රාවය

එජාපයට වැදුණු කඩුපහර

එජාපයට වැදුණු කඩුපහර

 

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ගිය අවුරුද්දේදීත්, මේ අවුරුද්ද ආරම්භයේදීත් රටේ දේශපාලන උනන්දුවක් තිබෙන වැඩිම දෙනෙකු වැඩිම අවධානය යෙදවූ වාර්තාවයි.

පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවුණු බරපතළ වංචා හා දුෂණ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මේ ආකාරයේම ජනාධිපති කොමිසමක් පත්කොට, එහි විමර්ශනය කළ බරපතළ වංචා දුෂණ 17ක් සම්බන්ධයෙන් වාර්තාව මීට පෙර ජනාධිපතිවරයාට භාරදී තිබුණි.

ජනවාරි 2 වැනිදා තවත් දුෂණ හෝ වංචා 17 ක් සම්බන්ධ විමර්ශනද ඇතුළත් පිටු 1135 කින් සමන්විත අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත එම කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන ප‍්‍රමුඛ කොමිසම විසින් භාරදෙන ලදි.

මේ ජනාධිපති කොමිසමද පසුගිය කාලයේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ  ශාලා පරිශ‍්‍රයේදී තමන්ගේ විමර්ශන විවෘතව පැවැත්වීය. ඒ නමුත්, එම විමර්ශනවලදී හෙළිවන කරුණු සම්බන්ධයෙන් ජනමාධ්‍යවල විස්තර පළවුණේ ඉතාම අඩුවෙනි.

කොමිසමට සාක්‍ෂි දීම සඳහා පරණ ආණ්ඩුවේ නායකයන් හා නිලධාරීන් ඇතුළට යන විට හා පිටතට එන විට මග රැකගෙන සිටින මාධ්‍ය, ඔවුන්ගෙන් දේශපාලන ‘රස කෑල්ලක්’ අල්ලාගන්නට මයික‍්‍රපෝන අල්ලාගෙන උත්සාහ ගත්තා විනා, කොමිසම ඇතුළේ වාඩිවී සිට එහිදී එළිදරව් වන පසුගිය ආණ්ඩුව කාලයේ බරපතළ වංචා, දුෂණ හා බලය අයුතු ලෙස පාවිච්චි කිරීම් ගැන තම මාධ්‍යවලින් වාර්තා කරන්නට නම් උනන්දුවක් නොදැක්වීය. මීට පෙර එවැනි වංචා හෝ දුෂණ 17ක් ගැන අවසන් වාර්තාව ජනාධිපතිවරයාට බාරදුන් නමුත්, එම වාර්තාවේ අඩංගු කරුණු හා නිර්දේශ, වගකිවයුතු පුද්ගලයන් ගැන ජනාධිපතිවරයා මේ විදියටම මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කළ බවද අපට මතක නැත.

එහෙත්, මහබැංකු බැඳුම්කර වංචාව ගැන නම් අකුරක් අකුරක් පාසා රටේ මාධ්‍ය කොමිසම ඇතුළේ සිටම සජීවීව මෙන්ම පසුවද විස්තරාත්මක වාර්තා පළ කළ අතර, පිටු 1257කින් සමන්විත අවසන් වාර්තාව තමා වෙත ලැබුණු වහාම ජනාධිපතිවරයා මාධ්‍යවලට කොමිසමේ නිරීක්‍ෂණ, ඒවාට වගකිවයුතු පුද්ගලයන් හා එහි නිර්දේශ එළිදරව් කරමින් කතාකළේය. එහෙත්, ඒ වන විට තමා වෙත ලැබී තිබුණු වංචා දුෂණ සිදුවිම් 34ක් ගැන, කොමිසමේ නිරීක්‍ෂණ, ඒවායේ වගකිවයුත්තන් හා නිර්දේශ ගැන මේ මාධ්‍ය අමතා කළ කතාවේදී ජනාධිපතිවරයා කිසිම විස්තරයක්ද නොකළේය. සමහර විට කාලය මදි නිසා වන්නට ඇත.

එහෙත්, එකම ජනාධිපතිවරයකු විසින් පත්කරන ලද, එක හා සමාන බලතල ඇති කොමිෂන් සභා දෙකකින් එළිදරව් වුණු කරුණු සම්බන්ධයෙන් ඒ ජනාධිපතිවරයාම දෙවිධියකින් ක‍්‍රියාකරන බව පෙනෙන්නට තිබීම හොඳ දෙයක් නොවේ. මේ කාරණය වඩාත් බැරුම් ලෙස ගත්තේ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ බලවත් හවුල්කරුවා වන එජාපයයි.

බැඳුම්කර කොමිසමේ වාර්තාවේ අඩංගු දේ ගැන සඳහන් කරමින් බදාදා ජනාධිපතිවරයා විසින් කරන ලද කතාව, එජාපයේ මුල් පෙළේ හා පසු පෙළේ අය මුලින් පිළිගත්තේ ඒ තරම් ප‍්‍රසාදයකින් නොවේ.

ජනාධිපතිවරයා ප‍්‍රකාශය කරන්නට පෙර අගමැතිවරයා සමග සාකච්ඡා කළහොත් හොඳයැයි කියන අදහසක්ද ඔවුන් අතර මතුවී තිබුණි. අඟහරුවාදා වන විටත් එවැනි සාකච්ඡාවක් සිදුවී තිබුණේ නැත.

එහෙත්, සිය ප‍්‍රකාශය කරන්නට පැය කිහිපයකට පෙර ජනාධිපතිවරයා, අගමැතිවරයාට දුරකථනයෙන් ඇමතුවේය. අමතා, තමා කරන්නට යන ප‍්‍රකාශය පිළිබඳවද, වාර්තාවේ අඩංගු මූලික කාරණා පිළිබඳවද දළ වශයෙන් ඔහුට පැහැදිලි කළේය. ඒ නිසා,

ජනාධිපතිවරයා තැනට ඔබින ලෙස අගමැතිවරයාද සහභාගි කරගනිමින් සිය වගකීම ඉටු කොට ඇති බව පෙනෙයි. ජනාධිපතිවරයාගේ කතාව ගැන මුලින් කනස්සල්ලෙන් සිටි අය පවා, ජනාධිපතිවරයා අගමැතිවරයා අතර නිසි සන්නිවේදනයකින් මේ කාර්යය සිදුවී ඇති බව දැනගත්තේ පසුවය.

එහෙත්, පළාත් පාලන ඡන්දය කටේ තබාගෙන ජනාධිපතිවරයා කොමිෂන් වාර්තාව ගැන සඳහන් කිරීම කිසියම් දේශපාලන වුවමනාවකින් කරන ලද දෙයක් හැටියටද එජාපයේ සමහර අය සිතන බව පෙනෙයි.

කොහොම වුණත්, එජාපයේ ඉහළ නායකයෝ  ඉතාමත් බුද්ධිමත් තීරණයක් ගනිමින්, ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට කිසිම ප‍්‍රතිචාරයක් නොදක්වා ඉන්නටත්, කිසිම ගැටුමක් ඔහු සමග ඇතිකර නොගන්නටත්  පියවර ගත්තෝය. ඒ ගැන අදහස් පළකිරීම නොකර සිටින ලෙස පක්‍ෂයේ විවිධ ස්ථර හා කණ්ඩායම්වලට දන්වන්නටත්, අවශ්‍ය වුවහොත් පමණක් අගමැතිවරයා ඒ ගැන යම් ප‍්‍රකාශයක් කිරීමටත් එජාපය තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ. එය ඉතා යහපත් ප‍්‍රතිචාරයකි.

කොහොම වුණත් ජනාධිපතිවරයා තමාගේ ප‍්‍රකාශය කර අවසන්ය. දැන් වඩාත් තීරණාත්මක වන්නේ එජාපය මේ සම්බන්ධයෙන් දක්වන ප‍්‍රතිචාරයයි. එය කුමක් වනු ඇද්දැයි දැනගත හැකි වන්නේ ඉදිරි දින කිහිපයේදිය.

ජනාධිපතිවරයාගේ පැත්තෙන්, කොමිෂන් වාර්තාව ගැන ඔහුගේ කතාව සාධාරණය කරන්නේ, මහජනතාවගේ පැත්තෙන් බලාය. තමන්ගේ ආණ්ඩුවෙන් සිදුවුණු බරපතළම වංචාවක් ගැන කරන්නේ මොකක්දැයි මිනිසුන් තමාගෙන් අහන බවත්, ඒ නිසා ආණ්ඩුවට සිදුවුණු අපකීර්තිය මකාගන්නට කොමිසම පත්කළ බවත් ජනාධිපතිවරයා නිතර දෙන උත්තරයයි. තමා කිසිම පක්‍ෂයක් හෝ පුද්ගලයකු ඉලක්ක කොටගෙන කොමිසම පත් නොකළ බවත් කියන ජනාධිපතිවරයා, රවි කරුණානායක මහතාගේ නිවාසයක් මිලට ගැනීමේ ප‍්‍රශ්නය පවා, කොමිසමේ කටයුතු අතරමැද සිදුවුණු, කිසිසේත් මුලින් අපේක්‍ෂා කළ දෙයක් නොවන බවත් නිතර කියයි.

වාර්තාව සම්බ්න්ධයෙන් ප‍්‍රකාශයක් කළ දා පවා, තමා හමුවීමට ආ අයට ජනාධිපතිවරයා කියා තිබුණේ, කොමිසමේ වාර්තාව ගැන මහජනතාව තමාගෙන් විමසන බවත්, ඒ ගැන මුනිවත රැකීම සුදුසු දෙයක් නොවන බවත්ය.

ජනාධිපතිවරයාගේ පියවර ගැන කිසිම වරදක් කියන්නට මධ්‍යස්ථ සිතන්නකුට නොහැකිය. දුෂණ වංචා නැතිකරන්නටත්, ඒවා කළවුන්ට දඬුවම් දෙන්නටත් පත්වුණු ආණ්ඩුවකින් මේ සා විශාල වංචාවක් සිදුවී තිබියදී ඒ ගැන කිසිවක් නොකියා නොකර සිටින්නට කිසිවකුට නොහැකිය. ජනවාරි 8වැනිදා දේශපාලන වෙනසට උරදුන් පිරිස් පවා එකහෙළා කියා සිටියේ මේ වංචාව ගැන ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවත්, ඊට වගකිවයුත්තන්ට නිසි දඬුවම් දියයුතු බවත් මිස අන් කිසිවක් නොවේ.

ජනාධිපතිවරයාත්, කොමිසමත් කළ කී දේ ගැන අරෝවක් ඇතිකරගන්නට සාධාරණ හේතුවක් එජාපයට නැත. ජනවාරි 8 න් පසු පිහිටුවූ ආණ්ඩුවේ ප‍්‍රමුඛ කොටස්කරුවා හැටියට එජාපය මේ වංචාවට වගකිව යුතුය.

බලය ලැබුණු පසු අගමැතිවරයා කළේ තමන්ගේ දේශීය හා විදේශීය ගජමිතුරන් ගෙනැවිත් ආණ්ඩුවේ වැදගත් තනතුරුවල පිහිටුවීමය. තමාගේ අනාගත වැඩපිළිවෙළ කරගෙන යන්නට ශක්තිමත් හා විශ්වාසවන්ත කණ්ඩායමක් තමා වටා සිටිය යුතුයැයි කියන සාධාරණ අදහස අගමැතිවරයාට තිබෙන්නට ඇති නමුත්, ඔහු එසේ ආනයනය කළ ගජමිතුරන්ගෙන් බොහෝ දෙනකු තමන්ගේ අසාර්ථකභාවය මේ වන විට හොඳින්ම ඔප්පු කර තිබෙන බවද අගමැතිවරයා පිළිගත යුතුය. අර්ජුන් මහේන්ද්‍රන් හැරුණු විට, ශ‍්‍රීලංකන් ගුවන් සමාගමේ ගජමිතුරු පාලනය නිසා අද ඇතිවී තිබෙන තත්ත්වයත්, ඇමති මණ්ඩලයේ සිටින ගජමිතුරන්ගේ ක‍්‍රියාකලාපයත් ඒ බවට ජීවමාන උදාහරණය.

කොමිසම කියන විදිය නිවැරදිය. අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් පත්කළේ එවකට හා අද පවතින නීතිමය පිළිවෙතට එකඟවය. එහෙත්, පත්වීම ලැබී මාසයක් දෙකක් යන විට අර්ජුන් මහේන්ද්‍රන්ගේ කල්කිරියාව එළිදරව් වන විටවත්, පරෙස්සම් සහගත වීමේ වගකීමක් අගමැතිවරයාට තිබුණි. මේ සා විශාල මූල්‍ය වංචාවක් සිදුවී තිබෙන බවට අපැහැදිලි තොරතුරු මුලින්ම වාර්තා වූ විටත්, ඒ ගැන ස්වාධීන විමර්ශනයක් කරන්නට අගමැතිවරයා පියවර නොගත්තේය. ඒ වෙනුවට ඔහු කෙළේ, තමන්ගේ අන්තේවාසික නීතිඥවරුන් තුන්දෙනකුගෙන් යුක්ත රූකඩ විමර්ශන කොමිටියක් පත්කිරීමයි. කිසිම බුද්ධිමය හෝ තාක්‍ෂණික ගැඹුරක් නැති ඒ කොමිටිය අගමැතිවරයාට වුවමනා විදියේ වාර්තාවක් දුන්නේය.

ඒ අතර, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුවිය. ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම නිෂ්ප‍්‍රභ කළේය. අගමැතිවරයා කීවේ, මූලික අයිතිවාසිකම් පෙත්සම වීසි කළ නිසාත්, මහබැංකුවේ වරදක් සිදුවී නැතැයි පෙනෙන බවය. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී තීරණය කළේ, මූලික අයිතිවාසිකමක් කඩවී ඇති බවට නොපෙනෙන බව පමණකි. වංචාවක් සිදුනොවුණු බවක් නම් නොවේ. අගමැතිවරයා ඒ කාරණාව ප‍්‍රයෝජනයට ගත්තේද අර්ජුන් මහේන්ද්‍රන්ගේ ආරක්‍ෂාවටය.

මේ විදියට අගමැතිවරයා සිටියේ සම්පූර්ණයෙන්ම පාහේ අර්ජුන් මහේන්ද්‍රන් විශ්වාස කරන හා ඔහු රකින ස්ථාවරයකය. මේ සා චෝදනා තිබියදීත්, පැහැදිලි හා අපැහැදිලි කරුණු ඒ වංචාව ගැන හෙළිවී තිබියදීත්, අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් ඊළඟ ධුර කාලයටත් පත්කරන්නට පුදුම උත්සාහයක් ගත්තේය.

යම් හෙයකින් අර්ජුන් මහේන්ද්‍රන් නැවත පත්නොකළහොත්, තමන්ගේ අගමැතිකම ඒ වෙනුවෙන් පරදුවට තබන්නට වුණත් තමා සූදානම් බව අගමැතිවරයා නොකියා කිව්වේය. කොමිෂන් වාර්තාව කියන පරිදි, පාර්ලිමේන්තුවේදී පවා අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් ගැන කතාකළේ සම්පූර්ණ විශ්වාසය ඔහු වෙත තබමිනි. අගමැතිවරයා වැනි විචක්‍ෂණ දේශපාලන නායකයකු කුමන හෝ හේතුවක් නිසා ඒ මොහොතේ අගතියට ගොස් තිබුණි.

ධුරයට පත්කරන වෙලාවේ අර්ජුන් මහේන්ද්‍රන් ගැන විශ්වාසයක් අගමැතිවරයාට තිබෙන්නට ඇත. එහෙත්, පත්වී මාසයක් දෙකක් යන විට තමාගේම මිත‍්‍රයා ආණ්ඩුවේ මිනීවළ කපමින් සිටින බව තේරුම් ගන්නට තරම් හැකියාවක් අගමැතිවරයාට නොතිබුණු බව පිළිගන්නට බැරිය. එහෙත් අගමැතිවරයා දිගින් දිගටම සිය ගජමිතුරා විශ්වාස කරන හා ආරක්‍ෂා කරන ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. මුලින් නම් කළ යුතුව තිබුණේ අර්ජුන් මහේන්ද්‍රන් වැන්නකු මෙවැනි තනතුරකට පත් නොකර සිටීමයි. පත්වීම කරන්නට හදන විට ආණ්ඩුවේ එජාප හා එජාප නොවන බොහෝ ප‍්‍රබලයන් එය නොකරන්නැයි අගමැතිවරයාට කියා ඇති බව දැනගන්නට තිබේ. තමාගේ බෑනා මහබැංකුව සමග බැඳුම්කර ගනුදෙනු කරන තැරැව්කාර සමාගමක අයිතිකාරයකු හැටියට සිටියදී අර්ජුන් මහේන්ද්‍රන්ද එම තනතුර බාර නොගත යුතුව තිබුණා පමණක් නොව, අගමැතිවරයා ඒ කාරණය නිසාමද ඔහු පත් නොකළ යුතුව තිබුණි. අවසානයේ සිදුවුණේ, මහේන්ද්‍රන්ගේ බෑනා, පිටතට පෙනෙන්නට සිය තැරැව්කාර සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ඉවත්වීමයි. මූනිච්චාවට ඒ ඉවත්වීම සිදුවුණත්, වංචාව මාමා සහ බෑනා සම්බන්ධය තුළ ජයටම සිදුවී ඇති බව අයුතු ලෙස පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම උපයා ඇති රුපියල් මිලියන 11,145ක මුදලෙන්ම පෙනෙයි.

මේ තත්ත්වය මත, එජාපය සැලකිය යුත්තේ තම නායකයාටත්, පක්‍ෂයටත් දිට්ඨදම්ම වේදනීය කර්මයක් පලදී ඇති බවටය. දැන් එක පැත්තකින් කළ යුතු වන්නේ ‘ව්‍යසන කළමනාකරණයකි’.

බැඳුම්කර කොමිසම හරහා දුෂණයට හා අපරාධවලට විරුද්ධ ධජය යළිත් අතට ගන්නට ජනාධිපති සිරිසේනට හැකිවී තිබේ. එහෙත්, කඩුව වනන පුද්ගලයා ගැනද දැන් රටේ මහජනතාව අවදියෙන්  සිටින බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුය. සරලව කියතොත්, කඩුව පාවිච්චි කරන්නා තමා ම කපා නොගන්නටද පරෙස්සම් විය යුතුය.

 

ජායා – ශෙහාන් ගුණසේකර