රාවය

හැම ගිටාරයක්, වයලීනයක් පිටිපස්සෙම ආදරය තියෙනවා

හැම ගිටාරයක්, වයලීනයක් පිටිපස්සෙම ආදරය තියෙනවා

රේඛා නිලූක්ෂි හේරත්

ගිටාරය කියන්නේ සංගීතයට රිද්මය සොයාදෙන අපූරු සංගීත භාණ්ඩය. වයලීනය කියන්නේ සංගීතයෙන් නලවන්න පුළුවන් අපූරු භාණ්ඩය.

ජිමී හෙන්ඩි‍්‍රක්ස්ගේ පර්පල් හේස් ගීතයේ වර්ණවත් බව තියෙන්නේ ගිටාරය නිසා නෙවෙයිද. බොබ් මාලි රෙඩෙම්ප්ෂන් සෝන්ග් ගයා පීඩිත පන්තිය ගැන කතා කරද්දී ගිටාරය නැත්නම්. රෙගේ සංගීතයට ගිටාරය නැතිව කොහොමද.

රොක් සංගීතය තියෙන්නේම ගිටාරය නිසයි. ග‍්‍රන්ග් සංගීත ශෛලියෙන් ස්මෙල් ලයික් ටීන් ස්පිරිට් ගීතය නිර්වානා කණ්ඩායම විසින් ගයද්දී කර්ට් කොබේන්ගේ ගායනය වගේම ගිටාරයේ හඬ අප මත් කරන්නේ නැද්ද. කොබේන් හඬ සීරුවට ඇහෙන්නේ ගිටාරය එක්ක මුසුවෙමින් නොවෙයිද.

ඒ කලාපයේ විතරද, අපේ කලාපයේත් සංගීත මායාවන් හැදුණේ ගිටාරය පසුබිමේ තියාගෙන. අපේ කලාපයේ ගිටාරය ලස්සනටම පාවිච්චි කළ ගීතය කියලා මට හිතෙන්නේ ‘ඉලය නිලා’ ගීතය. ‘නිලෙ නිලෙ අම්බර් පර්’ කියලා හින්දියෙන් ප‍්‍රතිනිර්මාණය වුණු ගීතය.
ඉලය නිලා ගීතය තැනුවේ ඉසෙයිරාජා ඉලයරාජා. ඉසෙයි කියන්නේ සංගීතය. ගීතය ගයන්නේ එස්.පී. බාලසුබ‍්‍රමනියම්. ගිටාරය බටනලාව එක්ක එක්ව ඉලයනිලා ගීතයෙන් පෙන්වනවා සංගීතයට කළ හැකි මායාව මොනතරම්ද කියලා. එහි අපූරු ගිටාර් වාදනය අවසාන කරන්න දින විසි ගණනක් යළි යළිත් පුහුණු වූ බව කියනවා. මේ විස්මයන් යළි සිහි නොකර මේ සටහන අරඹන්නේ කොහොමද?

ඉතින් මේ සටහන ලියන්නේ ගීතයක් අසමින්මයි. අපූරු ගිටාර් වාදනයන් පසුබිමේ තබාගෙනමයි. බොහෝ ගීතවල හුස්ම තියෙන්නේ ගිටාරයේයි. ගීතවල පණගැහෙන්නේ ගිටාරය එක්කයි.

නිව් ටෝන්

කතාකරන්න සූදානම් වෙන්නේ ගිටාර් වාදනයන් ගැනවත්, වාදකයන් ගැනවත් නෙවෙයි. ඊට පෙර අදියර ගැනයි. ගිටාර් නිර්මාණය කරන පියපුතු දෙපළක් මුණගැහෙන්නයි අපි ගියේ. ගිටාරයෙන් නැගෙන සංගීතයේ වර්ණවත් බව ඔවුන් ගැන කතා කරන්නට පෙර සිහිපත් කරගන්නට ඕනෑ නිසායි ගිටාර් වාදනයන්ගෙන්ම කතාව පටන්ගත්තේ.

ලංකාවේ ගිටාර් තැනෙන බව බොහෝදෙනෙක් දන්නේ නැති තරම්. ලංකාවේ 1969 ඉඳන් ගිටාර් නිර්මාණය කරන හතුරුසිංහ පවුල ගැන නම් අතිබහුතරය දන්නේ නැහැ. සති කිහිපයකට කලින් ඉංග‍්‍රීසි පුවත්පතක ඔවුන් ගැන ලිපියක් පළවී තිබුණා. ඒ ලිපිය තමයි ඔවුන් මුණගැහෙන්නට අපට පාර පෙන්වුවේ. ඔවුන් ගිටාර් වැඩපොළේදී මුණගැහෙන්නට වෙලාවක් වෙන්කර ගැනීමයි අසීරු වුණේ. වැඩපොළේ වැඩ නොකෙරෙන තරම්. මෑත කාලයේ ගිටාර් වැඩපොළේ කටයුතු අඩුවෙලා තියෙන නිසා.

කිත්සිරි හතුරුසිංහ සහ ඔහුගේ පුත් භාග්‍ය හතුරුසිංහ තමයි මෙතැන දැන් කටයුතු කරන්නේ. 1969 දී නිව් ටෝන් නමින් මේ ගිටාර් වැඩපොළ පටන්ගත්තේ කිත්සිරි මහත්තයාගේ පියා. ජ්‍යෙෂ්ඨ හතුරුසිංහ මහත්තයා. දැන් ඔහු වයස අවුරුදු අසූව ඉක්මවා ඇති නිසා විශ‍්‍රාමිකයි. භාග්‍ය සහ කිත්සිරි පියපුතු දෙපළ තමයි නිව් ටෝන් වැඩපොළේ ඉන්නේ.

ගිටාර් වැඩපොළ වගේම ඔවුන් සංගීත භාණ්ඩ අලෙවි සැලක්ද කරනවා. ඔවුන්ගේ නිෂ්පාදන වගේම ආනයනය කරන සංගීත භාණ්ඩත් ඔවුන් අලෙවි කරනවා. කොළොන්නාවේ පදිංචිව සිටින ඔවුන්ගේ නිවසේම නිව් ටෝන් වැඩපොලත් තියෙනවා. අප ඔවුන් මුණගැහුණේ වැඩපොළේදීයි. ඔවුන් අතීතයට, අනාගතයට, සංගීතයට අප එක්ක කතාබහ ගෙනගියා.

කතාව පටන් ගත්තේ කිත්සිරි මහත්තයා.

”අපි ගිටාර්වලට අමතරව මැන්ඩලීන්, වයලීන්, ඉලෙක්ටි‍්‍රක් ගිටාර්, හවායින් ගිටාර්, ජෑස් ගිටාර්, චෙලෝ වැනි තත් භාණ්ඩ හදනවා. උඩැක්කි හදන්නත් පුළුවන්. ඊට අමතරව සංගීත භාණ්ඩ වර්ග කිහිපයක් හදනවා. සිතාර්, වීණා ඇතුළු තත් සංගීත භාණ්ඩ වර්ග ඕනෑ එකක් අලූත්වැඩියා කරනවා. ඒ සියල්ල අතරින් අපි වැඩිපුරම කරන්නේ ගිටාර් නිර්මාණය කිරීම හා අලූත්වැඩියාව.” ඔහු වැඩපොළේ කෙරෙන වැඩ ගැන කෙටි පැහැදිලි කිරීමකින් කතාබහ පටන්ගත්තා.

”තාත්තා සංගීත භාණ්ඩ ගැන ලොකු ආසාවක් එක්කයි මේ වැඬේ පටන් අරන් තිබුණේ. ව්‍යාපාරයක් විදියටම නෙවෙයි. විනෝදාංශයක් විදියට. පුංචියට පටන් අරන් තිබුණේ. හැබැයි ඔහුගේ ඇඟ පුරා වැඬේ තිබුණා. ඔහු හදවතින් වැඬේට ආදරය කළා. ඒ නිසා හොඳ භාණ්ඩ හදන්න පුළුවන් වුණා. ඉතින් මේ වැඬේට ඉල්ලූම හැදුණා. කාලයක් යද්දී අපි රටටම බඩු නිෂ්පාදනය කළා.” නිව් ටෝන් සංගීත භාණ්ඩ තැනෙන්නට පටන් ගත්තේ එහෙමයි.

කිත්සිරි සහ භාග්‍ය දෙදෙනාම පියාගේ අඩිපාරේ යමින් තමයි සංගීත භාණ්ඩ නිර්මාණයට යොමුවෙලා තිබුණේ. දෙදෙනාම සංගීත භාණ්ඩ නිර්මාණයට දැඩිව ආදරය කළ බව කියනවා. ”මමත් ඉස්කෝලේ යන කාලයේ ඉඳන් මෙතැනම හිටියෙ. මේවා අතපත ගෑවා. අතට හුරුවුණා. ලේවලින්ම වැඬේ මටත් ආවා.”

ගිටාර් එකක් හැදෙන හැටි

ගිටාරයේ බඳ තැනීම තමයි අමාරු කටයුත්ත. සංගීතය මැවෙන්නේ බඳ එක්ක. කිත්සිරි මහත්තයා ගිටාරයේ බඳ තැනෙන හැටි විස්තර කළා.

”මේක මැන්ඩලීන් එකක්. මුලින්ම මෝල්ඞ් එක ගන්න ඕනෑ අපි හදන භාණ්ඩයට අදාළව.”  මෝල්ඞ් එක කියන්නේ බඳ තැනෙන්න අවශ්‍ය රාමුව. ඒ රාමුව තුළට තුනී ලෑලි උණු කොට ඇතුල් කරනවා. ගිටාරයේ මූලික හැඩය හදාගන්නේ මෝල්ඞ් එකෙන්. ඉන්පසුව ගිටාරය මෝල්ඞ් එකේ තබන්නේ ඒ හැඩයට සවි වනතුරුයි. මෝල්ඞ් එක තුළ හැඩගැහෙන ගිටාර් බඳට උඩු පැත්තෙන් සහ යටි පැත්තෙන් තුනී ලෑලි සවිකරලා ගිටාර් බඳ තනා ගන්නවා.

ගිටාර් බඳට මහෝගනී ලීය බොහෝවිට පාවිච්චි කරනවා. සැහැල්ලූව සහ හඬ හොඳ අයුරෙන් දිවෙන්නට අවශ්‍ය නිසා එවන් සැහැල්ලූ ලීයක් යොදන්නේ.’

ලංකාවේ නම් ගිනිසපු ලීයෙන් ගිටාරය තැනෙන බව කිත්සිරි මහත්තයා විස්තර කළා. ගිටාරයට යොදාගන්නා ලීය අනුව ගිටාරයක වටිනාකම වෙනස් වෙනවා.

ගිටාරයේ මිට තැනෙන්නේ සාමාන්‍ය ලී වැඩ කෙරෙන ආකාරයට. මිට තැනීම එතරම්ම අසීරු නැහැ. ගිටාරය මෙන්ම අනෙක් සංගීත භාණ්ඩවලත් බඳ සහ මිට තනා ගන්නවා. අසීරුම කටයුත්ත වයලීනය තැනීම. එය පුංචි වුණත් එයට එක්කරන්නට තියෙන හැඩතල වැඩියි.

එහෙත් ගිටාරය තැනීම තාක්ෂණික වැඩක් පමණක් නොවන බව කිත්සිරි මහත්තයා කියනවා.

”මියුසික් භාණ්ඩ හැදීම භාවනාවක් වගේ. මේකටම හිත යොමුවෙන්න ඕනෑ. හිත පිට ගියොත් වැඬේ කෙරෙන්නේ නෑ. හිත අයාලෙ ගියොත් අඩුපාඩුවක් එක්කයි වැඬේ අවසාන වෙන්නේ. නිවැරදි හැඩය තිබුණොත් තමයි නිවැරදි හඬ එන්නේ. හිත එක්තැන් කරන්න පුළුවන් වැඩක් මේක. මුදල් නිසාම නෙවෙයි අපි හදන්නේ. වාදනය කරන කෙනාත් මුදල් ගැනම නෙවෙයිනේ හිතන්නේ. ඒ වගෙ තමයි හදන කෙනාත්.”

වාදනයක් නෑ

කිත්සිරි සහ ඔහුගේ පියාට ගිටාර් හෝ වෙනත් සංගීත භාණ්ඩ වාදනය හුරු නැහැ. භාග්‍ය පාසල් යන කාලයේ ගිටාර් වාදනය කර තිබුණත් ඔහු ගිටාර් වාදනය පැත්තෙන් ඉදිරියට යන්න කල්පනා කර නැහැ. ඔවුන්ට ඕනෑ ලෝකයේ හොඳම තත්ත්වයේ ගිටාර් තනන්නන් වීමයි. එයත් එක්තරා කලාවක්. තමන්ම නිර්මාණය කරන ගිටාරය වාදනය කරන්න උත්සාහ නොගැනීමත් අපූරුයි.
”මම සංගීත භාණ්ඩ වාදනය කරන්නේම නැති තරම්. වැඩිය වාදනය කරන්න දන්නෙත් නෑ. තාත්තා වුණත් වාදනය කළේ නැහැ. අපි සංගීත භාණ්ඩය නිර්මාණය කරන එක තමයි විඳින්නේ. ඒක භාවනාවක් වගේ. අනෙක් ඕනෑම බඩුවක් හදනවා වගෙ කාර්මික දැනුමෙන් විතරක් සංගීත භාණ්ඩ හදන්න බෑ. ඒකට වෙනම සංයමයක් ඕනෑ.”

හොඳම සංගීත භාණ්ඩ වාදකයෙක් හොඳම භාණ්ඩ තනන්නෙක් නොවනවා සේම හොඳම නිර්මාපකයා හොඳම වාදකයාත් නෙවෙයි.

ඉල්ලූම

”ගොඩක් වාදකයෝ පවා ගිටාර්වල කොලිටි එක කියන්න දන්නේ නෑ. ගොඩක් අය හොඳ ගිටාර් එකක් වර්ණනා කරන්නේ බ‍්‍රෑන්ඞ් නේම් එකෙන්. ඒ නිසා අපේ ගිටාර් අඳුනගන්න බෑ. හැබැයි හොඳම වාදකයෙකුට හඬෙන් තේරෙනවා හොඳ ගිටාර් එක මොකක්ද කියලා. අපට වුණත් හඬ අහද්දී ගිටාර් එකක් අඳුනගන්න පුළුවන්. එහෙම අඳුනගන්න දන්න කෙනෙක් අපේ ගිටාර් එකක වටිනාකම දන්නවා.” භාග්‍ය විස්තර කළේ තමන්ගේ භාණ්ඩවල ප‍්‍රමිතිය ගැනයි.

නිව් ටෝන් ආයතනයට නිෂ්පාදනය කළහැකි ප‍්‍රමාණයට ඉල්ලූමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ භාණ්ඩවල වටිනාකමත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

බොහෝ අය ලාබ භාණ්ඩවලට යොමු වෙනවානේ. ඉතින් විනෝදයට ගිටාර් වාදනය කරන කෙනෙක් අඩු ගාණකට චීනයෙන් ගෙනෙන ගිටාර් ගන්නවා. අනෙක් අය වෘත්තීයමය වාදකයන්. ඒ අය ලංකාවේ ඒවාට කැමති නෑ. එයාලා හොයන්නේ ලොකු වෙළෙඳ නාමයන්. ඇමෙරිකාවෙන්, ජර්මනියෙන් වගේ බටහිර රටවලින් ලක්ෂ ගණනක් දීලා ගිටාර් ගෙන්වනවා.” කිත්සිරි කියනවා.
එසේ ගෙන්වන ගිටාර් වාදනය කරන්නට නොහැකි වෙන අවස්ථාත් තියෙනවා.

”පිටරටවලින් ගෙනෙන ගිටාර් මෙහේදී ප්ලේ කරන්න බැරිවෙන අවස්ථා තියෙනවා. දේශගුණය නිසා. ලක්ෂ ගණන් දීලා ගිටාරය ගෙනාවාම මෙහේ පෙට්ටියෙන් එළියට ගන්නත් බැරිවෙන අවස්ථා තියෙනවා. මෙහේ උණුසුම වැඩියි. එහේ සීතලයි. සමහර අය මා එක්ක කතා කරලා කියනවා විස්තර පත‍්‍රිකාවේ තියෙන තොරතුරු එක්ක කේස් එකෙන් ගිටාර් එක එළියට ගන්න බෑ කියලා. මම දන්න කෙනෙක් ලක්ෂ පහමාරක් වියදම් කරලා ගිටාරයක් ගෙනල්ලා තිබුණා. මෙහේට ගේනකොට තත් ඇදවෙලා.” කිත්සිරි විස්තර කළේ එවන් අත්දැකීමක්.

”අපට ලෝකයේ ඕනෑම රටකින් ගෙනෙන ගිටාරයක ප‍්‍රමිතියෙන් හදන්න පුළුවන්. හැබැයි ඒ වෙළෙඳ නාම වෙනුවෙන් ගෙවන මුදල ලැබෙන්නේ නෑ. අපි ලක්ෂ දෙකට වැඩි මිලට ගන්නා ගිටාරයක් රුපියල් හැටපන්දාහට හදනවා.

ළඟදී ගිටාරයක් අරගෙන කෙනෙක් ආවා. ඔහු ඒකේ වටිනාකම මට කිව්වෙ නෑ. හැබැයි මම දන්නවා ලක්ෂ හයක් වටිනවා. එයාට ඕනෑවෙලා තිබුණේ වමත් ගිටාරයක්. මේ ගිටාරය ගෙනල්ලා ඔහු කීවේ මේ හැඩරුවටම මේ ප‍්‍රමිතියටම වමත් ගිටාරයක් හදන්න කියලා. අපි ඒක වගේම වමත් ගිටාර් එකක් හැදුවා. නිව් ටෝන් කියන අපේ බ‍්‍රෑන්ඞ් නේම් එකෙන්. මේකේ මිල හැටපන්දාහයි. එයා කිව්වෙ මේ ගිටාර් දෙකේ ප‍්‍රමිතියේ කිසිම වෙනසක් නෑ කියලා.” කිත්සිරි කියනවා.

නිව් ටෝන් වැඩපොළේ අප කතාබහ කරමින් ඉන්න අතරේ අමුත්තෙක් එක්වුණා. ඔහු භාග්‍යගේ මිත‍්‍රයෙක්. ගිටාර් වාදකයෙක්. සනුක වික‍්‍රමසිංහ, නදීමාල් පෙරේරා වැනි කලාකරුවන්ගේ ගීතවලට ගිටාර් වාදනය කරන්නෙක්.

”බලන්න පුතා. මේ රාවය පත්තරෙන්. එයා අපේ වැඩවල ප‍්‍රමිතිය ගැන අපෙන්ම අහනවා. ඕවාට කොහොම උත්තර දෙන්නද. ඔයාගෙ අදහස කියන්නකෝ.” කිත්සිරි මහත්තයා ඔහුගෙන් ඉල්ලූවා.

ඔහු තමන්ගේ අදහස කීවෙ මෙහෙම.

”ලංකාවෙ මේ වගේ තැනකට සෑහෙන්න පිළිගැනීමක් තියෙන්න ඕනෑ. හැබැයි මිනිස්සු දන්නේ නෑ. අපේ අය ඇමෙරිකාවෙන් එන ඕනෑ කුණුගොඩක් ගන්නවා. හැබැයි මේක ඒ ප‍්‍රමිතියෙන්ම තියෙනවා. අපේ අයට ඒ තත්ත්වයට ගරු කරන්න ඕනෑ. මොකද ඒ තාක්ෂණයමයි මෙතැන තියෙන්නේ. මම කලින් පාවිච්චි කළ ගිටාර් එක ඇමෙරිකානු එකක්. හැබැයි මොනවා හරි වුණොත් ඇමෙරිකාවෙ යවන්න බෑ. මෙහේ ගිටාර් එකක් ඕනෑම වෙලාවක ඇවිල්ලා කතාකරලා හදාගන්න පුළුවන්. අඩු මිලට ඉහළ ප‍්‍රමිතියක වැඩක් කරන්න පුළුවන්. අපි ගිටාර් එකක බලන්නේ සවුන්ඞ් කොලිටි එක. ලංකාවෙත් එහෙම හදන එක ලොකු දෙයක්. මෙහේ ඉලෙක්ටි‍්‍රක් ගිටාර් එකක් හදලා ඇෆෙන්ඩර් කියන බ‍්‍රෑන්ඞ් නේම් එක ගැහුවොත් හිතන්නේ එහෙම එකක් කියලා. ඉතින් මම හිතාගෙන ඉන්නේ ඉස්සරහට මේ බ‍්‍රෑන්ඞ් නේම් එකත් එක්ක ගිටාර් ප්ලේ කරන්න.”

නැවත හමුවීම

ගිටාර් නිර්මාණය කළ පසුව විඳින්නට ලැබෙන අපූරුම අත්දැකීමක් තමයි තමන්ගේ අතින් තැනුණු ගිටාරයක් නැවත අලූත්වැඩියාවකට තමන් අතටම පැමිණීම. තමන්ගේ දරුවෙක් නැවත මුණගැසීමක් වගෙයි.
”ගොඩක් වෙලාවට අපේ අතට ගිටාර් එක අවුරුදු විස්සකට විතර පස්සේ එනවා. ඒ එද්දීත් බොහෝ ගිටාර්වලට ලොකු හානි වෙලා නැහැ. පුංචි රෙපයාර් තියෙන්නේ. අවුරුදු ගාණකට පස්සෙත් ඒ ප‍්‍රමිතියටම තියෙනවා දකින්න ලැබුණාම මාර සතුටක් දැනෙන්නේ.” කිත්සිරි මහතා කියනවා.

ඔහු පසෙක එල්ලා ඇති ගිටාර් අතරින් එකක් අතට ගන්නවා. පුංචි ගිටාරයක්.
”මේක අපේම ගිටාර් එකක්. අවුරුදු විස්සකට පස්සේ රෙපයාර් එකට ඇවිත්. බේබි ගිටාර් එකක්. මේක සීයා කෙනෙක් තමන්ගේ පුතාට තෑගි දෙන්නයි ගෙනාවෙ. මුණුපුරා ඉන්නේ යූකේවල. එයා ලංකාවට එද්දී තෑගි දෙන්න මේක රෙපයාර් කරන්නයි ඕනෑ.”
තමන්ගෙන් වෙන්වෙන ගිටාරයක් ලොකු සංචාරයක් යන්න පටන් ගන්නවා. ලෝකය වටා යන්න පවා ඉඩ තියෙනවා. එකල ඔවුන් මසකට ගිටාර් සීයකට එහා තැනූ බව කියනවා. මෑත කාලයේදීත් මසකට ගිටාර් පනහකට වඩා නිර්මාණය කරලා තියෙනවා. මේ වන විට තාවකාලිකව ගිටාර් තැනීම නවත්වා තිබුණත් ඉදිරි කාලයේ නැවත ඉල්ලූම වැඩිවෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙලෙස තමන්ගෙන් වෙන්ව මහා සමාජය අස්සේ සැඟව යන ගිටාර් එක්වරම නැවත මතුවෙලා තමන් අතට පැමිණීම හරිම ආදරණීය අත්දැකීමක්. තමන්ගේම දරුවෙක් යළි මුණගැහෙනවා වගේ.

”අපි පුටුවක්, මේසයක් හදනවා වගේ නෙවෙයි ගිටාරයක් හදන්නේ. හැම ගිටාරයක්, වයලීන් එකක් පිටිපස්සෙම ආදරය තියෙනවා. ඉතින් එහෙම ආදරයෙන් හදන භාණ්ඩයක් කලාතුරකින් ආපහු එනවා දකිනවා. නැත්නම් රූපවාහිනියේ වැඩසටහනක වාදනය කරනවා දකිනවා. චිත‍්‍රපටිවල දැකපු අවස්ථාත් තියෙනවා. දැන් නම් ෆේස්බුක්, යූටියුබ් වගේ ඉන්ටර්නෙට් එකෙත් ගොඩක් අය ගීත, වාදනයන් දානවානේ. මොනතරම් සංගීත භාණ්ඩ මැද්දේ වුණත් අපි තැනූ භාණ්ඩයක් අඳුනාගන්න පුළුවන්. එහෙම අඳුනගත්තාම තමයි ජීවිතේ ලබන්න පුළුවන් උපරිම සතුට ලැබෙන්නේ.” ඔවුන් එහෙම කියනවා.

ඇගයීම

”සමහරු අපේ ගිටාර් අරගෙන වාදනය කරනවා අපේ නම මකලා. අපේ බ‍්‍රෑන්ඞ් නේම් එක ගැළපෙන්නෑලූ. අපිව උපරිමයෙන් වර්ණනා කරලා, ගිටාර් එක ගැන කට පුරා හොඳ කියලා ගිටාර් එක හදවාගෙන යනවා. හැබැයි ගිහින් අපි ගිටාරයේ කොටලා තියෙන නිව් ටෝන් බ‍්‍රෑන්ඞ් නේම් එක හාරනවා. මොකද එහෙම හෑරුවාම දකින කෙනෙක් හිතන්නේ රටින් ගෙන්වපු මිල අධික ගිටාරයක් කියලා.” භාග්‍ය එහෙම කියනවා. ඔවුන් තමන්ට හිමි ඇගයීම කිසිදා ලබා නැහැ. ඔවුන්ට හිමි වටිනාකම කිසිදා ලැබී නැහැ. බොහෝවිට ඔවුන් ඇගයීම් ලබා ඇත්තේ විදේශිකයන්ගෙන්. ඔවුන්ට තිබුණු එවැනි අත්දැකීම් නම් බොහෝයි.

”හැත්තෑ ගණන්වල ජර්මනියේ ශිෂ්‍යත්වයක් ලැබුණා. හොෆ්නර් කම්පැණියෙන්. ඒසියා ෆවුන්ඬේෂන් කියන ආයතනයේ ප‍්‍රධානියා තාත්තාගේ වැඩපොල දැකලා හොෆ්නර් කම්පැණියේ වර්ක්ෂොප් එකකට ශිෂ්‍යත්වයක් ලැබුණා. තාත්තා යන්න ලෑස්තිවෙද්දී තිබුණෙ වින්ටර් එකක්. එහෙන් කිව්වා, දැන්ම එන්න එපා මෙහේ සීතලයි. අනෙක මීට කලින් ආ ඉන්දියානුවන් දෙන්නෙක් ඉන්නවා. එයාලා ඉවර වුණාම එන්න කියලා. හැබැයි හැත්තෑඑකේදී සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව ආවා. ඒ කාලේ බටහිර රටවල්වලින් දුන්න ශිෂ්‍යත්ව නැවැත්වූවා. ඉතින් තාත්තාට යන්න බැරිවුණා. එතැනට ගියා නම් එහේ කම්පැනියේ වැඩ කරන්න ලැබෙනවා. ඒ කාලේ වැඩ කළ උපකරණ එහෙම ගෙනෙන්න ලැබෙනවා. එහෙනම් මීට වඩා ලොකුවට මේක කරන්න වුණත් ඉඩ ලැබෙන්න තිබුණා.” කිත්සිරි කීවේ තමන්ගේ පියාගේ අත්දැකීමක්. කිත්සිරි මහතාටත් එවන් අත්දැකීමක් තියෙනවා.

”රූපවාහිනී සංස්ථාව ඉස්සර ජපන් කම්පැණියකින් කළානේ. ඒ දවස්වල ඒකේ හිටපු ප‍්‍රධානියා ඇවිත් සෙමි එකොස්ටික් ගිටාර් එකක් හදන්න ඕඩර් කළා. ඉන්පස්සේ එයා උදේ ? නැතිව මෙතැනට ආවා අපි ඇත්තටම ගිටාර් හදනවාද කියලා බලන්න. අන්තිමේදී එයා මැණිකක් දීලා කිව්වා ගිටාරයට මේක ඔබ්බලා දෙන්න කියලා. එයා යන්න කලින් කණ්ඩායමක් එක්ක ඇවිත් අපට සුබ පතලා ගියා. එහේ ගිහිල්ලාත් ෆොටෝ එව්වා.”

ඔවුන්ගෙන් අපි සමුගනිද්දී හිත ඇතුළේ ඉලය නිලා ගීයේ ගිටාර් වාදනය රැව්දෙමින් තිබුණා.