රාවය

අනුරුද්ධ ප‍්‍රදීප්ගේ බෝම්බය

අනුරුද්ධ ප‍්‍රදීප්ගේ බෝම්බය

පසුගිය සතියේ අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය සිය කොලමෙන් මා ගැන ලොකු විවේචනයක් ඉදිරිපත් කර තිබුණි. ඔහුගේ විරෝධයට හේතුවී තිබුණේ ඔහුගේ පක්ෂය වූ ජාතික හෙළ උරුමයද 19 වැනි සංශෝධනය අවිවේචනාත්මකව කරට ගත් දේශපාලන පක්ෂ හවුලට එම පක්ෂයද ඇතුළත් කර තිබීම ගැනය. මා කියන අර්ථයෙන්ම නොවූවද එම පක්ෂයට 19 ගැන විවේචනයක් තිබුණි.

එම පක්ෂය පෙනී සිටියේ සමහර සංශෝධන ඇතිව ජනාධිපති ක‍්‍රමය පවත්වාගෙන යෑම සඳහාය. ව්‍යවස්ථා සභා ක‍්‍රමයක් හා ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමය ගැන එම පක්ෂයට විවේචනයක් තිබුණා දැයි මම නොදනිමි. රාජපක්ෂ ජනාධිපතිවරයා 17 අවලංගු කොට 18 කරළියට ගෙනා අවස්ථාවේදී නම් ජාතික හෙළ උරුමය පක්ෂයට 17 ගැන විවේචනයක් තිබුණා මට මතකය. එහෙත් ඒ අවස්ථාවේදී එය මට පෙනුණේ 18 යුක්තිසහගත අරමුණින් කරන දෙයක් ලෙසය.

 එහෙත් 19 වැනි සංශෝධනය අවිවේචනාත්මකව කරට ගත් පක්ෂ ලැයිස්තුවට ජාතික හෙළ උරුමය එකතු කිරීමෙන් මා කර තිබෙන්නේ වරදක් බව මම පිළිගනිමි. ඒ ගැන මාගේ කනගාටුවද ප‍්‍රකාශ කරමි.

19 වැනි සංශෝධනය

19 වැනි සංශෝධනයේ පාපයට එම පක්ෂය වගකිවයුතු නැතත්, රාජපක්ෂ ආණ්ඩුවේ පව්වලට (රාජපක්ෂ ජනාධිපතිවරයාට මහින්ද චින්තනය ලියා දුන්නේ එම පක්ෂය නොවේද?) සේ ම යහපාලන ආණ්ඩුව කර තිබෙන අන් සියලූ පව්වලට එම ආණ්ඩුවේ කොටස්කාරයකු වශයෙන් හෙළ උරුමයද වගකිව යුතුය.

 ඡන්ද ක‍්‍රමය වෙනස් කරන මුවාවෙන් පළාත් පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව දෙගුණ කිරීමට හේතුවන ලෙස සකස් කර තිබෙන ආත්මාර්ථකාමී නීති සම්පාදනයට හෙළ උරුමයද වගකිව යුතුය.

අනුරුද්ධ ප‍්‍රදීප් ශාස්ත‍්‍රාලයීය උගතෙකු වුවද යහපාලන ආණ්ඩුවේ ගමන් මග හසුරුවන කණ්ඩායමට ඔහුද ඇතුළත් බව ඔහු ලියා තිබෙන දේවලට අනුව පෙනී යයි. 19 ගැන කෙරෙන සාකච්ඡාවලට ඔහුද මුල සිටම සහභාගි වූ බවත් ඒ ගැන දැනගැනීමට අවශ්‍ය නම් සුමන්දිරන්, රනිල් වික‍්‍රමසිංහ හා ජයම්පති වික‍්‍රමරත්නගෙන් අසා දැනගන්නා ලෙසද සඳහන් කර තිබුණේ තමන්ද ආණ්ඩුවේ ලොකු පොරක් බව පෙන්නුම් කරන ආකාරයටය.

ඒ නිසා මට මේ වාදය කරන්නට සිදුවී තිබෙන්නේ ශාස්ත‍්‍රාලයීය උගතෙකුට අතිර්කව පාලක පක්ෂයේ දේශපාලනඥයෙකුද සමඟය. එවැනි පුද්ගලයෙකු 19 වැනි සංශෝධනය මෝඩ හා විනාශකාරී වැඩසටහනක් බවට කර තිබෙන අර්ථකථනයට මා කැමතිය. එසේම අද නොව එදා 19 ගැන මා කීවේ කුමක්දැයි ඔහු ප‍්‍රශ්න කර තිබුණි. මා අද නොව, එහි උත්පත්තියේ සිටම ඊට එරෙහිව ප‍්‍රසිද්ධියේ කතා කරන විවේචකයෙකු ලෙස ක‍්‍රියාකර ඇත්තෙමි.

එක් අවස්ථාවකදී මා ඒ ගැන රාවයට ලියන ලද විවේචනයකදී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න තම නමින් නොව අන්වර්ථ නාමයකින් ලියන ලද විවේචනයකටද දීර්ඝ පිළිතුරක් ලියන්නට මට සිදුවිය. අනුරුද්ධ ප‍්‍රදීප්ගේ පක්ෂය ලංකාවේ අධිකරණ ක‍්‍රමය මස්තබාල්දු කළ පුද්ගලයා ලෙස සැලකිය හැකි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ලවා ලියවාගෙන කරළියට ගෙනා වැඩසටහනද 19 වැනි සංශෝධනය තරම්ම විනාශකාරී හා මෝඩ වැඩසටහනක් බවද කිව යුතුය.

අනුරුද්ධ ප‍්‍රදීප්ගේ විවේචනයේ, මා අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව කරන ලද අරගලය ගැනද සඳහන් කර තිබේ. ඔහු එහි කියා තිබෙන්නේ ”මහා ශාස්ත‍්‍රීය ව්‍යායාමයක් නොවූවත් අයිවන් විසින් සරත් සිල්වා ඇතුළු අධිකරණයේ දුෂිතයන් පිළිබඳව කරනු ලැබූ නිර්භය සහ විස්තරාත්මක හෙළිදරව් කිරීම් වඩා යහපත් අධිකරණයක් ඇති කරගැනීමේ ප‍්‍රයත්නයට විශාල දායකත්වයක් වන බව” නොඅනුමාන බවය.

මා අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව අරගල කරන කාලයේදී අනුරුද්ධගේ පක්ෂය ලංකාවේ අධිකරණය විනාශ කළ එම දුෂිත අගවිනිසුරුවරයාට ආරක්ෂාව ලබාදෙන පවුරක් ලෙස ක‍්‍රියා කළේය. ඒ මගින් එම දුෂිත අගවිනිසුරුවරයාගෙන් එම පක්ෂයට කීර්තියක් ලබාදෙන නඩු තීන්දු ලබාගත් බව දැන් අනුරුද්ධට අමතක වී තිබෙන බව පෙනේ.

ශාස්ත‍්‍රාලයීය උගතා

මා බැරුම් ශාස්ත‍්‍රඥයෙකු නොවන බවට ඔහු ලබාදී තිබෙන සහතිකයට මා අභියෝග කරන්නේ නැත. මා ශාස්ත‍්‍රාලයීය උගතෙකු නොවේ. ශාස්ත‍්‍රාලයීය උගතෙකු ලෙස පෙනී සිටද නැත. මා ජනමාධ්‍යවේදියෙකි. ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. යහපත් සමාජයක් ඇතිකර ගැනීම සඳහා උත්සාහයක යෙදී සිටින සමාජ ක‍්‍රියාධරයෙකි.

මා ලියන්නට සේ ම කරුණු ඉදිරිපත් කරන හා කරුණු විග‍්‍රහ කරන ක‍්‍රමද පශ්චාත් හෝ ආචාර්ය උපාධියක් වෙනුවෙන් පෙනී සිටින ශාස්ත‍්‍රාලයීය උගතෙකු ලියන කරුණු ඉදිරිපත් කරන හා කරුණු විග‍්‍රහ කරන ක‍්‍රමයට වඩා වෙනස්ය. ශාස්ත‍්‍රාලයීය උගතෙකුගේ ඉලක්කය හා මගේ ඉලක්ක එක සමාන නැත. ඒ දෙදෙනා එක් අයෙකු නොව දෙදෙනෙකි. ඉටුකරන කාර්යභාරයද වෙනස්ය. ඒ දෙදෙනාට තිබිය යුතු ශික්ෂණයද එක සමාන නැත. ඒ දෙදෙනා පොත් ලියන්නේද එක ක‍්‍රමයකට නොව ක‍්‍රම දෙකකටය. මා ශාස්ත‍්‍රඥයෙකු නොවේයයි ඔහු කියන විට එය පැවිද්දා එම සීලය නොරකින කෙනෙකු වූ විට පැවිද්දාගේ කතාව වඩාත්ම උත්ප‍්‍රාසජනක දෙයක් බවට පත්වන්නේය.

මා ශාස්ත‍්‍රඥයෙකු නොවූවත් මා ලියන ලද සමහර පොත් සමහර උපාධි අපේක්ෂකයන් සඳහා කියවිය යුතු පොත් ලෙස විශ්වවිද්‍යාල බලධාරීන් නියම කර තිබෙන බව මම දනිමි. විශ්වවිද්‍යාල තුනක් මට සම්මාන ලබාදී තිබේ. ඒ සියල්ල එසේ වූයේ ඇයිදැයි මා දන්නේ නැත. මා ජනමාධ්‍යවේදියෙකු ලෙස ක‍්‍රියා කරන කාලයේදීත් මට ලංකාවේ ජනමාධ්‍යවේදීන් ගැන, ජනමාධ්‍ය ආයතන ගැන හා ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය ගැන බලවත් විවේචනයක් තිබුණි.  ඒ විෂය ගැනද මා පොත් දෙකක් ලියා තිබේ. ජනමාධ්‍ය ගැන පමණක් නොව ලංකාවේ ශාස්ත‍්‍රාලයීය උගතුන් ගැනද වෙනත් දේවල් ගැනද මට විවේචනයක් තිබේ.

ශාස්ත‍්‍රාලයීය උගතුන් අතර සිටින ශාස්ත‍්‍රීය අර්ථයෙන් වැදගත් කාර්යභාරයක් කර නැති ශාස්ත‍්‍රාලයීය උගතුන් අතර තමන්ගේ දැනුම ගැන ලොකු උද්දච්චකමක් පවතී. සැබෑ ශාස්ත‍්‍රාලයීය උගතුන් අතර කුහුඹුවන් ලෙස සැලකිය හැකි අය පවා මහජනයා ඉදිරියේ කතා කරන්නේ ශාස්ත‍්‍රාලයීය ලෝකයේ සිටින හස්තිරාජයන් ලෙසය.

ශාස්ත‍්‍රාලයීය උගතුන් අතර සිටින ප‍්‍රසිද්ධ නම් ඇති බොහෝ අය එම ප‍්‍රසිද්ධිය ලබාගෙන ඇත්තේ ශාස්ත‍්‍රීය වැදගත්කමක් ඇති දේවල් කිරීමෙන් නොව, ශාස්ත‍්‍රීය නොවන දේවල් කිරීමෙනි. ලංකාවේ මිනිසුන් චින්තනමය වශයෙන් සිටින්නේ ඝන අන්ධකාරයකය.  තවමත් සිතන්නේ ලෝකයේ දියුණුම පැරණි සභ්‍යත්වය තිබුණේ ලංකාවට කියාය. අහසින් යන තාක්ෂණය සොයා ගත්තේ අපය කියාය. අපේ දියුණුව නැති කළේ සුද්දන් කියාය. මේ රටේ හිමිකම ඇත්තේ සිංහල බෞද්ධයන්ට පමණක් කියාය.

මෙම පසුගාමී චින්තනය අනගාරික ධර්මපාලතුමාගෙන් ලැබුණු දායාදයක් ලෙස සැලකිය හැකිය. අනුරුද්ධ ප‍්‍රදීප්ගේ දේශපාලන ව්‍යාපාරයද අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරයේම තවත් දේශපාලන අවතාරයක් ලෙස සැලකිය හැකිය. එවැනි ව්‍යාපාරයක න්‍යායවාදියෙක්ට දේශපාලන අර්ථයෙන් කළහැකි විනාශයක් ඇතත් ශාස්ත‍්‍රීය අර්ථයෙන් කළහැකි යහපත් දෙයක් නැත.

ටවුන්හෝල් බෝම්බ සිද්ධිය

අනුරුද්ධ ප‍්‍රදීප් මා ප‍්‍රබන්ධකාරයෙකු බව සනාථ කරන්නට නිදර්ශනයට ගෙන තිබෙන්නේ ‘චෞර රැජින’ පොතේ එන ටවුන්හෝල් බෝම්බ සිද්ධිය පිළිබඳව මා දක්වා තිබෙන අර්ථකථනයයි. ඔහු ඒ ගැන කියා ඇත්තේ ”එහිදී ඔහු ශාස්ත‍්‍රඥයෙකුගේ මතු නොව ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකුගේ භූමිකාවෙන්ද ඉවතට ගොස් ප‍්‍රබන්ධකරුවකුගේ තත්ත්වයට පත්ව තිබෙන බවය.

අනුරුද්ධ ප‍්‍රදීප් එම පොත කවදා හෝ කියවන්නට ඇතත් මෙම සටහන ලියන්නට පෙර කියවන්නට නැති බව මට හොඳටම විශ්වාසය. මා එහි දක්වා තිබෙන නිරීක්ෂණය සත්‍ය පදනමක් නැති කරුණු නැතිව හිතුවක්කාරී ලෙස පළකරන ලද නිරීක්ෂණයක් නොවී, නැතහොත් සෝම හිමියන්ගේ අපවත්වීම පදනම් කොටගෙන ඔහු හා ඔහුගේ පක්ෂය විසින් නිර්මාණය කොට සමාජගත කරන ලද මහා ප‍්‍රබුද්ධ කතාව වැනි දෙයක් නොවේ. එහෙත් මාගේ ගවේෂණය පරිපූර්ණ ගවේෂණයක් නොවන බව හා සොයා ගන්නට ලැබුණු කරුණුවලට සීමාවී ඉදිරිපත් කරන නිරීක්ෂණයක් බවද එහි පැහැදිලිව සඳහන් කර තිබේ. එහි එන මූලික කරුණු කිහිපයක් පැහැදිලි කිරීම වැදගත්ය.

එකම දිනයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය. පළමු පිපිරීම සිදුවූයේ ජඇල එජාප රැුස්වීමක් පැවති භූමියේය. දෙවැනි පිපිරීම සිදුවූයේ ජනාධිපතිනියගේ ප‍්‍රධානත්වයෙන් පොදු පෙරමුණේ අවසාන ප‍්‍රචාරක රැලිය පැවති පුරහල් භූමියේය. ජාඇල පිපිරීම සිදුවී තිබුණේ රාත‍්‍රී 8.50ට පමණය. පුරහල් භූමියේ පිපිරීම සිදුවී තිබුණේ රාත‍්‍රී 9.20ට පමණය.

ජාඇල බෝම්බ සිද්ධියෙන් ජනරාල් ලකී අල්ගම ඇතුළු 16 දෙනෙකු මරණයට පත්වූ අතර තුවාල ලැබූ අයගේ ගණන 16කි. ඒ සිද්ධියට දින දෙකකට පෙර ජනරාල් ලකී අල්ගම සමඟ දීර්ඝ සාකච්ඡුාවක නිරතවීමේ අවස්ථාව මට ලැබුණි. ටවුන්හෝල් බෝම්බ සිද්ධියෙන් 26 දෙනෙකු මරණයට පත්වූ අතර ජනාධිපතිනිය ඇතුළු 96 දෙනෙකු තුවාල ලැබූහ.

ජාඇල බෝම්බ සිද්ධියට අදාළ ඉතා වැදගත් රහස්‍ය වාර්තාවක් මට කියවන්නට ලැබුණු බව එම පොතේ සඳහන් වේ. එය ලියා තිබුණේ අපරාධ පරීක්ෂණ විෂයෙහි නාමධාරී ඍජු ගති පැවතුම් ඇති පුද්ගලයෙකු වූ නියෝජ්‍ය පොලිස්පති  ඕ.කේ. හේමචන්ද්‍ර මහතාය. එම රහස්‍ය වාර්තාව මට කියවන්නට දුන් පුද්ගලයා එහි එන තොරතුරු සටහන් කරගන්නට ඉඩ දුන්නද එහි ඡායා පිටපතක් ලබාගන්නට ඉඩ දුන්නේ නැත. එම වාර්තාවේ එන නිගමනය වූයේ ජාඇල පිපිරීම යුද හමුදාවේ අභ්‍යන්තර කණ්ඩායමක් විසින් කරවන ලද පිපුරුමක් බවය.

එවැනි දේවල් සිදුවිය හැකි බව හා සිදුවී තිබෙන බව මගේ විශ්වාසය වී තිබූ බැවින් එම නිගමනය මා තුළ ලොකු විස්මයක් ඇති කිරීමට හේතුවූයේ නැත. මෙම සිද්ධියට කිඹුලා ඇළ ප‍්‍රදේශයේ කුඩු මහින්ද නමින් වන පුද්ගලයෙකුද සම්බන්ධ බව එහි සඳහන් වී තිබුණි. උසස් හමුදා නිලධාරියෙක් ලකී අල්ගමගේ ඡායාරූපයක් කුඩු මහින්දට පෙන්වා ලකී අල්ගමව හොඳින් හඳුනාගන්නා ලෙසට උපදෙස් දී ඇති බවද එහි සඳහන් විය.

කරුණුවල ස්වභාවය

රටේ පැවති ජනප‍්‍රිය මතය වූයේ ජාඇල සිදුවූ පිපිරීම එල්ටීටීඊ වැඩක් බවය. එහෙත් ඒ ගැන සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ එය යුද හමුදාවේ අභ්‍යන්තර කණ්ඩායමක් විසින් සිදුකර තිබෙන දෙයක් ලෙසටය. ඉන් තේරුම් ගතහැක්කේ එල්ටීටීඊ ගිණුමට බැරවන ලෙස දේවල් සිදුකරන තවත් අය රටේ සිටි බවය.

එම ජනාධිපතිවරණයෙන් රජයේ වෙනසක් ඇතිවී නම් ජාඇල සිද්ධිය ගැන වැඩිදුර සොයා බලන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි.  එය එසේ වී නම් ටවුන් හෝල් බෝම්බ සිද්ධිය ගැනද සොයා බලන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. එහෙත් ආණ්ඩු වෙනසක් ඇතිනොවීම නිසා මෙම සිද්ධීන් ගැන සොයා බැලීමකින් තොරව සත්‍ය යටපත් කරන තත්ත්වයක් ඇතිවිය.

ජාඇල සිද්ධිය ගැන හා හේමචන්ද්‍ර වාර්තාව පිළිබඳව මා එම පොතේ ලියා තිබෙන කතාව බොරුවක් නම්  ඕ.කේ. හේමචන්ද්‍ර මහතා මට අභියෝග කරනු නොඅනුමානය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. මා හිතන අන්දමට එම වාර්තාව ඉතා වැදගත් රහස්‍ය වාර්තාවකි. රටේ සිදුවූ බිහිසුණු දේවල් අතරින් සමහර සිදුවීම් එල්ටීටීඊය හෝ ජේවීපී නොවන තවත් පිරිසක් විසින් ද සිදුකර තිබෙන බව තේරුම් ගැනීමටත් ඒ මගින් ඒ ගැන රටේ ඇතිවූ බිහිසුණු සිද්ධීන් ගැන කරුණු සොයා බලන තැනකට යෑමේ වැදගත්කම ඉඟිකිරීමේ කරුණු සොයා බැලීමට ආලෝකයක් ලබාදෙන වාර්තාවකි. මා විශ්වාස කරන අන්දමට එම රහස්‍ය වාර්තාවේ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ තිබිය යුතුය.

ජාඇල බෝම්බ පිපිරීම හා ටවුන් හෝල් බෝම්බ පිපිරීම අතර අන්තර් සම්බන්ධයක් තිබුණු බවද පෙනෙන්නට තිබුණි. ටවුන් හෝල් බෝම්බ සිද්ධිය ගැන කරන ලද පරීක්ෂණයේදී ජාඇල බෝම්බ සිද්ධියට වගකිවයුතු කුඩු මහින්දගේ අනුගාමික පිරිසක් ටවුන් හෝල් රැස්වීමටද සහභාගි වී තිබෙන බව ටවුන් හෝල් බෝම්බ සිද්ධියේ වීඩියෝ පට නිරීක්ෂණයේදී සනාථ වී තිබුණි. ඒ බවද පොතේ සඳහන් වේ.

එහි එන තවත් වැදගත් කරුණක් වනුයේ ටවුන් හෝල් බෝම්බ සිද්ධිය පරීක්ෂා කොට බලා වාර්තා කිරීම සඳහා සිද්ධිය සිදුවූ දිනට පසුදිනම ඉන්ද්‍රදාස සිල්වා, ජයතිස්ස හේරත්, ආර්.කේ.එල්. කරුණාසේන යන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් ආණ්ඩුව විසින් පත්කිරීමය.

එම කමිටුව සිය අතුරු වාර්තාව 2000 ජනවාරිවලදී ආණ්ඩුවට භාර දුන්නේය. එම වාර්තාවෙන් සැකයේ ඇඟිල්ල දිගුකර තිබුණේ ඡුරිය වෙත බවද එම පොතේ සඳහන් කර තිබුණි. එය බොරුවක් නම් එම ත‍්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් එය බොරුවක් බව ප‍්‍රකාශ කළ යුතුව තිබුණි. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත.

එවකට කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් ක‍්‍රියා කළ ඒ.ආර්.ඒ. ආනන්ද ගැන වන කතාවක්ද එම පොතට ඇතුළත්ය. ඔහු එවකට පුපුරන ද්‍රව්‍ය විෂය පිළිබඳව රටේ සිටි ලොකුම විශේෂඥයාය. ජනාධිපතිනියට බීඑම්ඩබ්ලිව් වර්ගයේ වෙඩි නොවදින වාහන හදවා ගන්නට ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ වශයෙන් ක‍්‍රියා කළ නිහාල් කරුණාරත්න සමඟ ජර්මනියට ගියේ ඔහුය.

බෝම්බ අනතුරත් සමඟ ඔහු ජනාධිපතිනිය බලන්න රෝහලට ගියේය. ජනාධිපතිනිය එහිදී ඔහු අමතා කී කතාවක් එහි සඳහන් වේ. එම කතාව සත්‍යයෙන් තොර නම් එවැනි උසස් නිලධාරියෙක් නිශ්ශබ්දව බලා සිටිනු ඇතැයි සිතිය නොහැකිය.

එවකට ආරක්ෂක විෂය භාරව ක‍්‍රියා කළ අනුරුද්ධ රත්වත්තගෙන් කරන ලද විමසීමක් හා ඔහු ඊට දෙන ලද පිළිතුරද එහි සඳහන්ය. මෙම සාකච්ඡාව සිදුවූ හමුවට රොයිටර් පුවත් සේවයේ වරුණ කරුණාතිලක හා කාංචනා රත්වත්තද සහභාගි විය. මා ඒ ගැන ඔහුගෙන් ප‍්‍රශ්න කළේ එම බෝම්බ සිද්ධිය පිළිබඳව මා ඇති කරගෙන තිබූ සැකයද ඔහුට විස්තර කරමිනි. ඔහු එහිදී තමන්ට මුහුණ දෙන්නට සිදුවූ වැදගත් අත්දැකීමක් කීවේය. ඔහු කියන ලද දේ ඉතා බැරුම් දෙයක් වූ අතර මා ඇති කරගෙන තිබුණු උපකල්පනයන් ශක්තිමත් කරන්නක්ද විය. ඒ ගැන මා එම පොතේ ලියා ඇත්තේ බොරුවක් නම් ඔහු ඒ ගැන කතා නොකොට නිහඬව සිටිනු ඇතැයි සිතිය නොහැකිය.

මට හමුවූ බිහිසුණුම සාක්ෂිය ලෙස සැලකිය හැක්කේ හිටපු අධ්‍යාපන ඇමති රිචඞ් පතිරණ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් හරහා අසන්නට ලැබුණු බෝම්බකාරිය  ළඟ තබා ගත් බවට චෝදනා එල්ල කොට බූස්ස කඳවුරේ රඳවාගෙන සිටි රඝුපති ශර්මා භාරව සිටි බන්ධනාගාර නිලධාරියෙක්ගෙන් අසන්නට ලැබුණු කතාවය. ඒ කතාව ශර්මා රඝුපතිගෙන්ම අසන්නට අවශ්‍ය නම් ඒ සඳහාද අවස්ථාවක් ලබාදීමට ඔහු එකඟ විය. මට වහාම බූස්ස කඳවුරට යාමට අවශ්‍ය වුවත් එය වළකන ලද්දේ ලසන්ත වික‍්‍රමතුංගය. ඒ විස්තරයද පොතට ඇතුළත්ය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල පවත්වාගෙන යමින් තිබුණේද සැකයට හේතුවන ආකාරයටය. පැමිණිල්ල පවත්වාගෙන ගිය ආකාරය නඩුව ඇසූ විනිශ්චයකාරවරයාගේද විශ්වාසයට හේතුවී නොතිබුණි.

පැමිණිල්ල මරාගෙන මැරෙන බෝම්බකාරිය ලෙස හඳුනාගෙන තිබුණේ මඩකළපුවේ තාලම්කුඩා මන්මුණේ නමැති ගමේ මානික්කම් ලීලාය. කන්දප්පර් මාරිපුත්තු නමැති මවත් වානක්කම් කෝනේස්වර නමැති ඇගේ සහෝදරියක් අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.බී.එල්. අල්විස් ඉදිරියේ හඳුනාගත් බව පැමිණිල්ල අධිකරණයට වාර්තා කළේය.

එහෙත් මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයක් අනුව මේ දෙදෙනා බෝම්බකාරියගේ මව හා සහෝදරිය දැයි නිශ්චිතවම දැනගැනීම පිණිස DNA පරීක්ෂණයක් සඳහා ඔවුන්ගේ ලේ බි‍්‍රතාන්‍යයේ ‘ග්ලාස්ගෝ’ විශ්වවිද්‍යාලය වෙත යවනු ලැබීය. ලැබුණු ප‍්‍රතිඵලය වුණේ ඒ දෙදෙනා බෝම්බකාරියගේ මව හෝ සහෝදරිය නොවන බවය. දේවල් සිදුවෙමින් පැවති ජුගුප්සාජනක ආකාරය ඉන්ද තේරුම් ගත හැකිය. මෙම නඩුව පිළිබඳව විනිශ්චයකාරවරයා සමඟ කරන ලද සාකච්ඡුාවක සම්පිණ්ඩනයක් පොතට ඇතුළත්ය. එහි සඳහන් කර තිබෙන කරුණු බොරු බව එම විනිශ්චයකාරවරයා ද ප‍්‍රකාශ කර නැත.

මා එහි ඉදිරිපත් කර තිබෙන කිසිම සාක්ෂ්‍යයක් අභියෝගයට ලක්වී නැත. ටවුන් හෝල් බෝම්බ සිද්ධිය පිළිබඳව අලූත් කෝණයකින් බලන්න එම සාක්ෂි සංඛ්‍යාව  ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්ය. මා ටවුන් හෝල් බෝම්බ සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කර නැති බව හා මා මාගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්නේ මා ඉදිරිපත් කර තිබෙන සාක්ෂි මත පමණක් බවත් මා එම පොතේ පැහැදිලිව සඳහන් කර තිබේ. අපරාධ ගවේෂණයට මා ආධුනිකයෙකු නොවන බවද කිව යුතුය. රෝහණ කුමාර ඝාතනයේදී හා කුමාර පොන්නම්බලම් ඝාතනයේදී ඒ ගැන සිදුකරන ලද නිල පරීක්ෂණ දෙකේදී ඝාතකයන් කව්ද යන්න නිල පරීක්ෂකයන් සොයා ගන්නට පෙර මා සොයාගත්තා පමණක් නොව මා ඒ බව වාර්තා කළෙමි. කුමාර් පොන්නම්බලම් ඝාතනය සඳහා යොදා ගත් පිස්තෝලය නිල පරීක්ෂකයන් සොයා ගන්නා ලද්දේ ඒ ගැන මාගේ වාර්තා කිරීම්වල ප‍්‍රතිඵලයක් වශයෙනි.

 

පේ‍්‍රමදාස ඝාතනය

 

එම අශීලාචාර කාලයේදී ලංකාවේ සිදුවූ ලොකු සිදුවීම් අතර එල්ටීටීඊ හෝ ජේවීපී ගිණුමට බැර කරන ලද එහෙත් ඒ සංවිධාන දෙක වෙනුවට තුුන්වැනි පිරිසක් ඝාතනද තිබෙන්නේය. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය හා ජනාධිපති පේ‍්‍රමදාස ඝාතනයද එල්ටීටීඊ ගිණුමට බැර කළ එවැනි අභිරහස් ඝාතන දෙකක් ලෙස සැලකිය හැකිය. එහෙත් සාමාන්‍ය මහජනතාව පමණක් නොව අනුරුද්ධ ප‍්‍රදීප් වැනි ශාස්ත‍්‍රාලයීය උගතුන් හිතන්නේද එම ඝාතන දෙකද එල්ටීටීඊ විසින් කරන ලද ඝාතන දෙකක් ලෙසය.

 පේ‍්‍රමදාස ඝාතනය පිළිබඳව බ‍්‍රැඞ්මන් වීරකෝන් මහතා දරන මතය ඔහුගේ 50 වසරක අත්දැකීම් අළලා ලියා තිබෙන Rendering Unto Caesar නැමති පොතේ (සුනේත‍්‍රා රාජකරුණානායක විසින් කරන ලද පරිවර්තනයක් ‘අරලියගහ මැදුරේ ස්ඵන්දනය’ යන නමින් පළකර තිබේ.) පැහැදිලිව සඳහන් කර තිබේ. ඔහු පේ‍්‍රමදාස ඝාතනය පිළිබඳව කර තිබෙන විග‍්‍රහය ඉතා තියුණුය.