රජයේ පොහොර හොර පාරෙන් විකුණලා

රට තුළ කෘත‍්‍රිම පොහොර හිඟයක් නිර්මාණය කර ටෙන්ඩර් පටිපාටියෙන් තොරව වැඩි මිලට පොහොර මිලදී ගැනීමට පසුබිම සැකසීම සඳහා රජයේ පොහොර සමාගම් දෙක සතුව තිබූ පොහොර තොග ඔක්තෝබර් මාසය අවසානයේදී පෞද්ගලික බෙදාහරින්නන් මාර්ගයෙන් පෞද්ගලික අංශයේ සමාගම්වලට විකුණා ඇතැයි වාර්තා වේ.

පොහොර විකිණීමේ මෙම ක‍්‍රියාවලිය ගැන දැනගන්නට ලැබීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න ඒ පිළිබඳව වාර්තාවක් සපයන ලෙසට විගණන අංශයට නියෝග කර ඇතැයි ද දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා විජේරත්න මහතා දුරකතනයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

රජයේ පොහොර සමාගම් දෙක විසින් මේ ආකාරයට විකුණා ඇති යූරියා පොහොර ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 27,000ක් වන අතර ඒ ලංකා පොහොර සමාගම සතුව පැවති මෙටි‍්‍රක් ටොන් 22000ක් හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සතුව පැවති මෙටි‍්‍රක් ටොන් 5000ක්ය.

රජය විසින් රුපියල් 2500ක මිලකට කිලෝ 50හේ පොහොර බෑගයක් ගොවීන්ට විකුණනු ලබන අතර මෙම ගනුදෙනුවේදී බෙදාහරින්නන්ට එවැනි පොහොර බෑගයක් ලබාදී ඇත්තේ රුපියල් 2425ක මුදලකටය.

සාමාන්‍යයෙන් ගොවීන්ට බෙදාහැරීම සඳහා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවලට පොහොර බෙදාදීම සිදුකරන අතර මෙම රහසිගත ගනුදෙනුවේදී එයද නොසලකා හැර තිබුණි.

පෞද්ගලික අංශය මේ ආකාරයට බෙදාහරින්නන් හරහා ලබාගත් පොහොර යූරියා පොහොර වශයෙන් වැඩි මිලට විකිණීම සඳහා හා මිල නියමයක් නොමැති වෙනත් පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යොදාගෙන ඇතැයි පැවසේ.

ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පොහොර හිඟය සඳහා පිළියම් වශයෙන් පොහොර ගෙන්වන තෙක් පෞද්ගලික අංශය සතු පොහොර මිලදී ගැනීම සඳහා පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරමින් අවසර ගෙන තිබූ අතර පෞද්ගලික අංශය ආණ්ඩුවෙන් ලබාගත් පොහොරම නැවත වැඩි මිලට ආණ්ඩුවට විකුණන තත්ත්වයක් මේ නිසා උදාවී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිටත් දැඩි පොහොර හිඟයක් රට තුළ උද්ගතවී ඇති අතර මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර නියමිත පරිදි සපයන්නට රජය අපොහොසත්ව ඇත. එමෙන්ම මහ කන්නය සඳහා අවශ්‍ය ජලයද සමහර ප‍්‍රදේශවලට තවම මුදාහැර නැත.

මේ අතර රජයට පොහොර ලබාගැනීමේ ටෙන්ඩර් තුළ සිදුවූ අක‍්‍රමිකතා පිළිබඳව සොයා බලන ලෙස එම ටෙන්ඩර්වලට ඉදිරිපත් වූ සමාගම් විසින් ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇති අතර එහි පිටපත් අග‍්‍රාමාත්‍යවරයාට, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ප‍්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට, කෘෂිකර්ම අමාත්‍යවරයාට, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකුට, ජාතික පොහොර ලේකම් කාර්යාලයට, විගණකාධිපතිවරායට, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට හා රජයේ පොහොර සමාගම්වලට යොමුකර තිබේ.