ඔලිම්පික් කමිටුව ඇමති සහ කසාය

කී‍්‍රඩා ඇමතිවරයාට ජාතික ප‍්‍රතිපත්තියක් පිණිස නිර්දේශ සපයා දෙන උපදේශක සභාවක් ලෙස කී‍්‍රඩා පනතේ තහවුරු කොට ඇති ජාතික කී‍්‍රඩා සභාව අද හිස් වූ හිස් ඇති බහුතරයක් ලැගුුම් ගන්නා ගුබ්බෑයම් බවට පිරිහෙළනු ලැබ ඇත. ඒ කී‍්‍රඩා ඇමතිවරයාගේ අනුහසින්, අනුදැනුමින් හා අනුග‍්‍රහයෙන් වීම ඛේදජනකය.

රටට පොදුවේ බලපාන කී‍්‍රඩාවට අදාළ ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට ප‍්‍රථම ඒවා කෙතරම් නීත්‍යනුකූලදැයි නිවැරදිදැයි සලකා බලනුයේ ජාතික කී‍්‍රඩා සභාවය. කී‍්‍රඩා සංගම් කෙරෙන් මතුවන ඉල්ලීම් ආදීය සාධාරණදැයි බලනුයේද කී‍්‍රඩා සංගම්වලට අදාළ තීරණ ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරනුයේද කී‍්‍රඩා නීතිය අර්ථකථනය කරනුයේද කී‍්‍රඩා සභාවයි. ඇමතිවරයාගේ නිවැරදිභාවයේ පදනම එයයි. විනිවිදභාවයේ කැඩපත එයයි. එය කී‍්‍රඩා බහුශ‍්‍රැතයන්ගෙන්ද පරිපාලනයේ දැවැන්තයන්ගෙන්ද, සිවිල් සමාජයට පිළිගන්නාවූ විද්වතුන්ගෙන් ද සැදුම්ලිය යුත්තේ එබැවිනි.

එහෙත් අද කී‍්‍රඩා සභාව යන වචනය අහකට කළද කුමන හෝ සභාවක් කී‍්‍රඩා ඇමතිවරයාට උපදෙස් දෙනු ඇත්ද? අයෙකු දෙන්නෙකු ළංකර ගෙන ඔවුන් කියන සියල්ල පරම සත්‍යය සේ ඇමති ඇදහීම අභාග්‍යයකි.

අද කී‍්‍රඩා සභාවක් හෝ කී‍්‍රඩාවේ තීන්දු තීරණ යනු ලබන කුමන හෝ කණ්ඩායමක් එකමුතුවක් අසන්නට නැත. එවැන්නක් ඇත්නම් එය රැස්වන නිශ්චිත දිනයක් නැත. අද වන විට බොහෝ සංගම් සමාජීකයන්ට ‘‘කවුන්සිලය’’ ගැන අවබෝධයක් නැත. එබැවින් කී‍්‍රඩාවට අලූත් අදහස් ගලා නොයන තැනට වැඩ සිද්ධ වී ඇත. එසේනම් කවුන්සලයක් නොවැදගත්ද? කී‍්‍රඩා අමාත්‍යවරයා මෙය මේ තරමට සරලව ගනුයේ ඇයි? එහි විපාක දැන්  ඕනෑවටත් වඩා මතු වී ඇත.

ඔලිම්පික් කමිටුව අර්බුදය මේ දක්වා දිග්ගැහී ඇත්තේද ඒ නිසාමය. ඇතැම් කී‍්‍රඩා සංගම්වලට ගනු ලබන තීන්දු තීරණ පෙන්නුම් කරනුයේද මෙම අමනෝඥ ගතියමය. මේ වනවිට සමස්ත කී‍්‍රඩා වපසරියම අර්බුදයකට ලක් වන නීතිමය අවකාශයක් නිර්මාණය වී ඇති බව අප‍්‍රකට කරුණකි. ඊට වගකිව යුත්තේ කවුද?

ඔලිම්පික්

මෙරට ඔලිම්පික් සංගමය ගැන කතිකාව වසර ගණනාවක සිට දිග්ගැහෙන අවුලකි. එය විසදීම වෙනුවට කී‍්‍රඩා අමාත්‍යවරුන් කළේ පටලවා ගැනීමය. මේ පැටලිල්ල මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා කොතරම් පටලවා ගත්තේද යත් ඒ පිළිල තවමත් කපා ගැනීම ලේසි පහසු වී නැත. අපි ඔලිම්පික් කමිටුව මේ තැනට පත්වන්නට පෙරම මෙය මේ තැනට පත් වේයැයි කල් තබා කීවෙමු. ඒ වෙනුවෙන් හුදකලා අරගලයක් ගෙන ගියෙමු. එකල සැමට, අප වැරදි දකින අය මෙන්ම දේවල් හරිහැටි වටහා ගෙන නැති හුදු විවේචනයන් පිරිසක් ලෙස දිස්විය. අප එදා මේ ගැන කතා කරන විට අපට ආ ගැරහුම් එමටය. එදා ගැරහුවෝ අද අප කෙරෙහි විශ්වාසය තබති. අප දැඩිව මේ ගැන පෙර පරිදි ලිවිය යුතු යැයි අයැදිති. දැන් අපි කුමක් ලියමුද? කාට ලියමුද?

ඔලිම්පික් සංගමය ගැන මේ දිනවල ඇහෙන කතා හරිම උණුසුුම්ය. එහි ප‍්‍රධාන චෝදනාව නම් මෙරට කී‍්‍රඩා පනත උල්ලංඝනය කරමින් කී‍්‍රඩා සංගම්වල තනතුරුවලට පත් වූ වත්මන් ඔලිම්පික් සංගමයේ නිලධාරීන් ගැනය. වත්මන් ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති හේමසිරි ප‍්‍රනාන්දු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සහ භාණ්ඩාගාරික ගාමිණි ජයසිංහ යන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බව කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා තිබුණි. එසේ නම් මෙතෙක් නීතිය අකුරටම ක‍්‍රියාත්මක වී නැත්ද?

මේ දිනවල ඇවිළෙන ප‍්‍රධාන කතාව මෙයය. මාධ්‍යය මෙයට ලොකු වටිනාකමක් දෙමින් තිබේ. ඒ ගැන කියන්න කලින් මේ ප‍්‍රශ්නය දෙස බලමු.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරු දරන පුද්ගලයන් වසර ගණනාවක් විගණන වාර්තා ලබා නොදී අත්තනෝමතිකව කටයුතු කරන බවය. මෙය බරපතළව මතු කරනුයේ හේමසිරි පාර්ශ්වයට විරුද්ධ පාර්ශ්වයය. ඔවුන්ම මීට මාස කිහිපයකට පෙර කීවේ විගණන වාර්තා අනවශ්‍ය බවය. විගණන වාර්තා අහකලා ඡුන්දය පැවැත්විය යුතු බවය.

 එයට හේතුව විගණන වාර්තා ලබා දෙන තෙක් ඉවසීමට නොහැකි වීමෙනි. විගණන වාර්තා විගණයට යවා ඇතැයි මේ සැම දනිති. එහෙත් මුලදී එය අවශ්‍ය නැතැයි කියන තැන මොවුහු සිටියහ. විගණන කිරීමට විගණන නිලධාරීන්ට ඇත්තේ මේ විගණන පමණක්ම නොවේ. එබැවින් කල් යෑම ප‍්‍රායෝගික විය හැක. හිතා මතා කල් යනවා නම් ඊට විගණන නිලධාරීන්ද වගකිව යුතුය. මේ ගැන කී‍්‍රඩා ඇමතිවරයා මීට පෙර මනාව පැහැදිලි කොට ද තිබුණි.

මීට අමතරව තවත් චෝදනා කිහිපයක් කරලියට පැමිණ ඇත. එනම් කී‍්‍රඩා අමාත්‍යවරයාගේ ලියාපදිංචි නැති ‘‘තුන්ප‍්‍රයාම සංගමය’’ යනුවෙන් සංගමයක් පිහිටුවා ගනිමින් හේමසිරි ප‍්‍රනාන්දු මහතා නීති විරෝධීව එහි සභාපති ධුරයට පත්වී ඇති බවය. එමෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වේල් ද සිල්වා ජුඩෝ සංගමයේ නව සහකාර ලේකම් ලෙස පත්වීමත්, ජාතික ඔලිම්පික් කමිටුවේ  භාණ්ඩාගාරික ගාමිණි ජයසිංහ හෑන්ඞ් බෝල් සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්වීමත්ය. මෙය නීති විරෝධි බව ප‍්‍රතිපාර්ශ්වයේ හඬය. එයට මාධ්‍යය ඉඩ  ඕනෑවටත් වඩා ලැබේ. ඒ වෙන හේතුවක් නිසා නොව මේ දෙපිලට මාධ්‍යද බේදී ඇති නිසාය. හේමසිරි ප‍්‍රනාන්දු මහතා නැවත නොඉල්ලන බව ප‍්‍රසිද්ධ  කතාවය. එවිට වෙන තැනකට ඔහු වටා සිටි අයද තල්ලූ විය.

කොටින්ම හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ තැනට ඔහු ගෙන එන්නට හැදු වඩා විශ්වාසවන්තයා වූ රොහාන් ප‍්‍රනාන්දු අද ඔහුගේ ප‍්‍රතිවාදියා වී ඇත. මේ තත්ත්වය යටතේ ඔහුට ලේකම්කමින් එකතු වූ ඩයන් ගෝමස් ද සමග ඒ පිල වඩා ශක්තිමත් බව ඔවුන් ප‍්‍රචාරය කළේය. තමන්ට ඇති සංගම් ගණනද උඩ දමා පෙන්විය. දැන් සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තය. හේමසිරි පිල හීනියට ඉදිරියට ඒමය. මේ බව මනාව පෙනෙන්නට ඇත.

තම ශක්තිමත්භාවය තහවුරු වූ සැණින් ඡුන්දය පැවැත්වීමට ඉඩ ඇත. මෙය ඡුන්ද සෙල්ලමකි. දේශපාලන මැතිවරණ මෙන්ම මෙයද මාරාන්තික සෙල්ලමකි. බලය තහවුරු කර ගැනීමේ නොනිමි අරගලයකි. මේ තත්ත්වය හමුවේ හේමසිරි පිලට ප‍්‍රතිවිරුද්ධ පිලට දැන් විකල්ප අහිමි වෙමින් පවති. ලේකම් වනවා යැයි කී ඩයන් ගෝමස් උපක‍්‍රමශීලීව හෝ මදකට තරගයෙන් ඉවත් වී ඇත. එසේ නම් දැන් පේ‍්‍රමදාසලා සමග කුමන ගමනක්ද යන්න ඇතැමුන් සිතනවා ඇත. දැන් මේ සැමගේ එකම ඉල්ලීම කී‍්‍රඩා ඇමතිවරයාගේ පිහිට පැතීමය. ඒ අනුව මුලදී ඉතා හොද වූ කී‍්‍රඩා ඇමති දැන් පණ මදි ඇමති කෙනෙකු වී ඇත. ඒ ඔවුන් කියන අයුරින් කි‍්‍රයා කිරීම පමා කරන නිසාය. මුලදී මොවුන් කී‍්‍රඩා ඇමති මුණගැසී කියුවේ විගණන නැතිව ඡුන්දය කරන ලෙසය. ඇමති ඊට දැඩිව විරුද්ධ විය. දැන් එහි අනෙකය.

එනම් කී‍්‍රඩා පනතේ නව රෙගුලාසි අනුව යම් කිසි කී‍්‍රඩා සංගමයක් ඔවුන්ට අදාළ ධුර කාලය තුළ විගණන වාර්තා ලබා නොදුන් සංගමයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යළිත් කිසිදු සංගමයක තනතුරු සදහා ඉදිරිපත් වීමට හැකියාව නැති බවය. එසේ නම් ඔලිම්පික් සංගමයේ ගිණුම් වාර්තා නොදී මේ අය වෙනත් සංගම්වල නිලතල දරනුයේ කෙසේද යන්න අද ඇති ගැටලූවය. එහෙත් මොවුන් ගිණුම් විගණනය සදහා ඉදිරිපත් කොට ඇති බවත් විගණනයෙන් ප‍්‍රමාද වන බවත් තමන්ද වහාම එය ඉක්මන් කරන්නැයි ඉල්ලීමක් කළේ යැයි කී‍්‍රඩා ඇමතිද මාධ්‍යයට කීවේය. එසේ නම් හැම තැනම ගැට ඇති බව පැහැදිලිය.

 පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල අපේ‍්‍රල් මසයේදී ඇති පසුබිමක එහි සියලූ වගකීම් දරන ඔලිම්පික් කමිටුව සමග වෙනම ගැටලූ නිර්මාණය කර ගැනීම නොවටිනා බව ඇමති සිතනවා ඇත. එහි වරදක්ද පෙනෙන්නට නැත. අපට කීමට ඇත්තේ මෙහි ප‍්‍රශ්න විසදීම කී‍්‍රඩා ඇමතිගේ වගකීම බවය. එයට ඇමති කී‍්‍රඩාව ගැන දැනුවත් පිරිස් ළං කර ගෙන උපදෙස් ලබා ගත යුතුය. මුලින්ම ලිපිය ආරම්භ කළේ ඒ බව හෙළිකරමිනි. දැන්වත් එයට අවැසි පදනම දමාගත යුතුය. එසේ නොමැතිව තමන්ට අවැසි දේ කරගැනීමට අවශ්‍ය නම් මේ යන ලෙසට යා හැකිය.

ඇමතිම නීති කඩන තැන නීතිය අකුරට කි‍්‍රයාත්මක කරනුයේ කෙසේද? පාපැදි නිලවරණය සම්බන්ධව ඇමති මිල්ටන් අමරසිංහ ලවා ගෙන ඇති තීන්දුව කුමක්ද? කරුණාරත්න කරළියට ගෙනඒමය. කරුණාරත්න දක්‍ෂයෙකි. එහෙත් පනතට අනුව විනිසුරුවකු ගෙන ආ හැකිද? එසේ නම් නීතිය අවැසි විදිහට නවා ගත හැකිද?  අමල් විගණන වාර්තා පදනම් කරගෙන ඉවත් කළේ නම් එම වරද කළ එකම සංගම් නිලධාරියා ඔහුද? මිල්ටන් අමරසිංහ වාර්තා යනු කී‍්‍රඩා ඇමතිට අවැසි වාර්තාය. දැල්පන්දු  වාර්තාව වුව එයමය.

මේ තත්ත්වයෙන් මිදෙන්නට නම් කී‍්‍රඩාව සම්බන්ධව උපදෙස් ගැනීමට ‘‘කවුන්සලය’’ ශක්තිමත් කළ යුතුය. එය අවංකව කළ යුතුය. අවුරුදු තුනක් ගිය තැන මේ යන යෑම ඇන ගෙන ඇති බව පැහැදිලිය. අපි ඇමතිවරයා යම් පමණකට හෝ විශ්වාස කරන මුත් එහෙත් ඔහු තවමත් නිවැරදි මගට නොබැස්ස බවද කියමු. නීතිය අකුරට කරන්නැයි අපිද ඇමතිට කියමු. එය එකිනෙකාට වෙනස් නොවිය යුතු බව අපගේ හැගීමය.

කී‍්‍රඩාව අරබයා අපගේ විවේචන කසාය බදුය. තිත්තය. එහෙත් ඇත්තය. ගුණදායකය. එය රෝග මූලයන් සොයා පහදා සම්පාදනය කරනා බැවිනි. එහෙත් ඇමති ප‍්‍රමුඛ නිලධාරීන් වඩා කැමති සරුවත් බොන්නට නම් අපි කුමක් කරමුද?