කුරුණෑගල ලස්සන කරන මිනිසුන්ගේ අසීරු ජීවිතය

රසික ගුණවර්ධන

උතුරට ද දකුණට ද කියලා වෙනසක් නැතුව ලංකාවේ හැම පැත්තටම යන්ඩ පුළුවන් නගරක් තමයි කුරුණෑගල. ඒ වාගේම ලංකාවේ කාර්යබහුලම නගර අතරින් එකක්. ඉතින් එහාටයි මෙහාටයි ජීවිතේ හොයන මිනිස්සු දවසට ලක්ෂයක් විතර කුරුණෑගල ගැවසෙනවා. මේ කාර්යබහුල කුරුණෑගල සංකේතක් විදිහට සැලකෙන්නේ ඇතුගල. ඒ හින්දාම කුරුණෑගලට ඇතුගල් පුර, හස්ති ශෛලපුර කියලාත් කියනවා.

ඒ වගේම ඇතුගල පහළ තියන කුරුණෑගල වැවත් නගරේ සුන්දරත්වය වැඩිකරනවා. උදේ පාන්දර බාන මීදුම ඇතුගලයි වැවයි එක්ක එකතුවෙලා කාර්ය බහුල නගරෙට එකතු කරන්නේ අපූරු සුන්දරත්වයක්. කුරුණෑගලට ඉහත්තාවේ වන්නි මායිම. පහළ එක පැත්තක නුවර මායිම. අනෙක් පැත්තෙ බස්නාහිර මායිම. ඔය පිහිටීමත් එක්කම මධ්‍යම අධිවේගී මාර්ගයත් කුරුණෑගල හරහා යන හින්දා කුරුණෑගල බිමේ වෙළෙඳ අගයත් මේ වෙනකොට බොහොම ඉහළ ගිහිල්ලා. ඔය විදියට දවසින් දවස බිමේ වටිනාකම ඉහළ යද්දී ඒ බිමේ ජීවත් වීම හින්දාම අසාධාරණයට පත්වුණු මිනිස්සු පිරිසක් හොයාගෙන අපි ගියා.

කුරුණෑගල නගරෙ ඉඳලා වැඩිම වුණොත් කිලෝමීටර දෙකයි. පුවක්ගස් හංදියෙන් වමට හැරිලා බොහොම පොඩි දුරක් යනකොට මේ ගම හම්බවෙනවා. ගමට ඇතුළු වෙන තැනම තියෙන්නේ කෝවිලක්, සෑහෙන පරණ පෙනුමක් තිබුණාට මේ ළඟකදී අලූතෙන් තව කොටසක් එකතු කරලා තියනවා කියලා බැලූබැල්මටම හොයාගන්න එක අමාරු නෑ. මේ ගමේ මිනිස්සු තමයි ලස්සන කුරුණෑගල ලස්සන කරන්නේ. කුරුණෑගල නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන්ගේ නිවාස පේළිය තමා මේ. නමින් කීවොත් විල්ගොඩ,

විල්ගොඩ වත්ත.

අපි රාවය පත්තරෙන්. පොඞ්ඩක් කතාකරමුද?

අපි කෝවිලේ එළිපත්තේ වාඩිවෙලා හිටපු මහත්තයෙක්ගෙන් ඇහුවා. මුලින්ම අපිට හිනාවකින් සංග‍්‍රහ කළ ඔහු අපිට ඉන්න කියලා කෝවිල ඇතුළට ගිහින් එක්ක ආවේ කෝවිලේ පූජකතුමා, එහෙම නැත්නම් ගමේ වැඩිහිටියා. අපි ආ කාරණේ ඔහුට කියලා ඔහුත් එක්ක කතාවට වැටුණා.

ඉතිහාසය

”මේක අපි ඉපදුණු ගම. අපේ ආච්චිලා සීයලා පවා ඉපදුණ ගම මේක.”
”මේවා සුද්දාගේ කාලේ කොහුමෝලේ මිනිස්සුන්ට හදලා දුන්න ගෙවල්. මේ ඉඩමේ අයිතිය තිබිලා තියෙන්නේ එම්. ඕ.එච්. මහත්තයාට. එයා තමයි ගෙවල් හදන්න කියල ඉඩම දීලා තියෙන්නේ.”

ඔවුන් කියන විදියට මේ ගම සෑහෙන්ඩ පරණ ගමක්. ලංකාව යටත්විජිතයක් වෙලා තිබුණ කාලේ මේ අවට විදේශිකයෙක් කොහුමෝලක් කරලා තියනවා. ඒකෙ වැඩකළ ස්වදේශිකයන්ට ඉන්න හදලා දුන්න ගෙවල් ටික තමයි මේ ගමේ ආරම්භය. මුලින් ගෙවල් බොහොම සුළු ප‍්‍රමාණයක් තිබුණාට පස්සේ කාලයත් එක්ක පිරිස වැඩිවෙද්දී ගෙවල් ප‍්‍රමාණයත් වැඩිවෙලා තියනවා. ලංකාවට නිදහස ලබනවාත් එක්කම ඔය කොහුමෝලත් වැහිලා යනවා. ඊට පස්සේ ගමේ මිනිස්සු නගර සභාවේ රැකියාවලට එකතු වෙනවා. පස්සේ ගමේ මිනිස්සු නගර සභාවේ වැඩට යාම හේතුකරගෙන මේ ගම සනීපාරක්ෂක කම්කරුවන්ගේ නිල නිවාස විදියට නම් කරනවා. එහෙම නම් කරන්නේ බොහොම මෑතකදි කියලායි ගමේ ඉතිහාසය දන්න මිනිස්සු කියන්නේ.

පසුගිය රජයන්

ඉතිහාසය ඔය විදිහට මොන කතා කීවත් දැන් ඒ ඉතිහාසය අවලංගු වෙලා ගිහිල්ලා. දැන් ඔවුන් ඉතිහාසයට අයිති නැති, අනාගතයටත් අයිති නැති, අඩුමගානේ වර්තමානය ගැනවත් සුබ සිහින දකින්න ඉඩ නැති මිනිස්සු කොටසක් වෙලා. ඒක එහෙම වෙලා තියෙන්නේ ප‍්‍රධාන වශයෙන්ම ඔවුන්ට තිබෙන නිවාස ගැටලූව නිසා. රජයන් විසින් දිගින් දිගටම නිවාස ඉදිකරලා දෙනවා කියලා පොරොන්දු දුන්නත්, ඒ හැම එකක්ම පොරොන්දුවක්ම විතරක් වෙලා. වර්තමානේ ඔවුන්ගේ නිවාසවල තත්ත්වය ඇත්තටම දුක්ඛිතයි. වහලවල් හිල්වෙලා. වැස්සට තෙමෙනවා. වැසිකිළි වළවල් උතුරලා. ගම හැමතැනම දුර්ඝන්ධය පැතිරිලා. ඒ විතරක් නෙවෙයි. ගම අයිනෙන් ගලාගෙන යන ඇළ ඉතිරුවාම මුළු ගමම යට වෙනවා. එතකොට ඔවුන්ට වෙන්නේ ගෙවල්වලින් එළියට බැහැලා වතුර බහිනකන් මහ පාරට වෙලා ඉන්න.

ගම්වාසීන් කියන විදිහට දැන් ගම නගර සභාවට අයිති නිසා නගර සභාවෙන් නොයෙකුත් ආකාරයේ කෙණෙහිළිකම් මේ මිනිස්සුන්ට වෙනවා. නගර සභාව තමන්ට අයිතිය තියෙන නිසා අසීමිත විදියට මිනිස්සු මතට බලය මුදාහරින්න දෙපාරක් හිතලා නෑ. ඔවුන් විවිධ හේතු දක්වමින් ගෙවල් කිහිපයක් අත්පත් කරගෙන. ඒ විතරක් නෙවෙයි ඔවුන්ව ගමෙන් එළවලා භූමිය අත්පත්කර ගැනීමේ උත්සහයක මේ වන විටත් නිරත වෙලා ඉන්නවා කියලායි මිනිස්සු අපි එක්ක කීවේ.

අපි ඔහොම කථා කරගෙන ගම දිහාට ඇවිදගෙන යද්ා එළියට ආවා. ඒත් ඒ මූණුවල තිබුණේ බලාපොරොත්තු සහගතබවක් හරි, සංවේදීබවක් හරි නෙවෙයි. ඒ හැ`ගීම් රහිත මූණු සැබෑව, මායාව සහ ජීවිතය එක්ක සෙල්ලම් කරනවා. ඒ සෙල්ලමෙන් ඔවුන් හැබෑවටම හෙම්බත් වෙලා. ඒ හෙම්බත් වෙච්ච සෙල්ලමේ ප‍්‍රතිඵලයක් විදියට එක්කෙනා එක්කෙනා කතාව පටන් ගන්නවා.
”මේ ගම සුද්දාගේ කාලේ මීට වඩා තව ටිකක් ලොකුයි. පස්සේ පේ‍්‍රමදාස මහත්තයාගේ කාලේ අපිව රවට්ටලා ගමෙන් කෑල්ලක් වෙන කට්ටියකට දුන්නා.”

ඒ කීවෙ?

”ඒ කාලේ නගරාධිපතිව හිටියේ ආර්.බී. රැුකව මහත්තයා. ඒ කියන්නේ පේ‍්‍රමදාස මහත්තයාගේ කාලේ. විල්ගොඩ පුර කියල අලූතෙන් ගමක් හදන්න පටන් ගත්තා. ඒ කාලේ අපේ ගෙවලූත් තිබුණේ ඔය හරියේ. ඉතින් අපිට ගෙවල් හදලා දෙන්ඩ ඉඩ ඕනෑ කියලා අපිට අයින් වෙන්න කීවා. අපිත් ඉතින් ගමේ මිනිස්සුන්ට ගෙවල් හදෙනවානේ කියලා අයින් වුණා. එහෙම අයින් වුණා කියලා අපිට යන්න තැනක් තිබුණේ නෑ. අපි පාර අයිනට ඇවිල්ලා පොඩි මඩු ටිකක් හදාගත්තා ගෙවල් ටික හදලා දෙනකන්. කොහොම හරි ගෙවල් ටික හදලා ඉවර වුණා. ඒත් ඒ වෙද්දි අපේ තාත්තලාට ඡුන්ද අයිතිය තිබුණේ නෑ. ඒ හින්දා ගෙවල් ටික අපිට දුන්නේ නෑ. ඡුන්දේ තිබුණ තේරස් මුදලාලිටයි තව ටවුමේ මුදලාලිලා දෙතුන් දෙනෙකුටයි ගෙවල් ටික දුන්නා, අපිට බොරු පොරොන්දු දීලා අපි හිටපු තැනුත් නැති කරල දැම්මා.’’

ඔවුන් අතීතයට එබෙනවා. ඒ අතර සාදා නිමකර දුන් ගෙවල් දෙස බලාගෙන සිතින් වැළපෙනවා.
ඊට පස්සේ කිසිම රජයකින් මේ ගැන හොයල බලූවේ නැද්ද?
”පල්ලියේ ෆාදර් එකතු වෙලා සුදු මහත්තුරු වගයක් එක්ක අපිට ගෙවල් හදලා දෙන්න හැදුවා. ඒත් නගර සභාවේ ඒ කාලෙ නිලධාරීන් ඒකට අවස්ථාවක් දුන්නේත් නෑ.”
අපේ රටේ සාමාන්‍ය ප‍්‍රතිපත්තියනේ මොකක් හරි වැඩක් කරලා කීයක් හරි සාක්කුවට දාගන්න එක. එහෙම චාන්ස් එකක් මේකෙනුත් ගන්න හැදු හින්දා තමයි ඒ ව්‍යාපෘතියත් නැතිවුණේ කියලා ඔවුන් කියන්නේ.

කොහොම හරි නැවත සැරයක් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව කාලේ මොවුන්ට නිවාස ව්‍යාපෘතියක් ලැබෙනවා.ඒ ඔවුන් දැනට ඉන්න ගම තියන තැන නම් නෙවෙයි. වෙන තැනකට. ගෝඨාභය එහෙම ඇවිල්ලා සෑහෙන ලොකු උත්සවයක් තියලා මුල්ගලක් තියන්නේ ඔවුන්ට නිවාස ව්‍යාපෘතියක් ඉදිකරන්න. ඒත් වැඬේත් තැනම ලොප් වෙලා. මුල්ගල තිබ්බ තැන දැන් විශාල කැළයක් වැවිලා. ව්‍යාපෘතියට කනකොකා හඬලා තියෙන්නේ වෙන මුකුත් හින්දා නෙවෙයි රජයට තිබුණ ප‍්‍රධාන අරමුණ ව්‍යාපෘතිය නිම කිරීම නොවන හින්දයි කියලායි ගමේ මිනිස්සු කියන්නේ.

”ගෝඨාභය මහත්තයා හැදුවේ අපිව මෙතනින් එලවලා මේ ඉඩම ගන්න. මේ හරියේ පර්ච් එක ලක්ෂ විස්සක් විතර වෙනවා. මේ කොටසේ තියනවා අක්කර හතරයි තුන්කාලක්. හිතලා බලන්නකෝ කෝටි කීයක්ද කියලා. හැබැයි දැන් ඒගොල්ලො නෑ කියලා උත්සාහය අත ඇරලා නෑ. දැන් ඒ වැඬේ කරන්නේ වෙනම විදියකට.”

වර්තමානය

ඔවුන් කියන විදියට මේ වෙද්දී ඔවුන් ඉවත් කිරීමේ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක වෙනවා. ඒක ආරම්භ කරලා තියෙන්නේ හරි සියුම් විදිහට. මුලින්ම ගමේ අය නගර සභාවේ වැඩට ගන්න එක අඩු කරලා. ඊට පස්සේ විශ‍්‍රාම ගන්න සේවකයන් ගෙවල්වලින් අයින් කරනවා. එහෙම අයින් කරලා ඒ ගෙවල් සීල් කරනවා. නගර සභාවේ වැඩකරන කෙනෙකුට ඒව ආපහු දෙන්නේ නෑ. මේ ඒ ගැන කියන ගමේ මිනිස්සුන්ගේ වචන,

”නගර සභාවෙ අය කියනවා පැන්ෂන් ගිය ගමන් අපේ ගෙවල්වලින් යන්ඩ කියලා. අම්මා අප්පා කාලේ ඉඳන් හිටිය ගම දාලා අපි කොහේ යන්ඩද මහත්තයෝ? දැනටමත් ගෙවල් හතරක් සීල් කරලා. කොහොමද ඒගොල්ලෝ අපේ ගෙවල් එහෙම වහලා දාන්නේ. පැන්ෂන් ගිය මනුස්සයාට පැන්ෂන් එක ගන්ඩ ඕනෑනම් ගෙවල් දෙන්න ඕනෑ. පැන්ෂන් අරන් පාරේ තමයි අපට ඉන්න වෙලා තියෙන්නේ. නගර සභාවේ අය කියනවා ගෙවල් දුන්නොත් පැන්ෂන් එක හදලා දෙන්නං කියලා.”

නගර සභාවෙන් වැඩ කරන්නේ හරි සියුම් විදියට. පැන්ෂන් ගිය සේවකයෙකුට තමන්ගේ පැන්ෂන් එක ගන්ඩ ඕනෑනම් ගේ බාරදෙන්න ඕනෑ කියන එක සාමාන්‍ය නීතිය. ඒත් මෙතැනදී ඒ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක කරන එක කොච්චර දුරට මානුෂීයද කියලා හිතලා බලන්න වෙනවා. මොකද මේ මිනිස්සු ඉස්සර ඉඳන් හිටපු ගම රජයෙන් නිල නිවාස විදියට පවරාගෙන තියෙද්දී මේ මිනිස්සු ගෙවල් බාරදීලා කොහෙ යන්ඩද?

තව කාරණයක් තියනවා. ඒක හරි පුදුම එලවනසුලූයි. මේ ගම්මානෙන් ගෙවල් කිහිපයකට මේ වෙනකොට සින්නක්කර අයිතිය දීලා තියනවා. මේවා රජයේ නිල නිවාස නම් කොහොමද එහෙම ගෙවල් සින්නක්කර දෙන්නේ, එක තැනක එකම ගේ එක පැත්තක නිල නිවාසේ කියලා මිනිස්සුන්ව අයින් කරලා ගේ සීල් තියලා අනිත් පැත්ත සින්නක්කර අයිතිය දීලා.

 

ඒ විතරක් නෙවෙයි. ඉස්සර තිබුණ ගෙවල් ගාන මේ වෙද්දි මදි. ඒක හින්දා මිනිස්සු පොඩියට ගෙවල් අටවාගෙන. නගර සභාවෙන් ඒ ගෙවල් අනවසර ඉදිකිරීම් කියලා ඉවත් කරන්න සෑහෙන උත්සාහයක් දරන බව ගමේ මිනිස්සු කියනවා.

”ගමේ පවුල් දෙසිය හැට හතරක් ඉන්නවා, එක පවුලක හතර පස්දෙනෙක් ඉන්නවා. මේ හැමෝටම තියෙන්නේ ගෙවල් එකසිය විස්සයි. ගෙවන ගාන මදි හින්දා සමහර අය පොඩියට ගෙවල් හදාගත්තා. ඒ ගෙවල් අනවසර ඉදිකිරීම් කියලා කඩලා දාන්න හදනවා. අපිට පාරට තමයි බහින්ඩ වෙන්නේ.”

ඒ ගෙවල්වලට ගෙවල් කියන්න පුළුවන් නාමිකව විතරයි. එක ගෙදරකින් එළියට බහිද්දි තව ගේක දොරකඩක්. කොටින්ම කීවොත් ඒ ගෙවල්වලට මිදුලක් නෑ. මනුස්සයෙක්ට යන්ඩ තරම් බොහෝම පොඩි ඉඩක් තමයි තියන වැඩිම ඉඩ.
”අපි නිවාස ඉදිකිරීම් දෙපාර්තමේන්තුවට ගිහින් ඒකෙ ලොකු මහත්තයා හම්බවුණා. එයා කීවා ඔයාලගේ ගෙවල් හදන්ඩ සල්ලි පාස් වෙලා තියෙන්නේ ඒත් (එජාපයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම සදහන් කරයි) කියනවාලූ දැන්මම ගෙවල් හදන්න එපා කියලා.

ඒගොල්ලන්ට බලය ආවාම හදන්න ගන්නලූ”

ගමේ උගත් තරුණයෝ තමන්ගේ කාලය ගමටම වෙලා ගතකරනවා. ඒ ඔවුන් මුහුණ දෙන අසීමිත ප‍්‍රශ්න කන්දරාව නිසා. උගත්කම තිබ්බත් ඔවුන්ගේ නිවෙස්වල ස්වාභාවය ඔවුන්ට ඉදිරියට යාමට ඇති අවස්ථාව අහිමි කරනවා. ඔවුන්ට හිමිවෙන සමාජීය පිළිගැනීම බොහොම අඩුයි කියලා ඒ තරුණයෝ කියනවා.

”අපේ ගමේ මිනිස්සුන්ට හොඳ රස්සාවකටවත් යන්ඩ බැරි ඉගෙනගෙන නැති හින්දා නෙවෙයි. මේ ගෙවල්වල ප‍්‍රශ්නේ හින්දා”
ගමේ මිනිස්සුන්ට ප‍්‍රශ්න පත්තරේකටම මුහුණ දෙන්න වෙලා. මොකද එක පැත්තකින් ඔවුන්ව ගෙවල්වලින් අයින් කරන්න නගර සභාව වලිකනවා. තව පැත්තකින් අතිශය අවම පහසුකම් වත් නැතුව ඔවුන් ගෙවන ජීවිත එක්ක ඔවුන්ටම සෙල්ලම් කරන්න වෙලා.
නිවසක් කියන්නෙ අපූරු හීනයක්. අපූරු අත්දැකීමක්. තමන්ගේම නිවෙසක සිහිනය අහිමිවිමේ වේදනාව මහපොළොවෙ මිනිස්සු විඳින ලොකුම වේදනාවක්. ඒ ගැන දන්නේ නිවෙසක් නැති අයමයි.

හිරු බැසගෙන යන්නෙ ගමේ බෝධියට පිටිපස්සෙන්,බෝධියත් රන්වන් පාට හිරු රැස් වලින් නාවගෙන

එදා කෝවිලේ පූජාව. අපිට සමු දුන්නු කට්ටිය ඒක ඉක්මන්ට ලකලෑස්ති වෙනවා. පූජාවට ලෑස්ති කළ කෝවිල හරි අපූරුයි. ටික වෙලාවකින් පූජාව පටන්ගන්න කෝවිලේ ඝණ්ඨාරය නාද වුණා. අපි ගමේ මිනිස්සුන්ට සමු දීලා ආපහු නගරේ පැත්තට ආවා. නාද වෙන ඝණ්ටාරේ හඬ අස්සෙන් තමන් උරුම කළ භූමිය තමන්ගේ මුණුපුරු මිණිපිරියන්ට අහිමි වෙන්ඩ යන බව දැනිලාද කොහෙද මුතුන් මිත්තෝ විලාප දෙන හඬ ඇහෙනවා.