රේඛා නිලූක්ෂි හේරත්

විල්පත්තුව ගැන විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් තමන් කී කරුණු තහවුරු වී ඇති බව පරිසරවේදීන්, මාධ්‍ය ආයතන ඇතුළු බොහෝ දෙනෙකු උදම් අනන බව පෙනෙයි. විල්පත්තුව ගැන කිසිවෙකු නොකී කතා කී රාවයටද දැන් බොහෝ තැන්වල පහර වදින බව පෙනෙයි. විගණකාධිපති වාර්තාවෙන් රාවය පෙර කී කරුණු අසත්‍ය වී ඇති බව ඇතැම්හු කියති. එහෙත් සැබැවින්ම විලයිත්තුකුලම් රක්ෂිතය (විල්පත්තු නොවේ) පිළිබඳව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවෙන් අභියෝගයට ලක්ව ඇත්තේ රාවයේ අප කී කාරණා නොවේ. අප කී කාරණා තවත් තහවුරු වීම පමණක් එයින් සිදුව ඇත.

මුලින් එකක් කියා පසුව බදියුද්දීන් ඇමතිවරයාට ළංව ඔහු ආරක්ෂා කරන ඊනියා පරිසරවේදීන් කී කතා අසත්‍ය වී ඇත. විල්පත්තුවේ සියවසේ මහා පරිසර විනාශය සිදුව ඇතැයි කියන, පරිසරය නම් විල්පත්තු පමණක්යැයි සිතන ඊනියා විල්පත්තු පේ‍්‍රමීන් කියන කතාද අසත්‍ය වී ඇත.

අක්කර 3000ක් ලබාගෙන ඇති බව බොහෝ පරිසරවේදීන් කියා තිබුණි. විල්පත්තුව සුරැුකීමේ ව්‍යාපාරය පසුගියදා සිදුකළ විරෝධතාවේදී ප‍්‍රචාරක දැන්වීම්වල සඳහන්ව තිබුණේ අක්කර ලක්ෂයක් මුස්ලිම් ජනාවාසවලට වෙන් කර ඇති බවයි. තවත් අය අක්කර හාරදහස, පන්දහස වැනි හිතුමතේ සංඛ්‍යා දත්ත කියා තිබුණි. සිරස, හිරු වැනි නාලිකාද විවිධ සංඛ්‍යා කියා තිබුණි. ඔවුන්ට අනුව ඒ සියවසේ මහා පරිසර විනාශයයි. යුගයේ දැවැන්ත විනාශයයි.

එහෙත් විල්පත්තු පේ‍්‍රමීන් කියන සියවසේ මහා පරිසර විනාශය වෙනුවට අක්කර 650ක ඉඩම් නිදහස් කිරීමක් ගැන විගණකාධිපති වාර්තාවේ ඇත. අක්කර 650,000ක් වන විල්පත්තු වනාන්තරයේ වපසරිය සමඟ සාපේක්ෂව ගතහොත් ඒ 1000න් එකක ප‍්‍රමාණයකි. ඒ ප‍්‍රමාණය වුව විනාශයක් නොවේදැයි කෙනෙකු අසනු ඇත. මේ ටික කැපුවාට කමක් නැතැයි අප කියනවායැයි කෙනෙකුට අර්ථකථනය කළ හැකිය.

අප ලංකාවේ සිදුවූ වෙනත් බරපතළ පරිසර විනාශයන් ගැන පෙන්වාදුන්නේ විල්පත්තුව කැපුවාට කමක් නැතැයි කියමින් එය සාධාරණීකරණයට නොවේ. මේ තරම් විනාශයන් තිබියදී විල්පත්තුව ගැන ‘පමණක්’ කතාකරන ‘ඊනියා’ පරිසරවේදීන් පෙන්වාදෙන්නටය. අප කීවේ විල්පත්තුව ගැන කතාකරන්නේ ජාතිවාදීන් කියා නොවේ. විල්පත්තුව ගැන ‘පමණක්’ කතාකරන්නේ ජාතිවාදීන් කියාය.

ගැසට් පත‍්‍රය

කැලේ කපා ඇත්තේ කුමන ප‍්‍රමාණයකින්දැයි මැනීම සඳහා විගණකාධිපතිවරයා මැනීම් ක‍්‍රම පාවිච්චි කර නැත. ඔහු සිදුකර ඇත්තේ ලිපිලේඛන හරහා 2012 ගැසට් පත‍්‍රයකින් නම් කළ විලයිත්තිකුලම් රක්ෂිතයේ අක්කර 650ක කොටසක් වෙන් කරවාගෙන ජනතාව පදිංචි කිරීම නීත්‍යනුකූලදැයි සොයා බැලීමයි.

කෙසේ වෙතත් 2012 ගැසට් පත‍්‍රය සහ ඒ ගැසට් පත‍්‍රය පළකිරීමට හේතු ගැන රාවයේ අපි ලියූ ලිපිවල කතාකළෙමු. ඒ කරුණු විගණකාධිපති වාර්තාවෙන් තහවුරු වී ඇත.

එල්ටීටීඊ සංවිධානය, මුසලි ප‍්‍රා.ලේ. කොට්ඨාසය හෙවත් විල්පත්තුව ආශ‍්‍රිතව සිටින මුස්ලිම් ජනතාව එළවා දමන්නේ 1990-1995 දීය. ඒ යද්දී තමන්ගේ පාපැදිය තබා ලියකියවිලිවත් රැුගෙන යෑමට එල්ටීටීඊ සංවිධානයෙන් ඉඩ ලැබී තිබුණේ නැත.

උතුරු වසන්තය වෙනුවෙන් උතුරේ නැවත පදිංචි කිරීම්, සංවර්ධනය හා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටුවා ඇත්තේ 2009.05.07 දාය. එය බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිධුරයෙන් යුතු ආයතනයක් වූ අතර එහි බොහෝවිට බැසිල් රාජපක්ෂ මහතාගේ වුවමනාවන් සහ බලය මත ක‍්‍රියාත්මක විය. විගණකාධිපති වාර්තාව කියන අන්දමට අක්කර 650ක් නිදහස් කරගන්නේ ඒ කාර්යසාධක බලකායේ රැුස්වීම්වලින් පසුවය.

යුද්ධය නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උතුරු පළාත් කාර්යාලයක් නොවීය. උතුරු පළාත් කාර්යාලයක් ආරම්භ කළේ 2011 අගෝස්තුවේය. ඒ වන තෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සීමා නඩත්තු නොවූ අතර ඒ සීමා යළි නිර්ණය කළයුතු විය. එය දිගු කාලයක් ගතවෙන අසීරු ක‍්‍රියාවලියක් වූ අතර බොහෝ ඉඩම්වල විශාල ලෙස වනාන්තර වැවී තිබුණි. බිම්බෝම්බ ඉවත්කිරීම් කටයුතු අවසන් කර නොතිබුණු නිසා වන සංරක්ෂණ සීමා නම් කිරීම තවත් කාලයකට සිදුකළ නොහැක්කක් විය.

කෙසේ වෙතත් වන සංරක්ෂණ සීමා නම් කරන තෙක් බැසිල් රාජපක්ෂ මහතාගේ ජනාධිපති කාර්ය සාධක බලකාය බලා නොසිටි අතර 2012.07.06 දින උතුරේ මුස්ලිම් ජනයා පදිංචි කිරීමේදී මතුව ඇති ගැටලූ පිළිබඳ සාකච්ඡුාවක් ඔහු කැඳවා තිබුණි.

ඒ සාකච්ඡුාවට පෙර 2012 මැයි 21 දිනයේ අංක 1759/2 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් හෙක්ටයාර් 2,108ක විශාලත්වයෙන් යුත් වනාන්තර කොටසක් විලයිත්තිකුලම් රක්ෂිත වනාන්තරය නමින් නම් කර ඇත. ඒ ගැන ජනාධිපතිවරයාට ලිපියක් යවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ කියයි.

‘‘යුද්ධය අවසාන වෙද්දී රක්ෂිත පමණක් නොව සාමාන්‍ය ජනතාව සිටි ප‍්‍රදේශ පවා විශාල වනාන්තර බවට පත්ව තිබුණි. ඒවා වේගයෙන් එළිවෙමින් තිබුණි. එළිවෙමින් පැවති රක්ෂිත ආරක්ෂා කරගැනීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් විය. පෙර කී ලෙස බිම්බෝම්බ එයට බාධාවක් විය. ඒ නිසා චන්ද්‍රිකා ඡුායාරූප භාවිත කර ඒවාට දර්ශනය වන ආකාරයට හොඳින් වැඩුණු වනාන්තර සිතියම්ගත කොට පෙර පැවති රක්ෂිතවල සිතියම්ද යොදාගනිමින් අනුමාන වශයෙන් රක්ෂිත නම් කිරීමට කටයුතු කර තිබුණි. මේවා නිසි මැනීමකින් තොරව සිදුකළ නිසා පෞද්ගලික ඉඩම්ද මේවාට අයිතිවූ අතර මෙය නියමාකාරයෙන් ඉඩම් හඳුනාගන්නා තෙක් කළ තාවකාලික පියවරක් විය.’’

විගණකාධිපතිවරයා කියන ගැසට් පත‍්‍රය එසේ තාවකාලික පියවරක් ලෙස ඇති කරගත් ගැසට් පත‍්‍රයකි. ඒ ගැසට් පත‍්‍ර රාජපක්ෂ බලය රැගත් ජනාධිපති කාර්යසාධක බලකායට අදාළ වී නොතිබුණි. නිතිරීති කැඞීම රාජපක්ෂ බලය රැගත් රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාටද සාමාන්‍ය දෙයක් විය. ඒ නිසා ඒ වෙද්දීත් ඉඩම් එළිකිරීම පටන්ගෙන තිබුණි. ඒවා නවත්වන්නට කිසිසේත්ම වනරක්ෂක ජෙනරාල්ට බලයක් නොවීය. ඔහුට කළ හැකිව තිබුණේ මේ කැපීම සීමා කිරීම පමණි. ඒ නිසා වහාම නිදහස් කළයුතු ඉඩම් නිදහස් කිරීමට ඔවුන් කටයුතු කර ඇත. ඒ ගැන පෙර කී ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි මෙසේ සඳහන්ය.

‘‘මන්නාරම දිස්ත‍්‍රික්කය සඳහා ඉල්ලීම් ලැබී තිබූ ස්ථාන සම්බන්ධව ක්ෂේත‍්‍ර පරීක්ෂණ හා සාකච්ඡුා පවත්වා 2012.11.15 වන දින කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලදි. එමගින් මෙම කමිටුව විසින් පරීක්ෂා කරන අවස්ථාව වන විටත් ඉඩම් සුද්ධකර නිවාස සැදීම ආරම්භකර තිබූ ස්ථාන කිහිපයකින් ඉඩම් නිදහස් කරන්නට තීරණය විය. මන්නාරම දිස්ත‍්‍රික්කයේ අක්කර 1080ක් සහ වවුනියාව දිස්ත‍්‍රික්කයෙන් අක්කර 325ක් සහ මුලතිව් දිස්ත‍්‍රික්කයෙන් අක්කර 983ක් අන්තර් අමාත්‍යාංශ කමිටු අනුමැතිය මත විධිමත් පරිදි ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත භාරදීමට දිසා වන නිලධාරීන් වෙත වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුව එම කමිටුවේ වාර්තාව අනුව කටයුතු කර ඇත.

එසේ නිදහස් කර තිබුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරාගත් ජනතාවට ලබාදිය යුතු ඉඩම් පමණි. එසේ නොවන ඉඩම් නිදහස් කිරීම සඳහා කළ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන ලදි.’’

ඒ අනුව විගණකාධිපති වාර්තාව කියන අක්කර 650 නොව ඊටත් එහා ඉඩම් ප‍්‍රමාණයක් මෙසේ නිදහස් කර ඇත. ඒ ජීපීඑස්වලින් බලා නම්කළ ගැසට් පත‍්‍රයෙන් පවරාගත් ඉඩම්ය.

විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නිරීක්ෂණවල මෙසේ සඳහන් වෙයි. ‘‘විලයිත්තිකුලම් වනාන්තරය රක්ෂිත වනාන්තරයක් වශයෙන් රජය ප‍්‍රකාශයට පත්කර තිබියදී වනරක්ෂක ජනරාල් විසින් එකී රක්ෂිතයෙන් අක්කර 650ක් දිස්ත‍්‍රික් ලේකම් මන්නාරම වෙත අවතැන්වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා නිදහස් කර තිබුණි. එසේ නිදහස් කිරීමට වනරක්ෂක ජනරාල්ට අධිකාරී බලයක් හෝ නෛතික බලයක් නොතිබුණි.’’

රාජපක්ෂවරුන්ගේ බලය පවරාගනිමින් උතුරේ දේශපාලන නායකයන් සහ නිලධාරීන් නීතිය නොතකමින් ක‍්‍රියාත්මක කර ඇති බව සැබෑය. එය ජනතාවගේ වැරැුද්දක් නොවේ. එසේ නීතිය කඩකළ රිෂාද් බදියුදීන් ඇමතිවරයා, ජනාධිපති කාර්යසාධක බලකායේ නිලධාරීන් ඇතුළු සියලූම දෙනා කැඳවමින් පරීක්ෂණ සිදුකොට නීතිරීති කඩකළ අයට දඬුවම් දීම වැදගත්ය. මේවා නීත්‍යනුකූලව, පිළිවෙලට කළයුතුව තිබුණු දේවල්ය. එසේනම් අද මෙවැනි ආන්දෝලන ඇතිවෙන්නේ නැත. රිෂාද් බදියුදීන් ඇමතිවරයා ඇතුළු සියලූදෙනාගේ තදියම නිසා මුස්ලිම් ජනවර්ගය වන්දි ගෙවිය යුතු නැත.

විගණන සීමා

පුළුල් විස්තර කිරීම් නැති, පිටු 14ක කෙටි වාර්තාවක් වන විගණකාධිපති වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ඕනෑම අයෙකුට බාගත කොට කියවිය හැකිය. විගණනයේදී මුහුණදුන් සීමා එහි සඳහන්ව ඇත.

එහි සඳහන් ආකාරයට ඔවුන් 2012 සිදුකළ පදිංචිකිරීම් ගැන නිරීක්ෂණයන් සඳහා යන්නේ 2017 අවුරුද්දේය. ඔවුහු වසා දමා ඇති නිවාස සංඛ්‍යාව ඉදිරිපත් කරති. එහෙත් නිවාස වසා දමා ඇති අය එසේ කරන්නට හේතුව නොවිමසති.

විගණකාධිපතිවරයාම පිළිගන්නේ 1990 වර්ෂයේ අවතැන්වූ ජනතාව පිළිබඳ නිවැරදි දත්ත සහ ඔවුන් අවතැන් කඳවුරුවල සිටියේද යන්න තහවුරු කරගන්නට දත්ත නොතිබූ බවයි. එනම්, පදිංචිවූ අය පෙර මේ ගම්මානවල පදිංචිව සිටි අය බවට කරන ප‍්‍රකාශය බොරුවක්යැ’යි තහවුරු කරන්නට තරම් දත්ත විගණකාධිපතිවරයාට නැත. ඉඩම් නොමැති බව සඳහන් කරමින් රක්ෂිත වනාන්තරයේ ඉඩම් ලබාදී ඇති පවුල් 1030ක් සතුව වෙනත් ඉඩම් හිමිව තිබුණු බව විගණනයේදී පරීක්ෂා කිරීමට නොහැකි වී ඇත.

දුක්ඛ සත්‍යය

විගණකාධිපති වාර්තාව කියන්නේ මෙසේ පදිංචිවූ පවුල් අතරින් බහුතරයකට පුත්තලමේ ඡුන්ද හිමිකම තිබුණු බවයි. ඔවුන්ට ඉඩම් නොමැති බව පැවසුවත්, එසේ ඉඩම් තියෙනවාද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂාවක් නොකෙරුණ බව විගණකාධිපති වාර්තාවම කියයි. බොහෝවිට මෙසේ පදිංචි වූ අයගෙන් බහුතරයට මේ වෙද්දී රටේ වෙනත් ප‍්‍රදේශවල ඉඩම් තිබෙනවා විය හැකිය. වසර විස්සක් තිස්සේ සියලූම දෙනා දිළිඳුකම පත්ලේ සිටියැයි විශ්වාස කළයුතු නැත. ඡන්ද අයිතිය වුව එසේමය.

ඔවුන් පුත්තලමේදී ක‍්‍රමයෙන් පුත්තලමේ පදිංචිකරුවන් බවට පත්වන්නට ඇත. පෙර දැනුම්දීමක් නැතිව යාපනයේ නාවක්කුලි සිංහල ගම්මානයට ගියහොත් එකුදු පවුලක්වත් නාවක්කුලියෙහි ස්ථීරව පදිංචිව නොසිටින බවත්, ඡන්ද අයිතිය නාවක්කුලියේ නොමැති බවත් පෙනෙනු ඇත. යාපනයේ ඉඩම් අහිමිවූ බොහෝදෙනෙකුට වෙනත් ප‍්‍රාදේශවල ඡුන්ද අයිතිය පමණක් නොව විදේශ රටවල පුරවැසිභාවය පවා තිබීම පිළිගන්නට සිදුවෙයි. ඒ කිසිවක් ඉඩම්වල අයිතිය පිළිබඳ කරුණු සනාථ කරන්නට සාධක නොවේ.

මෙසේ පදිංචිකළ ජනතාව අතර අපි ඇවිද්දෙමු. මුස්ලිම්, දෙමළ, සිංහල ජනතාව අතර ගැවසුණෙමු. ඔවුන් විඳින දුක්ඛ සත්‍යය වාර්තා කළෙමු. ඒ කිසිවක් අසත්‍යයැයි ඔප්පු කරන්නට විගණකාධිපති වාර්තාව සමත් වී නැත.

අනූවෙන් පසු ඉපදුණු අයත්, අනූවේ කුඩා දරුවන්ව සිටි අයත් මුසලියේ ජීවිතවලට වඩා දන්නේ පුත්තලමේ ජීවිත ගැනයි. එහෙත් තමන්ගේ ගමට ඇති ආදරය, තමන්ගේම ඉඩමකට ඇති අයිතිය පිළිබඳ හැඟීම පහසුවෙන් අමතක කළ නොහැකිය. ඒ නිසාම නැවත පදිංචිකිරීම්වලදී බොහෝදෙනෙකු මුසලි කොට්ඨාසයේ ගම්මානවලට අයිතිවාසිකම් කියා ඇත. ඒ අතර මුසලියට අයිති නැති අයත් සිටිනවා විය හැකිය. ඒ සියල්ල මැද රිෂාද් බදියුදීන් ඇමතිවරයාගේ හිතවතුන් ඇතැයි කරන චෝදනාව වුව බැහැර කළ නොහැකිය.

එසේ මුසලියේ ඉඩම් අයිතිවාසිකම් කියා ඉඩම් කට්ටි ලබාගත්තත්, නිවෙස්වල පදිංචි නොවී සිටි අය බොහෝ විය හැකිය. නැවත පදිංචි කිරීම් සිදුකෙරෙන ප‍්‍රදේශවල අපේ අත්දැකීම් බොහෝය. කන්කසන්තුරේ, මුලතිව්, කිලිනොච්චි ඇතුළු විවිධ ප‍්‍රදේශවල නැවත පදිංචිකිරීම් අපි මහපොළොවේ සිට නිරීක්ෂණය කර ඇත්තෙමු. නැවත පදිංචිකිරීම් නොවන වසර 2500ක් පරණ කැලෑවක් කපා ජනාවාස තැනිම් සිදුකළ බෝගස්වැවටත් අපි ගියෙමු. ඉඩම්වල රූස්ස කැලෑ වැවී තිබීම මෙන්ම මුලින් ඉඩම් හිමිකරුවන් ස්ථීරව පදිංචි නොවීමත් සාමාන්‍ය තත්ත්වයකි. දුෂ්කර ප‍්‍රදේශයක ඔවුහු එක් අඩියක් පමණක් තබාගනිති. දරුවන්ගේ අධ්‍යාපනය, රැුකියා අවස්ථා ආදිය වෙනුවෙන් වඩා නාගරික ප‍්‍රදේශයක ඔවුන්ට තවත් අඩියක් ඇත.

නිවාස ඉවත් කරන්න

පෙර සතියේ රාවයේ ලිපියෙන් පැවසූ ආකාරයටම මේ පදිංචි වී සිටින මිනිසුන් ඉවත් කොට වෙනත් තැන්වල පදිංචි කිරීම ගැන දැන් අවධානය යොමු කළ යුතුය. එය ඉතා අසීරු කටයුත්තක් වුණත් දැන් කළයුත්තේ එයයි. අලූතෙන් මහාමාර්ග තනන්නට, සංවර්ධන ව්‍යාපෘති කරගන්නට වන්දි ලබාදී ඉඩම් ලබාගන්නා රටක වනාන්තරයක් පුළුල් කිරීම වෙනුවෙන් ඉඩම් ලබාගැනීම කළ නොහැක්කක් යැයි කිසිවෙකුට කිව නොහැකිය.

මේ මුස්ලිම් ජනතාව කැලෑ කැපුවේ නැති බවත් ඔවුන් එද්දී වැවී තිබුණු කැලය කපා තිබුණු බවත් අපි මුල සිට ලීවෙමු. ඒ බවත් විගණකාධිපති වාර්තාව තහවුරු කර ඇත. විගණකාධිපති වාර්තාව විසින්ම වැඩුණු ගස් කපා බලය ඇත්තන් විසින් අලෙවි කර ඇති බව පෙන්වා ඇත. අඩු තරමේ දැවවල ආදායම සම්පූර්ණයෙන් දැව සංස්ථාවට පැමිණ නැත. ඒවාත් කාගේ හෝ සාක්කුවට ගොස් ඇත.

එසේ ගස් කැපුවාට පසුව පැමිණ පදිංචි වුණේ සාමාන්‍ය ජනතාවයි. ඔවුන්ගේ ආගම කුමක් හෝ විය හැකිය. ඔවුන් මේ දුෂ්කර මහපොළොවකට ඇවිත් පදිංචිවෙන්නේ තමන්ගේ දිළිඳුකම නිසාය.
උපක‍්‍රමශීලී ලෙස කැලෑ කපන මුස්ලිම් මිනිසුන් ගැන අදහසක් සමාජයට කිඳාබස්සවා ඇත. ඉතින් දැන් විසඳුම මේ ජනාවාස පවත්වාගැනීම නොවේ. මේ ජනාවාස ඉවත් කිරීම දැන් විසඳුමයි.

ඉතිහාසයේ පළමු වතාවට අලූතෙන් වනාන්තරයට කොටස් එකතුකරමින් විල්පත්තු වනාන්තරයටම මේ කොටස් ඈඳාගැනීම වඩා හොඳ විසඳුමයි. මේ ජනතාවට වැඩි පහසුකම් ඇති තැනක ඉඩම් සහ නිවාස ලබාදිය හැකිය. ජනාවාස වී ඇති ගම්මාන කිහිපයක් පමණක් ඉතිරි කර තැබිය හැකිය. විගණකාධිපති වාර්තාව යෝජනා කරන්නේද එයයි. පවතින නීතිය කඩකරමින් ඉඩම් නිදහස් කළ අයටත්, මේ ඉඩම් නිදහස් කිරීම් මැද දේශපාලන වාසි ගත් දේශපාලඥයන්ටත් එරෙහිව නීතිමය පියවර ගැනීම අනෙක් වැදගත් කාරණයයි.

 

පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්

72 වර්ෂයෙන් පසුව සිදුවන මහවැලි ව්‍යාපෘතිය තමයි පළමු සහ විශාලම පරිසර විනාශය ලංකාවේ ඉතිහාසයේ සිදුවුණ. ඒ වගේම ජාතික භෞතික සැලැස්මෙන් තමයි ඊළගට සිදුවෙන දැවැන්තම පරිසර විනාශය වෙන්නේ. ජාතික භෞතික සැලැස්මෙන් මහා නගර 6ක් හැදෙනවා. කිලෝමීටර් 1000ක හයිවේ එකක් හැදෙනවා. මේ හයිවේ එක යන්නේ නකල්ස්, කන්එළිය, දෙදියගල අවට තියෙන වනාන්තර ඇතුළත කිලෝමීටර් 10ක වනාන්තර ප‍්‍රදේශයක් විනාශ කරමින්. මීට අමතරව මිනි හයිඩ්‍රොපවර් 300ක ධාරිතාවකට ගල් අ`ගුරු විදුලි බලාගාර දෙකක් හැදෙනවා. කෑගල්ලේ අවට රබර් වතු කපලා පාම් ඔයිල් හදන ව්‍යාපෘතියක් පටන් ගන්නවා.

ඒවාගේම 2008 ඉදලා අක්කර 65525කට වැඩි ප‍්‍රමාණයක් කෙසෙල් වගාව සදහා ඩෝල් සමාගමට ලබාදීලා තියෙනවා.

උදාහරණයක් වශයෙන් ලූණුගම්වෙහෙර අක්කර 3000, උල්හිටිය අක්කර 2000, වැකර වැව අක්කර 2000ක භූමි ප‍්‍රමාණයක්. උතුරේ මිනිස්සුන්ට ලබා නොදුන් ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදීලා තියෙනවා. කෘෂි වගාවන් කිරීමට.

මොරගහකන්ද ජලාශය පටන් අරන් යාපනය දක්වා එය ගෙනයාමේ ව්‍යාපෘතියක් තියෙනවා. එම ජලාශය ගෙන යන්නේ වනාන්තර ප‍්‍රදේශවලින්. එම නිසා කිලෝමීටර් 150ක වගේ කැලෑ ප‍්‍රදේශයක් කැපෙනවා.

අපි විල්පත්තුව ගැන කතාකළොත් විල්පත්තුවේ නැවත පදිංචි කිරීම් කරලා තියෙන්නේ. ජාතික භෞතික සැලැස්මේ මන්නාරමෙන් ඉන්දියාවට පාරක් හැදෙනවා. මේ එකකවත් පරිසර තත්ත්ව වාර්තාවක් නැතිව කරගෙන යන්නේ. පරිසර ඇමති ජනාධිපති නම් ඔහුට පුළුවන් මේ වෙන විනාශය එක ලියුමකින් නවත්වන්න. මේ සියල්ල සිදුකරන්නේ රජයේ වුවමනාවට. මේ වෙන පරිසර විනාශය එක කණ්ඩායමක් බදියුදීන් පිටින් දානවා. තව කණ්ඩායමක් මේක ජාතිවාදී ලෙස නිර්මාණය කරනවා. ඒ සියල්ලම දේශපාලන අරමුණු (ව්‍යාපෘති)මත ගොඩනැගුණු කරණා.

අපි විරුද්ධ වෙනවා නම් ඒ විරුද්ධ වෙන්න ඕනෑ මහා විනාශයක් කරන්න සූදානම් වෙලා ඉන්න ජාතික භෞතික සැලැස්මට එරෙහිව. එහෙම නැතිව තනි කණ්ඩායමක වුවමනා දේකට නෙවෙයි.