රාවය

ඝෝෂාව නවතිනවා ඒත් කවිය පවතිනවා

ඝෝෂාව නවතිනවා ඒත් කවිය පවතිනවා

ෆාමිඩා රියාස්

පකිස්ථානය වැනි දැඩි මතධාරී පුරුෂ මූලික සමාජයක් පවතින රටත් තුළ කිවිඳියක වීම පමණක් මහා කරදර ගොන්නකට අත වැනීමකි. එහෙත් ඇය, ෆාමිඩා රියාස් කිවිඳියක පමණක් නොව ස්ත‍්‍රීවාදි ක‍්‍රියාකාරිනියකි. ප‍්‍රගතිශීලී අදහස් දරන්නියකි, දැඩි මතධාරී, සාම්ප‍්‍රදායික ආකල්පවලට නොනවත්වා පහර ගසන්නියකි, සමාජ ව්‍යාපාර කිහිපයකම සක‍්‍රිය ක‍්‍රියාකාරිනියකි, මානව හිමිකම් වෙනුවෙන් හඬ නඟන්නියකි. ඉතින් ඇයට ජීවිතය කිසිසේත්ම ලෙහෙසි නොවීය. දැඩි මතධාරි, මර්දකාරී පාලනය ඇය නොකැළඹුණු, සැහැල්ලූ ආරකින් අභියෝගයට ලක්කළේ, ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙමින්, ඒ වෙනුවෙන් ගෙවීමට නියමිත මිල ද ගෙවා දමමිනි.

සියා උල් හක්ගේ ඒකාධිපති පාලන ආණ්ඩුව අභියෝගයට ලක් කිරීම නිසාත්, තමා දැරූ දේශපාලනික මතවාදය නිසාත් ඇයට එරෙහිව උසාවියේ නඩු 10කට අධික ගණනක් ගොනු කරනු ලැබූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇය ඉන්දියාවට පිටුවහල් කරනු ලැබුවාය. ඇය නැවතත් සිය මව්රට බලා පැමිණියේ 1988 වසරේ සියා උල් හක්ගේ මරණින් අනතුරුවය.

ඇය කාව්‍යය හා ප‍්‍රබන්ධ කෘති පහළොවකට වඩා නිර්මාණය කර ඇති අතර ඇයගේ බොහෝමයක් නිර්මාණ පකිස්ථානු දැඩි මතධාරි සමාජය වෙව්ලූම් කෑ නිර්මාණ බව විචාරකයන්ගේ මතයයි. ඇගේ දෙවන කාව්‍ය සංග‍්‍රහය වන Badan Dareeda ප‍්‍රකාශයට පත් වීමත් සමඟ ඇය, උණුසුම් විවාදාත්මක පසුබිමක කේන්ද්‍රය බවට පත්වූවාය. එම කෘතියේ කවිවල ඇය ශෘංගාරාත්මක යෙදුම් භාවිත කොට ඇති බවට චෝදනා ලැබුවාය. ඇයගේ කවි හරහා ගම්‍ය වුණු තේමා, එතෙක් පැවතියේ පකිස්ථානු ලේඛිකාවන් සඳහා තහනම් විෂයයන් ලෙසිනි.

ඇය විසින් ලියන ලද Apna Jurm Sabit Hae   කාව්‍ය සංග‍්‍රහය සාහිත්‍ය විචාරකයන්ට අනුව ඉතාමත් බැරූරුම් ලෙස දේශපාලනික මතවාදයක් නියෝජනය කරන්නක් වන අතර එහි නිරූපණය වන්නේ රටක් ලෙස පකිස්ථානය, සියා උල් හක් ඒකාධිපති ආණ්ඩුව සමයේ වින්ද හිංසා පීඩාවන්ය. ෆාමිඩා රියාස් සමඟ පහත දැක්වෙන සංවාදය කළ, කිවිඳියක, ලේඛිකාවක සහ සාහිත්‍යයට සම්බන්ධ මහාචාර්යවරියක වන අමාර් සින්දුට අනුව දේශපාලන කතිකාවක් සඳහා සිය නිර්මාණාත්මක නියුක්තකරණය යොදා ගැනීම අතින් ඇය සාහිත්‍යයික දැවැන්තයන් වන නසීම් හික්මට්, පැබ්ලෝ නෙරූඩා, ශෝන් පෝල් සාත‍්‍ර සහ සීමෝන් ද බෝවා වැන්නවුන් හා එක පෙළට තැබිය හැකිය.

ඇය විසින් රචිත Badan Dareeda කාව්‍ය සංග‍්‍රහයේ ඉංග‍්‍රීසි පරිවර්තනය Four Walls and a Black Veil යන නමින් ප‍්‍රකාශයට පත් වී ඇති අතර ඇය ලියූ ප‍්‍රබන්ධයක් වන ගෝදාවරි, The Simurgh and the Birds It’s Story Time” The Beautiful Pearl ඉංග‍්‍රීසියෙන් කියැවීමට හැකි ඇයගේ සෙසු කෘතීන් වෙයි.

ෆාමිනා රියාස් 1945 බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේ පැවති ඉන්දියාවේ උපත ලද අතර ඇයගේ ස්වාමි පුරුෂයා සියා උල් හක්ගේ පාලන සමයේ හිරබත් කෑ, වාමාංශික ව්‍යාපාරයේ ක‍්‍රියාධරයෙකු වන සෆාර් අලි උජාන් නම් වෙයි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. පහත දැක්වෙන්නේ Dawn වෙබ් අඩවියේ 2013 වසරේ පළවුණු, ෆාමිඩා රියාස් සමඟ කරන ලද සංවාදයකින් කොටසකි.

නිර්මාණශීලිත්වයට මතවාදයක් අවශ්‍යද?

නිර්මාණශීලිත්වය වඩාත් පෞද්ගලික, එමෙන්ම ජීවවිද්‍යාත්මක රූපාවලියෙන් ඔබ්බට විහිදෙන්නේ නම්, එය සිටගැනීම කිසියම් භූමියක් සොයාගන්නවා. නිර්මාණශීලිත්වය නිරන්තරයෙන්ම මුල්බැස ගන්නේ අදහස් මතයි. අපගේ ජනගී සහ ජනකතා මතවාදීමය නොවුණත් සමීප අධ්‍යනයකදී වැටහෙනවා, ඒවායේ කිසියම් අදහස් සම්භාරයක් අන්තර්ගත වී ඇති බව. ඔය මතවාදය පිළිබඳ ගැටලූව පැනනඟින්නේම, බාහිර තත්ත්වයන් ජාලාවක් සහ පංති ගැටුම් තුළ තනි පුද්ගලයන් දකින ප‍්‍රගතිශීලි සාහිත්‍යයික සන්දර්භය තුළයි. එම දැනුවත්භාවය තුළින් සාහිත්‍යයික නිර්මාණශීලිත්වය බිහි නොවිය යුතු නමුත්, එම දැනුවත්භාවය නිර්මාණශීලිත්වය අවහිර ද නොකළ යුතුයි.

විසිවැනි සියවසේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ ලේඛකයන් වන පැබ්ලෝ නෙරූඩා, පෝල් නිසා‘න්, නසීම් හික්මට්, ෆියාස් අහමද් ෆියාස් සහ ගාර්ෂියා මාර්කේස් වැන්නවුන්, තමන් මාක්ස්වාදීන් බව එළිපිටම ප‍්‍රකාශ කළා. ඒවගේම චිත‍්‍රකලාවේ පෙරළියක් සිදුකළ පැබ්ලෝ පිකාසෝ ප‍්‍රංශයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්. අනික් පැත්තෙන් ගත්තොත් සාහිත්‍ය ලෝකයේ පතාක යෝධයන් වන ලියෝ තෝල්ස්තෝයි සහ දොස්තොව්ස්කි වැනි ලේඛකයන්, ක‍්‍රිස්තියානි ඉගැන්වීම නම් සන්දර්භය තුළින් සාමාජය සහ පුද්ගලයා දෙස බැලූ අතර ඔවුන් මානව සංහතියේ ගැටලූ, ජේසුතුමාගේ ඉගැන්වීම් ආධාරයෙන් විසඳන්න උත්සාහ කළා. ඔබට දැන් පෙනෙනවා ඇති එයත් එක්තරා අකාරයක මතවාදයක්.

ඔබගේ නිර්මාණශීලිත්වයට අනුප‍්‍රාණය සැපයෙන ප‍්‍රභවය කුමක්ද? එය සමාජ නැඟිටීම්, සමාජයේ අක‍්‍රමික බව, ව්‍යාකූලතාව හෝ අභ්‍යන්තර ළතැවුලද?

මගෙ කවීත්වය පැන නඟින්නේ මම නියුක්තව සිටින්නේ කුමක්ද යන්න මත. ඒ විදියට තමයි ෆෙයිස් ෂෙයික් අයාස්, ගුල් කාන් නසීර් සහ ජමාල් කඨාක් වැන්නවුන් සිය ජීවිත ගෙවා දැමුවේ සහ ආශ්චර්යමත් කවීත්වයක් නිර්මාණය කළේ. මම විශේෂයෙන් දේශපාලනිකව ප‍්‍රමාණය ඉක්මවා ආරෝපණය වුණු කිවිඳියක් නොවෙයි. සමහරවිට විශේෂයක් වන්නේ මම ගැහැනියක් වීම පමණයි. මට අනුව සාහිත්‍යය ජීවිතයෙන් වෙන් කරන්න බැහැ. සාහිත්‍යය කියන්නේ අනික් ඕනෑම ජීවියෙක් වගේම පණ ඇති දෙයක්.

මේ රටේ නව්‍යත්වයට මඟ හෙළිපෙහෙළි කළ අය සිටියා. ඒත් ඒ අය මේ රටටත් එහි ජනතාවටත් කර තිබෙන දේවල් තේරුම් ගන්නවත්, අගය කරන්නවත් අපි බොහොමයක් දෙනාට දැන් මතක නෑ. අපගේ කාව්‍යය බරපතළ ලෙස දේශපාලනික වීම, එම අපූරු තත්ත්වය පකිස්ථානය තුළ පැතිර යාමේ ප‍්‍රතිඵලයක්. මේ රට එක අර්බුදයකින් තව තව තවත් අර්බුදවලට ඇදදැමූවක්. ලේඛකයෙකුට නොසලකා සිටිය නොහැකි තරමට දේවල් නරක අතට හැරිලා. එම තත්ත්වය සැබවින්ම දේශපාලනික කාරණා පිළිබඳ ලියූ මුනීර් නියාස් සහ ඉන්තිසාර් හුසේන් වැනි සෞන්දර්යාත්මක ෆැන්ටසි මවන කවීන් සහ ලේඛකයන් පවා බිහිවීමට හේතුවක් වුණා.

ලේඛකයෙකුගේ දේශපාලික සවිඥානක බව, ඔබ විශ්වාස කරන ආකාරයට ලේඛකයකු තුළ භාවාත්මක දුර්වලතාවක් බවට පත් වෙනවාද, එසේ නැතින්ම එය නිර්මාණශීලිත්වයට පණ පොවනවාද?

විවිධාකාරයේ ලේඛකයන් ඉන්නවා. සමහර අය තමන් වටේ ඇති සමාජ-දේශපාලනික තත්ත්වයන්ට ප‍්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ වගේම තවත් සමහර ලේඛකයන් ඉන්නවා, ඔවුනට තමන්ගේ කෘති ඔවුන් වටා ඇති සමාජ තත්ත්වයන්ගෙන් වෙන් කොට සාහිත්‍යකරණයේ යෙදෙන්න බැහැ, ඒ වගේම ඔවුන් සමාජය කැළඹීමේ වැඩි භාරයක් නියෝජනය ද කරනවා.

මගේ දෙවැනි කෘතිය ගත්තොත්, ඒ තුළ දේශපාලනික හෝ සමාජ ප‍්‍රගමනයන් ගැන එතරම් සාකච්ඡුාවට බඳුන් වෙන්නේ නැහැ. එහි නිරූපණය වෙන්නේ මගේ ඇතුළාන්ත පැවැත්ම. මගේ ජීවිතය එකවරම සහමුලින්ම වෙනස් වුණා. ශුභවාදී, ආදරයෙන් ඔත්පළ වුණු පාසල් සිසුවියක්, එකවරම විවාහක කාන්තාවක් බවට පත් වුණා. ලිංගිකත්වය, සමාජ අවශ්‍යතා සඳහා බලහත්කාරයෙන් යටපත් කරනවාය කියන කාරණය ඉන් මට අවබෝධ වුණා.

හේතු ගණනාවක් නිසා පැනනඟින ස්වාභාවික ලිංගික ආශාව, ගැහැනියක තුළ පිරිමියකු පිළිබඳ ඇතිවන ලොල්වීම, සමාජ චාරිත‍්‍ර ඉදිරියේ සහමුලින්ම නිශේධනය වෙනවා. කිවිඳියක් ලෙස මගේ හදවත මෙන්ම මනස තුළ සුවිශාල කැළඹීමක් ඇති වුණා. ඉන්පසු මාතෘත්වය, ශාරීරික, මානසික මෙන්ම භාවාත්මක අත්දැකීම බෙදාහදා ගැනීමේ බිහිදොර, වචන ඇතුළේ තිබුණා. ඉතින් මගේ ජීවිතය වෙනස් කරගන්න මට සිදුවුණා – ඉන් පසුවයි මට මගේ මව්බිමට වෙනසක් ගෙන එන්න පුළුවන්. මම මගේ ජීවිතය වෙනස් කරගන්නා අතරතුර මගේ මව්බිමට වෙනසක් ගෙන එන්න උත්සාහ කරන වෙනත් බොහෝ අය එක්ක මම අත්වැල් බැඳගත්තා. එසේ මගේ විෂය පථය වෙනස් වීම පිළිබඳ විචාරකයන් වැරදි විදියට අර්ථගැන්වූවා. ඔවුන්ට ඇත්තෙන්ම එය කිසිසේත්ම වටහා ගැනීමට හැකිවුණේ නැහැ. ඔවුන් අසමත් වෙලා තියෙනවා ලේඛකයාගේ නිර්මාණත් ඔහු හෝ ඇයගේ ජීවිතයත් අතර තියෙන සබැඳියාව සමීපව පරීක්ෂා කරන්න.

විචාරකයන් ප‍්‍රකෝප වෙලාද, ඔබ හිතන්නේ කොහොමද?

අමාර්, ඔයත් ගැහැනියක් වගේම කිවිඳියක්. ඔබ දන්නවා ලේඛිකාවක් හුදෙක් කාන්තාවක් වීම නිසාම ගෙවන්න වෙන බරපතළ ගෙවීම මොකක්ද කියන එක. පිරිමින් ප‍්‍රමුඛ වන අපගේ වැනි සමාජයක, විශේෂයෙන්ම ඔබගේ සිතැඟි සහ නිර්මාණශීලිත්වය බරපතළ ලෙස සැළකිල්ලට ගැනෙන්නේ නැහැ. බොහොමයක් පිරිමින්ට, ඔබගේ වැදගත්ම ලක්ෂණය තමයි ඔබ ගැහැනියක් වීම, ඒ කියන්නේ ඔවුන් එක්ක ඇඳට යන කෙනෙක් (ඔවුන් එහෙම හිතනවා). ඔබගේ මනස කියන්නේ, එහි සාරය නිරන්තර නොසැලකිල්ලට භාජනය වන අනවශ්‍ය ශරීර උපාංගයක්. ඔබ යමක් කියන්නේ ද එහි තිබෙන්නේ එකම එක අරමුණයි, එනම් ඔවුන්ට ලිංගික උත්තේජනය සැපයීමයි. ඔබට කිසියම් නිශ්චිත දේශපාලනික මතයක් ඇත්නම්, එය ඔබගේ මනස සහ වචන පාලනය කරන ඔබගේ ආදරවන්තයාගේ මතය පුනරුච්චාරණය කිරීමක්. ගැහැනියගේ මනසින් ප‍්‍රභාවී චින්තනයක් අපේක්ෂා කළ නොහැකි බව පොදු එකඟතාවයි. කෙසේ වෙතත් ඔබට වෙන විකල්ප නැහැ, තමන්ගේ කාර්යය නොනවත්වා කරගෙන යාම ඇරෙන්න. මම එය තමයි කරන්න උත්සාහ කළේ.

ඔබ හිතනවාද, සමකාලීන සාහිත්‍ය නිර්මාණ, අතීතයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති විසින් අත්පත් කරගත් සර්වව්‍යාපි ආකර්ෂණය අහිමි කර ගෙන කියලා?

මම එහෙම හිතන්නේ නැහැ. අපට ඉන්නවා සමස්ත ආකාර්ෂණය දිනාගත් සමකාලීන ලේඛක ලේඛිකාවෝ, නමුත් අපට ටික කාලයක් බලාඉන්න වෙනවා එම ප‍්‍රබන්ධ සම්භාව්‍ය තත්ත්වයට පරිණාමය වනතුරු. මොකද, සමකාලින යුගයේ එම කෘති සම්භාව්‍ය කෘති ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නොහැකි නිසා. මම කැමතියි මෙහිදී ප‍්‍රබන්ධ කිහිපයක් නම් කරන්න. ශ‍්‍රී රාම් ශුක්ලා විසින් රචනා කරන ලද Maila Anchal සහ කිරාන් දේසායිගේ Inheritance of Loss  කෘති. පසුව සඳහන් කළ කෘතිය ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇති අන්තර්ක‍්‍රියාකාරිත්වය පිළිබඳ කියැවෙන්නක්. එම තේමාව මටද තරමක් සමීප බවක් හැෙගනවා.

යටත් විජිත පාලකයන් අතහැර දමාගියේ මොනවද, අර්ධද්වීපයේ අභ්‍යන්තර අරගල, එහි ප‍්‍රතිවිරෝධතාවන්, එහි භෞතික යථාර්ථය සහ විවිධත්වය. එය ආදරණීය නවකතාවක්. මොනතරම් පුදුමාකාර ලේඛිකාවක් ද ඇය! ඊට සමාන ලෙසම ඔර්හාන් පමුක්ගේ Snow කෘතිය ඉතාමත් මනබඳිනසුලූයි. එහි කතා කරනවා බටහිරත් සමඟ ඇති මුස්ලිම් ගැටුම. ඉන්පස්සේ අරුන්දතී රෝයිගේ ඔයැ The God of Small Things  , අප ඒ වෙතට ඇදබැඳ තබා ගන්නා කෘතියක්. පකිස්ථාන සාහිත්‍යයේ තවම එවැනි ප‍්‍රබන්ධ දක්නට ලැබෙන්නේ නැහැ.. නැතිනම් මම එවැනි කෘති කියවලා නැහැ.

පකිස්ථානු ඉංග‍්‍රීසි නවකතා නිර්මාණය වෙන්නේ බටහිර පාඨකයන් ආකර්ෂණය කරගන්න. ඔබ ඒ අදහසට එකඟ වෙනවාද?

ඇත්තටම සමහර ලේඛකයන් කිහිපදෙනෙක් ඉංග‍්‍රීසි සාහිත්‍යය පිළිබඳ, වැඩි වශයෙන්ම පකිස්ථානු ලේඛකයන් විසින් ඉංග‍්‍රීසියෙන් ලියන නවකතා සම්බන්ධයෙන් මතුකරන විරෝධය ගැන මට තියෙන්නේ ලැජ්ජාවක්. මට විටෙක හිතෙනවා එම විරෝධය හුදෙක් ඊර්ෂ්‍යාව නිසා පැනනඟින්නක් ද කියන එක. එය ඇත්තෙන්ම වැරදි ආකල්පයක්. ඔවුන් ළාබාලයි, ඒ වාගේම ඔවුන් ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියන්නේ එය තමයි යමක් ප‍්‍රකාශ කරගැනීමට තරම් හැකි ඔවුන් ඉගෙනගත් එකම භාෂාව. එහිදි පැනනැගෙන අනෙක් මතය තමයි, ඔවුන් අයත් එක්තරා සමාජ ස්ථරයකට, ඒ නිසා ඔවුන්ගේ කෘති මඟින් කියැවෙන්නේ එම ප‍්‍රජාවට අයත් දේ සහ පකිස්ථානයේ ඉහළ පැළැන්තියේ අත්දැකීම් පමණක් ය කියන එක. එහෙත් විශේෂත්වයන් මතුවෙමින් තිබෙනවා.

මම කියවා තිබෙනවා මොහ්සින් හමීඞ් විසින් ලියූ The Reluctant Fundamentalist   නම් කෘතිය. එහි සිනමාපටයත් මා නැරඹුවා. මම හිතනවා අපේ තරුණ පකිස්ථානු ලේඛකයා ඉතාමත් වැදගත් විෂයයක් ගැන ලිවීමට තරම් නිර්භය වෙලා තිබෙනවා. ඒ එක උදාහරණයක්. සල්මන් රුෂ්ඩි, ඔහු පකිස්ථානුවෙකු වේවා, ඉන්දියානු – පකිස්ථානුවෙකු වේවා ඔහු පකිස්ථානයේ ඉතිහාසයක් දේශපාලනයත් ගැන ලියා තිබෙනවා. අනිත් අය ටිකෙන් ටික ඉදිරියට එයි, ඒවගේම එයාලා කාලයත් සමඟ පරිණත තත්ත්වයට ළඟා වෙයි. මොහොතකට අප මොහොමද් හනීෆ්ගේ  A Case Of Exploding Mangoes tells කෘතිය ගත් විට, එහි කතාවෙන් කියවෙන්නෙ හමුදාව විසින් පකිස්ථානයේ බලය අල්ලා ගැනීම ගැන. එය පාඨකයා කම්පිත කරන සාහිත්‍ය කෘතියක්. අපේ ඉංග‍්‍රීසි සාහිත්‍ය වෙත බටහිර රටවල අවධානය යොමුවෙනවා තමයි, ඉතින් එහි ඇති වැරැුද්ද මොකක්ද?

ඔබ හිතනවාද සමකාලීන ලේඛකයා ඔවුන්ගේ පෙරකාලීනයන්ට වඩා බුද්ධිමය වශයෙන් හුදෙකලා වෙලා කියලා?

ලේඛකයෙක් හුදෙකලා වෙන්න පුළුවන් ඔහු හෝ ඇය කණ්ඩායමක සාමාජිකයෙක් නොවේ නම් හෝ ඔහු ජනතාව හා එක්ව ගමන් නොකරන්නේ නම්. මම පිටුවහලේ ගතකරමින් සිටින කාලයේ අනෙක් පකිස්ථානු ලේඛකයන් ජනතාව අතර සිටීම විඳින විට, මටත් හුදෙකලාව දැණුන නිමේෂයන් බොහෝමයක් තිබුණා. පිටුවහලේ ජීවිතයෙන් අනතුරුව නැවත මා මගේ රටට එන විට මට ලැබුණු උණුසුම පිළිගැනීම, ඒ හුදෙකාලව වෙනුවෙන් මට වන්දි ගෙව්වා.

ඒවගේ ම තමයි Badan Dareeda   කෘතිය ප‍්‍රකාශයට පත් වීමත්, එය ගර්හාවට ලක්වීමත්, එය අමනෝඥ ලෙස තේරුම් ගැනීමත් නිසා මට හුදෙකලා හැඟිමක් දැනුණා. පකිස්ථානු කාන්තා ව්‍යාපාරය එහි පණිවුඩය සියතට ගත් විට ඒ හුදෙකලාව පහව ගියා. අවුරුදු කිහිපයකට ඉහතදි විස්මයජනක බලූකිස්ථානු ලේඛකයෙක් සහ විද්‍යාර්ථියෙක් වන ෂා මොහොමද් මාරි, (බලූකිස්තානුවන් කාන්තාවන්ට ගරු කරන ජන කොට්ඨාසයක් බව තොරතුරු මූලාශ‍්‍රවල විශේෂයෙන් සඳහන් වෙයි.  (Badan Dareeda )  කෘතියේ කවි පිළිබඳ ලිපියක් ලීවා.

මම හිතන්නේ ඔහුට හැකි වුණා ඒ කවි වල තිබූ ජවය හා සාරය හොඳින් ග‍්‍රහණය කරගන්න. ඔහු විතරයි පිරිමි සාහිත්‍යවේදියකුට හිටියේ මම කියන්න හදපු දේ තේරුම් ගත්ත. අඩුම තරමේ මා සම්පූර්ණයෙන්ම තේරුම් නොගෙන මට මියයන්න සිද්දවෙන එකක් නැහැ. පාකිස්ථානු බුද්ධිමය ක‍්‍රියාකාරිත්වය හා සබැඳි ජීවිතයේ බොහෝ පෙදෙස් ඉතා දීර්ඝ වියලි කාන්තාරයක් වගේ. ඒත් මගේ වැදගත් කෘති කිහිපයක්ම පාඨකයන්ගේ නොමඳ අවධානය දිනාගෙන තිබෙනවා. බහුතරයක් විචාරකයන් අශ්ලීල කෘති ලෙස හැඳින්වූ මගේ කවිවල සැඟවී ඇති අදහස පාඨකයාට පැහැදිලි කර දුන් ෂා මොහාමද් මරි හෝ කලිඩා හුසේන් ඊට හොඳ උදාහරණ.

ඔබගේ Badan Dareeda , කාව්‍ය සංග‍්‍රහය මහා ඝෝෂාවක් ඇති කළා, එහි වූ තහංචි නො ලූ කාන්තා ලිංගිකත්වයේ සොයා යාම නිසා. එහි යමක් තියෙනවාද ඔබ නැවත ලියන්න කැමති, නැතිනම් ඔබ පෙර පරිදිම අලජ්ජිත ආකාරයෙන් ලියනවාද?

ඔබ අදහස් කළේ විළිලැජ්ජා නැති ආකාරයෙන්, එහෙම නේද? (සිනාසෙයි). මට ඒ ආකාරයෙන් කියන්න තවත් දේවල් තියෙන්න පුළුවන්. ලියන එක හරි ලේසියි. එකේ කිසිම ගැටලූවක් නැහැ. ඒත් ඊට පස්සේ තමයි කඨෝර සංගීතයට මුහුණ දෙන්න වෙන්නේ. මම හිතන්නේ මම ඉන් නොනැසී බේරුණා කියලා. ඔය ඝෝෂාව ටික කාලෙකින් නැතිව යනවා. ඒත් කවිය පවතිනවා.

කවියෙකුට, නිර්මාණශීලි ලේඛකයෙකුට පුළුවන් ද ඇත්තටම ජනතාව හිතන ආකාරයෙන් හෝ ආණ්ඩුවක් කරන ආකාරයෙන් සමාජය තුළ කිසියම් වෙනසක් ඇති කරන්න?

හැමදේකින්ම වෙනසක් ඇති වෙනවා. එය මුල් අවස්ථාවෙදී නොපෙන්න පුළුවන්. නැතිව වෙන කොහොමද සමාජයක් වෙනස් වෙන්නෙ.?

සුභාෂිණි චතුරිකා