රාවය

දේවල් සිදුවන විකාරරූපී ස්වභාවය

දේවල් සිදුවන විකාරරූපී ස්වභාවය

රටේ සිදුවන දේවල් දෙස බලන විට ඒවාහි අවුල්සහගත භාවයන්ට අතිරේකව විකාරරූපී ස්වභාවයක්ද පවතී. එසේම ඒවා තුළ රැවටිලිසහගත ස්වභාවයක් සේ ම විනාශකාරීභාවයක්ද පවතී.

නංගි පෙන්වා අක්කා දීම

ඡන්ද ක‍්‍රමය වෙනස් කරන්නට යන හේතුව ලෙස දක්වන ලද්දේ අපේක්ෂකයන්ට ලොකු වියදමක් දරන්නට සිදුවන මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස ක‍්‍රමයට බර තබන ක‍්‍රමයක් ඇති කිරීමය. අවසානයේ නීති සම්පාදකයන් මහජනයාට ලබාදී ඇත්තේ සියයට 50ක් මනාප ක‍්‍රමයටද, ඉතිරි සියයට 50 කොට්ඨාස ක‍්‍රමයටද මන්ත‍්‍රීන් පත්වන හා තේරී පත්වන නියෝජිතයන්ගේ සංඛ්‍යාව දෙගුණ වන වියදම් අධික නාස්තිකාර ක‍්‍රමයකි.

මේ ක‍්‍රමය අනුව ඡුන්ද අපේක්ෂකයන්ට දරන්නට සිදුවන වියදම අඩුවනු ඇතත් පළාත් පාලන දේශපාලනතන්ත‍්‍රය නඩත්තු කිරීමට මහජනයාට දරන්නට සිදුවන බර දෙගුණ වන්නේය. මාතර නාගරික කොමසාරිස්වරයා පෙන්වා දී තිබෙන ආකාරයට ඇති කර තිබෙන නව ක‍්‍රමය අනුව බොහෝ පළාත් පාලන ආයතනවල වැඩ කරන කම්කරුවන්ගේ සංඛ්‍යාවට වඩා පළාත් පාලන සභිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යන්නේය. තවමත් ක‍්‍රමය වෙනස් කර තිබෙන්නේ පළාත් පාලන ඡුන්ද සඳහා පමණය. පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ සඳහාද ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීමට නියමිතය. ඒවා වෙනස් කරන්නට යන්නේද මේ ආකාරයට නම් රටට දෙයියන්ගේම පිහිටය.

එක් අතකට ලංකාව තිබෙන්නේ ලොකු ආර්ථික අර්බුදයකය. හැම වසරකම විදේශ ණය සඳහා ගෙවිය යුතු වාරිකය හා ඊට අදාළ පොලිය ගෙවන්නට සිදුවී තිබෙන්නේ ලංකාවේ ලොකු දේපළක් විකිණීමෙනි. රටේ ආර්ථිකය තිබෙන්නේ එවැනි නරක තැනකය. එසේ තිබියදීත් රටේ දේශපාලනතන්ත‍්‍රය ක‍්‍රියාකරමින් සිටිනුයේ නිර්ලෝභී දානපතියෙකුගේ ස්වරූපයෙනි.

ඉතාමත් පුදුමසහගත දේ වනුයේ මෙම නාස්තිකාරී හා විනාශකාරී ක‍්‍රමයට මොනම දේශපාලන පක්ෂයක් හෝ විරුද්ධ නොවීමය. ක‍්‍රමය තනා තිබෙන්නේ ඒ සියලූදෙනාගේ එකඟත්වය හා අනුමැතිය ඇතිවය. පළාත් පාලන ආයතන ක‍්‍රමයක් පවත්වාගෙන යෑම සඳහා මේ සා විශාල නියෝජිත පිරිසක් අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. මේ ක‍්‍රමයට වුවත් නියෝජිත සංඛ්‍යාවේ ලොකු වැඩිවීමක් ඇති නොවන ලෙස කළ හැකිව තිබුණි. එහිදී දේශපාලන පක්ෂ වැදගත් කොට සලකා තිබෙනුයේ ඔවුන්ගේ පක්ෂවලට ලැබෙන වාසිය මිස ඉන් රටට සිදුවන අයහපත නොවේ. භේදයකින් තොරව රටේ දේශපාලන පක්ෂ ඇද වැටී තිබෙන හාස්‍යජනක තත්ත්වයේ තරම ඉන් තේරුම්ගත හැකිය.

මන්ත‍්‍රී සදාචාරය කණපිට පෙරළීම

යහපාලන ආණ්ඩුව මන්ත‍්‍රීවරුන්ට දක්වන ආදරයේ තරම සම කළ හැක්කේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට පමණය. එතෙක් පැවති ක‍්‍රමය අනුව මන්ත‍්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීම තහනම් විය. ආණ්ඩුවේ ඉඩම් මිලදී ගැනීම, ආදායම් උපයන බලපත‍්‍ර ලබාගැනීම, මන්ත‍්‍රීවරුන්ට ලැබෙන ද්‍රව්‍යමය දේවල් විකිණීම සලකන ලද්දේ ඔවුන්ගේ මන්ත‍්‍රීකම් අහිමි කිරීමට තරම් බරපතළ වරදක් ලෙසය. එම සදාචාරය ලංකාවේ පමණක් තිබුණු දෙයක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් තිබෙන හැම රටකම පාහේ දක්නට තිබෙන සදාචාරයකි.

එහෙත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එතෙක් පැවති එම ක‍්‍රමය වෙනස් කළේය. එවැනි වැරදි කරන්නට මන්ත‍්‍රීවරුන් බියවිය යුතු හෝ ලැජ්ජා විය යුතු නැති බව ඔහු මන්ත‍්‍රීවරුන්ට කියා දුන්නේ තමන්ට තිබූ කණාටු පොල් වත්තකට රජයට තිබූ සරුසාර පොල් වත්තක් හුවමාරු කරගැනීමෙනි. මෙම ක‍්‍රියාව ආර්ථික ලාභයක් ලැබීමේ අරමුණින් කරන ලද ක‍්‍රියාවකට වඩා තමන්ගේ මන්ත‍්‍රීවරුන් වරදට පොළඹවාලීමේ අරමුණින්ම කරන ලද දෙයක් විය හැකිය. කොල්ලය ආරම්භ වූයේ ඉන් පසුවය. ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම යටතේ තිබුණු සරුසාර ඉඩම් බොහෝවිට ඒවාහි තිබුණු වතු බංගලා සමගම අක්කරය රුපියල් 6000ත් 7000ත් අතර මිලකට මිලදී ගන්නට ආධාර කළේය.

ඒ මගින් ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත් කළේය. ඊට අතිරේකව ඔහු මන්ත‍්‍රීවරුන්ට ආදායම් උපයාගත හැකි බලපත‍්‍ර ලබා දුන්නේය. මන්ත‍්‍රීවරුන්ට ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස ක‍්‍රියාකිරීමේ හැකියාවද ලබා දුන්නේය.
ඉන්පසු බලයට පැමිණි කිසිවෙකු එම දුෂිත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අවලස්සන ක‍්‍රමය වඩා සවිමත් ආකාරයකට ඉදිරියට ගෙන ගියා මිස ඒ ක‍්‍රමය වෙනස් කළේ නැත. යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටින මේ ආණ්ඩුවද තවදුරටත් එම දුෂිත ක‍්‍රමය ආරක්ෂා කළා මිස එය වෙනස් කරන්න කල්පනා කළේවත් නැත. ඒ වෙනුවට කළේ මන්ත‍්‍රීවරුන්ට කප්පම් ගෙවන ක‍්‍රමය උපරිම කිරීමය. මහින්ද රාජපක්ෂ කාලයේදී පවා තීරුබදු රහිත වාහන සඳහා ලබාදී තිබුණේ ඩොලර් 30,000ක පහසුකමකි.

ඒ සීමාව මේ ආණ්ඩුව ඩොලර් 65,000 දක්වා වැඩි කළේය. ඒ මගින් තමන්ට ලැබෙන වාහනය විකුණා ආදායම් උපයා ගන්නා මන්ත‍්‍රීවරයෙකුට ඉන් ලැබෙන ආදායම දෙගුණ කරගන්නා ක‍්‍රමයක් ඇති කර දුන්නේය. ඒ නිසා ඇමතිවරුන්ට හා සුප‍්‍රා ගණයේ නිලධාරීන්ට දෙන වාහනවල තත්ත්වයද ඉහළ දැමීමට සිදුවිය. දැන් ඔවුන් හැම කෙනෙකුම පාවිච්චි කරන්නේ රුපියල් ලක්ෂ 300කට වැඩි වටිනාකමක් ඇති වාහනය. රටේ ළමා අනාථ නිවාසවල ජීවත් වන එක් ළමයෙකු සඳහා ආණ්ඩුව වැය කරන්නේ දිනකට රුපියල් 20ක් වැනි සොච්චම් වියදමකි. එවැනි රටක ජීවත් වන දේශපාලන ප‍්‍රභූන් පාවිච්චි කරන්නේ රුපියල් ලක්ෂ 300කටත් වැඩි වටිනාකමකින් යුතු වාහනය.

ආණ්ඩුක‍්‍රමයේ තිබෙන ප‍්‍රධාන දෝෂය

ලංකා ආණ්ඩුක‍්‍රමයේ තිබෙන වැදගත්ම ප‍්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ ජනාධිපති ක‍්‍රමයද පාර්ලිමේන්තු ක‍්‍රමයද යන ප‍්‍රශ්නය නොවේ. දේශපාලනතන්ත‍්‍රයට රටේ වස්තුව කොල්ලකෑමට ලැබී තිබෙන ඉඩ ලංකාවේ ආණ්ඩුක‍්‍රමයේ තිබෙන ලොකුම ප‍්‍රශ්නය ලෙස සැලකිය හැකිය. එම වරද නිවැරදි කිරීමට අවශ්‍ය නම් ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක පවත්නා ලංකාවේද 1977 දක්වා පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා ක‍්‍රියාත්මක වූ සදාචාරත්මක නීති නැවත බලාත්මක කිරීමට හේතුවන විධිවිධාන ඇති කළ යුතුය. වත්කම් බැරකම් නීතියේ තිබෙන දෝෂද නැති කොට එම නීතිය අකුරටම ක‍්‍රියාත්මකවීමට හේතුවන විධිවිධාන ඇති කළ යුතුය.

එසේම රටේ තාවකාලික භාරකාරයා හා ප‍්‍රධාන විධායකයා ලෙස ක‍්‍රියාකරන රාජ්‍ය නායකයාටද රටේ වස්තුව අයථා ලෙස හිමිකර ගැනීමට හෝ තමන් කැමති අයට හිමිකරදීමට ඉඩක් නැති දැඩි විධිවිධාන ඇති කළ යුතුය. මා හිතන්නේ උසස් තනතුරු දරන්නෙකු වැරදි කරන හෝ වැරදි කර තිබෙන අවස්ථාවකදී ඕනෑම පුරවැසියෙකුට එවැනි පුද්ගලයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ආරම්භ කළ හැකි විධිමත් ක‍්‍රමයක් ඇති කිරීම මගින් පාලන බලයට පත්වන්නවුන් වස්තුව කොල්ලකෑමට තිබෙන නැඹුරුව බොහෝ දුරකට පාලනය කළ හැකිය.

පුදුමසහගත දේ වනුයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම සඳහා වැඩ ආරම්භ කර ඇතත්, මෙම විශේෂිත විෂය කවර මට්ටමකින්වත් සැලකිල්ලට නොගැනීමය. ඒ ගැන කතාබහක් තබා කෙඳිරියක්වත් ඇසෙන්නේ නැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරන හා ලියන උගතුන් පවා ඒ ගැන මුළුමනින් නිහඬය. ආණ්ඩුවට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වී ඇතත්, දුෂණය වළකන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වී නැති බව පෙනේ.

ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම සඳහා කර තිබෙන නීති සම්පාදනයද සැලකිය හැක්කේ ඒ ගමන් මගේම තවත් දිගුවක් ලෙසය. එහිදී වැදගත් කොට සලකා ඇත්තේ රටේ යහපත නොව පක්ෂවල යහපතය. එය රටේ පැවැත්ම පරදුවට තබා පක්ෂවල පැවැත්ම තර කර ගැනීම සඳහා කර තිබෙන ආත්මාර්ථකාමී නීති සම්පාදනයක් ලෙස සැලකිය හැකිය. එහිදීද පැහැදිලිව දක්නට තිබෙන පුදුමසහගත දේ වනුයේ සියලූ දේශපාලන පක්ෂවල පොදු එකඟතාවකින් යුතුව කර තිබෙන මෙම කුපාඩිකම ඡුන්දය ගැන කතා කරන උගතුන්ගේ හා විචාරකයන්ගේ කතාබහට ලක්නොවීමය. බලවත් වරදක් සිදුකර තිබෙන බව ඔවුන්ට ඇත්තටම නොපෙනේද? නැත්නම් ඔවුන් එය වරදක් ලෙස නොසලකන්නේය.

මෙම ප‍්‍රශ්නයේදී දැනුවත් මහජනයාට ප‍්‍රතිචාර දැක්විය හැකි හොඳ ක‍්‍රමයක් තිබෙන්නේය. මෙම පළාත් පාලන මැතිවරණය මෙම ආත්මාර්ථකාමී හා විනාශකාරී නීති සම්පාදනයට විරෝධයට පළකරන මැතිවරණයක් බවට හරවා ගත හැකිය. දැනටමත් තේරී පත්වන්නන්ගේ සංඛ්‍යාව දෙගුණ කිරීම මහජනයාගේ බලවත් විරෝධයට හේතුවී තිබේ. ඒ නිසා එවැනි වැඩසටහනකට මහජනයා එකතු කරගැනීමද අමාරු දෙයක් වන්නේ නැත. දැන් මහජනයා ඉන්නේ දේශපාලකයන්ට දැක්කිය හැකි මෝඩ තැනක නොවන බව ප‍්‍රබල ලෙස පෙන්නුම් කිරීමට සමත් වෙතොත් එය මේ රටේ සමස්ත දේශපාලන චිත‍්‍රය කෙරෙහි ලොකු බලපෑමක් ඇති කරනු නොවැළැක්විය හැකිය.

කිරි අර්බුදය

ලංකාවේ කිරි ගොවීන්ගේ අර්බුදය ලංකාවේ සිදුවන දේවල විකාරරූපී ස්වභාවය පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි තවත් හොඳ නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය.

ලංකාව කිරිපිටි ආනයනය සඳහා කරන වාර්ෂික වියදම රුපියල් බිලියන 40ක් තරම් විශාලය. ලංකාවට අවශ්‍ය කිරි ලංකාවේම නිපදවිය හැකි නම් කිරිපිටි ආනයනය සඳහා කරන වියදම කපා හැරිය හැකිය. වගා කිරීම අත්හැර තිබෙන කුඹුරු ඉඩම් කිරි පට්ටි පාලනය සඳහා යොදාගත හැකිය. හරක් හදන ගොවි පරපුරක් ඇති කොට ඔවුන් හොඳ ආදායම් උපයන ගොවි පරපුරක් බවට පත්කළ හැකිය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක කෙරුණු ලොකු වැඩසටහනක් ක‍්‍රියාත්මක විය. ඒ සඳහා කිරි පට්ටි පාලනය සඳහා ආයෝජනය කරන අයට සියයට හයේ පොලියට ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව ලබාදී තිබුණි.

හරකුන් රක්ෂණය කළ හැකි ක‍්‍රමයක්ද ඇති කරන ලදි. ආනයනය කරන කිරිපිටි අධෛර්යමත් කිරීම සඳහා කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 240ක බද්දක්ද පනවන ලදි. අමුකිරිවලට ගෙවන මිල තුන් වතාවක් වැඩි කොට ලීටරයක් සඳහා ගෙවන මිල රුපියල් 70 දක්වා ඉහළ දමන ලදි. එසේ ඇති කරන ලද වටාපිටාව කිරි හරක් කර්මාන්තයේ සැලකිය යුතු දියුණුවක් ඇති කිරීමට හේතුවිය.

ලංකාවට වැඩියෙන්ම කිරිපිටි ආනයනය කරන්නේ නවසීලන්තයෙනි. නවසීලන්තයේ කිරිපිටිවලට තිබෙන ඉල්ලූම් නැති කිරීම සඳහා පොන්ටෙරා සමාගමට එරෙහිව පදනම් විරහිත කතා පැතිරවීමක්ද සිදුවිය. ලොකු කිරි අස්වැන්නක් ලබාදෙන දෙනුන් තොග වශයෙන් ඕස්ටේ‍්‍රලියාවෙන් ආනයනය කෙරෙන ක‍්‍රමයද ක‍්‍රියාත්මක විය. මේ සියලූ දේ නිසා දේශීය කිරි නිෂ්පාදනයේ ලොකු වර්ධනයක් ඇතිවූවා පමණක් නොව ආනයනය කෙරෙන කිරිපිටි ප‍්‍රමාණයේද වේගවත් පහත බැස්මක්ද පෙන්නුම් කිරීමට සමත් විය.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ක‍්‍රියාත්මක වූ එම වැඩසටහනේ දුර්වල අංග ගණනාවක්ද තිබුණි. එහි තිබුණු ලොකුම දෝෂය ලෙස සැලකිය හැක්කේ මස් සඳහා වන ස්ථිර ප‍්‍රතිපත්තියක් නොතිබීමය. කිරිවලට පමණක් ගවයින් ඇති කිරීම ආර්ථික වශයෙන් ලාභදායී වන්නේ නැත. ආර්ථික වශයෙන් ලාභදායී විය හැක්කේ කිරිවලට අතිරේකව මස් සඳහාද එසේ කරන්නේ නම් පමණය. මස් සඳහා ස්ථිර ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශ කළේ නම් එම කර්මාන්තයට ආවේණික ලාභදායී බව නිසාම එය ලොකු ආයෝජකයන්ගේ උනන්දුවට හේතුවන වැඩසටහනක් බවට පත්වන්නට ඉඩ තිබුණි. එහෙත් එවැන්නක් නොවීම නිසා එම වැඩසටහන ලොකු ආයෝජකයන්ගේ උනන්දුවට හේතුවූයේ නැත.

ලංකාවේ ජනයා හුරුවී තිබෙන්නේ අමු කිරි පරිභෝජනයට නොව පිටිකිරි පරිභෝජනයටය. අමු කිරි කල් තබා ගැනීමට අපහසුය. පිටිකිරි කල් තබා ගත හැකිය. එම වැඩසටහනට ආවේණික ඊළඟ දෝෂය ලෙස සැලකිය හැක්කේ අමු කිරි බීම ධෛර්යමත් කරන වැඩසටහනකින් ඔබ්බට ගිය කිරිවලින් පිටි නිපදවන වැඩසටහනක් අන්තර්ගත නොවීමය. කිරිවලින් පිටි නිපදවන වැඩසටහනකට ගියේ නම්, මස් සඳහාද ස්ථිර ප‍්‍රතිපත්තියක් තිබුණේ නම් කිරි ගොවීන්ට ඔවුන් නිපදවන කිරි සඳහා හා සේම මස් සඳහාද ස්ථිර වෙළෙඳපොළක් ලැබීම තුළ ලංකාවට අවශ්‍ය කිරි ලංකාවේම නිපදවා ගැනීමේ අරමුණ කිසියම් විශාල ප‍්‍රමාණයකට හෝ සාර්ථක කරගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.

ආණ්ඩු මාරුවෙන් පසුව දේවල් සිදුවූයේ එම විෂයේදී කිරි ගොවීන්ගේ පැවැත්ම විනාශ වන ආකාරයටය. දැන් කිරි ගොවීන් විසින් උද්ඝෝෂණ පවත්වා කිරි පාරට හලන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

යහපාලන ආණ්ඩුව නවසීලන්තය සමඟ ඇතිව තිබූ ප‍්‍රශ්න විසඳාගත්තේ ආනයනය කරන කිරි පිටිවලට පනවා තිබුණු සම්පාදන ඉවත් කරන ප‍්‍රතිපත්තියකට යොමුවීමෙනි. ආනයනය කරන කිරි පිටි සඳහා පනවා තිබූ රු. 240 බද්ද රුපියල් 2 දක්වා අඩු කළේය.
ඒ සමඟ අමු කිරිවලින් නිපදවන ලද බොහෝ දේ කිරිපිටිවලින් නිපදවන දේවල් බවට පත්විය. දැන් කිරි ගොවීන් ඉන්නේ තමන් නිපදවන කිරි විකුණාගත නොහැකි අසරණ තත්ත්වයකය. ඒ දේ සිදු කෙරුණේ හිතක් පපුවක් නැති ආකාරයටය.

වස විස නැති ගොවිතැන

කෘෂිකර්මයේම වෙනත් අංශවල සමහර දේවල් සිදුවෙමින් තිබෙන්නේද විකාරරූපී ස්වභාවයකටය. ග්ලයිෆොසෙට් තහනම් කළේද වස විස නැති ගොවිතැනක නාමයෙන් පළිබෝධනාශක හෝ රසායනික පොහොර නැතිව කාබනික ගොවිතැනකට රට තල්ලූ කළේද ඒ ගැන විධිමත් ලෙස කරන කරුණු සොයා බැලීමකින් තොරව ඉතාමත් හිතුවක්කාරී ආකාරයකටය. ඒ නිසාත් අවශ්‍ය තරම් ජලය නැතිකම නිසාත්, වන සතුන්ගෙන් සිදුවන බරපතළ හානි නිසාත් වෙනදා රටේ නිපදවූ දේවල් පවා ආනයනය කරන තැනකට යන්නට රටට සිදුවී තිබේ. දැන් ලංකාවේ ගොවිතැනින් ජීවත් වන මිනිසුන් ඉන්නේ ඉතාමත් දුක්ඛදායී අසරණ තත්ත්වයකය.

විසඳුමක් නැතිව ඉදිරියට ඇදෙමින් තිබෙන වන සතුන් පාලනයකින් තොරව වර්ධනය වන්නට ඉඩහැර බලා සිටින මෝඩ ප‍්‍රතිපත්තිය ඉක්මනින් පුපුරනසුලූ ප‍්‍රශ්නයක් දක්වා වර්ධනය විය හැකිය.

සිිහිමොළේ ඇති මොනම රටක්වත් වන සතුන්ගේ ගහණය පාලනයකින් තොරව වර්ධනය වන්නට ඉඩ දෙන්නේ නැත. කෘෂිකර්මයට හානි කරන වන සතුන් පාලනයකින් තොරව කෘෂිකර්මය නගා සිටුවීමේ හැකියාවක්ද නැත. වල් ඌරන්, මොනරුන්, වඳුරන්, රිලවුන්, ඉත්තෑවන් හා දඬුලේනුන් වැනි සතුන්ගේ ගහණය වර්ධනයවෙමින් තිබෙන්නේ හෙමින් හෙමින් නොව මහත් වේගයකින් යුතුවය. වන හා වන සතුන්ට අදාළ බලධාරීන්ගේ අනුකම්පාව ලැබී තිබෙන්නේද වන සතුන්ගේ බැටකන මිනිසුන්ට නොව මිනිසුන්ට හිංසා කරන වන සතුන්ටය.

මේ වන සතුන් කෘෂිකර්මයට කරන හානිය හා එහි තරම ගැන ආණ්ඩුවට හොඳ අවබෝධයක් ඇතත්, එයට ඉක්මන් විසඳුමක් දීමට අවශ්‍ය ධෛර්යය ආණ්ඩුවට නැත. දිය යුතු විසඳුම කුමක්ද කියා ආණ්ඩුව හොඳින් දන්නෙහිය. එහෙත් ඊට අත ගසන්නට ආණ්ඩුව බයය. ඒ නිසා ඒ මගින් මිනිස්සුන්ට සේ ම කෘෂිකර්මයටද සිදුවන හානිය දෙස අහක බලාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුවට සිදුවී තිබේ. වන සතුන්ගේ ගහණයේ ඇතිවී තිබෙන අතිවිශාල ප‍්‍රසාරණය පාලනය කරන ප‍්‍රතිපත්තියකට නොගොස් තවත් වසර දෙක තුනක් මේ ආකාරයට අහක බලාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළහොත් වන සතුන්ගෙන් පීඩාවට පත්වෙමින් මිරිකී සිටින ජනයා වීදි බසින තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

මෙම ප‍්‍රශ්නයට තිබෙන එකම විසඳුම වනාන්තරවල නොව ගම්වල සිටින වන සතුන් දඩයම් කිරීමේ අයිතිය මහජනයාට ලබාදීමටය. එසේ දඩයම් කරන සතුන්ගේ මස් ළඟ තබා ගැනීම, ප‍්‍රවාහනය කිරීම, විකිණීම හා වෙළෙඳාමට ඉඩදෙන විධිවිධාන ඇති කිරීමය. එසේ කළ විට සතුන් දඩයම් කොට විකිණීම ජීවන මාර්ගය බවට පත් කරගත් මිනිසුන් බිහිවනු ඇත. එම ජීවන මාර්ගය ඔවුන්ට හොඳ ආදායම් ලබාදෙන ජීවන මාර්ගයක් බවටද පත්වනු ඇත.

වෛරය පැතිරවීම

අභ්‍යන්තර යුද්ධය අවසන් කර ඇතත්, රටේ වාර්ගික අන්තර් සම්බන්ධතා තිබෙන්නේ යහපත් තත්ත්වයක නොව පුපුරනසුලූ තත්ත්වයකය. විශේෂයෙන්ම සිංහල මුස්ලිම් සම්බන්ධය තිබෙන්නේ ඉතාමත් නරක තත්ත්වයකය.

ලංකාවේ ඇතිවූ සියලූ ලේ හැලෙන ගැටුම්වල මුල ඇත්තේ නිදහසත් සමඟ නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වීම නිසාය. නූතන ජාතිය හා නූතන ජාතික රාජ්‍යය අතර තිබෙන අන්තර් සම්බන්ධය ගැන රටේ ජාතික නායකයන්ට මොනම අවබෝධයක්වත් නොතිබුණි. වර්තමානයේදී පවා ඒ ගැන වන නිරවුල් පැහැදිලි අවබෝධයක් රටේ නායකයන්ට තිබෙන බවක් පෙනෙන්නට නැත.

සිංහල ජාතිය වඳභාවයට පත්කිරීමේ දුෂ්ට අරමුණින් මුස්ලිම් ආපනශාලා හිමියන් සිංහලයන්ට දෙන ආහාරවලට වඳ බෙහෙත් මිශ‍්‍ර කර දෙන්නේ යැයි කියන කිසිදු සත්‍ය පදනමක් නැති කතාව සිංහල ජනයා කෙරෙහි සැලකිය යුතු තරම් විශාල බලපෑමක් ඇති කිරීමට හේතුවී තිබෙන බව හා ඒ නිසා මුස්ලිම් ආපනශාලාවලට ඇති වෙළෙඳාමේ සැලකිය යුතු තරමේ කඩා වැටීමක් සිදුවී තිබෙන බවද පැහැදිලිව දැකිය හැකිය. ඒ නිසාම මුස්ලිම් ජනයාට අද ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ සැකයෙන් හා ලොකු අසහනයකින් යුතුවය.

මුස්ලිම්වරුන් ඉලක්ක කරගත් හා ඔවුන් කෙරෙහි වෛරය පතුරුවන සංවිධානාත්මක ප‍්‍රචාරක ව්‍යාපාරයක් ක‍්‍රියාත්මකවීම ආරම්භ වූයේ අභ්‍යන්තර යුද්ධය අවසන් වීමත් සමඟය. මුස්ලිම් රෙදි සාප්පුවලින් ඇඳුම් ගන්න එපා. එම ඇඳුම්වලට වඳ බෙහෙත් දමා තිබේය කියන කතාව සේ ම මුස්ලිම් ආපනශාලාවලින් සිංහලයන්ට දෙන ආහාරවලට වඳ බෙහෙත් දමා තිබේය කියන කතාව ඒ කාලයේ සිටම පතුරුවා හරිමින් තිබූ කතාවකි. ඒවා කිසිම සත්‍ය පදනමක් නැති මුස්ලිම් ජනයා කෙරෙහි වෛරයක් හා ද්වේෂයක් ඇති කොට ඔවුන්ගේ වෙළෙඳාම දුර්වල කිරීමේ දුෂ්ට අරමුණින් සංවිධානාත්මක සුළු පිරිසක් පවත්වාගෙන ගිය ප‍්‍රචාරක ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය. මෙවැනි දේවල් රටක වෙන්නට ඉඩ හැර වගකිවයුත්තන් බකන් නිලාගෙන බලා සිටින ප‍්‍රතිපත්තියක් රටේ යහපතට හේතු නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් දැන් රටේ සිදුවෙමින් තිබෙන්නේ එයයි.

එවැනි කටකතා රටේ ආර්ථිකයට ඇති කරන විනාශයේ තරම පාලකයන් තේරුම් ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. පාලකයන්ගේ මේ නිශ්ශබ්දතාවද වන සතුන්ගේ ප‍්‍රශ්නය පිළිබඳව පවත්වාගෙන යන නිශ්ශබ්දතාවට වෙනස් නැත. සිදුවෙමින් තිබෙන වරද ගැන මනා අවබෝධයක් පාලකයන්ට තිබෙන්නේය. ඒවාට ලබාදිය යුතු විසඳුම් ගැනද දන්නෙහිය. එහෙත් වැඬේට අත ගසන්නට බයය. රටක් කුණුවන්නේ එවැනි ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියාකරන විටය.