නීතිය සැමට ම, සමාන ව.

මහබැංකු බැඳුම්කර කොමිෂන් වාර්තාව මාධ්‍ය සංදර්ශනයක් නොකිරීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් ය.

ජනාධිපති කොමිෂන් සභා ගැන අපේ රටේ ඇත්තේ හොඳ චිත‍්‍රයක් නොවේ. මහජන මුදල් වියදම් කොට පවත්වා ගත් ජනාධිපති කොමිෂන් සභා සහ වෙනත් පරීක්‍ෂණ කමිටුවල නිර්දේශ ගැන ඒ ඒ කාලයන්හි පාලකයන් දරන අදහස අනුව ඒවා ක‍්‍රියාත්මක වන ආකාරය ද වෙනස් ය. සමහර ඒවා මුළුමනින් ම හමස්පෙට්ටියට දමා ඇති අතර, ඒවායේ අන්තර්ගත වුණේ මොනවාදැ’යි දශක ගණනාවක් යන තුරු දන්නා කෙනෙක් ද නැත.

 සමහර වාර්තාවලින් තෝරාගත් නිර්දේශ පමණක් ක‍්‍රියාත්මක කළ අවස්ථා තිබේ. කෙටියෙන් කිවහොත්, ලංකාවේ කොමිෂන් සභා ඉතිහාසය, දේශපාලන වුමනාවකින් මෙහෙයැවෙන, ඒ ඒ අවස්ථාවල නැගෙන මහජන කුතුහලය වෙනතකට හැරවීමේ උපාය මාර්ගයක් හැටියට, සමස්තයක් ලෙස ගෙන සැලකිය හැකි ය.

ඒ අතින් බැලූ විට, මහ බැංකු බැඳුම්කර කොමිසම කිහිප ආකාරයකින් වැදගත් ය. පළමුවැන්න එය, තමන්ගේ ම ආණ්ඩුව කාලයේ සිදු වුණු වරදක් ගැන ඒ ආණ්ඩුවේ ම ප‍්‍රධානියා පත් කළ කොමිසමක් වීමයි. මේ තත්ත්වය, පසුගිය ආණ්ඩු කාලයට සාපේක්‍ෂව සපුරා වෙනස් හා ඉදිරිගාමී තත්ත්වයකි.

පසුගිය ආණ්ඩු කාලයේ පාලකයන් හා රජයේ නිලධාරීන් කරන වැරදි සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වුණු න්‍යාය, හිටපු ජනාධිපතිවරයාගේ වචනවලින් ම කියනවා නම් මෙසේ ය. ‘අපේ කෙනෙක් වරදක් කළා ම නීතියට වැඩ කරලා හරියන්නේ නෑනේ හාමුදුරුවනේ.’ ‘කරන දෙයක් අහු නොවෙන්න කරගන්නවලා.’

මහබැංකු බැඳුම්කර කොමිසම ඒ සම්ප‍්‍රදායට එරෙහිව ගිය එකකි.

කොමිසමේ සාක්‍ෂි විභාගය අතරතුර දී ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයකුට ධුරය අත්හැර යන්නට සිදු විය. ඒ කොමිසමේ විෂය පථයට එක එල්ලේ අදාළ වරදක් සම්බන්ධයෙන් ද නොවේ. කොහොම වුණත්, තමන්ගේ ආණ්ඩුවක් පවතින විට, එහි ප‍්‍රබල ඇමතිවරයකුට, දුෂණ චෝදනාවක් ඉදිරිපත් වුණු කල ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදු වීම මෑත කාලයේ අලූත් ආදර්ශයකි.

කොමිසමේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ද සමාජයේ කිසිදු චෝදනාවක් නැගුණු බවක් දක්නට නැත. ආණ්ඩුවේ බල තුලනය නිසා හෝ, කොමිසම හැකි උපරිම ආකාරයෙන් සිය කාර්යභාරය පවත්වාගෙන ගියේ ඒ පිළිබඳ ගෞරවය වර්ධනය වන ආකාරයෙනි.

කොමිසමෙන් එළිදරව් වන වගඋත්තරකරුවන්ට නිසි දඬුවම් දිය යුතුයැයි’ද ඔවුන්ට අනුකම්පා නොකළ යුතුයැයි’ද කියන එක වාගේ සාමූහික හඬක් මුළු සමාජය පුරා ම පැවතීම ද වැදගත් දෙයකි.

එහෙත්, කොමිසම පත් කළ පමණින් වත්, කොමිසමේ වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කළ පමණින් වත්, ඒ කාර්යය සම්පූර්ණ වන්නේ නැත. මේ කොමිසම පත් කිරීම දේශපාලන වුවමනාවකින් කරන ලද්දක් බවට නැගෙන චෝදනාව ද මෙහි දී බැහැර කළ නොහැකි ය. ඒ නිසා, වාර්තාව එළි දැක්වීමෙන් පසු ඉදිරියේ දී සිදුවන දේවලින් එම චෝදනාවට ද සාධාරණ පිළිතුරක් ලැබිය යුතු ය.

කොමිසමෙන් එළිදරව් වී ඇති අපරාධය ඉතා බරපතළ ය. රටේ ප‍්‍රධාන මූල්‍ය මර්මස්ථානය තුළ හිඳිමින් එහි අභ්‍යන්තර තොරතුරු පිටතට දීම සහ තම සමීපතමයකුගේ ව්‍යාපාරවලට වාසි සහගත වන ආකාරයට මහබැංකු  ක‍්‍රියාවලියට මැදිහත් වීම හරහා හිටපු මහබැංකු අධිපතිවරයා කර ඇති අපරාධය ඉතිහාසගත වන එකකි. ඔහුගේ බෑනා ඒ හරහා අයුතු ලෙස උපයා ඇති ධනය විස්මය දනවනසුලූ ය.

මේ අපරාධකරුවන්ට හා එය කිරීම සඳහා ඔවුන්ට ආධාර අනුබල සැපයූ මැති ඇමතිවරුන්ට ද, මහබැංකුවේ මෙන් ම සේවක අර්ථසාධක අරමුදලේ හා අනෙකුත් රජයේ ආයතනවල නිලධාරීන්ට ද විරුද්ධ ව වහා පියවර ගත යුතු ය. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට නීති සැකසී නැති නම් ප‍්‍රමුඛත්වයෙහි ලා සලකා ඒ නීති අලූතෙන් පැනවීම හෝ තිබෙන නීති වැඩිදියුණු කිරීම හෝ කළ යුතු ය.

එහෙත්, ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් ඇති වැදගත් ම අභියෝගය වන්නේ, මේ අවස්ථාවේ දී මෙන් අනෙකුත් සෑම අවස්ථාවකදී ම නීතිය සමාන ව, සාධාරණ ව හා කාර්යක්‍ෂම ව ක‍්‍රියාවේ යෙදවීමයි. මහබැංකු වංචාව හැරුණු විට, අනෙකුත් වංචා හෝ අපරාධ හෝ සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් කොපමණ සාධාරණ ලෙස නීතිය ක‍්‍රියාවේ යොදවා ඇද්ද?

ඉතාමත් පැහැදිලි චෝදනා යටතේ සමහර විශේෂ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට යන විට, ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගන්නට යන විට, ඔවුන්ට විරුද්ධ ව නඩු පවරන්නට යන විට ආණ්ඩුවේ නායකයන් මැදිහත් වී ඒවා වළක්වා නැද්ද? තමන්ගේ පක්‍ෂයේ නිසා හෝ, තමන්ට ලැබෙන ඡුන්ද නොලැබී යතැ’යි සිතා හෝ, පරණ ආණ්ඩුවේ බලවතකු නිසා හෝ, ඊනියා රණවිරුවකු නිසා හෝ, චීවරය දරන්නකු වීම නිසා හෝ, හමුදාවේ හෝ භික්‍ෂූන්ගේ බලපෑම නිසා හෝ එවැනි අවස්ථා කොපමණක දී නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කොට නැද්ද? නැතිනම් අපක්‍ෂපාතී ව කටයුතු කර නැද්ද?

ජනාධිපතිවරයා භගවත් ගීතාවෙන් උපුටා ගෙන දැක් වූ කොටස මේ විදියට සංශෝධනය කොට යළිත් මතක් කළ යුතු ය.

‘මගේ කඩුවෙන් කැපෙන්නේ කවුරු වුණත්, වංචාවලට, දුෂණවලට, හොරකම්වලට, අයුතු බලය පාවිච්චි කිරීම්වලට, මිනීමැරුම්වලට, පැහැරගෙන යෑම්වලට, අතුරුදන් කිරීම්වලට වගකිවයුත්තන්ට එරෙහි ව නීතිය සාධාරණ ව, සමාන ව හා කාර්යක්‍ෂම ව ක‍්‍රියාත්මක කරමි.’