රාවය

මාදුගඟ අසල සලාගම විජිතය

මාදුගඟ අසල සලාගම විජිතය

ඇය නිසංසලේය. මම ඇය වෙත තුරුලූ වෙමි. ඇය සසල වන්නීය. සිහින් සුළඟක් මා වෙලා ගනියි. කරිජ්ජ සුවඳකි. වී අකුරේ හැඩයට දිය සරැුලි නගමින් අප පසුකර යයි. තැනක තිත්තයෙක් දෝ කොහේ දෝ උඩ පනියි. අපිද සරැුලි පරයා උඩ පනිමු. දෙපස සරු කුරුඳු තුරු ද තවත් තැනක බට පතුරින් බැඳි ඉස්සෝ උගුල් ද අප පසුකර පසුපසට වෙයි. ඉන්පසු නිසොල්මනේ බලා හිඳියි.

ඌරගස්මංහන්දිය පොල්අතු පළාතේ පුංචි කඳු මුදුනක, පහළ තැනි මඩවගුරක හටගන්නා පුංචි දිය කඳුරක් මහා ගඟක් වී ගලන්නේ මාදු ගඟ ලෙසය. ඇය ගඟක් නම් ඔහු, මුහුද හමුවන්නේ බලපිටියේදීය. ඌරගස්මන්හන්දිය ගැන ලියන බ්‍රෝහියර් සුදු මහත්තයා නම් කියන්නේ, මේ බිම එවක සරු තැනිතලාවක් බවය. හැම තැනම නිලට නිලේ නිල්පාට බවය. මේ බිමේ බෝයර් සිරකරුවන් රඳවාගෙන සිටි එළිමහන් සිරකඳවුරු තිබූ බවක්ද ඔහු ලියයි. දැන් අපි ඌරගහට ඉහළ අහසට නගිමු. මාදු ගං කොමළිය කුරුලූ ඇසකින් නැරඹුවා නම් පෙනෙන්නේ දුපත් රැසක් ළයෙහි සඟවාගෙන සිටින ජලාශ යුවතියක සේය.

ඇය එක කලෙක මුහුද හා බැඳෙන අතර තවත් කලෙක විප‍්‍රයෝගයෙන්ම සිටින්නීය. බලපිටිය අම්බලන්ගොඩ ඌරගහ ආදි ප‍්‍රදේශවලට මායිම්ව ඇය සිටින්නී, මාදුව, කොත්දුව, දික්දුව, ශත පහේ දුව, තල්දුව, කඩාපාන දුව, පෙරියමරක්තල දුව, තිනිය දුව, මිමා දුව, එරවන දුව, දිමිදුව, හොන්දුව, මිල සරල දුව, මුවන් දුව, අප්පල දුව, සහ මියම් දුව නම් රමණීය දුපත් ඇගේ තුරුලේය. ඇගේ වටේ බිම මෙන්ම ඇය මත ජීවත් වෙන දුපත් දරුවන් මතත් නිලට නිලේ වැජඹෙන්නේ කුරුඳු ගස් ය. විටෙක රත් දැල්ලෙන් ද විටෙක ලා කොළ දලූවලින්ද සැරසෙන මේ තුරු, අනගි රසකාරකයක් ය. එනිසා මේ අවට ජීවිත කුරුඳු ගහින් ගලවා ගන්නට බැරිය. ලංකාවේ වැවෙන සරුම කුරුඳු මෙහි බව බොහෝ දෙනෙකුගේ මතයයි. මේ කුරුඳු නිසා යටත්විජිත කල මේ බිම හොඳටම බටහිරකරණය විය. එය සිංහලේට සාපේක්ෂව ය.

වාලූකා ථිත්ත

අපි මේ සරණ මේ නදිය අතීත අනුරපුර කාලයේදී වාලූකා ථිත්ත බව සමහර උගතුන්ගේ මතයයි. ඉතිං මේ ගං කොමළිය මුහුද සමඟ බැඳෙන මේ බිම අතීතයේ සල්ගමුව, වාලූකා නම් රට, සාලිය රට, වැලිතොට, වැලිතෙර, වගේ නම් රැසකින් හැඳින්නුවේලූ.
එහෙත් දඹදෙණි යුගයෙන් පසු බලපිටිය නම් විය. ඒ ඇයි? පිළිතුර විදියට උගතුන් කියන්නේ දේවපතිරාජ යුද සෙන්පතියා කේරළ කුලී හමුදාවක් සමඟ කළ සටනින් පසු මේ බිම බලපිටිය වුණ බවයි. මෙකල පොළොන්නරුව පාලනය කළ කාලිංග මාඝගේ ආරාධනාවකින් මෙහි ආ චන්ද්‍රභානු ප‍්‍රධාන හමුදාව සමූල ඝාතනය කර ආයෙත් වැලිතොටින් සතුරෙකුට එන්න බැරිවෙන්න විශාල බලසේනාවක් පිහිටුවීම නිසා බලයක් ඇති අරුත ගෙන බලපිටිය යනුවෙන් මේ ඉම් පෙදෙස නම් වුණා කියන්නේය. බටපිටිය කාලයාගේ ඇවෑමෙන් බලපිටිය වුණා කියන්නේ මේ නිසා වන්නට බැරි නැත. ඉන් පස්සේ ලන්දේසි යුගය වෙනකොට වැලිතොට නමින් වූ මේ ඉම් පෙදෙස බෙන්තර ගඟ මායිමේ සිට ගිං ගඟ මායිම දක්වා පැතිරුණු ලොකු ප‍්‍රදේශයක්ය. මෙහි පාලනය මහබද්ද යටතේ සිදුවුණි. මෙහෙව් බලපිටිය නැතිනම් වැලිතොට එදා තිසර සංදේශකරුවා දැක්කේ කොහොමද?

මුතුපට සේය වැලිතර උදුළ මුවදොර
දියපිට සේය දිසිවරු තගෙ මැ මනහර
සහතුට ඒය සියලිය යන සැකිනෙ වර
වැලිතොට ඒය ඉන්ලැසි නොව යව මිතුර

ඉතිං අපිත් ලැසි නොවී ඉදිරියට යමු මිතුර. මේ සියලූ කතාබතා අස්සේ මට වැදගත් වෙන්නේ ජනවිවිධත්වය අස්සේ බලපිටිය ගැන කතා කරන්නේ කෙලෙසකදැයි සෙවීමය.

”බලපිටිය කිව්වාම එස් කට්ටිය තමයි වැඩිපුර ඉන්නේ. අම්බලන්ගොඩ කිව්වාම කේ කට්ටිය තමයි වැඩිපුර ඉන්නේ.”
අපේ ඔරු මාමා හබල ඔඩොක්කුවට ගෙන ඔරුව එහෙට මෙහෙට පැද්දෙන ඇසිල්ලක කියන්නේය.

”එස් කියන්නේ සලාගම, කේ කියන්නේ කරාව.” ඔහු තව තවත් මේ කුල වත්ගොත් ගැන කියාගෙන යන්නේය. මේ කියන සලාගම කුලයේ ආරම්භක කතාව කුමක්ද? බලපිටිය ගැන පොත් ලියූ ඒ විජේපාල සිල්වා ඒ පිළිබඳව කියූ කතාවය මේ.

සලාගම කුලය

‘දඹදෙණි යුගයේ ලියවුන සිදත් සඟරාවේ මේ කවිය අහලා තියෙනවාද?

සිදුවන සිදු කිය කුඹුයොන නම සතරා
කිවි සෙවෙත වැලිනී යළ නොගොරා
අරුණු කිහෙයිනි වී කේරළන් ලැබ රුහිරා
පැටිවනැ දෙසැ යුධ පතිරජ දිය ඉසුරා

කි‍්‍රස්තු වර්ෂ 1258 චන්ද්‍රභානුගේ ආක‍්‍රමණය මර්දනය කරලා කේරළ හමුදාව සමූල ඝාතනය කළ ඒ බිහිසුණු සටන ගැන තමයි මේ කවියෙන් කියන්නේ.

එදා වැලිතොට කිව්වේ මේ බලපිටියට තමයි. මේ සටන මෙහෙයවූවේ දේවපතිරාජ කියන අමාත්‍යවරයා. ඔහුට හිටියා අගම්පඩි හමුදාව. මේ හමුදාව ගැන මෙතුමාගේ කුලගොත් ගැන කියන්න කලින් මම කියන්නම් මේ සලාගම කුලය ඇතිවුණේ කොහොමද කියලා. පොළොන්නරුවේ රජකරපු මහා විජයබාහු රජතුමාගේ අභිෂේක මඟුලට ගෙන්නුවා උතුරු ඉන්දියාවේ ශාලි කියන ග‍්‍රාමයෙන් උගත් බමුණන් සත්දෙනෙක්. ඒ බමුණෝ තමයි නම්බුදිරි, කප්පින, වීරසිංහ, වීරක්කොඩි, ඉදිරිමුණි, වලිමුණි, එදිරිසිංහ. ඉතිං බලපිටිය ජනාවාස වුණේ මේ බමුණන්ගෙන් සහ අර මම මුලින් කියපු අගම්පඩි හමුදාවෙන්. මේ වගවාසගම් තියෙන අය තමයි බලපිටියේ අදටත් ඉන්නේ.”

අතීත වැලිතොට නැතිනම් සල්ගමුව නැතිනම් වාලූකා නම් රටේ මිනිස් ඉතිහාසය ඇරඹුණා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ කතාවට අනුවයි. සලාගම බොහෝ පැරැුන්නෝ උජාරුවෙන් කියන්නෝ තමන් බමුණු කුලයකින් පැවතගෙන එන උසස් වංශවතුන් බවයි. ඉතිං මේ පුරවරයේ අදත් ඒ වංශවතුන් ජීවත් වුණු සුවිසල් වලව් දකින්නට පුළුවන. ඒ වගේම මියපරලොව ගිය වංශවතුන් නිදන සොහොන් කොත් පොකුරු ගාලූ පාර අයින දිගට තැනින් තැන විසිරිලා සෑහෙන්න තිබේ. මේ නිසාම බලපිටිය කියූ ගමන් මට නම් මතකයට එන්නේ වලව් සහ සොහොන්ය.

අපි ගාලූ පාර අසල සොහොන් වදුලූ බොහෝමයකට ගියෙමු. නම්බුදිරි, කප්පින, වීරසිංහ, වීරක්කොඩි, ඉදිරිමුණි, වලිමුණි, එදිරිසිංහ ආදි නම් අගට ඈඳුණු බොහෝ නම් සොහොන් කොත්වල ලියැවී තිබෙනු දැක්කෙමු. ඒ අතර සොයිසලාද සිල්වලාද බොහෝ ය. ඒ බමුණන් බටහිර සරණ ගිය හැටිය. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි යුගවල ධනපතියන් වී පසුව දානපතියන් වූ බොහෝ දෙනෙකු බලපිටියේ ඉතිහාසය අලූතින් ලියා ඇත. උගතුන්, බුද්ධිමතුන්, දේශපාලකයන් රැසක් මේ බලපිටිය බිහිකර ඇත. එය ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශ සමඟ සැසඳීමේදී සුවිශේෂ ය. ඒ පිළිබඳව උවමනා නම් වෙනත් ලිපියක් වුවත් ලිවිය හැකිය. මේ සියල්ලටම මූලිකම හේතුව කුරුඳු ගහේ බලය බව මුලින්ම කිව යුතුය. අනෙක් පැත්තෙන් මේ ජනවර්ගය පරපුරෙන් පරපුරට උරුම කරගෙන එන ජානමය ලක්ෂණ නිසා වන්නටත් ඇත.

වලව්

දැන් නම් බොහෝ වලව් ඉලව් වී ඇත. එහෙත් බලපිටියට සුවිශේෂ මේ වලව් ගැන කතා නොකරම බැරිය. වලව් ගැන කියන සුමංගල ශබ්ද කෝෂ කතුවරයා උසස් ගිහියන් වසන ගෘහ වලව් බව කියයි. වලව් ගැන තිබෙන අනෙක් අදහස, ගෙවල්වලින් වටවූ විශාල භූමි ප‍්‍රමාණයක පිහිටි මන්දිරය කියන එකය. බලපිටියේ එක පෙළට විසිරුණු වලව් පෙළ ගැන මම විජේපාල මහත්තයාගෙන් කරුණු ඇසුවෙමි. ඔහුට තිබුණේ මෙවැනි පිළිතුරක් ය.

”ලංකාවේ තිබෙන වලව් ගැන කවුරු හරි සමීක්ෂණයක් කළොත් වැඩියෙන්ම වලව් පිහිටලා තියෙන මැතිවරණ කොට්ඨාසය තමයි බලපිටිය. මහ විදානේ වලව්ව, ගොඩැල්ලේ වලව්ව, කුරුඳුවත්ත වලව්ව, නොතාරිස් වලව්ව, පාරේ වලව්ව, මාකුඹුර කප්පින්න දෙවැනි වලව්ව, මරදාන වලව්ව වගේ වලව් 23ක් තිබෙනවා.”

බලපිටියේ ප‍්‍රසිද්ධම වලව්ව කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනෙකුගේ උත්තරය වන්නේ කප්පින්න වලව්ව යන්නයි. එක අතකින් ඒ ගම්පෙරළිය, විරාගය වැනි චිත‍්‍රපට නිසා වන්නට ඇත. නැතිනම් අනෙක් පැත්තෙන් හලාවත සිට ගිං ගඟ ඉමට කුරුඳු ඒකාධිකාරයක් හිමිකරගෙන හිටි කප්පින්න වලව්වේ මහ මුදලිවරුන් ගැන ජනකතා නිසා වන්නට ඇත.

කෙසේ හෝ අපිද මේ වලව්ව සොයා ගියෙමු. දැන් ඒ බිමේ ඉතිරිව තිබෙන්නේ මැද මිදුලේ සිටුවා තිබුණු අඹ ගස පමණි.
”වලව්ව හදන්නට අත්තිවාරම හාරන්නට සූදානම් වුණා. කිරි ඉබ්බෙකු මතුවුණා. ඊට පස්සේ මේ කිරි ඉබ්බා ගිය ගමන් මාර්ගය අනුව තමයි මේ මහා කප්පින්න වලව්වට අත්තිවාරම් දැම්මා කියලා කියන්නේ. කිරි ඉබ්බා ගිය වට රවුමේ හැදු වලව්වට මැද මිදුල් 4ක්, කාමර 14ක්, අශ්ව ගාලක් සහ සේවකයන්ට වෙනම කාමරයක් තිබුණා. මට පුංචි කාලේ මේ වලව්ව හොඳට මතකයි. ලෙස්ටර් මහත්තයා චිත‍්‍රපටිය කරනකොට අපි ඇවිත් බලාගෙන ඉන්නවා. එංගලන්තයේ පස්වෙනි ජෝර්ජ් රජතුමාගේ රාජාභිෂේකයට ලංකාවෙන් ධනපතියන් හතරක් ගියා. මේ වලව්වේ මුඞ්ලියර් සැම්සන් රාජපක්ෂය හාමු මහත්තයා තමයි ඒ අයගෙන් එක්කෙනෙක්. සල්ලි ඉඩම් ඕසෙට තිබුණා. ගොඩක් ඉඩම් දේපළ ධනට පිනට දුන්නා.

උඩරට හාමුදුරුවෝ අපේ හාමුදුරුවන්ට උපසම්පදාව දෙන්න බැහැ කියනකොට මේ වලව්වේ මහා මුදලිතුමා තමයි මැදිහත් වෙලා අපේ හාමුදුරුවන්ට උපසම්පදාව අරගෙන දුන්නේ.” අපේ ඔරු පදින මාමා කියවාගෙන කියවාගෙන යන්නේය. ඔහුට තමන්ගේ ප‍්‍රදේශයේ තමන්ගේ පරපුරේ මේ වලව් පරපුර ගැන අභිමානයක් තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය.

අපි නැවතත් ඔරුවට නැග ගතිමු. එක් පැත්තක සලාගම මිනිසුන්ගේ බලපිටිය ග‍්‍රාමයයි. අනෙක් පස කරාව මිනිසුන්ගේ අම්බලන්ගොඩ ග‍්‍රාමයයි. ඉදිරියෙන් අපට ළංවන්නේ දේව වංශිකයන්ගේ කරන්දෙණිය ග‍්‍රාමයයි. ලංකාවේ ජන සිතියම කොතරම් වර්ණවත් දැයි මට සිතෙයි. මේ කුල තුනම ධුරාවලියකට සකස් කළහොත් සලාගම කුලය ඉහළට එයි. ඒ අතීතයේ ගොඩ නැංවීමය. මේ කුල තුන අතර සල්ලි අතමිට යහමින් ගැවසුණු කුලයද සලාගම කුලය වෙයි.

කොත්දුව රජමහා විහාරය දැන් ඇස් මානයේ ය. කෝට්ටේ යුගයේදී පරංගින්ගෙන් දළදාව සුරැුකීම සඳහා වීදියේ බණ්ඩාර විසින් දළදාව මෙහි ගෙනවිත් ටික කාලයක් සඟවා තිබුණු බව ජනශ‍්‍රැතිය කියයි. තවත් තැනකදී අප පසුකර යන ධීවරයෙක් අපිට අත වනයි. තවත් තැනක රාත‍්‍රී වැඩ මුරය අවසන් කළ ඉස්සෝ කොරටුවක් අප දෙස බලාගෙන ඔහොක් කරගනී. වාලූකා නදිය නැතිනම් මාදු නදිය නිහඬය. අපි ඇයගේ නිහැඬියාව බිඳ දමමින් මේ ගං කොමළියගෙන් එතෙර වන්නට ඔරුවත් උඩ තදියම් වෙමු.