රාවය

බිඳ වැටුණු සමාජයක සේකර මතක

බිඳ වැටුණු සමාජයක සේකර මතක

මහගම සේකර ගැන මතකය අවදි කරන්නට දින වකවානුවෙන් නොකෙරුවත් ඔහු ගැන මතකය නිරන්තරයෙන් අවදි වන්නෙකි. කෙසේ වෙතත් ජනවාරි 14 වෙනිදාට යෙදෙන මහගම සේකර අනුස්මරණ දිනය වෙනුවෙන් යම්කිසි සටහනක් තැබිය යුතුයයි සිතට කලබල කිරීම නිසා මෙම සටහන ලියන්නට සිතාගත්තෙමි. මහගම සේකර මේ වන විට මෙලොවින් සමුඅරන් අවුරුදු 40කට ආසන්නයි. එහෙත් මහගම සේකර ජීවත්ව සිටිය කාලය ඔහු සමුඅරන් මේ වනවිට ගත වූ කාලයට වඩා මඳක් වැඩිය. එය ජීවිතයේදී ඉතා සුළු කාලයකි. එහෙත් ඊට ආසන්නම කාලයක් ඔහුගේ වෙන්වීමෙන් පසුවත් ජනහදවත් තුළ ජීවත් වන්නේ ඇයි? ඒකට හේතුව වන්නේ කුමක්ද? සේකර ඒ සලකුණ තැබුවේ කොහොමද? කලාකරුවන් මියගියද ඔහු යාවත්කාලීන වන්නේ කෙසේද? එසේ වන්නේ සේකර කියූ ලියූ දේවල් ඒ තරම්ම යාවත්කාලීන වීමය. එදා සේකර දුටු ලෝකය අද අපි අත්විඳිමින් සිටින්නෙමු.

‘මක්නිසාද යත්’ තුළ ඔහු එය ලියා තැබුවේ මෙලෙසිනි.

සංක‍්‍රාන්ති කලියුගයේ
හෙල්ලූම් කන සමාජයේ
පාලම් උඩ
මේ මගේ නෑයාය
මිතුරාය – සැමියාය- බිරින්දය
විශ්වාසයක් නොමැත
අන්තෝ ජටා බහී ජටා

අද සමාජය ගැන එදා සේකර මෙසේ ප‍්‍රකාශ කළේ කෙසේද? මේ අප ගෙවමින් සිටින්නේ සමාජයේ පුරුෂාර්ථයන් ගිලිහී පිරිහී ගිය යුගයක් බව පෙනෙමින් තිබේ. පසුගිය කාලය පුරාමත් කියවුණු යහ පාලන සංකල්පය තුළ සංස්කෘතික මිනිසකු තැනීම කියන කරණය ක‍්‍රියාවට නගන්නේ කෙසේද? සංස්කෘතිය බිහිවන්නේ ශිෂ්ටාචාරයේ දියුණුවත් සමග බව මම සිතමි. ශිෂ්ටාචාරයක් යනු ගොඩනැගිලි මංමාවත් තැනීමක් නොවේ. එහෙත් අපට අද දියුණු ශිෂ්ටාචාරයක් ලැබී තිබේද? දියුණු ශිෂ්ටාචාරයක් නැති තැන සංස්කෘතික මිනිසෙකු බිහිකළ හැකිද?

සේකර මේ සියල්ල දුටුවේ ඔහුගේ පුළුල් දෘෂ්ටිකෝණයෙනි. සටහන ලියන්නට පෙරාතුව සේකරගේ ප‍්‍රබුද්ධ කිහිපවරක් කියවා ඇතත් මේ ලිපිය ලිවීමට නැවත වරක් කියවීමට ගැනීමේදී මීට පෙර කියවීමට වඩා වෙනස් හැඩයක් ‘ප‍්‍රබුද්ධ’ තුළින් මතුවුණි. ලාංකේය බෞද්ධ සංස්කෘතිය තුළ සංකේතීය කාන්තාව, මව, බිරිඳ, දියණිය යශෝදරාවයි. එහෙත් එය යසෝදා ලෙසින් සේකර හැඟවුම්කාරකයක් කරගන්නේ වෙනත් හැගවුමක් ජනිත කරන්නට බව මගේ මෙවර හැගීම් විය. අවුරුදු 30කට ආසන්න කාලයක් ලංකේය සමාජය අත්විඳිමින් සිටින විපරීත ආර්ථික, දේශපාලනික, සමාජීය සංස්කෘතිය එහි හැඟවුමයි. පාරිශුද්ධ සමාජයක ඛේදනීය පරිවර්තනය සේකර තම දෘෂ්ටිකෝණයෙන් අත්විද එය ප‍්‍රබුද්ධ තුළින් ප‍්‍රකාශ කළායැයි හැගීමත් ඇතිවුණි

.
ඒ අනුව මේ ලිපිය ලීවීමට එම ප‍්‍රවේශයම භාවිතාවට සිතාගතිමි. අපි දැන් සියලූ පුරුෂාර්ථයන් අහිමි, ආදරණීය සමාජයක ජීවිතය ඔට්ටුවට තබමින් සූදු කෙළින්නට වී ඇත්තෙමු. ලංකේය සමාජය මේ කරමින් සිටින්නේ එම ක‍්‍රීඩාව තුළ ක‍්‍රීඩා කිරීමයි. අපත් නොදන්නා බලවේගය අපගේ අනෙකා බවට පත්ව ක‍්‍රීඩාව පවත්වාගෙන යයි. මේ විෂමාකාර සමාජය සේකර දැක්කේ මීට බොහෝ කලකට පෙරයි. සේකර ඔහුගේ විවේචනාත්මක උපහාසය අපේ සමාජය වෙත හෙලූවේ මානව දයාවෙන් යුක්තවය.

සේකර ප‍්‍රබුද්ධ කාව්‍ය සංග‍්‍රහයට පූර්විකාවක් තබමින් කියන්නේද එයයි.

ඔප් නැගු විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්.
වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනගින් පිරී ගිය දුම්රියක
අවුලා ගෙන හිස් සිගරැුට් පැකැට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්.
එසේ වුව සොහොයුරාණනි !
ඔබ ගැන ම මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නො වැටහෙන බව දනිමි.
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව ද දනිමි.

අපේ ලෝකය යහපත් වන හෙට දිනයක බලාපොරොතුව තබාගන්නට, යහපත් අර්ථය වටහාගන්නට අපට ඇති අත්දැකීම් ලැබෙන්නේ කෙසේද? අද අපට හමුවන දැවැන්ත මාධ්‍ය ජාලය සහ දේශපාලනය ඒ සියලූ ප‍්‍රාර්ථනා අපෙන් ඉවරත් කරමින් නිර්වින්දනය වූ නිෂ්ක‍්‍රිය සමාජය නිර්මාණය කරමින් සිටියි. සේකර ප‍්‍රබුද්ධ තුළින් මතු කරන්නේ මේ විකාරරූපී පරිවර්තන සමාජයේ රූපමය කතා වස්තුවය. බිඳවැටුණු සමාජයක සම්ප‍්‍රාප්තිය සේකර සංකේත කරනුයේ අපූරුවටය.

කා බී නටන හිනැහෙන මඟුල් ගෙදරක
හඬා වැළපෙන ඉලව් ගෙදරක නො දැන ඒ කිසිවක් –
මලක් දැක හිනැහෙන
මල යනු කීමැයි නො දැන ම –
කුඩා දරුවෙකු මෙන් වී ය ඔහු
හමුවන තුරු ඔහු ඇසට
යසෝදා.

එතැන් සිට යසෝදා …….. (යශෝදරා) චරිතය තුළින් සේකර අප වෙත ගෙන එන්නේ ඒ සංස්කෘතික පිරිසිදුභාවය සහිත සමාජයක නියෝජනයයි. එය එක චරිතයක් නොවන බව පෙනේ. එසේ නම් යසෝදා ලෙසින් ප‍්‍රබුද්ධ තුළ පළමු පැදිපෙළින් හමුවන්නේම සංකේතීය ශ‍්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය විය යුතුය.

අප සමාජය ආක‍්‍රමණය කළ සියලූ විපරීත බලවේග අප වසඟයට ගත්තේ මේ විදිහටම වසඟකාරී ආකාරයෙනි. සියල්ල මාධ්‍ය තුළ චමත්කාර ජනක අත්දැකීම් බවට පෙරළා අප වෙත ලබාදෙයි. එහෙත් අප බලාපොරොත්තු වූ යසෝදා……යශෝදරා … අපට හමු නොවේ.

කඳු මුදුනින් අඩ සඳ පැදෙන්නා සේ
ගිරි කඳුරින් දිය දලූ වැහෙන්නා සේ
සංගීතය මූර්තිමත් වූවා සේ
මොටෝරියෙන් බැස දිව ගෙන
දඟකාරයි
සුකුමාරයි
සිනා සිසී ඈ අවා.
අපට නුහුරු නුපුරුදු සමාජය නිර්මාණය කළ ඒ දේශපාලනික ආර්ථික සැරසිල්ල කෙබඳුද?
මා හදවත
තත් පිරිමැද
නංවයි ඔබ

මෙතෙක් කල් මා නෑසු සංගීතය.

අප රට තුළට පැමිණි විකාරරූපී ආර්ථික ප‍්‍රවණතාව අප අමතන්නේද එලෙසින් ය. සියල්ල ඉතා සුන්දරය, වසඟකාරීය, එය අප අමතයි, රවටයි එහි සුකුමාල භාවයම අප සිත් ගනී.

‘ හා! එන්න ! ප‍්‍රීති වෙන්න ! ගී කියන්න ! පෙම්බරෝ
මේ වගේ සැපක් තවත් ලොවේ තියේ ද සුන්දරෝ ?
හැම් බේකන් කන්න සල්ලි
ජින් ෂම්පෙන් බොන්න සල්ලි
බල්ලෝ මරලා -හරි -සල්ලි හොයාලා
ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා

සේකර මේ කියන්නේ කුමක්ද? පවතින සමාජ යථාර්ථය නොවේද? මේ සිස්ටම් ඒක අපට ඉතුරු කර ඇත්තේ වෙන කුමක්ද? ඉහත පද කීපයම නොවේද?

කොහේ ගියාදෝ නැත සිතෙහි චකිතය
කොහේ ගියාදෝ නැත හීන මානය
මට වත් මතක නැත ඉස්සර අතීතය
උඹලත් මාත් ඔක්කොම දැන් සමානය
එතැන් සිට
ඔහු ද ඒ රංචුවට එකතු විය.
එතැන් සිට
නටන්නට විය ඔහු ද උන් සමග
උන් නටන තාලයට.

අද වන විට සිදු වී ඇත්තේ මෙය නොවේද? සියල්ලෝම ගොදුරු බවට පත්වන්නේ නොදැනුවත්වමය. සියල්ලෝ නටති, වයති, ස්ටාර් සොයති, පොඩි උන් අල්ලාගෙන ගොස් නටන තරගවලට දමති. දමා බලා සිටිති. උනුත් අපිත් නටමු …. අතීතකාමය ගෙන මුදල් කරති. කැලෑ කපා කෑලෑ තුළ රැුය පහන් කරන්නට ඉඩ සලසා දෙන හෝටල් හදති… සියල්ල නියමයි නේද ?

ප‍්‍රබුද්ධ තුළින් මතු කෙරෙන්නේ මේ යථාර්ථය නොවේද? උදේ සිට රාත‍්‍රිය තෙක්ම අපේ නිවෙස්වල පසුතල වාදනය ලෙසට ධර්ම දේසනා, පිරිත්, ගාථා, ශ‍්‍රවණය වුවද සමාජය තුළ අත්දකින ප‍්‍රතිඵලය තුළ එය දකින්නට ඇත්ද? වැඩිපුරම මේ වන විට මාර්කටින් වී ඇත්තේ ධර්ම සාකච්ඡා සහ දේශනාය. අපට ඇති එකම ප‍්‍රශ්නය බවට අරක්කු සහ සිගරැට් බවට ප‍්‍රශ්නය සරල කර අනෙක් සියල්ල අමතක කර දමා ඇත. සියල්ල විකිණෙන වර්තමානය තුළ නොවිකිණෙන්නේ කුමක් ද?

යසෝදා !
එහෙත් මට ඔබ අතැර යා නො හැක
විකුණුවෙමි වෙළඳුන්ට ආත්මය
ඔබ සිත පිනවනු පිණිස.
විකුණුවෙමි වෙළඳුන්ට ආත්මය
ඔබ හා සම වනු පිණිස.
එදා සිට අද තෙක්
නැත සිතට සැනසුමක්,
මහා කළකිරීමක්,
හිස් බවක් පසුතැවිල්ලක් මිසක.

සේකර යසෝදා තුළ රැගෙන එන සංකේතය සමාජ පෙරලිය අපූරුවට චිත‍්‍රණය කරයි.

අන්ධකාර රාත‍්‍රිය ය.
මහා මාර්ගය පාළු ය.
රූරා ගෙන මොර දී ගෙන හඬා වැටෙන
කුණාටු අසනිපාත වර්ෂාවය.
කෙළවරක් නො පෙනෙනා මහා මගෙහි
දිවෙන්නට විය ඔහු හැකි තරම් වේගයෙන්
උමතුවෙන්
තෙමි තෙමි සීතලෙන්
කොතැනටද යේ ද නො දැන ම.
කෑගැසී ඔහු යළිත්
යළි යළිත්
නිර්මල වූ ආදරය සොයන මෙන්
මහ හඬින්
යසෝදා……!
නැවතත් පාරිශුද්ද යසෝදා සොයා යා යුතුය…….

යසෝදරා වන්නේම ලාංකේය මවයි. එහි නිර්මලත්වය ළඟා කරගත යුතුය. එවිට සංහිඳියාව තුළ හිනැහෙන ලාංකේය මාතාව හමුවිය හැක. එය මතු බලාපොරොත්තු වන ලෝකයයි. සේකර ද එය බලාපොරොත්තු වෙයි. අවසානයේ සියල්ල තුළ මිනිසා කෙබඳු වෙයිද? සියල්ලන්ටම ඉතුරු වන්නේ කුමක්ද?

ලැබුව ද කොතෙක් දන
නැගුණ ද ඉහළ තලයට
දිළිඳු විය ඔහු සිත ආත්මය ඇද වැටී පහළට.
‘ප‍්‍රබුද්ධ
හිස්ය මේ ජීවිතය ;
බොල්ය මේ ජීවිතය ;
බලව !
රන් දුහුල් යට
සුවඳ විලෙවුන් අතර
අතට අත දෙන ඇඟිලි කරු අතර
නිර්වස්ත‍්‍ර වී පෙනෙන කුහකකම.’
නිර්වින්දනීය වර්තමාන සමාජය තුළ ඒ උත්කෘෂ්ට ආදරය පිරි සමාජය ගොඩනැගෙන්නේ කෙසේ ද?. ඒ ශිෂ්ටාචාරය බිහිවන්නේ කවදා ද? ඒ තුළින් සංස්කෘතික මිනිසෙකු බිහිවන්නේ කවදා ද? එක් වී සොයමුද ආදරය..

එහෙත් සේකර යෝජනා කළේ …
විෂමව කැරකෙන ලොව දෙස
ඔබත් මමත්
ඈතට වී බලා සිටිමු.
පබ්බතට්ඨෝ‘ ව භුම්මට්ඨෝ
මේ ලොව මීට වඩා යහපත් කොට
සාදන්නට
එවිට අපට හැකි වනු ඇත…
සේකරයාණනි …… සමා වුව මැනවි……… බලා සිටින්නට කාලයක් නොමැත.
අපි මෙය වෙනස් කළ යුතුව ඇත……..

ගීත් අසංක