සිගරැට් පැකැට්ටුවක්, විශාදය, අනෝජා

 

මම පිටකොටුව බෝ ගස අද්දර සිටිමි. මිත‍්‍රයෙකුගේ සම්ප‍්‍රාප්තිය අපේක්ෂාවෙනි. රාජකාරී බැහැර යාමක් පිණිසය.

දිගු රැය පුරා බෝ ගසේ ලැගුම් ගෙන සිටි කොළඹ කාකයෝ සුපුරුදු කාහළ නාදය තුඩින් නික්මවමින් ගසෙන් නික්මෙති. දෛනික රැකියා – ක‍්‍රියා පිණිස ඉඩකඩ විවර කරමින් පිටකොටුව නිදිගැට බිඳියි. නාට්ටාමිවරු පිට මත බර පොදි පටවන වෘත්තීය ජීවිතය අරඹා සිටිති. ඔවුන්ගේ පිටකොඳු ශක්තිමත්ය. එහෙයින්ම චලනය වේගවත්ය.

අලූත් දවසක් අවදි වී ඇත. ඒත් හිමිදිරි ළහිරු එළියෙහි තැවරී ඇත්තේ පැරණි ව්‍යාජ සිනහවමය. අලූත් සුවඳක් නැත. එහෙයින් නැවුම් හුස්මක්ද නැත. එහා මෙහා වන දහසක් මිනිසුන් අතර ඇහිපිය ඇලෙනමුත් සිතුවිලි හතර දිග්භාගයේ සැරිසරයි. මිතුරු ප‍්‍රමාදය මේ සිතුවිලි නිසාම අමතකව යයි.

ආ ගමන පසුව ලියමි. ඊට මත්තෙන් වෙන දෙයක් ලියමි.

ජීවිතයද වූකලි එක්තරා විදිහක ගමනකි.

ෆෆෆෆෆෆ

කැකිරාව මඩාටුගම රේවත විද්‍යාලයේ දැරියක නිරාහාරව සිටීම නිසා උදෑසන පාසලේ වමනය කිරීමේත්, ගැහැනු ළමයකුට වමනය යනුයේ ගැබ් ගැනීම නිසා පමණක් යැයි අදහන විදුහල්පතිනියක එම පාසලේ සිටීම නිසා ඇය පාසලින් ඉවත් කිරීමේත් පුවත දැන් පැරණිය. ඉන්පසු ඇයට වෙනත් පාසලක් ලැබීමත් විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීමත් ඔක්කාරය තරම් වේගයෙන් සිදු නොවුණත් සිදුවී ඇත. අණවින, කොඩිවින, යක්ෂ, පේ‍්‍රත, මාධ්‍ය භාවිතාව තුළ මෙවැනි හණමිටි අදහස්ද  ඕනෑ තරම් සීරුවට වැඩෙමින් පවතී.

මෙවැනි කතා තව සිය වර්ෂයක් ගෙවුණද අසන්නට දකින්නට හැකිවනු ඇත.

එහෙයින් නැවුම් හුස්මක්ද, අලූත් සුවඳක්ද නැත.

මේ දේ හරහා එම දැරිය විඳි පීඩාව කොපමණ වන්නට ඇත්ද? එය ඇගේ අනාගතයට වුව බලනොපානු ඇත්ද? මෙවැනි විදුහල්පතිනියකගෙන් ඇගේ දියණියක වුව කොතරම් පීඩා විඳිනු ඇත්ද?

මේ කතාව සිහිවන හැමවිටකම අලූත් කරනුයේ පැරණි කතාවකි. එය ලියන්න සිටියේ බොහෝ කලකට පෙරය. එහෙත් නොලියැවුණි. දැන් එය ලිවිය යුතු තත්ත්වයට මේ සිද්ධිය අලූත් වී ඇත.

පිළිසඳරකට රංගන ශිල්පී අනෝජා වීරසිංහ සමඟ කතා කළ මුත් එවිට ඇය රාවය සමඟම ‘හදබස’ක් කොට වැඩි කලක් නොවුණි. පිළිසඳරෙහි යෙදුණු කිසිවක් හදබසෙහි නොවූමුත් ඒ මතකය සටහනකම තබා අගුළු ලෑවේ කවදා හෝ ගනු වස්ය. එහෙත් දවස් අවදි විය. සටහන කටුවටම තිබුණි. කටුව කැකිරාව සිද්ධියත් සමඟ නැවත හදේ ඇනුණි. මිතුරු ප‍්‍රමාදය හිමිදිරියේ එය තව තවත් හදවතේම ලියැවිණි.

ෆෆෆෆෆෆෆෆ

ඇගේ කතාව

‘මම ඉපදුණේ හද්ද පිටිසර මොනරාගල කියන ගමේ. දරු පැටව් හත්අට දෙනෙක් එක්ක මගේ අම්මා ඔට්ටු වෙච්ච ඔට්ටුවිල්ල මට තවමත් හිතාගන්න බෑ. අම්මා එහෙම ඔට්ටු වෙද්දී තාත්තා ඒ දවස්වල ගමේ නාට්‍ය කළා. මේ හින්දම තාත්තාගේ සැහැල්ලූව අම්මාට ලොකු බරක් වුණා. ඒකේ ප‍්‍රතිඵලය හැටියට අම්මා තාත්තාව නිතර සැක කළා කියන මතකය පුංචි කාලේදිම මගේ හිතේ හීනියට පැලපදියම් වුණා. මේ සැකේ නිසා දෙන්නා නිතර අඬදබර වුණා. අම්මාගේ සැකයට පදනමක් තිබුණාද කියන්න මට අදවත් තේරෙන්නේ නැහැ. මේ හින්දාම ළමා කාලයේ සුන්දරකම් මැද්දේ අසුන්දර අත්දැකීම් තිබුණා කියන්න මැලිකමක් මට නැහැ.

ඉස්සර අපේ ගමේ මඩුවක් වැනි තැනක පවත්වාගෙන ගිය සිනමා ශාලාවක් තිබුණා. මේක මට ගොඩක් මතක ඒකේ සේවයට අපේ ගමේ අයියා කෙනෙකුත් හිටියා. ඔහු අපේ පවුලේ ළඟම හිතවතෙක්. දවසක් පාසලෙන් කිව්වා, හිස් සිගරැට් පෙට්ටි ගෙනෙන්න කියලා කඩදහි බල්ලෝ හදන්න අත්වැඩට. මම එකපාරම මතකයට ආවේ සිනමා ශාලාවක් නිසා ඒකේ හිස් සිගරැට් පැකට් ඇති කියලායි. ඉතින් එදා මම පාසල ඇරිලා අර සිනමාශාලාවට ගිහින් අපේ හිතවත් අයියාට කියලා හිස් සිගරැට් පැකට් ඉල්ලගෙන ගෙදර ගියා.

ඒත් පහුවදා පාසල් ගියාම මට අත්විඳින්න වුණේ අමුතුම අත්දැකීමක්. පාසලට ඇතුළුවුණු ගමන් ළමයි මට ඇනුම්පද කියන්න ගත්තා. ඒවා හරිම නින්දාසහගතයි. ඒත් ගොඩ වෙලාවක් යනකම් ඒ කියන්නේ මටයි කියලාත් මට තේරුණේ නැහැ. පන්තියේ ගුරුතුමිය මට බැන්නාමයි මට තේරුණේ හැම ඇනුමක්ම දමලා ගහලා තියෙන්නේ මට කියලා.

ගුරුතුමිය මගෙන් ඇහැව්වේ, ඇටෙන් පොත්තෙන් එන්න කලින් මඟුල් විසේ ගැහැව්වාද කියලායි. මට මුකුත්ම හිතාගන්න බෑ. අන්තිමේදී විදුහල්පතිනිය ගාවට මාව එක්කගෙන ගියා. එයා අර හැමෝටම වඩා නරක විදිහට මට බැන්නා. ඒ බැනුම අස්සෙයි චෝදනාව එළියට ආවේ. මම ඊයේ සිනමාශාලාවේ තරුණයා සමඟ ශාරීරික සබඳකම් පැවැත්තුවාලූ. මම ඒක ඇතුළට යනවා දැකපු අයත් එනවා දැකපු අයත්  ඕනෑ තරම් ඉන්නවා කියලායි විදුහල්පතිනිය කිව්වේ. ඇතුළේදි වුණේ මොනාද කියලා ආයේ කියන්න  ඕනෑ නැහැනේ කියන තැන ඒ අය තදට හිටියා.

මේ සිද්ධිය වෙනකොට මට අවුරුදු දහතුනයි. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පාසලෙන් මේ කළ චෝදනාව ගමෙත් ළැව්ගින්නක් වගේ පැතිරුණා. ගමේ අර කතාව එක එක විදිහට ගෙතුවා. දැන් මම මොකද කරන්නේ. අවුරුදු දහතුනක පුංචි කෙල්ල කනේරු ඇට නොකා මොනා කරන්නද? ඒත් මම වාසනාවකට එහෙම කනේරු ඇට කෑවේ නෑ. මම නොකළ වරදකට මට චෝදනා කළත් ඇයි මම මගේ ජීවිතයෙන් ඒකට වන්දි ගෙවන්නේ. ඇයි මම ඒක ජීවත්වීමේ අයිතිය එක්ක පටලවා ගන්නේ. එතැනදි මම දුර්වල වුණේ නැහැ.’

මේ අනෝජාගේ කතාව කැකිරාවේ දැරියට සමීප නැද්ද? එදා ඇගේ ඒ විදුහල්පතිනියත් අද කැකිරාව රේවත විද්‍යාලයේ විදුහල්පතිනියත් නිවුන් අය නොවෙත්ද? කැකිරාව දැරියට නොව මුළු සමාජයටම අනෝජාගේ කතාව ආදර්ශයක් නොවේද? එහෙත් අප කැමරාව ඉස්සරහ දැක්කේ මොනතරම් සුන්දර ළාමක චරිතයක්ද? ඒ හදවතෙහි ඇවිලූණු ගින්දර ගොඩ ලෙහෙසියෙන් නොනිවුණි. මෙතැන් සිට කතාව කැකිරාවට ගැළපුමක් නැත.

ඇගේ කතාව

‘කාලය එහෙම ගලාගෙන යනකොට කොහොම හරි මම මගේ පළමුවැනි පෙම් සබඳතාව පටන් ගත්තා අවුරුදු දහනවයේදී. ඒක මට එකම රැකවරණය කියලා හිතුණ ගමන් මම ගෙදරටත් හොරා කසාද බැන්දා. ඒත් විවාහය කියන්නේ සරල දෙයක් නෙවෙයි කියලා තේරෙන කොට මම පරක්කු වැඩියි කියලා මට හිතුණා. අනෙක මගේ ස්වාමියාත් පුංචි කාලෙදිම අම්මා අහිමිව අම්මාගේ ආදරය නොලබපු, තැන් තැන්වල දිවි ගෙවමින් බොහෝම කර්කශ දිවිපෙවෙතක් ගත කළ කෙනෙක්. ඒ නිසා මට ඔහුගෙන් ලැබුණේ ආදරය, රැකවරණය වෙනුවට දුක්ඛිත කටුක අත්දැකීම්. ඒ නිසා මට ගුටිකෑම දෛනික පුරුද්දක් වුණා. මේ අතරේ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ මගේ දියණිය. මේ වෙනකොට මම නිළියක් නෙමෙයි. නිකම්ම නිකම් දුක් විඳින ගැහැනියක්. දියණිය නිසා මම හැමදේම ඉවසුවා. කොටින්ම දුවට තාත්තා ගැන වැරදි වැටහීමක්වත් ඇතිවෙන්න මම දුන්නේ නැහැ. හැමදේම මම තනිවම විඳ දරා ගත්තා.

අවුරුදු 22දී තමයි මම නිළියක් වුණේ. ඒත් මම අම්මා කෙනෙක් කියන බව අමතක කළේ නැහැ. ඒ එක්කම මම දුවත් එක්ක වෙනම ජීවත් වෙන්න ගත්තා. තරුණ ගැහැනියක් දරුවෙක් එක්ක තනිවුණාම සෑහෙන අය පිහිටවෙන්න බලනවා. ඒත් ඒ අරමුණු අවංක ඒවා නෙවෙයි කියලා මට තේරුණා. මම ඒ කොහොම වුණත් මගේ විවාහයෙන් ඉවත් වුණා. දුවත් එක්ක වෙනම ගමනක් පටන් ගත්තා. මට ඊළඟට වෙනම මාදිලියේ ප‍්‍රශ්න මතුවුණා. මම දිවා ? නොබලා වෙහෙසුණා. වැඩ කළා. ගෙදරින් එන්නේ සහෝදර නිළියකගේ වාහනයක. එහෙම නැත්නම් ප‍්‍රඩක්ෂන් එකේ වාහනයක. ඉතින් ඒ ඇවිත් බහිනකොට ඒ අවට අයට මාව පෙනෙන්න ගත්තේ එක එක වාහනවල එන අමුතු පන්නයේ ගැහැනියක් විදිහට. වැරදි කල්පනාවෙන්. ජීවිතය වැඩක් නැහැ කියලා හිතන්නවත් ඉඩක් තිබුණේ නැත්තේ දුව හින්දා.

එහෙම ජීවිතය ඇදි ඇදී යනකොට මට හිතුණා ආයෙමත් විවාහ වෙන්න. ඔහු වතු අධිකාරිවරයෙක්. යහපත් පුද්ගලයෙක්. ඒත් ටික දවසක් යනකොට ඔහුට මාව සැක නොකර ඉන්න බැරිවුණා. ඒ වෙනකොට මමත් මගේ සිනමා දිවියේ උපරිමයට ඇවිල්ලා හිටියේ. ඇත්තටම මටත් ගෙදර රැුඳෙන්න කාලය නැති තරම්. ඒක ඔහුගේ සැකය තවත් තීව‍්‍ර කළා. ගෙදර  ආවත් මම එන්නේ නිදාගන්න බලාගෙන. ඔහුගේ සැකය ඇතුළේ ඔහු හිතුවා මම ඔහුව මගහරිනවා කියලා. මගේ හැසිරීම්වල පවා වෙනස්කම් ඇතිවුණා.

මම ගෙදර හිටියොත් කවුරු හිටියත් කතාබහක් නැතිව ඇඳට යන මට්ටමට වැටුණා. මට පුදුම බයක් දැනෙන්න ගත්තා. ඒකෙන් බේරෙන්න මම කළේ ඇඳේ ගුලිවෙන එක. ඒවා වර්ධනය වෙලා ඇඳෙන් බිමට පැනලා බිම ගුලි ගැහෙන තැනට මාව තල්ලූ වුණා. මේ හැසිරීම් නිසා සැමියා මට දිගටම චෝදනා කළා. එයාගේ එකම චෝදනාව වුණේ මට වෙනත් සබඳකම් තිබෙන බවයි. මම ජීවිතේ හැමදේම අත්හැරියා. කිසි දෙයක සතුටක් මට දැනුණේ නැහැ. කොටින්ම ජීවත් වෙන්න තියෙන ආශාව උනන්දුව මට නැතිවුණා.

මේ අතර තමයි ‘ජුලියට්ගේ භූමිකාව’ චිත‍්‍රපටය කෙරුණේ. ඒකේ ඇඳුම් නිර්මාණය කළ කෙනා මාව මනෝ වෛද්‍යවරයෙක් ළඟට ගෙන ගියා. එහිදී මම විශාදය රෝගියෙක් බව හෙළිවුණා. විශාදය ජීවිතයේ ආශාව නැති කරන මානසික රෝගයක්. මගේ සැමියාගෙන් වටාපිටාවෙන් මා මත පටවපු චෝදනා මාව විශාද රෝගියෙක් බවට පත්කරලා තිබුණා. මේ නිසා මම ජීවිතය නැතිකර ගන්න උත්සාහ කළා. ඒ හැම අවස්ථාවේම මම බේරුණා. මැරෙන්න හිතෙන එක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒක මානසික රෝගයක්. ඒකට  ඕනෑ තරම් ප‍්‍රතිකාර තියෙනවා. මම මගේ දෛවයට ස්තුති කරනවා. මොකද මොන ප‍්‍රශ්න ආවත් ඒ හැම එකකින්ම මට ජයගන්න උදව් කළාට. ඊට මග සැලසුවාට.

හැම කෙනෙකුටම ප‍්‍රශ්න එනවා. ඒ වගේම ඒවාට උත්තරත් තියෙනවා. ප‍්‍රශ්න අපේ වගේම උත්තරත් අපිම හොයා ගත යුතු වෙනවා. වැදගත්ම දේ ජීවත් වන එක. මැරෙන්න හදන එක තුළ තියෙන්නේ අසාර්ථක බව විතරමයි. අදට වඩා හෙට සුන්දර වෙන්න පුළුවන්. ගැහැනිය තුළ ලොකු ශක්තියක් තියෙනවා. ඒකට යට යන්න දෙන්න නරකයි.’

කැකිරාවෙන් පටන් ගත්තාට මොනරාගලින් ඇහුණු කතාව තමයි ලියන්න  ඕනෑ වුණ කතාව. මේ ලිව්වේ ඒක. හැමකෙනාටම කතා හැදෙන්න පුළුවන්. ඒත් කවුරුත් කියන කතාව නෙමෙයි ඒ අයගේ ඇත්ත කතාව. ඒ අයම කියන කතාවයි. ඒ කතාව කියවාගෙන යනකොට ප‍්‍රබන්ධයක් වගේ පෙනෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. මොකද ජීවිතයම ප‍්‍රබන්ධයක්. ජීවිතය කියන්නේම එක්තරා විදිහට ගමනක්. මේ ඇගේ ගමන. ඒ ගමනේදී අපට කැකිරාවේ දැරිය වගේ තව බොහෝ අය හමුවෙන්න පුළුවන්. ඒ හැමගේ ගමන වෙනස්.

පිටකොටුව බෝගහ ළඟ පිපුරුණු බෝම්බයත් එක්ක ඊට ගොදුරු වූ චරිත ගැන තවම බොහෝ දෑ ලියවෙනවා. ඉදිරියටත් ලියයි. මේ බෝ ගහ ළඟ ඉන්න කොට අතීතය සිතුවමක් වගේ මැවෙනවා. බෝම්බයට නොවුණත් පිපිරුණු කතා මැවෙනවා. එදා බෝම්බයට මේ කොළඹ කාකයන්ගේ පරපුරේ එවුනුත් මැරෙන්න ඇති. ඒත් කවුද ඒ ගැන මතක් කරන්නේ. සමහර දේවල් මතක් නොවන තරමට හොඳයි. චරිත කතා කියවන එක අපූරු වැඩක්. ලොකු චරිතවල නැති බොහෝ දේ පොඩි චරිතවල ඇති. ඒත් ඒවා කියවන්න ලැබෙන්නේ කලාතුරකින්.

අනෝජාගේ රංගනයට වඩා මට වැදුණේ ඇගේ කතාව. ඇගේ ප‍්‍රතිභාව මම දැක්කේ ඒ හරහායි. අද  ඇය ගුරුවරියක්. හඬ වගේ හදටත් බෙහෙත් දෙන ගුරුවරියක්.