ගෝඨාභයගෙන් පෑගුණු චම්පිකට නොපෙනෙන මිනිස්සු

”බලහත්කාරයෙන් මාගේ ඉඩමේ පාරක් කැපීමට සූදානම් වූ අතර මා එවිට පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙන හෙයින් මෙම ඉඩමෙන් පාරක් කැපීමට නොහැකි බවය. එහෙත් ඔවුන් විසින් මා වගා කළ කොස් ගස් හා පොල් ගස් කැපූ අතර වැටවල් හා තාප්පද බිඳ දමන ලදි. ඉන්පසු මා විසින් රජයේ හා පෞද්ගලික වාහන හා මගේ දේපළ ආරක්ෂා කරගැනීම සඳහා නැවත වැටක් බැඳීමට සිදුවිය.

තවද නිතර නිතර ටින්ටඞ් කළ (කළු සුදු) වාහනවලින් හමුදාවේ ඉහළ නිලධාරීන් නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් නිලධාරීන් පැමිණ මා හට ව්‍යාපාරය කරගෙන යෑමට නොදී බලහත්කාරකමින් මා කවදාද මෙම ඉඩමෙන් ඉවත්වන්නේ කියා අසන ලදි.”

”මා ආයතනයේ සිටින විට හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු පැමිණ මා හට නාගරික සංවර්ධන අධිකාරිය වෙත එන ලෙස දන්වා සිටි අතර මා එහි ගිය නමුත් එහිදී කිසිදු සාකච්ඡාවක් නොකළ අතර නැවත වරක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට පැමිණෙන ලෙස දැන්වූවා. මා එහිද ගිය අතර විනාඩි 45ක් පැයක් පමණ කාලයක් අප එහි සිටි අතර එතුමන් හදිසි රාජකාරියකට ගිය බැවින් නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත යන ලෙස දන්වා සිටියා.”
”ඒ අනුව මා එහි ගොස් බි‍්‍රගේඩියර් ජයසුන්දර මහතාගේ කාමරය වෙත ගියද එතුමා පවසා සිටියේ අධිකාරියේ ඉඩම් නිලධාරී වීරසේන මහතා වෙත යන ලෙසටය. මා එහි ගිය පසු එතුමා හා තවත් කිහිපදෙනෙකු පවසා සිටියේද මා හට ඉඩමෙන් ඉවත්වන්නේ කවදාද යන්නය.”

”ඉන්පසු මාගේ ව්‍යාපාරික ස්ථානයට නිලධාරිතුමෙකු පැමිණ මාගෙන් භුක්තිය භාරදෙන ලෙස බලහත්කාරයෙන් ඉල්ලා සිටියේය. මා විසින් එය අත්සන් කළ අතර එය අත්සන් කළේ නීත්‍යනුකූලව ගන්නා ලද පියවරකට අගතියක් නොවන ලෙසටය. එම ලිපියේ ඡායා පිටපතක් පරීක්ෂණයේදී ඉදිරිපත් කළ හැකි බව දන්වා සිටිමි.”

”නැවතත් නාගරික සංවර්ධන අධිකාරියේ නීති නිලධාරියා මුණ ගැසෙන ලෙස සඳහන් කළා. ඒ අනුව ඈ විසින් හිස් කොළයක් දී ඈ පවසන පරිදි බලහත්කාරයෙන් ලිපියක් මාගේ අත්අකුරින් චෙක්පත් තුනක අංක සඳහන් කොට මා මෙම ඉඩමෙන් කැමැත්තෙන් ඉවත් වන බවත්, කිසිදු වන්දි මුදලක් නැවත නොඉල්ලන බවත් හා කිසිදු නීති මගකට නොයන බවත් ලෙස ලියවා බලහත්කාරයෙන් අත්සන් ගෙන මා හට යන ලෙස පැවසුවේය.”

”තවද ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙහිද සඳහන් වී ඇත්තේද නීත්‍යනුකූලව මා මෙම ඉඩමෙන් ඉවත් කළ යුතු බවත්ය. එහෙත් නීත්‍යනුකූලව මා ඉවත් කොට නොමැති අතර මෙම ඉඩමේ අයිතිය අවලංගු කොට නොමැත. අද වන තෙක් මේ ඉඩමේ අයිතිය මා සතු අතර එදා භයානක වාතාවරණය අනුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට නොහැකි වූයේ මාගේ භාර්යාවගේ හා දරුවන්ගේ ජීවිත අවදානම ගැන සිතාය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ සත්‍ය පිටපතක් පරීක්ෂණයේදී ඉදිරිපත් කළ හැකි බව දන්වා සිටිමි.”

රටට අනාගතේ ‘එළිය’ ගෙනෙන්නට බුද්ධිමතුන් හා වෘත්තිකයන් යැයි කියා ගන්නා හමුදා හා සිවිල් ජාතිවාදීන් පිරිසක් සමඟ රට වටේ යන ගෝඨාභය රාජපක්ෂගේ අතීත කෙරුවාව ගැන ඉදිරිපත් කළ පැමිණිල්ලක උපුටා ගත් කොටස් කිහිපයක් ඒ ආකාරය.

එම පැමිණිල්ල කොම්පඤ්ඤවීදිය පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ ගාමිණී වික‍්‍රමරත්න මහතාය. ඔහු අංක 06, ස්ටේෂන් පැසේජ්, කොළඹ 02 යන ස්ථානයේEuro Car Mart (Pvt) Ltd හා Road Building (Pvt) Ltd යන ව්‍යාපාර පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයාය. ඔහු නීත්‍යනුකූලව භුක්ති විඳි ඉඩමෙන් ඔහුව මිලිටරි යාන්ත‍්‍රණය යොදවා බලහත්කාරයෙන් මහමගට ඇද දමා දැන් එහි ඉදිවෙමින් ඇත්තේ පාකිස්තානයේ ලක්හානි සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද ඉම්පීරියල් බිල්ඩර්ස් පුද්ගලික සමාගමේ මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට අයත් ගොඩනැගිල්ලක්ය.

එහි සිනමාශාලා, ලෝප‍්‍රකට වෙළෙඳ ආයතනවල ශාඛා, අන්තර්ජාතික තලයේ සාප්පු සංකීර්ණ හා නේවාසික පහසුකම් ඇතුළත්ය.

කොම්පඤ්ඤවීදිය ස්ටේෂන් පැසේජ්හි දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබූ දුම්රිය නිල නිවාසත්, වෙනත් පදිංචිකරුවන්ගේ නිවාස 119ක් මේ ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කරගනු ලැබූ අතර දුම්රිය නිවාස හිමියන්ට හා අනෙක් පදිංචිකරුවන්ට එම ස්ථානයේම වෙනම ඉදිකරන මහල් නිවාසවල නිවාස ලබාදෙන බවට පොරොන්දු වී තිබුණි. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමෙහි භුක්තිය නිදහස් දීමනාවක් ලෙස නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තිබූ අතර අනෙක් පදිංචිකරුවන්ගේ ඉඩම් ‘මහජන කටයුත්තක් ලෙස’ සඳහන් කර රජයට පවරාගෙන තිබුණි.

මෙහිදී දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිකරන මහල් නිවාසවලින් නිවාස 38ක් ලබාදීමට පොරොන්දු වී තිබූ අතර අනෙකුත් නිවැසියන්ටද වන්දි වෙනුවට මහල් නිවාස ලබාදීමට ගිවිසගෙන තිබුණි. ඉහත සඳහන් කරන දුක්ගැනවිල්ලේ හිමිකරු වන වික‍්‍රමරත්න මහතා සම්බන්ධයෙන් එවන් එකඟතාවකට පැමිණීමට බැරි හේතුවක් නිර්මාණය වී තිබුණි. ඒ එම ඉඩම ඔහු අවුරුදු 99ක බදු ගිවිසුමක් යටතේ භුක්ති විඳින ඉඩමක් නිසාම ඉඩම් අත්පත් කරගැනීම යටතේ එය පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට නොහැකි වූ නිසාය.

වික‍්‍රමරත්න මහතා මෙම ස්ථානයට පැමිණීමට පෙර පදිංචි වී සිට ඇත්තේ කොල්ලූපිටියේ සයිමන් හේවාවිතාරණ පාරේය. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩු සමයේදී ඔහුගේ එම ඉඩම මහජන කටයුත්තක් යැයි කියා රජයට පවරා ගෙන තිබුණි. කොම්පඤ්ඤ වීදිය ස්ටේෂන් පැසේජ්හි ඉඩම ඒ වෙනුවට විකල්පයක් වශයෙන් ඔහුට රජයෙන් ලැබී තිබුණේ 99 අවුරුදු බදු පදනම යටතේය.

අද මහමගට ඇද වැටී ඇතත් කොම්පඤ්ඤවීදිය ස්ටේෂන් පැසේජ් ඉඩමේ නීත්‍යනුකූල හිමිකරුවා අදටත් ඔහුය. ඒ අනුව පාකිස්තාන ව්‍යාපාරික සමාගමට නාගරික සංවර්ධන අධිකාරිය එම ඉඩම ලබාදී ඇත්තේ නීත්‍යනුකූල තත්ත්වයන් යටතේ නොවේය. වික‍්‍රමරත්න මහතා එදා සිටම සිය භුක්තිය අත්හැරීම සඳහා ඉල්ලා ඇත්තේ සාධාරණ වන්දි මුදලක්ය. ඒ කොළඹ නගරයේම වෙනත් ස්ථානයක සිය කටයුතු නැවත ආරම්භ කිරීම සඳහාය.

ඒ අනුව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මෙම ඉඩම් කොටස වෙනුවෙන් තක්සේරු මුදලක් තීරණය කර ඇති අතර එය වැඩි මිලක් කියා ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රතික්ෂේප කර ඇත. රජයේ ප‍්‍රධාන තක්සේරුකරුද අබිබවා යමින් ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ආකාරයට නැවත තක්සේරු ලබාගෙන ඇත. වික‍්‍රමරත්න මහතාගෙන් බලහත්කාරයෙන් ලිපි ලියවාගෙන අත්සන් ලබාගෙන ඇත්තේ එම අඩු කරන ලද තක්සේරු ස්වකැමැත්තෙන් බාරගන්නා බවය.

ඒ අනුව ඉඩමේ භුක්තියෙන් ස්වකැමැත්තෙන් ඉවත් වන බවටය. වික‍්‍රමරත්න මහතා කරන ලද සොයාබැලීම්වලදී අනාවරණය වී ඇත්තේ රජයේ ප‍්‍රධාන තක්සේරුකරුගේ තක්සේරු වාර්තා එම දෙපාර්තමේන්තුවෙන් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියෙන්ද අතුරුදන් වී ඇති බවය.

එදා ගෝඨාභය රාජපක්ෂගේ අණසක යටතේ රාජ්‍යයේ කටයුතු සිදුවී ඇත්තේ එලෙසය. ඒ සමයේ නීත්‍යනුකූල නොවන ආකාරයට ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි බලය යටතේ කටයුතු සිදුවූ ආකාරය පිළිබඳව අටුවා ටීකා අමුතුවෙන් අවශ්‍ය නැත. ඒ සඳහා ඇති උදාහරණ ඕනෑතරම්ය.
වර්තමානයේ ප‍්‍රශ්නය ඇත්තේ මේ කිසිවක නොව එහෙව් රාජපක්ෂ පාලනයට සපුරා වෙනස් ‘යහපාලනයක්’ සඳහා ජපකර බලයට පැමිණි ඇත්තන්ගේය. අප මේ කතා කරන කරුණට අදාළව ගතහොත් නාගරික සංවර්ධන අධිකාරිය විෂය අයත් චම්පික රණවක අමාත්‍යවරයාගේය.

ගෝඨාභය රාජපක්ෂ විසින් හඳුන්වා දුන් පැල්පත්වාසීන් එම ස්ථානවලින් ඉවත් කර මහල් නිවාසවල පදිංචි කිරීම, එසේ ජනතාව ඉවත් කිරීමෙන් ලබාගන්නා ඉඩම් මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘති යටතේ ව්‍යාපාරික සමාගම්වලට ලබාදීම ආදිය ආරම්භ කර තිබූ ව්‍යාපෘති නිසා ආපසු හැරවීමට නොහැකිව ඉදිරියට ගියාට කම් නැත. එහෙත් එම ව්‍යාපෘති වත්මන් ‘යහපාලනය’ යටතේ ක‍්‍රියාත්මක කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ පන්නයේ ක‍්‍රියාකාරීත්වය තවදුරටත් ඉදිරියට ගෙනයෑමෙන් නොවේ.

රජයට ඉඩම් අත්පත් කරගැනීමේ නීත්‍යනුකූල ක‍්‍රමවේදය අනුගමනය කරමින් අවතැන්වන්නන්ට උපරිම ආරක්ෂාව හා නැවත ස්ථාපිතවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන ආකාරයටය. එහිදී ගෝඨාභය රාජපක්ෂ පන්නයේ වැරදි නිවැරදි කිරීමට අත්හැරිය නොහැකි වගකීමෙන් මේ ආණ්ඩුව බැඳී සිටී. එහෙත් එවැනි වගකීමක් ක‍්‍රියාත්මක වූ හෝ ක‍්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය පාර්ශ්වයෙන් සිදුවනවාද යන දැවැන්ත ප‍්‍රශ්නාර්ථය වික‍්‍රමරත්න මහතාගේ මෙම සිදුවීමෙන් හා අප මීට පෙර වාර්තා කර ඇති කොල්ලූපිටිය කූපර්ස් හිල් නිවැසියන්ගේ ප‍්‍රශ්නය වැනි ප‍්‍රශ්නවලින් විද්‍යමාන වේ.

ලියුම්කරු ඒ සඳහා දකින ප‍්‍රබලම දෝෂය වන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුගේ පන්නයට කටයුතු කිරීම උදෙසා නාගරික සංවර්ධන අධිකාරියට පත් කරනු ලැබූ තරුපටි හමුදා සාමාජිකයන් ඇතුළු අනෙකුත් නිලධාරීන් නිරුපද්‍රිතව තවමත් එම තනතුරුවල සිටිමින් කටයුතු කිරීමය. විෂයභාර අමාත්‍ය චම්පික රණවකට සිදුවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ මේ තරුපටි නිලධාරීන්ගේ තීන්දු තීරණ හා උපදෙස්වලට අත්සන් කිරීමටය.

එම තත්ත්වය වෙනස් කරන තුරු වික‍්‍රමරත්න මහතාට මෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ නාගරික සංවර්ධන අධිකාරියේ බූට් සපත්තුවට පෑගුණු කිසිවකුට සාධාරණය ඉටුවන්නේ නැත. ඒ අනුව මෙම ප‍්‍රස්තුතයේ අපගේ අවසන් ප‍්‍රශ්නය වන්නේ විෂයභාර අමාත්‍ය චම්පික රණවකට ඒ සඳහා හැකියාවක් ඇද්ද යන්න හා ඔහු ඒ සඳහා සූදානම්ද යන්නය.