රාවය

සීතාගේ කතාව සහ මුද්‍රා නාට්‍ය සොයා යෑම

සීතාගේ කතාව සහ මුද්‍රා නාට්‍ය සොයා යෑම

 

මුද්‍රා නාට්‍ය යනු වත්මනෙහි අත්හැර දැමූ කලා මාධ්‍යයක් බවට පත්ව තිබේ. ඒ බව වර්තමානයේ මුද්‍රා නාට්‍ය නිෂ්පාදනය නොවීමෙන් පමණක් නොව, කලා මණ්ඩලය යටතේ පවතින අනෙකුත් සියලූම අනුමණ්ඩලවල රාජ්‍ය උත්සව නොකඩවා පැවැත්වෙන පසුබිමක රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙල පමණක් වසර දෙකක පමණ කාලයක සිට නොපැවැත්වීමෙන් වුවද සනාථ වෙයි.

කරුණු එසේ වුවද මෙය මුද්‍රා නාට්‍ය කලාවට වසන්තය උදාවූ වසරක් බවට පත්විය. ඒ අන් කිසිවක් නිසා නොව, මෑතකාලීනව කිසිදු වසරක සිදු නොවූ ආකාරයෙන් මුද්‍රා නාට්‍ය ත‍්‍රිත්වයක්ම මෙම වසර තුළ නිර්මාණය කොට රංගගත වීම සිදුවූ බැවිනි. අනුෂ්කා ඒකනායකගේ දස්කොන්-ප‍්‍රමිලා, ආරියරත්න කළුආරච්චිගේ තුන්බිය, චන්දන වික‍්‍රමසිංහගේ සීතාගේ කතාව එම මුද්‍රා නාට්‍ය ත‍්‍රිත්වයයි.

මේ අතරින් අවසන් වරට රඟදැක්වූ සීතාගේ කතාව මුද්‍රා නාට්‍යය නැරඹීම සඳහා පොදුවේ සැමට ආරාධනා කරන බව චන්දන වික‍්‍රමසිංහ මාධ්‍ය හරහා ප‍්‍රකාශ කර තිබුණත් පැමිණි පසු දැනගන්නට ලැබුණේ එය ආරාධිතයන්ට පමණක් වෙන් කර ඇති බවයි. ආරාධනා පත‍්‍ර නොමැතිව පැමිණ සිටි පේ‍්‍රක්ෂකයන් මේ සම්බන්ධයෙන් විමසා සිටි කල්හි සංවිධායකවරුන් පවසා සිටියේ, ආසන හිස්ව පැවතුණොත් පමණක් ශාලාවට ඇතුළු කළ හැකි බැවින් මඳක් රැුඳී සිටින ලෙසයි. අවසානයේදී නාට්‍ය ආරම්භවීමට ආසන්නව තිබියදී ආරාධනා පත‍්‍ර නොමැති සියලූම පේ‍්‍රක්ෂකයන්ට උඩු මහලට (බැල්කනිය*ට යන ලෙස දැනුම් දුන් අතර බොහොමයක් පේ‍්‍රක්ෂකයන්ට සිදුවූයේ, ආසන නොමැතිව තෙරපෙමින් හිටගෙන නාට්‍යය නැරඹීමටය.

නිර්මාණය නරඹා අවසන් වූ විට පේ‍්‍රක්ෂකයන්ට ප‍්‍රධාන වශයෙන්ම මුහුණපාන්නට සිදුවූයේ, මෙය මුද්‍රා නාට්‍යයක්ද? එසේත් නොමැති නම් සංගීතමය ප‍්‍රකාශනයක්ද? යන්න වෙන්කර හඳුනා ගැනීමේ උභතෝකෝටියටය. ඒ මන්දයත් මෙහි නර්තනාංග පරයා සංගීතය හා ගීත ප‍්‍රබලව නැගී සිට ඇති බැවිනි. මෙහි අන්තර්ගත ගීත සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදී මෙය ගීත නාටකයක්ද යන පැනයද පේ‍්‍රක්ෂකයා තුළ මතුවීම අරුමයක් නොවේ. එය නර්තන නිර්මාණකරුවෙකු වශයෙන් චන්දන වික‍්‍රමසිංහගේ අසමත්කම වසන් කිරීම සඳහා භාවිත කළ උපක‍්‍රමයක් වශයෙන්ද හඳුනාගත හැකි නොවන්නේ නොවේ. මෙහි ගීත සහ සංගීත ඛණ්ඩ නොතිබුණානම් පේ‍්‍රක්ෂකයා මෙපමණවත් මෙම නිර්මාණය කෙරෙහි ආසක්ත වේ යයි සිතාගත නොහැකි වනුයේ, පේ‍්‍රක්ෂක ආකර්ෂණයට බඳුන් වන ආකාරයේ, නර්තනාංග මෙම නිර්මාණය තුළ අන්තර්ගතව නොතිබුණු බැවිනි.

චන්දන කරළියට පැමිණියේ, ගීත සඳහා නර්තනාංග නිර්මාණය කරන්නෙකු වශයෙන් බවද මෙහිලා අප අමතක කළයුතු නොවේ.

මෙය රාවණා විසින් සීතා රඳවා තබාගෙන සිටීමේ සිද්ධියෙන් ආරම්භ වී රාමා විසින් රාවණා යුදමය වශයෙන් පරාජය කොට සීතා බේරාගෙන ඇය කැඳවාගෙන ගොස් ඇගේ පතිවෘතාව පරීක්ෂා කිරීමේ ක‍්‍රියාවලිය දක්වා විනාඩි 50ක පමණ රංග කාලයක් තුළ විහිදී යන නිර්මාණයක් වන අතර අග්නි පරීක්ෂාවෙන් අනතුරුව රාම කෙරෙහි කළකිරීමෙන් යුතුව සීතා රාම අතහැර මාලිගයෙන් පිටව යාම හා රාවණා හා මන්දෝදරී අතර වන පේ‍්‍රමය උත්කෘෂ්ඨයට නැංවීම හැර රාමායණය හරහා අප අසා කියවා ඇති චරිත සහ සිදුවීම්වලට නව අර්ථකථන ලබාදීමට උත්සුක වූ නාට්‍යයක් බවට මෙය පත්ව නොතිබිණ. ඒ වෙනුවට අප අසා කියවා දැනඋගත් චරිත සහ සිදුවීම් කිහිපයක් එයාකාරයෙන්ම වේදිකාව මත නිරූපණය වූවා පමණි. එයද සුපැහැදිලිව ප‍්‍රක්ෂේපණය වූවාද යන්න සැක උපදිනුයේ, රාමායණය සම්බන්ධයෙන් ප‍්‍රාමාණික දැනුමක් නොමැති පේ‍්‍රක්ෂකයෙකුට මෙය අපබ‍්‍රංසයක් විය හැකි වන බැවින්ද වෙයි.

ඉතිහාසයේ සිටම වර්තමානය දක්වාම බොහොමයක් මුද්‍රා නාට්‍යකරුවන් බොහෝවිට තම නිර්මාණ සඳහා පාදක කරගනු ලැබූයේ, පේ‍්‍රක්ෂකයා කලින් දැනුවත්ව සිටි සාහිත්‍ය, නාට්‍ය ප‍්‍රමුඛ අවශේෂ කලා කෘති, ජනප‍්‍රවාද, ඓතිහාසික සංසිද්ධි හෝ සත්‍ය සිදුවීම්ය. චිත‍්‍රසේනගේ නළ දමයන්ති, වසන්ත කුමාරගේ හිරෝෂිමා පමණක් නොව මෑතකාලීනව නිර්මාණය වූ රවිබන්දු විද්‍යාපතිගේ ඔතෙලෝ, නිලාන් මලිගැස්පගේ තම්බපණ්ණි ආදරය නොහොත් කුවේණි විජය මෙන්ම අනුෂ්කා ඒකනායකගේ දස්කොන්-ප‍්‍රමිලා, ආරියරත්න කළුආරච්චිගේ තුන්බිය වැනි නිර්මාණ ඒ සඳහා දෙස් දෙනු ලැබීය. මෙම මුද්‍රා නාට්‍යකරුවන් එවන් අත්දැකීම් තම නිර්මාණ සඳහා පාදක කරගනු ලබනුයේ, ස්වකීය ප‍්‍රකාශනයෙහි නිරවුල් හා සුපැහැදිලි බව සම්බන්ධ වගකීමෙන් නිදහස්වීම සඳහා මිස අන් කිසිවක් සඳහා නොවන බව මෙහිලා අප තරයේ පසක් කොට ගත යුතුය.

එමෙන්ම මෙය නිර්මාණශීලී කලාත්මක මුද්‍රා නාට්‍යයක් ලෙසින් හඳුනාගනු ලබනවා වෙනුවට වාර්තාමය මුද්‍රා නාට්‍යයක් ලෙසින් පමණක් හඳුනා ගැනීමට අපට සිදුවෙයි. ඒ සඳහා ප‍්‍රධාන හේතු සාධකය බවට පත්ව ඇත්තේ අතිශයින්ම දුර්වල මෙහි පිටපතයි.

මෙහි නර්තන ශිල්පි, ශිල්පිනියන්ට කැපී පෙනෙන කුසලතා විදහා දක්වනු වස් ඉඩහසර විවර කරදී නොමැත්තේද මෙම පිටපතයි. සීතාගේ චරිතය නිරූපණය කරන ශිල්පිනිය සම්බන්ධයෙන් චන්දන මාධ්‍ය හරහා පේ‍්‍රක්ෂක කුතුහලය දනවන ආකාරයේ, පූර්ව ප‍්‍රකාශ සිදුකරනු ලැබූවද ඇයටද මෙම නිර්මාණය තුළ කරන්නට යමක් නාට්‍ය පිටපත විසින් ඉතිරි කරදී නොතිබිණ.

ආලෝකකරණයෙන්ද සැලකිය යුතු පදනමේ ආලෝකයක් නාට්‍යයට ලැබී නොමැති අතර පසුතල නිර්මාණ කාර්යයද නාට්‍යයේ දෘශ්‍යමය ගුණය ඔප් නැංවීමෙහිලා ප‍්‍රබල මෙහෙයක් ඉටුකර ඇති බවක් නොපෙනේ.

චමින්ද වෑවලගේ