රාවය

අපේ දේශපාලනඥයන්ට එක තැනකින් ගැලවිලා ගිහින් ඕනෑ තැනක පැළවෙන්න පුළුවන්

අපේ දේශපාලනඥයන්ට එක තැනකින් ගැලවිලා ගිහින්  ඕනෑ තැනක පැළවෙන්න පුළුවන්

 

මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි

ඡන්ද ක‍්‍රමයේ වෙනස්කමුත් එක්ක නිර්මාණය වෙතැයි සිතිය හැකි නව දේශපාලනික නැඹුරුතාවන් ගැන ඔබේ අදහස මොකද්ද?

අලූත් මැතිවරණ ක‍්‍රමය ගැන මං තුළ තියෙන්නේ ඉතාමත් ධනාත්මක තක්සේරුවක්. මේ ප‍්‍රතිසංස්කරණයන් මීට ඉස්සෙල්ලා ඇති වුණේ නැත්තේ ඇයි කියන එක ගැන තමයි අපි කනගාටු වෙන්න  ඕනෑ. මීට කලින් හිටි අය මේ ප‍්‍රතිසංස්කරණයන් සිදු නොකළේ මනාප ක‍්‍රමය තුළ තමන්ට වාසිදායක තත්ත්වයක් තිබුණ නිසා. විශේෂයෙන් පහුගිය ආණ්ඩුවේ චර්යාවන් දිහා බලද්දී ඒ දේ හොඳින් ම පැහැදිලි වෙනවා. 

කොහොම වුණත්, මනාප ක‍්‍රමය හඳුන්වා දුන්න දවසේ ඉඳන් අද වෙනකන් අත්විදින්න ලැබුණු ආනුභූතික සාක්ෂි දිහා බලද්දී ඒ ක‍්‍රමයේ අර්බුදය ඉතාමත් හොඳින් පැහැදිලියි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් අපේක්ෂා කරන්න බැරි තරමට මේක දුර ගිහිනුයි තිබුණේ.

මනාප ක‍්‍රමය අයින් වුණු පමණින් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකෙනවා කියලාවත්, මනාප ක‍්‍රමය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න බෑ කියලාවත් ඒකෙන් අදහස් කරන්නේ නෑ. නමුත් අපේ දේශපාලනික භාවිතාව තුළ ඒක ගිහින් තියෙන දුර දිහා බලද්දී පැහැදිලි වුණා ඒක ගමන් කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ඈතට කියලා. ඇත්ත වශයෙන්ම රටකින් ධනවාදය අයින් කරනකන් ම ඒ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරන්න බෑ කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.

එක පක්ෂයකින් එක නියෝජිතයෙක් ඉදිරිපත් කළ, කලින් තිබුණු ක‍්‍රමය ඉවත් කරලා මනාප ක‍්‍රමයක් ගෙනාවේ ජේආර් ජයවර්ධන ආණ්ඩුව. ඔවුන් මේ ක‍්‍රමය හඳුන්වා දුන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න නෙමෙයි. රටේ තිබෙන ප‍්‍රධාන ධනවාදී පක්ෂ දෙකට සදාකල් බලය ලබා දීමට. ඔවුන් ඇති කළ හැත්තෑ අටේ ව්‍යවස්ථාව, විවෘත ආර්ථිකය වගේ දේවල් වගේම මේ රටේ පිරිහීමට බලපෑ ප‍්‍රධාන කාරණයක් තමයි මනාප ක‍්‍රමය කියන්නෙත්.

අද රටේ සාමාන්‍ය කරණය වෙලා තියෙන, පක්ෂ අතර පවතින අභ්‍යන්තර ගැටුම් සහ වෙනත් පක්ෂ සමග බාහිරව ගැටුම් සිදුකරගන්නා සංස්කෘතිය ඇතිවීමට ප‍්‍රධාන හේතුව තමයි මනාප ක‍්‍රමය. මේ ක‍්‍රමය ඇතිකිරීමෙන් පස්සෙ තමයි ගහගැනිලි වෙඩි තියාගැනිලි මරාගැනිලි ඔක්කොම වෙන්නේ. මේ නිසා මැතිවරණයන් සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිමානයන්ගෙන් ඈත්වෙලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පොරපිටියක් බවට පත් වුණා.

නව ක‍්‍රමය මගින් පක්ෂ නායකයන්ට අධික බලයක් ලැබීම සහ සමාජයේ එක්තරා පංතියකට විතරක් දේශපාලනයට ප‍්‍රවේශ වීමේ අවස්ථාව ලැබීමට ඉඩ තිබෙන බව ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා?

ඔය කියන තර්කයට දේශපාලන විද්‍යාත්මක ව යම් පදනමක් තියෙන්ඩ පුළුවන්. නමුත් ඒක බොහෝ විට ගැළපෙන්නේ දියුණු දේශපාලනික මානසිකත්වයක් තියෙන රටකට. උදාහරණයක් විදිහට අයර්ලන්තය වගේ රටකට, ප‍්‍රංශය ඇමරිකාව වගේ රටවලටත් මේක හොඳට ගැළපෙන්න පුළුවන්.

මනාප ක‍්‍රමයට අනුව අපේක්ෂකයන් රාශියකට ඉඩ ලැබෙන්න පුළුවන් කියලා ඒ මගින් හොඳම අයට ඉඩ ලැබෙන සම්ප‍්‍රදායක් නෑනේ අපේ රටේ. පක්ෂවලට  ඕනෑ මරාගෙන මැරිලා හරි ඒ ප‍්‍රදේශයේ බලය ගන්න පුළුවන් කෙනෙක් පත්කරන්න විතරයි. එහෙම නැතිව දේශපාලනයට සුදුසු සැබෑ අපේක්ෂකයන් ගන්න නෙමෙයි. ඒ නිසානේ විදේශික කාන්තාවන් අතවරයට ලක්කරලා ඔවුන්ගේ පුරුෂයන් ඝාතනය කරන අයත්. කාන්තාවන් සිය ගණනක් දුෂණය කරලා ඒ නිමිත්තෙන් පාටි දාන අයත්, ගුරුවරුන් දණගස්සන අයත් පළාත් පාලන ආයතනවල පවා ඉන්නේ. ඒ ක‍්‍රමය යටතේ රටට හිතවාදී මිනිස්සු බිහිවුණා නම් එහෙම වෙන්නෙ නෑනේ.

මනාප ක‍්‍රමය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරේ අර පෙනෙන න්‍යායාත්මක නැඹුරුවක් තියෙන්න පුළුවන් නමුත් ඒ තුළ නියෝජනය වෙන්නේත් පාලකයන් සමග විවිධාකාරයෙන් සම්බන්ධතා පවත්වන අයම තමයි.

නමුත් මේ ක‍්‍රමය යටතේත් බොහෝවිට ඉදිරිපත් වෙලා තියෙන්නේ පුරුදු මුහුණුම බව පේනවා. ඒ ගැන ඔබේ තක්සේරුව මොකද්ද?

ඔව්. මේක මේ ක‍්‍රමය ආපහු ඇති කරලා තියන පළවෙනි මැතිවරණයනෙ. ඉතිං අර ප‍්‍රශ්න ඔක්කොටම එකවර පිළිතුරු ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මාධ්‍ය වාර්තා කරන විදිහට ස්ත‍්‍රීන් දුෂණය කළ අයට, ගුරුවරු ගස්බැන්ද අයට මේ තුළත් ඉඩ ලැබිලා තියෙන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි මේ මැතිවරණයට පැරිෂුට් අපේක්ෂකයනුත් දාලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. ඒක මෙතනදී මගේ අවධානයට ලක් වුණ වැදගත්ම කරුණක්. මේ ක‍්‍රමය තුළ බොහෝ විට අපේක්ෂා කරන දෙයක්නේ ප‍්‍රදේශයේ නායකයෙක් බිහිවීම. ඒ වගේම එහෙම බිහිවන නායකයාට මේ තුළ වගකීම සහ වගවීම කියන දෙක වැඩිපුර අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ විදිහේ ගැටලූ නැතිව මේ ක‍්‍රමය ගෙනයන්න පුළුවන් නම් ඒක සුවිශේෂී පෞරුෂයක් තියෙන දේශපාලනඥයන් බිහි කිරීමට අලූත් ක‍්‍රමය සෑහෙන්ට බලපාන්න ඉඩ තියෙනවා.

පක්ෂ නායකත්වය ප‍්‍රචණ්ඩ උනාම, පක්ෂ නායකත්වය නීතියට ගරු කරන්නෙ නැති වුණාම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමන්නෙ නැතිවුණාම ඒ දේ වෙනවා. ඒක තමයි අද ලංකාවේ පුරවැසියාට තියෙන එකම අභියෝගය. ඒ අභියෝගය ජයගන්න එක මේ විදිහේ ප‍්‍රතිසංස්කරණවලින් විතරක් කරන්න බෑ.

අපි දන්නවා අද කොයි රස්සාවට ගියත් යම් යම් සුදුසුකම් බලනවා. පොලීසියට යන්ඩ ගියත් උස බලනවා පපුව බලනවා, අධ්‍යාපන සහ ක‍්‍රීඩා වගේ දේවල් බලනවා. නමුත් කිසිම සුදුසුකමක් නැතිව යන්න පුළුවන් එකම තැනනෙ දේශපාලනය. එතනදි මං අදහස් කරන්නේ දේශපාලනඥයෝ ඔක්කොම උපාධිධාරීන් වෙන්න  ඕනෑ කියන එක නෙමෙයි. දේශපාලනඥයන් වෙනත් සමාජ සංස්කෘතික සාධකවලිනුත් සුදුස්සන් වෙන්න  ඕනෑ.

මේ තත්ත්වයේදි වැඩිපුර වගකීමක් ඡුන්දදායකයාටත් එනවා. මොකද අපේ රටේ ඡන්දදායකයා දේශපාලනඥයන්ගෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඊට අමතරව කලිින් කිව්වා වගේ පක්ෂ නායකයනුත් සංස්කෘතික විය යුතුයි.

අද ලංකාවේ තියෙන දේශපාලනය ගෙඹි දේශපාලනයක්ද රිළා දේශපාලනයක්ද එහෙමත් නැත්තං වවුල් දේශපාලනයක්ද කියලා ගැටලූවක් තමයි රටේ මිනිස්සුන්ට තියෙන්නේ. අතනින් මෙතනට පනිනවා මෙතනින් අතනට පනිනවා. අපේ රටේ දේශපාලනඥයන්ට එක තැනකින් ගැලවිලා ගිහින්  ඕනෑ තැනක පැළවෙන්න පුළුවන්. එහෙම නැත්තං වවුල්ලූ වගේ උදේ ගියාම ? තමයි ආපහු එන්නේ. සරත් එන් සිල්වා වගේ අය දුන්න නඩු තීන්දු නිසා තමයි මේ විදිහේ සංස්කෘතියක් ඇතිවුණේ. හැබැයි මනාප ක‍්‍රමය නැතිවීම එක්ක අපිට උත්සාහ කරන්න පුළුවන් මේ ගෙඹි, රිලා සහ වවුල් දේශපාලනයෙන් මිදිලා ලංකාවේ දේශපාලනය අපි කොහොමද මුදවන්නෙ කියලා. 

මේ මොහොතේ සංවාදයට ලක්වන තවත් ප‍්‍රධාන කාරණයක් තමයි ස්ත‍්‍රී නියෝජනය පිළිබඳව සිදු කර ඇති ප‍්‍රතිසංස්කරණ. මේ පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?

මුලින්ම මට තියෙනවා ඒ පිළිබඳ තාක්ෂණික ප‍්‍රශ්නයක් විසඳගන්න. ඒ තමයි මේ ගැන කතාකරන හැමෝම මේ සඳහා යොදාගන්න කාන්තා නියෝජනය කියන වචනය ගැන. අද බොහෝ අය ස්ත‍්‍රී නියෝජනය කියන එකට කියන්නේ කාන්තා නියෝජනය කියලා. නමුත් කාන්තා කියන වචනය තුළ පංතිමය හැඟවුමක් තියෙන්නෙ. අපි තේ දලූ නෙලන ස්ත‍්‍රියට කවදාවත් කියනවාද කාන්තාව කියලා. පාරේ ගල් කඩන ස්ත‍්‍රියට අපි කියනවාද කාන්තාව කියලා. නෑනේ. කාන්තාව කියන වචනය තුළ තියෙන්නේ සාහිත්‍යමය භාවිතාවක් සහ මධ්‍යම පන්තික හැඟවුමක්.

දැන් බලන්නකො, රට තුළ තියෙන ස්ත‍්‍රීන්ට අයත් සමිති එක්කො මහිලා සමිති, නැත්තං කාන්තා සමිති. ඇයි මේ අයට බැරි මේවාට ස්ත‍්‍රී පර්ෂද ස්ත‍්‍රී කව වගේ නමක් යොදාගන්න. මේ වචන තුළ ලස්සනට ඇඳගෙන, ලිෆ්ස්ටික් ගාලා, හොඳ ජොලියක් දාලා, වයින් ටිකක් බොන ස්ත‍්‍රියක් මිස සමස්ත ස්ත‍්‍රිය හැ`ගවෙන්නෙ නෑ. පහුගිය මැතිවරණයේදී ස්ත‍්‍රින් කියලා ආපු පබා මාලනී ගීතා වගේ ස්ත‍්‍රී නිලි චරිත දේශපාලනික ස්ත‍්‍රීන් නෙමෙයි. උදේට පාර්ලිමේන්තුවට ඇවිත් හවසට ෂූටින් යන නිළියෝ.

අපි දන්නවා බොහෝ රටවල ස්ත‍්‍රීන්ට ඡුන්දය පවා ලැබුණේ පිරිමින්ට පස්සෙ. ඇත්තටම බැලූවොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දියුණු සමාජ දේශපාලනය ඇතුළේ පවා ස්ත‍්‍රියට බොහෝ විට ලැබුණේ පැරණි වැඩවසම් සමාජවල ස්ත‍්‍රියට තිබුණු ඉරණමම තමයි.

මේ වගේ රටවල ස්ත‍්‍රිය දේශපාලනය තුළ බොහෝවිට කරන්නේ පුරුෂාධිපත්‍යයේ ධනවාදී රූපය පවත්වාගෙන යන එක විතරයි. ස්ත‍්‍රිය බොහෝ විට දේශපාලනයෙන් ඉවත් කළේ ආගම විසින්. වර්තමාන දේශපාලන භාවිතාවන් තුළත් ඒ දේ සියුම්ව සිදුවනවා. ඇමරිකාව වගේ රටවල පවා ඒ තත්ත්වය එහෙමයි.

පුරුෂ මූලික භාවිතාව ඇතුළේ ස්ත‍්‍රිය කරන්නේ එය පවත්වාගෙන යෑම ම නිසා දේශපාලනය තුළ ස්ත‍්‍රි නියෝජනයේ එතරම් ව්‍යවහාරික වැදගත්කමක් නෑ කියන එකද ඔබ කියන්නෙ?

නෑ. ස්ත‍්‍රී නියෝජනය පිළිබඳ මේ ප‍්‍රතිස්ංස්කරණයන් ඉතාම වැදගත්. ස්ත‍්‍රිය දේශපාලනයට ගෙනඒම ඉතාම වැදගත්. මට ගැටලූව තියෙන්නේ ඒ ඇතුලේ ස්ත‍්‍රිය කරන දේශපාලනය මොකද්ද කියන එක ගැන. එක්දහස් හත්සිය අසූ නවයේ ප‍්‍රංශ විප්ලවයේ වර්සෙල්ස් මාලිගාව වටකළේ කාන්තාවන් නෙමෙයි ස්ත‍්‍රීන්. මාවෝ සේතුන්ගෙ පාගමනට එකතු වුණේ මධ්‍යම පාන්තික චීන කාන්තාවො නෙමෙයි වැඩකරන ස්ත‍්‍රීන්.

උදාහරණයකින් බැලූවොත් කලිනුත් කිව්වා වගේ, අපි දැක්කා විදේශ කාන්තාවක් සමූහ දුෂණය කරලා ස්වාමියා ඝාතනය කළා. අපේ දේශපාලනය තුළ ස්ත‍්‍රිය උද්ඝෝෂණය කළාද ඊට එරෙහිව. සේයා දැරිය දුෂණය වුණා, එක ස්ත‍්‍රී නියෝජනයක් වැඩ කළාද ඒක පිටු දකින්න. විද්‍යා දැරියගේ සිද්ධියේදී ඊට එරෙහිව වැඩ කළ එකම ස්ත‍්‍රි නියෝජිතයෙක් ඉන්නවාද නෑනෙ. ස්ත‍්‍රීන් එය පිටු දකින්න වැඩ කළාද? ඒවා ප‍්‍රවෘත්ති වුණා විතරයි.

ස්ත‍්‍රිය දේශපාලනයට එන්න  ඕනා ස්ත‍්‍රිවාදී ප‍්‍රවේශයකින් නෙමෙයි. මම කල්පනා කරන විදිහට රටේ දරිද්‍රතාවත් සැබෑ අවශ්‍යතාවනුත් හඳුනගෙන එයට විසඳුම් ගෙනඑන අරමුණකින්.

එහෙම නැතිව රටක පාර්ලිමේන්තුවේ ස්ත‍්‍රීන් භෞතිකව වැඩි වුණා කියලා රටකට ප‍්‍රතිඵලයක් නෑ. උදාහරණයක් විදිහට රුවන්ඩා පාර්ලිමේන්තුවේ ස්ත‍්‍රීන්ට තියෙන මුළු ආසන ගාන අසූවක්. ඒකෙන් හතළිස් පහක්ම ස්ත‍්‍රීන්. ඒක ප‍්‍රතිශතයක් හැටියට සියයට පණස්හයයි දශම තුනක්. ඇන්ඩෝරා පාර්ලිමේන්තුවේ ආසන ගාන විසි අටක්. එයින් දාහතරක් හෙවත් සීයට පණහක් ම ස්ත‍්‍රීන්. දකුණු අප‍්‍රිකාවේ ආසන හාරසීයෙන් එකසිය හැත්තෑ අටක් එහෙමත් නැත්තන් සීයට හතළිස් හතරක් ස්ත‍්‍රීන්. කියුබාවෙ ආසන පන්සිය අසූ හයෙන් දෙසිය පණස්තුනක් ස්ත‍්‍රීන්. ඒ කියන්නේ සීයට හතළිස් තුනක්. ඒකෙන් පේනවානෙ ස්ත‍්‍රී නියෝජනය වැඩිවුණ පමණින් රටවල් දියුණු වෙන්නෙ නෑ කියලා. 

මේ රටවල ආර්ථික ගැටලූ ඉහවහා ගිහින්. දරිද්‍රතා මාපක ඉහළටම නැගලා. ඒ වගේම විරැකියාව, අසමානතාව, මිනීමැරුම්, සෞඛ්‍ය සහ සේවා කප්පාදු ආදි සියලූ දේ වෙනවා. මේ රටවලින් සමහරක් කලකට පෙර සශ‍්‍රීකව සිටි ඒවා. ඒකෙන් පෙනෙනවා ස්ත‍්‍රී නියෝජනය වැඩි වුණ පමණින් විතරක් ගැටලූ විසෙදන්නේ නෑ කියලා.

ස්ත‍්‍රිය දේශපාලනයට පිවිසෙනවා නම් ඒ පිවිසෙන්න  ඕනෑ රට ලෝකය ගැන විශාල අවබෝධයක් ඇතිව. ස්ත‍්‍රියට ජීවවිද්‍යාවෙන් පිට ගිහින් සැබෑ මානව දේශපාලනයක් කරන්න පුළුවන් එතකොට. දේශපාලනයට සියයට විසිපහක ස්ත‍්‍රී නියෝජනයක්වත් තිබීම බලාපොරොත්තු සහගතයි තමයි. නමුත් අපේ ඒ බලාපොරොත්තු කඩවෙන්නේ ඒ හිස්තැන් පුරවන්න එන ස්ත‍්‍රීන්ගෙන් බහුතරය පිරිමි නියෝජිතයින් වගේම සැබෑ ප‍්‍රගතිශීලී දේශපාලනය ගැන දැනුමක් නොමැති අය වීම නිසා. ඒ නිසා ස්ත‍්‍රී නියෝජන ප‍්‍රතිශතය කෙසේවෙතත් හරි දේශපාලනය කරන ස්ත‍්‍රීන් පාර්ලිමේන්තුවට යැවීම අවශ්‍යයි.