රාවය

දුෂණයේ ගැටලූව ගැටලූවක් ලෙස

දුෂණයේ ගැටලූව ගැටලූවක් ලෙස

පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය දියත්වීමත් සමඟ ‘¥ෂණ විරෝධී සටන’ පිළිබඳ දේශපාලන සටන් පාඨයටද අලූත් පණක් ලැබී තිබෙන බව පෙනේ. පසුගිය අඟහරුවාදා හැන්දෑවේ ගුවන්විදුලි සංස්ථාවේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශනයේ දෙවැනි මාතෘකාව වූයේ පළාත් පාලන මට්ටමෙන් දුෂණ විරෝධී පෙරමුණක් ගොඩනැගීමට තමා නායකත්වය දෙන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයකි. එතුමාගේ මෙම නව දුෂණ විරෝධී පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු ලෙස එම ප‍්‍රවෘත්ති ප‍්‍රකාශනයේම හැඳින්වුණේ ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ් නායක තොණ්ඩමන් මහතාය. අවස්ථාවාදීව පිහිටුවා ගන්නා මැතිවරණ පෙරමුණක්, දුෂණ විරෝධී පෙරමුණක් ලෙස පරිකල්පනය කරගැනීමට තරම්, දේශපාලනය ගැන හොඳ අවබෝධයක් ඇති ජනාධිපතිතුමා පවා කිසිදු සාංකාවකින් තොරව ඉදිරිපත්වීමෙන් පෙනෙන්නේ, දුෂණය පිළිබඳ ප‍්‍රශ්නයේම තිබෙන බැ?රුම්කමයි. ඒ ඇරත් තොණ්ඩමන් මහතා වැනි අය සමඟ ගොඩ නගන දුෂණ විරෝධී පෙරමුණු?

මේ කරුණ වෙතින්, දුෂණය පිළිබඳව අප රටේ ඇති ප‍්‍රශ්නයේ එක් හාස්‍යෝත්පාදක මෙන්ම ඛේදජනක උභතෝකෝටිකයක් ප‍්‍රකාශයට පත්වෙයි. එය නම් දුෂණය කොයිතරම් ව්‍යාප්ත සහ සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබෙන්නේද යත්, දුෂණ විරෝධයේ සටන්කරුවන් ලෙස බඳවා ගැනීමට සිදුවී තිබෙන්නේද දුෂණය පිළිබඳ ඉතිහාස, චෝදනා, ජනකතා සහ මහජන අවිශ්වාස තිබෙන අයමය.

මෙම තේමාව ගැන තරමක් ගැඹුරට සිතා බලන්නැයි ‘රාවය’ පාඨකයන්ට ආරාධනා කිරීම සඳහා ඊට සම්බන්ධ කාරණා දෙකක් ගැන කෙටියෙන් විභාග කිරීමට මේ ලිපියෙන් අදහස් කරමි. ඒ කරුණු දෙක නම්,

(අ) අප රටේ ‘දුෂණය’ කොයිතරම් දුරට සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේද යත්, සෑම පුරවැසියෙකුටම දුෂණ භාවිතවල යෙදීමේ පාප සහායකයන් වීම හැර වෙන විකල්පයක් නැත.

(ආ) අප රටේ දේශපාලනය, රාජ්‍ය සේවය සහ ආර්ථිකයේ පුද්ගලික අංශය ක‍්‍රියාත්මකවීමේ මෙහෙයුම් මූලධර්මය (operational pricncipal එක) වී තිබෙන්නේ දුෂණයයි. (අධිකරණ ක්ෂේත‍්‍රය මේ ලැයිස්තුවට නොදමන්නේ, දැනට රැකියා විරහිතව සිටින මට ජනාධිපති නීතිඥ මහතුන්ට නඩු ගාස්තු ගෙවීමට තරම් මුදල් නැති නිසාය!

අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට පෙර ‘දුෂණය’ යන පදය අර්ථනිරූපණය කරගැනීමද අවශ්‍යය. දුෂණය පිළිබඳ නෛතික අර්ථකථන සහ පොදුජන අර්ථකථන පදනම් වී තිබෙන්නේ එක්තරා චර්යාධාර්මික මූලධර්මයක් මතය. එය නම් ‘තමන්ට හිමි නැති, නැතහොත් අන්‍යයන් සතු වස්තුවක්, අයුතු ලෙස සහ ව්‍යාජයෙන් තමන් සතු කර ගැනීම’ යන්නයි. අල්ලස් ගැනීම සහ අයුතු ලෙස ධනවත්වීම යන ක‍්‍රියා දෙක පදනම් කොටගෙන දුෂණය පිළිබඳ අපරාධ නීතිය මෙන්ම මහජන තේරුම් ගැනීමද සකස් වී ඇත.

එහෙත් මේ නෛතික සහ මහජන යන තේරුම් ගැනීම් දෙකෙහිම ‘දුෂණය’ පිළිබඳව ඇති වටහා ගැනීමේ බරපතළ අඩුවක් තිබේ. එය නම් දුෂණය යන්න තනි පුද්ගල ක‍්‍රියාවක් බවට ලඝු කිරීමයි. සජින් වාස් ගුණවර්ධනට මිස ඔහු හා සම්බන්ධ සමස්ත ජාලයටත්, ලලිත් වීරතුංගට මිස ඔහු හා සම්බන්ධ සමස්ත ජාලයටත්, ග‍්‍රාමසේවක කෙනෙකු හෝ පාසල් විදුහල්පතිවරයෙකුට මිස ඔහු/ඇය සම්බන්ධ සමස්ත ජාලයටත්, උසාවියේ පියන් කෙනෙකුට මිස ඔහු සම්බන්ධව සිටින සමස්ත ජාලයටත් නඩු නොවැටෙන්නේ මේ අඩුව නිසාය.

දුෂණය යනු ක‍්‍රමය සමඟ අත්‍යන්තයෙන්ම බැඳුණු (Systemic) දෙයක් බව හැමෝම දනිති. තමන්ද එම ක‍්‍රමයේත්, එහි ජාලයේත් කොටස්කරුවන් බව දේශපාලනඥයෝද, රජයේ සේවකයෝද, පුද්ගලික අංශයේ ව්‍යාපාර අධ්‍යක්ෂවරුද, අධිකරණ නිලධාරීහුද, පුරවැසියෝද දනිති. එහෙත් අප හැමදෙනාම උත්සාහ ගන්නේ, ක‍්‍රමයේ (System එකේ) තිබෙන මෙම අතිදැවැන්ත අවගුණය, තමන්ගේ කර්මය වැරදී සිටින පුද්ගලයන් කිහිපදෙනෙකුගේ කර පිටින් යවා, ”පේනවා නේද දුෂණයට විරුද්ධ අපේ සටන!” යයි කියමින් විනෝද වීමටය. ලංකාවේ දුෂණයට එරෙහි යහපාලන ආණ්ඩුව පටන් ගත් සටනද කොතරම් දුෂිත වී ඇත්ද යන්න,දුෂණය ගැන ඇති පරීක්ෂණ ගැන සරත් විජේසූරිය මහතා රාවය පත‍්‍රයට ලියන ලිපිවලින් මතුකරන මූලිකතම කාරණයයි.

දුෂණය සාමාන්‍ය වීම සහ පුරවැසි සහභාගිත්වය

දුෂණය සාමාන්‍ය දෙයක් වීම යනු ක‍්‍රියාවලියකි. එම ක‍්‍රියාවලියේ අනිවාර්ය අංගයක් වී තිබෙන්නේ පුරවැසියාද දුෂණයේ සක‍්‍රිය සහභාගිකරුවෙකු බවට පත්කිරීමයි. මෙය පැහැදිලි කිරීමට සරල උදාහරණයක් ගනිමු. අප ඕනෑම කෙනෙකුට අපගේ දෛනික පවුල් සහ සමාජ ජීවිතයේදී ගනුදෙනු කිරීමට අනිවාර්යයෙන් සිදුවන ගම් මට්ටමේ රාජ්‍ය ආයතන තුනක් තිබේ. ඒවා නම් පාසල, පොලිසිය සහ පළාත් පාලන ආයතනයයි. මේ ආයතන තුනෙහිම නම්ද, ‘පගා’ යන වචනයද ආරම්භ වන්නේ ‘ප’ අකුරෙන් වීම හුදෙක් වාග් විද්‍යාත්මක අහම්බයක් විය හැකිය. එය නොතකා වුවද, මේ ආයතන තුන සහ ‘ප’යන්නෙන්ම පටන් ගන්නා පුරවැසියා අතර සම්බන්ධය මාධ්‍යයනය කරන පුරුක කුමක්ද? ‘පගාව’යි.

පගාවක් නොදී තම දරුවෙකු පාසලකට ඇතුළත් කරගත් පුරවැසියන් අප රටේ සිටින්නේ නම්, ඒ ඉතාම පරිහානියට පත් පාසල්වලට තම දරුවන් යවන පුරවැසියන්ය. ‘හොඳ’ යැයි සැලකෙන පාසලකට දරුවකු ඇතුළත් කරගැනීමේදී ඇතිවන දුෂණය ‘පගාව’ කේන්ද්‍ර කොට ගත්තක් වන අතර, එය වනාහි පුද්ගලයන් දෙදෙනෙකු අතර පමණක් ඇතිවන නීති විරෝධී මූල්‍ය ගනුදෙනුවක්ම නොවේ. එම ගනුදෙනුව වනාහි ක‍්‍රියාදාමයකි. විදුහල්පති, ග‍්‍රාමසේවක, අතරමැදියන්, දේශපාලන ඒජන්තයන් ඇතුළු පුද්ගල සහ නිලධාරී ජාලයක් සම්බන්ධ වන, ‘පගා’වේ ප‍්‍රතිලාභය එම ජාලය අතර බෙදී යන, ඉතා ක‍්‍රමානුකූල, රහස්‍යභාවය ආරක්ෂා කෙරෙන, සාක්ෂි සොයා ගැනීමට දුෂ්කර ලෙස සංවිධානය වූ ක‍්‍රියාදාමයකි. ඉඳහිට අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, වෙස් වළාගෙන, ඉන්දියාවේ රහස් පරීක්ෂක ටෙලිනාට්‍යවල සිදුවන ආකාරයට සමහරවිට අත් දිග කමිස සහ ටයි පැළඳගෙන අත්අඩංගුවට ගන්නේ මේ ජාලයෙන් එක් කෙනෙකි.

සමහරවිට එම අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ද තම දරුවන් පාසල්වලට ඇතුළු කරන්නට ඇත්තේ, ඔවුන් අත්අඩංගුවට ගත් විදුහල්පති හෝ ගුරුවරයා අයත් වන ජාලය සමඟ පැවැත්වූ සාධනීය සම්බන්ධතා මාර්ගයෙන් විය හැකිය.

පළාත් පාලන ආයතන සමඟද පැවැත්වීමට පුරවැසියන්ට බලකෙරී තිබෙන ආයතනික සම්බන්ධය, පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ සංසිද්ධිය තරම්ම, අප හැමදෙනාම අපරාධ සහායකයන් ලෙස සම්බන්ධ වන, ජාලගත ක‍්‍රියාදාමයකි. පගාවක් නොදී තම බිල්ඩින් ප්ලෑන් එක පළාත් පාලන ආයතනයෙන් අනුමත කරගත් කිසිම පුරවැසියෙකු අපට සොයා ගත හැකිද? පගාවක් නොදී ගෙදරට විදුලි හා ජල සම්බන්ධතා ලබා ගත් පවුලක් සොයා ගත හැකිද?

තම පළාත් පාලන ආයතනයේ බදු ආදායම, තමන් අයත් වන දේශපාලන පක්ෂයේ නායකයාගේ ජනාධිපති මැතිවරණයට වියදම් නොකළ නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සොයාගත හැකිද? ඉතාම ශීඝ‍්‍රයෙන් සිදුවන නාගරීකරණය යටතේ, අලූතෙන් පැතිරෙන ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයේ මහා ව්‍යාප්තියත් සමඟ ද්‍රව්‍යමය ප‍්‍රතිලාභ නොලබන නගරාධිපතිවරු, සභාපතිවරු, කොමසාරිස්වරු, මන්ත‍්‍රීවරු, නාගරික ඉංජිනේරුවරු, වැඩ පරීක්ෂකයෝ් සිටිත්ද? පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙනෙකු වීමට වඩා නගරාධිපති වී සිටීම ඵලදායී යැයි නොසිතන නගරාධිපතිවරු කොපමණ සිටිත්ද? ටික දෙනෙකු හෝ සිටිය හැකිය.

ඔවුන්ගෙන් බහුතරය, පුරවැසියන් මෙන්ම, දුෂණය නමැති ඉතාම ව්‍යාප්ත වූ, ඒ නිසාම සාමාන්‍ය දෙයක් වී ඇති, ක‍්‍රියාදාමවලත්, ජාලවලත් සක‍්‍රිය හවුල්කරුවෝය, සහභාගිකරුවෝය; කෙනෙකු පොලිසියෙන් අත්අඩංගුවට ගත් විට පමණක්, ”කරන දේත් හරියට කරන්න දන්නේ නෑනේ” යන ප‍්‍රතිචාරය දක්වන්නෝය. ලලිත් වීරතුංග මහතාට දඬුවම් ලැබුණු විට, ඔහුගේ මිතුරන් යැයි කියා ගත් සමහර අය ඉංග‍්‍රීසි පත‍්‍රවලට ලියූ ලිපිවල නොකියා කියා තිබුණේද මේ අන්තිමට කී ආකාරයේ ප‍්‍රතිචාරයකි.පොලිසිය ගැනද කිවයුත්තේ ඉහත ආකාරයේම විස්තරයක් බැවින්, එය නොකර, ඊළඟ කරුණට බසින්නෙමි.

දුෂණය දේශපාලනයේ, පරිපාලනයේ සහ ආර්ථිකයේ මෙහෙයුම් මූලධර්මයක් වීම

පාසල, පළාත් පාලන ආයතන, පොලිසිය සහ පගාත් අතර ඇති අන්තර් සම්බන්ධය ගැන අප කළ කෙටි සාකච්ඡුාවෙන් මතුවන වැදගත්ම කරුණ නම් එම සම්බන්ධය ‘අල්ලස’ පිළිබඳ අපරාධ වරදකට ලඝු කළ යුතු නොවේය යන්නයි. එය අපේ රටේ පුරවැසියන්ගේ පවුල් සහ සමාජ ජීවිතයේ කොටස්කරුවෙකුද වී තිබෙන්නේය යන්නයි. ”දුෂණයෙන් වියුක්ත පුරවැසි ජීවිතයක් නැත” යන විමතිය දනවන නිගමනයටද අපි ඒ වෙතින් ළඟාවෙමු. මන්ද යත් අල්ලස සහ දුෂණය සාර්ථක පුරවැසිභාවයේද මෙහෙයුම් මූලධර්මය වී තිබෙන නිසාය.

‘දේශපාලනදුෂණය’ යනු ආකාර ගණනාවකින් සමන්විත වන, ඒ සමඟම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති, අප රටේ දේශපාලන සංස්කෘතියේ ඉහළම පිළිගැනීමට ලක්ව තිබෙන්නකි. එය අතුගා දැමීමට නොහැක්කේද එනිසාය. ‘දේශපාලන දුෂණය’ යනු අපරාධ නීතියට හසුවන්නක්ද නොවන බැවිනි. එය වනාහි දේශපාලනය විසින්ම විසඳා ගන්නා, එනම් settle  කර ගන්නා, සාපරාධී නොවන, එහෙත් චර්යාධාර්මික නොවන, අවභාවිතයකි. ඒ නිසාම එහි අපරාධ නීතියත්, දේශපාලනයත් එකට පැටලී තිබේ. එම පැටලීමේදී වඩාත් ශක්තිමත්ව ඉදිරියට එන්නේ අපරාධ නීතිය හෝ යුක්තිය හෝ නොව දේශපාලන අභිලාෂ සහ න්‍යාය පත‍්‍ර බව, යහපාලන ආණ්ඩුවේම දුෂණ විරෝධී අසාර්ථක සටනෙන් අපට හොඳින්ම පෙනේ.

මෙහිදී අධිකරණය පවා, බල රහිත ‘බලා සිටින්නෙකුගේ’ තත්ත්වයට ඇද වැටී සිටින බවද කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය. අලූත් දුෂණ විරෝධී සටනකට නායකත්වය දීමට ඉදිරිපත් වී සිටින ජනාධිපතිතුමාට ‘දේශපාලන දුෂණය’ ගැන නිසි වැටහීමක් තිබෙන බව නොපෙනේ. මන්ද යත්, මැතිවරණ සටන් පාඨයකට වඩා වැඩි දෙයක් ලෙස දේශපාලන දුෂණය දැකීමට වෘත්තීය දේශපාලනඥයන්ට සාමාන්‍යයෙන් නොහැකි නිසාය. එය ඔවුන්ගේ වෘත්තියේම කොටසක් වන නිසාය. ”යහපාලන න්‍යාය ටොන් එකකට වඩා දේශපාලන භාවිතාවේ කළඳක් වටිනවා” යන මූලධර්මය ගැන යළි සිතා බැලීමට එතුමාටද බුද්ධි විවේකය ලැබෙනු ඇත්තේ, බල රහිත පුරවැසියෙකුගේ තත්ත්වයට නැවත පත්වූ විටය.

ආර්ථිකයේ පුද්ගලික අංශය සහ දුෂණය යන තේමාව ගැන කෙටියෙන් හෝ කරන විමසීමක් ආරම්භ කළ යුත්තේ, දුෂණය පිළිබඳ මහජන විවාදයේදීත්, අපරාධ නීතියේදීත් ඉතාම වරප‍්‍රසාදලාභී තත්ත්වයක සිටින්නේ Private Sector යන ගාම්භීර නාමයෙන් තමන් හඳුන්වා ගන්නා සමාජ කොටස වන්නේය යන්නයි. එයට එක් හේතුවක් වී තිබෙන්නේ පුද්ගලික සමාගම් සිදුකරන ‘දුෂණය’ ඍජුවම පුරවැසියා සම්බන්ධව සිදුවන භාවිතයක් නොවන නිසාය. සාම්ප‍්‍රදායිකව අප රටේ පුද්ගලික අංශයට පුරවැසියන් සමඟ ඍජු ගනුදෙනුවක් නොතිබුණේ, පුද්ගලික අංශය පුරවැසියන්ට සේවා සැපයීමේ කාර්යය නොකළ නිසාය.

එම කාර්යය කළේ රාජ්‍ය අංශයයි. එහෙත් පුදුමය නම්, එම සේවා සැපයීම පුද්ගලීකරණය කර තිබියදීත්, පුද්ගලික අංශය, රාජ්‍ය අංශයේ සුපුරුදු ‘දුෂණ’ භාවිතවලට ආපසු නොයෑමයි. මෙය පුද්ගලික අංශයේ සාමූහික සංස්කෘතියේ එක් විශේෂ ලක්ෂණයක් ප‍්‍රකාශ කරන්නක් බව පෙනේ. එය නම් දුෂණය’ ඉහළම ස්ථරයේ පමණක් ඒකාධිකාරයක් කර ගැනීමයි. එම දුෂණය වනාහි ‘ඉහළ’ දේශපාලනඥයන් සහ ‘ඉහළ’ රාජ්‍ය නිලධාරීන් සමඟ පමණක් සිදුවන ‘ඉහළ’ මට්ටමේ නම්බුකාර ගනුදෙනුය. ඒවාට නිමිති වන්නේ මුදල් අතිවිශාල ප‍්‍රමාණයන්ය. සාමාන්‍ය පුරවැසියා සම්බන්ධ නොවන නිසාම ඒවා අපරාධ නීතිය හෝ සදාචාරමය මිනුම් දඬු හෝ මගින් විනිශ්චයට ලක්වන්නේද නැත. ආර්ථිකයේ නිර්-රාජ්‍යකරණය සහ ආර්ථික ගෝලීයකරණය යටතේ, මෙය රාජ්‍යයන්ද, පුද්ගලික ප‍්‍රාග්ධනයද අතර ගොඩනැගී තිබෙන සම්බන්ධතාවේ නව මානයක්ද වී තිබේ.

චීනය සහ ලංකාව අතර ඇතිවෙමින් පවතින කිට්ටු ආර්ථික සම්බන්ධතාව ජාත්‍යන්තර මට්ටමෙන් රාජ්‍යය- රාජ්‍යය – ප‍්‍රාග්ධනය අතර ඇතිවන මෙම නව සම්බන්ධතාවේ ගෝලීය මාදිලිය බවට පත්වෙමින් තිබෙන බවද පෙනේ. එය හැඳින්වීමට ‘දුෂණය’ යන වචනය ප‍්‍රමාණවත් නොවන්නටද පුළුවන.

මේ සාකච්ඡුාවෙන් අපට බැසිය හැකි නිගමනය කුමක්ද? ‘දුෂණ විරෝධී සටන’ යන සටන් පාඨයක් බවට පත්කරමින් කියන්නට පහසු, එහෙත් සාර්ථක කරගැනීමට ඉතා දුෂ්කර අරමුණක් වන්නේය යන්නයි. එයට හේතුව එය දේශපාලන, ආර්ථික, පරිපාලන, ආයතනික සහ පුරවැසි ජීවිත ඇතුළට විනිවිද ගොස් ඒවා සමඟ වෙලී පැටලී තිබෙන ජීවන මූලධර්මයක්ද වී තිබෙන නිසාය. එය වනාහි අප චර්යාධාර්මික වශයෙන් පිළිකුල් කරන, එහෙත් අපේ සමාජ ජීවිතයේ මෙහෙයුම් මූලධර්මයක් වී තිබෙන අධාර්මික මූලධර්මයකි. ධර්මය හා අධර්මය යනු පහසුවෙන් එකිනෙකින් වෙන් කළ නොහැකි ලෝක ධර්මතා දෙකක් බවද එවිට අපට වැටහෙනු ඇත.