රාවය

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

දීර්ඝ කාලයක සිට කලා මණ්ඩලයේ මූලිකත්වයෙන් සිදු වූ නාට්‍ය උළෙල මේ වන විට පැවැත්වෙනුයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙනි. 2017 රාජ්‍ය නාට්‍ය උළෙලේ තේරීම් කටයුතු ද ඒ අනුව මේ වන විට සිදුවෙමින් පවතී. 2015 වසරේ සිදු වූ දේශපාලන වෙනස සමඟ සිදු වූ අමාත්‍යාංශ බෙදීමේ ක‍්‍රියාවලිය තුළ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ වූ කලාවට අයත් ඇතැම් කොටස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරීම සිදු විය. ඒ හේතුවත් සමඟ මේ වන විට රාජ්‍ය නාට්‍ය උළෙල සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් පත් කරගත් උපදේශක මණ්ඩලයක් යටතේ සිදුවෙමින් පවතින අතර කලා මණ්ඩලය හා අනුමණ්ඩල අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වෙන්ව පවතියි. මෙම අර්බුදය සම්බන්ධව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් කිහිප දෙනෙකු සමඟ රාවය කරන ලද සංවාදයක සටහනකි.

  

කේ. බී හේරත්

නාට්‍ය අනුමණ්ඩලයේ හිටපු සභාපති

මීට පෙර රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වන්න සූදානම් වෙද්දී නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වශයෙන් මට එයට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන අවශ්‍ය වෙලාවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබුණේ නෑ. ඒවා ලබා දෙන්න ඇමතිතුමා පවා පොරොන්දු වෙලා තිබුණා. ඒ නිසා ඒ අවස්ථාවේ නාට්‍යකරුවන් ලොකු ආරවුලක් ඇතිකළා. ඒ අවස්ථාවේ මමත් හිටියේ නාට්‍යකරුවන්ගේ පැත්තේයි. ඒ නිසා තවදුරටත් ඒ අනුමණ්ඩලයේ හිඳීමේ තේරුමක් නැති නිසා මම සභාපති තනතුරෙන් ඉල්ලා අස්වුණා.

දැන් මේ ප‍්‍රශ්නයේ වැරැුද්ද තියෙන්නේ රජයේයි. ලංකාවේ 1959 වාගේ ඉඳලා නාට්‍ය, නැටුම්, සංගීතය, චිත‍්‍ර වාගේ දේවල බුද්ධිමය භාරකාරත්වය තිබුණේ ශ‍්‍රී ලංකා කලා මණ්ඩලයටයි. 2016 වර්ෂය දක්වා ඒ කලා මණ්ඩලය හා සංස්කෘතික දෙපාර්තමේන්තුව එකතුව තමයි කිසියම් වැඩ කොටසක් කරගෙන ගියේ. 2015දී නව රජය විසින් කලා මණ්ඩලය සංස්කෘතික අමාත්‍යාංශයේ ඉඳලා අධ්‍යාපන අමාත්‍යාංශයට මාරුකළා. එසේ මාරුකළේ කුමක් නිසා ද යන්න පිළිබඳව අගමැතිතුමාවත් ජනාධිපතිතුමාවත් දැනගෙන හිටියේ නෑ. ඇයි මාරුකළේ කියලා අපි ඇහුවාට ඒ අය හේතුවක් කියන්න දන්නේ නැහැ. කලා කටයුතු සඳහා තිබෙන බුද්ධිමය මණ්ඩලය සංස්කෘතික අමාත්‍යාංශයෙන් ගලවලා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දුන්නාම ඒකේ තිබෙන ප‍්‍රතිපාදන හා යටිතල පහසුකම් සංස්කෘතික අමාත්‍යාංශයේ ඉතිරි වුණා. ඒ යාන්ත‍්‍රණයයි මුදලයි එතැන තියෙද්දී බුද්ධිමය කොටස වෙන තැනක තියනවා.

කවන්ධය එක තැනක තියෙද්දී හිස ගලවලා පැත්තකින් තියනවා වගේ දෙයක් සිදු කළා. ඒ නිසා ඒ බුද්ධිමය මණ්ඩලයට කලා කටයුතු කරන්න බලයක්වත් මුදල්වත් නැහැ. ඒ අර්බුදය තමයි රාජ්‍ය නාට්‍ය උළෙලේ දී ඇතිවුණේ.

මේක තවම සමථයකට පත්වෙලා නැහැ. ඉතින් සංස්කෘතික දෙපාර්තමේන්තුව තමන්ට පුළුවන් විධියට මේ නාට්‍ය උළෙල කරගෙන යනවා. ඒ නමුත් බුද්ධිමය කොටස් තිබෙන්නේ කලා මණ්ඩලය සතුවයි. කලා මණ්ඩලය නැති නිසා එයට විකල්පයක් ලෙස සංස්කෘතික අමාත්‍යාංශයෙන් උපදේශක මණ්ඩල පිහිටුවාගෙන තියනවා. උපදේශක මණ්ඩල ලෙස සැලකිය යුත්තේ කලා මණ්ඩලයේ අනුමණ්ඩලයි. එහෙම නීත්‍යනුකූල ඒවා කලා මණ්ඩලයේ තියෙනවා. ඒ අතරේ වෙනම උපදේශක මණ්ඩලයකින් නාට්‍ය උළෙල කරගෙන යනවා. මේ කරුණු අපි රජයේ වගකිව යුතු අය සමඟ පුද්ගලික මට්ටමෙනුත්, නිල මට්ටමෙනුත් සාකච්ඡුා කළා. ඊට ප‍්‍රතිඋත්තරයක් නොලැබුණු නිසා තමයි මම නාට්‍ය අනුමණ්ඩලයෙන් ඉල්ලා අස්වුණේ. ඒත් රජයෙන් ඇති කළ වැරැද්ද එහෙමම තියෙනවා. එක අතකට මේ විෂයන් සම්බන්ධයෙන් තියෙන ශාස්ත‍්‍රීය දැනුම සහ ප‍්‍රායෝගික කරුණු අතර අර්බුදයක් ඇතිවුවොත් එම අර්බුදයට රජය වගකිව යුතුයි.

චන්ද්‍රගුප්ත තේනුවර

කලා මණ්ඩලයේ සභාපති

 ඕනෑම ආයතනයකට කලාව සම්බන්ධව උපදෙස් ලබාදීමට රාජ්‍ය වශයෙන් තියෙන ප‍්‍රධානම ආයතනය තමයි කලා මණ්ඩලය. පෞද්ගලිකව මම ඉන්නා නිසාද දන්නේ නැහැ, ඔවුන්ට එය කරගැනීමට බැරිවී තිබෙනවා. ඒ නිසා හදාගත් විරසකයක් මත ඔවුන් තමන්ගේ දෙපාර්තමේන්තුව ඇතුළේ හොර කලා මණ්ඩල ඇති කරගෙන තියනවා. ඒ යටතේ හොර අනුමණ්ඩල ඇති කරගෙන තියනවා. ඒවායේ විවිධ තාන්නමාන්නවලට කැමති අයගේ උදව්වෙන් ඒවා කරගෙන යනවා. ඒක කොයිතරම් නීතිගරුක ද සදාචාරාත්මක ද කියන දේ කල්පනා කර බැලිය යුතුයි. මොකද ඒක හරියට වෛද්‍ය සභාව තිබියදී දේව සභාවෙන් තීන්දු දෙනවා වගේ වැඩක්. ඒක කිසියම් වෘත්තීයමය වශයෙන් වැදගත් දෙයකිනුයි වෙන්න  ඕනෑ.

කලින් නාට්‍ය උළෙල සිදුකළේ කලා මණ්ඩලයේ මූලිකත්වයෙන්. එයට මුදල් සම්පාදනය කළේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන්. එහෙම තමයි රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වුණේ. ඒ නමුත් පස්සේ 2016 රාජ්‍ය නාට්‍ය උළෙල ඒ අයට කිරීමට ඉඩ ලබාදුන්නා. ඒ අය එය කරනවා නම් කරපුවාවේ. මොකද රාජ්‍ය කියන සම්මාන ක‍්‍රමයක් අපට අවශ්‍ය නැති නිසායි. නාට්‍ය කලාවේ ප‍්‍රශ්න කියලා පෝස්ටර් දාගෙන කලාකරුවන් විරෝධයත් දැක්වූවා. ඒ නමුත් පසුගිය වතාවේ සම්මාන උළෙලේ දී දිළිසුණු සම්මාන ඔක්කොම අරන් ගියා. කවුරුවත් මොකද වුණේ කියලා ඒකෙදී පෝස්ටර් ඇල්ලූවේ නෑ. දැනට නාට්‍යකරුවන්ම සංතෘප්ත වෙලා ඇති. ඇයි අපි එවන් නාට්‍යවලට සම්මාන දුන්නේ, ඉස්සරහට වෙන්න  ඕනෑ මොනවාද යන යෝජනාත් සමඟ අපි එක්තරා ප‍්‍රකාශනයකුත් ඉදිරිපත් කළා.

මම හිතන්නේ නෑ කිසිම නාට්‍යකරුවෙක් ඒවා කියෙව්වා ද කියලා. ඒ වගේ තත්ත්වයක තමයි නාට්‍ය උත්සව තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කලා මණ්ඩලය එබඳු උත්සව තියන්න උත්සාහ කරන්නේ නෑ. එක් අතකට එහෙම උත්සව වෙනුවෙන් යොදවන්න සල්ලිත් තවම නැහැ. අමාත්‍යාංශවල වූ වෙනස්වීම නිසා තමයි ඒ මුදල් ලැබෙන්නේ නැත්තේ.

ඒ නිසා උත්සව ආදියට අවශ්‍ය මුදල් යන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවටයි. ඒ අය හිතනවා මේ වගේ සම්මාන දීලා කලාකරුවන්ව විටින් විට සංතෘප්ත කරන එක රජයේ වැඩක් කියලා. සාහිත්‍යයට, නාට්‍යවලට විවිධ කණ්ඩායම්වලට විටින් විට රාජ්‍ය කියලා සම්මාන දෙනවා. අපි කල්පනා කරන්නේ ඊට වඩා වෙනස් විධියකට ඇගයීම කියනදේ වෙන්න  ඕනෑ කියලායි. ඇගයීම විතරක් මදි. සමහර කලාවන් තියනවා තනිවම කරන්න බැහැ. ඒවාට යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ වගකීම කිසියම් ප‍්‍රමාණයකට රාජ්‍යය සහ පෞද්ගලික ආයතන යන දෙකොටසම තියනවා.

සමාජීය වශයෙන් එහෙම පසුබිමක් නැතිව තවම කලාකරුවන්ගේ හයියෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. ඉතින් කලාකරුවන්ගේ පීඩනය දැනට ඔය දිළිසෙන සම්මාන දීලා වෙනස් කරන්න පුළුවන් වෙලා තියනවා. නෙළුම් පොකුණේ හරි බීඑම්අයිසීඑච් එකේ හරි රතු කාපට් එකක් දේශපාලකයන්ට එළලා කලාකරුවන්ව පොඩි පරීක්ෂාවක් කරලා ඇතුළට දාලා ඊට පස්සේ සම්මානයක් දුන්නාම කට්ටියට හරි සතුටුයි. අපි නම් කියන්නේ දේශපාලකයන්ට රතු පලස් එළන එකක් නෙමෙයි. කිසිසේත්ම දේශපාලකයන්ට විශේෂ දේ අවශ්‍ය නෑ.

මොකද ඔවුන් නිශ්චිත කාලයකට සේවය කරන්න ජනතාව විසින් පත් කළ අය. ඒ අය ඒ සේවය කරන්න  ඕනෑ. අනික් විවිධ වෘත්තීන්ට අයත් අයට ඒ නිශ්චිත සැලකීම, ඔවුන්ගේ කලාකෘතීන් ඇගැයීම. එහෙම නැත්නම් ඔවුන්ට එම නිර්මාණ කිරීමට අපහසු නම් ඊට අවශ්‍ය ආර්ථික සම්පාදනයන් කළ හැකි ද ආදි කරුණු තමයි වැදගත් වන්නේ. ඉතින් මම හිතන්නේ නෑ ඒ දේවල් ගැන අපි ලියූ දේවල් ඒ යැවූ අයවත් කියවා ඇති කියලා. මෙවරත් ඉතා සුළු මුදලක් තමයි අපට ලැබී තිබෙන්නේ. ඒ නමුත් ඒ සුළු මුදල වුණත් නාස්ති නොකර යමක් කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

අපි මුදල් නැතිව වුවත් ඉතිරි කරගත් මුදල්වලින් ඊට වඩා වැදගත් මානව හිමිකම් කලා උළෙල වගේ දෙයක් සංවිධානය කළා. සෑම අතින්ම මානවයාගේ ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කරන දේවල් කලාකරුවෝ කරනවා, ඒ ගැන සවිඥානිකව වැඩ කරන කලාකරුවෝ ඉන්නවා, ඒ එක්කම තමන්ටත් අයිතිවාසිකම් තියනවා, ආණ්ඩුවකට හෝ දේශපාලකයන්ට හෝ අයත් දෙයක් නෙමෙයි හැමෝටම අයිති දෙයක් කියන එක. ඒක ගැන කතා කරන්න තමයි අපි ඒක පටන් ගත්තේ. ඊළග වසරේදීත් අපි ඒක කරන්න නියමිතයි. ඊට අනුබද්ධිතව නර්තනය, සංගීතය, සාහිත්‍ය ආදි අනෙකුත් කලාවල නිර්මාණවලටත් ඉඩ දීලා ඒවා මතුකර ගැනීම අපි බලාපොරොත්තු වෙනවා.

බුද්ධික දමයන්ත

නාට්‍ය අධ්‍යක්ෂ

රාජ්‍ය නාට්‍ය උළෙල හැට හතක් පමණ තියලා තියෙන්නේ නාට්‍ය අනුමණ්ඩලයෙන්නේ. මේ ආණ්ඩුව බලයට පත් වූ ගමන්ම කළ දේ විශාල අවුලක් බවට පත්වුණා. සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තිබුණු ව්‍යාපෘති ඔක්කෝම වෙන වෙන අමාත්‍යාංශ යටතට පැටෙව්වා. ඒ අවුල නිසා අනුමණ්ඩල කලාමණ්ඩල ඔක්කෝම විසිරුවා හරින මට්ටමටම ආවා. කලා මණ්ඩලයෙන් අවසානයට කළ රාජ්‍ය නාට්‍ය උළෙලේ කේ.බී. හේරත් මහත්මයා තමයි සභාපතිව සිටියේ. අලූත් ආණ්ඩුව ආවාට පස්සේ ඒ වැඩවලට අවශ්‍ය මුදල් නොමැතිකම ආදි විවිධ කාරණා මත ඒ සියල්ල දැන් නැවතිලා තියෙන්නේ. ඒ නිසා අවුරුදු දෙකකින් රාජ්‍ය නාට්‍ය උළෙලක් කලා මණ්ඩලයෙන් තිබුණේ නෑ.

ඒක පැත්තකට දාලා දැන් සංස්කෘතික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකතුමිය මැදිහත් වෙලා වෙනම මණ්ඩලයක් පත්කරගෙන වෙනම උළෙලක් කරනවා. ඒක තමයි රාජ්‍ය නාට්‍ය උළෙල හැටියට දැන් තියෙන්නේ. අපි දන්නවා කලා මණ්ඩලය කියලා එකක් තියනවා. ඒකෙන් පත් කළ අනුමණ්ඩලය විසින් තමයි රාජ්‍ය නාට්‍ය උළෙල කළේ. දැන් ඒ සියල්ල නිශ්ශබ්දයි. කවුරුත් ඒ ගැන කතා කරන්නේත් නෑ. ඒ වගේම කලා මණ්ඩලයක් තියෙන්නේ නාට්‍ය උළෙලක් තියන්න විතරක් නෙමෙයිනේ. ලංකාවේ නාට්‍ය කලාව වෙනුවෙන් මොනවාද කරන්නේ කියන කාරණයයි එතැන තියෙන්නේ. රාජ්‍ය නාට්‍ය උළෙල ආයේ හෙට අනිද්දා තියෙනවා. ඒක කලා මණ්ඩලයෙන් කරන නාට්‍ය උළෙල නෙමෙයි. සංස්කෘතික අමාත්‍යාංශයෙන් කරගෙන යන වෙනම එකක්.

අපි දන්නා තරමින් පාර්ලිමේන්තු පනතකින් කලා මණ්ඩල ඒවායේ අනුමණ්ඩල තිබුණා. ඒවා ඔක්කෝම අහෝසි වෙලා තියෙන්නේ. දේශපාලන තීන්දු තීරණවල අවුල නිසා තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. සංස්කෘතික හා වයඹ සංවර්ධන ලෙස බද්ධ කරලා සංස්කෘතික අමාත්‍යාංශයක් කියන දේ දැන් නැති කරලානේ තියෙන්නේ. ඒ දෙක එකට යන්නේ නෑ. අධ්‍යාපනයි ධීවරයි එකට යන්නේ නෑ වගේ තමයි. කවුද මේවා මේ රටේ කරන්නේ. බලයට පත්වන දේශපාලන නායකයෝ ඒ අයගේ හිතවතුන් සන්තර්පණය කරන්න මේ දේවල් කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයා දන්නේත් නෑ කලා මණ්ඩල තියෙන්නේ දැන් ඒ අමාත්‍යාංශය යටතේ කියලා. මේ වගේ දේශපාලන නායකයෝ ගන්න තීන්දු තීරණ නිසා තමයි මේ වගේ දේවල් සිද්ධවෙලා තියෙන්නේ. හුඟ දෙනෙක් දන්නේත් නෑ මොකද්ද මේ වෙන්නේ කියලා.