රාවය

ඡන්දෙන් පසු සම්මුති ආණ්ඩුව

ඡන්දෙන් පසු සම්මුති ආණ්ඩුව

පළාත් පාලන ඡන්ද උණුසුම වැඩිවෙනවාත් සමගම, පළාත් පාලන ඡුන්දයෙන් පසු කුමක් වේවිද යන්න ගැන කෙරෙන පූර්ව නිගමනද, ඒ ගැන කියැවෙන අනාගත වාක්‍යද අඩුවක් නැතිව දේශපාලන ලෝකය පුරා විසිරෙයි. ශ‍්‍රී‍්‍රීලනිපය, ඒකාබද්ධ විපක්‍ෂය සමග සන්ධානගත වේද, නැතිනම් ශ‍්‍රීලනිපය එජාපය සමග සන්ධානය තවදුරටත් පවත්වා ගනීවිද වැනි ‍්‍රශ්න ‘එදිනෙදා නැගෙන ප‍්‍රශ්න’ බවට පත්වී තිබේ.

ඡන්දයට පෙර ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්‍ෂයෙන් හැදුණු පොදු ජන පෙරමුණ අතර ඇතිවන්නට ගිය සන්ධානය වැලකී ගියේ, ශ‍්‍රීලනිපයේ උනන්දුවක් කැපවීමක් ඒ සඳහා නොතිබුණු නිසා නොවේ. පොදු ජන පෙරමුණ පැත්තෙන්, විශේෂයෙන් බැසිල් රාජපක්‍ෂගේ පැත්තෙන් ඒ ගැන දැක්වූ ඇල්මැරුණු උනන්දුව, නැතිනම් ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසාය. එහිදී ජනාධිපති සිරිසේනට ඕනෑ වී තිබුණු බව පෙනෙන්නේ, දෙකඩ වී තිබෙන පක්‍ෂය එකතු කර ගැනීම සඳහා තමාගේ පැත්තෙන් කළ යුතු හැම දෙයක්මත් කළ බව කියාපෑමට වන්නට ඇත. ඒ වුවමනාව කොයි තරම් තිබුණාද කියනවා නම්, කොටස් දෙක එකතු කිරීම සඳහා ඔහු පෞද්ගලිකවම බැසිල් රාජපක්‍ෂට දුරකතනයෙන් කතා කළ බවද දැන් කවුරුත් දන්නා දෙයකි.

එහෙත්, මේ දුරකතන ඇමතුම අනුව නම් පෙනෙන්නේ, හුදෙක් තමා සහයෝගයේ අත ඒකාබද්ධ විපක්‍ෂයට දික්කළාය යන්න ලෝකයාට කියාපෑමට එහා ගිය වුවමනාවක් ජනාධිපතිවරයාගේ පැත්තෙන් තිබුණු බවය. එනම්, කොහොම හරි එකට එකතු වීමේ හැබෑම වුවමනාවක් ජනාධිපතිවරයාට තිබුණු බවයි. එක පැත්තකින් පක්‍ෂය දෙකඩ කළායැයි කියන චෝදනාවක් තමා වෙත එල්ලවීම වලක්වා ගන්නටත්, අනෙත් පැත්තෙන් ඡන්දයේදී තමා මෙහෙයවන ශ‍්‍රීලනිපය තුන්වැනි තැනට ඒමේ අවමානයෙන් බේරීමටත් වුවමනාවක් ජනාධිපතිවරයාට තිබෙන්නට ඇත.

කොහොම වුණත්, ඡන්දයට පෙර ශ‍්‍රීලනිප-ඒකාබද්ධ සන්ධානය නොකෙරෙන තැනට වැඩ සිදුවිය. එහෙත්, ඒ වැඩපිළිවෙළ තුළ ජනාධිපතිවරයා අලූත් වටයකින් සතුරු බලවේගයක් සදාගත් බව පෙනේ. ඒ එක්සත් ජාතික පක්‍ෂය පැත්තෙනි. එජාපයේ මන්ත‍්‍රීවරුන් හා ඇමතිවරුන් මේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ දුටුවේ තමන්ට ද්‍රෝහීවීමක් හැටියටය. එක දීගයක සිටිමින් අනියම් සම්බන්ධයක් ඇතිකර ගැනීමක් හැටියටය. එය සාධාරණ බයකි. සැකයකි. එහි ප‍්‍රතිඵලය වුණේ, අලූත් වටයකින්, තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීමේ වුවමනාව එජාපයේ ඉහළ හා පහළ ස්ථරවලින් නැවතත් බලවත් ලෙස මතුවීමයි.

එජාප මැති ඇමතිවරු, ශ‍්‍රීලනිප සමග සම්මුතියෙන් කැඞී තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීම ගැන මාධ්‍යවලට විශාල ලෙස අදහස් දක්වන්නට පටන්ගත්හ. ඔවුන්ගේ පොදු තර්කය වුණේ, තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු ආසන ගණන දැනටමත් තමන්ට තිබෙන බවයි. ඒ 106කි. 113ක් නොමැතිවීම අඩුවක් ලෙස කියන අයට ඔවුන්ගේ පිළිතුර වුණේ, 1994දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ආණ්ඩුවක් හැදුවේද ආසන 104කින් බවය.

පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ප‍්‍රමාණය තිබෙන පජෂය හැටියට තමන්ට තනි ආණ්ඩුවක් හැදිය හැකි බවද, අවස්ථාවෙන් අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය තමන්ට ලබාගත හැකි බවද, ශ‍්‍රීලනිපයේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින සමහර මන්ත‍්‍රීවරුන් තමන්ගේ ආණ්ඩුවකට සහාය දීම සඳහා එකතු කර ගත හැකි බවද ඔවුන්ගේ අදහසයි.

මේ කතා, තර්කානුකූලව හරිය. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ ආසන 113ට වැඩියෙන් තිබිය යුතුයැයි කීම නිර්මාණය කරන ලද කතාවකි. ඇත්ත වශයෙන්ම එවැන්නක් අවශ්‍ය නොවේ. සාමාන්‍ය පනත් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ 113ක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ පැමිණ සිටින මන්ත‍්‍රීන් සංඛ්‍යාවෙන් බහුතරයකගේ කැමැත්ත පමණි. අයවැය සම්මත කිරීමට පවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය නැති අතර, සාමාන්‍ය බහුතරයක්, එනම් පැමිණ සිටින අයගෙන් බහුතරයේ කැමැත්ත පමණක් ප‍්‍රමාණවත්ය. ඒ නිසා, 113ට අඩුවුණත්, සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යෑම කළ නොහැකි දෙයක් නොවේ. එහි ඇති සාධනීය දෙයක් නම්, එවැනි ආණ්ඩුවකට ඕනෑවට වඩා හිතුවක්කාර ලෙස වැඩකරන්නට නොහැකි වීමයි. සෑම තීරණාත්මක කාරණයකදීම, තමන්ගේ නොවන තවත් මන්ත‍්‍රීවරුන්ගේ හෝ පක්‍ෂයක සහාය ලබාගැනීමට ඔවුන්ට සිදුවිය හැකිය.

මේ නිසා, තමන්ගේ හිතුමනාපයට වැඩ කරනවාට වඩා, අනෙක් පක්‍ෂ හෝ දේශපාලන කණ්ඩායම් සමග එකට එකතුව, ඔවුන්ගේ සහායද ලබාගැනීමට හැකිවන සම්මුතිවාදී තත්ත්වයක් පවත්වා ගැනීමට එවැනි ආණ්ඩුවකට සිදුවෙයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙනුත්, රටේ මහජනතාවගේ පැත්තෙනුත් හොඳ දෙයකි.

එහෙත්, තනි ආණ්ඩුවක් පිහිටුවීම ගැන චණ්ඩි කතා කියන එජාපයේ අලූත් මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු 2001-2004 තමන්ගේ එජාප ආණ්ඩුව කරදරයේ වැටුණු ආකාරය ගැන නිසි තක්සේරුවක් ඇතිව ඒ කතාව කියන බවක් නොපෙනේ. එසේ කියන බොහෝ දෙනෙක් ඒ කාලයේ දේශපාලනය පැත්ත පළාතකවත් සිටි අයද නොවෙති.

වැදගත්ම ප‍්‍රශ්නය, තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීම නොවේ. විධායක බලය ඇති ජනාධිපතිවරයකු සමග ඒ ආණ්ඩුව පවත්වාගෙන යෑමයි. 19වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල කිසියම් ප‍්‍රමාණයකින් අඩුකර ඇති නමුත්, තවමත් ඉන්නේ ඉතාම බලසම්පන්න ජනාධිපතිවරයකු බව වටහා ගැනීම අවශ්‍යය.

විශේෂයෙන් පසමිතුරකු බවට පත්වුණොත් එවැන්නකු සමග ආණ්ඩුවක් ගෙනයෑම බරපතළ අර්බුද රාශියකට මග පෙන්වන බව 2001-04 චන්ද්‍රිකා-රනිල් ආණ්ඩුව ඕනෑවටත් වැඩියෙන් පෙන්වූ ආදර්ශයයි. එවැනි ආණ්ඩුවකට කළ හැක්කේ, කිසිම වැදගත් වෙනස්කමකට, ප‍්‍රතිසංස්කරණයකට නොයා, ජනාධිපතිවරයාගේ උදහසටද ලක් නොවී, තමන්ගේ මැති ඇමති වරප‍්‍රසාද භුක්ති විඳිමින් එදා වේල ටුවර්ස් ආණ්ඩුවක් ගෙනයෑමට පමණකි. අනෙක් අතට, 2020 පෙබරවාරියෙන් පසු, (අවුරුදු හතරහමාරකට පසු) ආණ්ඩුවක් විසුරුවා හැරීමේ බලයද ජනාධිපතිවරයාට යළි ලැබෙන බව අමතක නොකළ යුතුය.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටියදී, එජාප ආණ්ඩුවක් පිහිටුවූ විට, ඒ කාලයේ දේශපාලන විචාරකයන් කීවේ චන්ද්‍රිකාගේ තටු කපා පැත්තකට කොට, තමන්ගේ පාලනයක් ගෙනයන්නට එජාප ආණ්ඩුවට හැකිවනු ඇති බවය. පාර්ලිමේන්තුවේදී ජනාධිපතිනියගේ වැය ශීර්ෂ පවා කපා දමා ඇය බෙලහීන කිරීමේ හැකියාව ගැනත් ඒ කාලයේ බොහෝ ජයග‍්‍රාහී කතා තිබුණි.

එහෙත්, අන්තිමට සිදුවුණේ කුමක්ද? රනිල් අගමැති ඇතුළු එජාප ආණ්ඩුවට ටික කාලයකින්ම ගෙදර යන්නට සිදුවීමයි. චන්ද්‍රිකා විය හැකිව තිබුණු විදියටම, ආණ්ඩුවේ සම්පූර්ණ බලය තමා වෙත පවරා ගත්තාය. එජාපයට ඡුන්දය දුන් ජනතාව ඊට එරෙහිව පාරට බැස්සේ නැති අතර, රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ සඳහා පෙළඹවීමක්ද නොකළේය. අද එජාප ආණ්ඩුවක් තනියෙන් පිහිටුවන්නට හදන අය, ඒ ගැන වහසි බස් කියන එජාපයේ උදවිය, ඒ අමිහිරි අතීතය ගැන තමන්ගේම නායකයාගෙන් අසා දැනගැනීම වැදගත්ය.

එජාප ආණ්ඩුවකට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම ගැන කරන කතාද බරක් ඇති කතාවක් නොවේ. දෙජාස සමග ආණ්ඩුවක් පිහිටුවනවා නම් එය කරන්නට තිබුණේ, 2015 අගෝස්තුවේදීය. දෙජාස සමග එජාප ආණ්ඩුවක් හෝ දෙජාස සහයෝගය දෙන එජාප ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම විරුද්ධ පක්‍ෂ (ජාතිවාදී දෘෂ්ටියෙන්) දකිනු ඇත්තේ කොටින්ගේ වුවමනාවට ඇටවූ ආණ්ඩුවක් හැටියටය. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ කොටස්කරුවකු වීම දෙමළ ජාතික සන්ධානයටද දේශපාලන වශයෙන් අහිතකරය. ඒ හරහා, දැනටමත් දේශපාලන අර්බුද ගණනාවකට මුහුණ දී සිටින දෙජාසට තම ගොදුරු බිම්වල ජනතාවගේ සහාය නැතිවී යෑමටද හේතු වනවා ඇත.

මේ නිසා එජාපයට තෝරාගැනීම් කිහිපයක් නැත. ඇත්තේ එකකි. එනම් ජනාධිපති සිරිසේන සමග සහයෝගයෙන් තවදුරටත් ආණ්ඩුව ගෙනයෑමය. එහෙත්, ජනාධිපතිවරයා තනි පුද්ගලයකු හැටියට එජාපය සමග එකතුව වැඩ කිරීමට කැමැත්තක් නැත. ඔහු සිතන්නේ, තනි ජනාධිපතිවරයකුට, එනම් තමාගේ පසුපස දේශපාලන පක්‍ෂයක් නැති ජනාධිපතිවරයකුට ආණ්ඩුවක් ගෙනයා නොහැකි බවයි. ඒ නිසා, තමන්ට ද පක්‍ෂයක් තිබිය යුතු බවයි.

නරක කොන්දේසි යටතේ වුණත්, ශ‍්‍රීලනිපයේ නායකත්වය බාරගෙන ඔහු කටයුතු කරන්නේ ඒ නිසා වන්නට හැකිය. මේ නිසා, ජනාධිපතිවරයාගේ පැත්තෙන් එන තවත් පිරිසක්ද, එනම් ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරුන් පිරිසක්ද අනිවාර්යයෙන් ආණ්ඩුවට හවුල් කරගන්නට සිදුවෙයි. එහි තේරුම නම්. ශ‍්‍රීලනිප-එජාප හවුල් ආණ්ඩුවක් තවදුරටත් පැවතිය යුතු බවයි, පවතින බවයි. කොයිතරම් අඩුපාඩු තිබුණත්, ආරාවුල් තිබුණත්, ජනාධිපතිවරයාගේත්, මේ ආණ්ඩුවේත් ජනවරම අවසන්වන තුරු මේ දෙපක්‍ෂයට එකට එකතුවී ආණ්ඩු කරන්නට සිදුවෙයි.

ශ‍්‍රීලනිපයේ සමහර පිරිස්ද. තමන්ගේ තනි ශ‍්‍රීලනිප ආණ්ඩුවක් ගැන සමහර තැන්වල කතාකරනු පෙනේ. පක්‍ෂයක ඉන්නා විට පක්‍ෂයේ උන්නතිය ගැන කතාකරන බව පිටතට පෙන්වීම සඳහා එවැනි කතා කීම පිළිගත හැකි දෙයක් වන නමුත්, ඇත්තටම තනි ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් ගැන සිතමින් කවුරුහරි එහෙම කියනවා නම් ඒවැන්නන්ගේ මොළ පරීක්‍ෂාවක් කරගත යුතුය. මේ තත්ත්වයන් යටතේ තනි එජාප ආණ්ඩුවක් පිහිටුවිම කොයිතරම් අපහසුද, ඊටත් වඩා සිය ගුණයකින් ශ‍්‍රීලනිප තනි ආණ්ඩුවක් පිහිටුවීමටත් පවත්වාගැනීමටත් නොහැකිය.

ඒ නිසා ජනාධිපතිවරයාටද ඇත්තේ එක තෝරාගැනීමකි. එනම්, අඩුගණනේ 2020 වන තුරුවත් එජාපය සමග හවුල් ආණ්ඩුව පවත්වා ගෙන යෑමයි. ඒ නිසා, පළාත් පාලන ඡුන්දයෙන් පසුව හෝ ඒකාබද්ධ විපක්‍ෂය සමග එකතුවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගන්නා බවට පුරසාරම් දොඩවන සුසිල් පේ‍්‍රමජයන්ත වැනි ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ සිහින ලෝකවලින් ඔවුන් බැස්සවීම ජනාධිපතිවරයාගේ වගකීමකි.

එජාපය හා ශ‍්‍රීලනිපය එකට එකතුවී ආණ්ඩුවක් පිහිටුවීමක් ගැන ලංකාවේ දේශපාලන කේන්දරයේ තිබුණේ නැත. එහෙත් එය සිදුවිය. දේශපාලන සිතියම අනුව නම් සිදුවිය හැක්කේ එය පමණකි. එක පැත්තකින් එජාපය සමග ආණ්ඩු කරන ශ‍්‍රීලනිපයට, අනෙක් පැත්තෙන් පොදු ජන පක්‍ෂය සමගද එකට එකතු විය හැකියැයි කියන අදහසක් දේශපාලන සිතියමේ තිබිය නොහැකිය. තිබුණත් තිබිය හැක්කේ දෙකින් එකකි. එක්කෝ ශ‍්‍රීලනිප-එජාප සම්මුතිය. නැතිනම් ශ‍්‍රීලනිප-පොදු ජන පෙරමුණ සම්මුතිය. මේ දෙක එක විට පැවතීමක් විය නොහැකිය.

ඒ නිසා, පළාත් පාලන ඡන්දයෙන් පසුවද ගත යුතු තීරණය පැහැදිලිය. තනිව බලය පිහිටුවන්නට බැරි පළාත් පාලන ආයතනවල එජාපය හා ශ‍්‍රීලනිපය එකතුවී බලය පිහිටුවීමයි. එය 2015 සම්මුතිය නැවතත් ශක්තිමත් කිරීමටද හේතු වනවා ඇත. පළාත් පාලන ඡන්දයේදී විශාල බලයක් පෙන්වීමට අසමත් වුණොත් පොදු ජන පෙරමුණේ අනාගතයද අවදානමේ වැටෙන්නේය. දැනටමත් සිදුවන පොහොට්ටුවේ පෙති එක එක හැලියෑම ඉන්පසු තවදුරටත් වේගවත් වනවා ඇත. ඉතිරිවනු ඇත්තේ පොහොට්ටුවේ නටුව පමණකි. අවසානයේ ප‍්‍රධාන පක්‍ෂය ඉතිරිවෙයි. කැඞී ගිය අය එක්කෝ නැවත පක්‍ෂයට එකතු විය යුතුය. නැතිනම් නොපෙනී යා යුතුය. ලංකාවේ දේශපාලන සම්ප‍්‍රදාය එයයි.

ඒ නිසා, ඒකාබද්ධය සමග සන්ධාන ගැසීමේ වුවමනාව. අංශු මාත‍්‍රයක්වත් තිබේ නම් ජනාධිපතිවරයා එය අත්හළ යුතුය. ජනවරම තිබෙන්නේ, පරණ හොරුන් දුෂිතයන් මිනීමරුවන් සමග නැවතත් දීගකෑමට නොවේ. ඔවුන් අල්ලා නීතිය ඉදිරියට ගෙනඑන්නටය. 2015 මහජනතාවට පොරොන්දුවුණු ප‍්‍රතිසංස්කරණ ඉටු කරන්නටය. කුමන අඩුපාඩු තිබුණත්. එය කළ හැක්කේ දැනට යමින් සිටින ගමනම වේගවත්ව ඉදිරියටම, හරි පැත්තට යෑමෙනි.