තෙවසරක ප‍්‍රගති සමාලෝචනයක්

COLOMBO, SRI LANKA - JANUARY 09: President elect and Democratic National Alliance candidate Maithripala Sirisena (C) reading text of the oath officials to be sworn in as the 6th Executive President of the Democratic Socialist Republic of Sri Lanka at Torrington Square in Colombo, Sri Lanka on January 09, 2015. (Photo by Stringer/Anadolu Agency/Getty Images)

2015 වර්ෂයේ ජනවාරි මස 8 වැනි දින ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නොසිතූ විරූ ආකාරයෙන් වෙනස් විය.  සිය පුත‍්‍රයාට බලය පවරා දීමට සුදුසු අවස්ථාව පැමිණෙන තුරු ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා කළ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත් විය. ඔහුගේම පක්ෂයේ මහලේකම්වරයා ඡුන්ද මිලියන 6.2ක් ලබා ගනිමින් මැතිවරණය ජයග‍්‍රහණය කළ අතර එම ඡන්ද සපයනු ලැබුයේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන කොටගත් විවිධාකාර වූ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සම්මිශ‍්‍රණයක් මගිනි.නව ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් මේ වන විට අඩකටත් වඩා ගත වී ගොස් ඇති හෙයින්  ආණ්ඩුවේ ජයග‍්‍රහණයන් සහ අසමත් වීම් පිළිබඳව අගැයීමක යෙදෙන්නට මේ හොඳම අවස්ථාවයි. 

රාජ්‍ය ග‍්‍රහණය ආපසු හැරවීම

”රාජ්‍ය ග‍්‍රහණය” (රාජ්‍ය සම්පත් දේශපාලන ක‍්‍රියාවලිය තුළින් පෞද්ගලික සම්පත් බවට පරිවර්තනය කර ගැනීම) යන පදය ප‍්‍රචලිත වීමට හේතු සාධක වූයේ අධිකරණ තීරණ තුළ පවා ”රාජ්‍ය ග‍්‍රහණය” යන පදය යොදා ගැනෙන තත්ත්වයක් උදා කළ දකුණු අප‍්‍රිකානු ජනාධිපතිතුමාගේ ක‍්‍රියා කලාපයයි.  එහෙත්, සූමාට පෙරම ශ‍්‍රී ලංකාවේ අප රාජ්‍ය ග‍්‍රහණයේ කෙළ පැමිණ සිටි බවට, ඉඩම්, ගොඩනැගිලි, ගුවන් විදුලි සංඛ්‍යාත සහ ක‍්‍රිකට් විස්තර විචාර අයිතිය ලබා ගැනීමේ දී ද විශේෂ වරප‍්‍රසාද ලබාගත්තැයි පෙනෙන CSN  ගුවන් විදුලි සමාගම උදාහරණයකි. එවකට සිටි ජනාධිපති ලේකම්වරයාට සහ විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව සාපරාධී අවනතු කරගැනීම සම්බන්ධයෙන් ලබා දෙන ලද තීන්දුවද රාජ්‍ය ග‍්‍රහණය කෙතරම් ඔඩු දුවා තිබුණාදැයි පෙන්වයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදු කරන ලද 19 වන සංශෝධනය සම්මත වීමෙන් එක් ජනාධිපතිවරයකුගේ ධුර කාල සංඛ්‍යාව දෙකකට සීමා වීම සහ එම ධුරයේ බලතල සෑහෙන ප‍්‍රමාණයකින් අඩු වීම මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ශක්තිමත් පනතක් ක‍්‍රියාත්මක බවට පැමිණීම හරහා රාජ්‍ය ග‍්‍රහණයට එරෙහිව යම් ප‍්‍රමාණයක රැකවල් දැන් පවතී. එහෙත් නීති සම්මත කරගැනීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ආණ්ඩුව තුළ විවිධ බල මධ්‍යස්ථාන පැවතීම නිසා ප‍්‍රශ්නවලට තුඩු දුන් මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමට සහ ඔහුගේ ධුර කාලය තුළ සිදුකළ බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සිදුවූ අක‍්‍රමිකතාවන් විමර්ශනය කිරීම උදෙසා කොමිෂන් සභාවක් පත් කිරීමට හැකි විය.

අද දවසේ රාජ්‍ය සම්පත් පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන සඳහා යොදාගනු නොලබන්නේය යන්න මින් කිසි සේත්ම අදහස් නොවේ. එහෙත් ඒ ගසාකෑම් දැන් පෙරට වඩා දුෂ්කර වී තිබේ. අමාත්‍යවරයකුගේ රාජ්‍ය ග‍්‍රහණය පිළිබඳව හෙළිදරව් වූ අවස්ථාවේ දී ඔහු තනතුරෙන් ඉවත් කරන ලදි. මෙය, 2015ට පෙර ”අපේ මිනිහා” ආරක්ෂා කළ යුගයේ කිසි විට විය නොහැක්කකි. එකී අමාත්‍යවරයාගේ අවකටයුතු පිළිබඳව මුළු රටම දන්නා නමුත් ඔහුට එරෙහිව සාපරාධී අධිචෝදනා ඉදිරිපත් කර නඩු පැවරීමක් තවමත් සිදු වී නැත. විදුලි සංදේශ කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදල අවභාවිතයට ගත් පුද්ගලයන්ට එරෙහිව ලබා දෙන ලද තීරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ගේ දඬුවම් අත්හිටුවා තිබේ. ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක වනුයේ ක‍්‍රමයෙන් සහ අසම්පූර්ණව මිස අසුරු සැණෙකින් සියල්ල සාක්ෂාත් වෙමින් නොවේ.  

රාජ්‍යය තුළ විවිධ බල මධ්‍යස්ථාන (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව, මැතිවරණ කොමිෂන් සභාව සහ වඩා බලවත් අගමැතිවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් තුලනය කරන බලතල අඩුකරන ලද ජනාධිපති ධුරයක් ආදි වශයෙන්) පැවතීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත්, මාධ්‍ය භාවිත කරමින් සිය ස්ථාවරයන් පළකිරීමට සමත් සක‍්‍රිය පුරවැසියන් සිටීම රාජ්‍ය ග‍්‍රහණය නැවැත්වීම සඳහා තවත් අත්‍යවශ්‍ය අංගයකි. රාජ්‍ය ග‍්‍රහණය ආපස්සට හැරවීම පිළිබඳව කිවහැක්කේ අවශ්‍ය පදනම සකසා ඇති බවයි. කාර්යය සම්පූර්ණ කිරීමට තව වැඩ බොහෝ ඇත. එම වගකීම් දේශපාලන නායකයන්ට සීමා නොවේ. පුරවැසි අපටද වගකීම් ඇත.

ආර්ථික ප‍්‍රතිපත්තීන් අතර නොගැළපීම අඩු කිරීම

ආණ්ඩුවේ මුල් වසර දෙක තුළ ආර්ථික ප‍්‍රතිපත්තිවල දක්නට ලැබුණේ එළහරක්-මීහරක් විසංයෝගයක ස්වභාවයක් වුවත් දැන් මග නිවැරදි කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ගෙන තිබේ. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයක් දරන මහාචාර්ය රසීන් සාලිගේ වචනවලින් පවසතහොත් ”මෙතෙක් විනාශකාරී අය-වැය ඉදිරිපත් කළ, වෙළෙඳපළ ප‍්‍රතිසංස්කරණ වසර දෙකහමාරක් තිස්සේ නවත්වා ගෙන සිටි සහ ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ආණ්ඩුව ලැජ්ජාවට පත් කරමින් සිටි මුදල් අමාත්‍යවරයා වෙනුවට සමරවීර මුදල් අමාත්‍යවරයා වශයෙන් පත්කරනු ලැබූ වසර මැද සිදු කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙහිලා සිදු වූ තීරණාත්මකම වෙනසයි.” 

සංකීර්ණ වූ නූතන ආර්ථිකයක් තුළ ආණ්ඩුව සිය ප‍්‍රතිපත්ති අතර සංගතභාවයක් හෙවත් අවිරෝධයක් පවත්වා ගත යුතු වන අතර සිය ප‍්‍රතිපත්ති ස්ථාවරයන් පැහැදිලිව සන්නිවේදනය කළ යුතුව තිබේ.  එවැනි තත්ත්වයක් විසින්, ආර්ථිකයේ අනෙකුත් ක‍්‍රියාකාරිකයනට සිය ව්‍යාපාරික සැලසුම් අර්ථශූන්‍ය බවට පත්නොවන බවට සහ සිය ප‍්‍රාග්ධනය සූක්ෂ්ම ලෙස පැහැරගැනීමක් සිදුනොවන බවට විශ්වාසයක් ඇතිව සිය කටයුතු නිදහසේ කරගෙන යා හැකි වාතාවරණයක් නිර්මාණය කරනු ඇත. මෙය, ආණ්ඩුවේ පළමු දෙවසර තුළ සිදුවූ ආකාරයේ පරස්පරයයි. 

ජාතික ප‍්‍රතිපත්ති සැලසුම් කිරීම, 2015 වර්ෂයේ දී මුදල් අමාත්‍යාංශය වෙතින් ඉවත් කරගන්නා ලදුව අග‍්‍රාමාත්‍යවරයා යටතට පත්කරනු ලැබිණි. මේ අනුව, විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා ද ඇතුළුව සියලූම අමාත්‍යවරුන් අග‍්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලබන ප‍්‍රතිපත්ති මගපෙන්වීම්වලට අනුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය විය. 2016 සහ 2017 වර්ෂවල අය-වැය කතාවල දී මේ ආකාරයෙන් සිදුනොවූ අතර එම අය-වැය කතා ආකුල ව්‍යාකුල තත්ත්වයෙන් යුතු වූ අතර, බොහෝ යෝජනා ක‍්‍රියාත්මක නොකළ බව වෙරිටේ පර්යේෂණ ආයතනය සාක්ෂි සහිතව පෙන්වා දී ඇත. 

පෙර අය-වැයවලට සාපේක්ෂව කෙටි ලියවිල්ලක්වූ 2018 අය-වැය ලේඛනය 2025 දර්ශනය සම`ග මෙන්ම අය-වැයට පෙර අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සමග සංගතවූවක් ද විය. ප‍්‍රමාණවත් පර්යේෂණ කිරීමකින් හෝ පූර්ව සූදානම් වීමකින් තොරව, ආර්ථික ක‍්‍රියාකාරිකයන්ගේ හැසිරීම් රටා වෙනස් කිරීමට උත්සාහකරන යෝජනා කිරීම තුළ වත්මන් ආණ්ඩුවේ මුල් අය-වැයවල දක්නට ලැබුණු දුර්වලතා සමහරක් මෙහි ද දක්නට ලැබිණි. කෙසේවෙතත්, ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ ඔඩු දිවගොස් ඇති දුර්වලතාවල සන්දර්භය තුළ මෙම අඩුපාඩු පුදුමයට කරුණක් නොවේ. 

අය-වැයෙන් බාහිර වූ ඉතා වැදගත් ව්‍යාපෘති ගණනාවක් පවතින අතර මෙය, නූතන සහ සංකීර්ණ ආර්ථිකයක් තුළ තිබිය යුතු ගුණාංගයකි. සියල්ලම අය-වැය ලේඛනය තුළ අන්තර්ගත වන්නේ පූර්ණ රාජ්‍ය ආර්ථිකයක පමණි. මින් සමහරක අදහස් ඉතා වටිනා නමුත් ඒවා ක‍්‍රියාවට නැංවීමේ හැකියාව සැක සහිතය. 

අමෙරිකානු ඩොලර් මිලියන 169ක් වැය කරමින් ක‍්‍රියාත්මක වන කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය මීට එක් උදාහරණයකි.  රටේ කුඩා පරිමාණ ගොවීන් ගෝලීය සැපයුම් දාම සමග සම්බන්ධ කිරීමේ අරමුණ ඇති මේ ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය එක්ව කළමනාකරණය කිරීමට යෝජිත අතර මේ අසාමාන්‍ය සංකලනය තුළට රාජ්‍ය අමාත්‍යවරයෙකු ද එකතු කොට තිබේ.  මෙම පස් අවුරුදු ව්‍යාපෘතියෙන් මේ වන විට වසරක් ගතවී ඇති අතර එම කාලය තුළ වැය කොට ඇත්තේ අදාළ අරමුදල්වලින් සියයට දෙකක් පමණකි. අරමුදල් සපයන්නා වන ලෝක බැංකුවට ව්‍යාපෘතියේ එකදු කාර්යසාධන දර්ශකයක් යටතේ  හෝ ප‍්‍රගතියක් වාර්තා කිරීමට බැරි වී ඇත.

2004-2015 කාලය තුළ සිදුවූ අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායයන් ව්‍යප්තවීම සහ පෞද්ගලීකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායයන් යළි ජනසතු කිරීම් නිසා මහජන මුදල් මහා පරිමාණයෙන් රාජ්‍ය ග‍්‍රහණයට නතු විය. මෙම අර්බුදය සමනය කිරීමට බලවත් අමාත්‍යවරයකුගේ නායකත්වය සහිතව පොදු ව්‍යවසාය ප‍්‍රවර්ධනය කිරීමේ අමාත්‍යාංශයක් පිහිටුවීම හොඳ දෙයකි. එහෙත්, වසර තුනක කාලයක් තුළ එම අමාත්‍යාංශය විසින් විසින් සිදුකර ඇත්තේ දැවැන්ත රාජ්‍ය ව්‍යවසායයන් පහක් සමග ආයතනික අභිප‍්‍රාය ප‍්‍රකාශයන් අත්සන් කිරීම පමණකි.

ආයතනික අභිප‍්‍රාය ප‍්‍රකාශයන් අත්සන් කිරීමෙන් අනතුරුව රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනයෙහි තවදුරටත් පිරිහීමක් පෙන්නුම් කරයි. 2017 පළවැනි කාර්තුවේ පමණක් ආයතන පහේ සාමුහික පාඩුව රුපියල් 75,567,000,000කි; කෝටි 7,556කි. මෙම මහා පාඩුව ඊට කලින් අවුරුදු දෙකෙහි එකතු කළ ලාභයට වඩා ලොකුය. අමාත්‍යාංශය සකස් කළ ආයතනික අභිප‍්‍රාය ප‍්‍රකාශයන්ගෙන් පලක් නැති බවට මීට වැඩි සාක්ෂි අවශ්‍යද? 

එම අමාත්‍යාංශය යටතේ පවතින තවත් රාජ්‍ය ව්‍යවසායයක් වන ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමෙහි දුර්භාග්‍යසම්පන්න තත්ත්වය කවුරුත් හොඳින් දන්නා කරුණක් වන අතර එය මෙහි අමුතුවෙන් විස්තර කිරීම අනවශ්‍යය. සමාගමෙන් කොටසක් පිටස්තර පාර්ශ්වයකට ලබාදීමට ගන්නා ලද අසාර්ථක ප‍්‍රයත්නයෙන් පැහැදිලිි සාක්ෂි ලැබී ඇත ද බදු ගෙවන ජනතාවගේ මුදල් නාස්තිය නවතාලනු පිණිස ගුවන් සමාගම කෙලින්ම විකුණා දැමීමේ අවශ්‍යතාව (හීත්රෝ ගුවන් තොටුපලේ පර්යන්ත අයිතියේ වටිනාකම වෙනුවෙන් හෝ* රජය තවමත් පිළිගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

ක‍්‍රියාත්මක කිරීමේ අඩුපාඩු

ඇත්ත වශයෙන්ම,  ඕනෑම යෝජනාවක සාර්ථකත්වයේ තීරණාත්මක මිනුම වනුයේ එය ක‍්‍රියාවට නැංවීමේ කාර්යයයි.  මෙම ආණ්ඩුවේ බොහෝ යෝජනා අනවශ්‍ය ලෙස සංකීර්ණ වන හෙයින් අය-වැය දෙකක් අතර කාල පරිච්ෙඡ්දය වැනි කෙටි කාලයක දී තබා එක් ආණ්ඩු කාලයක දී හෝ ඒවා ක‍්‍රියාත්මක කිරීම දුෂ්කර ය. 

අව-කළමනාකරණය කරනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් මගින් බදුගෙවන්නන්ගේ මුදල් කාබාසිනියා කර දැමීම වැනි දෑ ගැන විසඳුම ආණ්ඩුව දන්නා නමුත් ජාතික ආණ්ඩුව සමන්විත වී ඇති ප‍්‍රධාන පක්ෂ දෙක අතර සාමය රැකීම සඳහා හොඳම විසඳුම ක‍්‍රියාත්මක කිරීමට බැරි බවක් පෙනේ. රාජ්‍ය ව්‍යවසායයන්ගේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග තනි තනි වශයෙන් කාර්යසාධන ගිවිසුම්වලට එළැඹී එම ගිවිසුම්වල දක්වන කාර්යසාධනය නොදක්වන තත්වය යටතේ ඔවුන් ඒ තනතුරුවලින් පහකිරීම සහ සුදුසුකම් ඇති පුද්ගලයන් පාරදෘශ්‍ය ක‍්‍රම යොදා ගනිමින් පත් කිරීම යන දෙවන හොඳම විසඳුමක් ක‍්‍රියාත්මක නොවීම ඛේදනීය තත්වයකි.

සෑම ඇමතිවරයකු සමගම කාර්යසාධන ගිවිසුමක් අත්සන් කිරීම සහ අපේක්ෂිත කාර්යසාධනය නොදක්වන අවස්ථාවල දී ඔහු හෝ ඇය එම තනතුරෙන් ඉවත් කිරීම වඩා පුළුල් විසඳුමකි.  මේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කළහොත් රාජ්‍ය ව්‍යවසායයන්ගේ පාඩු ලැබීම නැවැත්වීමට සහ ආණ්ඩුවේ සමස්ත කාර්යසාධනය ඉහළ නැංවීමට සුවිශේෂී දිරිගැන්වීමක් වනු ඇත. එහෙත්, මතක තබා ගත යුතු කරුණ නම් මේ කවර ක‍්‍රියාමාර්ගයක හෝ සාර්ථක බව රඳා පවතින්නේ පුරවැසියන්ගේ සක‍්‍රිය සහභාගිත්වය මත බවයි. 2003 වර්ෂයේ දී සම්මත කරගන්නා ලද මූල්‍ය වගකීම පිළිබඳ නීති අඩ වශයෙන් පමණක් සාර්ථක වීමෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය ග‍්‍රහණය සඳහා දේශපාලකයන් සහ නිලධාරීන් එකට වැඩ කිරීම වලක්වා ලීම නීති මගින් පමණක්  කළ නොහැකි බවයි. 

ආර්ථික ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතියක් ලබාගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සමහරක් යහපාලනය විසින් නිර්මාණය කර තිබීම පිළිබඳව අප සතුටු විය යුතු ය. එහෙත් හොඳ ප‍්‍රතිඵල ලබාගත හැක්කේ පුරවැසියා තම වගකීම ඉෂ්ට කරන්නේ නම් පමණි.

 

රූපය 1:

ආයතනික අභිප‍්‍රාය ප‍්‍රකාශයන් අත්සන් කරන ලද රාජ්‍ය ව්‍යවසායයන්ගේ ලාභ/පාඩු ලැබීම් (රුපියල් මිලියන)

                                                                                                                2015                       2016                       2017

ලංකා විදුලිබල මණ්ඩලය                                                           (28,845 )              (14,499)                (16,590)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෆ                                  (19,468)                (69,620 )              (3,846)

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය                                                            (9,575)                  (2,212    )              (57,164)

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය                (252    )              (835)                      ( 140)

ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම                             (2,3780)                (6,888)                  (1,893)

එකතුව                                                                                                    (2,432    )              (65,056 )              (75,567)

මූලාශ‍්‍රය: මුදල් අමාත්‍යාංශය, 2017 වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාව

  • සෑම මූල්‍ය කාල පරිච්ෙඡ්දයක දී ම රුපියල් මිලියන 300කට වඩා බැංකු වලට ණයගැතිය.