන්වෙලා ඉන්නේ. ඒ වෙන්වීම කියන හැගීම නිසා එකිනෙකා අතර තරගය වගේ දේවල් ඇතිවෙලා තියනවා. යුද්ධය ඇතිවුණේත් ඒ පසුබිම ඇතුළේනේ. එතකොට සුනාමිය මිනිස්සුන්ව සීරෝ කරලාම දැම්මානේ. සියලූ දේවල උස්-පහත්කම් සමතලා කරලා දැම්මා. ඊට පස්සෙ එකම කදවුරක විවිධ ජාතිවල මිනිස්සු ගාල්වුණා. ගාල්වුණාම මිනිස්සුන්ට රකින්න දෙයක් නෑ.

මොකුත් ඉතිරිවෙලා නැති වුණාම රකින්න සංස්කෘතියක් නෑනේ. එතකොට තියෙන්නේ එකිනෙකාට පිහිටවෙන, එකිනෙකා එක්ක ඉන්න වුවමනාව තමයි. අපි දැක්කා ඒ දවස්වල මිනිස්සුන්ට ජාතිද අරවාද මේවාද මොකුත් තිබුණේ නෑ. මිනිස්සු මෙහෙන් එහෙට බෙදුවා -එහෙං මෙහෙට බෙදුවා. හැමතැනම කලවං වෙලා ඒ වැඩ ටික වුණා. ඒක පාඩමක්. ඒත් ඒක ටික ටික යථා තත්ත්වයට පත්වෙනකොට අපි ආයෙ අර සංස්කෘතික ගොඩවල්වලට වෙන්වෙන්න ගන්නවා. අපිට ආයෙ අමතක වෙනවා අපි මෙහෙම තත්ත්වෙක හිටියා නේද කියලා. මේ තත්ත්වය ඇති වෙන්න, ජාතීන් අතර ආගම් අතර ආතතීන් ඇතිවෙන්න හේතුව කිසිම තේරුමක් නැති දෙයක්. අනිත් එක අපි අහම්බෙන්, නොදැනුවත්ව අමතක කරලා දානවා ඒවට කිසි පදනමක් නෑ කියන එක.

අමතක කරලා දාලා එක එක ගොඩවල්වලට ගොඩගැහෙනවා. ඉතිං ඒක තමයි මේක ඇතුළේ කතාකරන්නේ. බිංදුවටම බැහැපු මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය ගොඩනැගෙන්න පටන්ගත්තාම ආයෙත් දෙගොල්ල අතර ටෙන්ෂන් එක ඇතිවෙන්න පටන්ගන්නවා. ඒක මං හිතන්නේ මේ තියන ප‍්‍රශ්නය තේරුම් ගන්න පිවිසුමක් විදියට හොදයි කියලා. ඒක තමයි ටෙලිනාට්‍යයේ මූලිකවම කතාකරන්නේ.

ඔබ දකින විදියට 2004 සුනාමිය ලංකාවට කොයි තරම් වැදගත්ද?

සුනාමිය විසින් කියලා දුන් පාඩම් අපි හරියට ඉගෙනගත්තා නම් යුද්ධයේ දෙවැනි අදියර කියන එක ඇති නොවී මේ ගැටලූව විසදාගන්න තිබුණා කියන එක මං විශ්වාස කරනවා.
‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන’ ටෙලිනාට්‍යය අයිටීඑන් එකේ විකාශය වෙනවා කියලා සමාජ මාධ්‍යයන්වල ප‍්‍රචාරය වෙද්දී අපි දැක්කා විවිධ තරාතිරමෙ අන්තවාදීන් ඊට විවේචන ගෙනෙනවා. ශුද්ධ වූ සිංහල ලේ ගැන පාරම්බානවා. කෙනෙකුගේ ජාතිය තීරණය කරන්න පුළුවන්ද ලේවලින්?

ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයිනේ. තමන් හැදෙන සංස්කෘතිය. ලේ ඔක්කොම එකයි. ජාතිය තීරණය කරන්නේ තමන් හැදෙන පරිසරය හා සංස්කෘතිය විසින්. උදාහරණයක් හැටියට අපි ගනිමු නුවර යුගයේ හිටපු දස්කොන්. දස්කොන් (ගැස්කොන්) ප‍්‍රංශ සම්භවයක් තියන කෙනෙක්. තාත්තා ප‍්‍රංශ. හැබැයි ගැස්කොන් ලංකාවෙ ඉපදිච්ච, සිංහල සම්භවයක් තියෙන කෙනෙක්. එතකොට එයාගෙ ජාතිය මොකද්ද? තමං හැදෙන පරිසරය විසින් තමයි කෙනෙකුගේ සංස්කෘතික හැඩගැසීම කරන්නේ. ඒ උඩනේ එයා හිතන්නේ. එයා අදහන ආගම, මොන භාෂාවද කතා කරන්නේ කියන දේවල් ලේවලට සම්බන්ධයක් නෑ. තමන්ගේ සංස්කෘතිය විසින් තමයි තමන් කොහාටද අයිති වෙන්නේ කියන එක තීරණය කරන්නේ.

ඊට පස්සේ ප‍්‍රශ්නයක් ආවාම තමයි ඕකෙ ශුද්ධ වූ මුල් හොයාගෙන යන්නේ. අඩු අවකාශයක් තියන තැනකට වැඩි පිරිසක් එනකොට, ඒ අඩු අවකාශය පුරවනකොට තේරීමක් කරන්න ඕනෑ නේ. තේරීම හැමවෙලේම ඔය වගේ මොකක් හරි බෙදීමකින් එන එකක්.

සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය විසින් දෙමළා අනෙකා බවට පත්කරගෙන සටන් කිරීමේ ඉතිහාසය සංකේතීය නිමාවක් ලබලා තියනවා. දැන් මුසල්මානුවා අනෙකා බවට පත්කරගෙන. මේ තත්ත්වය ඔබ විග‍්‍රහ කරන්නෙ කොහොමද?

හැම වෙලේම අපිට බැහැ අපේ ඇතුළෙන් අපිට තියන ප‍්‍රශ්නය තේරුම් ගන්න, අපේ තියන අර්බුදය තේරුම් ගන්න. උදාහරණයක් හැටියට ක‍්‍රිකට් දැන් කොලිටි එකක් විදියට බැහැලානේ ලංකාවෙ. දැන් ඉන්දියාව අපිට වඩා හොදට ක‍්‍රිකට් ගහනවා. හොදට ක‍්‍රිකට් ගහන එක නෙවේ දැන් අපේ අයට තියෙන ප‍්‍රශ්නේ. ‘මුං ඉන්දියන්. මුං ඇවිල්ලා අපිව කන්න ඉන්න එවුං ජාතියක්.’ ආන් එහෙම එකක් එනවනේ. ඉන්දියාව අපිට ගහන කාලෙ වෙනකොට අපේ ප‍්‍රශ්නෙ තියෙන්නේ ක‍්‍රිකට්වල. ඒ වුණාට වෙන තැනකට වැරැුද්ද පටවනවා. ඒ වාගේ අපේ අර්බුදයට සතුරෙක් හැමවෙලේම ඕනෑ අපේ නොහැකියාව වහගන්න. අපිට ඉස්සර හිටියා හතුරෙක්. ඒ හතුරා බොහෝම බරපතළයි. එයා නැතිවුණාට පස්සේ එයාගෙන් ගැටලූවක් නෑ තාවකාලිකව.

තව එක්කෙනෙක් ඕනෑ අපේ තියන එක නැති කරගන්න. එතකොට තමයි අර කෑල්ල එන්නේ. ඕස්ටේ‍්‍රලියාව වගේ රටක ඕක නැහැනේ. එහෙ කෙලින්ම සිස්ටම් එකෙන්ම ඒක නැතිකරලා දානවා. හේතුව ඒ රටට ඇවිල්ලා ඉන්නේම පිට මිනිස්සුනේ. ඒක ඇතුළේ ජාතිවාද මතුවෙන්න ඉඩ දෙන්නේ නෑ. ඒ තත්ත්වේ මහා ව්‍යසනයකට මුල පුරනවා කියලා ඒගොල්ලො දන්නවා. පසුගිය දවස්වල වුණානේ කොෆි ෂොප් එකක ප‍්‍රශ්නයක්. අයිසිස් කියලා ගහලාම තිබුණානේ. හරි නම් ලොකුවට මුස්ලිම් විරෝධයක් රට ඇතුළේ ඇති වෙන්න තිබුණා. ඒ තත්ත්වේ ආණ්ඩුවෙන්ම සහ මිනිස්සු විසින්මත් ඇතිවෙන්න දුන්නේ නෑ. අපේ මීඩියා නම් වැඩ කරන්නේ ඒක අවුළුවන්න.

ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම, ‘මෝටර් සයිකලයකින් තරුණයෙක් හැප්පිලා මැරුණා’ කියලා නෙවෙයිනේ වාර්තා කරන්නෙ. ‘මුස්ලිම් තරුණයෙක් පදවාගෙන ආ මෝටර් සයිකලයක හැප්පිලා සිංහල තරුණයෙක් මැරිලා’ කියලා තමයි වාර්තා කරන්නේ. මුස්ලිම් තරුණයෙක්ද පදවාගෙන ආවේ කියන එක අදාළ නෑනේ, නමුත් එහෙම තමයි අපේ මීඩියා රිපෝට් කරන්නේ. ඒක කියවන එකා ‘මුං එන්නෙ අපේ උං මරන්න’ කියලා එකක් හදාගන්නවා. එහෙම තමයි ඒක ඇතිකරන්නේ. මේක බලෙන් ඇති කළ ජනමතයක්.

ඔබගේ ප‍්‍රකාශනය කතා දෙකක් නැතුව දේශපාලනිකයි. ඒ නිසායි මේ ප‍්‍රශ්නය අහන්නේ. අපේ රට ඇතුළේ තියන ජාතික ප‍්‍රශ්නයට විසදුමක් දෙන්න පුළුවන්ද?

ජාතික ප‍්‍රශ්නෙට විසදුමක් දෙන්න අපි ශිෂ්ටව හිතන්න පුරුදු වෙන්න ඕනෑ. එතකොට විස`දුමක් හොයාගන්න පුළුවන්. අපි කියනවා සුළු ජාතීන්ට ප‍්‍රශ්නයක් නෑ කියලා. ඒක අපි කියලා හරියන්නෑනේ. ඒ අය කියන්න ඕනෑ අපිට ප‍්‍රශ්නයක් නෑ කියලා. කොහෙ හරි පළාතක වෙන්වෙන්න හදනවා නම්, තමන් මේකත් එක්ක ඉන්නවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනෑ ඒගොල්ලො මිසක් මෙහෙන් නෙවෙයි. ඒක නැති කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම පුරුදුවෙන්න ඕනෑ අනිත් මනුස්සයාව ඉවසන්න.

අපි මහා සංස්කෘතියක් වන ඉන්දියානු සංස්කෘතිය තුළ හැදිච්ච රටක්. වෙන්වෙලා තිබුණාට ඒ මහා සංස්කෘතියෙ ආභාසයනේ අපිට තියෙන්නේ. අපේ මුල්, බුද්ධාගමද ඇතුළු සියලූ දේවල් එහෙන් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බටහිර නිසා අපිට තව දේවල් ලැබිලා තියෙනවා. අපි ඇත්තටම එහෙම හොද පොහොසත් මිශ‍්‍ර සංස්කෘතියකට උරුමකම් කියන රටක්. ආර්ථිකව, දේශපාලනිකව අපි ඉතාමත්ම වටිනා තැනක ඉන්නවා. ඉතිහාසය ගත්තත් එහෙමයි. නැගෙනහිරයි -බටහිරයි සම්බන්ධ කරන එක් උපායමාර්ගික මධ්‍යස්ථානයක ඉන්නවා. ඒ ඔක්කොම තියෙද්දි අපි කොහෙද අද ඉන්නේ. මොකද්ද ඒකට හේතුව. හේතුව තනිකරම අපේ තියන ගෝත‍්‍රික ලක්ෂණ. පසුගාමී ලක්ෂණ.

අපි දකිනවා ඔබේ හැම නිර්මාණයක්ම වගේ යථාර්ථවාදී බවේ නොඩඉද යම් ප‍්‍රකාශනවාදී, අධියථාර්ථවාදී ස්වභාවයන් කරා ගමන් කරනවා. එය නැගෙනහිර වෙරළෙන් ඇසෙන තුළත් දකින්න පුළුවන්. මේක විශේෂ ලක්ෂණයක්. මොකක්ද මේ රීතියේ තියන විශේෂත්වය?

කොහොමත් යථාර්ථය කියන්නේම ගොඩනගපු ප‍්‍රබන්ධයක්නේ. ඒක හින්දා යථාර්ථය සොයායාම කියන එකම ගැටලූ සහගතයි. මොකක් හරි ප‍්‍රශ්නයක තියෙන ගතිකයන් තේරුම් ගන්න අපි පිවිසෙනකොට සමහර වෙලාවට අපිට නොපෙනෙන මානයන්ට යන්න සිද්ධ වෙනවානේ. එහෙම යන්න පුළුවන්කම තියෙන්නේ ස්වභාවිකවාදයෙන් එළියට ගිය ප‍්‍රකාශන විදියක් හරහා කියන එක තමයි මං හිතන්නේ. අපි හීන දකිනවා. කතන්දර කියනකොට අතින් දාලා කියනවා. සමහර වෙලාවට කපුටෙක් දැකපු කෙනෙක් ටිකක් දුර ගියාම රාජාලියෙක් තරම් ලොකු කරනවා. එහෙම එකක් අපේ ශෛලිය ඇතුළේ තියනවා. ඒක අපි කතා කියන සහ කතා තේරුම්ගන්න විදියේ හැටියක්.

අපිට ඕනෑ දේ අවධාරණය කරන්න සමහර දේවල් තියෙනවාට වඩා ලොකුවට මවනවා. අපේ ජාතක කතාවල විශ්වාස කරන්න බැරි කතා තියෙනවානේ. ඒ විශ්වාස කරන්න බැරි කතා අපි විශ්වාස කරනවානේ. ඒක යොදපුවාම අර ප‍්‍රකාශනය පොහොසත් වෙනවා. ඒක වඩ වඩා සමීප කරන්න පුළුවන්. කතාවක් කියනකොට අපිට ඒ හරහා අලූත් මානයන්වලට පිවිසෙන්න පුළුවන්.

ටෙලිනාට්‍යය ඇතුළේ අපි දකිනවා නිතරම පොඩි වීඩියෝ කැමරාවක් අතේ තියාගත්තු තරුණයෙක්. නාට්‍යය පුරාම ප‍්‍රධාන කැමරාවෙ දර්ශනවලට අමතරව තරුණයාගේ අතේ තියන කැමරාවෙන් ගන්න කළුසුදු දර්ශනත් පේ‍්‍රක්ෂකයාට පෙන්වනවා. මොකක්ද මේ උපක‍්‍රමය?

සමහර වෙලාවලදි අපි දකින එකක් වෙන විදියකට අවධාරණය කරන්න ඕනෑ. උදාහරණයක් විදියට පළවෙනි එපිසෝඞ් එකම කළුසුදු කැමරාවෙන් පෙනෙන්නේ. ඒකෙම හමුවෙනවා ඇත්ත සුනාමියට මුහුණ දීපු මිනිස්සු ඇවිදගෙන එන දර්ශන. ඒවා අපි ෂූට් කරපුව නෙවේ. ජීප් එක යනකොට ඉස්සරහට එන මිනිස්සු, ඒව ඇත්ත රූපරාමු. අපි හොයලා හොයලා ගත්තු රූපරාමු බලලා තමයි පළවෙනි එපිසෝඞ් එක ලියන්නේ. කාහොමද ඇත්ත සුනාමිය මේකට ගාවගන්නේ කියන එක මං බැලූවේ. එතකොට අපි ඇත්ත විෂුවල් ටික තමයි ගත්තේ.

ඒ විෂුවල් ෂූට් කරලා තියෙන කැමරා ලෝ රෙසලූෂන්. එක එක්කෙනා එකතු කරපුවානේ ඒවා. එතකොට ඒවාට ගැළපෙන විෂුවල් එකක් හොයන්න ඕනෑ. ඒක නිසා තමයි මේක මූලිකවම හදුන්වා දෙන්නේ. ඊට පස්සේ එතැනින් ඉවර කරන්න බෑනේ. මුළු ටෙලිනාට්‍යය පුරාම මේක තියාගන්නකොට සමහර වෙලාවට නිකං ඔහේ ගලාගෙන යන එක කඩන්න ඕනෑ වුණාම අරක පාවිච්චි කරලා අපි වෙන තලයකට යනවා. එහෙම තමයි ඒක දිගට පාවිච්චි කළේ.

උදාහරණෙකට ශාන්ති අඩන කොටස. අඩලා අඩලා ඉවර වෙනකල්ම තරුණයා අතේ තියන කැමරාවෙන් ෂූට් කරනවා. ඊට පස්සේ අපිටම පෙන්නනවා. පෙන්නලා ශාන්තිටම බලන්න දෙනවා. තමන්ම අ`ඩන එක දැක්කාම එයාට හිනායනවා.

අනිත් විශේෂතම දේ තමයි කාත් කවුරුවත් නැති දැරිය. ටෙලි නාට්‍යය පුරාම ඇය කතා කරන්නේ නෑ. අවසානයේ මේ දැරිය ගීතයක් ගායනා කරනවා. ඇය සිංහලද දෙමළද, පේ‍්‍රක්ෂකයා අතරමං වෙනවා. ඔබේ ප‍්‍රකාශනයට මේ චරිතය මොන වගේ ආයුධයක්ද?

ඒක ඉමැජිනේෂන් එකක්. එයා ඇත්තටම සින්දුව කියනවාද නැද්ද? හඩක් තමයි ඇහෙන්නේ. එතකොට ඒ හඩ එන්නේ මෙහෙම කියලා අරගොල්ලො තමයි හිතන්නේ. එයාගෙ භාෂාව ඒකයි කියන එක ඒකෙන් කියන්නේ නෑ.

හරි. කොහොම නමුත් මේ චරිතය පේ‍්‍රක්ෂකයාව අර්බුදයකට දානවානේ. ඇයි මේ චරිතය විශේෂයෙන් පාවිච්චි කළේ.

මෙයා කොයි ජාතියට අයිති කොහොම කෙනෙක්ද කියන එක කවුරුත් දන්නේ නෑ. එයා ඉන්නවා. මෙතන මුස්ලිම් අය ඉන්නවා, දෙමළ අය ඉන්නවා, සිංහල අය ඉන්නවා, එකිනෙකා අතර ප‍්‍රශ්න තියෙනවා. ඔය ඔක්කෝටම අයිති නැති කෙනෙක් ඉන්නවා. එතකොට අර කැමරා කරන තරුණයාටත් හරි සම්භවයක් නැතිව ඉන්නේ. ”මං දෙමළ” කියලා එයා කියනවානේ. ඒත් පොඩි කාලෙ හැදිලා තියෙන්නේ සිංහල පරිසරයක. ඒ හින්දා එයා සිංහල වෙලා. එයාම කිව්වෙ නැත්නම් එයා දෙමළ කියලා අපි දන්නේ නෑ. එතකොට අපි හදාගත්තු අසමානකම් සියලූම දේවල් මවාගත්තුවා කියන එක තමයි ඒක ඇතුළේ තියෙන්නෙ. ඒක ඉදිරිපත් කරන විශේෂ චරිතයක් තමයි අර ළමයා. ළමයා හරහා වෙන තලයකින් ඒ කතිකාවම ගෙනෙනවා. ආයෙ ප‍්‍රශ්න කරන්න හදනවා. හිතන්න පොළඹවනවා මිනිස්සුන්ව. තමන් ගැන හිතන්න.

කේ. ඩී. දර්ශණ