රාවය

සේවක වැඩ වර්ජන අසාර්ථක ආර්ථික ප‍්‍රතිපත්තිවල ප‍්‍රකාශනයකි

සේවක වැඩ වර්ජන අසාර්ථක ආර්ථික ප‍්‍රතිපත්තිවල ප‍්‍රකාශනයකි

අහිලන් කදිරගාමර්

පසුගිය දා ඇති වූ දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනය අප තේරුම් ගත යුත්තේ කෙසේද? එය ඉහළ වැටුප් ඉල්ලීම හා දුම්රිය සේවකයන්ගේ පරිපාලනමය ශ්‍රේණි පිළිබද හුදු ආරවුලක්ද? එසේත් නැතිනම් එය හුදෙක් පොදු ප‍්‍රවාහන සේවය බිදවැටීම ගැන ප‍්‍රශ්නයක්ද? මගේ අදහස වන්නේ මෙබදු වැඩ වර්ජන විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම් පිළිබ`ද ප‍්‍රශ්නය කෙරෙහි අපගේ අවධානය යොමු කරවන බවයි.

දුම්රිය වැඩ වර්ජනය හුදෙකලා සංසිද්ධියක් නොවේ. පසුගිය වසර දෙකක පමණ කාලය තුළ අපි විවිධ උද්ඝෝෂණ සහ විරෝධතා උත්සන්න වන ආකාරය දුටුවෙමු. ශිෂ්‍ය සංවිධාන අධ්‍යාපනය පෞද්ගලිකකරණයට එරෙහිව, වතු කම්කරුවන් වඩා ඉහළ වැටුප් සදහා, ටෙලිකොම් සේවකයන් ස්ථිර රැකියා වෙනුවෙන් ආදි ලෙස කළ සටන් එවැනි ප‍්‍රධාන පෙළේ සටන් සදහා උදාහරණ කිහිපයකි. මේ සියලූ වර්ජන සහ විරෝධතා රාජපක්ෂ පාලනයේ අවතාර විසින් වත්මන් ආණ්ඩුව පෙරලීම සදහා සංවිධානය කළ උත්සාහයන් බවට වූ චෝදනාව පදනම් විරහිත චෝදනාවක් වන්නේ මෙම සටන්වල පැතිරුණු ස්වභාවය හා ඒවායේ සුවිශේෂී ස්වභාවය නිසාවෙනි. ඇත්ත වශයෙන්ම මෙම වර්ජන හා විරෝධතා අසාර්ථක ආර්ථික ප‍්‍රතිපත්තීන්වල ප‍්‍රකාශනයකි. විවිධ ජනකොටස්වල අවශ්‍යතාවලට ආමන්ත‍්‍රණය කිරීමට ආර්ථික ප‍්‍රතිපත්තිවලට නොහැකි වීම මේවා මගින් පෙන්නුම් කෙරේ.

වෘත්තීය සමිති

ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන් ඓතිහාසිකව ලංකාවේ ද ශ‍්‍රමිකයන් සදහා ශිෂ්ට වැටුප් තල හා සේවා කොන්දේසි සහතික කිරීම සදහා වෘත්තීය සමිතිවලින් ඉටුවූ කාර්යභාරය අතිමහත්ය. ශ‍්‍රමිකයන් සූරාකෑම මත පදනම් වූ ධනවාදී ක‍්‍රමය තුළ ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට අමතරව වෘත්තීය සමිති බොහෝ අවස්ථාවල සමාජයේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන්වල ආරක්ෂාව උදෙසා තීරණාත්මක මැදිහත් වීම් සිදුකළේය. ලංකාවේ උදාහරණවලින්ම ගතහොත් යටත් විජිත විරෝධී අරගලය තුළ වෘත්තීය සමිති ඉදිරියෙන්ම සිටියේය. භාෂණයේ නිදහස හා සංවිධානය වීමේ නිදහස ආදි අයිතිවාසිකම් ආණ්ඩුව විසින් කඩ කිරීම වැලැක්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ නිතර මතු වන අභියෝගයකි. බොහෝ අවස්ථාවල, මෙකී අයිතීන්ගේ ආරක්ෂාව සදහා වෘත්තීය සමිති පෙනී සිට ඇත.

වෘත්තීය සමිති ව්‍යාපාරය ප‍්‍රධාන වශයෙන් පදනම් වන්නේ එහි සංවිධාන ශක්තිය මතය. මේ නිසා පසුගිය දශක කිහිපය තුළ එම ව්‍යාපාරයට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග කවරේදැයි සලකා බැලීම වැදගත්ය. මේ කාලය කම්කරු දෙපාර්තමේන්තුවේ භූමිකාව වෙනස් වී තිබෙන අතර එය කම්කරු දෙපාර්තමේන්තුවකට වඩා ‘හාම්පුතුන්ගේ දෙපාර්තමේන්තුවක’ භූමිකාව රගදක්වන තත්ත්වයකට පරිවර්තනය වී තිබේ. අනෙක් අතට, ශ‍්‍රමිකයන්ගේ ශ්‍රේණීන් තුළ සිදු වී තිබෙන අභ්‍යන්තර බෙදීම්, නිදර්ශන ලෙස ස්ථිර සේවකයන් හා ‘මෑන්පවර්‘ කම්කරුවන් ලෙස පොදුවේ හදුන්වනු ලබන කොන්ත‍්‍රාත් ශ‍්‍රමිකයන් අතර බෙදීම ආදිය විසින් ශ‍්‍රමිකයන්ගේ අනාරක්ෂිතභාවය හා අඩමානභාවය උග‍්‍ර කොට තිබේ. මෙය වෘත්තීය සමිති කටයුතුවලට ඔවුන් සම්බන්ධ වීම වලක්වන සාධකයක් ලෙස ක‍්‍රියා කරයි. වෘත්තීය සමිති ශ‍්‍රමිකයන් සංවිධානය කිරීමට හා හාම්පුතුන් සමග කේවල් කිරීමට උත්සාහ ගන්නේ මෙන්න මෙවැනි සංකීර්ණ වටපිටාවක් තුළය.

ශ‍්‍රමිකයන්ට එරෙහිව හාම්පුතුන් හා රජය විසින් මුදාහරිනු ලබන අඛණ්ඩ ප‍්‍රහාර විසින් වෘත්තීය සමිති ඉදිරියේ බැ?රුම් ප‍්‍රශ්නයක් මතු කරයි. මේ තුළ බොහෝ විට වෘත්තීය සමිතිවලට ඇත්තේ විකල්ප කිහිපයකි. වැඩ වර්ජනය යනු එවැනි එක් විකල්පයකි. වැඩ වර්ජනවල අදහස රජය හෝ හාම්පුතුන් වෘත්තීය සමිති සමග සාකච්ඡුා කිරීම ප‍්‍රතික්ෂේප කරන විට ආර්ථික කටයුතු නැවැත්වීමේ අදහසින් වැඩ නතර කිරීමය. කෙසේ වුවද, වැඩ වර්ජන යනු වෘත්තීය සමිති සාමාජිකත්වය පැත්තෙන් ගත් විට අවදානම් සහගත සටන් ක‍්‍රියාමාර්ගයකි. මන්ද වැඩ වර්ජනයක අසාර්ථකත්වයට ගෙවන්නට සිදුවන මිල ඇතැම් විට ශ‍්‍රමිකයාගේ රැකියාව වීමට ඉඩ ඇති බැවිනි.

වැඩ වර්ජනයක් දියත් වන විට ආණ්ඩුව සාමාන්‍යයෙන් ඊට ප‍්‍රතිචාර දක්වන්නේ එම වර්ජනයේ සුජාතභාවය ප‍්‍රශ්න කරමින් හා පුළුවන් අවස්ථාවල දී වෘත්තීය සමිති මර්දනය කරමිනි. ආණ්ඩු විසදුම් දීම සමහර විට හිතාමතා කල් අදී. සේවකයන් සේවයෙන් පහ කරන බවට තර්ජනය කරයි. අනෙක් අතට මහජන මතය සේවකයන්ට විරුද්ධව පෙළගැස්වීම සදහා වෘත්තීය සමිති-විරෝධී මාධ්‍ය පාවිච්චි කරයි. නිදසුන් ලෙස දුම්රිය සේවක අරගලයේ දී අප දුටු ලෙස, වෘත්තීය සමිති හා ආණ්ඩුව අතර ගැටුමේ එක් අංශයක් වන්නේ මහජන සහයෝගය දිනාගැනීම සදහා දෙපාර්ශ්වය විසින්ම දියත් කරනු ලබන දෘෂ්ටිවාදීමය සටනයි.

මේ සන්දර්භය තුළ, සමස්තයක් ලෙස වෘත්තීය සමිති ව්‍යාපාරය සිය දුර්වලතාවන් වටහා ගැනීම වැදගත්ය. බටහිර රටවල මෙන්ම ලංකාවේ ද වෘත්තීය සමිති බොහෝ විට සිය වැඩ හා නායකත්වය සංවිධානය කිරීමේ දී ස්ත‍්‍රීන් හා වෙනත් ආන්තික කොටස් බැහැර කරනු ලැබ ඇත. වැඩ කරන ස්ත‍්‍රීන්, අවිධිමත් අංශයේ වැඩ කරන ශ‍්‍රමිකයන් හා ගම්බද දුගී ජනයා ආදි කොටස්වල ඉල්ලීම් හා අවශ්‍යතා කෙරෙහි සැලකිල්ල දක්වමින් එකී ඉල්ලීම් ද සංයුක්ත වන ලෙස සිය පරාසය පුළුල් කරගැනීම කෙරෙහි වෘත්තීය සමිති අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. අනෙක් අතට, සිය ප‍්‍රජාතාන්ත‍්‍රික දැක්ම හා භූමිකාව නිවැරදිව ස්ථාපනය කිරීමට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට අනනුකූල අගතීන් වන ජාතිකවාදය හා බහුතරවාදය පිටුදැකීම ද වෘත්තීය සමිතිවලට මග හැර යා නොහැක.

රජය සමග ගැටීම

ලංකාවේ මෑතකාලීන වැඩවර්ජන බොහොමයක් රජය සමග කරන සටන්කාමී අභිමුඛවීමක ස්වභාවය පෙන්නුම් කරයි. රජයට අයත් ව්‍යවසායන් පෞද්ගලීකරණය සදහා වූ උත්සාහයන්වල දී මෙම තත්ත්වය කැපීපෙනෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව ආදි ආයතනවලින් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය ස`දහා විශාල තෙරපුමක් යෙදෙන අතර රාජ්‍ය ප‍්‍රතිපත්තීන් ද ඒ දිශාවට යොමු වී තිබේ.

දුම්රිය වැඩවර්ජනයට තුඩු දුන් එක් හේතුවක් නම් රාජ්‍ය ව්‍යවසායන් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් පුද්ගලීකරණය සදහා රජයේ තිබෙන යොමුවයි. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් රජය නිකුත් කළ ගැසට් පත‍්‍රය එක්තරා ආකාරයක උත්ප‍්‍රාසයක් දනවන්නකි. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස රජය සලකයි නම් අත්‍යවශ්‍ය සේවාවක් පෞද්ගලීකරණය කළ යුතු යැයි කවර හෝ රජයක් විසින් සලකන්නේ ඇයි? අනෙක් අතට, දුම්රිය වර්ජනය අවස්ථාවේ රජය ඊට එරෙහිව මතු කළ කියාපෑම වූයේ එමගින් – විශාල වශයෙන් වැඩකරන ජනයාගෙන් සමන්විත වන මගී ජනයාට එමගින් සිදුවන හිරිහැරයයි. දුම්රිය සේවාව පෞද්ගලීකරණය කළහොත් එමගින් එම මගී ජනයාට වන අයහපත් බලපෑම වඩාත් බරපතළය. මෙබදු දෙබිඩිකම් හා ප‍්‍රතිවිරෝධතා මගින් පෙන්නුම් කෙරෙන්නේ ශ‍්‍රමිකයන්ගේ ඉල්ලීම් හා මහජනයාට සේවය සැපයීම යන කරුණු දෙකේදීම රජය පෙන්නුම් කරන දැක්මක් නොමැතිකමේ ප‍්‍රශ්නයයි.

මෙවැනිම පරස්පරතා ඇතැම් වෘත්තීය සමිතිවල හැසිරීම් තුළ ද දැකගත හැක. උදාහරණයක් ලෙස, පසුගිය දෑවුරුද්ද තුළ වෘත්තීය සමිති අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියෙන්ම පෙනී සිටින බවට පෙන්වීමට උත්සාහ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනෙක් අතට එහි සාමාජිකයන් පුද්ගලික වෙදකමේ යෙදීම හා විශාල පෞද්ගලික රෝහල්වල චැනලින් සේවාවල නියුක්ත වීම ගැන නිහඬය. මෙලෙස පෞද්ගලික වෛද්‍ය කර්මාන්තය ප‍්‍රසාරණය වීම නිදහස් සුව සේවාව දුර්වල වීමට බලපාන සාධකයකි.

ඉහත කී කරුණුවලට අමතරව, රජයේ ප‍්‍රතිපත්තිවලට අදාළව පසුගිය කාලය තුළ වැඩ වර්ජන හා විරෝධතා උත්සන්න වීමට තවත් හේතුවක් තිබේ. ඒ රජයේ ප‍්‍රශ්නකාරී පිළිවෙත්වලට එරෙහිව ශක්තිමත් හා ඵලදායී විකල්පයක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ විපක්ෂය අසමත් වීමය. ඒකාබද්ධ විපක්ෂය අතිශය අවස්ථාවාදී ලෙස කටයුතු කරන අතර ආණ්ඩුවට එරෙහිව ඔවුන්ගේ විරෝධය හුදෙක් සංදර්ශනාත්මකය. නිල ප‍්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය ආර්ථික කරුණු අබිමුව නිද්‍රාශීලීය. ශ‍්‍රමිකයන්ගේ අරගල සම්බන්ධව ගත් විට පසුගිය කාලය තුළ දක්නට ලැබුණේ දෙමළ ජාතික සන්ධානය රජයේ දෙපා ලෙවකන ආකාරයයි.

විවිධ සමාජ කොටස්වල ප‍්‍රශ්න ගැන අර්ථාන්විත විවාදයක් නොමැතිකම හා විකල්ප ඉදිරිපත් නොවීමේ ප‍්‍රතිඵලය විරෝධතා හා වැඩවර්ජන මතු වී ඒමය. රජය හා අභිමුඛ වන ගමන් අනෙක් අතට සිය ප‍්‍රශ්න කෙරෙහි සමාජ අවධානය යොමු කරගැනීමට මෙම කොටස් එවැනි විරෝධතා මගින් උත්සාහ ගනිති. රජය මෙකී විරෝධතාවලට දක්වන පොදු ප‍්‍රතිචාරය වන්නේ හිංසනය යෙදීමය. මෙකී හිංසක ක‍්‍රියාමාර්ග කඳුළුගෑස් පහරවල සිට විරෝධතා කඩාකප්පල් කිරීම ස`දහා පොලිස් හා ඇතැම් විට හමුදා බලය පවා යොදාගැනීම දක්වා විහිදේ.

ධනවාදයේ සූරාකෑම

ලංකාවේ මෑතකාලීන වැඩ වර්ජන බොහොමයක් වෘත්තීය සමිති හා ආණ්ඩුව අතර ගැටුමක් ලෙස පෙනී ගිය ද ගෝලීය වශයෙන් වැඩ වර්ජනවල දීර්ඝ ඉතිහාසය ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය අතර තිබෙන ප‍්‍රතිවිරෝධය නම් වූ වඩා බලගතු ක‍්‍රියාවලිය සමග ඈදී තිබේ. ශ‍්‍රමික සටන්වල හා වෘත්තීය සමිතිවල ඉතිහාසය ගැන මෑතකාලීනව ලියැවුණු ඉතාම සවිස්තරාත්මක ග‍්‍රන්ථයකි, බෙවර්ලි සිල්වර්ගේ ‘ශ‍්‍රමයේ බලවේග -1870 සිට කම්කරු ව්‍යාපාරය හා ගෝලීයකරණය ( Forces of Labour( Workers’ Movements and Globalization since 1870) නම් කෘතිය. 1870 සිට 1996 දක්වා සියවසකට අධික කාලයක දත්ත කෙරෙහි අවධානය යොමු කරමින් සිල්වර් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මෙහි දී කම්කරු අරගල, වැඩ වර්ජන, විරෝධතා, වැඩපොළවල් අල්ලා ගැනීම, ආහාර ඉල්ලා කරන කැරලි ගැසීම් ආදිය ගැන ගවේෂණයක යෙදෙයි.

රටවල් 168ක දත්ත එහිදී ඔවුහු පාදක කොට ගනිති. ඔවුන්ගේ එක් නිගමනයක් වන්නේ විවිධ කාලවල ලෝකයේ විවිධ ප‍්‍රදේශවල ප‍්‍රාග්ධනයේ සූරාකෑමේ ස්වභාවය තීව‍්‍ර වන තරමට කම්කරු අසහනයන් තීව‍්‍ර වීම දක්නට ලැබෙන බවයි. වැඩ වර්ජනවල සුලබතාව හා ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමය අතර ප‍්‍රතිවිරෝධතාව තීව‍්‍ර වන ප‍්‍රමාණය අතර සම්බන්ධය ඔවුහු මෙහි දී පෙන්වා දෙති.

ශ‍්‍රමිකයන්ගේ අරගල පිළිබද ජාත්‍යන්තරව සිදු කොට තිබෙන මෙබ`දු විමර්ශනයන් ලංකාවේ සන්දර්භය වටහා ගැනීමට අපට උදවු කරගැනීමට පුළුවන. හුදෙක් රජය සමග කෙරෙන දේශපාලන අභිමුඛවීමක් පමණක් නොව අධික සූරාකෑම, අඩමාන රැකියා හා අස්වාමීකරණය ආදි ජනතාවගේ ආර්ථික හා සමාජ ජීවිතයේ එදිනෙදා අත්දැකීම්වල ඓතිහාසික ප‍්‍රකාශනයක් ලෙස වැඩවර්ජන ඒ අනුව හදුනාගත හැක.

වෙනත් වචනවලින් කිවහොත්, වැඩ වර්ජන නිසා එදිනෙදා ජීවිතයට සිදුවන බාධා ගැන ප‍්‍රභූ පන්තික හා මැද පන්තික ඇතැම් කොටස් කවර අෙදා්නා නැගුවද වඩා සාධාරණ හා සමාජීය වශයෙන් වඩා යුක්තිසහගත ආර්ථික විකල්ප කෙරෙහි යොමු වීමට අප අසමත් වන්නේ නම් එදිනෙදා ජීවිතයේ යථාර්ථයක් ලෙස අපට වැඩ වර්ජන මුණ ගැසෙනු ඇත. වෘත්තීය සමිතිවල හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන වෙනත් බලවේගවල ප‍්‍රධාන අභියෝගයක් වන්නේ ශ‍්‍රමය ආශ‍්‍රිත කැළඹිලි ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් දිශාගත කිරීමය.