රාවය

වළං හදමින්ම නවීන වන තනියවල්ලභ රාජධානියේ වළං ගම්මානය

වළං හදමින්ම නවීන වන තනියවල්ලභ රාජධානියේ වළං ගම්මානය

සටහන හා ඡායා : ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

බොහෝ ග‍්‍රාමීය ප‍්‍රදේශ නවීකරණයන්ට නතුව බොහෝ විපර්යාසයන්ට බඳුන්ව තිබෙන කාල වකවානුවක වුව මේ ගම්මානය නම් බැලූබැල්මට තිබුණේ තවමත් මොකක්දෝ හුදෙකලාවක වෙළීගෙනය. මහවැවේ අතු ශාඛාවකින් වට වූ ගම්මානයට පිවිසෙන්නටත් ඉන් පිට වෙන්නටත් ගොඩබිමට සබැඳී තිබුණේ එක් මගක් පමණක් වීම මේ හුදෙකලාවට එක් හේතුවක් වන්නට ඇතැයි සිතේ. ගම්මානයට දිවෙන බස් රථයක් නැතත් ගම්වැසියන්ට එය මහා ගැටලූවක් ලෙස නොදැනෙන්නේ ඊට ඔවුන් බොහෝ කලක සිට හුරුපුරුදුව සිටීමත් මේ වන විට බොහෝ නිවෙස්වල පාපැදියක් හෝ තිබීමත් නිසා විය යුතුය. මේ මහවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්අමුණ ග‍්‍රාමනිලධාරී වසමට අයත් කලිමුල්ල ගම්මානය වෙත පියවර තැබීමකි.

ඉතිහාසය

කලිමුල්ල ග‍්‍රාමයේ ඉතිහාස කතාව කෝට්ටේ යුගය දක්වා දිවෙයි. එකල ඉන්දියාවේ සිට පුත්තලමට නැවකින් පැමිණි පිරිසක් මාදම්පේ සිට හලාවත දක්වා මුහුදු තීරයේ ජනයා බියවද්දමින් දේපොළ මංකොල්ලකමින් සැරිසැරූ බවත් ඔවුන් පලවා හැරීමට අටවන වීර පරාක‍්‍රමබාහු රජු විසින් තනියවල්ලභ කුමරු එම පෙදෙසට එවූ බවත් ඉතිහාස කතාවල කියැවේ. ඒ අනුව තනියවල්ලභ ප‍්‍රාදේශීය රජුගේ උපරාජධානිය මාදම්පේ ප‍්‍රදේශය ලෙස සැලකේ. යුද ශිල්පයේ මෙන්ම කෘෂි කර්මාන්තයේත් දක්ෂයෙකු වූ බව කියවෙන ඔහු විසින් නිර්මාණය කරන ලද වැව් අතර මහවැව ප‍්‍රධාන වේ. තනිය වල්ලභ රජුගේ මරණයෙන් පසු ප‍්‍රදේශවාසීන් විසින් ඔහු තනිවැල්ලේ දෙවියන් ලෙස දේවත්වයෙන් සලකනු ලැබීය. තනිවැල්ලේ දේවාලය කොළඹ පුත්තලම ප‍්‍රධාන මාර්ගයේ මාදම්පේ දී හමුවේ.

ජනප‍්‍රවාදයේ කියැවෙන්නේ කලිමුල්ල ගම්මානයේ නම කෙළිමුල්ල යන්නෙන් බිඳී ආ බවයි. අතීතයේ රජුගේ සේනාව රැස් කර සටන් පුහුණු වූ ප‍්‍රදේශය එය බවට විශ්වාසයයි.

”මේ ගමෙන් එහා පැත්තේ තියනවා මුට්ටිහැඳිවිල කියලා කොටසක්, ඒක ඉස්සර කාලේ හඳුන්වලා තියෙන්නේ මුට්ටිහැඳිවිල කියලායි. ඒ කොටස තමයි තනියවල්ලභ රජුගේ රාජධානියේ වළං ගම්මානය වෙලා තිබිලා තියෙන්නේ. මුට්ටිහැඳිවිල ආශ‍්‍රිතව සිටි මේ කුඹල් කර්මාන්තය කළ අය පස්සේ 1958 දී රජයෙන් ඉඩම් බෙදලා ඔප්පු දීලා එතැනින් ටිකක් මෙහා තියෙන කලිමුල්ලේ පදිංචි කරවනවා. මේ ඔයෙන් එහා පැත්තේ අද තියන හේනෙපොළ එදා සේනා පොළ විධියටයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ රජුගේ සේනාව රැුස් කළ පොළ. මහවැව ඉඳලා කලිමුල්ලට එන අතරතුරේ හමුවෙන මාලිගාවත්ත රජුගේ මාලිගය තිබූ ස්ථානයයි. ගලහත්බණ්ඩාර කියන්නේ තනියවල්ලභ රජුගේ පුතා කියලයි ජනප‍්‍රවාදයේ එන්නේ. ගල්අමුණේ තියන ගලහත්බණ්ඩාර දේවාලය ආසන්නයේ නිදන් ගල කියන ස්ථානයේ තනියවල්ලභ රජු නිදන් තැන්පත් කර තැබූ බව විශ්වාස කරනවා. ඒ නිදන් ගන්න උත්සාහ කළ අයට විවිධ උපද්‍රව ඇතිවෙලාත් තියෙනවා.” කලිමුල්ල ග‍්‍රාම සංවර්ධන සමිතියේ සභාපති යස්මින් බාලසූරිය එම ප‍්‍රදේශය හා බැඳුණු අතීත පුවත් ගෙනහැර දැක්වූයේය.

පවුල් 150ක් පමණ වාසය කරන කලිමුල්ලේ අදටත් පවුල් සියයක් පමණ දිවි පෙවෙත රැුක ගන්නේ ඔවුන්ගේ පාරම්පරික කර්මාන්තය වූ වළං කර්මාන්තයෙනි. සෑම නිවසක් නිවසක් පාසාම බැලූ බැලූ අත පෙනෙන්නට තිබෙන්නේ වළං කර්මාන්තයේ සලකුණුමය. වළං සාදන මඩු අසලම ඉදිවුණු සුවිසල් නිවාස ද මේ ගම්මානයේ දක්නට නැතුවා නොවේ. පාරම්පරිකව දෙවියන් පිළිබඳ තිබූ බැඳීම හා විශ්වාසය ද ගැමියන් අතර අදටත් දක්නට ලැබෙන්නකි.

”වළං කර්මාන්තය කරන අය දෙවියන්ට තියන බැඳීම වැඩියි. පොළොවත් එක්ක කරන කර්මාන්ත නිසා නිසා ඒ අයට භූමියට තියන ගෞරවයත් වැඩියි. දෙවියන්ට කරන පුදසත්කාර අදටත් කරලා තමයි ඒ අය කර්මාන්තය කරන්නේ. අගෝස්තුවල දේවාලයේ මංගල්‍යය දවස්වලට කිරි ඉතිරවීමේ මංගල්ලයට ගමේ හැමෝම ඒ දේ කරනවා. දෙවියන් කෙරෙහි විශ්වාස, ඇදහිලි මේ හැමෝම අතරේ තාම තියනවා. අපි පුංචි කාලේ ඒ දේවල් අදට වැඩිය තිබුණා. අපිත් චාරිත‍්‍රයක් ලෙස තවමත් ඒ දේවල් කරගෙන යනවා. දේවාලේ මංගල්ලේ දවස්වලට ගිහින් පොල් ගෙඩියක් ගහලා කිරි ඉතිරවීම කරලා එනවා. අපේ ළමයි වුණත් ඒවා චාරිත‍්‍ර ලෙස ඉදිරියට කරාවි” යස්මින් පැහැදිලි කළේය.

කුල පීඩනය

හැරමිටියකට වාරු දෙමින් එහා මෙහා වීසිවෙමින් වුව කඩිසර ගමනකින් ගම්මානයේ මග දිගේ ඇවිද ආ වයස්ගත ස්ත‍්‍රියකි. ඇය නමින් අනෝහාමිය. වයස අසූ හයකි. අසල වූ කුඩා වෙළෙඳසැලෙන් මිලට ගත් හාල් මල්ලක් ඇය එල්ලාගෙන ආවාය. කඩදාසි කැබැල්ලක එතුණු පුවක් ගෙඩි කීපය එක් අතක ගුලිව තිබුණේය. අප ඇය හා කතාබහකට සූදානම් වෙද්දී ඇය ඉහවහා ගිය සංතෝෂයකින් අසල වූ ගල් බැම්මක ඉඳගත්තාය. වයෝවෘද්ධ ඇගේ හැසිරීමත් කතා විලාසයත් සිත් අදනාසුලූ එකක්ම වූයේය.
”ඉස්සර මමත් වළං හැදුවා. මං ඒ රස්සාව තමයි කළේ. දැන් කරගන්න බෑ. ලොකු පුතාගේ පුතා තමයි දැන් කරන්නේ. මගේ අම්මාත් වළං හැදුවා. මම හෝඩි පොතයි පළවෙනි පොතයි පාස් කෙරුවා. පස්සේ අපි ඉස්කෝලේ යැව්වේ නෑ, වැඩ ඉගැන්නුවා. කර්මාන්තේ, වී කොටන්න, තම්බන්න ඒ සේරම අපේ අම්මලා ඉගැන්නුවා. දැනටත් ඉතින් කරගන්න පුළුවන් නම් කරනවා. දැන් වීරිය හත්තිය නෑ. ඒත් අසනීපෙන් ඉන්න පුත්තු තුන්දෙනෙක් ඉන්නවා. ඒ දරුවොන්ටත් මම තියන විධියට පුළුවන් විධියට කන්න බොන්න හදලා දෙනවා.” ඇය තාලයකට මෙන් කියාගෙන ගියාය.

පරම්පරාවෙන් ආ රැුකියාවත් ඒ වටා බැඳුණු අතීත තොරතුරුත් කුල භේදයත් පිළිබඳ ඇය නිර්ලෝභී ලෙස අප හමුවේ තැබුවාය.
”ඒ කාලේ වළං හදන කට්ටියට බඩුසැළ කියලා කිවුවා. බඩුසැළ කියන්නේ මුට්ටිය, ඇතිලිය, නෑඹිලිය, මූඩිය, කරමුඩිය, කළගෙඩිය කියන ඒවාටයි. ඒ නිසා සමහර කට්ටිය බඩහැළ කියලා කිව්වා. දැන් එහෙම නෑ. ඉස්සර අපි ගෙවල්වලට ගියාම ඉඳගන්න පැදුරු දානවා. මම නම් තාම ඉඳගන්නේ බිමමයි. පුටු උඩ ඉඳගන්නේ නෑ. මේක මව්බිම නේ. කවදා හරි අපි මේකට යටවෙන්න ඕනෑ නේ. ඒ හින්දා මම උඩ ඉන්නේ නෑ. බුදුවරු, දෙවිවරු, රජවරු මම අදහනවා. ඒ දහම ගෙනියනවා මිසක මම වෙන මුකුත් ගෙනියන්නේ නෑ. ඒ කාලේ අපි සමහර ගෙවල්වල වැඩ කරලා දෙන්න ගියාම කන බොන භාජන වෙනම තියලා දෙන තැන් තිබුණා. ඒ කාලේ ගමේ හිටිය වැඩිහිටි හුඟක් අය දැන් නෑ, මැරිලා.”

අනෝහාමි එදා සිට අද දක්වා මේ ගම්මානයේ සමාජ විපර්යාසය දෙස බලා සිටින්නියක් වූවාය. පාරම්පරික කුඹල් කර්මාන්තය නිසා සමාජයෙන් එල්ල වූ කුල පීඩනයට ඇය යම් තරමකට මුහුණ දුන් තැනැත්තියක් වූවාය. ඒ අතීත සිදුවීම් පිළිබඳ තවමත් බොහෝ ගම්වැසියන් සෘජු ලෙස කතාබස් කරන්නට මැලිකම් දක්වන්නේ අදටත් එම කුල භේදයන්හි සෙවණැලි ගම්මානයෙන් පූර්ණ ලෙසම වියැකී ගොස් නොමැති බැවින් යැයි සිතේ.

”අපේ තාත්තා අපිව වෙන කාටවත් දුන්නේ නෑ. අපේ කට්ටියටම තමයි දුන්නේ. වෙන වෙන කට්ටිය බැන්ද අය ඒ කාලේත් හිටියා. එතකොට ප‍්‍රශ්න තමයි. කුල තියන එක හොඳ නෑ. මගේ ළඟ නම් ඔය කිසිම දෙයක් නෑ. දැන් ඒ හුඟක් දේ වෙනස් වෙලා. දැන් ඒවා අඩුයි. ඒත් එක එක්කෙනා ළඟ තාමත් ඒවා තියනවා. කතාවෙන් බහෙන් අපිට තේරෙනවා නේ. හැමෝම මනුස්සයෝ. අපි හිඟන්නන්ට හිටන් කන්න බොන්න දීලා නවාතැන් දීලා පිටත් කළ අය. ඉස්සර එහෙම අය දරුවෙක් එහෙම එක්කගෙන ගමට ආවාම අපේ අම්මලා ඒ දරුවාත් නාවලා කන්න බොන්නත් දීලා උයන්න ඕනෑ කරන ඒවාත් දීලා අම්මාගේ රෙදිත් දීලා පිටත් කරනවා. තව අද වෙනතාක් හිඟන්නාත් මට ලොකුයි. අපිට පෙනෙන්නේ නැතුවාට දෙවිවරු වැඩ ඉන්නවා. මේ ගලහත්බණ්ඩාර දෙවියන්ගේ අඩවියේ ඉන්නේ. දැනටත් මේවායේ නිදන් තියනවා” ඇය රහසක් කියන්නාක් මෙන් හඬ පහත් කර නැඹුරු වී කීවාය.

බුද්ධ, ධම්ම, සංඝ රත්නයත්, දෙවිවරුත් සිහි කරමින් අපට මුව පුරා ආශීර්වාද කර නැවත ඒ ගම්මානයට එන ලෙස ද ඇරියුම් කරමින් ඇය හැරමිටියට වාරු වී නිවස වෙත පිය මැන්නාය.

සාම්ප‍්‍රදායික කුඹල් කර්මාන්තය

වළං සෑදීමට අවැසි මැටි ගෙනෙන්නට කිහිප දෙනෙක් ගමේම සිටියහ. ඔවුහු ඔය හරහා තෙප්පමකින් ගොස් මැටි ගෙනැවිත් වළං හදන නිවෙස්වලට විකිණූහ. අතීතයේ ඒ මැටි ඇඹරීම සිදු කර තිබුණේ දෙපයින් පෑගීමෙනි. එය ඉතා වෙහෙස කරන්නක් වුවත් අද වන විට ඇතැම් නිවෙස්වල මැටි ඇඹරීමේ යන්ත‍්‍ර තිබේ. එසේ නොමැති අයට පොදුවේ භාවිතයට මැටි ඇඹරීමේ යන්ත‍්‍රයක් කලිමුල්ල ග‍්‍රාම සංවර්ධන සමිතියෙන් සපයා තිබුණි. අද ගම්මානයේ ඇතැම් අය නවීන ක‍්‍රමයන්ට වළං නිෂ්පාදනය කළත් ඇතැම් ගැමියන් තවමත් වළං රස්සාව කරගෙන යන්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රමයටමය.

හැටපස් වියේ සිටින ඩබ්. විනීනෝනාත් තවමත් සාම්ප‍්‍රදායික ක‍්‍රමයට වළං සාදන්නියකි.

”පොඩි කාලේ ඉඳන් මේ කර්මාන්තේ කළා. අම්මලා තාත්තලාත් ඒ අයගේ පරම්පරාවල කට්ටියත් කළේ මේ රස්සාවම තමයි. මේකට සෑහෙන්න මහන්සි වෙන්න ඕනෑ. අපේ එක්කෙනා මැරෙද්දී ගේ වත් හදලා තිබුණේ නෑ. මම මේ රස්සාවෙන් තමයි ඒ හැමදේම හෙමින් කරගත්තේ. දැන් නම් ටිකක් වැඩ කරන්නත් අමාරුයි. තාමත් අපි පරණ විධියටම අතින් කරකවන අත්පෝරුවෙන් තමයි වැඩ කරන්නේ. සමහර තැන්වල කරන්ට් එකෙන් වැඩකරන අත්පෝරු තියනවා. ඒත් අපි තාම කරන්නේ පරණ විධියටම තමයි. පුරුදු වෙලා නිසා එච්චර අමාරුවක් දැනෙන්නේ නෑ. වයස හින්දා සමහර වෙලාවට පපුව නම් ටිකක් රිදෙනවා. ගෝලයෝ කවුරුවත් නෑ. දුවයි මමයි තමයි වැඩ කරන්නේ.” කලිමුල්ල ගමේ නව පරම්පරාවේ අය ද බොහෝ දෙනෙක් වළං කර්මාන්තයේම නියැලූණෝය. එහෙත් විනීනෝනාගේ දරුවන්ගෙන් එම වෘත්තියම තෝරාගෙන සිටියේ එක් දියණියක පමණි.

”මගේ අනිත් දුවලා බැඳලා ඉන්නේ වළං හදන අය නෙමෙයි. ඒ නිසා එයාලා දැන් ඒවා කරන්නේ නෑ. අපේ අම්මලා තාත්තලාගේ කාලේත් ඒ අය අනෙක් අය එක්ක හොඳින් හිටියා. පංගුවක් අයගේ ඉතින් තාමත් උස්පහත් භේද තියනවා. පංගුවක් අයගේ නෑ. දැන් පන්සලේ උපාසක දානේ වුණත් අපි ගෙනියනවා. පෝය දොළහට දානේ බෙදලා තියෙන්නේ එක එක අයට. ඔක්කොම අය ඉන්නවා ඉතින්. ඉස්සර නම් කියනවා පන්සලේ හාමුදුරුවෝ සමහර අය ගෙනියන දානේ වළඳන්නේ නෑ කියලා. දැන් එහෙම එකක් නෑ. දැන් ඕනෑ කෙනෙකුගේ දානේ ගෙනියපුවාම බෙදනවා.” විනීනෝනා කියන්නීය.

තරුණ වියෙහි පසුවන තනුජා කලිමුල්ල ගම්මාන වාස භූමිය කරගෙන සිටියේ විවාහයෙන් පසුය. ඒ වසර පහක පමණ කලක සිටය. ඇගේ උපන් ගම මිනුවන්ගොඩය. පරම්පරාවෙන්ම මේ කර්මාන්තයට ඇය ද පිවිස තිබුණාය. විවාහ වූ පසුත් සැමියාගේ ද පරම්පරා රැුකියාව වූ සාම්ප‍්‍රදායික වළං කර්මාන්තයේම යෙදුණාය. ළදරු වියේ වූ ඇගේ දියණියත් ඈ වටා සැරිසරමින් ඇයට සහාය වන්නට උත්සාහයක යෙදුණාය.

”මම මිනුවන්ගොඩ ඉන්න කාලේත් කළේ මේ වළං රස්සාව තමයි. පොඩි කාලේ ඉඳලාම මේක කළා. අපේ පරම්පරාවේ අය කළේ මේ රස්සාවම තමයි. හැබැයි එහේ හදන්නේ වැඩිපුර පහන්, කිරි හට්ටි වගේ ඒවායි. අපි මේ කර්මාන්තේ කරනවාට ගෙදර අයගේ අකමැත්තක් තිබුණේ නෑ. හැබැයි දරුවා මේවා කරනවාට මම එච්චර කැමති නෑ. හොඳට උගන්නන්න තමයි උත්සාහ කරන්නේ.” ඇය සිනාසෙමින් කියන්නීය.

ජනවාරි මාසය ළං වන බැවින් මේ දිනවල කලිමුල්ල වළං රස්සාවට නිවාඩුවක් නැති තරම්ය. ඒ වළං ඉල්ලූම අපේ‍්‍රල් මාසය පහුවන තුරු තිබෙන්නකි. ඉන්පසු එළඹෙන කාලය තුළ එතරම් ඉල්ලූමක් නැතත් ඔවුහු වළං සාදා එක් රැුස් කර ගත්හ.

ඩබ්ලිව් මැගිලින් ඇගේ මැටි වළං සාදන පැළ තුළ හිඳගෙන අඩක් වේලූණු මැටි මුට්ටි සාම්ප‍්‍රදායික ලෙස තලමින් මට්ටම් කරමින් සිටියාය.

”මේක පරම්පරාවෙන් එන රස්සාවනේ. මහන්සියෙන් කෙරුවොත් මේ රස්සාවෙන් හොඳයි. මම තනියම තමයි මේක කරන්නේ. පරණ ක‍්‍රමේටම තමයි තාම වළං හදන්නේ. මැෂිමක් ගන්න පුළුවන් වුණත් මම ආස නෑ. තව හුඟ කාලයක් මේක කරන්නත් බෑ නේ. දැන් මගේ පුතාලත් බැඳලා.” ඇය සිනාසෙමින් පවසන්නීය.

ඡායාරුවක් කැමරාවේ සටහන් කර ගැනීමට සැරසෙද්දී ”මේ මැටි ගොඬේ ඉඳගෙන ලස්සනට පොටෝ වැදෙනවාද” යැයි අසමින් ඇය සිනාසුණාය.

නවීකරණය

කලිමුල්ල ගමේ සාම්ප‍්‍රදායිකව තවමත් වළං කර්මාන්තය කරමින් එදා වේල රැුක ගනිමින් සිටින පිරිස් අතර එම කර්මාන්තය දියුණු කළ හැක්කේ කෙසේදැයි සොයමින් ඉදිරියට යන්නෝ ද අද වන විට හමුවෙති. එම්. විමලසේන ද කලිමුල්ල ගමට එවන් ආදර්ශ සපයන්නෙකි.

”පරම්පරාවෙන් කරන මේ රස්සාව මම අලූත් විධියට කරන්න පටන් අරන් අවුරුදු දහයයි. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙම කළේ මේ වළං රස්සාව. අපි පටන් ගනිද්දී මේක තරගයක් දෙන්න පුළුවන් මිලක් තිබුණ එකක් නෙමෙයි. පස්සේ මට හිතුණා මේක වෙනස් කරන්න ඕනෑ කියලා. එහෙම වෙන්න නම් අනිත් අය හදන වළංවලට වඩා අපි හදන ඒවායේ විශේෂත්වයක් තියෙන්න ඕනෑ නේ. එහෙම කල්පනා කරලා අවුරුදු ගාණක් උත්සාහ කරලා 2007 අවුරුද්දේ මම ගෑස් ළිපට ගැළපෙන විධියේ මැටි වළං නිෂ්පාදනය පටන් ගත්තා. මම තමයි ලංකාවේ ඉස්සෙල්ලාම ඒ වගේ වළං හැදුවේ. උත්සාහයයි සෙවීමයි තියනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා ගෑස් ළිපේ තිබ්බාම පුපුරන්නේ නැති, ඉක්මනින් රත්වෙන, බරින් අඩු වළං හදන්න මම මැටි මිශ‍්‍රණ වෙනස් කර කර කාලයක්ම උත්සාහ කළා.

අවුරුදු හයක් හතක්ම එහෙම උත්සාහ කළා. තාමත් මගේ ගෝලයෙක් හැරෙන්න මේ ක‍්‍රමය දන්නේ නෑ. දැන් අච්චුවේ හදන අය නම් ඉන්නවා. ඒත් කාබනික තෙල් කවලම් වෙන නිසා ඒක ශරීරයට විසයි. අපි අච්චු පාවිච්චි කරන්නේ නෑ. කොළඹ, ගාල්ල, මාතර ප‍්‍රදේශවලට මේ වළං ගෙනියනවා. මේකේ ඉල්ලූම තවම අඩු වෙලා නෑ.”

ඔහුගේ වළං කර්මාන්තයට පවුලේ අයගේ මෙන්ම තවත් සේවක පිරිසකගේ සහාය ද ලැබුණි. සාම්ප‍්‍රදායික අත්පෝරු වෙනුවට යාන්ත‍්‍රික අත්පෝරු ඇතුළු නවීන යන්ත‍්‍ර ඔවුන්ගේ කටයුතු තරමක් පහසු කර තිබුණේය. අතීතයේ නම් අධ්‍යාපනයක් නොලැබුවත් වළං කර්මාන්තය කිරීමට හැකිය යන මතය ගැමියන් අතර පැවතුණ ද අද වන විට නම් මේ රැුකියාවේ ඉදිරියට යෑමට හොඳ අධ්‍යාපන පසුබිමක් ද තිබිය යුතු බව විමලසේනගේ අදහසයි. ඔහු තම දරුවන්ට වළං කර්මාන්තය ගැන මෙන්ම ව්‍යාපාර අධ්‍යයනය ආදිය පිළිබඳ ද ඉහළ අධ්‍යාපනයක් ලබාදීමට උත්සායක යෙදෙන්නෙකි.

‘‘විශ්වවිද්‍යාලවලත් මැටි කර්මාන්ත සම්බන්ධ ඉගෙනගන්න පුළුවන්. අපි නොදන්නා තවත් දේ ඉගෙනගෙන එන්න කියලා තමයි මම ඒ අයටත් කියන්නේ. මොකද ලංකාවේ ඉංජිනේරු දොස්තරලා වෙනවාට වඩා මේකෙන් දියුණුවීම අමාරුයි. එක දෙයක් නෙමෙයි සම්පත් ප‍්‍රශ්න, වෙළෙඳපොළ තරගය මේ හැමදේටම මුහුණ දෙන්න නම් හොඳ අධ්‍යාපනයක් ඕනෑ වෙනවා.”

කලිමුල්ල වළං නිෂ්පාදනය කරන්නෝ මුදල් ඉපයූහ. එහෙත් බොහෝ දෙනා නිසි කළමනාකරණයට හුරුවී නොසිටියහ. කෙසේ වෙතත් මේ වන විට අතීතයට වඩා කලිමුල්ල ග‍්‍රාමය යම් සංවර්ධනයකට ද හිමිකම් කියයි. මීට වසර පහකට පමණ පෙර කලිමුල්ල ගම්මානයේ අඩක් පමණ තිබුණේ පැලලි ගෙවල් වුවත් අද වන විට නම් ඒවා ඉතා අඩුය.

”ඉස්සර මේ ගම හුඟාක් නොදියුණුයි. අධ්‍යාපන මට්ටම හුඟක්ම අඩුයි. ඉතිහාසයේ පළමුවරට මේ ගමේ ළමයෙක් විශ්වවිද්‍යාලයට ගියේ අවුරුදු දෙකකට විතර කලියෙනුයි. අධ්‍යාපනය කියන දේ පැත්තකටම දාලායි තිබුණේ. මේ වෙනකොට අධ්‍යාපනයට ප‍්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්න ඕනෑ කියන දේ ගැමියන් තේරුම් අරන් තියනවා. ඒ වෙනුවෙන් ගොඩක් වැඩසටහන් තියලා ගමේ අය දැනුවත් කරන්න සිදුවුණා. දැන් මාසෙකට දෙසැරයක් ජංගම පුස්තකාලයක් ගමට එනවා. ඒ නිසා ගමේ ළමයි දැන් ටික ටික කියවන්න පටන්ගෙන තියනවා. ඒ නිසා රට ලෝකේ ගැන ඒ අය අවබෝධය ඇතිකර ගන්නවා.

ඉස්සර පහේ පන්තියට යනකම් විතරක් වගේ ඉගෙනගෙන, මැටි කර්මාන්තේටම යනවා. හැබැයි සල්ලි තියනවා. ඒකෙන් කෑවා බිව්වා එදාම ඉවරයි. හෙට ගැන හිතන්නේ නෑ. කළමනාකරණයක් නෑ. අද වෙනකොට එහෙම කළමනාකරණය කරන කීපදෙනෙක් ගොඩක් හොඳ තත්ත්වයක ඉන්නවා. ගමේ අනෙක් අයත් එහෙම කළමනාකරණය ගැන හිතුවොත් ඒ මට්ටමට එන්න පුළුවන්කම තියනවා.” ඒ ග‍්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිගේ අදහසය.

කෙසේ වෙතත් කලිමුල්ල සාපේක්ෂව බලන කල තවමත් හුදෙකලා ගම්මානයක් ලෙසින් දිස්වේ. එමෙන්ම එහි බොහෝ ගැමියන් තුළ පිටස්තර සමාජය කෙරෙහි යම් සබකෝල බවක් ඇතැයි ද කිව හැක. භෞමික වශයෙන් වන හුදෙකලා බව ඒ සියල්ලට හේතුවක් වනවා ද විය හැක. ගම්මානයේ බොහෝ දෙනාට අදටත් තිබෙන්නේ පාරම්පරික සාම්ප‍්‍රදායටත් ගම්මානය දෙසටමත් නැඹුරු වූ ජීවන රටාවකි.